පහත ලිපිය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව ස්පාටකස් සාමුහිකය විසින්
නීතිඥ පාර්ශ්වය විසින් මතුකර ඇති කතිකාව සහ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳව මනෝවිශ්ලේෂණාත්මකව සිදුකෙරෙන ගැඹුරු විග්‍රහයකි.
මෙය මීට පෙර පළ කළ 'සංකේතීය මායාව බිඳ වැටීම' ලිපියේ ( 'සංකේතීය මායාව' බිඳ වැටීම සහ පෙරකදෝරු සංගමයේ අර්බුදය - (ස්පාටකස් ලිපි) ) දෙවන කොටස වේ.
(පෙර ලිපියේ සබැඳිය: 'සංකේතීය මායාව' බිඳ වැටීම සහ පෙරකදෝරු සංගමයේ අර්බුදය - (ස්පාටකස් ලිපි)
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිගු කිරීමට එරෙහි පෙරකදෝරු සංගමය හා එහි සහායකයින් එල්ල කරන "ප්‍රබල චෝදනාවක්" වන්නේ විශ්‍රාම වයස දිගු කිරීම තුළ අගවිනිසුරුවරයාට සහ අනෙකුත් විනිසුරුවරුන්ට ආණ්ඩුව කෙරෙහි (ඔවුන්ට අනුව අනුර කෙරෙහි) කැමැත්තක්, ලැදියාවක් සහ බැඳීමක් ඇතිවන බවත්, එය අල්ලසක් ලෙස ක්‍රියාත්මක වන බවත්ය. ඔවුන් එසේ පවසන විටම "අධිකරණයේ පරිපූර්ණ ස්වාධීනත්වය" යනු මායාවක් බව ඔවුන් විසින් පිළිගෙන හමාරය. අධිකරණ ස්වාධීනත්වය යනු පුද්ගලයාගේ සම්පූර්ණ මනෝවිද්‍යාත්මක නිර්පාක්ෂිකභාවයක් නොව, සාපේක්ෂ වශයෙන් අයුතු බලපෑම්වලට එරෙහිව ආයතනිකව ගොඩනැගිය යුතු, කිසිදා පරිපූර්ණ නොවන සංකේතීය හා නීතිමය සැකැස්මකි.
කැමැත්ත, ලැදියාව හෝ බැඳීම ඇතිවීමේ එකම ආකාරය විශ්‍රාම වයස දිගු කිරීම පමණක් නොවේ. තවත් බොහෝ ආකාර තිබේ. විනිසුරුවරයෙකුට බලපෑම් කළ හැකි තවත් සාධක තිබේ.
- ඉන් ප්‍රධානම සාධකයක් වන්නේ අවිඥානික හඳුනාගැනීම් හා ආශාවන්ය;
- ඉන් පසු, පවුල් හා ඥාති සම්බන්ධතා;
- පාසල් හා වෘත්තීය ජාල;
- පන්තිමය අනන්‍යතාව;
- දේශපාලන පත්කිරීම්;
- අනාගත තනතුරු පිළිබඳ බලාපොරොත්තු;
- සමාජ ගෞරවය;
- වෘත්තීය කණ්ඩායම් සමඟ සම්බන්ධතා; යනාදිය සැලකිය හැකිය.
උදාහරණයකට වත්මන් නීතිපති පාරින්ද ජූනියර් හට විශේෂයෙන්ම රනිල් වැනි ප්‍රභූන් කෙරෙහි ඇති එම ලබැඳියාව ඔහුගේ පවුල් ඉතිහාසය තුළින්ම පැමිණෙන්නේ ඉහත සඳහන් කළ සියලු කාරණා තුළය. ඒ පිළිබඳව නැවත ලිවිය යුතු නොවන්නේ 2025 පෙබරවාරි 05 දින ලිපියක් පළ කළ බැවිනි. (මේ එහි සබැඳියයි: https://www.facebook.com/share/p/18rfBr6mJ7/).
සුජීව සේනසිංහ දිනක් පාර්ලිමේන්තුව අමතමින් මෙසේ ප්‍රකාශ කළේය:
"අපි සේනසිංහලා, අපි අපේ පවුල් ඉතිහාසය තුළ හතරවෙනි පරම්පරාවේ නීතිඥයෝ"
(ප්‍රකාශයට අනුව ඔහුගේ සහෝදර සහෝදරියන් ද නීතිඥයින් හෝ විනිසුරුවන්ය). ඒ අනුව පෙනී යන්නේ සුජීවගේ මීමුත්තා ඉංග්‍රීසි පාලන සමයේ නීතිඥ හෝ/සහ විනිසුරු තනතුරක් දරා ඇති බවය. ඊට අනුව ඉන්පසු ඔහුගේ දරුවන් ද, (සුජීවගේ මුත්තා ඇතුළු ඔහුගේ සහෝදර සහෝදරියන්), ඒ ආකාරයෙන්ම ඉංග්‍රීසීන්ට සේවය කර තිබෙන බව ප්‍රකාශය තුළින් හෙළිදරව් වේ. සුජීවගේ මව සහ පියා ද විනිසුරුවන්ය.
"අපි සේනසිංහලා, අපි අපේ පවුල් ඉතිහාසය තුළ හතරවෙනි පරම්පරාවේ නීතිඥයෝ" යන සුජීවගේ 'උච්චාරණය' සහ එහි 'ප්‍රකාශනය' තුළ ඇත්තේ කුමක්ද? එනම්, තම මුතුන් මිත්තන්ට ඉංග්‍රීසි පාලනයේ බලය සමඟ තිබූ සම්බන්ධයත්, තම දෙමාපියන් යනු එම උරුමයේ දේශීය දේශපාලන බලය (UNPය) සඳහා වූ අනුප්‍රාප්තිකයන් බවත්, තමන් ද කැප වී සිටිනුයේ එම උරුමය ඉදිරියට ගෙනයාම සඳහා බවත්ය.
එනම් "අපේ පවුල යටත්විජිත ඉංග්‍රීසි පාලකයාගේ සිට නිදහසින් පසු පැවැති ප්‍රභූ දේශපාලන පන්ති ක්‍රමය (UNP ආධිපත්‍ය) දක්වා වූ පැවැත්මේ සෘජු අනුප්‍රාප්තිකයන් සහ හවුල්කරුවන් වේ" යන්නයි.
මෙහිදී නීතිය යනු පූජනීය, සාධාරණ සංස්ථාපිතයක් නොව, ප්‍රභූ පන්තිය පරම්පරා ගණනාවක් තිස්සේ තමන්ගේ පන්තිමය ප්‍රාග්ධනය (symbolic capital) සහ බලය පවත්වාගෙන යාම සඳහා භාවිත කළ පවුල් දේපළක් බව ඔහු විසින්ම අහම්බෙන් ප්‍රකාශ කරනු ලබයි (දිව ලිස්සා යාම).
දැන් කෙනෙකුට පැවසිය හැක්කේ එම ප්‍රකාශයේ සැඟවුණු අර්ථය අනිවාර්යයෙන්ම “මම යටත්විජිත බලයේ අනුප්‍රාප්තිකයා වෙමි” යන්න බව කිව නොහැකි බවත්, වෙනත් අර්ථ ද තිබිය හැකි බවත්ය. නමුත්, සුජීව විසින් එය පැවසූ සන්දර්භය සහ ඔහුගේ දේශපාලන ඉතිහාසය විසින් ප්‍රකාශයේ අර්ථය ස්ථිර කරයි.
ලකානියානු මනෝවිශ්ලේෂණය තුළ, 'ප්‍රකාශයේ ආත්මය' (subject of the statement) සහ 'උච්චාරණයේ ආත්මය' (subject of enunciation) අතර වෙනස මගින් "කියනු ලබන දේ" සහ එය "උච්චාරණය කිරීමේ ක්‍රියාව" අතර පවතින මූලික පරතරය පැහැදිලි කෙරේ.
මෙම බෙදීම මගින් පෙන්වා දෙන්නේ කතාකරන්නෙකු කිසි විටෙකත් තමන් පවසන වචන සමඟ සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ නොවන බව හෝ එම වචනවලින් ඔහු සම්පූර්ණයෙන් නිරූපණය නොවන බවයි.
'හැඟවුම්කාරකයක්' විසින් ආත්මය නියෝජනය කරන්නේ තවත් 'හැඟවුම්කාරකයක්' වෙනුවෙනි (සඳහාය). නමුත් කිසිදු 'හැඟවුම්කාරකයකින්' 'ආත්මය' සම්පූර්ණයෙන් අල්ලාගත නොහැකිය. කතාකරන්නාගේ “මම” සහ කථනයේ ක්‍රියාවෙන් මතුවන 'ආත්මය' අතර සෑමවිටම පරතරයක් පවතී. “මම” යන්න 'ප්‍රකාශයේ ආත්මය' නියෝජනය කරන අතර එය කතාකරන්නා තමන් ගැන නිර්මාණය කරන සවිඥානික ප්‍රතිරූපය සමඟ බැඳී තිබිය හැකිය (එහෙත් 'ප්‍රකාශයේ ආත්මය' සරලව "මමය" හෝ පරිකල්පනීය රටාවට පමණක් අයත් නොවන අතර එහි ව්‍යාකරණය, වචන සහ හැඟවුම්කාරක පවතින්නේ 'සංකේත රටාව' තුළ වන අතර පරිකල්පනීය වන්නේ එම 'ප්‍රකාශය' තුළ කථිකයා තමන් ගැන ඉදිරිපත් කරන "සංගත ප්‍රතිරූපයයි"; imaginary order — අප විසින් ප්‍රක්ෂේපණය කරනු ලබන ස්වයං-ප්‍රතිරූපය හෝ අනන්‍යතාව). එවිට, 'ප්‍රකාශයේ ආත්මය' යන්නෙන් අදහස් කරන්නේ වාක්‍යය තුළ පැහැදිලිවම අඩංගු වන ව්‍යාකරණමය කතෘ, චරිතය හෝ නිරූපණයයි. එයින් නිරූපණය වන්නේ ප්‍රකාශය තුළ ඇති "මම" යන්නයි. එනම්, සවිඥානික අහංකාරය (මමය/Ego) හෝ කතාවට ලක්වන පුද්ගලයායි/කතාවට ලක්වන "මම" (ව්‍යාකරණ, සෘජු භාෂාව සහ පරිකල්පනීය රටාව).
එවිට මූලික ප්‍රශ්නය වන්නේ මෙම ප්‍රකාශය තුළ “මම” ලෙස නිරූපණය කර ඇත්තේ කවරෙකුද යන්නයි.
උදාහරණයක් ලෙස "මම ඉතා ආත්මවිශ්වාසයෙන් සිටිමි" යැයි කෙනෙක් පැවසුවහොත්, එම වාක්‍යයේ, පෙළෙහි ඇති "මම" යනු 'ප්‍රකාශයේ ආත්මයයි'. 'උච්චාරණයේ ආත්මය' (subject of enunciation) යන්නෙන් අදහස් කරන්නේ කථා කිරීමේ ක්‍රියාව ආරම්භ වන සැබෑ ස්ථානය, අවිඥානික පූරණය (unconscious motivation) හෝ ව්‍යුහාත්මක පදනමයි. එය අයත් වන්නේ 'සංකේත රටාව' (symbolic order), අවිඥානික ආශාව, දෘෂ්ටිවාදය සහ උච්චාරණයේ සන්දර්භය යන ක්ෂේත්‍රවලටය.
ලකාන් මෙම වෙනස පැහැදිලි කිරීමට ප්‍රසිද්ධ "බොරුකාරයාගේ පරස්පරතාව" භාවිත කළේය: "මම බොරු කියමි." 'ප්‍රකාශය' සත්‍ය නම්, එය ("මම බොරු කියමි") අසත්‍ය වේ; එය අසත්‍ය නම්, එය සත්‍ය වේ.
තවදුරටත් එය පැහැදිලි කරන්නේ නම්, සාමාන්‍ය තර්ක ශාස්ත්‍රයට අනුව "මම බොරු කියමි" යන ප්‍රකාශය විසඳිය නොහැකි වටරවුමකි. එනම්, ඔබ කියන දේ සත්‍ය නම් "මම බොරු කියමි" යන ප්‍රකාශය සත්‍ය වේ (එනම් ඔබ බොරු කියන්නෙකි). ඔබ කියන දේ අසත්‍ය නම් "මම බොරු කියමි" යන්න අසත්‍ය වේ (එනම් ඔබ කියන්නේ සත්‍යයකි). තර්ක ශාස්ත්‍රය තුළ මෙය දෝෂයක් හෝ මඟහැරිය යුතු පරස්පරතාවක් ලෙස සැලකේ (නීතිය ද පදනම් වී ඇත්තේ මෙම සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රීය පරස්පරතාව (logical paradox) තුළය).
ලකාන් පෙන්වා දෙන්නේ මෙහි පරස්පරතාවයක් හටගන්නේ භාෂාව තුළ 'ප්‍රකාශයේ ආත්මය', එනම් මෙය වාක්‍යය ඇතුළේ ඉන්න "මම" (ව්‍යාකරණමය කර්තෘ), එනම්, "මම බොරු කියමි" යන වාක්‍යයේ අඩංගු වී ඇති රූපක "මම" සහ 'උච්චාරණයේ ආත්මය', එනම්, වාක්‍යය සැබවින්ම උච්චාරණය කරන/කතා කරන "මම" අතර බෙදීම නිසා බවයි (ඉහතින් ද විස්තර කර ඇත).
ලකාන් විසින් ඉන් පවසන ප්‍රධාන කාරණය වන්නේ ඔබ "මම බොරු කියමි" යැයි පවසන විට කතා කරන පුද්ගලයා ('උච්චාරණයේ ආත්මය') විසින් යම් ප්‍රකාශයක් කරන බවයි. එවිට, එම ප්‍රකාශය මගින් කියැවෙන්නේ වාක්‍යය ඇතුළේ සිටින "මම" ('ප්‍රකාශයේ ආත්මය') බොරු කියන බවයි. එබැවින්, සැබෑ ලෙසම කතා කරන පුද්ගලයා සත්‍යයක් ප්‍රකාශ කරමින් සිටිනවා විය හැකිය. එනම්, "වාක්‍යය තුළ සිටින මම බොරුකාරයෙකි" යන සත්‍යයයි.
ලකාන් පෙන්වා දෙන්නේ, මිනිසා භාෂාව භාවිත කිරීමට පටන් ගන්නා මොහොතේම, උච්චාරණයේ ආත්මය (තමන් කතා කරන ආත්මය) සහ වචන මගින් නිරූපණය වන "වාක්‍යයේ සිටින ආත්මය" ('ප්‍රකාශයේ ආත්මය') අතර පැහැදිලි දෙකඩ වීමක් (split) සිදු වන බවයි. අප වචන මගින් "මම" යැයි කියන සෑම විටම, අප නිරූපණය කරන්නේ අප වචන උච්චාරණය කරන ස්ථානය නොව, භාෂාව විසින් නිර්මාණය කරන ලද නිරූපණයක් පමණි. "බොරුකාරයාගේ පරස්පරතාව" මගින් ලකාන් පෙන්වා දෙන්නේ භාෂාව තුළ මිනිස් ආත්මය මෙලෙස පරස්පර හා දෙකඩ වී ඇති බවය.
උච්චාරණයේ මට්ටමින් සැලකුවහොත්, "මම බොරු කියමි" යැයි උච්චාරණය කිරීමේ භෞතික ක්‍රියාව සිදු කරන කතාකරන්නා තුළින් ආත්මයේ සත්‍යයක් ප්‍රකාශ විය හැකිය. ඔහු අනෙකාට වංචා කිරීමට ගන්නා උත්සාහය තුළ, තම ආශාව හෝ බිය පිළිබඳ සත්‍යයක් නොදැනුවත්වම ප්‍රකාශ විය හැකිය. උච්චාරණය සිදු කරන කතාකරන්නා, එම උච්චාරණය තුළ සිටින "මම" යන චරිතයෙන් ව්‍යුහාත්මකව වෙනස් වන බව මෙයින් ඔප්පු වේ (භාෂාව තුළ කථික ආත්මය බෙදී පවතින ආකාරය).
දැන් මෙය සුජීව සේනසිංහ වෙත යෙදූ විට ඔහුගේ 'උච්චාරණයේ ආත්මය' තුළ පෙනී යන්නේ නීතිඥ වෘත්තිය යනු සෑම පුරවැසියෙකුටම සමානව විවෘත වූ එකක් නොව, යටත්විජිත පාලකයාගේ සිට පැවත එන "පරම්පරාගත ප්‍රභූ පන්ති දේපළක්" බව ඔහුට අවිඥානික බවයි (“අපි” සහ “හතරවැනි පරම්පරාව” යන 'හැඟවුම්කාරක' මගින් කථිකයා තම නීතිමය අධිකාරිය පවුල් පෙළපතකින් සුජාතකරණය කරගැනීමට උත්සාහ කරන අතර එය පරම්පරාගත සංකේතීය ප්‍රාග්ධනය ප්‍රදර්ශනය කිරීමකි).
නමුත් දැන් නිදහස් අධ්‍යාපනය තුළින් ඕනෑම අයෙකුට එම වෘත්තිය වෙත ඇතුළු විය හැකිය. එය ද සුජීව දනී. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඇති තරගයෙන් එසේ ඇතුළු වන පුද්ගලයා පැරණි ප්‍රභූ ව්‍යුහය විනාශ නොකර, එහි සංකේතීය වරප්‍රසාද ආරක්ෂා කරගත යුතු බවත්, එසේ ඇතුළු වන නව සමාජ කණ්ඩායම් එම වගකීම ඉදිරියට ගෙන යා යුතු බවත් ඉන් අදහස් වේ. ඒ සඳහා අටවාගත් සංවිධානය වන්නේ පෙරකදෝරු සංගමයයි. එවිට ප්‍රජාතන්ත්‍රවාදය යනු එකතරා අර්ථයකින් ඕනෑම අයෙකුට ඕනෑම වෘත්තියකට ඇතුළු විය හැකි වුවද ඒවායේ පැරණි ධනේශ්වර උරුමයන් කඩ නොකළ යුතු බවට වන ව්‍යවස්ථාපිතයකි. එය එම අර්ථය තුළ දේශීය වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන්ම සංවිධානය වී තිබේ.
නීති වෘත්තිය නීතිමය වශයෙන් සියලු දෙනාට විවෘත වුවද, එහි සංකේතීය ගෞරවය, භාෂාව, වෘත්තීය ජාල සහ අධිකාරී ස්ථාන පරම්පරාගත සමාජ ප්‍රාග්ධනය මගින් අසමානව බෙදී යයි. නව සාමාජිකයන්ට එම ක්ෂේත්‍රයට ඇතුළුවීම සඳහා එහි පැරණි චාරිත්‍ර හා අධිකාරී භාෂාව යම් තරමකට අනුගමනය කිරීමට සිදු වේ.
දැන් නැවත මේ තත්ත්වය ප්‍රස්තුත කාරණය වන "අධිකරණයේ ස්වාධීනත්වය" යන්නට අදාළව සලකා බලන්නේ නම්, අධිකරණයේ ධූරාවලිවල ස්ථානගත වන පුද්ගලයා එම ව්‍යුහයට අදාළව පරිපූර්ණ වශයෙන් ස්වාධීන නොවේ. එනම්, සෑම සවිඥානික ක්‍රියාවකටම අවිඥානයේ බලපෑම තිබේ (එයින් පැහැදිලි කර ඇත්තේ එයයි). එවිට ධූරයේ කටයුතු කරන්නාට අදාළ සංකේත රටාව, අවිඥානික ආශාව, දෘෂ්ටිවාදය, සමාජ පසුබිම සහ උච්චාරණයේ සන්දර්භය වැනි සියල්ල ඔහුගේ තීරණ සඳහා බලපායි. එහෙත් නීති, සාක්ෂි, වෘත්තීය චාරිත්‍ර, ප්‍රසිද්ධ හේතු දැක්වීම් හා ආයතනික පරීක්ෂණ වැනි දේ සම්පූර්ණයෙන් නොසලකා හැර තීරණ ගත නොහැකි බව සැබෑය (අවිඥානයේ බලපෑම පිළිගැනීම යනු වගකීම අහෝසි වේ යන්න පිළිගැනීම නොවේ). ඒ ඊට අදාළ ව්‍යවස්ථා, නීති සහ ආයතනික ව්‍යුහයක් පැවතීම හේතුවෙනි. එසේ කළහොත් කිසිදු පුද්ගලයෙකුගේ තීරණයක් විවේචනය කිරීමට හෝ ඔහුට වගකීම පැවරීමට නොහැකි වනු ඇත.
අධිකරණ ස්වාධීනත්වය යනු පුද්ගලයාගේ සම්පූර්ණ මනෝවිද්‍යාත්මක නිර්පාක්ෂිකභාවයක් නොව, අයුතු බලපෑම්වලට එරෙහිව ආයතනිකව ගොඩනැගිය යුතු, එසේ කිරීමට උත්සාහ කළ ද කිසිදා පරිපූර්ණ නොවන සංකේතීය හා නීතිමය සැකැස්මකි.
ප්‍රජාතන්ත්‍රවාදය තුළ නීතියට සහ අධිකරණ පද්ධතියට බලපෑම් නොවන රාජ්‍යයක් මෙදියත නොමැත (තිබේ නම්, එසේ නොමැති වන ආකාරය සහ එවැනි නීතිමය සහ අධිකරණ පද්ධතියක් පෙන්වන්න).
දැඩි ආයතනික ව්‍යුහයක් අවශ්‍ය වන්නේ බෙදුණු ආත්මය ඉහත විස්තර කළ ආකාරයෙන් බෙදී ඇති නිසාය. එනම්, අධිකරණයට අදාළව පවසන්නේ නම්, විනිසුරුවරයා සම්පූර්ණයෙන් නිර්පාක්ෂික හා තමන්ටම පාරදෘශ්‍ය පුද්ගලයෙකු නොවන නිසාම පහත ආරක්ෂණ අවශ්‍ය වේ.
- ස්ථිර ධුර කාලය;
- විනිවිද පත්කිරීම්;
- අභිලාෂ-ගැටුම්වලදී නඩුවෙන් ඉවත්වීම;
- හේතු සහිත ලිඛිත තීන්දු;
- අභියාචනා;
- විවෘත අධිකරණ ක්‍රියාමාර්ග;
- විනය ක්‍රම;
- නඩු පැවරීම හා විනිශ්චය වෙන් කිරීම;
- විධායක බලයෙන් ආයතනික දුරස්ථභාවය.
විනිසුරුවරයා යනු පූර්ණ ස්වාධීන හා ස්වයං පාරදෘශ්‍ය ආත්මයක් නොවන බැවින්, අධිකරණ ස්වාධීනත්වය පුද්ගලික ගුණධර්ම මත පදනම් වීමක් ලෙස නොව, අයුතු බලපෑම් අවම කරන ආයතනික හා සංකේතීය සැකැස්මක් ලෙස ගොඩනැගීමට අවශ්‍යව තිබේ.
කිසිදු විනිසුරුවරයෙකු තම පවුල් ඉතිහාසයෙන්, පන්තියෙන්, දෘෂ්ටිවාදයෙන්, ආශාවෙන් සහ අවිඥානිකයෙන් සම්පූර්ණයෙන් නිදහස් නොවේ. එබැවින් අධිකරණ ස්වාධීනත්වය යනු විනිසුරුවරයාගේ පූර්ණ නිර්පාක්ෂිකභාවය මත පදනම් වූවක් නොව, එම නොවැළැක්විය හැකි බලපෑම් අයුතු මැදිහත්වීමකට පරිවර්තනය වීම අවම කරන (අවම කිරීම තුළ සිදු වන ප්‍රමාණාත්මක වෙනස කොතරම් ද යන්න ගණනය කළ නොහැක) ආයතනික සැකැස්මකි.
නමුත් තවමත් ප්‍රජාතන්ත්‍රවාදීන් සිතනුයේ අධිකරණය වැනි ආයතන පරිපූර්ණ ලෙස ස්වාධීන කළ හැකි බවත්, ලෝකයේ එවැනි තත්ත්වයන් ඇති බවත්ය.
"නීතියට අදාළව සලකන්නේ නම්, 'මහා අනෙකා' නොපවතී" යන ලකානියානු ප්‍රකාශයේ අර්ථය වන්නේ නීතියට අදාළ පද්ධතිවල සංගතභාවය අවසාන වශයෙන් සහතික කරන දෝෂ රහිත පරම අධිකාරියක් නොමැති බවයි. එනම්, නීතිය ක්‍රියාත්මක වන නමුත් නීතියට තමන්ගේම අවසාන පදනමක් ලබා දිය නොහැකිය.
වර්තමාන ආණ්ඩුව හෝ දේශපාලන වෙනස්කම් හමුවේ සිදුවී ඇත්තේ මෙම තත්ත්වය එළිදරව් වීමයි ('මහා අනෙකා' නොපවතී යන්න). එනම්, දේශපාලන අර්බුද, වංචා, දූෂණ හෙළිදරව් කිරීම් සහ ආයතනික ගැටුම් මගින් සිදු වන්නේ එම 'අඩුව' සමාජයට වඩාත් පැහැදිලිව නිරාවරණය වීමයි (මෙය ජවිපෙ ආණ්ඩු බලය හිමිකරගැනීම තුළ සිදු වූ එක් වැදගත් සිදුවීමක් වන අතර වාමාංශිකයින් අතින් සිදුවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය කරගසා ගැනීම නොව මේ පිළිබඳව කතිකාවක් ඇති කිරීමය; දේශපාලන දිශානතිය වෙනස් කළ හැක්කේ ඒ තුළිනි). සිදුවිය යුත්තේ ඊට සහාය දැක්වීම වුවත් බුද්ධිමතුන් සහ බුද්ධිමත් වාමාංශිකයින් සුපුරුදු පරිදි ඊට එරෙහි වෙමින් සිටී.
# ස්පාටකස් ලිපි
පෙර සබැඳි -
'සංකේතීය මායාව' බිඳ වැටීම සහ පෙරකදෝරු සංගමයේ අර්බුදය - (ස්පාටකස් ලිපි)
https://slleader.lk/social/14199-2026-07-31-21-12-45

