ඇෆ්ගනිස්ථානය ගෙදර යයි
කමිල් මිෂාරගේ ලකුණු 81ක අනර්ඝ ඉනිමත් තරිඳු රත්නායකගේ කැපී පෙණෙන පන්දු යැවීමත් හේතුවෙන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, ඇෆ්ගනිස්ථාන ‘ඒ’ සහ අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්විය.
ඒ අනුව ඇෆ්ගනිස්ථානය සංවිධානය කළ මෙම තුන්කොන් තරගාවලියෙන් අනපේක්‍ෂිත ලෙස ඉවත් වන්නට ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායමට සිදුවූ අතර, මෙම තරගයේදී ද ඇෆ්ගනිස්ථානයට පන්දු වාර 47යි පන්දු 1ක් වන තෙක් තරගය රැගෙන යන්නට හැකියාව ලැබුණේ නම් ඔවුන්ගේ ශුද්ධ ලකුණු වේගය මත අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව තිබුණද, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 39ක් අවසානයේ තම ජයග්‍රහණය තහවුරු කර ගැනීම හේතුවෙන් ඇෆ්ගනිස්ථානය ලබාගෙන තිබූ ශුද්ධ ලකුණු වේගය මත තරගාවලියෙන් ඉවත් වන්නට සිදුවිය.
පෙරේදා (23 දා) අබුඩාබි හිදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමින් පළමුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට තරිඳු රත්නායක ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් නියමිත පන්දු වාර 50 අවසානයේ ලබාගැනීමට හැකියාව ලැබුණේ කඩුලු 8ක් දැවී ලකුණු 228ක් පමණි.
ලකුණු 229ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 232ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී තරගාවලිය පුරාම නායකත්වයේ ඉනිමක් දියත් කළ ඩ්‍රාවිෂ් රසූලි ලකුණු 76ක්, ඉක්‍රම් අලිකිල් ලකුණු 36ක් සහ කේස් අහමඩ් ලකුණු 36ක් ලැබීය.
පන්දු යැවීමේදී කැපී පෙණෙන පන්දු යැවීමක නිරත වූ තරිඳු රත්නායක ලකුණු 45කට කඩුලු 4ක්, වනුජ සහන් ලකුණු 33කට කඩුලු 2ක්, මිලාන් රත්නායක ලකුණු 44කට කඩුලු 2ක් බිඳහෙළීය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී විශිෂ්ට ඉනිමක් දියත් කළ කමිල් මිෂාර පන්දු 72කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 81ක් ලබාගැනීමට සමත්වූ අතර, ඊට අමතරව නුවනිඳු ප්‍රනාන්දු 51ක් සහ පවන් රත්නායක නොදැවී ලකුණු 46ක් ලැබීය.
පන්දු යැවීමේදී කේස් අහමඩ් ලකුණු 40කට කඩුලු 3ක් සහ නවීඩ් ශඩ්රාන් ලකුණු 52කට කඩුලු 2ක් දවාලීය.
ලකුණු 45කට කඩුලු 4ක් බිඳහෙලූ තරිඳු රත්නායක තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
@සිසිර ඉන්ද්‍රජිත්