SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධයෙන් අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක්

දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය. ඒ, රක්ෂිත මායිමේ වනාන්තර එළිපෙහෙළි කරමින් සමාගම් 17ක් විසින් මහ පරිමාණ සූර්ය බලාගාර (Solar Parks) ඉදිකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් බලධාරීන්ගෙන් කළ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේය.

 

 

මාධ්‍යවේදීන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්

 

අලින්ට සුදුසු පරිසරයක් නිර්මාණය කරන බවට බලධාරීන් පුන පුනා පැවසුවද, හෙක්ටයාර් ගණනාවක සූර්ය බලාගාර සහ ගල්වලවල් රක්ෂිතය තුළ තිබියදී සතුන්ට ජීවත්වීමට අදාළ පරිසරය නිර්මාණය වන්නේ කෙසේදැයි මාධ්‍යවේදීහු මෙහිදී බලධාරීන්ගෙන් ඍජුවම ප්‍රශ්න කළහ. විශේෂයෙන්ම 2026 ගැසට් නිවේදනය හරහා සිදුකළ හැකි සහ නොහැකි ව්‍යාපෘති පිළිබඳව මෙහිදී සංවාදයට ලක්විය.

 

 

"කලින් නීති තිබුණේ නෑ" - වනජීවී අධ්‍යක්ෂ ජනරාල්

මෙම ගැටලුවට පිළිතුරු දෙමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ සඳහන් කළේ, අලි-ඇතුන් ගැවසෙන බැවින් එම ප්‍රදේශය නවතම වර්ගීකරණයකට යටත්ව ගැසට් කළ බවයි.

 

"සෝලා ව්‍යාපෘති තියෙනවා, ගල්වලවල් තියෙනවා. ඒක හරි. නමුත් දැන් මේ නීතිය ක්‍රියාත්මක වුණාට පස්සේ ගල්වලවල් තියෙන්න විදියක් නැහැ. ඒකට අපිට යම්කිසි මැදිහත්වීමක් වෙන්න පුළුවන්. හැබැයි කලින් තිබ්බ ඒවා අපිට ක්‍රමානුකූලව තමා පරිපාලනය කරන්න වෙන්නේ. ඒ කාලේ ඒවා සම්බන්ධයෙන් මොකුත් නීති තිබුණේ නැති නිසා. සෝලා ව්‍යාපෘතිත් එහෙමයි. අපි අනුමත නොකරපු ඒවත් තියෙනවා. අපිට ක්‍රමානුකූලව ඉදිරි තීන්දු තීරණ ගන්න වෙනවා."

 

 

"රක්ෂිතය ඇතුළේ කිසිම සෝලා ප්‍රොජෙක්ට් එකක් නෑ" - අතිරේක අධ්‍යක්ෂ ජනරාල්ගෙන් තදබල පිළිතුරක්

 

මෙහිදී අදහස් දැක්වූ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (මෙහෙයුම්) මංජුල අමරරත්න මාධ්‍යවේදීන්ගේ චෝදනාව දැඩිව ප්‍රතික්ෂේප කළේය.

 

 

"සෝලා ප්‍රොජෙක්ට් එකක්වත් අලි කළමණාකරණ රක්ෂිතය ඇතුලේ සිද්ධ වෙන්නේ නෑ. යාබදව තියෙන ඒවාට තමා අපිත් විරුද්ධ වුණේ,"

යනුවෙන් ඔහු අවධාරණය කළේය.

 

 

මෑතකදී රක්ෂිතයට යාබදව යෝජනා වූ මෙගාවොට් 100 බැගින් වන දැවැන්ත සූර්ය ව්‍යාපෘති තුනකටම දැඩි ලෙස විරෝධය පළ කර, ඒවායේ අනුමැතිය ප්‍රතික්ෂේප කළ බවද ඔහු මෙහිදී අනාවරණය කළේය. කෙසේ වෙතත්, කලින් ඉදිකළ ගල්වලවල් කිහිපයක් පවතින බව ඔහුද පිළිගත්තේය.

 

 

"අතීතයේ වැරදි හදාගන්නවා" - පරිසර අමාත්‍යවරයා

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි ද මෙම අවස්ථාවේදී අදහස් දක්වමින්, අලි කළමනාකරණ රක්ෂිතය තුළ කිසිදු සූර්ය ව්‍යාපෘතියකට මේ දක්වා අවසර දී නොමැති බව තහවුරු කළේය.

 

  • "අපි මේක දැන් නිවැරදි කරන්නයි උත්සාහ කරන්නේ. මේ සඳහා අවශ්‍ය නීති හා රෙගුලාසි ප්‍රකාශයට පත්කරලා තියෙනවා."

  • "අලි කළමණාකරණ රක්ෂිතය වෙනුවෙන් මෙහෙයුම් කමිටුවක් පත් කරනවා."

  • "ඉතිහාසයේ සිදුවෙච්ච යම් යම් දේවල් තියෙනවා. අපි ඒවා නිවැරදි කරගන්න ඕනේ."

 

 

සහභාගී වූ නිලධාරීන්:

මෙම විශේෂ මාධ්‍ය හමුව සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පරිසර අමාත්‍යාංශ ලේකම් කේ. ආර්. උඩුවාවෙල, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (මෙහෙයුම්) මංජුල අමරරත්න  සහභාගී වී සිටියහ.

නවතම ලිපි