ස්ත්‍රීවාදීන් පුරුෂයින්ට එරෙහි ද යන ප්‍රශ්නය සමාජ මාධ්‍ය තුළ නිතර මතුවන්නා වූ ප්‍රශ්නයක් බවට පත්ව ඇත.
මෙම ප්‍රශ්නය මතුව ඒමට හේතුව වී ඇත්තේ මෑත කාලීනව මීටූ# (Metoo#) ව්‍යාපාරයේ හැඩය ගනිමින්, කාන්තාවන් ප්‍රසිද්ධියේ තමාට අඩත්තේට්ටම්කළ පුරුෂයින් නම් කිරීම සහ ඔවුන් ව ලැජ්ජාවට පත් කිරීම සඳහා ඉදිරිපත්වීමයි.
ස්ත්‍රීවාදයේ විවිධ මාන පැවතියත්, ස්ත්‍රීවාදය ඓතිහාසිකව විකාශනය වීම වැදගත් වුවත්, මෙම කෙටි ලිපියෙන් මා එම න්‍යායික කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු නොවෙමි. ඒ වෙනුවට, මා මෙහිදී උත්සාහ කරන්නේ, සරලව ස්ත්‍රීවාදයේ මූලික යෝජනාව සහ ඒ පිළිබඳව ඇති දුර්මත පිළිබඳ කතිකාවක් ගොඩ නැඟීමටයි.
ස්ත්‍රීවාදය යනු ස්ත්‍රීන්ට අයිති දෙයක් නොවෙයි. ඒ වෙනුවට, ස්ත්‍රී වාදය විසින් යෝජනා කරන්නේ පුරුෂාධිපත්‍ය ආකෘතියක් තුළ සියලුම ස්ත්‍රී-පුරුෂ සමාජභාවී කොටස්, කාන්තාවන්, සමරිසි කොටස් මෙන්ම පුරුෂයින් ද පීඩාවට පත්වන බවයි. ඒ අනුව ස්ත්‍රීවාදය යනු ස්ත්‍රීන්ට අයිති දෙයක් හෝ ස්ත්‍රීන් වෙනුවෙන් පමණක් පවතින දෙයක් නොවන බව වටහා ගත යුතුය. පුරුෂයා ද මෙම පුරුෂාධිපත්‍ය ආකෘතියෙන් පීඩා විඳින බවට හොඳම උදාහරණය නම්, රාජ්‍යයේ නිල මතකය විසින් සොල්දාදුවා වීරත්වයට සහ පසුකාලීනව දේවත්වයට ඔසවා තැබීමයි. පිරිමින් තම මාතෘ භූමිය වෙනුවෙන් දිවි පුදන්නා වූ වීරයින් බවට පත්විය යුතු බව පුරුෂාධිපත්‍ය ආකෘතියේ යෝජනාවයි. ඒ යෝජනාව අනුව යමින්, තම ජීවිතය පරදුවට තබා, තම ශරීර අවයව අහිමි වනබව දැන දැනම යුද්ධය වෙත බිලිවූ සිංහල තරුණයින්ගේ ප්‍රමාණය දහස් ගණනකි.
යුද්ධයේ වින්දිත ස්ත්‍රීන් පිළිබඳ කතා කරන බොහෝ අවකාශවලින් යුද්ධයේ වින්දිත පුරුෂයින් පිළිබඳ කතාබහක් මතුව නොඑන්නේ, පුරුෂයින් මෙම පුරුෂාධිපත්‍ය ආකෘතිවල වින්දිතයින් බවට පත්විය හැකි බව බොහෝ දෙනා නොපිළිගැනීමයි. ඒ වෙනුවට ජනප්‍රිය අදහස වන්නේ, ස්ත්‍රිය වින්දිතයා වන අතර, පුරුෂයා අපරාධකරුවා වන බවයි. නමුත් මේ දෙදෙනාම, එනම් වින්දිතයා සහ අපරාධකරුවා යන දෙදෙනාම නිර්මාණයකර ඇත්තේ සමාජ-ආර්ථික සහ දේශපාලන ව්‍යුහ විසිනි.
අපරාධකරුවන් යනු අහසෙන් වැටෙන පිරිසක් නොවෙයි. අපරාධකරුවන් යනු සමාජ නිර්මාණයකි. අපරාධකරුවෙකු ක්‍රියාත්මක වන්නේ, අවුරුදු දහස් ගණනක් තිස්සේ ස්ත්‍රිය තමාට වඩා පහත් සත්ව කොට්ටාශයක්ය යන අදහස සමාජ ගතව ඇති සමාජයකයි. එම අපරාධකරු නම් කිරීම වැදගත් නොවන බව මගේ අදහස නොවෙයි. නමුත් ඒ වෙනුවට මා යෝජනා කරන්නේ, අපරාධකරු යනු සමාජ ව්‍යුහයේ හෝ රාජ්‍ය ප්‍රතිපත්තිවල බලපෑමකින් තොරව තමා විසින්ම නිර්මාණය වූවෙක්ය යන අතිශය ලිබරල් අදහස ප්‍රශ්නකළ යුතු බවයි. ඒ වෙනුවට, ආකල්ප වෙනස් කිරීමක් හරහා සමාජ ව්‍යුහය වෙනස්කළ හැකි ක්‍රියාමාර්ග වෙත යොමු විය යුතු වෙයි.
ජනප්‍රිය තලයේදී එල්ලවන තවත් විවේචනයක් වන්නේ, ස්ත්‍රීන්ම ස්ත්‍රීවාදයට එරෙහි වන්නේ ඇයි ද යන්නයි. ස්ත්‍රීවාදය වෙනුවෙන් පෙනී සිටීමට ලිංගිකත්වය බල නොපානවා සේම, ස්ත්‍රීවාදයට විරුද්ධ වීමටද ලිංගිකත්වය බල පාන්නේ නැත. එයට හේතුව වන්නේ, කලිනුත් මා සඳහන් කළ ආකාරයට, අපරාධකාරයින් අහසින් නොවැටෙනවා මෙන්ම, ස්ත්‍රීන් ද මේ සමාජයේම නිර්මිත මිස අහසෙන් වැටුණු සත්වයින් නොවීමයි.
එහිදී යම් ස්ත්‍රියක් පුරුෂාධිපත්‍ය ආකෘති සාධාරනීකරණය කිරීම, පුරුෂයෙක් පුරුෂාධිපත්‍ය ආකෘති සාධාරණීකරණය කිරීමට වඩා වෙනස් වන්නේ නැත. ඇය සමාජයේම නිර්මිතයකි. මේ දෙදෙනාම සමාජානුයෝජන ක්‍රියාවලීන්ගේ ප්‍රතිඵලයකි. සමාජ-ආර්ථික-දේශපාලන කතිකාවල සහ ප්‍රතිපත්තිවල නිර්මාණයකි. නමුත් ස්ත්‍රීවාදය විසින් ඉල්ලා සිටින්නේ, ලිංගිකත්ව භේදයකින් තොරව, සියලු දෙනාම පුරුෂාධිපත්‍ය ආකෘති ප්‍රශ්න කිරීමට යොමු විය යුතු බවයි.
ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව, පුරුෂාධිපත්‍ය ආකෘතියකට විරුද්ධවන සියලු දෙනා ස්ත්‍රීවාදීන්ය. ස්ත්‍රීවාදයේ පොරොන්දුව සමානාත්මතාව සහිත සමාජයකි. පුරුෂයින් ස්ත්‍රීවාදී වීමෙන් ඔවුන්ගේ ‘පිරිමිකමේ’ අඩුවක් සිදුවන්නේ නැත. මේ සමඟම කිවයුතු කරුණක් වන්නේ, ‘පිරිමිකම’ හෝ ‘ගැහැනුකම’ කියා දෙයක් නොමැති බවයි. විවිධ ස්වභාව ස්ත්‍රියට හෝ පුරුෂයාට ආරෝපණයකර, ඒ ලක්ෂණ දිගින් දිගටම පවත්වා ගෙන යාම හරහා අදාළ සංස්කෘතිය විසින් ‘ස්ත්‍රී’ සහ ‘පුරුෂ’ ලක්ෂණ නිර්මාණය කර ඇත. මෙම ආකෘතිගතකිරීම් වලින් සිදු වන්නේ, ස්ත්‍රියගේ මෙන්ම පුරුෂයාගේ ද ප්‍රකාශනයේ සහ හැසිරීමේ නිදහස සීමා කිරීමයි.
විලාසිතාවලට ආසා පිරිමියෙකු ට තම අදහස ප්‍රසිද්ධියේ ප්‍රකාශකළ නොහැකි වන්නේ එය ‘ගෑනු වැඩ’ ලෙස හංවඩු ගසා තිබීම නිසාය. ස්ත්‍රීවාදී වීම ද එසේමය. ස්ත්‍රීවාදී වීම ‘ගෑණු වැඩක්’ ලෙස සමාජය හංවඩු ගසා ඇත. මා දන්නා ඉතාම ‘ප්‍රගතිශීලී’ පිරිමි පවා ප්‍රසිද්ධ අවකාශවලදී ස්ත්‍රීවාදී වීමට හෝ ස්ත්‍රීවාදය වෙනුවෙන් පෙනී සිටීමට හෝ මැලිකමක් දක්වන්නේ ස්ත්‍රීවාදී යනු ‘ගෑනු වැඩක්’ යයි සිතාගෙන සිටින නිසාය.
ස්ත්‍රීන් පීඩාවට පත්කරන්නන් සියලු අවකාශවල සිටිය හැකිය. එම අවකාශ ‘ප්‍රගතිශීලී’ යයි අප හඳුනාගන්න අවකාශ වීමේ හැකියාවක් ද ඇත. ස්ත්‍රීවාදීන්ගේ – පුරුෂයින්, ස්ත්‍රීන් ඇතුළු සියලු ලිංගිකයින් – කාර්ය වන්නේ එම අවකාශ ස්ත්‍රීවාදී අවකාශ බවට පරිවර්තනය කිරීමයි. එම අවකාශ ප්‍රතික්ෂේප කිරීම හරහා ස්ත්‍රීවාදයට යා හැකි දුර අවම වන්නේ, සියලු අවකාශ – විශ්වවිද්‍යාල, විකල්ප ධාරාවේ ‘ප්‍රගතිශීලී’ අවකාශ ඇතුළු මෙකී නොකී සියලු අවකාශ – ලිංගික අඩම්තේට්ටම් කරුවන්ගෙන් පිරී පැවතීමයි. අවාසනාවකට, ඓතිහාසිකව පවතින ස්ත්‍රී-පුරුෂ සමාජභාවී කොන්දේසිගත කිරීම් මෙයට හේතු වී ඇත. නමුත් සැබෑ ස්ත්‍රීවාදී අරගල සිදුකළ යුත්තේ, මෙම අවකාශ ස්ත්‍රීවාදී අවකාශ බවට පත් කරමින්, සැබෑම ප්‍රගතිශීලී තත්ත්ව නිර්මාණය කිරීමෙනි.
පුරුෂාධිපත්‍ය ආකෘති පිළිගන්නා අයෙක් මිලිටරිකරණය හෝ ඒකාධිපති පාලනය ද පිළිගත යුතුය. එයට හේතුව, ඒ සියළු දේ එකිනෙකින් වෙන්කළ නොහැකි සේ බැඳී පැවතීමයි. එනයින්, සැබෑ ප්‍රගතිශීලීත්වය වෙනුවෙන් පෙනී සිටින්නන් ස්ත්‍රීවාදී වීම නෛසර්ගිකය. ස්ත්‍රී-පුරුෂ හෝ වෙනත් භේදයකින් තොරව සියලු මානවයින් ස්ත්‍රීවාදී අරගල වෙනුවෙන් පෙනී සිටිය යුතු වන්නේ, ඓතිහාසිකව සියලු දෙනාටම පීඩාකාරී ව්‍යුහ නිර්මාණයකළ පුරුෂාධිපත්‍ය ආකෘති ප්‍රශ්නකළ යුතු බැවිනි. ඒ වෙනුවෙන් දහස් ගණන් මානවයින් ඒකරාශී විය යුතුය.
ස්ත්‍රීවාදී අරගලයට ජය!