මෙරට ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් 21 වැනිදා උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය කරන මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.
එහෙත් දෙමළ ජනමාධ්‍ය පවසන ආකාරයට ඊට උතුරු පළාත නියෝජනය කරමින් සහභාගි වී ඇත්තේ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊ.පී.ඩී.පී) කුලසිංහම් තිලීපන් මන්ත්‍රීවරයා පමණි. එහෙත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් ඇතුළු නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරු ගණනාවක් ඊට සහභාගි වූහ.
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හා අමාත්‍යාංශ ලේකම්වරු කිහිප දෙනෙක් ඊට රජය නියෝජනය කළෝය.
සාකච්ඡාවට සහභාගි වූ දෙමළ මන්ත්‍රීවරුද ජනාධිපතිවරයා ආරාධනා කළ නිසා එසේ රැස්වීමට සහභාගිවී සිටියා විනා ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා ජනවාර්ගික ප්‍රශ්නයට ඔවුන් අපේක්ෂා කරන ආකාරයේ විසඳුමක් දෙනු ඇතැයි සුළු හෝ විශ්වාසයකින් යුතුව එසේ සහභාගි වූ බවක් නොපෙනේ.
දෙමළ ජනමාධ්‍ය සඳහන් කරන ආකාරයට සම්බන්ධන් මන්ත්‍රීවරයා මේ බව ජනාධිපතිවරයාගේ මුහුණටම ප්‍රකාශ කොට තිබේ. තමන් මෙවැනි සාකච්ඡාවලට සහභාගි වන්නේ ඉන්දු - ලංකා ගිවිසුම පදනම් කරගෙන බවත්, එම ගිවිසුම පූර්ණ විසඳුමක් ලෙස තමන් නොපිළිගත්තද රජය එය ක්‍රියාත්මක කළ යුතු බවත් එසේ නොකොට තමන් ජාත්‍යන්තරයේ සහාය ඉල්ලා සිටින තත්ත්වයට පත් නොකළ යුතු බවත් ඔහු ජනාධිපතිවරයාට කියා සිටි බව තිනක්කුරල් පුවත්පත වාර්තා කොට තිබිණි.
‘‘ඔබ තවදුරටත් සංහිඳියාවේ ධජය පෙන්වමින් අප රවටන්නට උත්සාහ කරනවා. දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට දේශපාලන විසඳුමක් නොදී ඔබ හුදෙක් සංහිඳියාව ගැන කතා කරමින් ඉන්නවා’’
යනුවෙන් සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසූ බව එම පුවත්පත පවසයි.
ඊට පිළිතුරු දුන් ජනාධිපති වික්‍රමසිංහ මහතා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කොට ඉන්දු- ලංකා ගිවිසුම ක්‍රියාත්මක කෙරෙනු ඇති බවත් එහෙත් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා වත්මන් පාර්ලිමේන්තුවේ සහාය නොලැබෙන හෙයින් එය කළ හැකිවනු ඇත්තේ ඉදිරි මහ මැතිවරණයෙන් පත්වන අලුත් පාර්ලිමේන්තුවට බවත් පවසා ඇත.
දකුණු ප්‍රදේශවල හිටපු ප්‍රධාන ඇමැතිවරුන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පළාත් සභා ශක්තිමත් කිරීම පිළිබඳව සොයා බලන බවද අලුත් පාර්ලිමේන්තුව පත් වී වසරක් තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා කටයුතු කරන බවද එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව එම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.
උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනයාගේ ඉඩම් ප්‍රශ්න, යළි පදිංචි කිරීම්, සංහිඳියාවට අදාළ නීති ක්‍රියාත්මක කිරීම, තමිල්නාඩුවේ අනාථ කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශ්න හා උතුරු නැගෙනහිර සංවර්ධනය ආදී ප්‍රශ්න මෙම සාකච්ඡාවේදී සැලකිල්ලට ලක්වී ඇත.
සත්‍යය හා සංහිඳියාව පිළිබඳව ජනාධිපතිවරයා විසින් පසුගියදා පත්කරනු ලැබූ කොමිසම පිළිබඳ ප්‍රශ්න මතුවූ විට ඉලංගයි තමිල් අරසුකච්චි පක්ෂයේ ශානක්‍යන් රාසමානික්කම් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ එම කොමිසම පිළිබඳ ගැසට් නිවේදනයේ සාධාරණත්වය ඉටු කිරීමේ යාන්ත්‍රණයක් හෝ ජාත්‍යන්තර අධීක්ෂණයක් හෝ ජාත්‍යන්තර විනිශ්චයකාරවරුන් හෝ නැති හෙයින් වින්දිත ජන කොට්ඨාසය වශයෙන් තමන් එම කොමිසම ප්‍රතික්ෂේප කරන බවය.
රැස්වීමෙන් පසුද දෙමළ නායකයන්ගෙන් පළවූයේ අප්‍රසාදය පළ කිරීමේ ප්‍රකාශයි. තමන් වික්‍රමසිංහ මහතා හඳුනන්නේ කුඩා කල සිට බවත් අනෙකුත් සිංහල නායකයන්ට සාපේක්ෂව ඔහු ජාතිවාදයෙන් තොර අයකු බවත්, එහෙත් දැන් ඔහු 13 වැනි සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කොට ඉන්දීය මැදිහත්වීම අහෝසි කරන්නට උත්සාහ දරන බවත් උතුරු පළාතේ හිටපු ප්‍රධාන ඇමැති හා දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක සී.වී. විග්නේශ්වරන් මහතා චෝදනා කොට තිබිණි.
වික්‍රමසිංහ මහතා සමඟ කතා කිරීමෙන් පලක් නොවන හෙයින් තමන් දැන් මෙවැනි සාකච්ඡාවලින් ඈත් වී සිටින බවද ඔහු පවසා තිබිණි. ඔහු මෙම සාකච්ඡාවටද සහභාගි වූයේ නැත. එම සාකච්ඡාවට සහභාගි වන ලෙස දන්වමින් තමන් වෙත ලැබුණු ආරාධනාවට ජනාධිපතිවරයාගේ උතුරු පළාත් සංවර්ධන ඒකකයේ ලේකම් ඉලංකෝවන් මහතාට යවා ඇති ලිපියක විග්නේශ්වරන් මහතා සඳහන් කොට ඇත්තේ 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මීට පෙර ජනාධිපතිවරයා දුන් පොරොන්දු කිසිවක් ඉටු නොකළහෙයින් තමන් මෙම සාකච්ඡාවට සහභාගි නොවන බවය.
මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් එම සාකච්ඡාවට පසුදින ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පසුගිය වසර එකහමාරක් තිස්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටින බවත් ඉදිරි මහ මැතිවරණයෙන් පසු එම ප්‍රශ්නයට විසඳුම් දෙන බව දැන් කරන ප්‍රකාශයෙන් තමන් වසර එක හමාරක් තිස්සේ කළේ බොරුවක් බව ඔහුම පිළිගෙන ඇති බවත් පැවසීය.
වසර එක හමාරකට පෙර සාකච්ඡා ආරම්භ කෙරෙන විටම ජනාධිපතිවරයා නාට්‍යයක් රඟ දක්වන්නට යන බවත් ඔහු මෙම ප්‍රශ්නය නොවිසඳන බවට තමන් එදා අභියෝගයක් කළ බවත් පොන්නම්බලම් මහතා මෙහිදී සඳහන් කොට තිබිණි.
ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු වසරක් තුළ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා බවත් එම නව පාර්ලිමේන්තුවේ සහයෙන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා පවසන නිසා ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙතොත් ලැබෙන්නේ 2026 දී වුවත් එදාටවත් විසඳුමක් ලැබීම සහතික නැති බවත් ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණේ (ඊ.පී.ආර්.එල්.එෆ්) නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසා තිබිණි.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය ඉදිරි ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී දෙමළ ජනතාවගේ හා දෙමළ ඩයස්පෝරාවේ සහාය ලබාගැනීමේ අරමුණින් කළ එකකැයිද ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. පොන්නම්බලම් මහතාද එම මතයම දරයි. ඔහු පවසන්නේ ජනාධිපතිවරයා දෙමළ නායකයන් යොදාගෙන දෙමළ ජනතාව රවටා ඉදිරි මැතිවරණවලදී දෙමළ ජනතාවගේ සහාය ගන්නට මෙවැනි සාකච්ඡා පවත්වන බවයි.
අනෙක් සිංහල නායකයන්ට සාපේක්ෂව රනිල් වික්‍රමසිංහ මහතා ජාතිවාදයෙන් තොර අයෙකැයි විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කළද ජනවාර්ගික ප්‍රශ්නයේදී ඔහුගේ හෝ අනෙක් දෙමළ නායකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට ජනාධිපතිවරයාත් ඔහු යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවත් අසමත්වී ඇති බව පෙනේ. ජනවාර්ගික ප්‍රශ්නයට අදාළව ජනාධිපතිවරයා දෙන පොරොන්දු ඉටු නොකරන බවට සම්බන්ධන් මහතා 2022 දෙසැම්බර් මාසයේද චෝදනා කොට තිබිණි.
ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගනු ලැබ සිටින්නන් නිදහස් කිරීම, යුද්ධය පැවැති කාලයේ අතුරුදහන් වූවන් සොයා ගැනීම හා යුද්ධය පැවැති කාලයේදී හමුදාව හා රජයේ වෙනත් ආයතන විසින් පවරා ගනු ලැබූ දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම වැනි පොරොන්දු ගැන සඳහන් කරමිනි.
කෙසේ වෙතත් ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට යැයි කියමින් පසුගිය කාලයේ කෙරුණු සාකච්ඡා නිසා ආණ්ඩුවත් දෙමළ නායකයනුත් අතර යම් තරමක හෝ විශ්වාසයක් තිබුණේ නම් එයද පළුදු වී ගොස්ය. ඊට ප්‍රධාන හේතුව වූයේ ඒවා සිතුණු සිතුණු විට පැවැත්වීමත් ඒවායේ කිසිදු අඛණ්ඩ බවක් හෝ නිශ්චිත වැඩ පිළිවෙළක් හෝ ඉලක්කයක් හෝ නැති වීමත්ය.
2022 අවසානයේදී පැවැති අයවැය විවාදයේදී ප්‍රකාශයක් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 පෙබරවාරි 4 වැනිදාට යෙදුණු 75 වැනි නිදහස් සමරු උළෙලට පෙර ජනවාර්ගික ප්‍රශ්නය විසඳන බව කීවේය. එසේ නම් 2023 ජනවාරි 31 ට පෙර 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන්නැයි දෙමළ පක්ෂ කී විට ඔහු එයටද එකඟ විය.
ඒ අනුව ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම යන්නෙන් ජනාධිපතිවරයාත් දෙමළ පක්ෂත් අදහස් කරන්නේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට වඩා ඔබ්බට යන දෙයක් බව පැහැදිලිය.
මේ වසරේ නිදහස් දිනට පෙර ජනවාර්ගික ප්‍රශ්නය විසඳන බව කී ජනාධිපතිවරයා ජනවාරි 15 වැනිදා තෛපොංගල් උත්සවයකදී පැවසුවේ වසර දෙකකින් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවය. ඒ වනවිටත් ඔහු ජනවාරි 31ට පෙර එය කරන බව දෙමළ පක්ෂවලට පවසා තිබිණි. ඉන්පසු එක්සත් ජාතික පක්ෂයේ මැයි දින උත්සවයේදී ඔහු පැවසුවේ මේ වසර (2023) අවසානයේදී ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් දෙන බවය.
පසුගිය ජූලි මාසයේදී ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරයක යෙදුණු අතර ඊට දින කීපයකට පෙර ප්‍රකාශයක් කළ ඔහු පොලිස් බලතලවලින් තොරව 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බව පැවසීය. ඉන්දීය සංචාරයෙන් පසු ඒ සඳහා ‘‘සර්ව පාක්ෂික’’ සමුළුවක් කැඳවීය. දැන් ඉදිරි මහ මැතිවරණයෙන් පසු 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බව ඔහු පවසයි.
වත්මන් පාර්ලිමේන්තුවෙන් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා වූ සහයෝගය ගත නොහැකි යැයි ජනාධිපතිවරයා දෙමළ මන්ත්‍රීවරුන්ට ඉකුත් 21 වැනිදා පවසා තිබිණි. එසේ නම් 2022 සිට විවිධ පොරොන්දු දෙමින් දෙමළ පක්ෂ සමඟ සාකච්ඡා කළේ කුමන අරමුණකින්දැයි පැහැදිලි නැත. එහෙත් ඉකුත් 21 වැනිදා සාකච්ඡාවේ අරමුණ නම් පැහැදිලිය. ඒ ඉදිරි ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් පසු ප්‍රශ්නය විසඳන බව කියා එම මැතිවරණවලට සහාය ලබාගැනීමය. දෙමළ නායකයන් එය පිළිගත්තේ වුවද ඔවුන් එජාපයට සහාය දෙනු ඇත්තේ එජාප එම මැතිවරණවලින් ජය ගන්නා බවක් පෙනෙන්නේ නම් පමණි. එවැනි ලකුණු පෙනෙන්නට තිබේද?
දෙපාර්ශ්වය අතර මේ විශ්වාසය බිඳ වැටීම කොතරම්දයත් නැගෙනහිර පළාතේ තණ බිම් පිළිබඳ ප්‍රශ්නයක් ගැන සඳහන් කරමින් දෙමළ ජාතික සන්ධානයේ ගෝවින්දන් කරුණාකරම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදීම ඉකුත් ඔක්තෝබර් 16 වැනිදා ප්‍රශ්න කළේ ආණ්ඩුවේ නිලධාරීන් දෙමළ ජනතාව ගැන නොසිතන්නේ නම් තමිල් ඊළම් සිහිනය වියැකී යනු ඇත්ද කියාය. එම ප්‍රශ්නය ගැනම සඳහන් කරමින් ඒ දිනවලම ටෙලෝ නායක සෙල්වම් අඩයිකලනාදන් මන්ත්‍රීවරයාද අවි අතට ගෙන සටන් කළ තමන් දැන් සන්නද්ධ අරගලය අත්හැරීම ගැන කනගාටු වන බව පවසා තිබිණි.
කෙසේ වෙතත් දෙමළ පක්ෂ අතර ඇති තරගයද ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමේදී විශාල බාධකයක් වී ඇති බව පෙනේ. එම පක්ෂ නිශ්චිත දේශපාලන ඉල්ලීම් ඉදිරිපත් නොකරන්නේ අනෙක් පක්ෂ එය හෙළා දකිනු ඇතැයි සිතාය. ආණ්ඩුව කුමක් ඉදිරිපත් කළත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරන්නේද අනෙක් පක්ෂ ඊට වඩා දෙයක් ඉල්ලා සිටිමින් තමන් විවේචනය කරන නිසාය. දෙපාර්ශ්වයටම තමන්ගේ දේශපාලන පැවැත්ම සියල්ලටම වඩා වැදගත් වන හෙයින් සාකච්ඡා නාමයෙන් කුමක් හෝ කරමින් දෙපාර්ශ්වයම තම පැවැත්ම ආරක්ෂා කර ගනිති.
@එම්.එස්.එම්. අයුබ්
සති අග විග්‍රහය