බටහිර පරිසරවාදය වැළඳ ගැනීම
පහත ඡායාරූප දෙකෙහි දැක්වෙනුයේ 1981 වසරේ (ඒ වන විට ජේ.ආර්. බලයට පත් වී වසර 4කට ආසන්නය) වැල්ලවත්තේ කඩයක් සහ අධ්‍යතන සමාජයේ සුපිරි වෙළඳසැලකි. එම කඩය තුල කොහු ලනු, පන් පැදුරු, හට්ටි මුට්ටි තැබීමට ගන්නා වළලු, පන් බෑග, කඩද්දාසි බෑග, වේවැල් කූඩ, බට පොතු වට්ටි, කොහු, ඉදල්, පලතුරු, පොල් ආදිය විකිණීමට තිබේ. අද මෙවැනි කඩ දක්නට නොමැත.
අද දවසේ සුපිරි වෙළඳ සැලකට ද ගොස් එම ප්‍රයෝජනයම ගත හැකි භාණ්ඩ පවතින ආකරය විමසා බැලිය හැක. නයිලෝන් ලනු, ප්ලාස්ටික් පැදුරු, වලන් තැබීම සඳහා ප්ලාස්ටික් ටේබල් මැට්, ප්ලාස්ටික් හෝ පොලිතීන් බෑග, ප්ලාස්ටික් කූඩ, ප්ලාස්ටික් පෙට්ටි, ප්ලාස්ටික් සහ නයිලෝන් කොසු සහ ඉදල්, ආරක්‍ෂිත රෙජිෆෝම් සහ පොලිතීන් ආවරණය කරන ලද රසායනික සත්කාර සහිත පලතුරු සහ එළවලු ආදිය එහි විකිණීමට ඇත.
එසේම වැල්වත්තේ කඩය මෙන් නොව ඒවා විකිණීමට තබා ඇත්තේ අධික විදුලි ආලෝකය, වායුසමීකරණය, අලුමීනියම් සහ ප්ලාස්ටික් රැක්, හොඳින් ඇඳ පැළඳගත් සේවක සේවිකාවන්, ට්‍රොලි, ආදිය ඇති සෞන්දර්යකරණය කල ශාලවකය. වැ.කඩයේ මෙන් නොව ඒ සියල්ල කළමනාකරණය සඳහා විශේෂ දැනුමක් ද අවශ්‍ය වේ.
දෘෂ්ටිවාදයට අනුව ("ජනතාවගේ ස්ථාවරය) වැලලවත්ත කඩය නොදියුණු තත්වයක් වන විට සුපිරි වෙළඳ සැල දියුණු තත්වයකි. වැල්ලවත්ත කඩයට අනුරූප වශයෙන් එහි ඇති භාණ්ඩ කෙසේ නිපදවෙන්නේ දැයි ඒවා මිලදී ගන්න අය නොදනී. නමුත් වැල්ලවත්ත කඩයේ තිබූ භාණ්ඩ එසේ නොවන අතර ඒවා නිපදවෙන ආකාරය සහ අදාළ අමුද්‍රව්‍ය මොනවා ද යන්න ඒවා මිලදීගෙන පාරිභෝජනය කරන්නන් දනී. ඒ සියලු භාණ්ඩ මහපොළවට හෝ ජලයට එකතු වුව ද ඉන් කිසිඳු ප්‍රශ්නයක් නොමැත. ඒවා ආහාරයට එකතු වුව ද කම් නැත. ඒවා භාවිතය සඳහා ඇකඩමික විශේෂඥ දැනුම අවශ්‍ය නොවේ. නමුත් සුපර් මාකට් බඩු භාවිතය සඳහා විශේෂඥ දැනුම අවශ්‍ය වේ. ඒවා අහාරයට, ජලයට, වාතයට එකතු වීම භයානක ප්‍රතිපල ගෙන දේ. එබැවින් විශේෂඥ උපදෙස් පරිදි ඒවා භාවිතය, බැහැර කිරීම වැනි දෑ කල යුතුය. එසේ ඒවා භාවිතා කිරීම බැහැර කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් නොමැති රටවල් යනු නොදියුණු රටවල්ය. ඒ අනුව, UN, IMF, WB වැනි සංවිධාන විසින් අප වැනි රටවල ආණ්ඩු දිරිමත් කරනුයේ අප වැනි රටවල් ද දියුණු රටවල් බවට පත් කිරීම සඳහාය. එසේ ක්‍රමවත් "පරිසරහිතකාමි" ක්‍රියාපටිපාටිය විසින් එම නිෂ්පාදන වලට අදාළ ප්‍රශ්න විසඳිය හැකි බව විද්‍යාවේ මෙන්ම පරිසර විද්‍යාවේ ද තීරණයයි. නමුත් එන්න එන්නම විවිධ ආකාර වලින් අර්බුධය උග්‍ර වෙමින් තිබේ. කෙතරම් විද්‍යාත්මක විසඳුම් රැගෙන ආව ද මෙම නිෂ්පාදන සහ නිෂ්පාදන විධි ක්‍රම තුලින් සිදුවන දූෂණය, භාවිතය තුලින් සිදු වන දූෂණය සහ භාවිතයෙන් පසු ප්‍රථිපල කළමනාකරණය කිරීමට යාම විසින් තව තවත් අර්බුධ ජනනය කරමින් තිබේ.
නූතන විද්‍යාවේ ආරම්භයට පෙර මෙවැනි තත්තවයක් ලොව කොතැනක හෝ නොපැවතුනි. අතීතයේ කිසිඳු කලක නොතිබූ තත්වයක් අද ඇතිව තිබේ (වර්තමාන අර්ථයෙන්ම නොවූව ද දැඩි අධිකාරීත්ව දූරවලියක් තුල ක්‍රියාත්මක වූ, මෙවැනි ලෙසම වාණිජකරණය වී, දැඩි ලෙස විපරීතභාවයට පත් වූ රෝම ශිෂ්ටාචාරය විනාශ වීම සඳහා ඊයම් බලපෑ බවට කල්පිතයක් ගොඩනැගී තිබේ).
කන-බොන සහ නොකන-නොබොන යනුවෙන් මූලික වශයෙන් මිනිසුන්ට අදාලව දේවල් වර්ගීකරණය වී තිබුණි (සතුන්ට ද එසේය). කන-බොන දේවල් සමග ආරක්ෂිත මාත්‍රා වලින් (විද්‍යාත්මක දැනුම තුල) නොකන නොබොන දේවල් ශරීර ගත කර ගැනීමේ විධික්‍රමයක් පසුගිය සියවසින් එපිට තිබී නොමැත.
එසේ නම් මේ වර්තමාන තත්වය ඇති වූයේ කෙසේද?
නිෂ්පාදන ක්‍රියාවලිය තුළ බුද්ධිමය හා තාක්ෂණික දැනුමේ වර්ධනය වන භූමිකාව විස්තර කිරීමේ ක්‍රමයක් ලෙස මාක්ස් විසින් 'සාමාන්‍ය බුද්ධිය' ('general intellect') පිළිබඳ සංකල්පය "Grundrisse" කෘතියෙහි හඳුන්වා දුන්නේය. ධනවාදී සමාජය තුළ, තාක්ෂණය, විද්‍යාත්මක දැනුම සහ සමාජීය වශයෙන් සංවිධානය වූ බුද්ධිමය ශ්‍රමය ධනවාදයේ නිෂ්පාදන බලවේග සඳහා අත්‍යවශ්‍ය වන බව මාක්ස් සඳහන් කළේය. මාක්ස්ගේ වචන වලින් කිවහොත්, මෙයින් අදහස් කරනුයේ හුදෙක් භෞතික ශ්‍රමය පමණක් නොව, සමාජයේ සාමූහික දැනුම සහ බුද්ධිමය හැකියාවන් නිෂ්පාදනයේ ගාමක බලවේග බවට පත්වන බවයි.
පෞද්ගලීකරණයේ නව ආකාරයන් ග්‍රහණය කර ගැනීමට මෙන්ම දැනුම පිළිබඳව කාරණය වටහා ගැනීමට නම් අධ්‍යතන ධනවාදයට අදාලව අප මාක්ස්ගේ සංකල්පීය මෙවලම් විවේචනාත්මකව පරිවර්තනය කළ යුතුව ඇත.
කෙසේ වෙතත් මාක්ස් විසින් 'සාමාන්‍ය බුද්ධියේ' ('general intellect') සමාජ මානය නොසලකා හැර ඇති නිසා, 'සාමාන්‍ය බුද්ධිය'ම පුද්ගලීකරනය කිරීමේ හැකියාව ( "බුද්ධිමය දේපල" පිලිබඳ අරගලයේ හරය) අපේක්ෂා කිරීමට මාක්ස් අසමත් විය.
මේ වන විට නව ලිබරල්වාදය හමුවේ දැඩි අභියෝගයට ලක්ව ඇති මාක්ස්ගේ කොම්යුනිස්ට් සමාජය පිළිබඳව ස්ථාවරය සහ පුද්ගලික දේපල ක්‍රමය අහෝසි විය යුතුය යන ස්ථාවරයන් ආරක්ෂා කල හැක්කේ මනෝ විශ්ලේෂණයට පමණි. මනෝ විශ්ලේෂණයට අනුව, දැනුමේ සහ බුද්ධිමය අධිකාරියේ වර්ධනය සමාජයේ සහ භාෂාවේ ව්‍යුහයෙන් වෙන් කළ නොහැකිය. දැනුම යන්න සංකේතීය වේ. එය සමාජය පාලනය කරන භාෂාව සහ සමාජ ව්‍යුහයන් තුල ක්‍රියාත්මක වේ. එවිට 'සංකේත රටාව' (Symbolic Order) යනු අප දැනුම නිෂ්පාදනය කරන සහ බෙදා හරින ආකාරය ඇතුළුව මානව පැවැත්ම හැඩගස්වන නීති, සම්මතයන්, ප්‍රතිමාන සහ ආයතන ජාලයයි.
ඓතිහාසික වශයෙන්, 'සාමාන්‍ය බුද්ධිය' වඩාත් ඒකාකාරව සහ එක සමාන ලෙසින් පැතිර ව්‍යාප්ත වූයේ මිනිසුන්ගේ 'දැනුම' ප්‍රජාවක් තුළ අනුමෝදන් වූ සංකේතීය රාමුව මත පදනම් වූ නිසාත්, එහිදී සෑම කෙනෙකුටම ජීවිතයේ මූලික පිළිවෙත් (කෘෂිකර්මාන්තය, ශිල්පීය හැකියාවන් සහ පවුල් භූමිකාවන් වැනි) සමඟ සමාන සම්බන්ධතාවයක් තිබූ නිසාත්ය. මෙම අර්ථය තුල, කිව හැක්කේ මිනිසුන්ට සමාන සංකේතීය ව්‍යුහයන් වෙත ප්‍රවේශය තිබූ බවත්, එමඟින් දැනුම වඩාත් සමානාත්මතාවයෙන් පැතිර ව්‍යාප්ත වීමට හේතු වන බවත්ය.
නූතන විද්‍යාවේ ආරම්භයෙන් පසු (තර්ක බුද්ධිය), කාලයත් සමඟ, විශේෂයෙන් ධනවාදයේ නැගීම සහ තාක්ෂණික සංවර්ධනයත් සමඟ, දැනුමේ බෙදීම වඩාත් කැපී පෙනෙන්නට විය. විශේෂීකරණයේ (specialization) වර්ධනය (උදා: විද්‍යාඥයින්, තාක්ෂණවේදීන්, ආර්ථික විද්‍යාඥයින් වැනි ලෙස...) සාමාන්‍ය සේවකයින්/සාමාන්‍ය මිනිසුන් සහ බුද්ධිමය ප්‍රභූන් අතර වර්ධනය වන පරාරෝපණයක් ඇති කළේය. මනොවිශ්ලේෂණය තුල මෙම තත්වය ආත්මයේ පරාරෝපණයේ ප්‍රකාශනයක් ලෙස සලකනු ලබයි. නූතන දැනුම පාලනය කරන සංකේතීය ව්‍යුහයන් සමඟ තවදුරටත් සෘජු සම්බන්ධතා නොමැති නිසා මිනිසුන් තමන්ගේම 'සාමාන්‍ය බුද්ධියෙන්' වැඩි වැඩියෙන් පරාරෝපණය වෙමින් සිටිති. බුද්ධිමය සහ වෘත්තීමය පන්ති විසින් දැන් විශේෂිත දැනුම (specialized knowledge) පාලනය කරන අතර, පහලම සමාජ කොට්ටාශයට අදාලව සලකන්නේ නම්, එය කම්කරුවන්ගේ සහ සාමාන්‍ය මිනිසුන්ගේ පුළුල් අත්දැකීම් වලින් විසන්ධි වී ඇත. එනම්, දැනුමට අදාළ පැහැදිලි ආයතන සහ දූරවලියක් තිබේ.
මනෝ විශ්ලේෂණයේ අඩුව (lack) පිළිබඳ අදහස මෙහි දී කේන්ද්‍රීය වේ. විද්‍යාඥයින් සහ සාමාන්‍ය සේවකයින්/සාමාන්‍ය මිනිසුන් අතර වර්ධනය වන බෙදීම කණ්ඩායම් දෙකෙහිම අඩුවක පිළිබිඹුවක් ලෙස දැකිය හැකිය. බුද්ධිමය ප්‍රභූන් ගහ/කොළ, සතා සිව්පාවා ඇතුළු සමස්ත පරිසරය සහ සමාජය පිළිබඳව පුළුල්, විශ්වීය දැනුමෙන් වෙන් වී ඇති අතර, පහලම තත්වය ලෙස සලකන කම්කරුවන් සහ සාමාන්‍ය මිනිසුන් සලකන්නේ නම්, ඔවුන්ව සවිබල ගැන්විය හැකි විශේෂිත දැනුමට ඔවුනට ප්‍රවේශය නොමැතිකමේ අඩුව අත්විඳිය හැකිය. මෙය විසින් ආශාවේ චක්‍රයක් නිර්මාණය කරයි. එනම්, කම්කරුවන් හෝ සාමාන්‍ය මිනිසුන් දැනුමට ආශා කරන නමුත් එය කරා ඔවුන්ට ළඟා විය නොහැකිය. එනම්, නූතන දැනුම ඔවුන්ගේ ලඟා වීමෙන් ඔබ්බෙහිය. එසේම බුද්ධිමතුන් ඔවුන්ගේ විශේෂිත දැනුමේ සීමාවන් ඉක්මවා යාමට ආශා කරයි. එය එක්තරා ආකෘතියක් තුල එහි කෙළවරක් දැකිය නොහැකි ලෙස වර්ධනය වේ.
මෙම විභේධනය 'මහා අනෙකාගේ' (සම්මතයන්, ප්‍රතිමාන සහ අධිකාරීත්වමය පුද්ගලයින්ගේ පද්ධතිය) බලපෑම පිළිබිඹු කරයි. සමකාලීන සමාජය තුළ, 'මහා අනෙකා' නියෝජනය කරනු ලබන්නේ දැනුම නිෂ්පාදනය සහ ව්‍යාප්තිය පාලනය කරන විශ්ව විද්‍යාල, එවැනි අනෙකුත් ආයතන හෝ සමාගම් සහ රජයන් වැනි ආයතන මගිනි. එබැවින් 'සාමාන්‍ය බුද්ධිය' නූතන විද්‍යාවේ වර්ධනයට පෙර මෙන් නිදහසේ පැතිර ව්‍යාප්ත විය නොහැකි සහ එසේ බෙදා හරිනු නොලබන අතර එය මෙම ආයතන මගින් පාලනය කර නියාමනය කරනු ලැබේ.
'සාමාන්‍ය බුද්ධියේ' මෙම මාරුවීම්වල භෞතික පදනම පිළිබඳව සලකා බලන්නේ නම්, 'සාමාන්‍ය බුද්ධිය' (විද්‍යාත්මක දැනුම, තාක්ෂණය, නවෝත්පාදනය) විසින් දැන් ආර්ථිකය මෙහෙයවන නමුත් මෙම දැනුම ධනේශ්වර ප්‍රභූන් (සමාගම්, තාක්ෂණික දැවැන්තයන් ආදිය) විසින් වැඩි වැඩියෙන් පෞද්ගලීකරණය කර පාලනය කරනු ලබයි.
විද්‍යාඥයින් සහ අනුක්‍රමික සේවා ශ්‍රේණීගත දූරවලිය තුල සේවකයින් හෝ සාමාන්‍ය මිනිසුන් අතර වැඩෙන පරතරය දැනුමට ප්‍රවේශ වීම පිළිබඳව පමණක් නොව ධනවාදය යටතේ ශ්‍රමය පරාරෝපණයට ද ලක්වීමයි. ආර්ථිකය සහ දේශපාලන ක්‍රමය හැඩගස්වන දැනුමෙන් අනුක්‍රමික වශයෙන් වන සේවා ශ්‍රේණීන් විවිධ මට්ටම් වලින් සහ කම්කරුවන් වැඩි වැඩියෙන් විසන්ධි වෙමින් පවතී. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන කම්කරුවන් බොහෝ විට ඔවුන්ගේ ශ්‍රමය පාලනය කරන විද්‍යාත්මක හා තාක්‍ෂණික ක්‍රියාවලීන් පිළිබඳව නොදැන සිටින අතර එය දෘෂ්ටිවාදී හැසිරවීමට හේතු වේ. 'සාමාන්‍ය බුද්ධිය' වැඩකරන මින්සුන් වෙතින් ඈත් වී ඇති අතර, ඔවුන් ධනේශ්වර යන්ත්‍රයේ රෝදයේ දැති රෝදයක් බවට පත්වන අතර, ක්‍රියාකාරීත්වයේ ඇති විශාල පද්ධතිය ගැන නොදැන සිටියි.
එබැවින් 1980දී පමණ වැල්ලවත්ත කඩයේ ඇති භාණ්ඩ සහ වත්මන් සුපිරි වෙළඳ සැලක ඇති භාණ්ඩ අතර වෙනස වන්නේ වැල්ලවත්ත කඩයේ ඇති භාණ්ඩ අප රට තුල නිදහසේ පැතිර ව්‍යාප්ත වූ 'සාමාන්‍ය බුද්ධියේ' නිෂ්පාදන වූ විට එම කාර්යන්ම කර ගත හැකි අද දවසේ සුපිරි වෙළඳ සැලෙන් මිල දී ගන්නා භාණ්ඩ යනු ඉහතින් විස්තර කල ආයතනික වියුක්ත දැනුම තුලින් නිෂ්පාදනය වූ ඒවා වීමයි. එම නිෂ්පාදන ආරක්ෂිතව භාවිතය සඳහා නිෂ්පාදන ආයතනය විසින් අදාළ දැනුමක් නිකුත් කරන අතර පාරිභෝගිකයින් එම දැනුමෙන් සන්නද්ධ විය යුතුය. එසේම ඒවා කසල ලෙස ආරක්ෂිතව බැහැර කිරීම සඳහා රාජ්‍යය විසින් පළාත් පාලන ආයතන හරහා ක්‍රමවේදයන් සකස් කල යුතුය. ඒ අනුව, එම කසල කළමනාකරණය කල යුතු අතර ඒ සඳහා ද විශාල සහ විශේෂිත දැනුමක් අවශ්‍ය වේ (ඒ සඳහා වන පශ්චාත් උපාධි ද ඇත). විද්‍යාත්මක කසල රඳවනයන්, ප්‍රතිචක්‍රීකරණය, හෝ පරිසර හිතකාමී නිෂ්පාදන වැනි දේ වෙත කෙතරම් යොමු වුව ද ප්‍රශ්නය විවිධ පැති වලින් උග්‍ර වනවා මිස විසඳුම් ලැබී නොමැත.
විද්‍යාවේ පදනම වන්නේ සංජානනය කල හැකි 'වාස්තවික යථාර්තයක්' පැවතීම පිළිගැනීමයි. මාක්ස්-ලෙනින්වාදී ජ.වි.පෙ. ස්ථාවරය ද එයයි. නමුත් මනොවිශ්ලේෂණයේ පදනම එසේ නොවේ.
විද්‍යාත්මක දැනුම යනු එය පවසන "යථාර්ථයේ" (reality) අංශ නිරූපණය කිරීම සඳහා ගණිතමය සූත්‍ර, න්‍යායන් සහ ආකෘති භාවිතා කරන සුවිශේෂී ලෙස ආයතනගතව ගොඩනගන ලද සුවිශේෂී සංකේතීය පද්ධතියකි. එය විසින් සාමාන්‍ය සංකේත රටාවට දිගින් දිගටම බලපෑම් කරමින් සංස්කරණය කරමින් තිබේ.
මනෝ විශ්ලේෂණයට අනුව, යථ (the Real) යනු සම්පූර්ණ වශයෙන් සංකේතකරණයට හෝ අවබෝධයට ප්‍රතිරෝධය දක්වන යථාර්ථයේ කොටසයි. එය භාෂාවේ සහ සන්කෙතීයකරණයේ ග්‍රහණයෙන් ඔබ්බට පිහිටා ඇති අතර නිරූපණයන් මගින් සම්පූර්ණයෙන්ම ග්‍රහණය කර ගත නොහැක. මනොවිශ්ලේෂණයේ ස්ථාවරය වන්නේ නූතන විද්‍යාව යථ සමඟ අන්තර් ක්‍රියා කරන මුත් එයට කිසි විටෙකත් එය සම්පූර්ණයෙන්ම ග්‍රහණය කර ගත නොහැක යන්නයි. එනම් විද්‍යාව, එයටම සුවිශේෂී සංකේත සහ ආකෘති (සංයුක්ත හෝ සමාජ ව්‍යවහාරය සමග සම්බන්ධයක් නොමැති) හරහා, යථ සමග අන්තර් ක්‍රියා කරන මුත් එය කිසි විටෙකත් අල්ලාගත හැකි හෝ අඩංගු කළ නොහැක යන්නයි. විද්‍යාව වැඩි වැඩියෙන් දියුණු වන තරමට, එය අවබෝධයට එරෙහි වන යථ සමග අන්තර් ක්‍රියා කරමින් නව ක්ෂේත්‍ර සංකේතනය කරයි (විද්‍යාවේ ප්‍රධාන විරුද්ධාබසය සහ ප්‍රශ්නය මෙයයි). නිදසුනක් වශයෙන්, ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව (quantum mechanics) සහ විශ්ව විද්‍යාව (cosmology) උප පරමාණුක, තන්තු, හිග්ස් බොසෝනය වැනි ලෙස සහ විශ්වයේ ඊනියා "අභිරහස්" තුළට ගැඹුරට කනිමින් යන විට, විද්‍යාත්මක භාෂාව සහ සංකල්ප මගින් කිසි විටෙකත් සම්පූර්ණයෙන් තේරුම් ගත නොහැකි හෝ නිරූපණය කළ නොහැකි යථාර්ථයක් නිර්මාණය කරයි. මේ අර්ථයෙන් ගත් කල, විද්‍යාව ක්‍රියාත්මක වන්නේ යථ සමග අන්නෝන්‍ය සම්බන්ධය තුල අංග සංකේතවත් කිරීමෙනි. නමුත් යථ වෙත විද්‍යාත්මක පද්ධතිය ඇතුළු කිසිදු සංකේතීය පද්ධතියකට ළඟා විය නොහැක.
විද්‍යාවේ සත්‍යය ක්‍රියාත්මක වන්නේ අන්ත-ලක්ෂ්‍යයක් (endpoint) ලෙස නොව (තර්ක බුද්ධිමය) හේතුවක් (cause) ලෙසයි. එය විමර්ශනය සහ අත්හදා බැලීම මෙහෙයවන අතර, සෑම විටම දැනුමේ ක්ෂණික ග්‍රහණයෙන් ඔබ්බට යමක් දෙසට යොමු කරයි.
සුපිරි වෙළඳ සැලේ ඇති භාණ්ඩ වලට ද සිදුව ඇත්තේ ද එයයි. එම භාණ්ඩ නිෂ්පාදනය වන්නේ සමාජීය ව්‍යවහාරය තුල නොවේ. වැ.කඩයේ තිබූ භාණ්ඩ නිෂ්පාදනයට අදාලව පැවති සංකේත රටාවෙහි නීති, ප්‍රතිමාන, තහංචි සහ සම්මතයන් විද්‍යාවට අදාළ සුවිශේෂී සංකේත රටාවට අදාළ නොවේ. එයට ඇත්තේ එයටම අදාළ වියුක්ත නීති, ප්‍රතිමාන සහ සම්මතයන්ය. එබැවින් ඕන වස විසක් ආරක්ෂිතව ආහාරයට ගත හැකි, පානය කල හැකි, මහපොළවට, වාතයට මුසු කල හැකි යාන්ත්‍රණයක් එහි ක්‍රියාත්මකය.
"Clean Sri Lanka" තුලින් කෙතරම් පිරිසිදු කිරීමට උත්සාහ කල ද සිදු වන්නේ තව තවත් අපිරිසිදු වීම, එනම්, මහා පොලව විස වී නිසරු වීම, ආහාර වස වීම, ජලය වස වීම සහ වාතය වස වීමයි. අද මේ සියල්ල අපට භුක්ති විඳීමට සිදුව ඇත්තේ විද්‍යාත්මක දැනුම තුලින් සහ විද්‍යාව සහ තාක්ෂනය මගින් නිෂ්පාදනය කරන භාණ්ඩ සහ සේවා මගින්ම පමණකි. සතුනට එය කල නොහැකිව විනාශ වීම හැර වෙන තෝරාගැනීමක් නොමැත.
"Clean Sri Lanka"තුලින් කල හැකි ප්‍රධානතම දෙය වන්නේ යුරෝපා සහ බටහිර රටවල මෙන් දෑසේ මානයට නොපෙනෙන සේ අර්බුධය වසා දැමීම සහ කල් දමා ගැනීමයි. නමුත් අර්බුධය කල් දමා ගැනීම යනු එය වඩා තීර්වතාවයකින් උග්‍ර වීමයි. අද දවසේ ගෝලීය වශයෙන් සිදු වන්නේ එයයි.
@ස්පාර්ටකස් ලිපි