SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මනුෂ්‍ය සබඳතා සංකීර්ණ ය. විවිධාකාර ය. ගතික ය.

මේ අදහස සිනමාවෙදි නවමුබවක් ඇති කරමින් බිහිවන සිනමා නිර්මාණ ඇත්තේ අල්ප වශයෙනි. එහිදී ප්‍රේමය යන කාරණාව තුළ දි විටෙක එය සරල ස්වරෑපයක් ගනී. විටෙක සංකීර්ණ ස්වරූපයක් ගනී. විටෙක එය බොළඳමය ස්වරූපයක් ගනී. ප්‍රේමය විවිධ ස්වරූපයෙන් ඉස්මතු වෙයි. "On Body and Soul" නම් සම්මානනීය හන්ගේරියානු භාෂිත චිත්‍රපටය ප්‍රේමයේ විවිධ ස්වරූප අතර ඉන් එක් ස්වරූපයක පෙත්තක් කපා පෙන්වන අපුරු චිත්‍රපටයක්.

body and soul 4

ඈ මාරියා ය. ඔහු එන්ඩ්‍රේ ය. මාරියා අතිශයින් රූමත් ය. ඈ සරාගී ය. වීතරාගී ය. වැලමිට තෙක් බ්ලවුසයකින් වැසුණු ඈ කොටට කපන ලද කේෂ කලාපය, වත්සුණු තැවරූ මුහුණ සමඟ ප්‍රේක්ෂකයා හා අභිමුඛ වනුයේ ඈ වෙතින් මොහොතකුදු බැල්මක් ඉවතට නොයවමින්. එන්ඩ්‍රේ සහ මාරියා සම්මුඛ වන්නේ කාර්යාලයීය ජීවිතයක් තුළදී ය. ඇයත්, ඔහුත් දෙදෙනම දකින්නේ එකම සිහිනම ය. ස්වප්නය නම් හිමෙන් වැසුණු පරිසරයක ඔබමොබ හැසිරෙන මුව ජෝඩුවක ය. මුව ජෝඩුවගේ ස්වප්නය සමඟ මේ දෙදෙනාගේ පෙම් හබයට මුල පුරන්නේ හරි අපුරු ආකාරයෙනි. ඇයට කියාගන්නට අපහසු ගිලී ගිය ආදරයක් වෙත ඔහු ඉදිරියේ නතු වී ඇත. ඇයට ප්‍රේමය යන්න නුහුරු බවක් පෙන්වයි. ශාරීරික සබඳතාවලින් තොරව ආදරය කළ හැකි ද යන්න ඇය නිතරම සිතන්නී ය. ඔබ පිළිබඳව මට තිබුණේ අසාමන්‍ය ප්‍රේමයක්.. ඒක අප්‍රකාශිතයි.. අසීමිතයි, අසාමාන්‍යයි.. මාරියා සිතින් යදින්නී ය.

ඔබම තමයි අප්‍රකාශිත ප්‍රේමය!

ඔබම තමයි මම අතින්වත් ඇල්ලුවේ නැති ආදරය!

ඔබම තමයි ප්ලේටොනියානු ප්‍රේමය!

ඒත් ඒක වීතරාගීද?

මට ඔබව බදාගන්නට ඕන වුනා.. ඒක ආදරයකින්..

මට ඔබව සිපගන්නට ඕන වුනා.. ඒක ආදරයකින්.

මට ඔබව අහන්නට දකින්නට ඕන වුනා..ආදරයෙන්..

ඒත් ඒ හැම වෙලාවකම පුදුමාකාර ආදරයක් මිස කිසිම සරාගී හැඟීමක් තිබුණේ නැති බවට මට සහතික වෙන්න පුළුවන්.

 

body and soul 2

මාරියා මැදිව සිටින්නේ අභ්‍යන්තර ගැටුමකට ය. ඇයට යෙහෙළියන් නොමැත. දෙමව්පියන් නොමැත. ඇය හුදෙකලාවක අතරමං වු මුව ධේනුවක මෙනි. මේ දෙපළගේ ප්‍රේමය බැලුබැල්මට පිටතට විනිවිදව නොපෙනෙයි. සිනමාකරුවා මේ චරිත ද්විත්වය අන්ත දෙකක තබා ගෙනයන්නට තැත් කරති. මාරියා සිටින අභ්‍යන්තර ගැටුම(Mental Conflict) නිරූපණය වන්නේ ඇගේ ගුප්තමය ක්‍රියාකලාපය තුළිනි.

චිත්‍රපටය තුළ කලින් කලට ගව ඝාතකාගාරයේ අපුල දනවන දර්ශන සංස්කරණය කරති. සිනමාපටය පුරාවටම රූපමය භාෂාවෙන් ප්‍රේක්ෂකයාව වෙනම ඉසව්වක් කරා රැගෙන යති. දෙබස් අල්ප ය. රූපය ප්‍රබල ය. සිනමාපටයේ රූපය ප්‍රබල බව පෙන්වන නිවස තුළ සිට පිටත පෙනුනද, කිසිවිටෙකත් පිටතින් ජනේලය හරහා කැමරාව නිවාස ඇතුළට එබී නොබලයි. නිවසින් පිටත සිදුවන සියලුම ජවනිකාවන් ආත්මීය දෘෂ්ටිකෝණ (Subjective point of view / Director's point of view) හරහා ප්‍රේක්ෂකයාට ගෙන එයි. එහිදී නිර්මාණකරු පැහැදිලිවම ප්‍රේක්ෂකයා කැමති දේ බැලීමට වැඩා, ඔහු කැමතිදේ ප්‍රේක්ෂකයා විසින් දැකීමට බල කරයි. මෙය එක්තරා දුරකට ආක්‍රමණශීලී ශෛලියක් (Aggressive Style) බවටත් කියවිය හැකි. නිවෙස තුළ සිදුවන සිදුවීම පිටතින් නිරීක්ෂණය Observe කරනවා වෙනුවට අධ්‍යක්ෂවරයා ප්‍රේක්ෂකයාව බලහත්කාරීව (Intrusive / Objective point of view ) නිවසතුළට රැගෙන යාමෙන්, ඔවුන්ගේ ජීවිතවලට ඇති අස්ථාවර හා අනාරක්ෂිත භාවය දැනෙන්නට ඉඩ හරී. "On Body and Soul" චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්නේ හන්ගේරියානු ජාතික අධ්‍යක්ෂකවරියක වන Ildikó Enyediය.

body and soul 3

2017 වර්ෂයේ පැවති හැට හත්වැනි බර්ලින් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය වෙනුවෙන් රන් වළසා සම්මානය දිනාගන්නටත්, 2018 පැවති ඇක්ඩමි සම්මාන උළෙලේදී හොඳම විදේශීය භාෂිත චිත්‍රපටය ලෙස නිර්දේශ නාම ලබාගන්නට "On Body and Soul" චිත්‍රපටය සමත් විය. 'On Body and Soul" යනු ප්‍රේමය හා සබඳතා පිළිබඳ සාපේක්‍ෂව හා යථාර්ථවාදී දෘෂ්ටියක් අපට ඉදිරිපත් කරන චිත්‍රපටයකි. ප්‍රේමයේ කායික ශාරීරික ප්‍රමෝදය උපරිම වු විට ආදරය කිනම් ආකාරයෙන් ඉදිරියට ගලායාවි ද යන්න අවිනිශ්චිත ය. ලොව කුප්‍රකට එවන් ආදර කතාවක් ඇත. ඒ "ඔන් බොඩි ඇන්ඩ් සෝල්"ය.

මලින්ත විතානගේ

https://m.youtube.com/watch?v=0JnAQvRsTLo