SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ෆර්න් ගෙවන්නේ ගැහැණියකට සාමාන්‍යයෙන් ජීවිතයේ විඳින ජීවන රටාවකට සාපේක්ෂ වෙනස්ම වූ ජීවිතයක්.

ෆර්න්ගේ සැමියා මිය ගිහිල්ල, ආර්ථික අවපාතයට හසුවෙලා රැකියාව නැතිවෙලා ඉන්න වෙලාවක ෆර්න් තීරණය කරනවා රට වටේ යන ගමන් යම් යම් තාවකාලික රැකියාවල නිරත වෙන්න. ඒ ගමන එක්ක තමයි එයාට මේ තැන තැන යන නෝමෑඩ් සමුහය හමු වෙන්නේ (nomad community).


ෆර්න්ට ඉන්න හිටින්න තමන්ගෙම කියලා ලස්සන ගෙයක් නෑ. ෆර්න්ට හිසට සෙවණක් කියලා තියෙන්නේ කැරවෑන් එකක්. මේක තමයි ෆර්න්ගේ නිවහන. තැනින් තැනට යන ජංගම නිවහනක්. සංචාරගත ජීවිතයක් උරුම කරගත්ත ෆර්න්ට, එයා වගේම ගෙවන ජිවිතයක් උරුම කරගත්ත පිරිසක් ඉන්නවා. මෙි අය ටිකක් වයසින් වැඩියි. හැබැයි හිතයි, ගතයි දෙකම ශක්තිමත්. මේ සංචාරගත ජීවිකාව අතරේ බොහෝමයක් දෙනා අතර මහා ආර්ථික අවපාතයට හසුවුනු අවිවාහක, වැන්දඹු, දරුවන්ගෙන් වෙන්වුණු නානප්‍රකාර කුටුම්භ ප්‍රවාහයන්ට මැදි වුනු මහලු ඇමරිකානුවන්.


එහෙම ජීවිත ගොන්නක් ගැන කියවෙන චිත්‍රපටයක් තමයි චීන ජාතික කාන්තාවක් වන ක්ලෝයි ෂාඕ ගේ 'Nomadland' (2020) කියන්නේ. විශේෂයෙන් චීන ජාතික කාන්තාවක් විදියට ඇමෙරිකාවේ සිටින මේ තැනින් තැන සංචාරය කරන නිවාස විරහිත මේ ජන කොටස (nomad) ගැන ඇස යොමු කිරීම තුළ යම් විශේෂත්වයක් තියනවා. ආසියාවේ අපි තරමක් නිවසක් එක්ක ජීවත් වෙන්න හුරු වෙච්ච ජාතියක් නිසා නෝමැඩ්වරැන් කියන්නේ අපට මඳක් ආගන්තුකයි. නමුත් ශ්‍රී ලංකාවෙි ජන සමාජය ඇතුළෙත් අහිගුණ්ඨික නමින් හඳුන්වන ජංගම ජීවිත ගෙවපු ජිප්සිස්ලා කොටිඨාසයක් හිටියා.

 

 

nomandland 800 563



විශේෂයෙන් වාර්තාරූපි ස්වභාවයක ලක්ෂණ චිත්‍රපටය තුළ සැමවිටම දකින්න පුලුවන්. චිත්‍රපටය තදින්ම සිතට කා වඳින්නත් එයම හේතුවක් වෙලා තියෙනවා. විශේෂයෙන් ෆර්න්ගේ හැසිරිම සහ ඇය සිටින පරිසරය තුළ නිරායාසයෙන්ම ඇති කරන්නේ යථාර්ථවාදීබවක්. නිර්භීතබවක්. තනිකමට, හුදෙකලාබවට සටන් කරන අභීත ගැහැණියක් තමා ෆර්න් තුළින් දැක්කේ. ෆර්න් වගේ ගැහැණු දෙන්නෙක් මට ජීවිතයේ හමිබවෙලා තියෙනවා. ඒ මගේ ඥාති වෙන අත්තම්මලා දෙන්නෙක්. පුදුමේ කියන්නේ දෙන්නම ෆර්න්ගේ ගති ලක්ෂණවලට සමානයි. වෙනසකට තියෙන්නේ ගෙදරක් තියෙන එක. ගෙදර වුනත් තනියමමයි ඉන්නෙ. අනුන්ට අත නොපා අපුරු ජීවිතයක් ගෙවන්නේ. වයස අවුරුදු හැටක් විතර වුනාට පුදුම විදියට ක්‍රියාශීලී. නිර්භීතයි.

මාධ්‍යවේදී ජෙසිකා බ්රූඩර් විසින් රචනා කෙරුණු Nomadland: Surviving America in the Twenty-First Century ප්‍රබන්ධ නොවුණු (non-ficton) නවකතාව ඇසුරු කරගෙන අපුරු ලෙස සෙලියුලයිඩි පටයට නගන්නට චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය වුද, තිර රචකයා වුද, සංස්කරණ ශිල්පියා වුද, ක්ලෝයි ෂාඕ සමත් වෙලා තිබෙනවා. සම්මාන පිට සම්මාන ලැබු ඇමෙරිකානු නිළි ප්‍රාන්සෙස් මැක්ඩොමන්ඩ් මෙහි ප්‍රධාන චරිතය වන ෆර්න් ගේ චරිතයට පණ පොවන්නේ. ඇයගේ චිත්‍රපට අතර "නොමැඩ්ලැන්ඩි" යනු සැබැවින්ම ඇගේ අද්වීතිය රංගනයක්. චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කර තිබෙන්නේ ලුදොවිකෝ එයිනොඩි විසිනි. පසුබිමි සංගීතය සැබැවින්ම චිත්‍රපටයට සපයන්නේ මනා ආලෝකයක්. චිත්‍රපටයට අවශ්‍ය හුදෙකලාබව, තනිකම මේ හැඟීම නිරායාසයෙන්ම මේ පසුබිමි සංගීතය සිත්සතන් තුළ ඇති කරනවා.

 

 

hyjuikk



අපි වුනත් ලෝකේ සතරදිග්බාගයේ ඇවිද්දත් ගෙදර එන්නේ කොයිවෙලෙද කියන එක ඉවසුමක් නෑ. තමන්ගේ ගෙදර හැර අන් සැපතක්, සතුටක් වෙන කොහෙද? හැබැයි ෆර්න්ට ඒක නෑ. ෆර්න් කරන්නේ නිවාසය කියන එක පසෙකලා උඩුගං බලා පිහිනන එක. අතේ අරගෙන යන්න පුළුවන් දෙයක් ඇර ෆර්න් සතුව වෙන මුකුත් පොදි ගහගෙන නැහැ. ෆර්න්ට තියෙන්නේ දේපළකට කියලා තියෙන්නේ හැමදාම දකින පුළුන් කැටි වගේ වළාකුළු පිරුණු අහසයි, අවංකකමයි විතරයි. අපේ නාමික බෞද්ධයෝ වගේ සල්ලි කඳු, රත්තරං බඩු, දේපළ ගොඩගහගෙන නෑ. බාහුභාණ්ඩිකබවත් එක්ක මේ ජීවන යාත්‍රාව නිදහසේ ගමන් කරන්න බෑ කියලා ෆර්න් දන්නවා. සරලකමක් ඇතුළේ ෆර්න් ගෙවන්නේ මානසික සුවයක් එන්නත් කරගත්ත ජීවිතයක්.

මේ නොමෑඩ් ප්‍රජාව කවදාවත් අවසාන සමුදීමක් (final goodbye) කාටවත් කරන්නේ නැහැ. මොකද මේ යන පාරේ අතරමඟ කොහේ හෝ අපි නැවත එකිනෙකා මුණගැහෙන්න පුළුවන් නිසා. ඒ කියන්නේ වෙනස් දේ දැකීම සහ එකම දේ නැවත නැවත සිදුවෙන්න පුළුවන් කියල එයාල හිතනවා (difference and repetition).

අපි තීන්දු තීරණ ගන්නේ අනෙකාට ඕන විදියට. සත්තකින්ම අපි ජීවත් වෙන්නේ අනුන්ට ඕන විදියට. හැම වෙලාවෙම ජීවිතයේ වෙනස් දෙයක් කරන්න හරි අපි බයයි. බයයි නෙමෙයි වෙනස් දෙයක් කරන්න තියෙන උවමනාව නැතිකම.

nomandland 2

පසු කතාව -;

2020 දී ඇමෙරිකානු ජාතික සමාලෝචන මණ්ඩලය සහ ඇමරිකානු චිත්‍රපට ආයතනය විසින් වසරේ හොඳම චිත්‍රපට දහයෙන් එකක් ලෙස නම් කෙරුණු "නෝමැඩ්ලැන්ඩ්" චිත්‍රපටය 78 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී නාම යෝජනා 4 ක් ලබා හොඳම වෘත්තාන්ත චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මාන ලැබීය. මෙම සම්මානය සමඟ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළකදී හොඳම අධ්‍යකවරයාට හිමි සම්මානය දිනාගත් පළමු ආසියානු කාන්තාව ලෙස චීන ජාතික 'ක්ලෝයි ෂාඕ' ඉතිහාස ගතවිය. ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයන්ට අමතරව පසුගිය දා පැවති ඇකඩමි සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය සඳහාද සම්මාන පිට සම්මාන ලබන්නට "නෝමැඩ්ලැන්ඩි" චිත්‍රපටය සමත් වුනා. වැනිස් චිත්‍රපට උලෙළේදී 'ගෝල්ඩන් ලයන්' සම්මානයද, ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදී 'පීපල්ස් චොයිස්' සම්මානයද, ඇතුළුව සම්මාන ගණනාවකට මෙම චිත්‍රපටය උරුමකම් කීය.

 


මලින්ත ඉමල්ක විතානගේ