SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ‍්‍රී ලාංකේය සංස්කෘතිය, සමාජය, ඉතිහාසය හා දේශපාලනය පිළිබදව ඔබේසේකර විසින් ගොඩනගා ඇති 

අතිවිශාල සමාජ-මානව විද්‍යාත්මක පර්යේෂිත දැනුම් සම්භාරය අති ප‍්‍රබලය. එසේම ඔහු ගේ ආභාසය හා ආශීර්වාදය ලබමින් බිහි වූ ශාස්ත‍්‍රවන්තයෝද බෙහෙවි. 

 

 

අවුරුදු 70කට වඩා දිවයන ඔහුගේ පර්යේෂණ ජීවිතය ඔහු මිය යන මොහොත දක්වාම අත්හැර නොතිබු බව අප හොදින් දන්නා කරුණකි. ඊට කදිම නිදසුනක් ලෙස ඔහු විසින් පළ කර ඇති පර්යේෂිත ග‍්‍රන්ථ නාමාවලිය දෙස බැලීමම ප‍්‍රමාණවත් බව සදහන් කරමි. අප වැනි සමාජ මානව විද්‍යා පර්යේෂකයන්ට හා සෙසු අංකූර පර්යේෂකයන්ට ඔහුගේ ආදර්ශවත් ශාස්ත‍්‍රීය ජීවිතය ගුරු කොට ගත හැකිය.

ලාංකේය සමාජය, සංස්කෘතිය හා ඉතිහාසය පිළිබඳව ඔහුගේ පර්යේෂණ 1950 දශකයේ මැද භාගය දක්වා ගමන් කෙරේ. ලංකා විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකුව සිටි කාලයේ සිටම පර්යේෂණය කෙරෙහි ඔහු තුළ නැඹුරුවක් තිබූ බව පෙනේ. විශේෂයෙන්ම ඔහු සඳහන් කරන පරිදි විශ්වවිද්‍යාලය නිවාඩු කාලවලදී මෙන්ම දීර්ඝ සති අන්තවලදී ගැමි ජන ජීවිතයට අදාළ තොරතුරු එක් රැස් කිරීම සඳහා ඈත දුෂ්කර ගමනාන්තවල ඔහු සැරිසරා ඇත. ඒ ක්ෂේත‍්‍ර පර්යේෂණ පිළිබඳ විධිමත් පුහුණුවක් ලබා ගැනීමට පෙරය. 

 

 

නමුත් පර්යේෂකයෙකු ලෙස ඔහු තුළ තිබූ උනන්දුව හා කුතුහලය ශිෂ්‍ය ජීවිතය තුළ වර්ධනය කිරීමට ඔහුගේ ගුරුවරයා වූ මහාචාර්ය ඊ. එෆ්සී. ලූඩුවයික් විසින් දක්වන ලද අනුග‍්‍රහය වැදගත් වූ බව ඔහු පවසයි. ඒ ඔබේසේකර ඉංග‍්‍රීසි විෂය පිළිබඳ ගෞරව උපාධිය ලංකා විශ්වවිද්‍යාලයේ ලූඩුවයික් යටතේ හදාරමින් සිටි කාලයේදීය. ඔබේසේකර තුළ තිබූ ක්ෂේත‍්‍ර පර්යේෂණ පිළිබඳ ප‍්‍රබල උනන්දුව ඔහුට මානව විද්‍යාව (Anthropology) කෙරෙහි යොමුවීමට බලපා ඇත. එහිදී මාර්ටින් වික‍්‍රමසිංහ හා එදිරිවීර සරච්චන්ද්‍ර වැනි ලාංකේය සංස්කෘතිය පිළිබඳ උනන්දුක් දැක්වූ පර්යේෂකයන්ගේ ඇසුරද බලපෑ බව ඔහු සඳහන් කොට ඇත. 

 

 

අමරදාස වීරසිංහ හා එස්. ජී.සමරසිංහ වැනි සමකාලීනයන් සමග ‘සංස්කෘති’ නමින් සඟරාවක් ආරම්භ කිරීමේ පුරෝගාමී මෙහෙවර මෙකලදීම සිදු විය. පර්යේෂණ සිදු කිරීම පමණක් නොව ඒ දැනුම සමාජගත කිරීමට මෙම සඟරාව හරහා උත්සාහ කොට ඇති බව පෙනේ. ඔහු සඳහන් කොට ඇති පරිදි 'I knew nothing of contemporary anthropology'. මම සමකාලීන මානව විද්‍යාව පිළිබඳ කිසිවක් දැන නොසිටියෙමි’ (1984: XV). ඔහුට අනුව මුල් පර්යේෂණ ආරම්භ කොට ඇත්තේ විධිමත් මානව විද්‍යාත්මක පුහුණුවකින් තොරව බව එයින් පැහැදිලි වෙයි.


1956 ඉංග‍්‍රීසි භාෂා විෂය පිළිබඳ ප‍්‍රථම පන්තියේ සාමාර්ථ්‍යයක් ලද ඔබේසේකර එම දෙපාර්තමේන්තුවේ සහකාර කථිකාචාර්යවරයෙකු වීමට තිබූ අවස්ථාවද පැහැර හරිමින් එවක පේරාදෙණියේ සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ධුරය දැරූ එස්.ජේ.තම්බයියාගේ මැදිහත්වීම මත සමාජ විද්‍යා අධ්‍යනංශයේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස බැඳීම ඔහුගේ පර්යේෂණ ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්ෂයක් ලෙස සඳහන් කළ හැකිය. ඒ 1957 දීය.

 

 

මුලදී ඔහුට වැදි ජනයා පිළිබඳ අධ්‍යයනය කිරීමට කැමැත්තක් තිබුණත් පසුව එම අදහස මගහැර පහතරට යාතුකර්මත් විශේෂයෙන්ම පත්තිනි දෙවඟන මුල්කොටගත් ගම්මඩුව යාතුකර්මයත් ගැඹුරින් අධ්‍යයනය කිරීමට යොමු වී ඇත. 1958දී වොෂින්ටන් විශ්වවිද්‍යාලයට ඔහු භාර දුන් මානව විද්‍යාව පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධි නිබන්ධනයට පදනම් වූයේ මෙම පත්තිනි ඇදහිල්ල පිළිබඳවය. එහිදී ඔහුගේ ගුරුවරයා වූයේ සංස්කෘතික මානව විද්‍යාව විශේෂයෙන්ම ආගම හා මනෝවිද්‍යාත්මක මානව විද්‍යාව පිළිබඳ ප‍්‍රබලයකු වූ මහාචාර්ය මෙල්ෆර්ඞ් එළියට් ස්පිරෝය (1920-2014*. ඔබේසේකරගේ පර්යේෂණ වඩ වඩාත් මනෝ විශ්ලේෂණය කෙරෙහි යොමු වන්නේ ඔහුගේ බලපෑම යටතේය.

 


1964 දී වොෂින්ටන් විශ්වවිද්‍යාලයට ඔහු භාරදුන් ආචාර්ය උපාධි නිබන්ධනයේ ක්ෂේත‍්‍ර පර්යේෂණය දකුණු පළාතේ හිනිදුම් පත්තුවේ ගමක් වන මැදගම ආශ‍්‍රිතවය. ආගම පිළිබඳ පර්යේෂණ උනන්දුව එසේම තිබියදී ඉඩම් භුක්ති රටාව හා ඥාතීත්වය පිළිබඳ වෙබේරියානු න්‍යායික ආස්ථානයක් යටතේ විශ්ලේෂණයක් මෙම නිබන්ධනය යටතේ ඉදිරිපත් කළේය. ඔබේසේකරගේ පර්යේෂණවල කැපී පෙනෙන සංසිද්ධියක් නම් ක්ෂේත‍්‍ර පර්යේෂණ මුල්කොටගත් ආනුභවික දත්ත මෙන්ම ඓතිහාසික තොරතුරු මත පදනම් වූ දත්තද තම විශ්ලේෂණය කෙරෙහි එක ලෙසම යොදාගැනීමයි. 


පත්තිනි ඇදහිල්ල පිළිබඳ පර්යේෂණ අවුරුදු ගණනාවක් පුරා ගලා ගිය අතර එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ පිටු 629 න් යුත් පර්යේෂණ ග‍්‍රන්ථයක් The Cult of the Goddess Pattini නමින් 1984 දී චිකාගෝ විශ්වවිද්‍යාල මුද්‍රණාලයේ ප‍්‍රකාශනයක් ලෙස මානව විද්‍යා විෂය ඥානයට නව දැනුමක් එක් වීමයි. පර්යේෂණ ක‍්‍රමවේදාත්මක අර්ථයෙන් ගත් කල්හි ඔබේසේකරගේ ”මෙදුසාගේ කෙස් කලඹ” ග‍්‍රන්ථය (Medusa’s Hair - 1981) පාදක කරගත් පර්යේෂණය අතිශය වැදගත් වේ. විශේෂයෙන්ම ප‍්‍රතේ‍යයක අධ්‍යයන (Case studies) 8ක් පදනම් කොටගෙන රචනා කොට ඇති මෙම කෘතිය මනෝවිද්‍යාත්මක මානව විද්‍යාව සහ සංකේතාත්මක මානව විද්‍යාව ඉගැන්වීමේදී නිර්දිෂ්ට ග‍්‍රන්ථ අතර ප‍්‍රමුඛ ග‍්‍රන්ථයක් වේ. මෙඩුසාගේ කෙස්කලඹ පාදක කොටගත් පර්යේෂණ ව්‍යාපෘතියේ අග‍්‍ර ඵලය ලෙස The Work of Culture: Symbolic Transformation in Psychoanalysis and Anthropology (1990) නම් කළ හැකිය. පුද්ගල අවිඤ්ඤාණික අභිපේ‍්‍රරණයන් (පුද්ගල සංකේත* සංස්කෘතික සංකේත (පොදු සංකේත* දක්වා විපර්යාස වීමේ සංකීර්ණ මනෝවිද්‍යාත්මක ක‍්‍රියාවලිය ‘සංස්කෘතියේ ක‍්‍රියාකාරිත්වය’ ‘The Work of Culture' සූත‍්‍රගත කෙරේ.


ගැමි අධ්‍යයනවල සිට නාගරික ජන ජීවිතය, විශේෂයෙන් කොළඹ කේන්ද්‍රීය ජීවිතය පිළිබඳ ඔබේසේකරගේ අධ්‍යයන කතරගම සිද්ධස්ථානයට සමගාමීව සිදු විය. කොළඹ කේන්ද්‍රීය නාගරික බුදු දහමේ ඓතිහාසික විපර්යාසයේ අවධීන් කිහිපයක් යටතේ ඔහු සංකල්පගත කරන ලදී. එනම් ස්වදේශික යටත්විජිත ප‍්‍රභූ පන්තියේ අනුග‍්‍රහය ගත් ‘ප්‍රොතෙස්තන්ත බුදු දහම’ ගොඩනැගීමේ ඓතිහාසික සමාජ-සංස්කෘතික ක‍්‍රියාවලිය මෙන්ම නිදහසෙන් පසුව එහි ඇතිවන ව්‍යුහාත්මක විපර්යයාසය ‘පශ්චාත් ප්‍රොතෙස්තන්ත බුදු දහම’ (බලන්න: ද සිල්වා 2009) ලෙස සූත‍්‍රගත කොට ඇත. මෙම සූත‍්‍රගත කිරීම විස්තරාත්මකව ඉදිරිපත් කරන ලද ග‍්‍රන්ථය ලෙස Buddhism Transformed: Religious Change in Sri Lanka (1988) දිය හැකිය.

 


ගෝලීය මට්ටමේ පර්යේෂණවලට යොමුවීම:

 

ඔබේසේකරගේ පර්යේෂණ උනන්දුව තමා උපන් දේශයෙන් ඔබ්බට ගොස් පුළුල් මානව විද්‍යාත්මක පර්යේෂණ පමණක් නොව ඒවා මුල්කරගෙන සිදුකරනු ලබන අර්ථකථන හා ප‍්‍රතිඅර්ථකථනවල දැකිය හැකි අනවබෝධයන් ප‍්‍රශ්න කිරීමට පෙළඹූ ආකාරය 1990 දශකයේ ඔහු විසින් කරන ලද පර්යේෂණ කෙරෙහි අවධානය යොමු කිරීමේදී පෙනී යන කරුණකි. විශේෂයෙන් ඇමෙරිකානු මානව විද්‍යාඥයෙකු වූ වන මාෂල් සහලින්ස් හා ඔහු අතර පැවැති ප‍්‍රධාන නාවිකයෙකු වූ කැප්ටන් කුක් හවායි පතේදී මරණයට පත් වූ ආකාරය පිළිබඳ ප‍්‍රසිද්ධ ශාස්ත‍්‍රීය විවාදය නම් දරයි. 


මාෂල් සහලින්ස්ට දෙන ලද පිළිතුර The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific (1992) යන ග‍්‍රන්ථය රචනා කරමින් ඔහු ඉදිරිපත් කළේය. සහලින්ස් ඊට පිළිතුරු සැපයූයේ එවැනිම ග‍්‍රන්ථයක් රචනා කරමින්ය. එනම් How “Natives” Think : About Captain Cook, for example (1995). මෙම විවාදය ඔබේසේකර මානව විද්‍යා ශාස්ත‍්‍රීය ලෝකය තුළ ඉහළ සම්මානයට හා සම්භාවනාවට පත් කරන ලද්දක් බව සඳහන් කළ යුතුය. එම විවාදයේ අග‍්‍ර ඵලය ලෙස ඔහු විසින් රචිත Cannible Talk: the Man- Eating Myth and Human Sacrifice in the South Seas (2005) යටත් විජිත පර්යාවලෝකය යටතේ රචනා කොට ඇති මෙම ග‍්‍රන්ථය යුරෝපීය පරිකල්පනයේ එන දකුණු දිග මුහුදු ප‍්‍රදේශ ආශ‍්‍රිත ජනයාගේ ඊනියා මිනිස් මාංශ භක්ෂණය හා ඔවුන්ගේ වනචාරී බව පිළිබඳ අදහස් ප‍්‍රශ්න කිරීමට ලක් කෙරේ.


හින්දු දහමේ සහ බුදු දහමේ එන ප‍්‍රබල සංකල්ප වන ‘කර්මය’ හා ‘පුනරුප්පත්තිය’ පිළිබඳ අවධානය යොමු කරමින් Imagining Karma: Ethical Transformation in Amerindian, Buddhist and Greek Rebirth (2002) නමින් කෘතියක් ඔහු පළ කළේය. කර්මවාදය හා පුනරුප්පත්තිය පිළිබඳ ජාත්‍යන්තර බුද්ධිමය කවයන් තුළින් මුල්බැස තිබූ අදහස් ප‍්‍රශ්න කිරීමට ලක් කෙරේ. යුරෝපීය බුද්ධි ප‍්‍රබෝධය හරහා මතු වූ ‘යුරෝ තාර්කිකවාදයෙ’හි ඥානවීමංසාත්මක පදනමෙහි සීමා සහිතභාවය ප‍්‍රශ්න කරනු ලබන ඔබේසේකර එම අධිපති විද්‍යාත්මක-තාර්කිකවාදය විසින් යටපත් කරනු ලැබූ සෙසු ඥාන සම්ප‍්‍රදායන් ලෙස ගැනිය හැකි නමුත් අවිද්‍යාත්මක හා අතාර්කික ඥානය ලෙස බැහැර කොට ඇති දිව්‍යදර්ශී අත්දැකීම් (Visionary Experience) ප‍්‍රපංචවේදත්මක දෘෂ්ටිකෝණයකින් සාකච්ඡුාවට භාජනය කිරීම ඔහුගේ The Awakend Ones: Phenonmenology of Visionary Experience (2012) හරහා ඉදිරිපත් කෙරේ.

 


විශ්වවිද්‍යාල දිවියෙන් සමුගත් පසු:


ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ධුරයෙන් විශ‍්‍රාම ගත් පසු ඔහුගේ මුල් කාලීන පර්යේෂණ රුචිකත්වයක් තිබූ වැදි ජනයා පිළිබඳ ඓතිහාසික හා මානවංශවේදාත්මක පර්යේෂණය 1999- 2001 සහ 2007- 2009 දක්වා කාලය තුළ ආරම්භ කරනු ලැබුවේ තරුණ පර්යේෂකයන්ට ආදර්ශයක්ද සපයමිනි.
යටත් විජිත මෙන්ම මානව විද්‍යාත්මක දැනුම් නිෂ්පාදනය තුළ ‘වැද්දන්’ ප‍්‍රාථමික, අශීලාචාර ජනකොටසක් යන්න ගොඩනගා ඇති ප‍්‍රවාද ඉඳුරාම බැහැර කරමින් සිංහල බෞද්ධයන් මෙන්ම වැදි ජනයාද ඇතැම් විට තම අනන්‍යතාවය බැහැර කරමින් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වී ඇති සංකීර්ණ සමාජ-සංස්කෘතික ක‍්‍රියාවලිය The Creaton of the Hunter - The Vadda Presence in the Kandyan Kingdom: A Re- Examination (2022) ග‍්‍රන්ථය පැහැදිලි කෙරේ. 


නුවර රාජධානියේ ආරම්භක ඔටුනු පළන් රජු වූ විමලධර්මසූරිය හා අවසන් රජු වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ යන රජවරුන්ගේ පාලන සමය අලළා ඓතිහාසික මූලාශ‍්‍රය මත පිහිටා The Doomed King: A requiem for Sri Vikrama Rajasinha (2017) හා The Many Faces of the Kandyan Kingdom 1591-1765 Lessons for our Time (2020) නමින් ග‍්‍රන්ථ දෙකක්ද ඔහු රචනා කොට ඇත. අප විසින් සැබැවින්ම ‘සත්‍ය’ යැයි පිළිගෙන ඇති වත්මන් ඓතිහාසික දැනුම ව්‍යුහවිභාගයට ලක් කරමින් ශ‍්‍රී ලාංකේය ඉතිහාසය කතන්දරයේ නව මානයක් සොයා යමින් එම ඉතිහාස කතන්දර ප‍්‍රතිපාඨනය කිරීමට Stories and Histories: Sri Lankan Past (2019) යන ග‍්‍රන්ථය හරහා උත්සාහ දරා ඇත.


1960 -70 දශකයේ ලියා පළ කරන ලද පර්යේෂණ පත‍්‍රිකා එකතුවකින් සැදුම්ලත් ග‍්‍රන්ථ දෙකක් ඔබේසේකර විසින් සමාජ-මානව විද්‍යා ක්ෂේත‍්‍රයට දායක කොට ඇත. එම පර්යේෂණ පත‍්‍රිකා හැකි පමණ යාවත්කාලීන කොට ඉදිරිපත් කිරීම පැසසිය යුත්තකි. ඉන් පළමුවැන්න The Buddha in Sri Lanka: Histories and Stories (2018) වන අතර දෙවැන්න Placating the Demons: Ritual Practices among Sri Lankans (2021) යන්නයි. 


අප ඉහතින් පෙන්වා දුන් පරිදි සමාජ -මානව විද්‍යාවටත් එනම් පර්යේෂණ ක‍්‍රමවේද මෙන්ම න්‍යායයික වර්ධනය කෙරෙහි ඔබේසේකර විසින් දක්වන ලද දායකත්වය අතිමහත්ය. ජාත්‍යන්තර බුද්ධිමය කවයන්හි සම්භාවනාවට පාත‍්‍ර වී ඇති ඔහුගේ පර්යේෂණ පොහොසත් මානවවංශවේදාත්මක හා ගැඹුරු ඓතිහාසික පදනම් මත ගොඩනැගී ඇති බව පැහැදිලිය.

 


එසේම ඔහුගේ පර්යේෂණ භූතළය (Research landscape) කෙරෙහි අවධානය යොමු කිරීමේදී ශ‍්‍රී ලාංකේය සන්දර්භය තුළදී උතුරු පළාත හැර සෙසු සෑම පළාතකම පාහේ විසිරී පැතිරී ඇත. එසේම ගෝලීය මට්ටමේ පර්යේෂණ කෙරෙහි අවධානය යොමු කිරීමේදී පැසිෆික් සාගරයේ ‘මෙලනීසියානු’ හා ‘පොලනීිසියානු’ දුපත් වාසීන්ගේ සිට දකුණු ඉන්දියානු, ග‍්‍රීක, යුරෝපීය හා ඇමරිකානු ඉන්දීය ජනකොටස් දක්වා විහිදේ.

 


ඔහුගේ අවුරුදු 70ට ආසන්න පර්යේෂණ දිවිය තුළ විවිධ තේමා යටතේ පර්යේෂණ සිදුකොට ඇත. ඒ අතර යාතුකර්ම, පුරාණෝක්ති අධ්‍යයනය, ආගමික සංකේත කර්මය හා පුනරුත්පත්තිය පිළිබඳ අන්තර්සංස්කෘතික අධ්‍යයන, ආගමික විපර්යාසය දිව්‍යදර්ශී අත්දැකීම් පිළිබඳ ප‍්‍රපංචවේදය, යටත් විජිත සන්දර්භය තුළ මානව විද්‍යාත්මක දැනුම් නිෂ්පාදනය පිළිබඳ විවේචනාත්මක ඇගයුම, මෙන්ම බහුවිධ ක‍්‍රමවේද භාවිතය, ක්ෂේත‍්‍ර පර්යේෂණ විධික‍්‍රම අත්හදා බැලීම, ලේඛනාගාර අධ්‍යයනය විවරණාත්මක අධ්‍යයන, තුලනාත්මක දර්ශනය මෙන්ම මනෝවිශ්ලේෂණය වැනි ප‍්‍රබල තේමා මෙන්ම ඉතා විනිවිද යනු සුළු විශ්ලේෂණයන්ගෙන් සමන්විත ඔබේසේකරගේ පර්යේෂණ දිවිය තුළ දැකගත හැකි සුවිශේෂි ලක්ෂණ වන්නේ කිසිදු න්‍යායයක් හෝ සංකල්පයක් ඒවා පිළිබඳ විචාරපූර්වක නොවී පිළිනොගැනීමයි. න්‍යායයික අභියෝගයන් හමුවේ පසුබට නොවන ඔහු තමන්ගේ න්‍යායයික ආස්ථානයන් පිළිගත හැකියි සාධාරණ විවේචනයන් හමුවේ භාර ගැනීමට ද පසුබට නොවන ගුණාංගවලින්ද යුක්ත ශාස්ත‍්‍රඥයෙක් බව සඳහන් කළ යුතුය. එසේම තමාගේ පර්යේෂණවල අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කිරීම සහ යාවත්කාලීන කිරීම පර්යේෂකයකු ලෙස ඔහු තුළ තිබු ශාස්ත‍්‍රීය අවංකභාවය පැසසිය යුතුය.

 

@ ප්‍රේමකුමාර ද සිල්වා, කොළඹ විශ්ව විද්‍යාලය

කතුවරයා ගේ අවසරකින් පමණක් ලිපියේ අඩංගු දෑ නැවත පළ කළ හැක.‍

@Premakumara De Silva

නවතම ලිපි