ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කරනු ලැබුවේ පසුගිය ජනවාරි මස 26 වැනිදාය.
එය නැවතත් රැස් වුණේ මේ සතියේ බදාදා (07)ය. මෙවර කිවිදා දැක්මෙන් මා සාකච්ඡා කරන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ කථාව පිළිබඳවය.
ප්‍රතිපත්ති ප්‍රකාශ දේශපාලනය
අපේ රටේ දේශපාලනයේ අඩු නැතිව තිබෙන එක දෙයක් වන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීමය. ජනාධිපතිවරුන් සහ ඒ ඒ ආණ්ඩු, විවිධ අවස්ථාවල ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශ ගණන විශාලය. ඒ සමහර ප්‍රතිපත්ති ප්‍රකාශවලට අනුව නම් අතිවිශිෂ්ටය. එහෙත් ක්‍රියාත්මක කිරීම පැත්තෙන් ඒවා අතිශයෙන්ම අසාර්ථකය.
මෙවර ජනාධිපතිවරයා කිය වූ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබූ එක් අදහසක් වූයේ ඡන්දය ගැනීමට හුදු පොරොන්දු දීම නොකළ යුතු බවය. එය ඇත්තක්ය. ඒ වගේම කිවයුතු තවත් එක් දෙයක් වන්නේ, සමාජය ඉදිරියේ මවා පෑමට පමණක් ප්‍රතිපත්ති ප්‍රකාශ කියවන දේශපාලනයක් නොකළ යුතු දෙයක් බවය.
වත්මන් ජනාධිපතිවරයා බලයේ සිටි මේ කෙටි කාලයට ප්‍රතිපත්ති ප්‍රකාශම පහක් පමණ ඉදිරිපත් කළ බව මගේ අදහසය. ඊට අමතරව අය-වැය ප්‍රකාශ දෙකක් ද ඉදිරිපත් කළේය. ඒවාට අමතරව විශේෂ රූපවාහිනි කතා කීපයක් ද ‘‘ජාතියේ ඇමතීම’’ හරහා සිදු කළේය.
මගේ අදහස වන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ දේශපාලනය දැන් සමාජයට එපා වී ඇති බවය.
ආර්ථික අර්බුදය කොයිබට ද?
ජනාධිපතිවරයාගේ කථාවේ තිබූ එක් ප්‍රධාන අදහසක් වූයේ රට තුළ පැවති සහ පවතින, ආර්ථික අර්බුදය දැන් නිමාවෙමින් තිබෙන බවය. ඔහු ඒ සඳහා නිර්ණායක ගණනාවක්ම ගෙන හැර දැක් වූයේය. ඔහු කියන්නේ පොහොට්ටුවේ පාලනයක් තිබූ 2020, 2021 සහ 2023 සහ 2022 වර්ෂවල රට වැටී තිබුණු තත්වය ඉතාමත් භයානක එකක් බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ ආණ්ඩුව විත්ති කූඩුවට යැවෙන ඔහුගේ ප්‍රකාශයේ නොකියවෙන සත්‍යයය යැයි කීම නිවැරැදිය.
ගෝඨාභය + මහින්ද දෙපළ ජනපති හා අගමැති ධුර හොබවන කාලයේ මෙරට බරපතළ ගෙවුම් ශේෂ අර්බුදයක බරපතළ අය-වැය හිඟයක් සහ බරපතළ ණය අර්බුදයක් යන අර්බුද තුනම එක විට කඩා වැටුණු බව සත්‍යයක්ය. ඒ නිසා ආනයන සඳහා (තෙල්, ගෑස්, ගල් අඟුරු වැනි) සීමා වැටුණු බව සැබෑවක්ය. ඒත් මේ අර්බුද තුන නිර්මාණය කෙරුවේ ඒ ආණ්ඩුව විසින් යැයි කීමේ සාධාරණත්වයක් නැත. එසේ කීම සත්‍යයක් ද නොවේ. මේ අර්බුද තුන මෝදුවීම කෙරෙහි බලපාන ලද තවත් එක් නායකයෙක් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. වැඩියෙන්ම ISB හරහා ඩොලර් ණය ගත්තේ එතුමා අගමැතිවරයා වශයෙන් සිටි කාලයේය.
මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දී ජනාධිපතිවරයා කියන්නේ 2023 වර්ෂය වන විට ගෙවන්නට තිබෙන විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 91ක් බවය. ඒ කියන්නේ ඩොලර් මිලියන 91,000 කි. ඒ ණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අරගෙන තිබෙන්නේ වත්මන් ජනාධිපතිවරයා නායකයා වශයෙන් සිටි කාලවලය. මේ ණය අර්බුදයෙන් අපේ රට විනාශ වෙන්න ඉඩ තිබෙන බව කීමේ වැරැද්දක් නැත. ඒ විනාශයේ අයිතිකාරයෝ යනු මේ ආකාරයේ ණය උගුලක රට හිර කරන ලද දේශපාලනඥයෝය.
දේශපාලන අර්බුදයක්
රටේ ආර්ථික අර්බුදය නිමා කරන්නට හැකි ප්‍රතිපත්ති ගෙනාවේ තමන් විසින් යැයි එතුමා කියන්නේය. එහි තත්වය කෙසේ වෙතත් රටේ බරපතළ දේශපාලන අර්බුදයක් හදමින් තිබෙන බව නම් සැබෑවක්ය.
ඇමතිවරුන්ට එරෙහිව දූෂණය සහ හොරකම් සම්බන්ධයෙන් වැඩියෙන්ම චෝදනා තිබෙන්නේ මේ කාලයේය. එක් ඇමතිවරයෙක් ක්‍රිකට් පාලක මණ්ඩලයේ අක්‍රමිකතා හා දූෂණ පෙන්වා දුන්නේය. ඒ නිසාම ඔහු කැබිනට් මණ්ඩලයෙන් අයින් කළේය. තවත් ඇමතිවරයකු ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් චෝදනා නිසා රිමාන්ඩ් බන්ධනාගාර ගත විය. ඔහු අයින් කරන්නට කවුරුවත් ගියේ නැත. ඒ ඇමතිවරයාටම කාරණය තේරුණාට පසුව ඉල්ලා අස් වූ බව සැබෑවක්ය. එහෙත් රොෂාන් රණසිංහ පැන්නූ වේගයෙන් හිටපු සෞඛ්‍ය ඇමති පන්නන්නට කවුරුවත් ගියේ නැත.
ඊට අමතරව රටේ දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවන සමහර ක්‍රියාකාරකම් ද පෙන්නුම් කරන්නේ දේශපාලන අර්බුදයක් මතුවෙමින් පවතින බවය. සමහර අණ පනත් ඉදිරිපත් කරන්නේම ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාමාර්ග ශක්තිමත් කරන්නට මිස රටේ ප්‍රජාතන්ත්‍රීය පාලනය ගෙන යාමට නොවේ. ‘‘මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’’ යනු ඒ ආකාරයේ වැඩක්ය. ආණ්ඩුවට පෙනෙන්නේ ළඟ එන ඡන්දය දිනන්නට නම් සමාජ මාධ්‍ය යටපත් කළ යුතු යැයි කියාය. ඒ සඳහා බරපතළ නීතියක් හදන්නට උත්සාහ කළේ ඒ නිසාය. දැන් ඒ නීතිය සම්මත කරගෙන හමාරය. මුළු ලෝකයේ අවධානය යොමු වන ආකාරයේ ඩ්‍රැකෝනියන් නීතියක් හරහා ඩිජිටෙල් අවකාශය කළමනාකරණය කරන්නට යන මේ ගමන මුළු රටම බනානා රිපබ්ලික් එකක් කර අවසන් කරන්නට ද ඉඩ තිබේ.
කරන්නට යන දේ
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙන ආකාරයට කරන්නට යන දේ ඉතාමත් පැහැදිලිය. ආර්ථිකය ගොඩ ගැනීම වෙනුවෙන් IMF එක නිර්දේශ කර ඇති වට්ටෝරුව ක්‍රියාත්මක කරනවා හැර වෙන දෙයක් යෝජනා කරන්නේ නැත. රාජ්‍යයේ ආදායම වැඩි කර ගැනීමේ උපාය මාර්ග මිස රටේ ආදායම වැඩි කර ගැනීමේ කිසිදු පළදායක උත්සාහයක් ඒ තුළ නැත.
ඊට අමතරව කරන්නට යන්නේ ‘‘හිතේ සෝදියට’’ තනා ගත් සංවර්ධන උපාය මාර්ග ටිකක් ක්‍රියාත්මක කරන්නට යාමය. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන කිසිදු යෝජනාවක් රටේ ජනතාවගේ අනුමැතියක් ලබාගත් ඒවා නොවේ. ඒවා රටට අවශ්‍ය ප්‍රතිපත්ති යැයි තීරණය කර ඇත්තේ කවුරුන් විසින්දැයි කවුරුවත් දන්නේ නැත. මේ සමහර යෝජනා මීට පෙර ඉදිරිපත් වී තිබුණේ 2002 පමණ ඉදිරිපත් වී ප්‍රතික්ෂේප වූ ‘‘යළි පුබුදමු ශ්‍රී ලංකා’’ (Regaing Sri Lanka) වැඩ සටහන තුළය.
මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කර තිබෙන ඉඩම් පරිහරණය පිළිබඳ අදහස නිදර්ශනයක් වශයෙන් ගත හැකිය. මෙහි යෝජනා වී ඇත්තේ 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ පනත හරහා රජයට පවරා ගත් ඉඩම් මීට පෙර සිදුකළාක් මෙන් ගජ මිතුරන් අතරේ බෙදා දීමටය. ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙසේ දැක්වේ. ‘‘ජනවසම, වැවිලි සංස්ථාව ආදී විවිධ රාජ්‍ය ආයතන සතු ඉඩම් ඔහේ නාස්ති වෙනවා... ස්වදේශික ව්‍යවසායකයන්ට මේ ඉඩම් අපනයන වාණිජ වගාවන් උදෙසා දිගු කාලීන බදු පදනම මත ලබා දෙනවා’’ මේ උත්සාහය බරපතළ ආකාරයෙන් තේරුම් ගත යුතු කාරණාවක් බව මගේ මතයයි.
රජයේ ඉඩම් කුණු කොල්ලට මිතුරන් අතරේ බෙදාගත් අතීතයක් 1977 න් පසු පැමිණි ආණ්ඩුවල තිබූ බව අප කාටත් මතකය. දේශපාලනඥයන්ට අක්. 50 ගණනේ බෙදා දුන් ඉතිහාසයක් ද 1977 ආණ්ඩු කාලයේ පැවති බව අප කාටත් මතකය. ඒ සියලු බෙදා ගැනීම්වලින් පසුව ඉතිරිවී ඇති රජයේ ඉඩම් මේ වන විට තිබෙන්නේ ජනවසම, රාජ්‍ය වැවිලි සංස්ථාව, කුරුණෑගල වැවිලි සංස්ථාව, හලාවත වැවිලි සංස්ථාව වැනි ආයතන කීපයක් යටතේය. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කියන්නේ ඒ ඉතිරි වී ඇති ඉඩම් ටිකත් ‘‘මිතුරන් අතරේ’’ පවරනවා වැනි කථාවක්ය.
ණය මානසිකත්වය
මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පෙන්නුම් කරන එක් වැදගත් කාරණයක් වන්නේ රටේ ණය මානසිකත්වයක් තිබෙන බව මතු කිරීමය. ඒ කථාව සත්‍යයක්ය. ජනතාව සිතන්නේ ආණ්ඩුව යනු සියලු දේ දිය හැකි ‘‘රත්‍රං බිත්තර දාන කිකිළියක්’’ වගේ එකක් කියාය. ඒ නිසා ආණ්ඩුවට ආදායමක් ලැබෙන්නේ කෙසේද කියා නොසිතමින් ආණ්ඩුවල විසඳුම් ගැන පමණක් උනන්දු වූ බවක් ඉතිහාසය පුරාම පෙනී ගිය බව සත්‍යයක්ය. විදුලිය නිෂ්පාදනයට යන පිරිවැය ගැන හිතන්නේ නැතිව අඩු මිලට (සහනදායී මිලට) විදුලිය දිය යුතු යැයි සිතන්නේ ඒ නිසාය. ඉන්ධන තත්වයත් එසේමය. විදේශ වෙළෙඳපොළෙන් ඉන්ධන මිලදී ගැනීමට කීයක් වැය වුණත් ඉන්ධන රටට ලබාදිය යුත්තේ සහනදායී මිලකට යැයි සිතන්නේ ඒ නිසාය. මේ ‘‘සහනදායී’’ දේවල් කරන්නට ආණ්ඩුවලට ආදායමක් නැති නිසා හැමදාම කළේ ණය ගැනීමය. රට තුළ ණය මෙන් විදේශ ණය ද මේ විෂම ණය චක්‍රය පෝෂණය කළේය.
මේ ප්‍රශ්නයෙන් එළියට යාම සිතන තරම් පහසු දෙයක් නොවේ. ණය වී නඩත්තු කරන ජීවිතයකට හුරු වූවාට පහසුවකින් එයින් එළියට යාමේ හැකියාවක්ද නැති ගානය. රටට ඩොලර් එන මාර්ග සියල්ල වැසී ගිය විටෙක වුව ඩොලර් දී ගෙන්වන භාණ්ඩ (ඉන්ධන ගෑස් ගල් අඟුරු) ඒ නිසා තව තවත් ණය වෙමින් ‘‘පුරුදු වූ ජීවිතය’’ නඩත්තු කරන්නට සිදුවී තිබෙන පරිසරයක අපි සිටින බව ඉතාමත් පැහැදිලිය.
මේ තත්වය පැහැදිලි කිරීම නිවැරැදිය. එහෙත් ඒ සඳහා මේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් යෝජනා කෙරෙන වියදම් මාර්ගය වැරදිය. 2008 න් පසු වසර 15ක කාලය තුළ සිටි හැම ආණ්ඩුවක්ම උත්සාහ කළේ එක පැත්තකින් දේශීය හා විදේශීය ණය මත සියලු පරිභෝජනයක් හා ආයෝජන පදනම් කරන්නටය. අනෙක් පැත්තෙන් ඒ අය හැමෝම කළේ ඒ ණය මත සිදු කරන ආයෝජන කිසිදු ශක්‍යතා පදනමක් නොමැතිව තම තමන්ගේ ගම් ප්‍රදේශවලට යෙදීමය. තමන් සිහිනෙන් දකින දේවල් ගොඩ නගන්නට වියදම් කිරීමය.
මේ අර්බුදය තනිකරම ආර්ථික එකක් යැයි ජනාධිපතිවරයා කියන කථාව වැරදිය. අර්බුදය මතුවුණේ ආර්ථිකයේ වූවාට අර්බුදයේ පදනම තිබෙන්නේ දේශපාලනය තුළය. ‘‘ආර්ථික අර්බුදයකට දේශපාලන විසඳුම් නැතැයි’’ එතුමාගේ ප්‍රකාශයෙන් සිදුකරන්නේ මේ ගැඹුරු අර්බුදය සරල කර තමන් කැමැති ආකාරයට තේරුම් ගැනීමට උත්සාහ කිරීමය. මේ රටේ අර්බුදයේ මතු කිරීම තිබෙන්නේ ආර්ථික තලයේය. එහෙත් අර්බුදයේ මූලය තිබෙන්නේ දේශපාලන තලයේය. ඒ නිසා මේ සඳහා විසඳුම තිබෙන්නේ දේශපාලන ආර්ථික (Political Economic) විසඳුමකය. මේ විසඳුම නිර්මාණය කරන්නට අප වෙහෙසිය යුතු බව මගේ මෙවර කිවිදා දැක්මය.
මහාචාර්ය චරිත හේරත්
@ලංකාදීප කිවිදා දැක්ම