SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“බලන්න ඒ දිහා… ඉතා විශිෂ්ඨ කවර් ඩ්‍රයිව් පහරක්… පුංචි කුමාර් සංගක්කාර”

මේ, මීට වසර 13 කට පෙර ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරගයක් අතර වාරයේදී ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක ටෝනි ග්‍රේග් ගේ මුවින් නික්මුණු වචන පෙළකි.

 

ටෝනි ග්‍රේග් එදා එලෙස පැවසුවේ කොළඹ SSC ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයන් රැඳී සිටින කොටසේ කුඩා පිත්තක් අතින් ගෙන පිතිකරණයේ යෙදෙමින් සිටි සිව් හැවිරිදි කුඩා ක්‍රීඩකයකු පිළිබඳවයි. එම කුඩා දරුවා ක්‍රීඩාංගණයේ ඈත කෙළවරක තම සම වයසේ තවත් දරුවන් පිරිසක් සමග ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී පිටියේ මැද පන්දුවට පහර දෙමින් සිටියේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගන්‍ය පිතිකරුවකු වන කුමාර් සංගක්කාරයි. ටෝනි ග්‍රේග් එදා කියූ ඒ කතාව අද යථාර්ථයක් බවට පත් වෙමින් ඒ කුඩා ශාරුජන් ෂන්මුගනාදන් ගැන ක්‍රීඩා ලෝකයේ අවධානය යොමු වී තිබේ.

 

ශාරුජන් ෂන්මුගනාදන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ වනවිට පැවැත්වෙන ආසියානු කුසලාන වයස 19න් පහළ එක් දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව ශතයක් සහ නේපාල කණ්ඩායමට එරෙහිව අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් විය. 2006 වසරේ අප්‍රේල් මස 25 වැනිදා කොළඹදී උපත ලබන ශාරුජන් ෂන්මුගනාදන් පදිංචිව සිටින්නේ කොළඹ මෝදර ප්‍රදේශයේයි. පවුලේ බාල දරුවා වන ශාරුජන්, කොටහේන සාන්ත බෙනඩික්ට් විදුහලේ අධ්‍යාපනය හදාරනු ලබයි. ශාරුජන්ගේ පියා වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක් වන අතර, මව ගෘහණියක් වේ. ඔහුට වැඩිමහල් සහෝදරියක් ද සිටියි. මෙරට ක්‍රිකට් ලෝලීන් අතර ශාරුජන් ගැන වැඩි අවධානයක් යොමු වන්නේ මීට වසර 13 කට පෙර ඔහු පිළිබඳව ටෝනි ග්‍රේග් කියූ ප්‍රකාශය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුගේ පිතිකරණ හැකියාව ගැන පළවූ වීඩියෝ හේතුවෙනි.

 

බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ශාරුජන්ගේ පියා වන නාදන් ෂන්මුගනාදන් කියා සිටියේ එදා SSC පිටියේ පැවති තරගයෙන් අනතුරුව ටෝනි ග්‍රේග් තම පුතා හමු වී කතාබහ කළ බවයි.

 

 

‘මම වෘත්තීය වශයෙන් ඡායාරූප ශිල්පියෙක්. මගේ පුතා පොඩි කාලයේ ඉදලම ක්‍රිකට් ක්‍රීඩාවට හරිම කැමතියි. එදා මෙයා සෙල්ලම් කර කර ඉන්නකොට සංගක්කාර ග්‍රවුන්ඩ් එකේ බැට් කර කර හිටියේ. පුතා සෙල්ලම් කරන විදිහ ගැන රූපවාහිනියේ පෙන්නුවා. එතැනදී තමයි ටෝනි ග්‍රේග් පුතා ගැන අර විදිහට කියලා තිබුණේ. තරගයෙන් පස්සේ ටෝනි ග්‍රේග් ඇවිල්ලා පුතා එක්ක කතා කළා".

 

 

“ඒ වෙද්දී පුතාට යන්න ඉස්කෝලයක් තිබුණේ නැහැ. අපි ගොඩක් ඉස්කෝලවල සම්මුඛ පරීක්ෂණවලට පෙනී හිටියා. ඒත් ඒවායින් රිජෙක්ට් වුණා. පස්සේ ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකු වෙන රොෂාන් අබේසිංහ ඉදිරිපත් වෙලා කොටහේන සාන්ත බෙනඩික්ට් පාසැලට කතා කරලා පුතාව ඇතුළත් කරලා දුන්නා. පුතා ඉස්කෝලෙට යද්දීත් ඉල්ලුවේ බැට් එකයි බෝලෙයි ඕන කියලා.‘ ශාරුජන්ගේ පියාවන නාදන් ෂන්මුගනාදන් පැවසුවේය.

 

සිය පුතුගේ කුඩා කාලය පිළිබඳ සිහිපත් කරමින් නාදන් ෂන්මුගනාදන් කියා සිටියේ ඔහු කුඩා අවදියේ සිටම ශ්‍රී ලංකා කණ්ඩායමට සහ ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි කැමැත්තක් දැක්වූවෙක් බවයි. "අවුරුදු 7-8 පොඩි කාලේ ශ්‍රී ලංකා ටීම් එක මැච් එකක් පැරදුණා කිව්වොත් එයා අඩනවා. සංගක්කාර අවුට් වුණා කිව්වොත් ඉස්කෝලේ යන්න බැහැ කියලා අඬනවා. එයාගේ පොඩි කාලේ එහෙමයි. එයා ලොකු වුණාම එයා ටික ටික තේරුම් ගත්තා".

 

“මෝදර, මුතුවැල්ලේ ක්‍රිකට් පුහුණුකරුවෙක් වන සුජීව ප්‍රියදර්ශන තමයි මෙයාගේ මුල්ම ක්‍රිකට් පුහුණුකරු වුණේ. පුතාට වයස අවුරුදු 04 ඉඳලා තමයි එයා සුජීව ළඟට ගියේ ක්‍රිකට් පුහුණුවීම් වලට. අදටත් පුතාට ක්‍රිකට් ටෙක්නික්වල ගැටලුවක් ආවම සුජීව තමයි එයාගේ වැරදි නිවැරදි කරන්නේ.” නාදන් ෂන්මුගනාදන් පැවසීය.

 

නාදන් ෂන්මුගනාදන් බීබීසී සිංහල වෙත පැවසුවේ තම පුතුගේ ප්‍රියතම ක්‍රීඩකයා වූයේ කුමාර් සංගක්කාර බවයි. ‘ශාරුජන් පොඩි කාලේ ඉඳලා ආසම ක්‍රීඩකයා කුමාර් සංගක්කාරයි. එයා පොඩි කාලෙම කුමාර් සංගක්කාර හම්බ වෙලා තියෙනවා. එයාගේ රෝල් මොඩ්ල් එක වුණේ කුමාර් සංගක්කාර. එයා විරාට් කෝලිටත් කැමතියි පුතා වමත් පිතිකරුවෙක් වුණාට එයාගේ අනෙක් සියලුම කටයුතු කරන්නේ දකුණතින්. අඩුම තරමින් වම් අතෙන් බෝලයක්වත් විසික් කරන්න බැහැ. අදට වුණත් පුතා කැමති අනෙක් ක්‍රීඩකයින්ට උදව් කරන්න. අපි එයාට අලුතෙන් බැට් එකක් අරන් දුන්නොත් එයාගේ ළඟ තියෙන වැඩිපුර බැට් එක කාටහරි ක්‍රීඩකයකුට දෙනවා. එයා කියන්නේ හැමෝටම අවස්ථාව ලැබෙන්න ඕන කියලයි. ඒ වගේම එයාගේ ලොකුම ආසාව කවදා හරි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න. තාත්තා කෙනෙක් විදිහට අද මගේ පුතා සෙල්ලම් කරන විදිහ දිහා බලල මම සතුටු වෙනවා.” නාදන් ෂන්මුගනාදන් වැඩිදුරටත් පැවසුවේය.

 

(බිබිසි සිංහල)

නවතම ලිපි