SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

(වෛද්‍ය සංකල්ප මාරසිංහ සමඟ සිදුකළ Podcast  විශේෂ සාකච්ඡාවක් ඇසුරින් සැකසූනකි).

 

පුවත්පත් සිරස්තලවල "ගංවතුර මට්ටම බැස යයි" යනුවෙන් පළවන ප්‍රවෘත්තිය අපට සහනයක් වුවද,

ගංවතුරට හසුවූ මිනිසෙකුට එය තවත් දීර්ඝ අරගලයක ආරම්භයකි. රූපවාහිනී තිරයෙන් අප දකින රළු රළ පෙළට වඩා, ගංවතුර බැස ගිය පසු ඉතිරි වන "මඩ තැවරුණු ජීවිත" අතිශය සංකීර්ණ බව වෛද්‍ය සංකල්ප මාරසිංහ පෙන්වා දෙයි.

 

 

 

 

  1. "මාරයා හැංගිලා ඉන්නේ මඩ වතුරේ" - සෞඛ්‍ය අවදානම

 

ගංවතුර බැස ගිය සැනින් අප දකින්නේ විනාශ වූ ගෘහ භාණ්ඩ වුවත්, වෛද්‍ය සංකල්ප පවසන්නේ අපට නොපෙනෙන මාරයෙකු ඒ මඩ ඇතුළේ සැඟවී සිටින බවයි.

 

 

"බොහෝ දෙනෙක් හිතන්නේ වතුර බැස ගියාම අනතුර ඉවරයි කියලා. නමුත් ඇත්තම අනතුර පටන් ගන්නේ එතකොටයි. ඒ මඩ වතුරේ මීයන්ගේ මුත්‍රා මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්. පොඩි සීරීමක් තිබුණත් ඒ මඩ වතුරෙන් මී උණ (Leptospirosis) වැළඳෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ගොඩක් අය මිය යන්නේ ගංවතුරට අහුවෙලා නෙවෙයි, මේ වගේ නොසැලකිලිමත්කම නිසා වැළඳෙන රෝගවලින්."

 

එසේම, පානීය ජලය දූෂණය වීම නිසා පැතිරෙන උදරාබාධ සහ සමේ රෝග පිළිබඳවද ඔහු දැඩි අනතුරු ඇඟවීමක් කරයි.

 

 

2. "අවතැන් කඳවුර කියන්නේ තාවකාලික නැවතුමක් විතරක් නෙවෙයි..."

 

නිවස අහිමි වී පොදු ස්ථානයක දිවි ගෙවන මිනිසුන්ගේ මානසිකත්වය සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වය (Privacy) පිළිබඳව වෛද්‍යවරයා ඉතා සංවේදී අදහසක් ඉදිරිපත් කරයි.

 

"මනුස්සයෙක් තමන් අවුරුදු ගාණක් හම්බ කරපු දේ, තමන්ගේ මතකයන් ජලයට බිලිවෙනවා බලාගෙන ඉන්නේ දරාගන්න බැරි වේදනාවකින්. ඊටත් පස්සේ අවතැන් කඳවුරක පොදුවේ හැමෝම එක්ක ඉන්න සිද්ධ වුණාම, විශේෂයෙන් කාන්තාවන්ට තමන්ගේ පෞද්ගලිකත්වය අහිමි වෙනවා. ඒක ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට ලොකු බලපෑමක් කරනවා."

 

 

3. "හිතේ ඉතිරි වන මඩ කැළැල්" - මනෝවිද්‍යාත්මක බලපෑම

 

ගොඩනැගිලි නැවත ගොඩනැගිය හැකි වුවත්, බිඳුණු මිනිස් මනස සුවපත් කිරීම අසීරු බව ඔහු මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණි.

 

  • පශ්චාත් ව්‍යසන පීඩනය (PTSD): නැවත වරක් අහස කළු කරන විට, වැසි වසින විට ඔවුන් තුළ ඇතිවන අසාමාන්‍ය බිය.
  • ළමා මනස: තමන්ගේ පාසල් පොත්පත්, සෙල්ලම් බඩු නැතිවී යාම දරුවෙකුට දරාගත නොහැකි කම්පනයකි.

 

 

"අපි සහන මලු බෙදලා ප්‍රශ්නය ඉවරයි කියලා හිතනවා. ඒත් ඒ මනුස්සයාගේ හිත ඇතුළේ ඇතිවුණු කම්පනය (Trauma) සුව කරන්න අපි මැදිහත් වෙන්නේ කොතැනද? ඔවුන්ට අවශ්‍ය වෙන්නේ අනුකම්පාව නෙවෙයි, ඔවුන්ව තේරුම් ගන්නා සමාජයක්."

 

 

වෛද්‍ය මාරසිංහ අවදාරණය කළ තවත් වැදගත් කරුණක් මෙහිදී පෙන්වා දිය යුතුය.

 

"එක එක අය විපතට මූණ දෙන විදිහ වෙනස්, එනිසා සන්සන්දනය කරලා "අරයා විදිහට ඔයාට බැරි ඇයි" කියලා අහන්න එපා " 

 

 

4. පිරිසිදු කිරීමේදී ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු දේ

 

ගංවතුරෙන් පසු නිවසට යන ඔබ වෙනුවෙන්  ලබාදෙන ප්‍රායෝගික උපදෙස් කිහිපයකි:

 

  1. ආරක්ෂිත ඇඳුම්: "වතුර සහ මඩ පිරිසිදු කරද්දී අනිවාර්යයෙන්ම බූට් සපත්තු සහ අත් මේස් පාවිච්චි කරන්න."
  2. සර්පයන් ගැන අවධානය: "වතුර බැස යද්දී සර්පයන් වියළි තැන් සොයාගෙන ගෘහ භාණ්ඩ අස්සේ හැංගෙන්න පුළුවන්. ඒ නිසා පිරිසිදු කිරීම් හදිසියේ කරන්න එපා."
  3. ළිං පිරිසිදු කිරීම: "ජලය බැස ගිය සැනින් ළිං වතුර බොන්න එපා. එය නිසි පරිදි ක්ලෝරීන් යොදා විෂබීජ හරණය කළ යුතුමයි."

 

ගංවතුර යනු හුදෙක් ස්වභාවික විපතක්ම නොවේ. එයින් පීඩාවට පත් මිනිසුන්ට අවශ්‍ය වන්නේ වතුර බැස යන තෙක් ලබාදෙන බත් පාර්සලය පමණක්ම නොවේ. ඔවුන්ට තම ජීවිතය බිංදුවේ සිට නැවත ගොඩනගා ගැනීමට ශක්තියක්, සෞඛ්‍යාරක්ෂිත මගපෙන්වීමක් සහ සහෝදරත්වයේ දෑතක් අත්‍යවශ්‍ය වේ.

 

වෛද්‍ය සංකල්ප මාරසිංහ පවසන පරිදි,

"අපේ වගකීම වෙන්න ඕනේ විපතක් වුණාම විතරක් කලබල වෙන එක නෙවෙයි, විපතින් පස්සේ ජීවිතය ගොඩනගන්න ඒ මිනිසුන්ට සැබෑ හයියක් වෙන එකයි."

 

සම්පූර්ණ සාකච්ඡාව මෙතැනින්...

නවතම ලිපි