ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනය තුළ දැවැන්ත වෙනසක පෙරනිමිති පහළ වෙමින්
පවතින බව වාර්තා වේ. ඒ අනුව, වත්මන් සභාපති ශම්මි සිල්වා පමණක් හෝ සමස්ත විධායක කමිටුවම මෙම සතිය තුළ සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට ඉඩ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙය ඔවුන්ගේ දිගුකාලීන පාලනයේ අවසානය සනිටුහන් කරනු ඇති අතර, මෙරට ප්‍රමුඛතම මෙන්ම වැඩිම අවධානයක් දිනාගත් ක්‍රීඩා ආයතනය මෙහෙයවීම සඳහා අන්තර්කාලීන පාලන මණ්ඩලයක් පත් කිරීමට රජයට මින් අවස්ථාව උදා වනු ඇත.
ජාතික කණ්ඩායමේ අඛණ්ඩ පසුබෑම සහ පරිපාලන අක්‍රමිකතා හා දූෂණ චෝදනා හේතුවෙන් මහජනතාව තුළ ඇති වී තිබෙන දැඩි කලකිරීම මීට ප්‍රධාන හේතුව වී ඇත. මේ හේතුවෙන් දිගු කලක් තනතුරු දැරූ ක්‍රිකට් නිලධාරීන්ට ඉන් ඉවත් වන ලෙසට වත්මන් ජාතික ජන බලවේග (NPP) රජයෙන් දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බව පසුගිය සති කිහිපය පුරා ක්‍රීඩා අංශයේ කතාබහට ලක්විය. ප්‍රතිසංස්කරණ සඳහා වූ ඉල්ලීම් මේ වන විට, වගවීම සහ ව්‍යුහාත්මක වෙනස්කම් ඉල්ලා සිටින ප්‍රබල ඒකාබද්ධ හඬක් බවට පත්ව තිබේ.
ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා
ශම්මි සිල්වා ට සමීප ආරංචි මාර්ග සනාථ කරන්නේ, සිය ඉල්ලා අස්වීමේ ක්‍රියාවලිය (exit strategy) සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ක්‍රිකට් සභාපතිවරයා පසුගිය සිකුරාදා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ඇති බවයි. සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම බොහෝ දුරට ස්ථිර බවක් පෙනෙන්නට තිබුණද, සෙසු විධායක කමිටු සාමාජිකයන් ද ඒ අනුව ක්‍රියා කරනු ඇත්ද යන්න පිළිබඳව තවමත් පවතින්නේ අවිනිශ්චිතතාවකි. ඇතැම් සාමාජිකයන් තම ධුර කාලයේ ඉතිරි මාස අටක කාලය සම්පූර්ණ කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වන බැවින්, මෙය බෙදුණු සංක්‍රාන්තියකට මඟ පාදනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අපේක්ෂිත වෙනස්කම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ රජය මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැත. මේ සම්බන්ධයෙන් විමසීමට ශම්මි සිල්වා කිසිදු මාධ්‍ය ප්‍රකාශයක් දීමට තවමත් ඉදිරිපත් වී නැති අතර, එහෙත් වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවන බව ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි. එය කෙසේ සිදුවනු ඇත්ද යන්න තවමත් පැහැදිලි නැත. නව නිලවරණයක් පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී පරිපාලනයක් පත් කරන තුරු අන්තර්කාලීන කමිටුවක් පත් කිරීමට හෝ ආයතනයේ පාලනය නිසි බලධාරියෙකු යටතට පත් කිරීමට රජයට හැකියාව ඇත.
අතීතය සහ නෛතික පසුබිම
ශ්‍රී ලංකාවේ 1973 ක්‍රීඩා පනතට අනුව, ක්‍රීඩා පාලක මණ්ඩල විසුරුවා හැරීමේ පුළුල් බලතල ක්‍රීඩා අමාත්‍යවරයාට හිමි වන අතර, මීට පෙරද එවැනි අවස්ථා දැකගත හැකි විය.
-
2015 වසරේදී හිටපු ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණිගේ ප්‍රධානත්වයෙන් අන්තර්කාලීන කමිටුවක් පත් විය.
-
2018 දී තිලංග සුමතිපාල ගේ නිල කාලය අවසන් වීමෙන් පසු එවකට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් කමල් පද්මසිරි ව නිසි බලධාරියා ලෙස පත් කරන ලදී.
කෙසේ වුවද ඉන් අනතුරුව, ක්‍රීඩා පිටියේ ප්‍රතිඵලවල උස් පහත් වීම් මධ්‍යයේ වුවද ශම්මි සිල්වා ක්‍රිකට් ආයතනයේ බලය තහවුරු කරගෙන සිටීමට සමත් විය. ඔහුය ICC යේ ඉහළම සහයෝගයද නිරන්තරයෙන් ලැබුනු බවද ස්ථිරය. බොහෝ දුරට ශම්මි සිල්වාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉහළ පුටුවක් ලැබෙනු ඇති බවටද පසුගිය කාලය තුළ කතාබහකට ලක් ව පැවතුනි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අවදානම
කෙසේ වෙතත්, මෙවැනි දේශපාලනික මැදිහත්වීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පාලන රාමුවට පටහැනි වන අතර, ඔවුන් සාමාජික මණ්ඩල වෙත කෙරෙන දේශපාලන මැදිහත්වීම් තරයේ ප්‍රතික්ෂේප කරයි. 2023 දෙසැම්බර් මාසයේදී ද මෙවැනිම මැදිහත්වීමක් හේතුවෙන් ශ්‍රී ලංකාවට ICC පූර්ණ සාමාජිකත්වයෙන් තාවකාලික තහනමක් පැනවුණු අතර, ඒ හේතුවෙන් 2024 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ සත්කාරකත්වය ද ශ්‍රී ලංකාවට අහිමි විය.
වෙනසක් සඳහා වන බලපෑම
එකම පරිපාලනයක් යටතේ ගත කළ පසුගිය වසර හතක කාලය තුළ පැහැදිලි අසමතුලිතතාවක් නිර්මාණය වී ඇත. නායකයින්, පුහුණුකරුවන්, තේරීම් කමිටු සහ ක්‍රීඩකයන් නිරන්තරයෙන් වෙනස් වුවද, විධායක කමිටුව බොහෝ දුරට නොවෙනස්ව පැවතුණි. මෙම තත්ත්වය වගවීමක් නොමැති පරිසරයක් නිර්මාණය කිරීමට හේතු වී තිබේ.
අනුක්‍රමික ක්‍රිකට් පරිපාලනයන් දිගින් දිගටම දූෂණ චෝදනාවලින් වැසී ගොස් ඇත. ඒවා ඔප්පු වුවද නැතද, එමගින් මහජන විශ්වාසය පළුදු වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තොරතුරු දැනගැනීමේ පනත යටතට පත් කිරීමට ද විරෝධය පළ කර ඇති බැවින් එහි විනිවිදභාවය ද සීමිතය. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල පහත වැටීම සහ ජාත්‍යන්තර පිටියේ අඛණ්ඩ දුර්වල ක්‍රියාකාරකම් හේතුවෙන් වත්මන් ක්‍රිකට් පරිපාලනය කෙරෙහි රජය දැඩි අප්‍රසාදයෙන් පසුවන බව පැහැදිලිය. ගිය වසරේ යළි තේරී පත් වූ ශම්මි සිල්වා ගේ නිල කාලය තාක්ෂණික වශයෙන් 2027 මැයි දක්වා පැවතුණද, මේ වන විට වෙනසක් සඳහා ජනිත වී තිබෙන රැල්ල කිසිසේත් වළක්වාලිය නොහැකි වනු ඇත.

