SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

පොලිස් මාධ්‍ය නිවේදනය අනුව අද දින (2025.11.21) නුගේගොඩ, ආනන්ද සමරකෝන් එළිමහන්

රංග පීඨයේ පැවැත්වෙන මහජන රැළිය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය විසින් විශේෂ කොන්දේසි මාලාවක් නිකුත් කර ඇත.

 

මිරිහාන පොලිස් ස්ථානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව, අද දින දහවල් 02.00 ට පැවැත්වීමට නියමිත මෙම රැළියේ සංවිධායකවරුන් ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර ඉල්ලා ඇත.

 

 කොන්දේසි පැනවීමට හේතුව

 

රැළිය පවත්වන ස්ථානයට ආසන්නව මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස්පෙළ) විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන පිහිටා තිබීම මෙම කොන්දේසි පැනවීමට ප්‍රධානතම හේතුවයි. ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය තුළින් විභාග සඳහා පෙනී සිටින සිසුන් හට බාධාවක් සිදුවිය හැකි බව පොලිසිය පෙන්වා දී ඇත.

 

 ශබ්ද විකාශන කොන්දේසි

 

අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස්පෙළ) විභාගය අද දින උදෑසන 08:30 සිට 11:40 දක්වාත් සහ සවස 02:00 සිට 05:00 දක්වාත් පැවැත්වේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පොලිසිය විසින් ශබ්ද විකාශන බලපත්‍ර නිකුත් කර ඇත්තේ පහත කොන්දේසි වලට යටත්වය:

 

  • රැළිය පවත්වන පරිශ්‍රය තුල පමණක් ශබ්ද විකාශණ යන්ත්‍ර භාවිතා කළ යුතුය.
  • පවතින නීතිරීතිවලට අනුව කටයුතු කිරීම.
  • ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට හා විභාග කටයුතු අවසන් වීමෙන් පසුව නැවත පිටව යාමට ඉඩ සැලසීම.
  • විභාග පැවැත්වෙන අවස්ථාවේදී ඒ සඳහා කිසිදු බාධාවක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමට වග බලා ගැනීම.

 

ශ්‍රී ලංකා පොලිසිය විසින් බලපත්‍ර ඉල්ලුම්කරුවන් වෙත මෙම කොන්දේසි දැනුම් දී ඇති අතර, බලපත්‍ර කොන්දේසි අනුව කටයුතු කරන ලෙසට දැනුම් දී ඇත.

 

විපක්ෂයේ විනයගතභාවයේ ලිට්මස් පරීක්ෂාව

 

මෙම තත්ත්වය තුළ, විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන මෙම රැලියේ විනයගතභාවයේ ලිට්මස් පරීක්ෂාව සිදුවනු ඇති බව මාලිමා පාර්ශ්වයේ හිතවතුන්ගේ මතය වී ඇත.

 

කෙසේ වුවද රටේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට කිසිදු බාධාවක් නොවන අයුරින් තම දේශපාලන කටයුතු සිදුකරන්නේද යන්න පිළිබඳව ජනතාව මෙන්ම බලධාරීන්ගේද අවධානය යොමු වනු ඇත. විභාග සිසුන්ගේ මානසිකත්වයට කිසිදු බලපෑමක් නොවන ආකාරයට මෙම රැළිය පවත්වාගෙන යාම සංවිධායකයන්ගේ ප්‍රමුඛ වගකීමක් වනු ඇත.

 

 

නවතම ලිපි