SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූධය සම්බන්ධයෙන් ලියැවී ඇති “නව යුගයක පිවිසුම් මග -  ආණ්ඩු ක්‍රම වෙනස” කෘතිය

 ‘අර්ථ ගවේෂකයෝ’ වරලත් ගණකාධිකාරීන් වන පී.ඊ.මැතිව් සහ සමාගමේ සමාජ වගකීම් ප්‍රකාශනයක් ලෙස නිකුත් වූ  වරලත් ගණකාධිකාරී ආර්.ඒ.ජයවීර විසින් සම්පාදිත කෘතියකි.

 

03. කාර්යශූර රාජ්‍ය යාන්ත්‍රණයක්  

 

 Transparency Graphic

 

මහජනයා කෙරෙහි වූ යුතුකම හා වගකීම හිසින් දරා ගැනීමටත්, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම ඉහළ තලයකට ඔසවා තැබීමටත් අවශ්‍ය ජවය හා වේගය රාජ්‍ය යාන්ත්‍රණයට ලබා දිය යුතුය. කාර්යශූර හා කාර්යක්‍ෂම යාන්ත්‍රණයක් බවට පවත්නා රාජ්‍ය යාන්ත්‍රණය පරිවර්තනය කළ යුතුය. ඒ සඳහා  එහි ආකෘතියේ හා වැඩ කරන පිළිවෙලෙහි කළයුතු පරිවර්තනයන්  මේ පරිච්ඡේදයේ  දැක්වේ.

 

  1. පුරවැසි ප්‍රඥප්තිය
  2. ඩිජිටල් පරිවර්තනය
  3. අභ්‍යන්තර සීරු මාරු
  4. සම්පත් භාවිතය, අත්පත් කර ගැනීම හා ආරක්ෂා කර ගැනීම
  5. වාර්ෂික අය- වැය මෙහෙයුම
  6. මහජන සහභාගිත්වය - පුරවැසියා දේශපාලනඥයකු ලෙස

 

 

1. පුරවැසි ප්‍රඥප්තිය (Citizen's charter)

 

විසල් රාජ්‍යතන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය, එක් අතකින් එහි පාරිභෝගිකයාද, අනෙක් අතින් එහි ස්වාමියාද වන පුරවැසියාගේ උවමනාකම් සමග සමපාත විය යුතුය.  එම නිසා, රාජ්‍ය නිලධාරීන්ගෙන්, රාජ්‍ය සේවයෙන් හා රජයට අනුබද්ධ අනෙක් ආයතනවලින් ලබාදෙන හා ලබාගතහැකි සේවාවන් ගැන ඉතා පැහැදිලි ලෙස මහජනයා දැනුවත් කිරීම පිණිස හා සේවා සපයන නිලධාරීන්  සියලු දෙනා ප්‍රකාශිත ප්‍රමිතීන්ට බැඳ තබන, 1991 දී බ්‍රිතාන්‍ය අගමැති ජෝන් මේජර් ඉදිරිපත් කළ ආකාරයේ පුරවැසි ප්‍රඥප්තියක් සකස්  කළ යුතුය. පුරවැසි ප්‍රඥප්තියක්, රාජ්‍ය සේවාව පීලි පැනීමෙන් වළක්වන, එහි යුතුකම හා වගකීම බලගන්වන චක්‍රායුධයක් ලෙස ක්‍රියාකරන්නකි. එමඟින් පුරවැසියා සහ රාජ්‍ය සේවාව අතර සම්බන්ධතාව යළි අර්ථකථනය කෙරේ.

 

බ්‍රිතාන්‍යයේ (1991) දුම්රිය මගී ප්‍රඥප්තියේ මෙසේ සඳහන් වේ.

“ඔබගේ දුම්රිය ප්‍රමාද වුවහොත් හෝ අවලංගු කරනු ලැබුවහොත් ඔබට වන්දියක් ගෙවනු ලැබේ.  ඔබ බලාපොරොත්තුවූ දුම්රිය ප්‍රමාද වුවහොත් හෝ අවලංගු කළහොත් හෝ ඔබ එහි නොයාමට තීරණය කළහොත් ඔබේ ටිකට් ගාස්තුව ආපසු ගෙවනු ඇත.  ඒ සඳහා ඔබේ ටිකට්පත එය මිලදී ගත් ටිකට් කාර්යාලයට භාරදිය යුතුය”. 

 

තැපැල් කාර්යාලීය ප්‍රඥප්තියේ මෙසේ සඳහන් වේ. 

“සේවාවක් ලබා ගැනීම සඳහා ඔබ තැපැල් කාර්යාලයක මිනිට්ටු පහකට වඩා බලා සිටිය යුතු නැත.    ... රාජකීය තැපෑල පළමුවැනි පන්තියේ ලියුම් වලින් 92% ක් තැපැල් කළ දිනට පසුදිනම ලැබෙන්නට සලස්වයි” 

  

පුරවැසියා රාජ්‍ය සේවාවන්හි පරිභෝගියෙකු ලෙස සලකා ඔහු බලගන්වනු පිණිස සකස් කළ එම  ප්‍රඥප්තියට  පාදක වූ මුලධර්ම හයකි. 

 

  • සේවාවේ ගුණාත්මක බව (Standards)
  • සේවා සැපයීමට අදාල තොරතුරුවල විවෘත බව (Information and openness)
  • තෝරා ගැනීමේ හා විමසා බැලීමේ ඉඩකඩ (Choice and consultation)
  • ආචාරශීලී බව හා සහයෝගය (Courtesy and helpfulness)
  • වැරදි හා අඩුපාඩු නිවැරදි කිරීම (Putting things right)
  • මුදලට සරිලන වටිනාකම (Value for money), යනු එම මූල ධර්මයන් ය

 

(https://www.historyandpolicy.org/policy-papers/papers/the-citizens-charter-towards-consumer-service-in-central-government)

ශ්‍රී ලංකාව සඳහා, පටන් ගැන්මේදී ප්‍රධාන අංශ හා සේවා ආවරණය වන, පුරවැසි ප්‍රඥප්තියක් සකස් කළ යුතුය.

 

2. ඩිජිටල් පරිවර්තනය

 

රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ අප්‍රමාණ දත්ත හා තොරතුරු සම්භාරයක් සමගය.කාර්යක්‍ෂම සේවාවක් සැපයීමේ මූලික පදනමක් ලෙස දත්ත හා තොරතුරු සංවිධානාත්මක ලෙස රැස්කර තබා ගැනීමත්, අප්‍රමාදව යාවත්කාලීන කිරීමත්, ඉක්මණින් ආපසු ලබා ගැනීමට හැකිවීමත් අවශ්‍යය.  තොරතුරු ලබා ගැනීමේ ප්‍රමාදය හෝ කිසිසේත් ලබා ගත නොහැකිවීම වැඩ කල් දැමීමට හෝ නොකර සිටීමට හේතුවී තිබේ.  විසඳුම ඩිජිටල්කරණය යි.

 

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයේ යම් තරමක් දුරට ඉදිරියට ගොස් තිබේ.  තව බොහෝ දුර යාමට තිබේ.  නොඑසේව, අපට වෙනස් වන ලෝකය සමග එක පෙළට සිටගත නොහැකිය.  එක් උදාහරණයක් ලෙස විදේශිකයකු භාණ්ඩයක් මිලදී ගන්නාවිට ගෙවන මුදලේ තිබෙන වැට් බද්ද ගුවන්තොටුපළේදී ආපසු ගෙවීමට අපට නොහැකිය. වාරිමාර්ග තොරතුරු, භූමි  පරිහරණ තොරතුරු, නිවාස, යටිතල පහසුකම් තොරතුරු, නම් වශයෙන් සඳහන් කරන්නේ, අපේ අවධානය යොමු විය යුතු උදාහරණ කීපයක් දැක්වීමටය.

 

ඩිජිටල් පරිවර්තනයත් සමග සංවර්ධන ක්‍රියාවලියේ හෝ යටිතල පහසුකම් පද්ධතියේ බිඳවැටීම්, දෝෂ හෝ අක්‍රමිකතා දුටු සැණින් මාර්ගගතව වාර්තා කිරීමට මහජනයාට ඉඩ සැලසේ. 

       

ඩිජිටල්කරණය අපටම කර ගත හැකිය.  අවශ්‍ය දැනුම හා හැකියාව මෙහි තිබේ.  වයඹ පළාත ඩිජිටල්කරණයේ මූලික ඉදිරි පියවර කීපයක් තබා ඇත.  ඉන්ධන හිඟය පැවති කාලයේ ඉන්ධන නිකුත් කිරීම නියාමනය කිරීමට පරිගණක වැඩසටහනක් හැදුවේ ලංකාවේය. එයින් ඕනෑම වාහනයක ඉන්ධන පරිභෝජනය දැන ගතහැකි විය.  මේ එක් උදාහරණයකි. අනෙක් අතට, ඉතා අධික මිල ගණන්වලට  පිටරටින් ගෙන්වාගත් ඇතැම් පරිගණක වැඩ සටහන් අඩපණ වී ඇති බවට වාර්තා පළ වේ.

 

පෞද්ගලිකත්වයට අහිතකර බලපෑමක් නොවන ලෙසට අවශ්‍ය තොරතුරු එක් කිරීම, සංස්කරණය කිරීම හා තොරතුරු ගබඩාවන්ට පිවිසීමට ඉඩ ලැබෙන අණපනත් සම්මත කළ යුතුය.

 

රාජ්‍ය සේවාවන්, විශේෂයෙන් පරිපාලනමය ක්‍රියාවකින් පමණක් විසඳුමක් ලබාදිය හැකි බලපත්‍ර නිකුත් කිරීම වැන්නක්, ඩිජිටල් තාක්ෂණය මාර්ගයෙන් සැපයීමෙන් කාලය ඉතිරි වේ.  කාර්යක්‍ෂම වේ.  නිලධාරී පෞද්ගලික මැදිහත්වීමක් සිදු නොවන නිසා අනිසි හා අයුතු සංග්‍රහවලට ඉඩ නොලැබේ. 

 

රාජ්‍ය ආයතන වලින් යම් සේවාවක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු අයදුම්පත්‍ර, ලේඛන හා පෝරම  පැහැදිලි හා සරල බසින් සකස් කළ යුතුය.  ඇතැම් ඒවායේ යොදාගෙන තිබෙන්නේ යල්පැනගිය භාෂා ව්‍යවහාරයන්ය.  සමහර ලේඛන පිරවීම සඳහා ඒවා හුරුපුරුදු කෙනෙකුගේ සේවය ලබාගත යුතුව ඇත.  

 

ඇතැම් ආයතන  භාවිතා කරන ආකෘති පත‍්‍ර යල්පැන ගිය තොරතුරුවලින් යුක්තය. මේවා අදට ගැළපෙන සේ ප‍්‍රතිනිර්මාණය කිරීමට වෙභෙස ගන්නා කැපවීමෙන් යුත් පුද්ගලයන් මෑත කාලයක පහළවී නැති තරම් ය. ඩිජිටල් පරිවර්තනයට පෙර යල්පැනගිය පටිපාටි හා ක්‍රමවේද වෙනුවට තත්කාලීන, සරල හා සුමට පටිපාටි හා ක්‍රමවේද ස්ථාපිත කළ යුතුය.

 

 

3. අභ්‍යන්තර සීරුමාරු

 

“අළුත් තැනකට යාම කෙසේවෙතුදූ ඉන්න තැන ඉන්නට වුවත් වේගයෙන් දිවිය යුතුය”. 

  • ලුවිස් කැරොල්, ඇලිස් දුටු විශ්මලන්තය. Lewis carrol, Alice in Wonderland

 

රට ඉදිරියට ගෙන යාම සඳහා  රාජ්‍ය යාන්ත්‍රණයට අවශ්‍ය ජවය හා වේගය ලබාදීම සඳහා ගත යුතු උපාය මාර්ගික ක්‍රියාමාර්ග ගණනාවක් පහත දැක්වේ.  ඒවා ක්‍රියාවට නැගීමට අවශ්‍ය නීතිරීති හා පටිපාටි සකස් කළ යුත්තේ රාජ්‍ය සේවා කළමනාකරණ අධිකාරියයි. එය සම්පූර්ණ පරිවර්තන ක්‍රියාදාමයම පටන්ගැන්මේ සිට අවසානය දක්වා අධීක්‍ෂණය කළ යුතුය.

 

තීරණ ගැනීම හා සාධාරණ විනිශ්චය (Decision making and Reasonable judgement)

 

වේගයෙන් වැඩ කරගෙන යාම සඳහා තීරණ ගැනීම කඩිනම්ව කළ යුතුය. බොහෝ වැඩ ප්‍රමාද වන්නේ තීරණ ගැනීමේ වැනෙනසුළු භාවය නිසාය. වගකීමක් ගැනීමට පැකිළීම නිසාය. අතින’ත මාරු වීම නිසාය.  සාධාරණයැයි පෙනෙන තීරණය ගනු ලැබූවත් තමාට එරෙහිව කුමන රෙගුලාසියක් නැත්නම් කාර්ය පටිපාටියක් නැගී සිටිනු ඇද්දැයි සොයා බැලිය යුතු නිසාය.  අල්පමාත්‍ර හෝ සැකයක් තිබේ නම් කිසිවක් නොකර සිටීම ඇඟට ගුණය.  මේ පසුගාමී, ආරක්‍ෂණවාදී චින්තනය නිසා සුවිසල් රාජ්‍ය යාන්ත්‍රණය මන්දගාමී වී තිබේ.  එහි ප්‍රතිපල හීන වී තිබේ.  රාජ්‍ය නිලධාරීන්ගේ නිර්මාණශීලීත්වය පරවී ගොස් තිබේ.

 

රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම හා පලදායී කරනු පිණිසත්, පුරවැසි ප්‍රඥප්තියට අනුගතවීම සඳහාත්, දැන් අපි පටිපාටි බදාගෙන, ආකෘතිවාදී ව හිඳීමේ සිට ප‍්‍රතිපල හඹායෑම දක්වා පරිවර්තනය විය යුත්තෙමු. ඒ සඳහා සෑම රාජ්‍ය නිලධාරියෙකුටම, සිය රාජකාරී කටයුතු කිරීමේදී  “සාධාරණ විනිශ්චයක” ට එළඹිමට ඉඩදිය යුතුවා පමණක් නොව එසේ සාධාරණ විනිශ්චයන්ට එළඹීමට ඔවුන් ධෛර්යමත් කළ යුත්තෙමු. මෙම ප්‍රවේශයේදී ප්‍රමුඛතාව ලැබෙන්නේ යෙදවුම්වලට (inputs) නොව නිමැවුම් හෙවත් ප්‍රතිපලයට යි (outcome or output).  එම නිසා ඊට ප්‍රතිපල පාදක (result oriented) ප්‍රවේශයක් යැයි කිව හැකිය. නිලධාරීන් විසින් එලෙස පටිපාටි ඉක්මවා ගනු ලබන තීරණ සටහන් කර තැබීමට සලස්වා ඒවා  සිද්ධි අධ්‍යයන සංග්‍රහයක් (Manual) ලෙස පළකරනු ලබන්නේ නම් පවත්නා කාර්ය පටිපාටි සංශෝධනය කිරීමේදීත් ආධුනික නිලධාරීන් පුහුණු කිරීමේදීත් එය අත්පොතක් ලෙස භාවිතයට ගැනීමට අවස්ථාව ලැබේ.  වෙනස් වන තත්ත්වයන් තුළ, විශේෂයෙන් තොරතුරු තාක්ෂණයේ ආගමනය හා ගණුදෙනුවලට පිවිසීමේ අළුත් ක්‍රම සමග කාර්ය පටිපාටි නිතර යාවත්කාලීන කළ යුතුය.

 

“සාධාරණ විනිශ්චයට” (Reasonable Judgment) ඉඩ ලැබෙන පරිදි කාර්ය පටිපාටිවල අවධාරණය වෙනස් කළ යුතු ය.  ඉතාමත් තරඟකාරී බඳවා ගැනීමේ ක්‍රියාදාමයකින් පසුව රාජ්‍ය සේවයට පිවිසෙන උගත් තරුණ ජනයාගේ තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කරන හා පිළිගැනෙන තත්ත්වයක් ඇති කළ යුතුය.  නිලධාරින් කෙතරම් දුරට යාන්ත්‍රිකවී ඇත්ද යත් සාමාන්‍ය බුද්ධිය අක්‍රියවන තරමට පටිපාටි බන්ධනයට හසුවී සිටිති. සාධාරණ විනිශ්චයකට එළඹ තීරණයක් ගැනීමට රාජ්‍ය සේවකයෝ බිය වී සිටිති.  සියල්ල පටිපාටි ගතකර ඇති පරිසරය විසින් නිර්මාණශීලීත්වය වඳ කර දමා ඇත.

 

විශේෂ සටහන - පටිපාටි බන්ධනය

 

''මා ඔබට පුංචි උදාහරණයක් දෙන්නම්. විදුලිබලය නැති ඉස්පිරිතාලයක් කොළොන්නේ තියෙනවා. ''පෙට්‍රොමැක්ස්'' ලාම්පුුවලින් එහි රාත්‍රී කටයුතු කෙරෙන්නේ.  ''මැන්ටල්'' කැඩී පාවිච්චි කළ නොහැකි වුණාම දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා (ඩී.ඇම්.ඕ) රජයේ ගබඩාවට අධියාචනයක් (බඩු ඉල්ලුම් පත‍්‍රයක්) යැව්වා.  ඒවා ලැබෙන තෙක් කිසිම ආලෝකයක් නැතිව ඔහු සති දෙකක් බලා හිටියා. රෝහල ඉදිරිපිට සාප්පුවෙන් ''මැන්ටලයක්'' මිළදී නොගෙන අධියාචනයක් යවා සති දෙකක් තිස්සේ බලාගෙන හිටියේ ඇයිදැයි කරුණු දැක්වීමට මා ඔහුට නියම කළා.  ඔහු එය පිටින් මිළදී ගත්තේ ඇයිදැයි ඔහුගෙන් කිසිම විගණකාධිපතිවරයෙකු කවදාවත් අහන එකක් නෑ. 

 

ඇත්ත වශයෙන්ම, මා යෝජනාවක් කරනවා නම්, විගණකාධිපති හා ඔහුගේ නිලධාරීන් කළ යුත්තේ  මෙවැනි විමසීම් එනම්, හදිසි උපකරණ පිටතින් හෝ නොගෙන රෙගුලාසි හා පටිපාටීන්ට යටත්වීමෙන් තෘප්තියට පත්වීම වෙනුවට, පරිපාලනයේ තමන්ගේම වගකීම්වලට අනුව මහජනයා ජීවත් කරවීමට කටයුතු නොකරන්නේ ඇයි? යනුවෙනි.  එය ඉතාමත් වැදගත්. 

 

විගණකාධිපතිගේ විමසීම් ආරම්භක ශක්තිය හා චින්තන ශක්තිය යටපත් කරවනසුළු බව මෙහිදී සේම පිටතදීත් කීපවර සඳහන් වී තියෙනවා යයි මා හිතනවා.  ඒත් විගණකාධිපතිට වඩාත් ම දොස් පැවරීමට නැඹුරුවීමට මගේ අදහසක් නැත්තේ ආරම්භක ශක්තිය නැති කරවන වෙනත් හේතුත් ඇති නිසාය.'' 1966 දෙසැම්බර් මස 31 වන දින ''සංවර්ධනය වන රටක විගණනයේ කාර්යභාරය'' නමැති සම්මන්ත‍්‍රණයක දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථීර ලේකම් සි. බාලසිංහම් මහතා පැවැත්වූ දේශනයෙන් (ශ්‍රී‍ ලංකා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ප‍්‍රවෘත්ති සංග‍්‍රහයෙන් උපුටා ගන්නා ලදී.  1974 ජූලි - දෙසැම්බර්, 41 පිටුව)

 

නොයෙකුත් කාර්ය පටිපාටි ද, මුදල් හා පරිපාලන රෙගුලාසි ද පනවා ඇත්තේ සුවිසල් රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඒකාකාර බවක් හා විනයක් පවත්වා ගෙන යාමට ය.  හොර-බොරු-වංචා-දූෂණ නැති කිරීමට ය. නමුත් අපට දක්නට ලැබෙන්නේ මේ මහා බලගතු කාර්ය පටිපාටි හා රෙගුලාසි, අධි ආරක්ෂිත කලාපයක් සේ ක්‍රියා  කරද්දීත් හොර-බොරු-වංචා-දූෂණ නො අඩුව සිදුවන බවය. 

 

කාර්ය පටිපාටිවලට අනුගතවීමේ ක්‍රියාදාමය තුළම, හොර බොරු සිදු වේ.  නිසිලෙස කළ බව පෙන්වීමට බොරු කරනු ලැබේ. බොරුවේ අවසානය වංචාවයි.  කාර්ය පටිපාටි අභිබවා යමින් හෝ කාර්ය පටිපාටිවලට වංචනික ලෙස අනුගතවීමෙන් හෝ සිදුවී ඇත්තේ එම පටිපාටිවල බලාපොරොත්තුව නිෂ්ක්‍රීය කර දමනු ලැබීමය. 

 

කාර්යක්‍ෂමව වැඩකරන අවස්ථාවලදී බොහෝ විට යල් පැනගිය  නීතිරීතිවලින් බැහැරවීමට සිදුවේ.  එසේ කරනු ලබන හැම අවස්ථාවක් ම විෂමාචාරයක් නොවනවා පමණක් නොව සමාචාරයක් ද වේ. “තමන් නිවැරදි දේ කරන බවට ඔවුන් සෑහීමට පත්වන්නේ නම් මුදල් රෙගුලාසි කඩ කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියා” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථීර ලේකම් සී. බාලසිංහම් මහතා පවසන විට ඔහු අදහස් කර ඇත්තේ මේ කාරණය යි.

 

මුල්‍ය හා පරිපාලන රෙගුලාසි සැලකිය යුත්තේ අවශේෂ සියලු කරුණු හා පසුබිම සාමාන්‍ය තත්ත්වයේ පවතින විට අනුගමනය කළ යුතු ඒවා හැටියටය.  කරුණු එසේ නොවනවිට, රෙගුලාසි අභිබවා කටයුතු කිරීමට සිදුවිය හැකිය. එසේ කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිපල ලබාගෙන තිබේනම්, ඒ බව විගණන වාර්තාවල සඳහන් නොකර නීතිරීති උල්ලංඝනය කිරීම පමණක් සඳහන් කිරීම යුක්ති සහගත නොවේ.  උදාහරණයක් ලෙසට සාමාන්‍ය තත්ත්වය යටතේ මාර්ග නීති උල්ලංඝනය කිරීමකට ඉඩදිය නොහැකි වුවද, මාර්ග බාධකයක් (පාර හරහා ගසක් කඩා වැටීම වැනි) ඇතිවී තිබෙන විට මාර්ග නීති නොතකා, වමින් හෝ දකුණින් රිංගා යාම ඉවසා සිටීමට සිදුවන්නාක් මෙනි.

 

හරසුන්, ආන්දෝලනාත්මක වාද විවාද වලින් ඔබ්බට ගිය අර්ථවත් සාකච්ඡාවන් සඳහා විගණනයේ අරමුණ ආර්ථික හා සේවා ප්‍රතිලාභ සාක්‍ෂාත් කරගැනීමේ මානය දක්වා දික්විය යුතුය.

 

විනිශ්චයේ සාධාරණ බව හා අභිලාෂයේ අවංකභාවය තහවුරු වන්නේ අපේක්ෂිත ප‍්‍රතිඑලය ලබාගැනීම මගින්ය.  එසේ වුවද, යම් ප‍්‍රතිපලයක් කෙරෙහි බලපාන බොහෝ සාධක තිබෙන බැවින් ද, ඒ හැම සාධකයක්ම රාජ්‍ය නිලධාරියාගේ පාලනයට නතු නොවිය හැකි බැවින් ද, විනිශ්චය සාධාරණ හා අවංක අභිලාපයෙන් යුතු වුවද, ප‍්‍රතිපල ලබාගත නොහැකි වීමට ඉඩ තිබේ.  එනිසා ප්‍රතිපලය නොලැබීමේ හේතුව මතම සාධාරණ විනිශ්චය අභියෝගයට ලක් නොකළ යුතු ය.  නිලධාරියා වරදකරුවෙකු නොකළ යුතුය. 

 

 

විධානයේ ඒකාග‍්‍රතාව 

 

ඒ සමගම, ගනු ලබන තීරණ එක එල්ලේම ක්‍රියාවට නැංවීම පිණිස විධානයන්හි ඒකාග‍්‍රතාවයක් පවත්වා ගැනීමට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කළ යුතුය.  ඉන් ප‍්‍රධාන වෙනස් කිරීමක් වන්නේ යම් රාජ්‍ය ආයතනයක ප‍්‍රධාන විධායක නිලධාරියාට (අමාත්‍යාංශයක නම් ලේකම්ට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නම් ප්‍රාදේශීය ලේකම්ට) එම ආයතනයේ සේවය කරන නිලධාරීන්, පරිපාලන සේවය, ලිපිකාර සේවය, තාක්ෂණ සේවය, වැනි කවර සේවයකට අයත් වුව ද ඔවුන් කෙරේ අවසන් තීරක බලය පෑ හැකිවීමට සැලැස්වීමයි.  බලයේ ඒකාග‍්‍රතාවක් නොමැති ව ආයතනයක් µමභෙයවිය නොහැකිය.  වගකීම ඉෂ්ඨ කළ නොහැකිය. තීරණයක් ගනු ලැබූ පසු එය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ සියලු දෙනා ඒකමතික විය යුතුය.  එකමතිකභාවය රැකෙන්නේ විධානයේ ඒකාග්‍රතාවය මතයි.

 

මේ යෝජනාව යටින් දිවෙන උපකල්පනය නම් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සුදුස්සෙකු විධිමත් ලෙස පත්වී සිටින බවය.  වෙනත් වචනවලින් කිවහොත් යෝජිත ප්‍රතිසංස්කරණ සමස්තයම මිස එකක් පමණක් ක්‍රියාත්මක කළ නොහැකි බවයි.

 

විමධ්‍යගත කිරීම සහ කුඩා ඒකක ඇති කිරීම (Decentralization and Disaggregation)

 

ක්‍ෂණික ප්‍රතිචාර දැක්විය හැක්කේ විවිධත්වය හා විෂමතාව ආමන්ත්‍රණය කිරීමට සමත්වන ප්‍රමාණයටයි. ඒ සඳහා තිබෙන සාර්ථක හා අත්දුටු ක්‍රමය නම්,  විමධ්‍යගත කිරීම සහ අධිකාරී බලය සහිත කුඩා ඒකක ඇති කිරීමයි.  මධ්‍යගත කේන්ද්‍රයට පෙනෙනවාට හා දැනෙනවාට වඩා පුළුල් හා විස්තීර්ණ ලෙස උවමනාකම් හා ගැටළු පෙනෙන්නේද, දැනෙන්නේද, පරිධියේ පිහිටි ප්‍රාදේශීය ඒකකයටයි.  ඒවාට තීරණ ගැනීමේ හා ක්‍රියාත්මක කිරීමේ  අධිකාරී බලය පැවරිය යුතුය. 

 

භූගෝලීය වශයෙන් මායිම් දැක්වීමෙන්, ගොඩනැගිලි නම් කිරීමෙන් හා පුවරු සවිකිරීමෙන් පමණක් විමධ්‍යගතවීමක් සිදු වී නැත. කාර්ය පටිපාටි ලිහිල් නොකර සැබෑ විමධ්‍යගත කිරීමක් සිදු කළ නොහැක.  රාජ්‍ය පරිපාලන, මුදල් හා සැලසුම් යන අමාත්‍යාංශ මඟින් රාජ්‍ය අංශයේ කරනු ලබන පාලනය හා හැසිරවීම, මූලික රාමුව පාලනය කිරීමකට හා හැසිරවීමකට සීමා කළ යුතුය . තීරණ ගැනීම විමධ්‍යගත වන්නේ එවිටය.  රාජ්‍ය පරිපාලනයේ හා භාණ්ඩාගාරයේ මධ්‍යගත පාලනය ඒකාකාර බවක් පවත්වාගෙන යන්නට පමණක් ආධාර වෙයි.  පමණට වඩා ඒකාකාරීවීම කාර්යෂක්මව වැඩ කරගෙන යාමට බාධාවකි.  විස්තීර්ණ පාලනය හා හැසිරවීම කෙනකුට සිහිපත් කරවන්නේ යටත්විජිත සමයේ සිටි මහ ලේකම්වරු තිදෙනා ය. (ප්‍රධාන ලේකම්, භාණ්ඩාගාර ලේකම් සහ නීති ලේකම්). දැනට පවත්නා මෙම තත්ත්වය වැඩ ප‍්‍රමාද කරයි.  උනන්දුව හීන කරයි.  නිර්මාණශීලිත්වය නැති කරයි. 

 

ඒකාබද්ධ සේවා වෙනුවට සංවෘත සේවා

 

රාජ්‍ය සේවාවේ මානව සම්පතින් ප්‍රශස්ත ප්‍රතිපල ලබා ගැනීම පිණිසත්, වේගයෙන් වැඩ කළ හැකිවනු පිණිසත්,  පොදු හා ඒකාබද්ධ සේවා වෙනුවට සියලු ම අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු සඳහා සංවෘත සේවා බවට පත් කළ යුතුය. එවිට විශේෂඥභාවය ඇති වේ. සංවෘත සේවා ලෙස පවත්වාගෙන යනු ලබන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා විගණකාධිපති දෙපාර්තමේන්තුව විශේෂ කාර්යයන් ඉෂ්ඨ කරන ආයතනයන්ය.  එක් අතකින් බලන විට, සෑම ආයතනයක්ම ඉෂ්ඨ කරන්නේ කිසියම් විශේෂිත කාර්යයකි. 

 

ඒකාබද්ධ හා පොදු සේවාවන් යටතේ නිලධාරීන්ට විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලට පහසුවෙන් මාරුවී යාහැකිය.  එක් ආයතනයකින් පුහුණුව හා වරප‍්‍රසාද ලබාගෙන, වෙනත් ආයතනයකට යෑම නිසා ජාතික වශයෙන් විශාල පාඩුවක් සිදුවේ. (වාරිමාර්ග ගැන විදේශ සම්මන්ත‍්‍රණවලට සහභාගි වී පසුව අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ ඊට අදාළ විදේශ සවාරිවලටත් ඉන් පසු වෙළඳ අමාත්‍යාංශයට පැමිණ ජාත්‍යන්තර වෙළඳ සම්මන්ත‍්‍රණවලටත් සහභාගිවීම උදාහරණයක් ලෙස දැක්විය හැකිය). විදේශ අත්දැකීම්  අවශ්‍ය වේ.  ලෝකය දැක තිබීම අනිවාර්යයි.  එභෙත් රජයේ මුදලින් ලබාගන්නා අත්දැකීමෙන් රටට වැඩක් කිරීමට ඔවුන් තමන් අත්දැකීම් ලබා ගන්නා ආයතනයේ රැඳී සිටිය යුතුය.

 

කෙනෙකු වෙනත් දෙපාර්තමේන්තුවක් හෝ අමාත්‍යාංශයක් ප්‍රිය කරන්නේ නම් ඉන්නා තැනින් ඉල්ලා අස්වි දෙවැනි තැනට ඉල්ලුම් කර ඇතුළත් විය යුතුය.  සාර්ථක රාජ්‍ය සේවාවක් තිබෙන ස්වීඩනයේ අත්දැකීම් මේ කාරණයේ දී අපට පාඩමකට  ගත හැකිය. 

 

ඒකාකාර සේවාවන්ට ගැළපෙන ප්‍රමිති හා කාර්ය පුහුණුව ලබාදීම මගින්, ඒකාබද්ධ කිරීමේ හා සංවෘත සේවා ඇති කිරීමේ පරිවර්තනය පළාත්පාලන අංශයටද අදාළ කරගත හැකිය.

 

රාජකාරි ආකෘතිය වෙනුවට ව්‍යාපෘති ආකෘතිය  

 

අඩු පිරිවැයකින් ඉක්මන් ප්‍රතිපල ලබා ගැනීම සඳහා  යම් කාර්යයක ආරම්භයේ සිට අවසානය දක්වා වූ (ආරම්භය, නියාමනය, මගපෙන්වීම, ක්‍රියාත්මකවීම, අවසන් කිරීම) සියලු කටයුතු එක් ආයතනයක්/කාර්යාංශයක් යටතට පත් කළ යුතුය. 

 

යම් ව්‍යාපෘතියක්  සම්පූර්ණ කිරීම සදහා ඉටු විය යුතු විවිධ කටයුතු, ආයතන කීපයක් හෝ එකම ආයතනයේ අංශ හෝ ඒකක කීපයක්  අතරේ බෙදී ගොස් තිබෙන විට ඒ එකිනෙක කටයුතු සොයා බැලීමටත්, කරවා ගැනීමටත්, සම්බන්ධීකරණය කිරීමටත් අනවශ්‍ය ලෙස කාලය ගත වේ.  අවශ්‍ය එක්  කටයුත්තක් හෝ නොකෙරී තිබෙන  විට (උදා: ඉඩම් පවරාගැනීම, ශක්‍යතා අධ්‍යයන සම්පූර්ණ කර නොතිබීම)  සිදුවන නාස්තිය හා ප‍්‍රමාදය විශාල ය.  එනිසා එක එල්ලේ ම ව්‍යාපෘති අරමුණ මුදුන්පත් කර ගත හැකි සංවිධාන ඒකක තනා ගැනීම අවශ්‍ය ය. යම් ව්‍යාපෘතියක් නිමවූ වහා ම ඒ සදහා ගොඩ නඟා තිබූ සංවිධාන ඒකකය විසුරුවා හැරිය යුතුය.  ඊට කැප කර තිබූ සියලු සම්පත් අදාළ වගකිව යුතු ආයතන වෙත මුදා හළ යුතුය.  ව්‍යාපෘතිය වෙනුවෙන් මිලදීගෙන හෝ ප්‍රදාන වශයෙන් ලැබුන සියලු වත්කම් ලේඛනගත කළ යුතුය.

 

රාජ්‍ය අංශයේ (පමණක් නොව කවර අංශයක වුවද) යම් ව්‍යාපෘතියක් කඩිනමින් නිම කර ගැනීම සඳහා එම ව්‍යාපෘතියම ඉලක්ක කරගෙන සියලු සම්පත් (භෞතික, පිරිස් බල හා මූල්‍ය) පෙළගැස්විය යුතුය.  මැතිවරණ දෙපාර්තමේන්තුව එක් දිනකින් මැතිවරණ පවත්වා ප‍්‍රතිපල නිකුත් කිරීමේ හාස්කම කරන්නේ කෙසේ ද කියා සාකච්ඡා කිරීමේ දී නොයෙකුත් දෙපාර්තමේන්තු හා ආයතනවලින් ලබාගත් සම්පත් මනා ලෙස පෙළගැස්වීම ගැන සඳහන් කරන්නට යෙදුනි.

 

ගමනාගමන සේවයෙන් උදාහරණයක් ගනිමු.  නිශ්චිත හා ප‍්‍රමුඛ  නගර අතර බස් සේවා පැවැත්වේ. (උදා: කොළඹ - ගාල්ල, රත්නපුර - කලවාන වැනි).  ඒ රාජකාරී ආකෘතියයි. (Functional Format). නිකවැරටිය ප‍්‍රදේශයේ හදිසියේ ම කිසියම් හාස්කමක් සිදුවී මහජනයා එය බලන්න යාමට උනන්දුවන්නේ යැයි සිතමු.  1997 දී මෙවැන්නක් සිදුවිය. යම් පුද්ගලයකුට අකුරැස්සේ සිට ගාල්ලටත්, එතැනින් කොළඹටත්, කොළඹින් කුරුණෑගලටත් , කුරුණෑගලින්  නිකවැරටියටත් යාමට දැනට තිබෙන ගමනාගමන ආකෘතිය යටතේ ද පුළුවන.  ඊට බොහෝ වේලාවක් ගත වේ. ගමන දුෂ්කරය. පරිසරයට වඩා සංවේදී  පෞද්ගලික  බස් ධාවකයෝ රටේ විවිධ ස්ථානවල සිට නිකවැරටියට පමණක් නොව එතැනිනුත් ඇතුළට ගොස් එම හාස්කම තිබෙන තැනට ම බස් සේවා යොදවති.  එය නව ව්‍යාපෘතිය සදහා නව සංවිධාන ඒකකයක් තැනීමේ ක්‍රියාවට අනුරූප ය. එය ව්‍යාපෘති ආකෘතියයි.   හාස්කම නිමවූ විට හෝ මහජනයාට එය එපාවූ විට බස් සේවා අත්හිටවේ. ඒ සඳහා යොදවා තිබූ සියලු සම්පත් වෙනත් කාර්යයන් සඳහා හරවා යැවේ.  රාජ්‍ය අංශය විසින් මේ ව්‍යාපෘති මාදිලිය යොදා ගතයුතුය.  එවැන්නක් සැලසුම් කිරීමට යම් බුද්ධිමය අභ්‍යාසයක් කළ යුතුය.  යම් කාලයක් ගතවුවත් ප්‍රතිපල පිරිවැය හා වෙහෙස අභිබවා යයි.

 

 

මීටින් අඩුකර පිටියට බසිමු

 

වඩා කාර්යක්‍ෂම වන්නේත්, පලදායකදායක වන්නේත්, වැඩකරන ස්ථානවලට  ගොස් දැක බලාගෙන එම වැඩ කටයුතු කළමනාකරණය කිරීමයි. එභෙත් බොහෝ නිලධාරීහු එසේ නොකරති.  ඔවුන් වැඩිපුරම කාලය ගතකරන්නේ රැස්විම් හා සාකච්ඡාවලය. සංඛ්‍යා සටහන්, රූප සටහන් හා ප්‍රස්තාර අතරේය.  ඉහළ ම නිලධාරීන්ට එකකට පසු එකක් රැස්විම් ය.  තමන් යටතේ තිබෙන සුවිසල් යන්ත‍්‍රය පරීක්ෂා කිරීමට ඔවුන්ට වේලාවක් නැත. 

 

බොහෝ මීටින්වල නැගෙන ශබ්දය තරමට වැඩ සිදුවන්නේ නැත.  “නටාපු නැටුමකුත් නෑ - බෙරේ පලුවකුත් නෑ” යන්න ඊට ගැළපේ.  ඇතැමෙක් මේ මීටින් වලට NATO කියති.  එනම් No Action, Talk Only ය.

 

රැස්විම්වලින් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමට හා කළමනාකරණයට ඔවුන් කාලය වෙන්කර ගත යුතුය. රැස්වීම් සඳහා සතිපතා එක් නිශ්චිත දිනයක් වෙන් කිරීමත්,  හැකිතාක් දුරට මාර්ගස්ථ (online) රැස්වීම් පැවැත්වීමත්, මගින් කාලය ඉතිරි කරගත හැකිවේ.  සම්පත් ඉතිරි කර ගත හැකි වේ.

 

තනතුරු එකකට වඩා දැරිම පලදායී ද?

 

එක් පුද්ගලයෙකු උසස් තනතුරු එකකට වඩා දැරිම නිසරු ක්‍රියාවකි. ඉහළ ම තනතුරු පූර්ණකාලීන විය යුතුය.  එක් කෙනකු එවැනි තනතුරු දෙකක් දැරීම අතිශය අනර්ථකරය. වැඩ ප්‍රමාද වීමට හේතුවකි. එවිට තමන් යටතට පත් කරන සම්පත් මෙභෙයවිමට ඔවුන්ට ප‍්‍රමාණවත් කාලයක් නොලැබේ.  එමෙන් ම දෙවන පෙළ නායකයන් නැගී ඒමට ද එය බාධාවක් වන්නේය.  තනතුරු එකකට වඩා දරන අවස්ථාවලදී  යම් ආයතනයකට වෙනත් ආයතනයකින් පැමිණෙන නිලධාරියා, බොහෝවිට එම පළමු ආයතනයේ නිලධාරීන් මත යැපීමට පුරුදු වේ.  ඔහුට ස්වාධීන තීරණ ගැනීමට වුවමනා කරුණු සොයා බැලීමට අවශ්‍යතාවයක් නැත.

 

රජයේ නිලයක් දරමින් තවත් අර්ධ රාජ්‍ය ආයතනයක තනතුරක් දරන්නා හැම විට ම එක පයක්, අවදානම අඩු රාජ්‍ය සේවයේ තබාගෙන සිටින්නෙකි.  යම් ආයතනයක දෙපය තබාගෙන සිටින්නා තම ආයතනය ගැන ඇල්මෙන් ක්‍රියා කරයි.  තමාගේ පැවැත්ම ආයතනයේ පැවැත්ම මත රඳා පවතින බව ඔහු දනී.  ද්විතියික පදනම මත එන රාජ්‍ය නිලධාරියා පටිපාටි අනුගත වැඩ ශෛලියට මිස ප‍්‍රතිඑල අරමුණු කරගත් වැඩ ශෛලියට හුරු වූවෙකු නොවේ. 

 

 

@මතු සම්බන්ධයි.

(මීලඟට, 04. සම්පත් භාවිතය, අත්පත් කර ගැනීම හා ආරක්‍ෂා කර ගැනීම)

ප්‍රකාශනය -

අර්ථ ගවේෂකයෝ, අංක 94-1/8, යෝර්ක් වීදිය, කොළඹ 01.

දුරකථනය - 070 629 2375

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි