SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"පෙම් ලොව දී දුටු

ඔහුම ද මේ

ඔහුට ද මා

අන්ධ වුණේ"

මා සිතනා අන්දමට මෙලොව ඇති ඉතාමත් ම අගනා වස්තූන් තුනකි. ඒ නිදහස, ප්‍රේමය සහ සතුටයි. පිරී උතුරායන්නට ළඟ තිබිය දී එතරම් වටිනාකමක් නොදැනෙන මෙකී වස්තූන් අහිමි වූ කල ජීවිතයේ සැබෑ අරුත මිනිසා වෙතින් පළා යන බව හා ඒවා නැවත ළඟාකරගැනීමට නම් බොහෝවිට ඊට විශාල ගෙවීමක් කළ යුතු බව ද අපි ඉතාමත් හොඳින් ම දනිමු. මේ අතරින් නිදහසට හිමිවන්නේ ඉතාමත් වැදගත් ස්ථානයකි. නිදහසට මේ යැයි නිශ්චිත අර්ථකථනයක් ලබාදීමට නොහැකි ය. එය ඒ තරම්ම සංකීර්ණ වූත් සාපේක්ෂ වූත් ප්‍රපංචයකි.

මේ අතරින් Freedom at Midnight සිනමාපටය තුළදී ඉතා සියුම් ලෙසත්, ගැඹුරු ලෙසත් සාකච්ඡාවට බඳුන්වන්නේ ප්‍රබල කාලීන සමාජීය ප්‍රපංචයක් වන අන්තර් පුද්ගල සබඳතා තුළ වන නිදහසයි. එනම් කුටුම්භ ජීවිතයේ අඹු සැමියන් අතර ඇති සබඳතාවය තුළ වන නිදහස යි.

freedom midnight 1

අතීතයේ ස්ත්‍රීන් සහ පුරුෂයන් සඳහා වූ කාර්‍යයන්, වගකීම් වෙන් වෙන් වශයෙන් පැහැදිලිව වෙන්කර දැකිය හැකි වුවත් වර්තමානය වන විට අප ජීවත්වන්නේ එලෙස ස්ත්‍රීන් සහ පුරුෂයන්ගේ කාර්‍යයන් වෙන් වෙන් වශයෙන් වෙන්කර දැක්විය නොහැකි තරමට මුහු වූ Caring and Sharing පදනම්කරගත් සමාජ පසුබිමක් තුළ ය. නමුත් අඹුසැමි සබඳතාවය තුළ මෙම Caring and Sharing යන්න දෙපාර්ශවයෙන් එක් පාර්ශවයක් වෙතින් පමණක් අපේක්ෂා කිරීම කොතෙක් දුරට සාධාරණ ද? එය කොතෙක් දුරට වත්මන් කුටුම්බ ඒකක තුළ ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක වනවා ද? යන කරුණු මෙම චිත්‍රපටය තුළ දී බෙහෙවින් සියුම් සහ ගැඹුරු ලෙස ප්‍රශ්නගත කරයි.

ඔහු දාස් ය.

ඇය චන්ද්‍රා ය.

දෙදෙනා ප්‍රේම සම්බන්ධතාවයකින් අනතුරුව කුටුම්බ ජීවිතයට පිවිස වසර අටක් මුළුල්ලේ එක්ව දිවි ගෙවන සුරතල් දියණියකගේ මාපිය යුවළකි.

වත්මන් සමාජයේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා පිළිබඳව විමසීමේදී වඩාත් ප්‍රබල හා බහුල ලෙස පෙනීයන කරුණක් වන්නේ විරුද්ධ ලිංගික සම්බන්ධතාවක් තුළ ඉතා වැදගත්ම අංගයක් වන මෙම සුසංයෝගය සහ විවිධත්වය තුළින් ඒකීයත්වයක් කරා ළඟාවීම යන කරුණ සම්බන්ධව අවධානයක් යොමුනොවීම සහ ඒ ගැන සැලකිය යුතු මට්ටමේ අවබෝධයකින් පසුනොවීම යි. එය සංකීර්ණ ගැටලු රාශියකට මගපාදයි. ඇතැම්විට වඩාත් උග්‍රවන මෙම ගැටලු කෙළවර වන්නේ සම්බන්ධතාවලට තිත තැබීමෙනි. බොහෝ සබඳතා නෛතික හෝ කායික වශයෙන් තහවුරු වුව ද ඒ තුළ කායික හා නෛතික බැඳීමෙන් ඔබ්බට ගිය මානසික සහ සමාජීය පසුබිම පිළිබඳව අවබෝධයක් දැකිය නොහැකිය. ප්‍රේමය පදනම් කරගනිමින් යැයි ඇරඹෙන බොහෝ සම්බන්ධතා තුළ ද බොහෝවිට ඒ පිළිබඳව නිසි අවබෝධයක් දැකිය නොහැකි වීම ඉතාමත් කණගාටුදායක තත්වයකි.

freedom midnight 3

චන්ද්‍රා සහ දාස් අබිමුව ඇත්තේ ද එම ගැටලුවම ය.

අප පවසන අන්දමට මෙම Caring and Sharing පදනම්කරගත් සබඳතාවයක් මූලික වශයෙන් කරුණු රැසකින් සමන්විත අත්තිවාරමක් මත ගොඩනැගී ඇත. අන්‍යෝන්‍ය අවබෝධය, එකිනෙකා කෙරෙහි වන ගරුත්වය, සබඳතාවය තුළ එකිනෙකා වෙනුවෙන් වෙන්කරන කාලය ඉන් කීපයකි. ප්‍රේමය සහ විශ්වාසය ගොඩනැගෙන්නේත්, වඩාත් ශක්තිමත් වන්නේත් ඒ මත ය. ඒවා සියුම් හූ පටවල් මෙන් අඹුසැමි සබඳතාවයක සෑම අහුමුල්ලක් කරාම විහිදී පැතිරී පවතී. ඉන් එක් හූ පටක් හෝ යම් හෙයකින් බිඳී ගියහොත් යළි ගොඩනැංවීම පහසු කරුණක් නොවේ. එය අඹුසැමි සබඳතාවයකට කුමන අන්දමේ බලපෑම් ඇතිකරනු ඇති ද යන කරුණ Freedom at Midnight සිනමාපටයේ දාස් සහ චන්ද්‍රාගේ අභියෝගයට ලක්වන අඹුසැමි සබඳතාවය තුළින් මනාව විවරණය වේ.

සිය සබඳතාවයේ සැබෑ අරුත සොයායනු රිසින් දාස්ව ප්‍රශ්න කරන චන්ද්‍රාගේ භූමිකාවත්, චන්ද්‍රා දාස්ගෙන් විමසන පැනයන් හමුවේ අසරණ වන දාස්ගේ භූමිකාවත් "ප්‍රේමය" ,"විවාහය" යන සබඳතා තුළ වන අන්‍යෝන්‍ය අවබෝධයේත්, ගරුත්වයේත් මදකමත්, සබඳතාවයක් තුළ අයෙකු තවෙකෙකු වෙනුවෙන් වෙන්කරන කාලසීමාව සීමා සහිත වීමෙන් අනෙකා වෙත එල්ලවන හුදෙකලා, අනාරක්ෂාකාරී බවක් සහිත බිඳුණු සහ රිදුණු මානසික තත්වයේ අහිතකර බලපෑමත් පිළිබඳව සියුම් ලෙස විච්ඡේදනය කර දක්වයි.

 

freedom midnight 5

 

මෙහි දී චන්ද්‍රා දාස් වෙතින් නගන එක් පැනයක් ප්‍රේක්ෂකයාගේ මනස තදින් කම්පනයට ලක් කරයි. චන්ද්‍රා දාස්ගෙන් විමසන්නේ තමන්ගේ ප්‍රියතම ලිංගික ඉරියව්ව කුමක් ද? යන්නයි. දාස් ඇය වෙතින් කිසිදා එවැනි පැනයක් අපේක්ෂා කර තිබුණේ නැත. ඇයගේ පැනය හමුවේ ඔහු නිරුත්තර වෙයි.

ප්‍රේම සබඳතාවයකින් විවාහ කරගත්, තමන් සමග වසර අටක් මුළුල්ලේ එකම නිදි යහන බෙදාහදා ගත් තම බිරිඳගේ අතිශය සංවේදී රුචි අරුචිකම් පිළිබඳව සංවේදනයක් හෝ අවබෝධයක් දාස්ට නොමැත. එය කොතරම් කණගාටුදායක තත්වයක් ද? එවන් පසුබිමක් තුළ අභියෝගයට ලක් වන ඔවුන් දෙදෙනාගේ අඹුසැමි සබඳතාවය පිළිබඳව ප්‍රේක්ෂකයාට නිශ්චය කළ හැක්කේ කුමක් ද?

මෙහි දී මට නිතැතින්ම සිහියට නැගුණේ විශාරද ගුණදාස කපුගේ සහ විශාරද නන්දා මාලිනියගේ හඬින් ගැයෙන එක්තරා ජනප්‍රිය ගීතයකි.

"සිරුරින් එකතැන

හදවත් දෙතැනක

දෙදෙනෙකු වෙමු අපි

එකම වහල යට

ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය

අපට මියෙන තුරු හැඳිනිය හැකි වෙද"

ස්ත්‍රිය සහ පුරුෂයා යනු ලිංගික, සමාජීය හා මනෝවිද්‍යාත්මක වශයෙන් අතිශය සංකීර්ණ මෙන්ම එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් ජීවී කොට්ඨාස දෙකකි. ජීවිත කාලය පුරාම ඉතාමත් සමීප ලෙස ඇසුරුකරමින් සහවාසයේ යෙදුණ ද දෙදෙනාට දෙදෙනා පරිපූර්ණ වශයෙන් අවබෝධකරගත නොහැකිය. එමෙන්ම කිසිවෙකු සර්ව සම්පූර්ණ සහකරුවෙකු හෝ සහකාරියක වන්නේ ද නැත. එනිසා සාර්ථක දිගුකාලීන සබඳතාවයක් සඳහා විරුද්ධ පාර්ශවයන් එකිනෙකාගේ වෙනස්කම් දරාගැනීමට හුරුවෙමින්, ඒවාට ගරුකරමින්, එකී සම්බන්ධතාවය තුළ එකිනෙකාගේ කොටසක් බවට පත්වීම සිදුකළ යුතු ය. අනෙකාට තමාගේ කොටසක් බවට පත්වීමට ඉඩ ලබාදිය යුතු අතර තමා ද අනෙකාගේ කොටසක් බවට පත්විය යුතුය.

ප්‍රේමය, ලිංගිකත්වය, යුතුකම්, වගකීම් මෙන්ම එදිනෙදා ජීවිතයේ කටයුතුවලදී ද මෙය එක ලෙසම පොදු වේ. තමා තුළ නොපවතින, නමුත් අනෙක් පාර්ශවය තුළ පවතින විවිධත්වයක් තමාට ශක්තියක් විය හැකිය. එමෙන්ම තමා තුළ පවතින, නමුත් අනෙක් පාර්ශවට තුළ නොපවතින විවිධත්වයක් අනෙක් පාර්ශවයට ශක්තියක් විය හැකිය. එනිසා වඩාත් හොඳින්ම තිබිය යුත්තේ මෙම ශක්තීන් මනා ලෙස සුසංයෝග කරමින් එකිනෙකාට ශක්තියක් වීමේ අවබෝධාත්මක හැකියාවයි. එය සබඳතාවයක ශක්තිය වඩ වඩාත් තීව්‍ර කරවන්නකි. ඒ හැරුණු විට සර්ව සම්පූර්ණ ලෙස එකිනෙකා ගැළපෙන සබඳතා ලොව කොතැනකවත් දැකිය නොහැකිය. එවැන්නක් බලාපොරොත්තු වීම ද එක්තරා ආකාරයක අනුවණ ක්‍රියාවක් ලෙස මම දකිමි. ඇත්තේ අඩු වැඩි ලෙස ගැළපීම් සහ නොගැළපීම් මනාව සුසංයෝග කරමින් ඉදිරියට යා යුතු ගමනකි. ගැටලු මතුවන්නේ එම සුසංයෝගය බිඳීගිය තැනදී ය. එකිනෙකා දරාගැනීමට එකිනෙකාට නොහැකි වූ තැනදී ය. මෙය දුෂ්කර කාර්‍යයකි. මම ද එය පිළිගනිමි. නමුත් අවබෝධයෙන් එම අභියෝගය ජයගත් තැන කොතරම් කම්කටොළුවලට මුහුණදුන්න ද ජීවිතය සුන්දර ය.

freedom midnight 2

මම සටහන ආරම්භයේදීම උපුටා දැක් වූ නන්දා මාලිනියගේ ගීත ඛණ්ඩය දෙසට යළිත් අවධානය යොමුකිරීමට මම කැමැත්තෙමි.

"පෙම් ලොව දී දුටු

ඔහුම ද මේ

ඔහුට ද මා

අන්ධ වුණේ"

මෙය සිනමාපටය පුරාවටම කීප වාරයකදී චන්ද්‍රා දාස් වෙතින් නැගූ පැනයකි. ලොව පවතින නොවෙනස්වන එකම දහම වෙනස් වීම යැයි එක්තරා ප්‍රකට ධර්මතාවයක් ඇත. මේ ධර්මතාවය ප්‍රේමයට ද එක ලෙස පොදු ය. සබඳතාවයක ආරම්භයේ සිට අවසානය දක්වා ප්‍රේමය එකම මුහුණුවරකින් එක ලෙස පවතින්නේ නැත. එය අප අවබෝධකරගත යුතු, මුහුණදිය යුතු යථාර්ථයකි. පෙම්වතා සැමියා බවට පත් වූ පසුවත්, පෙම්වතිය බිරිඳ බවට පත්වීමෙන් අනතුරුවත් ප්‍රේමය එකී වෙනස්වන සමාජ, පුද්ගල සබඳතාවයට අනුව වෙනස් වීමේ හැකියාව පවතී. කාලයේ සහ වෙනත් නොයෙක් වෙනත් කාරණාවල බලපෑම් ද මෙයට එල්ල විය හැකි ය. නමුත් ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්නේ නම්, සබඳතාවය තුළ අනෙකා වෙනුවෙන් සැලකිය යුතු මට්ටමේ කාලයක් වෙන් කරන්නේ නම්, හැකි සෑම අවස්ථාවකම තම සහකරු හෝ සහකාරිය වෙත විවර වූ හදින් සහ සවන් යුතුව කටයුතු කරන්නේ නම් මේ තත්වයෙන් සෘණාත්මක බලපෑමක් අපගේ සම්බන්ධතාවලට එල්ලවීම අපට වළක්වාගත හැකි ය. සබඳතාවයක් තුළ අප එකිනෙකා කෙරෙහි තබන විශ්වාසය, ගරුත්වය, එකිනෙකා වෙනුවෙන් වෙන්කරන කාලය අපගේ පිහිටට පැමිණෙන්නේ එලෙස ප්‍රේමය අභියෝගයට ලක්වන අවස්ථාවලදී ය.

ප්‍රේමයේ කූටප්‍රාප්තිය විවාහය ලෙස ද, ප්‍රේමය විවාහයෙන් කෙළවර වන්නේ යැයි ද ඇතැම්හු සිතති. එය කිසිසේත්ම නිවැරදි නිගමනයක් නම් නොවේ. විවාහය යනු ප්‍රේම චාරිකාවේ එක්තරා අතිශය වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් පමණි. ප්‍රේමය වෙනස් සහ නව මුහුණුවරකින් ආරම්භවන්නේ විවාහයෙන් පසුව ය. අඹුසැමි සබඳතාවයක් තුළ මෙය ද වටහාගෙන සිටිය යුතු කරුණකි.

සමන්ත දසනායකගේ කවියක් මෙහිදී මගේ සිහියට නැගේ.

"බිරිඳ නොව පෙම්වතිය වුව මැන

වදා දැඩි කළ පසුත් දරු කැල

කියාදෙමු අපි දෙදෙන උන්ටත්

ලියා සහතික නොකළ දේ ගැන"

Freedom at Midnight චිත්‍රපටය මෙවන් අතිශය සංවේදී සහ සංකීර්ණ කරුණු රැසක් පිළිබඳව කතිකාවතට බඳුන්කරන ඉතා නිර්මාණශීලී කෙටි චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය සීමිත සම්පත් ප්‍රමාණයක් සකසුරුවම් සහ හුරුබුහුටි ලෙසත්, නිර්මාණශීලී ලෙසත් හසුරුවාලීමෙහි ලා සිනමා අධ්‍යක්ෂකවරයෙකු දැක් වූ සමත්කමෙහි මහඟු ඵලයක් ප්‍රේක්ෂකයාට තිළිණ වූ කදිම නිර්මාණයක් ලෙස හඳුන්වාදීමට මම කැමැත්තෙමි. තමන්ට අවැසි අරමුණ මුදුන්පත්කරගැනීමෙහි ලා සීමිත චරිත චරිත සංඛ්‍යාවක් වඩාත් ඵලදායී ලෙස හැසිරවීමෙහි දී අධ්‍යක්ෂකවරයා ප්‍රකට කර ඇති දක්ෂතාවය ප්‍රශංසනීය ය.

මෙය එක්තරා ආකාරයකින් දාස් සහ චන්ද්‍රාගේ පුද්ගලික ජීවිතය දෙස රහස් කවුළුවකින් එබී බලන්නාක් බඳු සිනමා අත්දැකීමකි. අපි කවුරුත් අනුන්ගේ ජීවිතවල රහස් කවුළුවලින් එබී බැලීමට අඩු වැඩි වශයෙන් කැමැත්තක් දක්වමු. සිනමාකරුවා මෙහිදී ප්‍රේක්ෂකයා තුළ අඩු වැඩි වශයෙන් පවතින එම නැරඹුම් කාමය ඉතා සූක්ෂම ලෙස සිය නිර්මාණය තුළ පරිහරණය කර ඇති ආකාරය අපට දැකගත හැකි ය.

සිනමාපටයේ තිර පිටපත ද නිර්මාණශීලී ශක්තිමත් එකකි. එහි එන කුඩා කුඩා සිදුවීම් සහ දෙබස්වලින් පවා දාස්ගේ සහ චන්ද්‍රාගේ අඹුසැමි සබඳතාවයේ බොහෝ සංකීර්ණ විසල් පරාසයන් ආවරණය කිරීමට සමත් වී ඇත. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ හකීම් ෂාජහාන් (දාස්) සහ අනුපමා පරමේශ්වරන් (චන්ද්‍රා) වෙතින් එකී චරිතවලට උපරිම සාධාරණත්වයක් ඉටුකර ඇති බව ද පැවසිය යුතුම ය. Freedom at Midnight සිනමාපටය අතිශයින්ම යථාර්ථවාදී සිනමාපටයක් වන අතර එය විසල් අත්දැකීම් සමූහයක් සමගින් කෙටි කාල සීමාවක් තුළ දාස් සහ චන්ද්‍රාගේ ලෝකය තුළ ඔබව සජීවී ලෙස ජීවත්කරවීමට සමත්වනු ඇත. එමෙන්ම නිසැකවම එය ඔබ වෙතින් ඔබවම ප්‍රශ්නගත කිරීමට විශාල පෙළඹවීමක් ද ඔබ තුළ ඇතිකරනු ඇත.

එනිසා Freedom at Midnight සිනමාපටය කෙටි නමුත් සුවිසල් සිනමාපටයක් ලෙස හඳුන්වාදීමට මම කැමැත්තෙමි.

මෙම කෙටි චිත්‍රපටය නිකුත් වී කෙටි කාල සීමාවක් තුළ විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන තිබීම මෙමගින් ආමන්ත්‍රණය කෙරෙන සංකීර්ණ කරුණු පිළිබඳව සමාජය තුළ පවතින සංවේදී බව සහ අවධානය පිළිබඳව විදහා දක්වන්නකි. නමුත් ඒ සංවේදී බව සහ අවධානය කෙටි කාලයකට පමණක් සීමා නොවිය යුතු එකකි. සිනමාපටය තුළින් අපේක්ෂා කරන අරමුණ වඩාත් තීව්‍ර ලෙස කුළුගැන්වෙන්නේත්, යථාර්ථය තුළ අරුත්ගැන්වෙන්නේත් එවිට ය. Freedom at Midnight සිනමාපටයට හිමි වී ඇති IMDb අගය 7.5කි. මෙය R. J. ශාන්ගේ සිනමා අධ්‍යක්ෂණයක් වන අතර නිෂ්පාදනය අඛිල මිධුන් විසින් සිදු කර ඇත.

චන්ද්‍රාගේ සිතුවිලි දාමය තුළ ඇයව සිය කුඩය යටින්ම නිවසට කැඳවාගෙන ගිය දාස්, සැබෑව තුළ ඇය වෙත වෙනම කුඩයක් දිගු කිරීමත් සමග සිනමාපටය අවසන් වන්නේ දාස්ගේත් චන්ද්‍රාගේත් අභියෝගයට ලක් වී ඇති සබඳතා‍වයේ අනාගතය පිළිබඳව අවිනිශ්චිත හැඟීම් ප්‍රේක්ෂකයා තුළ ඇතිකරමිනි.

දෙදෙනෙකු එක්ව ගමන්කිරීමට තෝරාගත් මාර්ගයක වෙන් වෙන් වශයෙන් තනි තනිව ගමන්කිරීම කිසිසේත්ම පහසු කරුණක් නොවේ. එවන් අවස්ථාවක එම සබඳතාවය දෙදරා යෑම හෝ එක් අයෙකුට සබඳතාවය රැකගැනීම උදෙසා සබඳතාවය තුළ තමා විසින් තමාවම මරාදැමීමට සිදුවේ. නමුත් කුමන කරුණක් අරභයා හෝ අයෙකු තමා විසින්ම තමාව මරාදමනු ලබන්නේ කිසිසේත්ම සතුටින් නම් නොවේ. එවන් තැනක කිසිදා ප්‍රේමයට පැවැත්මක් නොමැත.

අඹුසැමි සබඳතාවයක් හෝ ප්‍රේම සබඳතාවයක් තුළ "අසීමිත නිදහස" යන්න ප්‍රායෝගික තලය තුළ ක්‍රියාවට නැංවීම අතිශය දුෂ්කර ය. පුද්ගල සබඳතාවයක් තුළ "අසීමිත නිදහස" යන්න අරුත්ගැන්වීම දෙදෙනාගේ දැක්ම, ආකල්ප, විශ්වාසය, අවබෝධය සහ අවස්ථාවන්ට අනුව සාපේක්ෂ වේ. එය අප අවබෝධ කරගත යුතු ය. "අසීමිත නිදහස" යන්න පුද්ගල සබඳතා තුළ අවස්ථාවාදී අවියක් බවට පත්කර නොගැනීමට තරම් අප අවබෝධයෙන් යුතු වගකීම් සහගත පුද්ගලයන් විය යුතු යැයි මම සිතමි. අඹුසැමි සබඳතාවය වැනි අතිශය සංකීර්ණ පුද්ගලික සබඳතාවයක් තුළ අයෙකුගේ අසීමිත නිදහස භාවිතය අනෙකාගේ පීඩාවටත්, පීඩනයට, අවමානයට සහ හුදෙකලා වේදනාවටත්, නිදහස සීමා වීමටත් හේතුවන්නේ නම් එය සැබෑ ලෙසම නිදහසක් දැයි වරක් දෙවර්ක් නොව සිය දහස් වාරයක් අප අපගෙන්ම ප්‍රශ්න කළ යුතු ය. මා සිතනා අන්දමට භාෂාව තුළ එයට වෙනම වචනයක් හඳුන්වා දී ඇත. ඒ "ආත්මාර්ථය" යි. අප කිසිසේත්ම ආත්මාර්ථයත් නිදහසත් පටලවා ගත යුතු නැත.

මෙය දාස්ගේත් චන්ද්‍රාගේත් කතාව පමණක් නොවේ. එය වර්තමානයේ බොහෝ ප්‍රේම සබඳතා තුළ, අඹුසැමි සබඳතා තුළ අප නොදකින, අපට නොපෙනෙන පැතිකඩයි. බොහෝ අඹුසැමියන්ගේ විවාහ දිවියේ ප්‍රීතිය සහ ප්‍රේමය රාමු කරන ලද විසල් මංගල සේයාරුවක් තුළ සිරගත වී තිබීම ඉතාමත් කණගාටුදායක තත්වයකි.

සිනමාපටය අවසානයේදී චන්ද්‍රා දාස් වෙත එල්ලකරන්නේ ප්‍රබල පැනයකි.

"දාස්, මම ඔයාගෙ කවුද?"

ඔබ පෙම්වතෙකු/පෙම්වතියක හෝ සැමියෙකු/ බිරිඳක නම් එය ඔබව ඔබගේ ඇතුළාන්තය තුළින් ප්‍රශ්නගත කිරීමට පොළඹවන සුළු ප්‍රබල පැනයකි.

සැබැවින්ම ඔබ ඒ පැනය ඔබගෙන්ම ඇසිය යුතු ය. ඇය/ ඔහු ඔබගේ කවුරුන් ද?

ප්‍රථමයෙන්ම ඔබ ඒ පැනයට ඔබ තුළින්ම පිළිතුරු සොයාගත යුතු ය.

ඉන් පසුව ඔබ දෙදෙනා අතර පවතින සබඳතාවය තුළ අන්‍යෝන්‍ය ගරුත්වය, අවබෝධය, කාලය, සවන්දීම, ආරක්ෂාව, ප්‍රේමය, විශ්වාසය, බෙදාහදාගැනීම අපේක්ෂා කරන්නේ යම් සේ ද, ඔහු හෝ ඇයත් ඒ හා සමානවම ඒවා අපේක්ෂා කරන බව ඔබ වටහාගත යුතු ය. සාර්ථක අඹුසැමි, ප්‍රේම සබඳතාවයක මූලික පදනම ලෙස Freedom at Midnight සිනමාපටය තුළින් මා උකහාගත්තේ ඉහත කී කරුණු ය.

ඔබ විවාහක අයෙකු නම්, පෙම්වතෙකු හෝ පෙම්වතියක නම් මෙම සිනමාපටය අනිවාර්යයෙන්ම නැරඹිය යුතු යැයි මම ඔබට යෝජනා කරමි. ඒ සඳහා වැය කරන අපූරු අඩ හෝරාව ඔබේ යුග දිවියේ අනාගතය සඳහා කදිම ආයෝජනයක් වනු නොඅනුමාන ය.

 හංසිනී කවින්දි

marrikkar

නවතම ලිපි