ඔබ මේ දකින ඡායාරූපය සාමාන්‍ය ඡායාරූපයක් නෙවෙයි.
එය ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් මොහොතක් සනිටුහන් කරන, විද්‍යාවේ දැවැන්තයින් තිදෙනෙකු එකට හමුවූ දුර්ලභ අවස්ථාවක්. මධ්‍යයේ ඉන්නේ ඇල්බට් අයින්ස්ටයින්. ඔහු ගැන අමුතුවෙන් ඔබට හඳුන්වා දීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අයින්ස්ටයින්ට වම්පසින් සිටින්නේ පෝල් එහරන්ෆෙස්ට්. ඔහුත් දක්ෂ භෞතික විද්‍යාඥයෙක් සහ අයින්ස්ටයින්ගේ සමීප මිතුරෙක්. එතකොට අයින්ස්ටයින්ට දකුණු පසින්, එනම් ඡායාරූපයේ වම්පසින් සිටින්නේ අපේ අද කතානායකයා වන පීටර් සීමාන්.
සමහර විට ඒ නම ඔබට නුහුරු වෙන්න පුළුවන්. නමුත් ඔහු කළ සොයාගැනීම, අද අප භාවිතා කරන බොහෝ තාක්ෂණික දේවල් වලට පදනම දැමූ විශිෂ්ට හෙළිදරව්වක්!
මේ ඡායාරූපය ගනු ලැබුවේ 1920 ගණන්වල ඇම්ස්ටර්ඩෑම් නුවර පිහිටි සීමාන්ගේ විද්‍යාගාරයේදී. අයින්ස්ටයින් සහ එහරන්ෆෙස්ට්, සීමාන්ව බලන්න ගියාම ගත් ඡායාරූපයක් තමයි මේ. ඉතින් මම දැන් ඔබට කියන්න යන්නේ මේ ඡායාරූපයට යටින් සැඟවුණු ඒ පුදුමාකාර කතාව. ඒ කතාව අපට කියාදෙන්නේ, නොපසුබට උත්සාහය, අලුත් දේවල් ගැන සිතීම සහ කුතුහලය කියන දේවල් කොයිතරම් වැදගත්ද කියලා...
පීටර් සීමාන් කියන්නේ නෙදර්ලන්තයේ උපන් විද්‍යාඥයෙක්. ඔහු කුඩා කාලයේ ඉඳලම ලෝකය ගැන පුදුමාකාර කුතුහලයකින් යුතුව බැලුවා. සාමාන්‍ය දරුවෙක් සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කරන කොට, ඔහු සොබාදහමේ රහස් සොයන්න උත්සාහ කළා. වරක් ඔහුට අහසේ පෙනුණා ඉතාමත් දීප්තිමත් උත්තර ධ්‍රැව ආලෝකයක් (Aurora Borealis). සාමාන්‍යයෙන් යුරෝපයේ දකුණු ප්‍රදේශවල මේ ආලෝකය දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඔහු වහාම මේ ගැන සටහන් කරලා, සුප්‍රසිද්ධ සඟරාවකට ලිපියක් යැව්වා. ඒ ලිපිය පළ වුණා. කුඩා දරුවකු ලෙස පවා ඔහු තුළ තිබු කුතුහලය සහ සොබාදහම නිරීක්ෂණය කිරීමේ හැකියාව ඉන් අපට ඉතා පැහැදිලියි.
පාසල් අධ්‍යාපනයෙන් පසුව සීමාන්, ලෙයිඩන් විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. එතනදී තමයි ඔහුට අනාගතය වෙනස් කරන අදහසක් පහළ වුණේ. ඒ අදහස තමයි "ආලෝකය සහ චුම්භකත්වය අතර සම්බන්ධයක් තියෙනවාද?" කියන එක.
ඒ වන විට ලෝකයේ ප්‍රසිද්ධ විද්‍යාඥයෝ මේ වගේ අදහසක් ගැන හිතුවේ නැහැ. ඔවුන් හිතුවේ මේ දෙක වෙනස් දේවල් කියලා. ඔහුගේ ගුරුවරයා වුණේ හෙන්ද්‍රික් ලෝරෙන්ස්. ඔහුත් ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයෙක්. සීමාන් තම ගුරුවරයාට මේ අදහස කිව්වා..
"ආලෝක ප්‍රභවයක් ශක්තිමත් චුම්භක ක්ෂේත්‍රයක් ඇතුළේ තැබුවොත් මොකද වෙන්නේ?" කියලා ඔහු ඇහුවා. ලෝරෙන්ස් ඒ ගැන උනන්දුවක් දැක්වූවා. ඒත් එකවරම ඒ අදහසට සහයෝගය දුන්නේ නැහැ. ඔහු කිව්වා "සීමාන් ඔය වගේ නිෂ්ඵල දේවල් වලට කාලය නාස්ති නොකර ඉන්න" කියලා..
ලෝකයේ ප්‍රසිද්ධම ගුරුවරයෙක් ගෙන් ලැබුණු ඒ උපදේශය සීමාන්ට බාධාවක් වුණේ නැහැ. ඔහු තමන්ගේ අදහස ගැන පුදුමාකාර විශ්වාසයකින් හිටියා. ඉතින් ගුරුවරයාගේ උපදෙස් නොතකා, ඔහු තනිවම මේ පර්යේෂණය කරන්න තීරණය කළා. ඔහු තමන්ගේ විශ්වවිද්‍යාලයෙන් ඒ සදහා පර්යේෂණාගාර පහසුකම් ඉල්ලුවා. නමුත් කිසිවෙකු ඔහුට සහයෝගය දුන්නේ නැහැ. ඉතින් ඔහු පර්යේෂණ කටයුතු කළේ ඔහුම සකසාගත් බොහොම සරල විද්‍යාගාරයක.
ඔහු කළේ මෙහෙම දෙයක්. ඔහු සෝඩියම් වායුවක් වැනි වායුවක් විදුලි පහනක් ඇතුළට දාලා, ඒක ආලෝක ප්‍රභවයක් ලෙස යොදා ගත්තා. ඊට පස්සේ ඒ ආලෝක ප්‍රභවය ශක්තිමත් චුම්භක ක්ෂේත්‍රයක් ඇතුළේ තියලා, ඒකෙන් නිකුත් වෙන ආලෝකය නිරීක්ෂණය කළා. ඔහුගේ පර්යේෂණයේ ප්‍රතිඵලයක් ලෙස ඔහු දැක්කා, සාමාන්‍ය තත්ත්ව යටතේදී ආලෝකය ඉතාමත් පටු වර්ණාවලියක් ලෙස පෙනෙනවා...
නමුත් චුම්භක ක්ෂේත්‍රය ඇතුළේ තියලා බැලුවාම ඒ වර්ණාවලිය තීරුව තීරුවට වෙන් වෙනවා. තවදුරටත් ඔහු දැක්කා, චුම්භක ක්ෂේත්‍රයේ ශක්තිය වැඩි වන තරමට, මේ තීරු දෙක අතර දුර වැඩි වෙන බව. මේ අසාමාන්‍ය සංසිද්ධිය තමයි "සීමාන් ආචරණය" (Zeeman Effect) ලෙස හඳුන්වන්නේ..
මේ සොයාගැනීම, 1902 වසරේදී භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට ඔහුට උපකාරී වුණා. ඒ වන විට ලෝකයට තිබුණා ප්‍රධාන අභියෝගයක්. ඒ තමයි පරමාණුවේ ව්‍යුහය. සීමාන්ගේ සොයාගැනීමෙන් පස්සේ, විද්‍යාඥයින්ට අවබෝධ වුණා, මේ වගේ බලපෑමක් ඇති වෙන්න නම්, පරමාණුව ඇතුළේ චුම්භක බලපෑමට සංවේදී වන විද්‍යුත් ආරෝපිත අංශු තියෙන්න ඕනේ කියලා. අද අපි දන්න 'ඉලෙක්ට්‍රෝනය' කියන අංශුව තහවුරු කරන්න සීමාන්ගේ සොයාගැනීම අතිශයින් වැදගත් වුණා. ඒ නිසා අද අපි භාවිතා කරන බොහෝ දේවල් වලට මේ සීමාන් ආචරණය උපකාරී වෙනවා.
සීමාන්ගේ මේ සොයාගැනීමෙන් පස්සේ, ලොව පුරා ඉන්න විද්‍යාඥයින් ඔහු ගැන උනන්දු වුණා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය පිළිබඳ න්‍යාය තහවුරු කිරීමටත් සීමාන් ආචරණය යම්තාක් දුරකට උපකාරී වුණා. 1920 ගණන්වලදී අයින්ස්ටයින්, ඔහුගේ සමීපතම මිතුරා වූ පෝල් එහරන්ෆෙස්ට් සමඟ ඇම්ස්ටර්ඩෑම්හි පිහිටි සීමාන්ගේ පර්යේෂණාගාරයට ගියා. මේ ඡායාරූපය ගත්තේ එතනදී. මෙය අපිට කියා සිටින්නේ, ලෝකය වෙනස් කළ මිනිසුන්, අහංකාර අය නොවූ බව. ඔවුන් එකිනෙකාට ගරු කළා. එකිනෙකාගේ සොයාගැනීම් ගැන කතා කළා. නව අදහස් ගැන සාකච්ඡා කළා. ලාංකිකයන් ලෙස අපට මේ කතාවෙන් ඉගෙන ගත හැකි දේ බොහෝයි,
විශ්වාසය සහ නොපසුබට උත්සාහය.
සීමාන් තමන්ගේ අදහස ගැන පුදුමාකාර විශ්වාසයකින් හිටියා. සිය විශිෂ්ට ගුරුවරයාගේ උපදෙස් පවා නොතකා ඔහු තමන්ගේ ගමන ගියා.. අද ඔබට අලුත් අදහසක් පහළ වුණොත්, ඒ අදහසට සමහර විට බොහෝ දෙනෙක් සිනාසෙන්න පුළුවන්. ඒත් ඔබේ හදවත ඔබට කියන දේ අහන්න! නොපසුබට උත්සාහයත් සමඟ ඉදිරියට යන්න.
කුතුහලය සහ විවෘත මනස.
ලෝකය හොදින් දකින්න! සාමාන්‍ය මිනිසුන් දකින ඇසින්ම බලන්න එපා. අලුත් දේ ගැන කුතුහලයෙන් බලන්න. "මොකක්ද මේ වෙන්නේ?", "ඇයි මේක මෙහෙම වෙන්නේ?" කියලා ප්‍රශ්න කරන්න. අලුත් දේවල් ගැන විවෘත මනසකින් හිතන්න. අවසන් වශයෙන් මේ කතාව අපිට කියන්නේ, විශාල දේවල් කරන්න, විශාල විද්‍යාගාර අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ විශාල සිහිනයක් විතරයි.
හරි විස්තරය අවසන්, දැන් ප්‍රශ්න වලට පිළිතුරු....
"සෝඩියම් වායුව" කියන්නේ කුමක්ද?
මම කලින් සඳහන් කළ විදියට සීමාන්, ඔහුගේ පරීක්ෂණ සඳහා සෝඩියම් වායුව භාවිතා කළා. සෝඩියම් කියන්නේ Na සංකේතයෙන් හඳුන්වන, රසායනික මූලද්‍රව්‍යයක්. කාමර උෂ්ණත්වයේදී එය මෘදු, රිදී පැහැති ඝන ලෝහයක්. අපිට සෝඩියම් ලෝහය පිහියකින් පවා කපන්න පුළුවන්. නමුත් මේ සෝඩියම් ලෝහය අධික ලෙස රත් කළ විට, එය වායු තත්ත්වයට පත් වෙනවා. මේ වායුව තමයි "සෝඩියම් වායුව" ලෙස හඳුන්වන්නේ. සීමාන් ඔහුගේ පරීක්ෂණයේදී මේ සෝඩියම් වායුව සහිත විදුලි බුබුලක් තමයි ආලෝක ප්‍රභවයක් ලෙස යොදා ගත්තේ. සෝඩියම් වායුව හරහා විදුලිය යැව්වම, ඒක කහ පැහැති ආලෝකයක් විමෝචනය කරනවා. වීදි ලාම්පු වලදී අපි දකින කහ පැහැති ආලෝකය නිකුත් කරන්නේ මේ සෝඩියම් වායු ලාම්පු වලින්. මේ කහ පැහැති ආලෝකයේ තියෙන්නේ ඉතා පටු වර්ණාවලියක්. සීමාන් මේ පටු වර්ණාවලිය තමයි චුම්භක ක්ෂේත්‍රයක් ඇතුළේදී වෙන් වෙන හැටි නිරීක්ෂණය කළේ.
මොකක්ද 'චුම්භකත්වය' කියන්නේ ?
චුම්භකත්වය කියන්නේ යම් ද්‍රව්‍යයක් තවත් ද්‍රව්‍යයක් වෙත ආකර්ෂණය කිරීම හෝ විකර්ෂණය කිරීමේ හැකියාවට. සරලවම කිව්වොත්, චුම්බකයක් යකඩ වැනි දේවල් තමන් වෙත ඇද ගන්න හැටි ඔබ දැකලා ඇති. මේ බලය තමයි චුම්භක බලය..
මෙම චුම්භකත්වය ඇති වෙන්නේ ඇයි කියලා විද්‍යාඥයින් සොයා බැලුවා. එහිදී ඔවුන් තේරුම් ගත්තා, චුම්භකත්වයට මූලිකම හේතුව තමයි චලනය වන විද්‍යුත් ආරෝපණ කියලා. මේ විද්‍යුත් ආරෝපණ, එනම් ඉලෙක්ට්‍රෝන චලනය වෙනකොට, ඒවා වටා "චුම්භක ක්ෂේත්‍රයක්" ඇති වෙනවා. පරමාණුවක් ඇතුළේ ඉලෙක්ට්‍රෝන නියුක්ලියස් එක වටා කැරකෙනවා. මේ චලනය නිසාත්, ඉලෙක්ට්‍රෝනයේ ස්වයං භ්‍රමණය (spin) නිසාත් ඉතා කුඩා චුම්භක ක්ෂේත්‍ර ඇති වෙනවා. මේ කුඩා චුම්භක එකතු වෙලා තමයි ද්‍රව්‍යයක චුම්භක ගුණ ඇති වෙන්නේ. චුම්බකයක් වටා තියෙන බලපෑම තමයි චුම්භක ක්ෂේත්‍රය කියලා හඳුන්වන්නේ.
'චුම්භකත්වය ' නැත්නම් කාන්දම් කියන්නේ පුංචි කාලේ ඉදන් අපිව කුතුහලයෙන් පුරවපු සංසිද්ධියක්. ඒ නිසාම මෙය සිනෙමා නිර්මාණ ගණනාවකට තේමාව වුණා. නරඹලා තියෙනවද The Prestige (UK/USA, 2006) චිත්‍රපටය? එහි වීරයන් දෙදෙනෙක් සිටියා. එක් අයෙක් ඇල්ෆ්‍රඩ් බෝර්ඩන්. අනෙකා රොබට් ඇන්ජියර්. මේ දෙදෙනාම මැජික් ශිල්පීන්. නමුත් ඔවුන් අතර වචනාර්ථයෙන්ම පැවතුණේ දැවැන්ත සටනක්...
මේ සටන පටන් ගත්තේ බොහොම සරල විදියට. මැජික් ශිල්පීන් ලෙස ඔවුන්ගේ වෘත්තිය පටන් ගත්තා. නමුත් කාලයත් සමඟ එය ඔවුන්ගේ ජීවිතය බවට පත් වුණා. බෝර්ඩන්ව හැඳින්වූයේ The Practical Professor ලෙස. ඔහු මැජික් කළේ තාක්ෂණය, විද්‍යාව සහ ප්‍රායෝගික දැනුම උපයෝගී කරගෙන.
දවසක් බෝර්ඩන්, ඉතාම පුදුමාකාර මැජික් එකක් වේදිකාවට ගෙන ආවා. ඔහු එයට කිව්වේ "ද ට්‍රාන්ස්පෝර්ටඩ් මෑන්" (The Transported Man) කියලා. ඔහු වේදිකාවේ දොරකින් ඇතුළු වෙලා, ක්ෂණිකවම අනෙක් දොරෙන් මතු වුණා. ඒ වේගය කෙතරම්ද කියනවා නම්, ප්‍රේක්ෂකයන්ට ඇස් අදහගන්න බැරි වුණා. ඇන්ජියර් මේ දර්ශනය බැලුවේ පුදුමයෙන්. ඔහුගේ මුහුණේ තිබුණේ පුදුමයටත් වඩා ඊර්ෂ්‍යාව. “කොහොමද බෝර්ඩන් ඒක කළේ? ඒක කළ නොහැකි දෙයක්!” ඔහු තමන්ටම මුමුණා ගත්තා.
අතුරුදන් වී, ක්ෂණිකවම වෙනත් තැනකින් මතුවීම කියන දේ මනුෂ්‍ය වර්ගයාගේ හැඟීම් සමඟ ගැඹුරින් බැඳිලා තියෙන දෙයක්! අවුරුදු දහස් ගණනක් තිස්සේ මනුෂ්‍යයන්ට ඕන වුණා, සිතූ සැණින්, සිටින තැනින් ක්ෂණිකව අතුරුදන් වෙලා, තමන්ට අවශ්‍ය තැනකින් මතු වෙන්න. දේව කතා වල, පුරාවෘත්ත වල ඒ වගේ හැකියාවන් ගැන කියවෙන්නේ ඒ නිසයි. මැජික් ශිල්පීන් කරන්නේ ඒ පුරාණ ආශාව, කෙටි මොහොතකට, වේදිකාවක් මත යථාර්ථයක් බවට පත් කිරීමයි. ඉතින් බෝර්ඩන් කළේත් ඒ ආශාව, සියලු දෙනා ඉදිරියේ යථාර්ථයක් බවට පත් කිරීම. ඇන්ජියර්ගේ අරමුණ වුණේ බෝර්ඩන්ගේ ඒ අද්භූත මැජික් එකේ රහස හෙළි කරගැනීම. ඔහු ඒ සඳහා ඕනෑම දෙයක් කරන්නට සූදානම් වුණා. ඇන්ජියර්, බෝර්ඩන්ගේ සහායකයින්ට අල්ලස් දුන්නා. ඔහු බෝර්ඩන්ගේ දිනපොත් සොරකම් කරන්නට පවා උත්සාහ කළා. නමුත් මේ කිසිවකින් ඔහුට රහස හෙළි කරගන්න බැරි වුණා.
දවසක් ඔහුට රහස් ලියවිල්ලක් ලැබුණා. ඒකේ තිබුණේ නිකොලා ටෙස්ලා ගැන. ටෙස්ලා කියන්නේ විද්‍යාවට අලුත් දේවල් ගොඩක් දුන්න දැවැන්තයෙක්. ඔහු විදුලි බලය සහ චුම්බක ක්ෂේත්‍රය ගැන අලුත් අදහස් ඉදිරිපත් කළා. ඇන්ජියර්ට හිතුණා, මේ ටෙස්ලාට පුළුවන් වෙයි කියලා, ඔහුගේ සිහිනය සැබෑ කරන්න.
“මගේ යාළුවෙක් ඉන්නවා. ඔහු දක්ෂ ඉංජිනේරුවෙක්” ඔහු සිය බිරිඳට කීවේ සතුටෙන්. “මම ඔහුගෙන් මේ රහස දැනගන්න උදව් ඉල්ලනවා..”
ඇන්ජියර්, ඇමරිකාවේ කොලරාඩෝ ස්ප්‍රින්ග්ස්හි ටෙස්ලාගේ විද්‍යාගාරයට ගියා. ටෙස්ලාගේ විද්‍යාගාරය කියන්නේ පුදුමාකාර තැනක්. ඒක ඇතුළේ විදුලි ආලෝකය නිකුත් කරන දඟර තිබුණා. අහසින් විදුලි කෙටීම් පවා වේදිකාවට ගෙන්වා ගන්නට ටෙස්ලාට හැකි වුණා. ඇන්ජියර් ටෙස්ලාට කීවා,
“මගේ සතුරාගේ මැජික් එකට වඩා හොඳ දෙයක් මට ඕන. එය කළ හැකි එකම පුද්ගලයා ඔබයි.”
ටෙස්ලා සිනාසෙමින් කීවා.
“ඔබට ඕන මැජික් එකක්. නමුත් මම දෙන්නේ විද්‍යාව. සමහර වෙලාවට විද්‍යාව මැජික් වලට වඩා බලවත්.” ටෙස්ලා, ඇන්ජියර් වෙනුවෙන් පුදුමාකාර යන්ත්‍රයක් නිර්මාණය කළා. ඒ යන්ත්‍රයට තිබුණේ විද්‍යුත්-චුම්භක ශක්තිය යොදාගෙන, අංශුවක් ක්ෂණිකව වෙනත් තැනකට ගෙන යාමේ හැකියාව. සරලව කිව්වොත්, එය ක්ෂණිකව තැනකින් තැනකට මාරු වීමේ යන්ත්‍රයක්. ටෙස්ලා ඇන්ජියර්ට මෙහෙම කිව්වා,
“මේකෙන් ඔබට ඕන කරන මැජික් එක කරන්න පුළුවන්. ඒත් මේක භාවිතා කරනකොට ඔබේ ජීවිතයට අවදානමක් තියෙනවා..”
ඇන්ජියර්, ටෙස්ලාගේ යන්ත්‍රය භාවිතා කර “ද ට්‍රාන්ස්පෝර්ටඩ් මෑන්” මැජික් එක කරන්න පටන් ගත්තා. ඔහු වේදිකාවේ එක් කෙළවරකින් යන්ත්‍රයට ඇතුළු වුණා. ක්ෂණිකවම ඔහු අනෙක් කෙළවරින් මතු වුණා. ප්‍රේක්ෂකයෝ ප්‍රීතියෙන් උමතු වුණා. වේදිකාව මත ටෙස්ලාගේ යන්ත්‍රය තිබුණා. එය අද්භූත ලෙස විදුලි ආලෝකයෙන් බැබළුණා. එය මැජික් ශිල්පියෙකුගේ උපකරණයක් පමණක් නොව, විද්‍යාවේ පුදුමාකාර නිර්මාණයක්. ඔව් මේක චිත්‍රපටයක කතාවක් තමයි, ඒත් අපිට මේ කතාවෙන් තේරුම් ගන්න පුළුවන්, මිනිසුන්ගේ අලුත් දේවල් සොයාගැනීමේ ආශාව කෙතරම් බලවත්ද කියලා..
සීමාන් සහ අයින්ස්ටයින් විද්‍යාව තුළින් නොදුටු දේවල් දුටුවා වගේම, ඇන්ජියර් සහ බෝර්ඩන් මැජික් තුළින් නොදුටු දේවල් වේදිකාවට ගෙන ආවා. මේ සියල්ල පිටුපසම තියෙන්නේ, මිනිසුන්ගේ කුතුහලය සහ අසීමිත ආශාව. ඒ ආශාව හින්දා තමයි ලෝකය හැමදාම අලුත් වෙන්නේ. චුම්භකත්වය ගැන කරන සොයාගැනීම් ලොව පුරා තවමත් සිදුවෙනවා, කොහොමද අනාගතයේදී එක තැනකින් අතුරුදන් වෙලා ක්ෂණිකව තව තැනකින්, තව රටකින් මතුවෙන 'teleportation' වගේ තාක්ෂණයක් ආවොත්, අපේ ලෝකය කොහොම වේවි ද?
@ සාගර දියගම
Sagara diyagama fb page