'ඔහු ඇයගේ හදවතේ ගින්දර නොදකිනවා පමණක් නොව එය දකින්නට හෝ ඔහු දකින සෙල්වී නම් ස්ත‍්‍රී රූපකායෙන් එහා ඇය හඳුනාගන්නට හෝ ඔහුට අවැසි නැත'
ලාංකේය සිනමා කලෙක සිට අරක් ගෙන ඇති සිංහල බෞද්ධ, වීර කතා රැල්ලේ සිනමාවෙන් හෙම්බත්ව සිටි මොහොතක ප‍්‍රසන්නගේ පැමිණීම ම සිත බලාපොරොත්තු ඇති කරන සුළුය. ප‍්‍රසන්නගේ 'ඔබ නැතුව ඔබ එක්ක' සිනමා පටය නැරඹූ මොහොතේ අසිරිමත් සිංහල සිනමාවේ මුදු සුළං පොදක් විඳ ගැනීමේ ප‍්‍රහර්ෂයෙන් මා ඇළලී ගිය බව කිවමනාය.
'ඔබ නැතුව ඔබ එක්ක' සිනමා කෘතිය පිළිබඳ ලියැවුණු බොහෝ විචාර කියවා තිබුණද චිත‍්‍රපටය නැරඹීමෙන් පසු ඒ එකදු විචාරක මානයකට හෝ ප‍්‍රසන්නගේ ස්ත‍්‍රී පුරුෂ ආදරය පිළිබඳ නව කියවීම එතරම්ම ප‍්‍රබල ලෙස ග‍්‍රහණයව නැතැයි හැඟෙයි.
එසේවතුදු එකී රූපමය කියවීම ප්‍රේක්ෂකයා වෙත ප‍්‍රක්ෂේපණය කරන තත්‍ය මිනිස් හැසිරීම්, විවිධ අර්ථකථන විවිධ හඳුනාගැනීම් සහ අනේක විධ පැහැදිලි කිරීම් වලට යමෙකු පොළඹවන සුළු බවද පිළිගත යුතුය.
සරාගී අඩනිරුවත් ස්ත‍්‍රීත්වයේ හා ස්ත‍්‍රී පුරුෂ බව වෙන් කොට හඳුනාගත නොහැකි තරමේ ලාලිත්‍යයකින් පිරී පුරුෂ ශරීර තුළින් සැලෝලයිඩ් ෆැන්ටසියක් ගොඩනගා ප්‍රේක්ෂකාගාරයට ක්ෂණික මෝචනය කිරීමට සලස්වන සිනමාකරුවන් අතර, සරත්සිරි හා සෙල්විගේ හැසිරීම් පමණක් නොව ඔවුන්ගේ ස්වරූපයෙන් පවා භාවමය කම්පනයක් ප්‍රේක්ෂකයා තුළ ඇතිකරන්නට ප්‍රසන්න විතානගේ සමත්වෙයි.
නිහඬ අවකාශයක ගිල්වා ඇති එම චරිතද්වය සෙමින් ප්‍රේක්ෂකාගාරයට පැමිණ එහි සෑම හදවතකටම තට්ටු කරයි.
'හුදෙක් මේ ආදරය යුතෝපියාවකැයි යමෙකු සිතන්නට ඉඩ තිබුණද ඒ සෙල්වී තුළ මමද ජීවත්වන බැව් මා දනිමි.'
විටෙක සෙමින් පිරිමදිමින්ද විටෙක සියුම් කොනිත්තුමකින් වේදනා ඇතිකරමින්ද ඔවුන් පැන යනුයේ ප්‍රේක්ෂකයා භාවමය හා බුද්ධිමය ප‍්‍රකම්පනයකට නතු කරමිනි.
ප‍්‍රසන්නගේ සිනමා භාවිතය සුවිශේෂී වනුයේ පවත්නා සමාජ දේශපාලනික ප‍්‍රවාහයේ අර්බුදයන් සිය සිනමාත්මක කතා සංදර්භය වශයෙන් ප‍්‍රස්තුත කරගන්නා අතරම එය, සංකීර්ණ මිනිස් චිත්ත ධාරාවන් හා ගැට ගැසීමට ඔහු තුළ පවත්නා ඉසියුම්භාවය නිසාය.
ඔහුගේ සිනමා ඉතිහාසයම එක් පසෙක තැබුවද මිනිස් හදවත ප‍්‍රකම්පනය කරන සුළු, ප්‍රේක්ෂකාගාරය ස්වකීය සිනමාත්මක අත්දැකීම හා අත්‍යන්තයෙන්ම බැඳෙන සුළු, 'ඔබ නැතුව ඔබ එක්ක' සිනමා කෘතිය අනෙක් පසෙක තැබිය හැකි තරම් වෙසෙස්ය.
සමස්ත සිනමා කෘතියෙහීම 'ඔහුගේ' නම සිරි ලෙස එක්වරකදී හැර අන් කිසිදු තැනක ඔහුගේ හෝ ඇයගේ නම් පිළිබඳ හැඟවුමක් නැත. එවැනි හැඟවුමක අවශ්‍යතාවයක්ද සමස්ත සිනමා කෘතිය තුළින් ඉල්ලා නොසිටියි.
අනෙක් අතින් එහි මම ද ජීවත් වෙමි. ඔබ ද ජීවත් වනු ඇත. එම චරිතද්වය නාමික අනන්‍යතාවයක ගිල්වා ඔබට මට එහි ජීවත් වීමට ඉඩහසර අහිමී කිරීමට තරම් ප‍්‍රසන්න කුහකයෙකු වී නොමැත.
'ඔබ නැතුව ඔබ එක්ක' සිනමා කෘතිය පශ්චාත් යුද පසුබිමක් තුළ දිගහැරෙමින් අති සංකීර්ණ මිනිස් සම්බන්ධතා සංකේතාත්මක කියවීමකට ලක්කරයි.
'එහි මම ද ජීවත් වෙමි. ඔබ ද ජීවත් වනු ඇත. එම චරිතද්වය නාමික අනන්‍යතාවයක ගිල්වා ඔබට මට එහි ජීවත් වීමට ඉඩහසර අහිමී කිරීමට තරම් ප‍්‍රසන්න කුහකයෙකු වී නොමැත.'
බොහෝ සිනමාකරුවන් ස්වකීය සිනමාත්මක අත්දැකීම වශයෙන් යුදමය පසුබිම හෝ පශ්චාත් යුදමය පසුබිම තුළ වාර්ගීක අර්බුදයේ ශේෂයන් ප‍්‍රස්තුත කරගනිමින්, එහි වේදනාත්මක නටබුන් සිය කතාවට පසුබිම් කර ගත්තද ප‍්‍රසන්න මෙහිදී එකදු මිලීටරීමය අත්දැකීමක් හෝ හසුකර නොගැනීමට ප‍්‍රවේසම් වෙයි.
එහෙත් පශ්චාත් යුද පසුබිමක යුද්ධයේ අවශේෂයන් මත සරත්සිරි හා සෙල්වි පිහිටුවමින් ස්ත‍්‍රී පුරුෂ ආදරය පිළිබඳ ප‍්‍රබල කියවීමක යෙදෙනුයේ ආදරය පිළිබඳ කෙළවරක් නොමැතිව නිර්වචන සපයන ඊනියා රෝමාන්තිකවාදීන්ට නව කියවීමකට ප‍්‍රවේශයක් සපයමිනි.
"එයාගේ ඇස්වලින් තොල්වලින් මම දැක්කේ ගින්දර."
උකස්බඩු කඩයක කවුන්ටරයට එපිටින් පෙනෙන වේදනාභරිත විසල් දෑස් විසින්, නිහඬ මුවඟක පිරිපුන් දෙතොල් විසින්, සරත්සිරිගේ හැඟීම් විරහිත දෑස් තුළ ලාලාසාව දල්වයි.
ඔහු දකිනුයේ ඔහුට දකින්නට අවැසි දේ පමණය. ඔහු ඇයගේ හදවතේ ගින්දර නොදකිනවා පමණක් නොව එය දකින්නට හෝ ඔහු දකින සෙල්වී නම් ස්ත‍්‍රී රූපකායෙන් එහා ඇය හඳුනාගන්නට හෝ ඔහුට අවැසි නැත.
ඇය කවරෙකුද කොහි සිට පැමිණියාද යන්න ඇයගෙන් නොවිමසන ඔහු තමා කවරෙකුද යන්න හඳුන්වාදීමට හෝ උත්සාහ නොදරයි. එය ඔහුට 'වැඩක් නැත'.
'සරත්සිරි හා සෙල්විගේ හැසිරීම් පමණක් නොව ඔවුන්ගේ ස්වරූපයෙන් පවා භාවමය කම්පනයක් ප්‍රේක්ෂකයා තුළ ඇතිකරන්නට ප්‍රසන්න විතානගේ සමත්වෙයි'
ඔහුගේ අතීතය අමිහිරි හෙයින් ඇය ගැන විමසීමෙන්, ඔහු ගැන වීමසීමට ලැබෙන ඉඩකඩ වැළැක්වීමට එය මට වැඩක් නැතැයි ඔහු සිතුවා විය හැකිිය. අනෙක් අතින් ඔහුට දකින්නට අවැසි වු සීමාව තුළ ඇයගේ අතීතය නොතිබුණාද විය හැකිය.
එසේවතුදු මහු ඇය පිළිබඳ පූර්ණ විශ්වාසය තබා ඇත්තේ නොවේද?
"මට කවුරුත් නෑ ඔයා ඇරෙන්න."
ඔහුගේ ලාලාසාව දැල්වු දෑස් උකස්බඩු කඩයේ කවුන්ටරයට එපිටින් ඇය පසුපස ගියද හුදෙක් ඔහුට ඇය කෙරෙහි ඇත්තේ ලිංගික ආසක්ත වීමකැයි සිතන්නට උක්ත දෙබස් ඛණ්ඩය ඉඩනොදේ.
කිසිදු චරිතයක් කළු - සුදු අන්තයකට ගෙන නොයෑමට තරම් ප‍්‍රසන්න සූක්ෂමය. කළු - සුදු මධ්‍යයකට එකී චරිත කැඳවා යන ප‍්‍රසන්න, සරත්සිරි ගොඩනගා ඇත්තේ ස්ත‍්‍රීවාදී දෘෂ්ඨියකින් බලා යැයි මට හැඟෙ.
බොහෝ සිනමාකරුවන් අතින් සිදුනොවන්නේද එයමය.
ගැහැණිය හෝ පිරිමියා දෙස පුරුෂවාදී දෘෂ්ඨියෙන් නිර්වචන සපයන බොහෝ සිනමාකරුවන් අතර ප‍්‍රසන්නගේ මෙම සිනමා කෘතියෙහි අපූර්වතම බව ඇත්තේද එහිය. පුරුෂවාදී අර්ථයෙන් සරත්සිරි දෙස බැලූවේ නම් මෙතරම් අවංක කියවීමක් සිදුනොවේයැයි සිතමී.
'ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය යළි යළිත් ප‍්‍රශ්න කෙරෙන, පුරුෂාධිපති මෙහෙයවීම තුළ සමාජ නොනිල බලය මෙන්ම කුටුම්භගත බලය දරන්නා තමා බව ඔහු ඇයට ප‍්‍රත්‍යක්ෂ කරයි'
තමාගේ සිහින දකින්නට අවැසි නිසා ඇයගේ සිහින ගැන නොසිතන්නට නොඅසන්නට ඔහු ප‍්‍රවේසම් වෙයි. ඇයගේ සිහිනමය කල්පනාවන් තම සිහින දැකීමට බාධාවක් වේයැයි ඔහු බිය වෙයි.
එහෙත් ඔහු ඇයට ආදරය නොකළේ යැයි කිව හැකිද?
"ඔයාව දැකපු මුල් දවසේ ඉඳලා මම ඔයාට ආදරේ කළා".
"ඔයාගේ ආදරේට මම භය වුණා. මම නිහඬ වුණා."
ඔහු ඇයගේ විසල් දෑස් තුළින් ගලා ගිය ආදරය බාරගනුයේ ඔහුගේම ක‍්‍රමයකටයැයි හැගේ.
හමුදා සොල්දාදුවෙකු වශයෙන් සිටියදී ද්‍රවිඩ තරුණියක දුෂණය කළ තම මිතුරන් තිදෙනාව බේරා ගැනීමට හමුදා අධිකරණයට බොරු සාක්ෂි ලබා දුන් වරදකාරී හැඟීමකින් තැවෙන ඔහු, සෙල්වි විවාහ කර ගැනීමෙන් ඒ වරද නිවැරදි කර ගැනීමට උත්සාහ දැරුවාද විය හැකිය.
තමා අතින් වරදක් වූ බව දැනීම හා ඉන් රහස්‍යමය පීඩාවකින් පෙළෙන ඔහු, රෙස්ලින් ක‍්‍රීඩාව බලා සිය පරපීඩක මිලීටරී හැඟීම් විරේචනය කීරීමට දරන උත්සාහය ඔහු මුළුමනින් කළු චරිතයක් කිරීමට නොපෙළඹවයි.
යුද්ධය අවසන් වුවද උතුරේ ද්‍රවිඩ මිනිසුන් තුළ ඇති කළ බිය, සියල්ල අහිමි විම පිළිබඳ වේදනාව සුවපත්ව ඇතැයි කිව හැකිද?
ශ්‍යාම් ප‍්‍රනාන්දුගේ අතිවිශිෂ්ට සාත්වික අභිනය වේදිකාවෙන් ඔහු ලැබු පරිචයම මිස අනෙක් කිසිවකුත් නොවේයැයි සිතමී. කිසිදු විටෙක නොවෙනස්වන දිගු හුදෙකලා බැල්මක් රඳවා ගත් දෑසක් ද අවස්ථානුකූලව ඔහුගේ සෑම සියුම් මස්පිඩුවක්ම වෙනස්වන අපූරු භාව විමෝචනය හා අතිසියුම් රංග ලීලා පිරී ඒ තාරුණ්‍යය, ෆැන්ටසි සිනමාවේ ස්ත‍්‍රී භාව ලීලා පිරි පුහු වීර ප්‍රේමවන්තයින් බියපත් කරන සුළුය.
ඇය, යුද්ධය විසින් ඇයට අහිමි කළ සියලූ දේ අතර ඉතිරි වූ පැළඳ සිටි කනකර බඩු ද ඔහු සන්තකයේ උකස් තැබුවාය.
ඉනික්බිතව ඇය තම ආසාවන්, ජීවිතය, ආදරය, හැඟීම්, බලාපොරොත්තු සහ සිහින ඔහු සන්තකයේම තැබීමට තීරණය කළාය. ඔහු හිමිකර ගැනීම තුළින් ඇය සුරක්ෂිතභාවයක හැඟීමෙන් පිනා ගියාය.
ෆැන්ටසි සිනමාවෙන් ඉල්ලා සිටින මසින් පිරි ධවල පැහැ අඩනිරුවත් ශරිර තුළින් එහා ඇය සමස්ත තිරය පුරා විසල් උන්මාදනිය දෑසකින්ද පිරිපුන් දෙතොලින්ද තළෙළු පැහැයෙන්ද නිහඬ තිලකයෙන්ද ආලේඛ්‍ය සිතුවමක් මෙන් නැගී සිටීයි. එකී ස්ත‍්‍රී රූපය විග‍්‍රහ කරගත නොහැකි වෙන් කොට හඳුනාගත නොහැකි භාවයන් පිරි ගැඹුරුතම කාව්‍යයක් බඳුය.
උතුරේ දෙමළ වැසියන්ගේ ජිවිත තුළින් අකා මකා දැමිය නොහැකි තරමේ කම්පනයක් ඉතිරි කළ යුද්ධයේ බියකරු මතකයන් පිරි අතීතයක් ඇයටද වෙයි. ඔහුගේ රහස ඇය හමුවේ හෙළි කළ මොහොතේ ඔහු සම්පුර්ණ මානසික නිදහස හිමිකර ගත්තද ඉන් ඇය දරුණු තිගැස්මකට ලක්වෙයි.
යුද්ධය අවසන් වුවද උතුරේ ද්‍රවිඩ මිනිසුන් තුළ ඇති කළ බිය, සියල්ල අහිමි විම පිළිබඳ වේදනාව සුවපත්ව ඇතැයි කිව හැකිද?
“ඇයට පරිපූර්ණ බිරිඳක් වීමට අවැසි විය. ඔහුගේ ආදරය මුළුමනින් ඇය වෙත දිනා ගන්නට ඇයට අවැසි විය.”
සියලු ද්‍රවිඩ වැසියන් ඊළාම් ත‍්‍රස්තයන් කළ දකුණ හා සිය ජාතිකත්වය ගැටෙන සෑම මොහොතකම ඔවුන් තූළ මේ තිගැස්ම ඇති නොවේ යැයි කිව නොහැකිය. ඒ තිගැස්ම දශක ගණනක් මුළුල්ලේ ශාරීරිකව හා මානසිකව ඔවුන් තුළ ඇති කළ පීඩනය, කම්පනය සෙල්වී ගොදුරු කරගත් විශාදය ලෙසම ඒ මිනිස් ශරීරයන්ගෙන් පුපුරා යනු ඇත.
"පට්ට බැල්ලි! කට වහපන් මම නැත්නම් උඹට ඔය කටින් කතා කරන්නවත් හම්බවෙයිද?"
සරත්සිරි තුළින් පැන නගිනුයේ ශිෂ්ටාචාරයේ යම් දිනෙක ඔවුන්ට පවරා දුන් පුරුෂ මූලිකත්වයේ අභිමානයයි.
ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය යළි යළිත් ප‍්‍රශ්න කෙරෙන, පුරුෂාධිපති මෙහෙයවීම තුළ සමාජ නොනිල බලය මෙන්ම කුටුම්භගත බලය දරන්නා තමා බව ඔහු ඇයට ප‍්‍රත්‍යක්ෂ කරයි. ඇයගේ නිදහසට ඇයගේ හඬට ඇති අවකාශීය පරිමාවේ සීමාව මහු මෙම ප‍්‍රකාශනයෙන් නිර්ණය කොට දක්වයි.
'හම්පඩ නාකියෙකුට' ඇය හසුවීම වළකා ඇයට ජීවිතය දීමේ හිලව්වට ඇය සියල්ල නිහඬව ඉවසිය යුතුය යන ආත්මාර්ථකාමී පුරුෂාධිපත්‍යයීක අස්ථානය සරත්සිරි දරයි.
එහෙත් ඇය නිහඬ වූ මොහොතේ එය දරන්නට තරම් ශක්තියක් ඔහුට නැත.
ඔහු සඟවා සිටි රහස විසින් ඔහු කොතෙක් ව්‍යාකූල කර තිබුණේද යන්න පැහැදිලි වනුයේ එකී රහස හෙළි කිරීමෙන් පසු එතෙක් පැවති දිගු නිහඬ බැල්ම, දැඩි හැඟීම් විරහිත මුහුණෙහි මන්දස්මිතයත් දෑසෙහි නළියන ජීවිතය පිළිබඳ ලාලාසාවත් දැකීමෙනි.
“සරත්සිරි තුළින් පැන නගිනුයේ ශිෂ්ටාචාරයේ යම් දිනෙක ඔවුන්ට පවරා දුන් පුරුෂ මූලිකත්වයේ අභිමානයයි”
ඇයගේ නිහඬ ව‍්‍රතය දැරිය නොහැකිව ඔහු හඬනුයේ ඇයිද?
කවුලූවෙන් එහා පෙනෙන තේ කෑල්ල මිලට ගැනීමට උකස් බඩුකඩයෙන් ලැබෙන රුපියල පවා එකතු කළ සරත්සිරි කඩය විකුණා දමා ඇය වෙනුවෙන්, ඇයගේ සිහින එළි කිරීමට ඉන්දියාවේ යන්නට විජේ රඟන චිත‍්‍රපටි බැලීමට යාමට සිතනුයේ මන්ද?
අන් කිසිවක් නිසා නොව ඇය පරිපූර්ණ කළ ජීවිතයට ඔහු ආසක්ත වූ බැවිනි. හුදෙකලාව තුළ පීඩා විඳිමින් ගත කළ ජීවීතයට ඇගේ විසල් තෙතභරිත දෑස් අස්වැසිල්ලක් ගෙන ආ හෙයිනි. ඇගේ ස්ත‍්‍රී ශරීරයෙහි සැඟවුණු මිහිර ඔහු සොයාගත් හෙයිනි. ඇය නිහඬ වූ පසු ඒ හඬ ඒ සෙවනැල්ල ඔහු වසා පැතිර තිබු බව ඔහු අවබෝධ කරගත් හෙයිනි. අවිඥානිකවම ඔහු ඊට මුළුමනින් ආසක්තව සිටී බැව් ඔහුට හැඟී ගිය හෙයිනි.
කුටුම්භගත ජීවීතය තුළ උනුන් නිවැරදිව හඳුනාගත් මොහොත මේයැයි මා සිතමි.
"ඔයාට ඕන විදිහේ නෝනා කෙනෙක් වෙන්න බැරිවෙයි කියල මම බය වුණා."
ඇයට පරිපූර්ණ බිරිඳක් වීමට අවැසි විය. ඔහුගේ ආදරය මුළුමනින් ඇය වෙත දිනා ගන්නට ඇයට අවැසි විය.
එහෙත් පෙරළා උනුන් වෙත පිදු ආහ්ලාදජනක ආදරය හමුවේ ඔවුන් එහි පරිපූර්ණත්වය ළඟාකරගැනීමට දැරූ ප‍්‍රයත්නය හමුවේ ඒ වෙත ළඟාවීමෙන් මෙහා රැඳී ඇති මිහිර ඇය අවබෝධ කරගත්තාය. කිසිවක් සිදුවී අවසාන වීමට පෙර සිදුවෙමින් පැවතීම තුළ පවත්නා අපූර්වත්වය ඇය පිළිගත්තාය.
පරිපූර්ණ අවසානයකට ළඟාවීම තුළ ඇති කෙරෙන සංහිඳියාවට වඩා නොඉවසුම් මොහොත ඇය හදවතින් වැළඳ ගත්තාය.
සදාකල් එය විඳිනු රිසිවූ ඇය, එය පරිපූර්ණත්වයකට ලක්වීම වැළැක්වූවාය.
ඉදින්, ඒ සියදිවි නසා ගැනීම සභා තොමෝ සතුටින් විසිර ගියා යැයි පැවසීමට වඩා අභ්ලාදජනක නොවන්නේද?
"ඕනේ කෙනෙක් එක්ක මයාට යන්න තිබුණා. කැමති කෙනෙක් එක්ක යාලූවෙන්න තිබුණා. එක පාරක් මං දිහා බලලා හිනාවුණා නම්..........."
එසේ වූවා නම් ඔහුගේ ජීවිතය වෙනස් වෙන්නට තිබුණායැයි අපිට කිව හැකිද? කුටුම්භගත ජීවීතය සම්ප‍්‍රදායික අන්තයකට තල්ලූ වීමට ඉඩකඩ තිබියදී වුවද ඇය, ඔහු රැගෙන ගියේ වෙනස් අන්තයකටය.
පරිසමාප්තියකට එළැඹීමට වඩා මතුසම්බන්ධ වීම ආශාව ඇති කරවන්නකි. නොඉවසුම ඇතිකරවන්නකී. ඇය සිදුකළේ ඇය නැතිව ඇය සමඟ ජීවත් වීමට ඔහුට ඉඩහැරීම තුළ ඇය කෙරෙහි නොසංසිඳෙන ආදරයක් ඔහු තුළ ඉතිරි කිරීමය.
හුදෙක් මේ ආදරය යුතෝපියාවකැයි යමෙකු සිතන්නට ඉඩ තිබුණද ඒ සෙල්වී තුළ මමද ජීවත්වන බැව් මා දනිමි.
ප‍්‍රසන්නගේ මේ සිනමාත්මක කියවිම මට සුවිශේෂී වන්නේද අසිරිමත් වන්නේද එනිසාමය.
ලේඛිකා ජයනි අබේසේකරගේ සටහනක්.