SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

 

ශ්‍රී ලංකාව නිදහසින් පසු මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයේ ප්‍රතිවිපාක තවමත් ජනතාව භුක්ති විඳිමින් සිටිති. මෙම පසුබිම තුළ,

හිටපු මුදල් අමාත්‍යවරයෙක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් ඉදිරිපත් කර ඇති, "ශ්‍රී ලංකාවේ මුදල් සහ මූල්‍ය පද්ධතිය ප්‍රතිනිර්මාණය කිරීම" නමැති ප්‍රතිපත්තිමය ලේඛනය [Rebuilding Sri Lankas Monetary and Financial System: A National Prescription for Stability, Growth and Economic Renewal] මේ දිනවල දේශපාලන සහ ආර්ථික කවයන්හි අවධානයට ලක්ව තිබේ.

 

 

ඔහුගේ ලේඛනයේ මූලික අරමුණ වී ඇත්තේ, වත්මන් අර්බුදය හුදෙක් හුදකලා ආර්ථික සිදුවීම් මාලාවක් නොව, ශ්‍රී ලංකාවේ මුදල් සහ මූල්‍ය පාලන ව්‍යුහයේ ඇති දිගුකාලීන දුර්වලතාවල ප්‍රතිඵලයක් බව පෙන්වා දීමයි. එහි අඩංගු කරුණු සහ නූතන ආර්ථික-දේශපාලනික යථාර්ථයන් පදනම් කරගනිමින් සැකසූ විචාරාත්මක විශ්ලේෂණයක් පහත දැක්වේ.

 

 

සංකෝචන ප්‍රතිපත්ති පිළිබඳ රවීගේ කියවීම සහ යථාර්ථය

වත්මන් මහ බැංකු පාලනය සහ ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් කරුණානායක මන්ත්‍රීවරයා ගෙන එන ප්‍රබලතම විවේචනයක් වන්නේ, නිෂ්පාදනය, ආයෝජනය සහ රැකියා වියදමින් සංකෝචන ආර්ථික කළමනාකරණය මත අධික ලෙස යැපීමයි. ආර්ථිකයක් අඛණ්ඩව ණය මර්දනය කරමින් සහ ව්‍යවසාය දුර්වල කරමින් තිරසාර සමෘද්ධියක් අපේක්ෂා කළ නොහැකි බව ඔහු පෙන්වා දෙයි. වර්ධනයකින් තොර ස්ථාවරත්වය අවසානයේ එකතැන පල්වීමක් (Stagnation) බවට පත්වන බව ඔහුගේ මතයයි.

 

 

මෙහිදී රවී කරුණානායක ආර්ථික විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේ නැත. ඒ වෙනුවට ඔහු විවේචනය කරන්නේ උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාත ඉහළ නංවමින් වෙළඳපොළට මුදල් නිකුත් කිරීම සීමා කරන සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාත්මක 'සංකෝචන ආකෘතිය' (contractionary model) මත පමණක් යැපීමයි. නූතන විචාරකයින් ද නිරන්තරයෙන් මතුකරන තර්කයක් වන්නේ, ඊනියා පෙළපොත් ආර්ථික විද්‍යාව තුළ ඇති 'ඉලක්කගත උද්ධමන අනුපාත' පවත්වා ගැනීම පමණක් ජාතියක ආර්ථිකය සුරක්ෂිත කිරීමට ප්‍රමාණවත් නොවන බවයි. භාණ්ඩ හිඟය සහ දුර්වල දේශීය සැපයුම නිසා ඇතිවන උද්ධමනය, මූල්‍ය සංකෝචනයෙන් පමණක් විසඳිය නොහැකි බවට ඔහු ගෙන එන තර්කය නූතන ප්‍රායෝගික ආර්ථික කියවීම් සමඟ මනාව ගැලපේ.

 

 

මහ බැංකුවේ බලය විමධ්‍යගත කිරීම: ආයතන තුනක යෝජනාව

මෙම ලේඛනයේ ඇති වඩාත්ම රැඩිකල් යෝජනාව වන්නේ වත්මන් මහ බැංකුව සතු අධික බලය සංකේන්ද්‍රණය වීම අඩු කිරීම සඳහා එය විශේෂිත ආයතන තුනකට වෙන් කිරීමයි.

 
 
  1. ශ්‍රී ලංකා මූල්‍ය අධිකාරිය: මුදල් ස්ථාවරත්වය, විනිමය අනුපාත සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය කළමනාකරණය කිරීම සඳහා.

  2. විචක්ෂණ නියාමන අධිකාරිය (Prudential Regulation Authority): බැංකු, මූල්‍ය ආයතන අධීක්ෂණය සහ වංචා වැළැක්වීම සඳහා.

  3. මූල්‍ය හැසිරීම් අධිකාරිය (Financial Conduct Authority): පාරිභෝගික ආරක්ෂාව සහ වෙළඳපල හැසිරීම අධීක්ෂණය සඳහා.

     

 

බලය එක් ආයතනයක් තුළ කේන්ද්‍රගත වීම වෙනුවට වගකීම් බෙදා හැරීම න්‍යායාත්මකව යහපත් ය. මූල්‍ය අංශය තුළ මෑතකාලීන වර්ධනයන් විසින් ප්‍රමාද වූ අධීක්ෂණය සහ ප්‍රතික්‍රියාශීලී නියාමනය හා සම්බන්ධ බරපතල අවදානම් පෙන්නුම් කර ඇති බවට ඔහු කරන නිරීක්ෂණය නිවැරදිය.

 

එහෙත්, ආයතනික රාමු වෙනස් කිරීමෙන් සහ නව ආයතන නිර්මාණය කිරීමෙන් පමණක් ප්‍රායෝගික ප්‍රතිඵල ලැබේද යන්න බරපතල විචාරයට ලක්විය යුත්තකි. ශ්‍රී ලංකාවේ ගැටලුව ආයතන හිඟකම නොව, පවතින ආයතන ස්වාධීනව සහ අපක්ෂපාතීව ක්‍රියාත්මක නොවීමයි. නව ආයතන තුනක් නිර්මාණය කිරීම යනු තවත් නිලධාරිවාදයක් සහ නඩත්තු වියදමක් නිර්මාණය කිරීමක් විය හැකිය. නූතන දේශපාලන-ආර්ථික විචාරයේදී පැහැදිලි වන කරුණක් නම්, හුදු නාමපුවරු සහ ආයතනික ව්‍යුහයන් වෙනස් කළ පමණින් ආයතනික සංස්කෘතිය වෙනස් නොවන බවයි.

 

 

කතා සාප්පුවලින් ඔබ්බට: ඩිජිටල්කරණය සහ වගවීම

 

ශ්‍රී ලංකාව දශක ගණනාවක් තිස්සේ වාර්තා, කමිටු සහ ප්‍රතිපත්ති පත්‍රිකා නිපදවූවත් ඒවායේ ක්‍රියාත්මක කිරීම සහ වගවීම දුර්වල මට්ටමක පැවති බව කරුණානායක මහතාම සිය ලේඛනයෙන් පිළිගනී. ඩිජිටල්කරණය හුදු තාක්ෂණික ව්‍යාපෘතියක් පමණක් නොවිය යුතු බවත්, එය අකාර්යක්ෂමතාව අඩු කරන ජාතික ආර්ථික පරිවර්තන උපාය මාර්ගයක් විය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

 

එමෙන්ම, මුදල් සහ මූල්‍ය ආයතන කාර්තුවකට වරක් පාර්ලිමේන්තුවට වාර්තා කිරීම, සංචිත ස්ථාන විනිවිදභාවයෙන් යුතුව හෙළිදරව් කිරීම සහ ස්වාධීන විගණනවලට ලක්වීම අනිවාර්ය කළ යුතු බවට ගෙන එන යෝජනා ප්‍රබලය.

 

 

මෙහිදී මතු කළ යුතු ප්‍රධානතම දේශපාලනික සහ ආර්ථික විචාරය වන්නේ, "ස්වාධීනත්වය කිසි විටෙකත් මුක්තියක් නොවිය යුතුය" (Independence must never become immunity) යනුවෙන් ඔහු කරන ප්‍රකාශයයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතියක කිසිදු ආයතනයකට රාජ්‍යයක් තුළ තවත් රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක විය නොහැකි බවට ඔහු ගෙන එන තර්කය, මහ බැංකු ස්වාධීනත්වය පිළිබඳ ගෝලීය පෙළපොත් නිර්දේශවලට එරෙහිව නැගෙන නූතන ප්‍රායෝගික විරෝධය මනාව නියෝජනය කරයි.

 

 

නිගමනය

රවී කරුණානායක හිටපු මුදල් ඇමතිවරයාගේ මෙම ලේඛනය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයට වැදගත් මැදිහත්වීමකි. විදේශීය වට්ටෝරු අන්ධ ලෙස පිටපත් කරනවාට වඩා, ගෝලීය භාවිතයන් දේශීය යථාර්ථයන්ට අනුගත කළ යුතු බවට ඔහු ගෙන එන තර්කය මුළුමනින්ම යථාර්ථවාදීය.

 

 

කෙසේ වෙතත්, ඊනියා ආර්ථික විද්‍යා න්‍යායන් සහ ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීම් කොතරම් තිබුණද, රටක ආර්ථිකය සුරක්ෂිත කිරීමේ අවසන් වගකීම ඇත්තේ දේශපාලන අධිකාරිය සතුවය. ලේඛනයේ අවසානයේ ඔහුම පවසන පරිදි, අවශ්‍ය වන්නේ හුදෙක් ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පමණක් නොව, ආයතනික විනය සහ සාමූහික අධිෂ්ඨානයයි. යෝජනා කොතරම් අගනා වුවත්, ශ්‍රී ලංකාවට මේ මොහොතේ වඩාත්ම හිඟ වී ඇත්තේ එම 'ක්‍රියාත්මක කිරීමේ අවංකභාවය' සහ 'දේශපාලන විනය' මිස අලුත් ආයතන හෝ අලුත් න්‍යායන් නොවේ.

 

 

# සමාරා පරණවිතාන

(Rebuilding Sri Lankas Monetary and Financial System: A National Prescription for Stability, Growth and Economic Renewal By Ravi Karunanayake FCMA,CMA MEMBER OF PARLIAMENT සටහන ඇසුරිනි.)

 

නවතම ලිපි