SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

දශක ගණනාවක් පුරා ඊශ්‍රායල දේශපාලනයේ නොසෙල්වෙන දැවැන්තයකු වූ බෙන්ජමින් නෙතන්යාහුගේ

බලකොටුව දෙදරුම් කෑමේ පෙරනිමිති පහළ වෙමින් පවතී. ඒ, ඊශ්‍රායලයේ හිටපු අගමැතිවරුන් දෙදෙනෙකු වන නෆ්තලි බෙනට් (Naftali Bennett) සහ වත්මන් විපක්ෂ නායක යායර් ලැපිඩ් (Yair Lapid) විසින් නෙතන්යාහුට එරෙහිව දැවැන්ත නව දේශපාලන සන්ධානයක් බිහිකිරීමත් සමඟිනි.

 

 

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, බෙදී ගොස් තිබූ ඊශ්‍රායල විපක්ෂය මේ හරහා එකම ධජයක් යටතට පැමිණීම ඉදිරි මැතිවරණයේදී නෙතන්යාහුට එල්ල වන ප්‍රබලතම අභියෝගය වනු ඇති බවයි.

 

 

නව සන්ධානය: "Together - යාචඩ්" මෙම නව සන්ධානය “එක්ව” හෙවත් “Together – යාචඩ් (Yachad)” ලෙස නම් කර තිබේ.

 

  • නායකත්වය: නව සන්ධානය තනි කණ්ඩායමක් ලෙස තරඟ වදින අතර, එහි නායකත්වය දරන්නේ නෆ්තලි බෙනට් විසිනි.

  • එකතුවන පක්ෂ: බෙනට්ගේ 'Bennett 2026' පක්ෂය සහ ලැපිඩ්ගේ 'යෙෂ් ආටිඩ් (Yesh Atid)' පක්ෂය මෙලෙස එක් වේ.

 

මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ මොවුන් දෙදෙනා අතර ඇති දැඩි දෘෂ්ටිවාදාත්මක වෙනසයි. බෙනට් යනු පලස්තීනුවන් කෙරෙහි දැඩි අදහස් දරන අන්ත දක්ෂිණාංශික ඕතඩොක්ස් යුදෙව්වෙකි; ලැපිඩ් යනු ඊට හාත්පසින්ම වෙනස් මධ්‍යස්ථ මතධාරී ලෞකික නායකයෙකි. එහෙත් නෙතන්යාහු පරාජය කිරීමේ පොදු අරමුණ සහ රටේ අනාගතය වෙනුවෙන් ඔවුන් සියලු වෙනස්කම් පසෙකලා ඇත.

 

සන්ධානයේ ප්‍රධාන අරමුණු සහ තීරණාත්මක පොරොන්දු විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම සන්ධානයේ අරමුණ හුදෙක් බලය ලබාගැනීම පමණක් නොවේ. ඔවුන් ඊශ්‍රායල දේශපාලන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා තීරණාත්මක පොරොන්දු කිහිපයක් ලබා දී තිබේ:

 

  1. අගමැති ධුර කාලය සීමා කිරීම: වසර 30ක පමණ කාලයක් විවිධ අවධිවලදී අගමැති ධුරය දැරූ නෙතන්යාහු වැනි පාලනයක් යළි ඇතිවීම වැළැක්වීම සඳහා, අගමැතිවරයෙකුට බලයේ සිටිය හැකි උපරිම කාලය වසර 8කට සීමා කිරීම.

  2. ඔක්තෝබර් 7 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය: 2023 ඔක්තෝබර් 7 වැනිදා එල්ල වූ ප්‍රහාරය සහ ඊශ්‍රායල ආරක්ෂක අංශවල පසුබෑම පිළිබඳව සොයා බැලීමට රාජ්‍ය විමර්ශන කොමිසමක් පත් කිරීම (මෙය වත්මන් රජයට දැඩි බලපෑමක් එල්ල කරන්නකි).

  3. හමුදා සේවය අනිවාර්ය කිරීම: සමාන වගකීම් බෙදී යාම තහවුරු කරමින්, අන්ත-ඕතඩොක්ස් යුදෙව්වන්ට ද හමුදා සේවය අනිවාර්ය කරන නීති සම්පාදනය කිරීම.

 

 

නෙතන්යාහු යුගයේ අවසානයද?

2021 වසරේදී ද මෙලෙසම එක්වූ බෙනට් සහ ලැපිඩ්, නෙතන්යාහුගේ වසර 12ක අඛණ්ඩ පාලනය නිමා කරමින් බලයට පත්වීමට සමත් වූහ. යළිත් වරක් ඔවුන් පවසන්නේ, පක්ෂ භේද අතහැර එක්වීමට ගත් මෙම තීරණය "අපේ රට වෙනුවෙන් අප කවදා හෝ කර ඇති වඩාත්ම සියොන්වාදී සහ දේශප්‍රේමී ක්‍රියාව" බවයි.

 

 

“මෙම පියවර මගින් කණ්ඩායම එක්සත් කිරීමටත්, අභ්‍යන්තර බෙදීම් අවසන් කිරීමටත්, තීරණාත්මක ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම කෙරෙහි සියලු උත්සාහයන් යොමු කිරීමටත් අදහස් කෙරේ,” යනුවෙන් ලැපිඩ්ගේ යෙෂ් ආටිඩ් පක්ෂය නිවේදනය කර ඇත.

 

 

යුදමය තත්ත්වයන් සහ අභ්‍යන්තර දේශපාලන අර්බුද මැද සිටින ඊශ්‍රායල ජනතාව, නෙතන්යාහුගේ අත්දැකීම් සහිත නමුත් මතභේදාත්මක පාලනය තෝරා ගනීවිද, නැතහොත් බෙනට් සහ ලැපිඩ්ගේ "Together" සන්ධානය සමඟ නව යුගයකට පියනඟාවිද යන්න ඉදිරි මැතිවරණයේදී තීරණය වනු ඇත.

 

 

(විදෙස් මාධ්‍ය ඇසුරිනි).

නවතම ලිපි