SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යෝජිත ආරක්ෂක ගිවිසුම පිළිබඳ අදහස් දක්වමින් ආචාර්ය දයාන් ජයතිලක කියා සිටියේ, "මගේ සියලු ම අත්දැකීම් අනුව මම මේක දකින්නේ, 1948 ඉඳන් කිසි ම ලාංකික නායකයෙක් නොකරපු ආකාරයේ පාවා දීමක් හැටියට," යනුවෙනි.

 

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ සංචාරය පිළිබඳ අදහස් දක්වමින්

හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන ආචාර්ය දයාන් ජයතිලක බීබීසී සිංහල වෙත මෙසේ සඳහන් කළේ ය.

 

"මෝදි අගමැතිතුමාගේ මෙවර පැමිණීම ලංකාවට අතිශයින් ම බලපාන, බොහෝ දුරට නිශේධාත්මක ආකාරයකට බලපාන ප්‍රතිඵලවලට තුඩු දිය හැකි යි. මම එහෙම කියන්නේ ඉන්දීය වාර්තා අනුව සහ ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රධාන ප්‍රකාශකයා හෙළිදරව් කර ඇති ආකාරයට ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති නරේන්ද්‍ර මෝදි අතර පළවෙනි වතාවට, පළවෙනි වතාවට කියන්නේ ලංකාව සහ ඉන්දියාව‍ දීර්ඝ සම්බන්ධකමේ පළවෙනි වතාවට ආරක්ෂක ගිවිසුමක්, 'ඩිෆෙන්ස් පැක්ට්' වචනය තමයි කියන්නේ. ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන්න යනවා. දැන් මේක ඉතා ම භයානක දෙයක්. අන්තර්ගතය ගැන කතා කරන්න කලින්, ලංකාවේ පාර්ලිමේන්තුව මේක ගැන දන්නේ නැහැ. ලංකාවේ ජනතාව මේක ගැන දන්නේ නැහැ."

 

 

"සමහර රටවල් සමග අපිට තියෙනවා, යුද අභ්‍යාස ගැන, යුද පුහුණුව ගැන සම්බන්ධතා තියෙනවා. නමුත් ආරක්ෂක ගිවිසුමක්! දැන් ඉන්දියාවේ විදේශ අමාත්‍යංශයේ ඉහළ ම නිලධාරියෙක් පාවිච්චි කරන වචන බොහොම පරිස්සමෙන්."

 

 

"ඉන්දියාව සහ ලංකාව අතර හමුදාව කොච්චර පුහුණු වෙලා තියෙනවා ද ඉන්දියාවේ. ඒ, සම්බන්ධකම් ගැන නෙමේ මේ කතා කරන්නෙ. ඒ ගොල්ලෝ කියනවා පළවෙනි වතාවට ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන්න යනවා කියලා. ඒක මහා බරපතළ දෙයක්. රටවල් දෙකක් අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනවා කියන්නේ මහා පරිමාණ දෙයක්. විශේෂයෙන් ම එක රටක් කුඩා රටක් සහ අනෙක් රට මහා දැවැන්ත අර්ධද්වීපයක් වෙනකොට. මේක කොහොමටත් සම මට්ටමේ ගිවිසුමක් වෙන්න බැහැ. ඒක ව්‍යුහාත්මක වශයෙන් සමාන වෙන්න බැහැ. දැන් ලෝකේ කොයි කුඩා රටක්වත් තමන්ගේ අසල්වැසි ලොකු රටකුත් එක්ක ආරක්ෂක ගිවිසුම්වලට යන්නේ නැහැ."

 

 

"ඉන්දියාවේ මහා පඬිවරයා වූ ‍කෞටිල්‍ය හෙවත් චානක්‍ය 'අර්ථ ශ්‍රාස්ත්‍ර' නැමති ග්‍රන්ථයේ කියලා තියෙනවා වගේ ඕනෑ ම රාජ්‍යයකට ආරක්ෂක තර්ජනයක් එන්නේ තමන්ගේ අසල්වැසියාගෙන්. කොච්චර මිත්‍රශීලී වුණත්, යම් යම් ප්‍රශ්න එන්න ඉඩකඩ වැඩි යි. ඒ පොදුභාවය නිසා අසල්වැසිභාවය නිසා ම, රාජ්‍යයක ප්‍රධාන මිත්‍රයා විය යුත්තේ අසල්වැසියා නෙමෙයි අසල්වැසියාගෙත් අසල්වැසියා කියලා 'අර්ථ ශ්‍රාස්ත්‍ර' ග්‍රන්ථයේ කියලා තියෙනවා."

 

 

"ලෝකේ මොන ම පුංචි රටක්වත් අසල්වැසියා මහා බලවතෙක් නම් නැත්නම් විශාල රටක් නම් එහෙම අත්සන් කරන්නේ නැහැ. ඉතින් ලංකාව වැනි පුංචි දූපතක් ඉන්දියාව වගේ අර්ධද්වීපයක් එක්ක ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනවා කියලා කියන්නේ මෝඩකමක්. ඒක කවුරුත් නොකරන දෙයක්."

 

"ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ ඉතිහාසයක් තිබිලා තියෙනවා ඒ ඉතිහාසයේ හොඳ දේවල් වගේ ම නරක දේවලුත් තියෙනවා," ආචාර්ය දයාන් ජයතිලක පැවසීය.

 

යෝජිත ආරක්ෂක ගිවිසුම පිළිබඳව කිසිදු පාරදෘශ්‍යභාවයක් නැතැයි ද ඔහු පැවසීය.

 

"මේක කිසි ම පාරදෘශ්‍යභාවයක් නැහැ. දැන් ලංකාව පැත්තෙන් කවුද මේ ආරක්ෂක ගිවිසුමට දායක වුණේ, විශේෂඥයෝ වෙන්න එපායැ, ත්‍රිවිධ හමුදාපතිවරු දන්නව ද මේක ගැන, මේකේ අන්තර්ගතය ගැන දන්නව ද මම දන්නේ නැහැ. එහෙම ආරංචියක් නැහැ. ආරක්ෂක අමාත්‍යංශය දන්නව ද? ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේක දිහා බලලා හා හොඳයි කියලා තියෙනවා ද? ජාතික ආරක්ෂක මණ්ඩලයට මේක සාකච්ඡාවට දාලා තියෙනවා ද? මේක පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ නැද්ද සියලු පක්ෂවල එකඟත්වයක් ඇති කර ගන්න. හේතුව මුළු රටට ම දීර්ඝ කාලයක් තිස්සේ බලපාන ප්‍රතිවිපාක තියෙන මෙවැනි ගිවිසුමක් අත්සන් කරන්න කලින් පාර්ලිමේන්තුවේ මේක සාකච්ඡා කරන්න ඕනෙ නේද? දැන් පළවෙනි සැරේට කියලා කියපුවා ම ඒකෙන් අදහස් වෙන්නේ 1987 ඉන්දු ලංකා ගිවිසුම පරයමින් යන මට්ටමේ ආරක්ෂක ගිවිසුමක්."

 

"දැන් ඊටත් අමතරව තවත් ගිවිසුම් අත්සන් කරන්න යනවා. එක ගිවිසුමක් තමා මන්නාරම සහ තමිල්නාඩුව අතර විදුලි රැහන් සහ ගෑස් පයිප් ලයින් ඇති කරන්න යනවා. ග්‍රිඩ් ඒකාබද්ධතාවක්."

 

 

"දැන් බංගලාදේශය ගන්න, බංගලාදේශයට මාස 4කට අදානි විදුලිය සැපයුවේ නැහැ. අදානි සමාගමට බිල් ඔක්කොම හරියට ගෙවලා නැහැ කියලා, බංගලාදේශයට දෙන විදුලියෙන් හරි අඩයි දුන්නේ. දැන් ඒක හරි ගිහිල්ලා තියනෙවා. දැන් ඒ වගේ ලංකාවේ අපි අපේ විදුලි බලය, ඉන්ධන සම්බන්ධයෙන් අපි අසල්වැසි මහා බලවතාත් එක්ක ගැති සම්බන්ධතාවකට යනවා. රැඳියාවක් ඇති සම්බන්ධතාවකට අපි යනවා. ඇයි අපි එහෙම කරන්නේ, ඕන වෙලාවක ඒක නිවලා දාන්න පුළුවන්. අනිත් එක මේක මන්නාරම සහ තමිල්නාඩුව එක්කරන දෙයක්. තමිල්නාඩුව කියන්නේ ලංකාවට හුඟක් විරුද්ධ විශේෂයෙන් ම ලංකාවේ බහුතර ජනතාවට විරුද්ධව දැඩි වෛරයකින් පෙළෙන පළාතක්. ඒක කියුබාවට විරුද්ධව ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තය යම් සේ ද ලංකාවට විරුද්ධව තමිල්නාඩුවත් එලෙස ම යි."

 

 

"දැන් ඒ වගේ තත්ත්වයක් යටතේ මුළු ආර්ථිකය ම, මුළු ජන ජීවිතය ම එක ස්විච් එකකින් නවත්තන්න පුළුවන්, වෙන විදිහකින් අපේ ඉන්ධන සහ විදුලි බලය ගැට ගහනවා ඉන්දියාව සහ විශේෂයෙන් ම තමිල්නාඩුවත් එක්ක. කොහෙන් ද ජනාධිපති අනුර කුමාර දිසානායකට ජනවරමක් ලැබුණේ?, ඒ වගේ දෙයක් කිව්වේ නැහැ නේ."

 

"මේ අත්සන් කරන්න යන සියලු ම ගිවිසුම්වලට විරුද්ධව අනුර කුමාර දිසානායක මහත්මය ම 2023 අගෝස්තු මාසේ 18 විශ්‍රාමලත් හමුදා සාමූහිකය අමතමින් මේ සියලු දේවල්වලට විරුද්ධව කතා කළා. රනිල් වික්‍රමසිංහ මෙහෙම ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා. එයා අවබෝධතා ගිවිසුම් වගයකට ඇවිල්ලා තියෙනවා. මෙන්න මෙව්වා තමා අවබෝධතා ගිවිසුම්, මෙහෙම වුණොත් අපි ඉන්දියාව මත අපිට රැඳී පවතින්න වෙනවා. මෙහෙම වුණොත් අපේ නිදහස නැති වෙනවා, අතපය දිග අරින්න නිදහස නැති වෙනවා කියලා එදා ම කිව්වා. එක ප්‍රසිද්ධ රැස්වීමක් නේ. පැලවත්තේ රහස් සාකච්ඡාවක් නෙමෙයි."

 

 

"ඒ කියන්නේ එදා ජනාධිපතිතුමා තමා විශ්වාස නොකරපු දෙයක් නිකං බොරුවට කිව්වා. එහෙම නැත්තම් අද කරන්නේ තමුන් මාස 20කට කලින් භයානක යි කියපු දෙයක් එලෙස ම සහ ඉන් ඔබ්බට ගොස් ක්‍රියාත්මක කිරීම. මොක ද එතනදී ආරක්ෂක ගිවිසුමක් සඳහන් වෙලා තිබුණෙ නැහැ. දැන් ඉන්දියානු පුවත්පත්වල කියන්නේ, ආරක්ෂක ගිවිසුමක් ගැන කටයුතු කරන්න පටන් ගත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක නවදිල්ලියට ගිය පළවෙනි වතාවට පස්සේ කියලා. ඉතින් ඒක ගැන කවුරුත් මෙහෙ දැනගෙන හිටියා ද?"

 

 

"එහෙම වුණොත් ඒ ආරක්ෂක ගිවිසුමේ මොනවා මොනවා තියෙනවා ද කියලා අපි දැන්නේ නැහැ නේ. ඉන්දීය ප්‍රධාන පුවත් පත් දෙකක තියෙනවා. චීනයට විරුද්ධව ඉන්දියාවේ මූලෝපායික යොමුවේ කොටසක් කියලා මේ ආරක්ෂක ගිවිසුම්. ඉතින් චීනය කියන්නේ ලංකාවට හැම දා ම පිටුබලයක් දුන්නු, අපේ ශක්තිමත් ම, පොහොසත් ම, ප්‍රබලම, අචල ම මිත්‍රයා, ඉතින් අපේ හොඳ ම මිත්‍රයට විරුද්ධව අසල්වැසියාගේ පැත්ත අරගෙන අපි ආරක්ෂක ගිවිසුම් ගහන්න යනකොට අපිව ම නේ අපි දුර්වල කර ගන්නේ. අපි ඇයි ඕකට පැටලෙන්නේ."

 

 

"දැන් ඉන්දියාව කියන්නේ 'කොඩ්' එකේ සාමාජිකයෙක්. 'කොඩ්' සංවිධානය කියන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව, ඒක කෙලින් ම චීනය ඉලක්ක කර ගත්තු සන්ධානයක්.

 

දැන් ඊට අමතරව මෝදි අගමැතිතුමා ප්‍රකාශයක් නිකුත් කළා මේ වසර අවසන් වෙන්න කලින් ඇමෙරිකාව එක්ක වසර 10ක ආරක්ෂක ගිවිසුමක් ගහනවා කියලා. දැන් ඇමෙරිකාව පැහැදිලිව කියලා තියෙනවා, කාටවත් රහසක් හැටියට තියා ගන්නේ නැතිව චීනය තමා තමන්ගේ ප්‍රධාන හතුරා කියලා. ඉතින් ලංකාව ඉන්දියාවත් එක්ක ආරක්ෂක ගිවිසුමක් ගහනකොට, ඉන්දියාව දැනටමත් චීන විරෝධී කොඩ් එකේ සාමාජිකයෙක් හැටියට ඉන්න කොට, චීනය තමාගේ ප්‍රධාන හතුරා විදිහට සලකන ඇමෙරිකාවත් එක්ක අවුරුදු 10ක ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන්න ඔන්න මෙන්න තියෙද්දි, ඒකෙන් මොකක් ද වෙන්නේ අපි පැත්තක් ගැනීමක් කරනවා. ඒ ගන්නෙත් අපේ හොඳ ම මිතුරාට විරුද්ධව, ඉතින් අපි මොකට ද කාගේවත් පැත්තක් ගන්නේ, නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියලා කියන්නේ, ආරක්ෂක හවුල්වල කොටස් කාරයෙක් වෙන්නේ නැහැ කියලා. දැන් අපි එහෙම ආරක්ෂක හවුලක අනියම් කොටස් කාරයෙක් වෙනවා නේ. චීන විරෝධී දම්වැලේ පුරුකක් බවට පත්වෙනවා නේ."

 

"ඕනෑ ම රටක් පුංචි රටක් වුණා ම, තමන්ගේ රැඳියාව විවිධාංගිකරණය කරන්න ඕනේ. මේ ආරක්ෂක ගිවිසුමයි, ආර්ථික ගිවිසුම් අත්සන් කළාට පස්සේ කවදා හෝ දවසක තමිල්නාඩුවේ බලපෑම යටතේ ඉන්දියාව හිතාගන්න පුළුවන් අපේ දූපතේ උතුරු නැගෙනහිර අයිති කර ගන්න ඕනේ කියලා. මේක විහිළුවක් නෙමේ. දැන් ට්‍රම්ප් ජනාධිපතිතුමා කියන්නේ ග්‍රීන්ලන්තය අයිති කර ගන්න ඕනේ කියලා, කැනඩාව අයිති කර ගන්න ඕනේ කියලා. ඉතින් දැන් ආරක්ෂක සහ ආර්ථික අන්තර් ව්‍යුහයක් දැනට හදලා දෙන්නේ ඇයි අපි ම? බෙල්ලට තොන්ඩුව දාගන්නවා වගේ වැඩක් නේ මේ ගිවිසුම් අත්සන් කරලා, ඉතින් මේකට මම තරයේ ම විරුද්ධ යි හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් විදිහට."

 

 

"මගේ සියලු ම අත්දැකීම් අනුව මෙම මේක දකින්නේ 1948 ඉඳන් කිසි ම ලාංකික නායකයෙක් නොකරපු ආකාරයේ පාවා දීමක් හැටියට, මේක සිද්ධ වෙනවා නම්. එහෙම නැත්නම් ලංකාවේ විදේශ ඇමති කියන්න ඕනේ නැහැ...නැහැ අපි මෙහෙම දෙයක් කරන්නේ නැහැ කියලා."

 

 

"ඉන්දු - ලංකා ගිවිසුමටත් වඩා බොහො ම දුරට යන දෙයක්. අවුරුදු 76ක් හිටපු ඔක්කොම කට්ටියට වඩා හොඳ කට්ටියක් කියලා මේ ගොල්ලෝ කියනවා නේ. මේ තමයි රාජ්‍ය ආරක්ෂා කිරීම සහ ජාතික අවශ්‍යතා සම්බන්ධයෙන් දූර්වල ම ආණ්ඩුව. මේක කෙලින් ම රනිල් වික්‍රමසිංහ මහත්තයා යහපාලන ආණ්ඩුව කාලේ ඒ ඉන්දියාවත් එක්ක කතා කර ගත්තු දේවල් ඉන් එහාටත් ගිහිල්ලා, අත්සන් කරනවා. එව්වට එදා විරුද්ධ වෙච්ච අනුර කුමාර දිසානායක."

 

 

@උපුටාගැනීම - BBC

නවතම ලිපි