SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • පාරාවළල්ලක් වූ රනිල්ගේ අල් ජසීරා 'මෙහෙයුම'
  • යුක්තිය පතන්නන්ට නොසිතූ මොහොතක ඇරුණු දොරටුවක්?

 

 

රනිල්ගේ අල් ජසීරා සාකච්ඡාව යනු, තනිකර ම පාරාවළ්ලක් වී ආපසු කැරකී එන මෙහෙයුමක් වන ලකුණු දැන් දැන් පෙනෙන්නට තිබේ.

 

එය පාරාවළල්ලක් වී ඇත්තේ රනිල්ට පමණක් නොවේ. ආණ්ඩුවටත්, සමස්ත අපරාධ රාජ්‍යයටමත් ය.

 

 

ආණ්ඩුවත් ඒ බූමරංගය දෑත බදා අල්ලාගෙන සිය මඩිස්සලයේ දමාගන්නට ගොස් දැන් කිසියම් පඹගාලක පැටලී සිටින බවක් පෙනේ.‍

 

 

'අත්හල නොහැකි' පාරාවළල්ලක්

 

ඇත්තටම නම් ඒ කැරකී ආවේ, ආණ්ඩුවට අත්හැර දැමිය හැකි පාරාවළල්ලක් ද නොවේ.

 

එය අත්හැරියේ නම් දැඩි අර්බුදයකට යන්නේ ජාජබ ආණ්ඩුවේ සුජාත භාවය හා තාර්කික පැවැත්ම යි: තමන්ගේ ම අතීතයට ඇති යුතුකම හා වගකීම යි: ඊට වගවීමෙහි ලා ඇති සූදානම යි: ප්‍රශ්නකිරීමට ලක්වන්නේ ඊට ආමන්ත්‍රණය කිරීමට ඔවුන්ට ඇති බුද්ධිමය ධාරිතාව යි.

 

අනිත් අතට එය අල්ලා ගැනීමෙන් සිදුවන්නේ අතිශය විසංවාදී, මහත් වූ බුද්ධිමය ශ්‍රමයක් ඇවැසි වන, සැලකිය යුතු නෛතික හා ආයතනික ක්‍රියා පිළිවෙතක් අවශ්‍ය වන, දකුණු කොනෙන් පටන්ගෙන උතුරු කොන දක්වා බඩවැලක් මෙන් ඇදී එන්නට නියමිත රාජ්‍ය අපරාධ කන්දරාවක් සමග හැප්පීමට යි.

 

ඒ හැප්පිල්ල හැප්පෙන්නට සිදුවන්නේ ක්‍රම වෙනසක් පොරොන්දු වී පැමිණි අලුත් ආණ්ඩුවක් ලෙස කරන්නට වැඩ කප්පරක් තිබියදී ය.

 

 

යුක්තියට ඇරුණු දොරටුවක්!

 

මෙය පාරාවළල්ලක්, පඹ ගාලක් ලෙස අප හඳුන්වන්නේ රනිල් ඇතුළු මේ රට මෙතෙක් පාලනය කළ හැත්ත බුරුත්තේ ද, අන්තිමට ඊට කරගසා සිටින ජාජබ ආණ්ඩුවේ ද, අපරාධ කන්දක් මත සැනකෙළි පවත්වන සමස්ත රාජ්‍යයේ ද පැත්තෙන් බැලූ කල ය.

 

 

සිය ජීවිතයේ වැඩිම කාලයක් රාජ්‍යය සමග හැප්පුණු, යුක්තිය වෙනුවෙන් දිගින් දිගටම පෙනීසිටි, අරගල කළ, ඒ නිසා අනේක ගැහැට විඳි මිනිසුන්ගේ දැක්මෙන් නම් මෙය ඔවුන් දිගින් දිගටම විවර කරගැනීමට උත්සාහ දෑරූ, එහෙත් මේ මොහොතේ විවරවේය යි කිසිසේත් අනුමාන නොකළ අතිශය වැදගත් දොරටුවකි.

 

 

මෙය දීර්ඝ වශයෙන් කතාකළ යුතු මාතෘකාවක් වුවත්, දැනට සැකෙවින් කරුණු කිහිපයක් පමණක් සාකච්ඡා කරමු.

 

 

වැඩකට ඇති වාර්තාවක්ද?

 

ඇත්තටම ආණ්ඩුව මේ සභාගත කර ඇත්තේ වැඩකට ඇති වාර්තාවක්ද?

 

 

දැනට ලැබෙන තොරතුරුවල හැටියට නම් පෙනීයන්නේ, එහෙමකට වැඩකට ඇති වාර්තාවක් නොවන බව ය. චන්ද්‍රිකා විසින් පත්කරනු ලැබ ඇත්තේ කිසියම් නෛතික බලයක් සහිත ජනාධිපති කොමිසමක් නොව, නෛති බලයක් නැති හෙවත් හපන්නට දත් නැති නිකම්ම නිකම් කොමිසමකි. හුදෙක් එදා සිය දේශපාලන වාසියට පමණක් යොදාගත හැකි වූ කොමිසම් නාඩගමකි.

 

 

කිසියම් නෛතික බලයක් සහිත ජනාධිපති කොමිසමක් පත්කරනවා නම් එය සිදුවිය යුත්තේ 1978 අංක 07 දරන විශේෂ ජනාධිපති කොමිශන් විමර්ශන සභා (සංශෝධිත) පනත යටතේ ය.

 

එහෙත් චන්ද්‍රිකා මේ බටලන්ද කොමිසම පත්කර ඇත්තේ 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධිත) පනතේ දෙවන වගන්තිය යටතේය.

 

 

අලුත් කොමිසමක් ඕනෑ වෙයි?

 

ඇත්තටම බටලන්ද වධකාගාර පරිශ්‍රය ගැන නෛතික රාමුවක් යටතේ පරිපූර්ණ වශයෙන් සොයාබලා නීති මගින් කටයුතු කිරීමට නම් අලුත් ජනාධිපති කොමිසමක් පත්කිරීමේ සිට මුළුමහත් ක්‍රියාදාමය ම අලුතෙන් පටන්ගෙන අවසානයක් දක්වා ගෙනයාමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට නීති ක්ෂේත්‍රයෙන් තර්ක පැනනැඟෙමින් තිබේ.

 

 

මේ වාර්තාවෙන් ඊට ලබාගත හැක්කේ කිසියම් තොරතුරුමය මූලාශ්‍ර සහායක් පමණක් විය හැකි ය.

 

 

ආණ්ඩුව හමුවේ තිබෙන දැවැන්ත අභියෝග කන්දරාව හා තත්කාලීන ජනතා අභිලාශ ගොන්න ඉදිරියේ එය ලෙහෙසි පහසු කාර්යයක් බවත් නොපෙනේ.

 

 

භීෂණ සමයේ සෙසු අපරාධ?

 

ඊළඟට මතුවන්නේ, බටලන්ද සම්බන්ධයෙන් කිසියම් නිශ්චිත නීතිමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුවත්, ඒ සමග ම ඈදෙන්නට නියමිත ඒ භීෂණ සමයේ අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්ද යන්න ය.

 

රාජ්‍යය විසින් සිදුකරන ලද අපරාධ පමණක් නොව, අවිගත් අරගලකරුවන් විසින් සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?

 

හුදෙකලා සිද්ධි ලෙස ගත් කළ රාජ්‍යය පැත්තට චෝදනා එල්ලවන අපරාධ සේම ජවිපෙ ප්‍රධාන කොටගත් අරගල කණ්ඩායම් වෙත ඇඟිල්ල දිගුවන අපරාධ ද කොතෙකුත් තිබේ. නිදසුනකට, දයා පතිරණ හා චන්ද්‍රිකාගේ ම ජනාධිපති කොමිසමකින් වාර්තාවක් සැකසූ විජය කුමාරතුංග වැනි පුද්ගල ඝාතන සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත කුමක්ද? ඒ සියල්ල අතර විජේවීර ඝාතනය ගැන කරන්නට යන්නේ කුමක්ද? එසේ නැතිනම් බටලන්දෙන් සියල්ල අවසන් කර, ඉතිරි අපරාධ නැවත වතාවක් අමතක කර, යටගසා දමනවාද?

 

 

රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ අරගලරුවන්ගේ ප්‍රචණ්ඩත්වය

 

 

රාජ්‍යයක් සහ ඒ රාජ්‍යයේ පුරවැසියන්ගෙන් කොටසක් රාජ්‍යයට එරෙහිව ගසන කැරැල්ලක දී දෙපැත්තෙන් ම සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා එකම තරාදියක දමා කිරාගත හැකියයි අපි නොසිතමු. පුරවැසි කණ්ඩායමකින් අරගලකාරී ප්‍රතිචාරයක් පැනනැඟෙන්නට බලපෑ හේතු මොනවාද, රාජ්‍යය හොබවන්නන් හා පුරවැසියා අතර සම්මුතිය රාජ්‍යය පැත්තෙන් බිඳදමා තිබේද, පක්ෂ, සංවිධාන ආදිය අසාධාරණ ලෙස මර්දනය කිරීම හා තහනම් කිරීම, නිදහස් හා සාධාරණ මැතිවරණවලට බාධාකිරීම වැනි දෙයින් පුරවෑසියාට ප්‍රකාශමාන වීමට, සාමකාමී හා නිදහස් අදහස් ප්‍රකාශනයට සීමා වැටී අතිද යනාදී අතිශය සංකීර්ණ දේශපාලන වාතාවරණය ගැන යථා තක්සේරුවක් එහි දී අවශ්‍ය ය. එසේම අරගලකරුවන් ප්‍රචණ්ඩත්වය යොදාගත්තා කියා, මහජන ඡන්දයෙන් බලයට පත්, නීත්‍යානුකූල මර්දන යාන්ත්‍රණ අත දරන ආණ්ඩුවට නෛතික සීමා උල්ලංඝනය කරමින් ‘ප්‍රති ත්‍රස්තකරණය’ ආයුධයක් ලෙස යොදාගෙන කටයුතු කිරීමේ අයිතියක් ඇතිද යන කාරණා ද සැලකිල්ලට ගතයුතු ය.

 

ඇතැම් විට නො පැහැදිළි බොහෝ අපරාධ සම්බබන්ධයෙන් ‘සත්‍යය කොමිසමක්’ වැනි ආකෘතියකට එහා නොයා හැකි අවස්ථා තිබිය හැකි ය. ඒ අතර බටලන්ද වැනි වධ කඳවුරු, සමූහ මිනීවලවල් මෙන් ම නිශ්චිත තනි පුද්ගල ඝාතන වැනි දේ විධිමත් නෛතික ක්‍රියාමාර්ගයකට යටත්කිරීමේ අවශ්‍යතාව තිබේ.

 

 

උතුරේ අපරාධ අත්හැර දමනවාද?

 

 

ඊළඟට, දකුණේ සන්නද්ධ අරගලයට අදාළ අපරාධ විසඳීමෙන් පමණක් නවතින්නට හැකියාව ලැබේද? එසේ නැවතීමට යුක්ති සහගත අයිතියක් තිබේද? උතුරේ සිදුවූ දැවැන්ත අපරාධ කන්දරාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නට යන පිළිවෙත කුමක්ද? එහිදී ද, අරගලකාරී කණ්ඩායම්වල හා රාජ්‍යයේ මර්දන යන්ත්‍රයේ ක්‍රියාකාරකම් කිරා මැන බැලිය හැක්කේ එකම තරාදියේ ද?

 

 

එසේ නැතිනම් අප කරන්නේ දකුණේ අපරාධ ගිණුම පමණක් විසඳා උතුරේ අපරාධ ගිණුම එහෙමම විවෘතව තබා නැවතත් උතුරට වෙනස් කොටස සැලකීමක්ද?

 

බටලන්දෙන් අරඹා මේ සියලු අපරාධවලට යුක්තිය හා සාධාරණය ඉටුකරන පුළුල්, පරිපූර්ණ හා සර්ව සාධාරණ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයකට අපි දෑත ම ඔසවා පක්ෂපාතීත්වය පළකරමු.

 

එහෙත් එය යථාවක් බවට පත්වෙනවාද, නැතිනම් හොම්බෙන් ගිය වෙලාවේ මොන අටමගලයකට හෝ නැග දේශීය බැරිනම් ‘ජාත්‍යන්තර වැඩකාරයා’ හෝ වීමට දැඟලූ රනිල් ගේ ළාමක ආසාවත්, වැඩි දුරදිග හොයන්නේ බලන්නේ නැතිව බූමරංගය අල්ලාගෙන මල්ලේ දමාගත් ජාජබ ආණ්ඩුවේ අපරිණත කමත් විසින්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අපරාධ නම් අතිශය බෑරෑරුම් විෂයය යළිත් වතාවක් විගඩම් රංගනයක නාඩගම් බිමක් බවට පත්කරනවාද යන්න ඉදිරියේ දී තීරණය වීමට නියමිත ය‍.

 

 

@සනත් බාලසූරිය