ලංකාවේ දේශපාලන තරගය ජනාධිපතිවරණයේ සිට පාර්ලිමේන්තු මැතිවරණය දක්වා මාරුවී තිබියදී,
රටේ දේශපාලනයේ සිදුවෙමින් පවත්නා ප්‍රවණතා කිහිපයක් ගැන සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.
ජනාධිපති තරගයෙන් ජයගත් ජාතික ජන බලය දේශපාලන වශයෙන් ශක්තිමත් වීමත්, විරුද්ධ පක්‍ෂ තවදුරටත් දුර්වල වෙමින් ව්‍යාකුලත්වයට පත්වීමත් ප්‍රධාන දේශපාලන ප්‍රවණතාවක් බව පෙනේ. මෙය පුදුමය ඇතිකරවන දෙයක් නොව, සාමාන්‍යයෙන් අපේක්‍ෂා කළ හැකි වර්ධනයකි. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින්, ප්‍රකාශයට පත්වූ එක් යථාර්ථයක් වන්නේ තරගයෙන් දෙවැනි තැනට ආ සජබයේත්, පරාජයට පත්වූ අන් විරුද්ධ පක්‍ෂ කඳවුරුවලත් දේශපාලන ශක්තීන් නොව දුර්වලතාය. එම දුර්වලතා නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර නිවැරදි කර ගැනීමටවත්, බරපතළ ලෙස දුර්වලවී තිබෙන මහජන විශ්වාසය නැවත ගොඩනගා ගැනීමටවත් එම පක්‍ෂවලට හැකි ඒවා නොවේ.
විපක්‍ෂ කණ්ඩායම්වලට වඩාත් තීරණාත්මක පසුබෑම සිදුවූයේ, පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දීම සඳහා පුළුල් විපක්‍ෂ සන්ධානයක් ගොඩ නැගීමට පරාජිත ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව පරාජයට පත්වීමයි. එම යෝජනාවේ යම් අරමුණක් තිබුණු බවත්, එය නම් රනිල් වික්‍රමසිංහට සජබයේ බලය අල්ලාගෙන ඊළඟ අගමැති හෝ විපක්‍ෂ නායකයා ලෙස තම දේශපාලන ජීවිතය අලුත් කර ගැනීමේ උප්පරවැට්ටිමය ප්‍රයත්නයක්ය යන්නත්, සාමාන්‍ය මහජනතාවද අතර පැතිරුණ මතයකි. වික්‍රමසිංහගේ යෝජනාවට සජබ නායකයා දැක්වූ ප්‍රතික්‍ෂෙප කිරීමේ ප්‍රතිචාරය, එජාපය සජබයේ පිහිටෙන් නැවත ගොඩනැගීමට, වික්‍රමසිංහ සහ ඔහුගේ දේශපාලන මිතුරන් ජනාධිපතිවරණය අවසන් වූ වහාම මහත් උනන්දුවක් දැක්වූ අපේක්‍ෂාව බිඳ වැටීමේ මොහොත විය. නොයෙකුත් කඳවුරුවලට සහ අනාගත ජනාධිපතිවරුන් වීමේ සිහිනය විසින් මෙහෙයවනු ලබන නායකයන්ගේ නව සන්ධාන වශයෙන්ද බෙදී දුර්වල වී තිබෙන විපක්‍ෂයක් තරග කරන පාර්ලිමේන්තු මැතිවරණයේදී, ජාතික ජන බලය ජය ගන්නේ නම්, එය දැනටමත් ගොඩ නැගී තිබෙන දේශපාලන ප්‍රවණතාවක ප්‍රතිඵලයක් වනු ඇත.
ප්‍රචාරක ව්‍යාපාරවල චර්යාධාර්මික දුගීබව
පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාර ව්‍යාපාරයේ තිබුණු එක් නරක ප්‍රවණතාවක්, මෙම පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරයෙහිද මතුවෙන්නට පටන්ගෙන තිබේ. එය නම්, ප්‍රචාරක ව්‍යාපාරයේ ඇති චර්යාධාර්මික හිස්බවයි. තම ප්‍රතිවාදී අපේක්‍ෂකයන් සම්බන්ධව වෛරය, නින්දාව සහ පිළිකුල ඇතිවන ආකාරයේ සතුරු හැඟීම් සහ ක්‍රෝධය විසින් මෙහෙයවනු ලබන ප්‍රහාරවලට යොමුකිරීම අප රටේ මැතිවරණ දේශපාලනයේ මුල් බැස ගෙන ඇති නිෂේධාත්මක සංස්කෘතියේ සුපුරුදු භාවිතයකි. මෙය අලුත් දෙයක් නොවේ. ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ 1930 ගණන්වල පටන් පැවතී, එන්න එන්නම පරිහාණියට පත්වන මැතිවරණ ප්‍රචාරක සංස්කෘතියේ මුල් බැසගෙන තිබෙන, ඒ නිසාම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබෙන්නකි. එහෙත් එහි එක්තරා අලුත් දෙයක් තිබේ. එනම් අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගන බවට පොරොන්දු වන දේශපාලන පක්‍ෂද ලංකාවේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් බැස ගෙන ඇති මෙම නිෂේධනීය දේශපාලන සංස්කෘතිය අවසන් කිරීම තම න්‍යාය පත්‍රයට ඇතුල් නොකිරීමයි.
ලංකාවේ මැතිවරණ දේශපාලන සංස්කෘතියේ ඇති මෙම අන්ධකාර පැත්තෙහි වින්දිතයන් බවට පහසුවෙන් පත්වන්නේ ස්ත්‍රී අපේක්‍ෂකයන්ය. ස්ත්‍රී අපේක්‍ෂකයන්ගේ ශරීරය හා ලිංගිකත්වය කේන්ද්‍රකොටගෙන, ඔවුන් ඉතාම දරුණු නින්දාවට හා අපහාසයට පත්කරන පිරිමි කථිකයන්ට එක් කාලයකදී මැතිවරණ දේශපාලන වේදිකාවේ විශේෂ ස්ථානයක් ලැබිණ. මගේ මතකයේ හැටියට එවැනි අත්‍යන්ත නින්දාවලට භාජනය කරන ලද කාන්තාවන් වූයේ විවියන් ගුණවර්ධන, සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා කුමාරතුංග යන අයයි. දැන් පුද්ගල අපහාස බහුලව සිදුවන්නේ සමාජ මාධ්‍යයේය. කලකට ඉහතදී ‘කැලෑ පත්තර’වලින් ඉටු කරන ලද මෙම කාර්යය දැන් සමාජ මාධ්‍යය භාරගෙන ඇති බව පෙනේ.
තම එදිරිවාදීන් නින්දාවට, අපහාසයට හා ලජ්ජාවට පත්කිරීම අප රටේ, පංති භේදයකින් තොරව පවත්නා සංස්කෘතික අංගයක් බව ඇත්තය. එහෙත් දෛනික ජීවිතයේ සංස්කෘතියේ අන්ධකාර පැත්තක් වන එය මැතිවරණ ප්‍රචාරණයේ අවියක් ලෙස දේශපාලනීකරණයට පාත්‍ර කිරීමේ, එයටම සුවිශේෂ හානිදායක ප්‍රතිඵලයක් තිබේ. එය නම්, මැතිවරණ කාලයේදී දේශපාලන පක්‍ෂ, මැතිවරණ අපේක්‍ෂකයන් මෙන්ම පුරවැසියන්ද අතර තිබිය යුතු සහ පෝෂණය කළ යුතු, ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය ගුණාංගයක් විය යුතු ‘සබුද්ධික දේශපාලන සාකච්ඡාව’ට, පිළියම් කළ නොහැකි තරමට හානි පැමිණීමයි. ‘මැතිවරණ’ පිළිබඳව පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී චර්යාධාර්මික මූලධර්ම ගැන යළි මතක් කර ගැනීම, මෙම හානිය ගැන අවබෝධයක් ඇතිකර ගැනීමට අපට ආධාර වේ.
ප්‍රජාතන්ත්‍රවාදය සහ චර්යාධර්ම
ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් ආණ්ඩු ක්‍රමයක්ම නොවේ. එය දේශපාලන චර්යාධර්ම විසින් හැඩගස්වනු ලබන ආණ්ඩුක්‍රමයක්ද වේ. ආණ්ඩු බලය ක්‍රියාත්මක කරන මහජන නියෝජිතයන් විවෘත, සාධාරණ සහ නිදහස් තරගයක් තුළින් තෝරාගැනීමට තර්ක බුද්ධියෙන් සිතන ඡන්දදායක පුරවැසියන්ට බාධාවෙන් තොර නිදහස් අවකාශයක් ලබාදීම, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයෙහි ඇති එක් සුවිශේෂ ලක්‍ෂණයකි.
මැතිවරණයට තරග කරන දේශපාලන පක්‍ෂ තම ප්‍රතිපත්ති ප්‍රකාශන මහජනතාව ඉදිරියට තැබීමේ සම්ප්‍රදායේ අරමුණ, එම පක්‍ෂ බලයට පැමිණි විට ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති පිළිබඳ ගැඹුරු මහජන සංවාදයක් ඇතිකිරීමයි. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා සති හයක පමණ කාලයක් වෙන් කර තිබෙන්නේද දේශපාලන පක්‍ෂද, අපේක්‍ෂකයන්ද, පුරවැසියන්ද අතර හරවත් සහ සබුද්ධික දේශපාලන සංවාදයක් සඳහා අවකාශයක් ඇතිවීමටය. ඒ මගින් ඡන්දදායකයන්ට නිවැරදි තොරතුරු මත පදනම් වූ විනිශ්චයකට එළඹීම තුළින්, ඡන්දය දෙන්නේ කාටද යන්න සබුද්ධිකව තීරණය කිරීමට පහසුකම් සැපයීම ආණ්ඩුවේත්, දේශපාලන පක්‍ෂවලත්, අපේක්‍ෂකයන්ගේත් ජනමාධ්‍යයේත් වගකීමයි.
මෙම අරමුණ ඉටු කිරීමේදී ජනමාධ්‍ය සතු වගකීම සහ සාධනීය කාර්යභාරය පිළිබඳව අලුතෙන් මතක් කර ගැනීමේ අවශ්‍යතාව, සෑම මැතිවරණ ව්‍යාපාරයකදීම අවධාරණය වේ. මුද්‍රිත, විද්යුත් සහ සමාජ මාධ්‍ය අතරින් විශේෂයෙන් සමාජ මාධ්‍යයේ වගකීම ගැන විවේචනාත්මක සාකච්ඡාවක් ආරම්භ කිරීම කල් දැමිය නොහැකි ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යතාවක් වී තිබේ. සමාජ මාධ්‍යයේ ව්‍යාප්තිය, ප්‍රජාතන්ත්‍රවාදයට ආකාර දෙකකින් බලපා තිබෙන බවද පෙනේ. පළමුවැන්න, ඒ මගින් දේශපාලන සාකච්ඡා පුරවැසියන් අතර සිදුවන ‘මහජන පරිමණ්ඩලය’ සහ ‘මහජන අවකාශය’ පෙර නොවූ විරූ ලෙස පුළුල් වීමයි. මැතිවරණයකදී තම පාලකයන් සහ නියෝජිතයන් තෝරා ගැනීමේ තීන්දුවට එළඹීමේදී අවශ්‍ය කරන තොරතුරු සහ අදහස් පෙර නොවූ විරූ ප්‍රමාණයකින් පුරවැසියන්ට ලබාදීමට සමාජ මාධ්‍යය සතු හැකියාව සාම්ප්‍රදායික මාධ්‍යයේ හැකියාව ඉක්මවා යන්නකි.
සමාජ මාධ්‍යය සතු ප්‍රජාතන්ත්‍රවාදී සංවාදය ශක්තිමත් කිරීමේ එම විභවතාවට සමාන්තරව එහි නිෂේධන විභවතාවද මතුවීම කනගාටුවෙන් නිරීක්‍ෂණය කළ යුත්තකි. ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරකාරී අදහස්, මත සහ ව්‍යාජ තොරතුරු සැපයීම, දේශපාලන සංවාදය යන්න කෝපය, ක්‍රෝධය සහ පුද්ගල අපහාසය සඳහා වු අභිලාෂය විසින් මෙහෙයවනු ලබන, ඒ නිසාම ‘මහජන අවකාශය’ සබුද්ධික සාකච්ඡාවට හා විවේචනයට පමණක් නොව අතාර්කික සහ විනාශකාරී හැඟීම් අවුළුවන නිෂේධනීය අවකාශයක් බවටද පත්කිරීම, පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදීද අපි දුටුවෙමු. ඒ මගින් සාමාන්‍යයෙන් සිදුවන්නේ, මැතිවරණයකදී සිදුවන, නියෝජිතයන් සහ ඡන්දදායකයන් අතරත්, පාලකයන් සහ පුරවැසියන් අතරත් ගොඩ නැගෙන ‘සමාජ ගිවිසුම’ පිළිබඳ ක්‍රියාවලිය විකෘති සහ දූෂිත වීමයි. මැතිවරණ ප්‍රචාරණ සංස්කෘතියෙහි ප්‍රජාතන්ත්‍රවාදී ජීව ගුණයට හානි වීමයි. ලේ වැගිරීම් රහිත ප්‍රචණ්ඩත්වය මැතිවරණ සංස්කෘතියෙහි මුල් බැස ගැනීමයි.
ලංකාවේ මැතිවරණ සංස්කෘතියෙහි ඇති තම දේශපාලන තරගකරුවා සහ ප්‍රතිවාදියා සතුරකු හා අමනුෂ්‍යයකු ලෙස සලකා, දේශපාලන තරගය අන්තර් -පුද්ගල යුද්ධයක ස්වරූපය ගැනීමට අප රටේ සමානුපාතික නියෝජන ක්‍රමයෙහි ඇති මනාප ඡන්ද යාන්ත්‍රණයද එක් මෑතකාලීන හේතුවක් වී තිබේ. මනාප ඡන්ද ක්‍රමය මතුපිටින් බලන විට ඡන්දදායකයන් සවි බල ගන්වන, ඡන්දදායකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී වරණයේ, එනම් තෝරා ගැනීමේ අයිතිය ශක්තිමත් කරන යාන්ත්‍රණයකි. එහෙත් අප රටේ අත්දැකීමෙන් පෙනෙන්නේ මනාප ඡන්ද ක්‍රමයෙහිද අඳුරු පැත්තක් වර්ධනය වී ඇති බවයි. එම වෛරක්කාර තරගය ඇතිවන්නේ, එකම පක්‍ෂයේ අපේක්‍ෂක ලැයිස්තුවේ සිටින අපේක්‍ෂකයන් අතරය. මැතිවරණ ව්‍යාපාරයේ අන්තිම සතිය තුළදී මෙම තරගය මිතුරන් සතුරන් කරන, මනුෂ්‍යයන් රකුසන් බවට පත්කරන තත්වයට පසුගිය කාලයේ පත්වී තිබිණ. පළාත් සභා සහ පළාත් පාලන ඡන්දවලදීද මෙය තවත් උග්‍රවේ. තම පාර්ලිමේන්තු නාමයෝජනා ලැයිස්තුවේ සිටින අපේක්‍ෂකයන් අතර සමාන ඡන්ද සඳහා තරගයක් ඇති නොවිය යුතු බවට ජාතික ජන බලය තීරණය කර ඇත්තේ, මනාප ඡන්ද ක්‍රමයේ වර්ධනය වී ඇති අඳුරු භාවිතවල නිෂේධනීය ප්‍රතිඵලවලට ප්‍රතිචාරයක් ලෙස බව පෙනේ.
ලංකාවේ මැතිවරණ දේශපාලන සංස්කෘතියෙහි බිඳ වැටී ඇති ප්‍රජාතාන්ත්‍රික සහ චර්යාධාර්මික ජීව ගුණය යළි සොයා යාම සහ ප්‍රතිෂ්ඨාපනය කිරීම මැතිවරණ කොමිෂන් සභාව, දේශපාලන පක්‍ෂ, මැතිවරණ නිරීක්‍ෂණ ප්‍රජාව සහ දේශපාලන ක්‍රියාකාරිකයන්, පුරවැසියන් අතර ඇතිවන සංවාදයක් තුළින් ප්‍රවර්ධනය කළ යුතු ප්‍රතිසංස්කරණ ඉලක්කයකි. එය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ගොඩ නැගීමේත්, දේශපාලන සංස්කෘතිය පිරිසිදු කිරීමේත්, න්‍යාය පත්‍රයක අවියෝජනීය අංශයක් විය යුතු ද වේ.
ගැමියා ගැන ඇති බිය හා සැකය
මෙවර ජනාධිපතිවරණයෙන් ජාජබයේ අපේක්‍ෂකයා ජයගැනීමෙන් පසු විදේශ මාධ්‍යවේදීන් මගෙන් ඇසූ සමහර ප්‍රශ්නද, කොළඹ ප්‍රභූ පන්තියේ සමහර දෙනා වෙතින් පළවූ නිෂේධනීය ප්‍රතිචාරද වෙතින් පෙනෙන, දේශපාලන වශයෙන් වැදගත් කාරණයක් තිබේ. එය නම් ‘ගැමියකුට රට පාලනය කිරීමට හැකිද?’ යන්න ගැන ඔවුන් තුළ ඇති බරපතළ සැකයයි.
නව ජනාධිපතිවරයාගේ කුල පසුබිම දැනගැනීමටද සමහර විදේශීය මාධ්‍යකරුවෝ උනන්දු වූහ. ඔවුන් එම කරුණ ගැන උනන්දු වූයේද, ඉහළ කුල නොවන පසුබිමකින් සහ පිටිසර ගමෙන් පැමිණි කෙනකුට සාර්ථක පාලකයකු විය හැකිද? යන සැකය ඔවුන්ට තිබුණු නිසා බවද මට පෙනිණ. ජනාධිපතිවරණ ප්‍රතිඵල සහ එයින් ඇතිවූ දේශපාලන වෙනස ගැන කොළඹ ඉංග්‍රීසියෙන් වැඩ කරන මාධ්‍යවේදීන්ද, ප්‍රභූ පන්තියේ නියෝජිතයන්ද සමග මෙම විදේශීය මාධ්‍යවේදීන් කළ කතාබහවලදී පළවූ සමහර අගතිගාමී අදහස් වෙතින් මෙම මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හැඩගැසෙන්නටද ඇත. එක් විදේශීය මාධ්‍යවේදියකුට මා දුන්නේ මෙවැනි පිළිතුරකි. ‘නව ජනාධිපතිවරයාගේ කුල පසුබිම දැන ගැනීමට මම නම් කවදාවත් උනන්දු වෙලා නෑ. ඒක ජනාධිපතිවරණයේදී මතුවූ ප්‍රශ්නයක්වත් නොවෙයි. ලංකාවේ ඡන්දදායකයන්ට අදාළ නොවූ කාරණයක් ඇයි ඔබ ප්‍රශ්නයක් කරගෙන තිබෙන්නේ?’
මෙම ලිපියේදී එම කාරණය මා මතු කරන්නේ ලංකාවට එන විදේශ මාධ්‍යවේදීන්ගෙන් නිරන්තරයෙන් අනාවරණය වන වෘත්තීය සීමා සහ සමාජ අගතීන් ගැන නිරීක්‍ෂණ කිහිපයක් කිරීමටය. නිර්ප්‍රභූ සහ ගැමි පසුබිමකින් පැමිණ, සාම්ප්‍රදායික දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ නැති කෙනකුට ඡන්දය දී ඔහු ජනාධිපති ධුරයට පත්කිරීමෙන් ලංකාවේ ඡන්දදායකයන් ගෙන තිබෙන්නේ නිවැරදි තීන්දුවක්දැයි ඔවුහු සැකකරති. ප්‍රභූ පන්තික නොවන සහ ඉංග්‍රීසි අධ්‍යාපනයක් නොලැබූ දේශපාලනඥයකුට ලෝකයේ බලවත් රටවල් සමග රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු කිරීමට ඇති හැකියාව ගැනද ඔවුහු සැකකරති. ග්‍රාමීය සහ නිර්ප්‍රභූ සමාජ හා පවුල් පසුබිම්වලින් පැමිණෙන මන්ත්‍රීන්ට සහ ඇමතිවරුන්ට, සංකීර්ණ අභියෝගවලට මුහුණ දෙන රටක් ආණ්ඩුකිරීමට ඇති හැකියාව ගැනද ඔවුහු සැක පහළ කරති.
මේවා වනාහි විදේශීය මාධ්‍යවේදීන්ට පමණක් සීමාවූ සංශයවාදී ප්‍රශ්න නොවේ. කොළඹ සිටින ප්‍රභූ මෙන්ම ඒ තරමට ප්‍රභූ නොවන පිරිස් අතරින්ද මෙවැනි සැක බහුලව ප්‍රකාශ වේ. ඒ වෙතින් ප්‍රකාශ වන එක්තරා දේශපාලන යථාර්ථයක්ද අපට හඳුනාගත හැකිය. එය නම්, ලංකාවේ දේශපාලනයෙහි, ප්‍රභූ පන්තීන්ට හඳුනාගැනීමට නොහැකි, සමාජ ව්‍යුහයේ ගැඹුරින් සහ දුගී හා පහළ පන්ති ස්තර ආශ්‍රය කොටගෙන, දශක ගණනක් තිස්සේ ඇසට පහසුවෙන් නොපෙනෙන අණුක පරිවර්තන ක්‍රියාවලියක් සිදුවී ඇත යන්නයි. එම පරිවර්තනයේ ප්‍රතිඵලයක් ලෙස රටේ දේශපාලනයේ පැරඩයිමික, එනම් සමස්ත දේශපාලන මාදිලියේද, පරිවර්තනීය වෙනසක් සිදුවී ඇති බවයි.
මෙම පරිවර්තනය තේරුම් ගැනීමට, ලංකාවට එන විදේශ මාධ්‍යවේදීන්ටද, විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන්ටද, ලංකාවේම ප්‍රභූ පන්තියටද නොහැකිවීම තුළින් ප්‍රකාශයට පත්වන්නේ ‘නිර්ප්‍රභූ ගැමියන්ටත් රට පාලනය කළ හැකිද?’ (Can the subatern govern?) යන ප්‍රශ්නය තුළිනි. එයට ජාජබය ඔප්පු කළ යුතු පිළිතුර වන්නේ, ‘ඔව්, වඩාත් හොඳට. වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව.’ යන්නයි.
@ආචාර්ය ජයදේව උයන්ගොඩ
අනිද්දා පුවත්පත