SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අල්ජසීරා රූපවාහිනි නාලිකාවේ ‘හෙඩ් ටු හෙඩ්’ නමැති වැඩසටහනට එක්වූ හිටපු ජනාධිපති

රනිල් වික්‍රමසිංහ මැදි වූ දේශපාලන පඹගාල ඔස්සේ මතු වූ කුප්‍රකට බටලන්ද වධකාගාරය මේ රටේ ද සමාජ දේශපාලන අංශවල ප්‍රබල මාතෘකාවක් බවට පත්වූයේ එතෙක් ආන්දෝලනාත්මක සිදුවීම් දෙකක් වූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ හා ගණේමුල්ලේ සංජීව ඝාතන සැලසුමේ නායිකාව ලෙස චූදිත සෙව්වන්දිගේ අතුරුදන්වීම් යටපත් කරමින්ය.

 

 

මේ සියල්ල එක් සැණකින් යටපත් වූයේ අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක් බරපතළ ලෙස ලිංගික හිංසනයට ලක්වීමේ පුවතක් නිසාය. එම රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියකට මුහුණදීමට සිදුවූ ඒ අශිෂ්ට සාහසික ක්‍රියාදාමයත් එහි පසුබිම හා අනුරාධපුර රෝහල පිළිබඳ විවිධ තොරතුරුත් මේ වනවිට ප්‍රසිද්ධ සිදුවීම්ය.

 

 

මෙම මෘග ක්‍රියාව හෙළා දකිමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය වහාම සංකේත වර්ජනයක් ද ක්‍රියාත්මක කළේය. ඒ වර්ජනයේ වින්දිතයන් ලෙස රට පුරාම රෝහල්වලට පැමිණි පොදු ජනතාවට වන්දි ගෙවීමට ද සිදුවිය. එහෙත් බොහෝදෙනෙක් එය ඉවසූහ.

 

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ විරෝධය, සාධාරණ හා යුක්තිසහගත එකක් බව මෙරටේ බහුතර ජනතාවගේ ද අදහස විය. වෛද්‍යවරුන්ගේ වර්ජනයෙහි මූලික ඉල්ලීම වූයේ එම ම්ලේච්ඡ ක්‍රියාවට අදාළ පාදඩ මෘගයා අත්අඩංගුවට ගන්නා තෙක් සංකේත වර්ජනයක් සිදුකරන බවත් එය ඉටු නොවුවහොත් දිවයින පුරාම වෛද්‍ය වර්ජනයක් කැඳවන බවත්ය. ආණ්ඩුවත් පොලිසියත් මේ අමානුෂික සිදුවීමේ බරපතළ බව මනාව වටහා ගත්තේය. එනිසාම මහත් පරිශ්‍රමයකින් පසු පසුදිනයේදීම ඒ අශිෂ්ට පාදඩයා අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය සමත් විය. එහෙත් වෛද්‍ය වර්ජනය එයින් අවසන් නොවූ අතර එය පසු දින උදේ 8.00 දක්වා ක්‍රියාත්මක වන බව ද ප්‍රකාශයට පත්විය.

 

වෛද්‍යවරුන්ගේ එම ක්‍රියාදාමයට හතර වටින්ම විවේචන ද විරෝධතා ද නැඟුණි. එයට හේතු වූයේ අපරාධකරුවා අත්අඩංගුවට ගන්නා තෙක් ප්‍රකාශිත වර්ජනය දිගටම සිදුවීමය. වෛද්‍යවරුන්ගේ සංගමය කුමක් පැවසුවත් ඒ ක්‍රියාව දැඩි ලෙස හෙළාදැකීමට බොහෝ දෙනෙක් නිර්භය වූහ. නලින්ද ජයතිස්ස ඇමැතිවරයා පවා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ දිගින් දිගට වර්ජනය ඇදගෙන යෑම අසාධාරණ බවය. වෛද්‍ය නිලධාරි සංගමයේ කීපදෙනකුගේ වුවමනාව පරිදි එය දික්වූ බවට චෝදනා පවා නැඟුණි.

 

කිසියම් සිද්ධියකට අදාළව පොලිසිය හෝ ආණ්ඩුව ඈලි මෑලි ගතියෙන් ක්‍රියාකරන ආකාරය පිළිබඳ අපට ඕනෑ තරම් සාක්ෂි තිබේ. එහෙත් අනුරාධපුර අමානුෂික ක්‍රියාව සම්බන්ධයෙන් පොලිසිය කළ මෙහෙයුම පැසසිය යුතුය. වර්ජන පාර්ශවයේ කිසිදු ප්‍රකාශයකින් ඔවුන්ගේ ක්‍රියාවට හේතු දැක්විය නොහැකි විය. වෛද්‍යවරුන්ගේ අනාරක්ෂිතභාවය ඇතුළු සියලු දුෂ්කරතාවලට බලපෑමක් කිරීමට වර්ජනය දීර්ඝ කළ බව කීමට තරම් ඔවුහු බොළඳ වූහ. එය කිසිසේත් වෘත්තීය අභිමානය තහවුරු කරන පිළිතුරක් ද නොවේ.

 

 

මෙරටේ පොදු ජනතාවට තිබෙන එකම සැනසීම නිදහස් සෞඛ්‍ය සේවයයි. දාහක් ගැටලු තිබුණත් ජනතාව දුවන්නේ ආණ්ඩුවේ රෝහලටය. ගමේ නිදහස් බෙහෙත් ශාලාවටය. අද මේ සේවාවන් ගැන කතා කිරීමට තරම් දෙයක් නැත. ජනතාවට ලබාදිය යුතු ඖෂධවලින් ගසා කෑ නඩයට එහි ඉහළින්ම සිටින ඇමැතිවරයා ද හවුල් බවට චෝදනා තිබෙන රටකි මේ. ඇමැතියා හොරෙක් ලෙස චෝදනා නැගී ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වෙද්දීත් ඔහු රැකගත් අමන දේශපාලනයක සෞඛ්‍ය සේවය ගැන කවර කතාද? ඒ ගර්හිත දේශපාලනය විසින් රෝහල් පද්ධතිය පමණක් නොව සෞඛ්‍ය ක්ෂේත්‍රයටම ඉහඳ තබා තිබේ.

 

 

පසුගිය දිනවල රට පුරා වෛද්‍ය වර්ජනයක අනතුරු හැඟවීමක් ද නැඟුණි. එහෙත් එය කල්දමා ගැනීමට ඇමැති නලින්දට හැකි විය. ඒ වැටුප් ප්‍රශ්නයකි. එහිදී වෛද්‍ය සංගමය විපක්ෂ නායක මෙන්ම රනිල්, දිලිත් වැනි වෙනත් දේශපාලන නායකයන් ද හමු වූ බව වාර්තා විය. රනිල්ට යළිත් පාර්ලිමේන්තුවට එන ලෙස ඇතැම් වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් ලැබුණු බව ද වාර්තා විය. මේවායින් බොහෝ නිගමනවලට එළඹිය හැකිය. එහෙත් රටේ ප්‍රබුද්ධ මෙන්ම ආදේශකයන් නොමැති වෛද්‍ය වෘත්තියේ වෘත්තීයභාවය රැකගත හැක්කේ කුජීත දේශපාලනඥයන්ට ආවැඩීමෙන් නොව නිදහස් වෘත්තිකයන් ලෙස එම සේවයට වටිනාකමක් දීමෙන් පමණක් බව අප මේ ජීවකයන් අතර සිටින සුළුතරයට කිව යුතුය.

 

දේශපාලනය පවිත්‍රීකරණය කළ යුතු බව මේ ආණ්ඩුව කියයි. රෝගී සමාජය නිරෝගී කළ හැක්කේ ප්‍රතිපත්තිමය හා අවංක දේශපාලනයකින් පමණි. ඒ සමාජයේ සැබැවින්ම රෝ දුකට පත්වූ ජනයා සුවපත් කළ හැක්කේ ද එබඳුම වෘත්තීය මට්ටමෙන්, නිපුණත්වයෙන් මෙන්ම සාරධර්මවලින් ද හෙබි වෛද්‍යවරුන්ට පමණි. අපගේ අදහස වන්නේ වෛද්‍ය වෘත්තියේ අභිමානය, ගෞරවය සුරකින බහුතරය අතර බාල දේශපාලන වහලුන් ද ස්වල්පයක් හෝ සිටිය හැකි බවය. ඇත්ත වසයෙන්ම අනුරාධපුර රෝහලේ අධ්‍යක්ෂවරයා ප්‍රමුඛ පරිපාලනය මේ රෝහලේ කඩාවැටීමට හේතු වූයේ ද යන්න දන්නේ ද එහි වෛද්‍යවරුන් ඇතුළු අනෙක් සේවක සේවිකාවන්ය. එහෙත් මේ වර්ජනයේදී රෝහල් පරිපාලනය ඒ සියලු චෝදනාවලින් නිදහස් කර තිබේද? කුමක් වුවත් මේ වර්ජනය දිග්කර ජනතාවට පීඩා කළ අය තමන්ගේ ක්‍රියාව පිළිබඳ හෘද සංවාදයක යෙදිය යුතුය.

 

දැන් මේ වනවිට මතු වී තිබෙන බටලන්ද කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් ද අප අවධානය යොමු විය යුතුය. මේ පිළිබඳව හිටපු ජනාධිපති රනිල්ට එරෙහිව නැඟෙන චෝදනා බරපතළය. ඒවා යටපත් කිරීමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැදිහත් වී තිබේද? එසේ නම් ඇගේ ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය සාධාරණ ද යනාදී ප්‍රශ්න ද මතු වී තිබේ. ඇතැම් රූපවාහිනි නාලිකා බටලන්දේ කුප්‍රකට ඉතිහාසය මෙන්ම ඒවාට අදාළ සාක්ෂිකරුවන්ගේ අදහස් ද සමාජ අවධානයට යොමු කර ඇත.

 

 

බටලන්ද වධකාගාරයක් ලෙස එදාත් හැඳින්විණි. අසූව දසකය මෙරටේ දේශපාලනයේ බිහිසුණු අඳුරු යුගයකි. රජයට එරෙහිව අවි ගත් තරුණ පිරිස් මර්දනය සඳහා ක්‍රියාත්මක වූ ‘ප්‍රා’ සංවිධානය අතිශය බිහිසුණු මෙහෙයුමක් කළ බව ද අපට මතකය. ‘කළු බළල්ලු’ හා ‘කහ බළල්ලු’ වැනි සන්නද්ධ කල්ලිවල භීෂණය ද එදා පැතිර ගොස් තිබුණි.

 

image 83f8ba4e6b

 

88 වසර වැනි භීෂණ සමයක ඇතුළාන්තය පිළිබඳ සමාජය තුළ තිබුණු බිය, තැතිගැන්ම අප්‍රමාණ විය. 1994 දී බලයට පැමිණි චන්ද්‍රිකාගේ වේදිකාවල මේ භීෂණය හා එයට සම්බන්ධ පුද්ගල නම් ද කියැවිණි. බටලන්ද කොමිසම චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ප්‍රතිචාරයක් වුවත් එය අවම වසයෙන් පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් වූයේ නැත. චන්ද්‍රිකා ආණ්ඩුවේ ප්‍රබලයකු වූ මංගල සමරවීර මෙම බටලන්ද කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට හේතු දැක්වූ බවක් ද වාර්තා වී තිබේ.

 

 

ඒවා දැන් යළි යළිත් ඇසෙයි. කොමිසමේ නිර්දේශ අනුව අදාළ අයගේ ප්‍රජා අයිතීන් අහිමි කළේ නම් එය ඊට පෙර ජේ. ආර්. ජයවර්ධන විසින් කරන ලද සිරිමාවන්ගේ ප්‍රජා අයිතිය නැති කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස සමාජගත වීමට ඉඩ තිබුණු බවක් එදා කියැවුණි. එය ඊට වඩා පුළුල් පන්ති බැඳීමක් බව ද සමහරු කීහ.

 

අල්ජසීරා සාකච්ඡාවේ ද එය මෙහෙය වූ මේදි හසන් නිර්දය ලෙස රනිල් වෙහෙසට පත් කළ බව එය නැරඹූවෝ දනිති. එහෙත් දැන් එය මෙරටේ පාර්ලිමේන්තුවට ගෙනෙන ලද කොමිසම් වාර්තාවක් වී තිබේ. පෙරටුගාමීහු මේ ප්‍රශ්නයට දැඩි ප්‍රතිචාර දක්වන්නේ එය ජවිපෙ ක්‍රියාකාරී තරුණයන්ට ද ඉටු විය යුතු යුක්තියක් බව අවධාරණය කරමින්ය. එදා බටලන්දට ගිය ඒ සිදුවීම් ඇසින් දුටු බව පවසන ඇතැම් අය පසුගිය දිනවල මාධ්‍යවලට ද කැඳවා තිබුණි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය වැනි කෲර සංවිධානවලට වඩාත් ප්‍රචණ්ඩ ආකාරයකින් ප්‍රතිචාර දැක්වීමට බටලන්ද වධකාගාරය ඇතුළු එබඳු ස්ථාන කීපයක්ම තිබුණි. නාඳුනන තුවක්කුකරුවන් මෙන්ම ගෝනි බිල්ලන් සමාජයේ නීතිය ක්‍රියාත්මක කරන තත්ත්වයට පත්ව සිටි ඒ යුගය ගැන ලියැවී, කියැවී තිබෙන බොහෝ දේ මතක ඇති අය අදත් සිටිති. 88-89 භීෂණය ගැන ජවිපෙට චෝදනා කරන විපක්ෂය මේ බටලන්ද වධකාගාරය ගැන ‘හ්ම්’ හඬක් නොනැඟූ බවට ද චෝදනාවක් තිබේ.

 

003

 

රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ දේශපාලනයේ මුල් පෙළට අයත් බහුතරයකට ද අප්‍රමාණ වධ හිංසාවලට ගොදුරුව ඝාතනයට ලක්වීමට එදා සිදුවිය. බටලන්ද වධකාගාරය සම්බන්ධ අඳුරු චිත්‍රයට මුවා වූ නිල බල කුමක් වුවත් ඒ සියල්ලෝම මෙරටේ බහුතර ජනතාවගේ ශාපයට ලක්වූවෝය. දේශපාලන බලය යොදා පව්කාරයන් සැඟවිය හැක්කේ තාවකාලිකව පමණි. වරක් බුදුන් වදාළේ ද (අපරාධයක්) පවක් සිදුකර සැඟවී සිටිය හැකි ස්ථානයක් අහසෙහි ද මුහුද මැද හෝ පර්වත කුහරයක් තුළ හෝ නැති බවය.

 

 

දේශපාලන පුනරුදයක් ගැන අද කතා කරන්නේ යහපත් සමාජයක් ගොඩනැඟීමටය. පසුගිය දිනක ජනාධිපති අනුර කුමාර හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා, මෛත්‍රිපාල, ගෝඨාභය මෙන්ම රනිල් ද අබියස (මහින්ද ඒ අවස්ථාවට සහභාගි වූයේ නැත.) පැවසුවේ හැම අතින්ම කඩාවැටුණු රටක රාජ්‍යයක් ඉතිරි වී තිබෙන බවය. ළමා විය, තරුණ විය මෙන්ම වැඩිහිටි විය ද ඒ පරිහානිය අත්විඳි බවය. එනිසා අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් සුවපත් සමාජයක් නිර්මාණය කිරීමේ වගකීම අප සියලු දෙනාටම පැවරී තිබෙන බවය.

 

 

ශ්‍රී ලංකා අමරපුර නිකායේ අභිනව මහ නා හිමියන්ට සන්නස් පත්‍රය පිරිනැමීමේ උත්සවයේදී ජනාධිපති අනුර කළ කතාව ඒ සියලු හිටපු ජනපතිවරුන්ට පමණක් නොව ඒ යුගවල ක්‍රියාකාරීව සිටි සියල්ලන්ටම ද අදාළය. ස්ත්‍රී දූෂකයන්ට සාමවිනිසුරු පදවි ද පාතාලයන්ට දේශපාලන රැකවරණ දුන් අයට ද මිනීමරුවන් ලෙස හිරයට නියම වූ අයට ජනාධිපති සමාව දුන් අයට ද තමන් කළ හෝ අනුමත කළ හෝ වැරදිවලට විපාක විඳීමට සිදුවන බව පමණක් අප ලියා තැබිය යුතුය.

 

මෙරටේ දේශපාලන බලපෑම් නිසා යටපත් කරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාව බටලන්ද පමණක් නොවන බව ද කිව යුතුය. මහජන මුදල් වැය කරමින් ජාතික හා සමාජ වැදගත් කරුණු විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද කොමිෂන් ගණනාවක්ම ඇත. ඒවා බහුතරයක්ම හමස්පෙට්ටියේය. 1977දී බලයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන එදා ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර ක්‍රියා කළ නායකයෙකි. එහෙත් ඔහු ඒ අගනා වරම භාවිත කළේ සිය දේශපාලන ප්‍රතිවාදීන් මැඬලීමටය. ජයවර්ධන එදා ජනාධිපති කොමිසමක් පත්කර එහි නිර්දේශ අනුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කර ඇය පාර්ලිමේන්තුවෙන් ද නෙරපා දැමූ ධර්මිෂ්ඨ පාලකයාය! ඇය සමග ෆීලික්ස් ඩයස්ටත්, නිහාල් ජයවික්‍රමටත් ඒ දඬුවම ලැබුණි. සිරිමාවන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළේ ජයවර්ධනගේ දේශපාලන පැවැත්ම වෙනුවෙනි. ඔහුගේ අනුප්‍රාප්තික ප්‍රේමදාස ද ඒ ක්‍රියාවට දායක විය. එහෙත් එජාපයේ දේශපාලනය කෙබඳුදැයි ඔවුන්ගේ පාලන කාලය තුළ මෙරටේ තිබුණු තත්ත්වය දන්නා අය දනිති.

 

ජනාධිපති කොමිෂන් මෙන්ම දෝෂාභියෝග වැනි ක්‍රියාකාරකම් යොදාගත යුත්තේ සමාජ යහපතට හා රටේ සංවර්ධනයට බාධා කරන, හරස්වන සමාජ පිළිල අහෝසි කිරීමටය. සත්‍යය හා යුක්තිය අහිමිවූවන්ට සාධාරණය ඉටු කිරීම සඳහාය. එහෙත් මේ රටේ දේශපාලන ඉතිහාසයේ එබඳු භාවිතයන් තිබේදැයි අපි නොදනිමු.

 

බටලන්ද කොමිෂන් වාර්තාවට සිදුවූයේත් එබඳුම සන්තෑසියකි. දැන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ලියවිල්ලකි. මේ බටලන්ද රනිල්ගේ හිසමතට කඩාවැටුණේ අල්ජසීරා සම්මුඛ සාකච්ඡාවේදීය. එහිදී රනිල්ට බරපතළ අලාභ හානි සිදුවුවත් ඔහුට ජාම බේරා ගැනීමට හැකිවිය. නරක වෙලාවට මෝල් ගහක් පත්තු වේ යැයි සිංහල ජනවහරේ එන කතාව ද මෙහිදී අපට සිහිවෙයි. කුමක් වුවත් බටලන්ද වධකාගාරය සාධාරණීකරණය කළ නොහැකි අඳුරු අපරාධ ගුහාවකි. ඒ හීෂණය, ඒ ඝාතනය මහපොළව නොඉවසූ එකකි. මේ සාහසිකත්වය යළි මතු වෙද්දී ජගත් පූජිත කලාකරුවකු වූ බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ගේ සුභාෂිතයක් ද අපට සිහි වේ.

 

 

කිසියම් රටක හැදියාව කෙබඳුදැයි දැනගත හැක්කේ ඒ රට ස්ත්‍රීන්ට සලකන ආකාරයෙනි. පුරුෂාධිපත්‍යයේ පීඩනයට යටත් වූ ස්ත්‍රීන්ගේ නිදහස බ්‍රෙෂ්ට් එහිලා අවධාරණය කරයි. අනතුරුව බ්‍රෙෂ්ට් ස්ත්‍රී දූෂණය හා මිනිස් ඝාතනය ද දැඩිව හෙළා දකියි. ‘සෑම මිනිස් ඝාතනයක්ම මගේ පියා ඝාතනය කිරීමක් ද මගේ සහෝදරයා ඝාතනය කිරීමක් ද වේ. එසේම සෑම ස්ත්‍රී දූෂණයක්ම මගේ මව ද මගේ සහෝදරිය ද දූෂණය කිරීමකි.’ එහෙත් අපේ රටේ ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම නායකයන් ද කල්පනා කරන්නේ ඕනෑම ස්ත්‍රී දූෂකයෙක්, ඝාතකයෙක් තමන්ගේ දේශපාලන වෙල්ලා හැලියේ දමා පිරිපහදු කළ හැකි බව නොවේද?

 

 

මේ සමාජ දේශපාලන කැළඹීම්වල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ හැංගිමුත්තම ගැන ද වචනයක් සඳහන් කළ යුතුය. දේශබන්දු විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද අතුරු තහනම් නියෝගය ඉල්ලීමේ පෙත්සමට අදාළ තීන්දුව මෙම 17 වැනිදා ලබාදීමට නියමිතය. එහෙත් ඔහු සම්බන්ධයෙන් මේ වනවිට උද්ගත වී තිබෙන විවේචන, චෝදනා සුළුපටු නොවේ.

 

 

දේශබන්දු යනු තවමත් මෙරටේ පොලිස්පතිය. ඔහු පදිංචිව සිටි නිවසේ ප්‍රභූ ආරක්ෂාව තවමත් තිබේ. එහෙත් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප් පීරිස්ට අනුව ඔහු කොස්තාපල්වරයකු වීමටවත් නුසුදුස්සෙකි! කෙබඳු උත්ප්‍රාසයක් දනවන කියමනක්ද? රටේ පොලිස්පතිවරයා නීතිය මඟහැර සිටින පසුබිමක රටේ නීතියේ ආධිපත්‍යය ගැන කවර කතාදැයි ජනාධිපති අනුර තවත් වරෙක ප්‍රශ්න කර තිබුණි. ඇත්තටම දේශබන්දු පොලිසිය මඟහැරීමෙන් කරන ලද්දේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම අවමානයක් නොවේද? එයට පිළිතුරු දිය යුත්තේ ද ඔහු විසින්මය.

 

 

කෙසේ හෝ දැන් තවත් මහජන මත විමසුමකට මුහුණ දීමට ආණ්ඩුවට මෙන්ම විපක්ෂවලට ද අවස්ථාව උදාවී තිබේ. ඒ එළඹෙන පළාත් පාලන මැතිවරණය නැතහොත් පුංචි ඡන්දයයි. ආණ්ඩුව පිළිබඳ ජනතා විශ්වාසය, පලුදු කිරීම විපක්ෂ ගෙන යන හැම විවේචනයකම අරමුණ බව ද පැහැදිලිව පෙනේ. මේ ආණ්ඩුව කෙරෙහි තැබූ ජනතා විශ්වාසය මෙන්ම ඔවුන් ජනාධිපති අනුරගෙන් අපේක්ෂා කරන අලුත් දේශපාලන පුනරුදය කුමක් ද යන්නත් ආණ්ඩුව දනී. බටලන්ද වධකාගාරය පිළිබඳ කතිකාව සමගම සජබයේ සමහරුන් 88-89 භීෂණයේ ජවිපෙ ක්‍රියාකාරකම් ද සිහිපත් කරති. විපක්ෂ ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර අනුවය. ඒ සඳහා ඔවුන්ට තවත් දිගු ගමනක් යාමට ද තිබේ.

 

 

විපක්ෂයේ සජබය හා එජාපය අතර නොකෙරෙන දීගයේ වාසිය බොහෝවිට පුංචි ඡන්දයේදී ආණ්ඩුවට ලැබිය හැකිය. මාලිමාවට ඡන්දය දුන් බහුතරයක් තවම ඔවුන්ට කල්දීමට සූදානම් බව ද පෙනේ. ඒ අදූෂිත පාලනයක් – අලුත් ලංකාවක් සඳහා වූ බලාපොරොත්තුව නිසාය. රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩක් නොතබා යාම ආණ්ඩුවේ අදිටන බව ද පෙනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාධනීය ප්‍රතිචාර ද ඔවුන්ට ලැබී තිබේ.

 

 

අනුර කුමාර ජනාධිපතිවරයාට මෙරටේ ප්‍රභූ තන්ත්‍රයට ඛේදනීය පරාජයක් ලබාදීමට හැකි වුවද මධ්‍යම පන්තියේ හා පහළ ගැමි ජන කොටස් තවමත් ජීවන අරගලයේ බර දරමින් සිටිති. එහෙත් ජාතික ජන බලවේගයේ දේශපාලන පුනරුද නමැති පුරහඳට යළිත් ප්‍රතිගාමි බලවේග නමැති අඳුර වැටීමට ඉඩදිය යුතු නැත.

 

@ගාමිණී සුමනසේකර

ඉරිදා දිවයින