SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

අනාගතයේ කිරුළ දරන්නට සිටින බිමල් සෙනෙවියනි,

 

රුහුණේ සිට මා මේ හසුන එවන්නේ හුදෙක් සෙනෙවිවරයෙකුට නොව, මේ ද්වීපයේ වාමාංශික බලමුළුවේ අනාගත නායකත්වය යැයි අප තවමත් විශ්වාස කරන හෘද සාක්ෂියටයි.

 

බිමල් සෙනෙවියනි,

 

නුඹලා බලයට ආවේ "හොරු අල්ලනවා" කියාය. "රට හදනවා" කියාය.

 

දූෂිත රාජපක්ෂ රජවරුන් විසින් මේ රටේ භාණ්ඩාගාරය කොල්ලකෑ බවට ගම් දනව් සිසාරා මොර දුන් හඬ තවමත් අපට ඇසේ. එහෙත්, ඊයේ (2026 පෙබරවාරි 02) ඉදිකිරීම් කර්මාන්ත ශ්‍රේණියේ ප්‍රධානීන් විසින් අනුර කුමාර රජතුමා වෙත යොමු කළ ලිපිය දකින විට මට සිතෙන්නේ, නුඹලාගේ පාලනය යටතේ සිදුවන්නේ "හොරු ඇල්ලීම" නොව, පරණ හොරුන්ටම අලුත් "හැඳි" ලබා දී රජයේ භාණ්ඩාගාරය හිස් කරවීම බවයි.

 

 

වෘකයන් හත් දෙනාට මස් කුට්ටි හතක්!

 

නුඹේ සෙනෙවි බලකාය යටතේ ඇති කහවණු බිලියන 90ක් වටිනා මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය (CEP 3) දෙස බැලූ විට මාගේ රාජ්‍ය පාලන නුවණට පෙනෙන්නේ මහා විහිළුවකි. Maga, Access, KDAW, Nem, Edward & Christie, ICC සහ Tudawe යන වෙළඳ ශ්‍රේණි 7, නුඹලා එදා වේදිකාවලදී හැඳින්වූයේ "රාජපක්ෂ රජුගේ ගජ මිතුරන්" කියා නොවේද? අද නුඹලාගේ "මාලිමා රාජධානියේ" මහා මාර්ග තනන්නට සුදුසුකම් ඇත්තේ ද ඔවුන්ටම පමණක් වීම දෛවයේ සරදමක්ද? නැතහොත් එය සැලසුම් සහගත කුමන්ත්‍රණයක්ද?

 

සුගලාගේ තර්කය සහ නුඹලාගේ "පළපුරුදු" උගුල

 

අලුත් අයට "පළපුරුද්ද නෑ" කියමින් නුඹලාගේ අදිකාරම්වරුන් සහ නිලමේවරුන් මේ රාජකාරිය පරණ අය අතරේම බෙදා දෙන්නට සැරසෙයි.

 

බිමල් සෙනෙවිය,

රාජ්‍යයක් පාලනය කරන විට තරඟයක් නැති තැන ඇත්තේ කොල්ලකෑමක් බව නුඹ නොදන්නවා විය නොහැක. ව්‍යාපෘතිය කොටස් 07කට කඩා (Package 2A - 2G), ඊට තරඟ කරන්නට වෙළඳ කණ්ඩායම් 07ක් පමණක් තෝරා ගැනීම යනු කුමක්ද? එය හරියටම මස් කුට්ටි 07ක් වෘකයන් 07 දෙනෙකුට වෙන් කර දී, "කා කොටා නොගෙන බෙදා ගනිල්ලා" යැයි කියනවා වැනි මෝඩ ක්‍රියාවකි. ඔවුන් එකිනෙකාට කතා කරගෙන, තමන්ට ඕනෑ ගණනට මිල තබා රජුගේ භාණ්ඩාගාරය ගසා කන බව තේරුම් ගන්නට අමුතු නුවණක් අවශ්‍ය නැත.

 

මෙයද නුඹලාගේ "ඊනියා සංවර්ධනය"?

 

සංවර්ධනය යනු ගල් අතුරා මාලිගා තැනීම නොව, රාජධානියේ ධනය ඉතිරි කිරීමයි.ඒවායින් ජනතාවට සහන ලබා දී ඔවුන්ගේ විඳවීම නැතිකිරීමයි. කොටින්ම සියලු මිනිසුන් නිදහසේ සරලව ජීවත්වීමයි. නුඹලා මේ සූදානම් වන්නේ පරණ ක්‍රමයටම පාරවල් හදා, පඬුරු ලබාගෙන, රට තවත් ණය උගුලක සිර කිරීමටද? "ජනතා විමුක්ති පෙරමුණේ" ලේ දහදියෙන් උපන් ආණ්ඩුවක්, මෙවැනි ප්‍රසම්පාදන මාෆියාවකට යට වීම යනු සමස්ත ව්‍යාපාරයම සියදිවි නසා ගැනීමකි.

 

බිමල් සෙනෙවිය, මේ නුඹේ අනාගතයයි!

 

මතක තබා ගන්න. අනුර කුමාර රජතුමාගෙන් පසු මේ ව්‍යාපාරයේ කිරුළ දරන්නට සිටින නායකයා නුඹයි. අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ, කපටි නිලමේවරුන්ගේ ලණු කා, ලංකා බැංකුවේ ඇපකර පවා ප්‍රතික්ෂේප කරමින් මේ කරන්නට යන අපරාධයට නුඹ හවුල් වුවහොත්, ඉතිහාසය නුඹව ලියන්නේත් "රතු අලි බබා" ලෙස මිස විප්ලවවාදී සෙනෙවියෙකු ලෙස නොවේ. අනුර රජතුමා නම් ඒ නාමය උවමනාවටත් වඩා හොඳින් පැළඳගෙන හමාරය.

 

 

සුගලා දේවියගේ ආඥාව

 

පැලවත්තේ මූලස්ථානයට හොරෙන්, නිලධාරීන් අටවන මේ උගුලෙන් පැන ගන්න. එළැඹෙන 05 වැනිදා අවසන් වීමට නියමිත මේ ජඩ ටෙන්ඩරය වහාම අත්හිටුවන්න. නැතහොත්, ගල් අඟුරු වලින් නින්දාවට පත් ආණ්ඩුව, මේ හයිවේ එකේ දමා යට කරන්නේ නුඹලාගේම අනාගතයයි.

 

තරඟයට ඉඩ දියව!

අලුත් අයටත් දොර ඇරියව!

රාජපක්ෂලාගේ හොරුන් නුඹලාගේ සුරතලුන් කර නොගනිව!

 

 

මේ, සුගලා දේවිය

(රුහුණේ සිට නිරීක්ෂණය කරමින්)

නවතම ලිපි