ලෝකයේ වැඩිම වැස්සක් ලැබෙන තැන කිව්වම අපිට වහාම මතක් වෙන්නේ ඉන්දියාවේ "චිරපුංජි" ප්‍රදේශය නේද?
හැබැයි මේ වනවිට ලෝක කාලගුණ වාර්තා අලුත් වෙලා අවසන්. අද වනවිට ලොව වැඩිම වර්ෂාපතනයක් ලබන, ගිනස් ලෝක වාර්තා පොතට පවා ඇතුළත් වූ "මිහිමත තෙත්ම ස්ථානය" බවට පත්ව ඇත්තේ ඉන්දියාවේ මේඝාලයා ප්‍රාන්තයේ පිහිටි මව්සින්රාම් (Mawsynram) ගම්මානයයි.

කොහේද මේ අපූරු ගම්මානය පිහිටා තිබෙන්නේ?
ඉන්දියාවේ ඊසානදිග කලාපයේ, කාසි කඳුකරයේ (East Khasi Hills) මීටර් 1400ක් පමණ උසකින් මෙම ගම්මානය පිහිටා තිබෙනවා. "මේඝාලයා" යන නමේ අර්ථයම "වලාකුළු වල නවාතැන" යන්නයි. මව්සින්රාම් ගම්මානය ඒ නම මොනවට අර්ථවත් කරනවා.

ඇයි මෙතරම් වහින්නේ?
මෙම ගම්මානයට වසරකට සාමාන්‍යයෙන් මිලිමීටර් 11,871 ක (අඟල් 467 කට වඩා) වර්ෂාපතනයක් ලැබෙනවා. මෙය ලංකාවේ තෙත් කලාපයට ලැබෙන වැස්ස මෙන් හතර පස් ගුණයක අතිවිශාල අගයක්! 1985 වසරේදී මෙහි මිලිමීටර් 26,000 ක වාර්තාගත වර්ෂාපතනයක් පවා සටහන් වී තිබෙනවා.
මීට ප්‍රධානම හේතුව වන්නේ බෙංගාල බොක්කේ සිට හමා එන දැඩි තෙතමනය සහිත මෝසම් සුළං, පුනීලයක හැඩය ගත් කාසි කඳුකරයේ ගැටීමයි. සුළඟ කඳු මුදුනට ගමන් කරන විට එහි ඇති තෙතමනය ඝනීභවනය වී කිසිදු විරාමයකින් තොරව මේඝාලයා ප්‍රාන්තයට, විශේෂයෙන්ම මව්සින්රාම් වෙත ඇද හැලෙනවා.
මිනිස්සු ජීවත් වෙනවාද?
මේ අධික වර්ෂාව මධ්‍යයේ වුවත් මෙහි "කාසි" (Khasi) ගෝත්‍රික ජනතාව ඉතාමත් සාමකාමීව ජීවත් වෙනවා. ඔවුන් මේ කටුක කාලගුණයට අපූරුවට හැඩගැසී සිටිනවා.
- ආවරණය ('Knup' කූඩාරම):


මෙහි වැසියන් ගමන් බිමන් යන්නේ සහ වැඩ කරන්නේ "Knup" නමින් හඳුන්වන විශේෂිත ආවරණයක් පිටේ බැඳගෙනයි. උණ පතුරු සහ විශේෂ කොළ වර්ගයකින් නිර්මාණය කර ඇති මෙය ඉබ්බෙකුගේ කටුවක් වගේ. මේ නිසා ඔවුන්ට දෙඅත් නිදහස්ව තබාගෙන වගා කටයුතු වල නිරත වෙන්න පුළුවන්.
- ගෙවල් වලට ඇහෙන සද්දේ:
යකඩ තහඩු සෙවිලි කළ වහලවල් මතට මහ වැස්ස කඩා හැලෙන විට ඇතිවෙන බිහිරි කරවන ඝෝෂාව අඩු කරගන්නට, ඔවුන් වහලය මත ඝන තෘණ වර්ගයක් (Grass) අතුරා ශබ්දය පාලනය කරගන්නවා.
- කෑම බීම සහ රෙදි වේලා ගැනීම:
නිරන්තර වැස්ස නිසා ගෙයින් එළියේ රෙදි වේලා ගැනීම සිහිනයක්. මේ නිසා සෑම නිවසකම පාහේ රෙදි වේලා ගැනීමටම සකස් කළ ගෘහස්ථ ලිප් තිබෙනවා. වගා කිරීම අපහසු මාස වලදී ඔවුන් වියළි ආහාර, අල සහ මස් වර්ග මත වැඩිපුර යැපෙනවා.
ලෝකයම මවිත කළ 'ජීවමාන පාලම්' (Living Root Bridges)

මේ ගම්මානය අවට ලී පාලම් හෝ යකඩ පාලම් හැදුවොත් අධික තෙතමනය නිසා ඉක්මනින් දිරාපත් වෙනවා. ඒකට විසඳුමක් විදිහට කාසි ගෝත්‍රිකයන් රබර් ගස්වල (Ficus elastica) මුල් එකිනෙක පටලවා ගඟ හරහා පාලම් නිර්මාණය කරනවා. මේවා සම්පූර්ණයෙන්ම ස්වභාවිකයි. ගහ වැඩෙන තරමට පාලම තවත් ශක්තිමත් වෙනවා. වසර සිය ගණනක් පවතින මේ "ජීවමාන පාලම්" (Jingkieng Jri) බලන්න ලෝකයේ නන්දෙසින් සංචාරකයන් මෙහි ඇදී එනවා.

අපිට දවසක් දෙකක් එක දිගට වැස්සොත් එපා වෙනවා නේද? හැබැයි මව්සින්රාම් වැසියන්ට මේ වැස්ස ඔවුන්ගේ ජීවිතයේම කොටසක්. සොබාදහමේ අභියෝග මැද වුණත්, ඔවුන් ගෙවන්නේ සොබාදහමට අනුගත වූ ඉතාම ලස්සන, සරල ජීවිතයක්!
(Fantastic Travelers ලිපියක් ඇසුරින් සකස් කර ඇත).

