රුහුණු රටේ සිට සුගලා දේවිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත එවූ හසුනයි
මාගේ නව සහෝදර රජතුමාණෙනි,
ඔබ රාජාසනයට නැගී අඩ වසරක් ගතවීමටත් මත්තෙන්, රුහුණු දේශයේ මගේ කනට ඇසෙන්නේ අමුතු ආරංචියකි.
එදා වේදිකාවල උගුර ලේ රහ වන තුරු "රනිල්ගේ ගිවිසුම සංශෝධනය කරනවා" යැයි සිංහනාද කළ ඔබ, අද නිහඬවම රනිල් වික්‍රමසිංහ හිටපු පාලකයා ලියා තැබූ ගිවිසුම "අකුරක් නෑර" ක්‍රියාත්මක කිරීමට හිස නමා එකඟ වී ඇති බව පෙනේ.
එළැඹෙන සතියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ "ක්‍රිස්ටලිනා නෝනා" ලංකා ද්වීපයට ගොඩ බසින බව දැනගන්නට ඇත. එදා රනිල් රජු ඇයව පිළිගත්තේ යම් සේද, අද රතු සාටකය දරන ඔබද ඇය ඉදිරියේ එම මාවතේම ගමන් කිරීම දෛවයේ සරදමක් නොවන්නේද? "පරණ වෙදැදුරුගේ බෙහෙත් වට්ටෝරුවම අලුත් වෙද මහත්තයා දෙනවා නම්, වෙද මහත්තයා මාරු කිරීමෙන් ඇති ඵලය කුමක්දැයි" රෝගීහු (ජනතාව) දැන් ප්‍රශ්න කරති.
පසුගියදා 'දිට්වා' සුළි කුණාටුවෙන් රටම තෙත් වී, ජනතාව පීඩාවට පත්ව සිටියදී, මුදල් අරමුදලේ නිලධාරීන් පැමිණ "ඔබලාගේ ආර්ථික දිශානතිය හොඳයි" යැයි පැවසීම හරියට, බඩගින්නේ සිටින මිනිසෙකුට "ඔබේ ඇඳුම ලස්සනයි" කීවාක් මෙනි. ඔවුන් බලන්නේ ඉලක්කම් දෙස මිස, මිනිසුන්ගේ කුසගින්න දෙස නොවන බව ඔබ තේරුම් ගත යුතුය. එළැඹෙන මාර්තු මාසයේ ණය වාරිකය ගැන කතා කිරීමට පෙර, මිනිසුන්ගේ ජීවන අරගලය ගැන කතා කිරීමට ඔබට සිදුවනු ඇත.
සහෝදර රජතුමාණෙනි,
රාජ සභාවේ සිටින ඔත්තුකරුවන් මෙන්ම ඉංග්‍රීසි පුවත්පත් කතුවරියක වන ජමිලා හුසේන් ද පවසන පරිදි, ඔබේ ආණ්ඩුවේ "මධුසමය" දැන් නිමාවට පත්ව ඇත. මංගල්‍යයේ බෙර හඬ දැන් නැවතී, ගෙදර දොරේ ප්‍රශ්න පටන් ගෙන තිබේ. පෝලිම් නැති කිරීම පමණක් ප්‍රමාණවත් යැයි ඔබ සිතන්නේ නම් එය මුලාවකි. බඩු මිල අහස උසට නැග, ජීවන වියදම දරාගත නොහැකි තැන, ජනතාව "වෙනස" ගැන ප්‍රශ්න කරමින් සිටී.
විශේෂයෙන්ම, මේ දිනවල ඔබේ පුද්ගලික ජනප්‍රියත්වය ගැන මට ඇත්තේ බියකි. ආරංචි මාර්ග පවසන්නේ, ඔබේ ආණ්ඩුව ගැන ජනතාවට ඇති විශ්වාසයටත් වඩා, ඔබ ගැන පෞද්ගලිකව තිබූ විශ්වාසය වේගයෙන් පිරිහෙමින් පවතින බවයි. "කියන දේ කරන, කරන දේ කියන" නායකයා යැයි සිතා පත් කරගත් ඔබත්, අවසානයේ "රනිල්ගේම අඩි පාරේ යන තවත් එක් සාම්ප්‍රදායික පාලකයෙක්දෝ" යන සැකය දැන් රට වැසියාට මතු වී ඇත.
අපගේ රටට රන් කහවනු ගෙනෙන සංචාරක කර්මාන්තය දෙස බලන්න. වීසා නිකුත් කිරීමේදී ඇති වූ පරිපාලනමය වියවුල් සහ 'දිට්වා' වැනි ආපදා පාලනය කිරීමේ නොහැකියාව පෙන්වන්නේ ඔබේ සෙනෙවිවරුන්ගේ පරිපාලන දුර්වලතාවයි. මෙය හුදෙක් තාක්ෂණික දෝෂයක් නොව, රාජ්‍ය තන්ත්‍රය මෙහෙයවීමේ නොහැකියාවකි. පිටරටින් එන අමුත්තාට දොර ඇරීමට බැරි නම්, භාණ්ඩාගාරය පුරවන්නේ කෙසේද?
එමෙන්ම, දේශයේ අනාගතය වූ බුද්ධිමත් තරුණ පරපුර - වෙද්දුන්, ඉංජිනේරුවන් රට හැර යාම (බුද්ධිගලනය) මහා ඛේදවාචකයකි. මේ ගලා යාම නතර කිරීමට ඔබට ඇති උපාය කුමක්ද? මෙය පාලනය නොකළහොත්, වසර කිහිපයකින් මේ ලක්දිව "නායකත්වය දීමට කෙනෙක් නැති මහලු මඩමක්" බවට පත්වීම වැළැක්විය නොහැක.
සහෝදර රජතුමාණෙනි,
ලෝක දේශපාලනය දෙස බලන විට, බටහිර දේශයේ 'ට්‍රම්ප්' නැමැති රජුගේ පැමිණීමත්, අසල්වැසි ඉන්දියාව සහ මකර දේශය (චීනය) අතර බල අරගලයත් මැද අප අසරණ වී ඇත. "ණය ඉල්ල ඉල්ල අනුන්ගේ දොරවල් ගානේ යන ප්‍රතිපත්තිය" තවදුරටත් වලංගු නැත.
මට ඔබට කීමට ඇත්තේ එකම දෙයකි. මෙය විශේෂයෙන් සිතට ගන්න.
ජමිලා කතුවරිය පැවසූ දේ නිවැරදිය. "අපට අවශ්‍ය වන්නේ, 'අපිට ණය එපා, අපි අපේ ඉරණම අපිම විසඳගන්නම්' කියා ලෝකයට කෙළින් සිට ප්‍රකාශ කළ හැකි, කොන්දක් ඇති නායකයෙකි. රනිල්ගේ ඇඳුම ඇඳගත් අනුර කෙනෙකු නොව, කොන්දක් ඇති අනුර කෙනෙකු දැකීමට මේ රටේ ජනතාව තවමත් බලා සිටී."
මධුසමය අවසන්ය. දැන් ඇත්තේ යථාර්ථයට මුහුණ දීමේ හෝරාවයි. ජනප්‍රිය කතා පසෙක ලා, පොළොවේ පය ගසා දැඩි තීරණ ගන්න. නැතහොත්, විශ්වාසය බිඳුණු ප්‍රජාවගේ කෝපය, සුළි කුණාටුවකට වඩා දරුණු විය හැක.
මීට,
රාජ්‍ය තන්ත්‍රයේ උස් පහත් තැන් දන්නා, සුගලා දේවිය
රුහුණේ සිට යැ.
02/02/2026
සබැඳි ලිපි - සුගලා දේවිය විසින් රනිල් මන්ත්‍රීෂ්වරයාණන් වෙත එවූ හසුන
-https://www.slleader.lk/entertainment/13480-2026-02-01-04-11-19

