SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූධය සම්බන්ධයෙන් ලියැවී ඇති “නව යුගයක පිවිසුම් මග -  ආණ්ඩු ක්‍රම වෙනස” කෘතිය 

‘අර්ථ ගවේෂකයෝ’ වරලත් ගණකාධිකාරීන් වන පී.ඊ.මැතිව් සහ සමාගමේ සමාජ වගකීම් ප්‍රකාශනයක් ලෙස නිකුත් වූ  වරලත් ගණකාධිකාරී ආර්.ඒ.ජයවීර විසින් සම්පාදිත කෘතියකි.

 

01. රාජ්‍ය සේවාවේ තරාතිරම හා බල මහිමය

 smart government service2 large

 

රට කරවීමේදී රාජ්‍ය නිලතන්ත්‍රයට පැවරී ඇත්තේ විශාල කාර්යභාරයකි.  අවස්ථාවෝචිත පරිදී රාජ්‍ය යාන්ත්‍රණය, රාජ්‍ය සේවාව, රාජ්‍ය පරිපාලන යන්ත්‍රය යනුවෙන්ද මෙහි සඳහන් කර ඇත. බලසම්පන්න නමුත් ඔත්පලව මන්දගාමී වී ඇති රාජ්‍ය යාන්ත්‍රණයට දොස් පවරමින් ඉන්නේ නැතිව ඊට පණ පොවා, එය ජව බල සම්පන්න, කාර්යක්‍ෂම හා පිරිසිදු යාන්ත්‍රණයක් බවට පත් කිරීම සඳහා වන පරිවර්තන ක්‍රියාවලියේ විෂයපථය මේ පරිච්ඡේදයේ සාකච්ඡාවට ලක් වේ.  ඉදිරි පරිච්ඡේද වල දැක්වෙන පරිවර්තන ක්‍රියාමාර්ග සඳහා එය ප්‍රවේශයක් සපයයි.  රාජ්‍ය සේවාව සහජයෙන්ම අලස නොවන බවත් ක්‍රම වෙනසකින් පණ ගැන්විය හැකි බවත් පැහැදිලිය.  ජව බල සම්පන්න කාර්යක්‍ෂම - පිරිසිදු රාජ්‍ය යාන්ත්‍රණයක බල මහිමයෙන් රට ඉහළ තලයකට එසවිය හැකි ආකාරය මේ පරිච්ඡේදයේ දැක්වේ.

 

1. සම්පූර්ණ පරිවර්තනයක් අවශ්‍යයි

2. අරමුණු හා විෂයපථය

3. රාජ්‍ය නිලතන්ත්‍රයේ තරාතිරම හා සාවද්‍ය සැසඳීම

4. රාජ්‍ය අංශය සහජයෙන්ම මන්දගාමි ද?

5. රාජ්‍ය සේවාවේ බල මහිමයෙන් ආර්ථිකය නැංවීම

 

 

1.සම්පූර්ණ පරිවර්තනයක් අවශ්‍යයි

 

“සාමාන්‍ය මහජනයා ආණ්ඩුව ලෙසට දකින්නේ රාජ්‍ය සේවයයි. එබැවින් අපි අතිශයින්ම කාර්යශූර, කාර්යක්‍ෂම, අවංක රාජ්‍ය සේවාවක් තිබෙන බවට වගබලා ගත යුත්තෙමු.  මහජනයාගේ කටයුතුවලට ඉහළම ප‍්‍රමුඛතාව ලැබෙන බවටත්, ප‍්‍රමාදයකින් තොරව ඉක්මනින් කටයුතු කරන බවටත් අපි වගබලා ගත යුත්තෙමු.  ගන්නා තීරණවල වගකීම දැරිය යුත්තෙමු.  මෙය පුරුද්දක් බවට පත්කර ගත යුතුයි.  රාජ්‍ය සේවය ඉතාම ආචාරශීලී විය යුතුය.  ආචාරශීලී බව මහජනයාට මුල්තැන දෙන රාජ්‍ය සේවයක ආදර්ශ පාඨ විය යුතුය.

මට හොඳාකාරව ඒත්තු ගිහින් තියෙනවා රාජ්‍ය පරිපාලනයේ සම්පූර්ණ පරිවර්තනයක්  අවශ්‍ය බව.  එසේ නොවුවහොත් අපට කවම කවරදාකවත් අපේ ඉලක්ක සපුරා ගන්නට නම් ලැබෙන්නේ නැහැ.”

       - (ලක්ෂ්මන් ජයකොඩි අමාත්‍යතුමා 1995 නොවැම්බර් 09 දින පාර්ලිමේන්තුවේ දී)

 

රාජ්‍ය සේවය මඟින් ඉටු කළ යුතුව තිබෙන සුවිසල් කාර්යභාරය ගැන විමසන කල්හි දැන් අප ඉදිරියේ ඇති ප‍්‍රශ්නය නම් අප වැඩ කරන පිළිවෙල ද, නීතිරීති හා රෙගුලාසි ද යථාර්ථවාදීව වෙනස් කර, ගෞරවාන්විතව වැඩකිරීමට වුවමනා පරිසරය ඇති කරන්නේ නැතිව තවදුරටත් බලා සිටිය හැකි ද යන්නය. වහාම කළයුතුව  ඇත්තේ රාජ්‍ය පාලනයේ නව මාදිලියක් සැකසීමය.  

 

''අපට අවශ්‍ය වන්නේ අදාළ නියෝග මාලා අනිවාර්යයෙන්ම කියවා ඇති කෙනෙක් පමණක් නොවෙයි.''  ඩී.එස්. සේනානායක අගමැතිතුමා ''රාජ්‍ය සේවකයා කෙසේ විය යුතු ද''   යන්න පැහැදිලි කරමින් 1947 ඔක්තෝබර් මස 11 දින කොළඹ විශ්වවිද්‍යාලයීය උපාධි ප‍්‍රදානෝත්සවයේ දී පවත්වන ලද දේශනයේ සඳහන් කළ කරුණ අදටත් මැනවින් ගැළපේ. අගමැතිතුමා තව දුරටත් මෙසේද කීවේය. “නියම කරනු ලබන දේ පමණක් කාර්යක්‍ෂමව කරන නමුත් තමන්ම හිතාබලා ඊට වැඩි යමක් නොකරන සේවකයා ගැන ස්වාමියා තෘප්තිමත්  වන්නේ නැහැ. රජයට, විශේෂයෙන්ම, ජනතාව විසින්, ජනතාව කෙරෙන් තෝරා පත්කර ගැනෙන රජයට, මහජන ශක්තිය හා උද්යෝගය අපේක්ෂා කිරීමේ අයිතිය තිබේ.  “රජය ආදර්ශ සේව්‍යයා විය යුතු’ය යන අදහස නිතර ප්‍රකාශ වන අතර එය සාධාරණ කතාවකැ’යි  කියන්නට පුළුවන. එමෙන්ම රාජ්‍ය සේවකයාද ආදර්ශමත් සේවකයෙක් විය යුතුය.”

 

මහාචාර්ය විශ්වා වර්ණපාල ලංකාවේ සිවිල් සේවා පරිපාලනය ගැන “Civil Service Administration in Ceylon – A Study in Bureaucratic Adaptation” නමැති සිය කෘතියේ මෙසේ සඳහන් කරයි.

 

"තත්ත්වය හා සමාජ පිළිගැනීම හැරන විට රාජ්‍ය සේවයට බැඳීමට  පෙළඹුන ප්‍රධාන හේතු වුයේ, රැකියා සුරක්ෂිත භාවය, උසස්වීම් හා පුද්ගල ස්වාමියෙකු නොසිටීමයි."  Warnapala, W.A.Wiswa, (1974), “Civil Service Administration in Ceylon – A Study in Bureaucratic Adaptation”, P 370

 

පුද්ගල ස්වාමියෙකු  නොසිටීමේ හිස්තැන පුරවන ලද්දේ යටත් විජිත යුගයේ සිට ඉදිරියට ගෙන ආ චක්‍රලේඛ හා කාර්ය පටිපාටි වලිනි.  "ස්වාධීන රාජ්‍ය සේවය" යන තර්කානුකූල මිථ්‍යාව ඇති වී තිබෙන්නේ ද මේ නිසාය.  ස්වාමියෙකු නැති සේවකයෙකු සිටිය නොහැකිය.  රාජ්‍ය නිලධාරීන්ගේ ස්වාමියා මහජනයාය.  දේශපාලනය විධානයෙහි තැබීමෙන්ද, පුරවැසි ප්‍රඥප්තියෙන්ද, මහජනයා පාලනයට මැදිහත් වීමෙන්ද මේ අධිකාරය පවත්වා ගත යුතුය.

 

පසුගිය දශක කීපය මුළුල්ලේම ශ්‍රී ලාංකීය ජාතික දේහය අර්බුද ගණනාවක පැටලී සිටී.  එමගින් සමස්ත ශ්‍රී ලාංකීය ජාතියම අගාධයකට තල්ලු කරදමා ඇත.  බහුතර ජනතාවකගේ ජීවිතය දුක් වේදනාවන්ගෙන් බර කර තිබේ.  මේ දුකින් මිදීමේ මාර්ගය පියවර ගණනාවකින් යුක්තය.  රාජ්‍ය නිලතන්ත්‍රය පරිවර්තනයකට ලක් කිරීම ඉන් ප්‍රධාන එකකි.  රට නංවා ජන සෙත හා සතුට සැලසිය හැකි මහා විභවයක් රාජ්‍ය නිලතන්ත්‍රය සතුය. එයින් නොකෙරුන-නොකරන කටයුතුද, ඉටු නොකළ-ඉටු නොවන යුතුකම්ද ගැන චෝදනා එමටය. 

 

පරිවර්තනය බරපතළ කාර්යයකි. කෙටි කාලීන විරෝධතා මතුවීම නොවැළැක්විය හැකිය.  මේ විරෝධතාවල දිග පළල ගැන කල්පනා කරන විට, සියලු දේශපාලන පක්‍ෂවල එකඟතාවයකින් හා එකමුතුවකින් තොරව සැබෑ පරිවර්තනයක් නොකළ හැකි බව පෙනීයයි. අපි ඒ අභියෝගය ජයගෙන,  කාර්යශුර අදූෂිත රාජ්‍ය යාන්ත්‍රණයක් පිහිටුවා ගත යුත්තෙමු.

 

2. අරමුණු හා විෂයපථය

 

රට කරවීම (Governance) යන්නට පුළුල් වපසරියක් අයත්වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද, ප්‍රාදේශීය මට්ටමේ සිට පාර්ලිමේන්තුව හා ජනාධිපති දක්වා වූ දේශපාලන බල ව්‍යුහයද, ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණ යන ආයතන සංයුක්තයද, විදේශ සම්බන්ධතා හා රාජ්‍යාරක්‍ෂාව ද, ආහාර සුරක්ෂිතතාව, අධ්‍යාපනය, නිවාස, සෞඛ්‍ය ආදී මුලික අවශ්‍යතා ඉටු කිරීමද, නීතිය හා සාමය පවත්වාගෙන යාම ද,  ආර්ථිකය ද මේ වපසරියට අයත් වේ. 

 

ආර්ථිකය යනු විශාල පරාසයක පැතිර පවත්නා ක්‍රියාකාරකම් සමුදායකි.  ඊට අති විශාල ධන සම්භාරයක් හා ණය කන්දරාවක් සමග ගැටගැසී තිබෙන යටිතල පහසුකම් ගොඩ නැගීමද, රජය සතු ව්‍යාපාර (State Owned Enterprises) සමූහයක් ද අයත් ය.  ආර්ථිකයේ විශාල පෞද්ගලික අංශයක් ද තිබේ.  සාමාන්‍ය ව්‍යවහාරයේදී පෞද්ගලික අංශය හෝ ව්‍යාපාරික ප්‍රජාව යන නමින් හඳුන්වනු නොලබන මිලියන දෙකක් පමණ වූ ගොවියෝද ආර්ථිකයේ සක්‍රිය කොටසක් නියෝජනය කරති.  සියලු අංශද සියලු ආයතන ද එකිනෙක සම්බන්ධය.  එකිනෙක කෙරෙහි බලපායි.  එකිනෙක සමග ප්‍රතික්‍රියා කරයි.  මායිම් නොපැන එකක් ගැන පමණක් කථා කිරීම අපහසුය.

 

අපගේ මේ පෙරළිකාර ප්‍රයත්නයට පාත්‍ර වන්නේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, අධිකාරී, කොමිෂන් සභා, සංස්ථා, මණ්ඩල ආදී නොයෙකුත් නම් දරන ආයතනයන්ගෙන් සමන්විත රාජ්‍ය යාන්ත්‍රණයයි (state mechanism). ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ලෙසට එහි කාර්යක්‍ෂමතාව හා පලදායකත්වය වර්ධනය කිරීමයි.  හොරකම-බොරුව-වංචාව-නාස්තිය-අල්ලස නමැති පස්පවින් එය මුදවා ගැනීමයි.  බොර දියෙන් පෑදී දියට යාමයි. රාජ්‍ය ව්‍යවසායයන් , ජාතික ආර්ථිකය හා රට කරවීම කෙරෙහි අතිවිශාල බලපෑමක් කරයි.  නමුත් රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳ කරුණු වෙනම සාකච්ඡාවට ගැනීම සඳහා පසෙක තබන්නෙමු. එසේ වුවද මෙහිදී සාකච්ඡා කරන ඇතැම් කරුණු (උදාහරණයක් ලෙස කාර්යසාධනය) රාජ්‍ය ව්‍යවසායන්ටද අදාළවේ.  

 

රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්‍ෂම හා පලදායි වන්නේ නම් කෘෂිකර්මය, අධ්‍යාපනය, සෞඛ්‍ය, සිවිල් පරිපාලනය, පොදු ප්‍රවාහනය, රාජ්‍යතාන්ත්‍රික සේවාව, අධිකරණය, ප්‍රමිති නියාමනය, මුල්‍ය නියාමනය, රාජ්‍ය ආදායම් එකතුකිරීම යන අංශ හා ක්‍රියාකාරකම් මාර්ගයෙන් ඊට මහා ආර්ථික ප්‍රාතිහාර්යයක් පෑමේ ගාමක බලවේගය විය හැකිය.  අපේ අරමුණ, අන්න ඒ බලවේගය බවට රාජ්‍ය යාන්ත්‍රණය පත් කිරීමයි.

 

යටත් විජිත යුගයේ සිට පැවතෙන රාජ්‍ය පරිපාලන යන්ත‍්‍රයේ සැකැස්මේ දෝෂ (design fault) මන්දගාමිත්වය, ආරම්භක ශක්තියක් නැතිකම,  උදාසීනත්වය,  ප‍්‍රතිපල හඹා නොයාම, නිසි ක්‍රමවේද නොමැතිවීම, නාස්තිය හා දූෂණය  නිසා කවර රජයක් වුවද ජාතික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට අවශ්‍ය ශක්තිය හා වේගය ලබා ගැනීමට අසමත් වේ.  මේ අසමත් බවේ අභියෝගය ජය ගැනීම සඳහා, කලින් කල නොයෙකුත් ප්‍රතිසංස්කරණ කර තිබෙන නමුත් රට ඉහළ තලයකට ඔසවා තැබීමට අවශ්‍ය සක්‍රිය ජවබලය ඊට කාවැද්දිය හැකි පරිවර්තනීය වෙනස්කම් සිදුකර නැත. යුග පෙරළියකට මුල පිරෙන එවැනි සාධනීය යෝජනා, පහත දැක්වෙන තේමා පදනම් කර ගෙන මෙම කෘතියෙන් ඉදිරිපත් කරමු.   

 

  • රාජ්‍ය පාලනයේ නව මාදිලිය
  • ජාතිකාභිවෘද්ධිය පෙරදැරි කරගත් නව ආයතන පිහිටුවීම
  • රාජ්‍ය සේවාවේ බල මහිමය ආර්ථිකය නැංවීමට යොදා ගැනීම
  • වැඩ කිරීමේ අළුත් ශෛලියක්
  • රාජ්‍ය සේවයට බඳවා ගැනීම, පුහුණුව හා උසස් කිරීම
  • තීරණ ගැනීමේ අධිකාරී බලය සහිත කුඩා ඒකක පිහිටුවීම
  • විවිධ සේවා ඒකාබද්ධ කිරීම හා සියල්ල සංවෘත සේවා බවට පත්කිරීම
  • රෙගුලාසි-පටිපාටි වෙනුවට ප්‍රතිපලයට මුල්තැන දීම
  • කාර්යසාධන අයවැය හා ගිවිසුම්ගත කාර්යසාධනය
  • රාජ්‍ය ගිණුම්කරණ ප්‍රතිසංවිධානය
  • ශූන්‍ය-පාදක අය-වැය හා කළමණාකාරීත්ව ගණකාධිකරණය
  • පොදු දේපළ පරිහරණය
  • රාජ්‍ය පාලනයට මහජන සහභාගීත්වය
  • ජනවරම හා දේශපාලනඥයාගේ කාර්යභාරය

කාර්යක්‍ෂම හා පලදායී රාජ්‍ය පාලනයක් ගැන නම් දරා සිටින සිංගප්පූරු රාජ්‍ය යාන්ත්‍රණයේ කර තිබෙන පරිවර්තනීය වෙනස ගැන  පහත දැක්වෙන උපුටා ගැනීම බලන්න.

 

“ව්‍යාපාරික නැඹුරුවක් සහිත එරට රාජ්‍ය කළමනාකරණයේ ප්‍රධාන සංරචක දෙකක් වෙයි.  (1) විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන, තීරණ ගැනීමේ වැඩි බලයක් සහිත ස්වාධිකාරී-විධායක බලතල හිමි කුඩා ඒකක බවට වෙන් කිරීම, සහ (2) එවැනි ස්වාධිකාරී ආයතන වලට යෙදවුම් සහ පටිපාටි මූලික කර ගැනීම වෙනුවට ප්‍රතිපල පාදක කරගත් වැඩසටහන් සකස්කර ක්‍රියාවට නැංවීමට අවශ්‍ය මූල්‍ය හා කළමනාකරණ අධිකාරය පැවරීම. 

 

මෑතකදී, සිංගප්පූරු ආණ්ඩුව විවිධ දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත මණ්ඩල, එක්තරා ප්‍රමාණයක මෙහෙයුම් නම්‍යශීලීභාවයක් සහිත ස්වාධිකාර ආයතන බවට පරිවර්තනය කළාය.  රජයේ වැඩ දෙපාර්තමේන්තුව, පොදු පහසුකම් මණ්ඩලය, නිවාස සංවර්ධන මණ්ඩලය, දේශීය ආදායම් අධිකාරිය, වරාය අධිකාරිය, විකාශන අධිකාරිය සහ ප්‍රවාහන අධිකාරිය උදාහරණයන්ය (Jay 1999; Haque 2003).  මෙම ස්වාධිකාර ආයතනවල ඉහළම විධායකයින්ට, මූල්‍ය හා පිරිස් පාලනය සම්බන්ධ සැලකියයුතු ස්වාධිකාරී බලයක් පවරන ලදී.

 

යෙදවුම් හා පටිපාටි මගින් දැඩි ලෙස පාලනය කරනු ලැබූ කලින් පැවති අය-වැය සහ ගිණුම්කරණ ක්‍රමය වෙනුවට, අළුතින් හඳුන්වාදුන් ප්‍රතිපල  පෙරදැරි කරගත් අය-වැය හා කළමනාකාරීත්ව ගණකාධිකරණ ක්‍රමය, කාර්යසාධනය හා අවසාන ප්‍රතිපල ඉලක්ක කරගෙන තම තමන්ගේ ආයතනවල අය-වැය ඇස්තමේන්තු සකස් කිරීමට, රාජ්‍ය සේවාවේ ඉහළ කළමනාකරුවන්ට සැලකියයුතු ඉඩ ප්‍රස්තාවක් ලබාදෙයි.”

Haque, MS 2004, ‘Governance and Bureaucracy in Singapore: Contemporary Reforms and Implications’ International Political Science Review, vol. 25, no. 2, pp.  227-240.

 

 

3. රාජ්‍ය නිලතන්ත්‍රයේ තරාතිරම හා සාවද්‍ය සැසඳීම

 

2023 වනවිට සිවිල් පරිපාලනයේ හා ත්‍රිවිධ හමුදා වල රාජ්‍ය සේවයේ නියුක්ත සේවක සංඛ්‍යාව (රාජ්‍ය ව්‍යවසායන් හැර) 1,146,985 කි. වැටුප් සඳහා වැය වූ මුදල සිවිල් පරිපාලනයට රුපියල් මිලියන 627,501 ක් ද ආරක්ෂක අංශ සඳහා රුපියල් මිලියන 311,995 ක් ද වශයෙන් රුපියල් මිලියන 939,496 කි. මේ මුදල එම වර්ෂයේ රජයේ ආදායමින් 31% කි. රටේ ජනගහනයෙන් විස්සෙන් පංගුවක් හා සමස්ත වැඩකරන ජනකායෙන් හතෙන් පංගුවක් වන මෙම මිනිස් බලයත්, ඒ සඳහා වැය කරන මුදලත් රට ඉහළට ඔසවන ගාමක බලයක් බවට පත් කරගත යුතුය.  

 

chart jaya1

 

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය පමණට වඩා විශාලයැයි ද,  එහෙයින් රාජ්‍ය සේවාව හකුළුවන්නට අවශ්‍යයැයි ද, ශ්‍රී ලංකාවේ ලෙඩ පරීක්‍ෂා කරන “වෛද්‍යවරු” කියති.  ජනමාධ්‍ය වලින්  මේ රෝග විනිශ්චයට ප්‍රචාරයක් ලැබේ.  දේශීය හා අන්තර්-ජාතික ආයතනද රාජ්‍ය සේවය කෙට්ටු කළයුතු යැයි ඝෝෂා කරති. සේවක සංඛ්‍යාව හා වැටුප් වියදමද, රාජ්‍ය ආදායම හා දළ ජාතික නිෂ්පාදිතයද පාදක කරගෙන රටවල් අතර  රාජ්‍ය සේවාවන් සැසඳීම අර්ථවත් නොවේ. මේ වූකලී සාවද්‍ය සැසඳීමකි. එයින් කෙනෙකු යොමුවන්නේ සාවද්‍ය නිගමන වලටය. මක් නිසාද? සංවර්ධනාභිමුඛ අපගේ වැනි රටක රාජ්‍ය සේවාවේ කාර්ය භාරය බෙහෙවින් වෙනස් බැවිනි.  අප සැලකිලිමත් විය යුත්තේ, වියදම ගැන නොව, වියදමට සරිලන ප්‍රතිලාභ ලබා ගැනීමට අසමත් වීම ගැනය.

 

අපේ අවධානය යොමුවිය යුත්තේ රාජ්‍ය සේවාවේ මුළු වියදම කවර තරමකින් ජාතික නිෂ්පාදිතය වර්ධනය කිරීමට නැතහොත් ගුණනය කිරීමට (multiplier effect) දායක වන්නේද නැතහොත් දායක කරගැනීමේ ඉඩ ප්‍රස්තාව පවතින්නේද යන්නටයි. ඉලක්ක කරා මෙහෙයවනු ලබන කාර්යක්‍ෂම හා කැපවුන රාජ්‍ය සේවාවකට මුළු රටේම ආර්ථික ප්‍රතිපල ඉහළ නංවා, දළ දේශීය  නිෂ්පාදිතය වැඩිකර ගැනීමට දායක විය හැකිය.

 

 

4. රාජ්‍ය අංශය සහජයෙන්ම මන්දගාමි ද?

 

“රාජ්‍ය අංශය සහජයෙන්ම මන්දගාමී ය”  යන්න ප්‍රචලිත මිත්‍යාවකි.  මැතිවරණ පැවැත්වීම උදාහරණයට ගනිමු. ඡන්දදායකයින් මිලියන 16 ක් හා ඡන්ද මධ්‍යස්ථාන 12,000 ක් හා ගණන් කරන මධ්‍යස්ථාන 2,400 ක්  පමණ හසුරුවා ගනිමින්,  මුළු රටේම ඡන්දය එක්දිනක පවත්වා පසුදා පහන් වන විට ප‍්‍රතිඑල නිකුත්කිරිමට මැතිවරණ දෙපාර්තමේන්තුවට හැකිය.  මැතිවරණ දෙපාර්තමේන්තුව මේ හාස්කම කරන්නේ කෙසේ ද යන්න අධ්‍යයනය කර, ජවය හා වේගය ආරූඪ කරවන ක‍්‍රමවේද හඳුනාගෙන ඒ අනුසාරයෙන් කළයුතු දේ හඳුනා ගන්නේ නම් මුළු රාජ්‍ය අංශයම කාර්යක්‍ෂම කළ හැකි ය.

 

පහත දැක්වෙන මැතිවරණ රාජකාරි පෙළගැස්ම ඊට මග පෙන්වීමක් කරයි. (මේ කෘතියේ ඉදිරිපත් කරන පරිවර්තනීය වැඩ පිළිවෙල ඊට අනුගත වූවකි).

 

  • දේශපාලන තීරණය මගින් ගනු ලබන ආරම්භයක් (ඉන් පසු දේශපාලන ඇගිලි ගැසීම් නැත)
  • මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීම
  • ඉලක්ක දින සහිත කාලසටහනක්
  • අවශ්‍ය සම්පත් නොඅඩුව සම්පාදනය කර ගැනීම හා මනා ලෙස පෙළගැස්වීම
  • විවිධ දෙපාර්තමේන්තු හා ආයතනවලින් කැඳවා ගන්නා නිලධාරීන්ට නිශ්චිත කාර්ය පුහුණුව
  • නිශ්චිත වැඩ පැවරීම
  • කාර්යක්‍ෂම සන්නිවේදන ක‍්‍රමය
  • ක්‍ෂණික තීරණ ගැනීමේ දක්ෂතාව හා හැකියාව
  • අධිකාරී බලය හා වගකීම බෙදාහැරීම, ඒ සමඟම කාර්යක්‍ෂම මධ්‍යගත කිරිම හා එක් විධානයක්
  • රාජකාරියට කැපවීම
  • නිරීක්ෂණ හා අධීක්ෂණ කණ්ඩායම්වල මැදිහත්වීම
  • රාජ්‍ය සේවාවේ බල මහිමයෙන් ආර්ථිකය නැංවීම

 

රාජ්‍ය අංශයට සැපයිය හැකි නමුත් ප්‍රමාණවත් හා සෑහීමට පත්විය හැකි තරමට නොසැපයෙන සේවා විවිධාකාරය. ඒ අතරින් සමාජ-ආර්ථික දේහයේ සෑම තැනකටම බල පැවැත්විය හැකි උපදේශනය, පර්යේෂණය, ප්‍රවර්ධනය හා නියාමනය, මුළු මහත් සමාජ-ආර්ථික සංවර්ධනයම ඉහළ තලයකට එසවිය හැකි ගාමක බලවේගයකි. රජය  ප්‍රධාන කොටසක් ඉටු කරන්නා වූ සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය  හා පොදු ප්‍රවාහන සේවය, සමාජ-ආර්ථික ආරෝහණයේ මහා උඩුකුරු තෙරපුමක් ඇතිකරන බලයක් බවට පත් කළ හැකිය.  රජය විසින් පමණක්ම සපයනු ලබන සිවිල් පරිපාලනය, රාජ්‍යතාන්ත්‍රික සේවාව, අධිකරණ ක්‍රියාවලිය, ප්‍රමිති නියාමනය, මූල්‍ය ක්‍රේෂ්ත්‍රයේ නියාමනය, රාජ්‍ය අදායම් එකතු කිරීම, සාමය පවත්වාගෙන යාම යන සේවාවන් කාර්යක්‍ෂම ලෙසත්, පලදායී ලෙසත් සපයන්නේ නම් ආර්ථික ක්‍රියාකාරකම් වැඩි වේගයකින් හා වැඩි පරිමාවකින් සිදුවනු ඇත.  ඒ තුළින් නව ක්‍රියාකාරකම් උත්පාදනය වේ.  උත්ප්‍රේරණය වේ.  අභිප්‍රේරණය වේ. 

 

එම ක්‍රියාකාරකම් වල ප්‍රතිපලයක් ලෙස මහජනයා අත ඉතිරි කරගන්නා හා වැඩිකර ගන්නා මුදලින් දේශීය වෙළඳපොළට නව ජවයක් ලැබේ.  මූල්‍ය ගණුදෙනුවල ප්‍රසාරණයක්  ඇතිවේ. එකිනෙක සමග ඈඳුන ගණුදෙනු ගණනාවක් මගින් දේශීය නිෂ්පාදිතය ඉහළ නැංවේ.

 

රජය හැම පෞද්ගලික ව්‍යවසායයකම අනාරාධිත හවුල්කරුවෙකු වෙයි. මුළුමහත් ජාතික ආර්ථිකයේම පලදායිතාව හා කාර්යක්‍ෂමතාව  කෙරෙහි රාජ්‍ය අංශයේ බලපෑමත් වගකීමත් අතිවිශාලය.  රාජ්‍ය ව්‍යවසායන් පවත්වාගෙන යාමෙන්, වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට උපායමාර්ගික වශයෙන් මැදිහත් වීමෙන්, වෙළඳපොළ අසාර්ථකවීම් (market failures) වලදී වන්දිගෙවීමෙන් හා උපායමාර්ගික අභිමතාර්ථ හා සංවර්ධන ඉලක්ක ඉදිරිපත් කිරීමෙන්, රජයට ආර්ථිකය කෙරෙහි දැනෙන බලපෑමක් කළ හැකිය.  රජය ව්‍යාපාරයන්හි නොයෙදිය යුතුයැයි පැවසීම තර්කානුකූල නොවේ.  යථානුරූපී නොවේ. රජය සැබෑ හවුල්කරුවකුගේ භූමිකාව ඉටු කළයුතු ය.  

 

රාජ්‍ය අංශයෙන්  කළ හැකි - කළ යුතු වැඩ අපමණය. අවශ්‍ය වන්නේ වැඩ පවරා, වැඩ කරවා ගැනීමය. ලැබෙන ආර්ථික ප්‍රතිපල විශාල බැවින්, අප සැලකිලිමත් විය යුත්තේ එම සේවාවන් නොඅඩුව ලබා  ගැනීම කෙරෙහිය.. වැඩ කරන්නට සිටින පිරිස පමණට වැඩිද යන්න තීරණය කිරීමට උවමනා කරන සාධනීය තාර්කික පදනමක් ඇතිවන්නේ එවිටය. යම් තැනක ශ්‍රම අතිරික්තයක්ද තවත් තැනක ශ්‍රම හිඟයක්ද තිබෙනවා විය හැකිය.  නිකම්ම ධන හා සෘණ කැපී  නොයයි. ඒ පිළිබඳව සංඛ්‍යා සටහන්  පදනම් කරගත් සාකච්ඡාවකට යාම දෙවනුව සිදුවිය යුත්තකි.

 

පරිවර්තනය කරනු ලැබූ රාජ්‍ය සේවාවක බල මහිමය ආර්ථික වර්ධනයට විවිධාකාරයෙන් දායක කරගත හැකිය:

 

කෘෂිකර්මය

ඉඩම් ප්‍රශස්ථ ලෙස උපයෝගී කරගැනීමට මග පෙන්වීමෙන් ද, අඩු-පිරිවැය ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය,  පොහොර සංයෝජන හා රෝග-පළිබෝධ හා ඒවාට ප්‍රතිකාර හඳුන්වාදීමෙන් ද, කෘෂිකාර්මික උපදේශන සේවා ගොවිජන  කේන්ද්‍රීයව, කාර්යක්‍ෂමව පවත්වාගෙන යාමෙන් ද, කුඩා හා මධ්‍යම පරිමාණයේ ගොවීන්ට ඉල්ලුම ඉහළ පහළ යන කාලසීමා, කෘෂි-දේශගුණික කලාප යනාදිය සැලකිල්ලට ගෙන වගා කැලැන්ඩරයකට අනුගත කරවා ව්‍යවසායකත්ව මගපෙන්වීම ලබාදීමෙන් ද,  කෘෂිකාර්මික නිෂ්පාදනය මධ්‍යගත සැලසුමකට අනුගත කිරීමෙන් ද, උචිත තාක්‍ෂණය හා නව භාවිතාවන් හඳුන්වාදීමෙන් පරිමාණානුකූල ප්‍රතිලාභ ලබා ගැනීමට සැලැස්වීමෙන් ද, දේශීය හා පාරම්පරික ඥානයත් නවීන කෘෂි තාක්‍ෂණික දැනුමත් සමායෝජනය කිරීමෙන් ද, වෙනත් රටවල සාර්ථක කෘෂිකාර්මික භාවිතාවන් දැක බලාගැනීමට අවස්ථාව සැලසීමෙන් ද,  කෘෂි පලදාව වැඩිවී, හොඳ මිලක් ලැබී ගොවියාගේ අතමිට සරු වේ.

 

අධ්‍යාපනය

පාසල් පද්ධතිය තුළ ඉගැන්වීම සාර්ථක ලෙස සිදු කිරීමෙන් හා අඛණ්ඩ ගුරු පුහුණු වැඩ සටහන් මගින් ගුරුවරුන්ගේ විෂයානුබද්ධ දැනුම හා ඉගැන්වීමේ ක්‍රම පිළිබඳ පරිචය හා ආකල්ප නිරන්තරයෙන් ඉහළ නැංවීමෙන් පාසල කාර්යක්‍ෂම හා පලදායි අධ්‍යාපන මධ්‍යස්ථානයක් හා උපදේශන ඒකකයක් බවට පරිවර්තනය කළ හැකිය. අධ්‍යාපනයේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් කිරීම* මගින් පෞද්ගලික උපකාරක පංති මාර්ගයෙන් කරනු ලබන අමතර ඉගැන්වීම අනවශ්‍ය වී ඒ සඳහා දරන වියදම හා කාලය ඉතිරි කරගත හැකි වේ. 2022 වර්ෂයේදී ගෘහ ඒකක විසින් උපකාරක පන්ති සඳහා දරන ලද වියදම රුපියල් බිලියන 160 කි.  (ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2019 ගෘහස්ත ආදායම් හා වියදම් සමීක්‍ෂණයේ දත්ත විශ්ලේෂනයෙනි.  2022 වර්ෂයේ උද්ධමනයට ගලපන ලදී).  2022 වර්ෂයේ අධ්‍යාපනය සඳහා වූ රජයේ වර්තන වියදම රුපියල් බිලියන 328 කි.

සිසුන් හා ගුරුවරුන් සඳහා විධිමත් පාසල් ප්‍රවාහන සේවාවක් ඇති කිරීමෙන් සහ පාසල් පරිසරය දරුවන් සඳහා සුරක්‍ෂිත කෙරෙන බවට වගබලා ගැනීමෙන්ද  දෙමාපියන් දරන වියදම හා කාලය ඉතිරි කරගත හැකි වේ. 

ගුරුවරුන් සඳහාද, කාර්යසාධන දර්ශක සහ පසු විපරම අදාළ කරගත යුතුය. 

*රටක ඉදිරි ගමනෙහි ලා අධ්‍යාපනය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ආර්ථික වෘද්ධියත්, සංවර්ධනයත් සඳහා, මානව හැකියා වැඩි දියුණු කිරීම මගින් රටට පලදායි ශ්‍රමිකයන් බිහිකර ගැනීම අරමුණු කරගත්, තෘතීය අධ්‍යාපන ඉඩ ප්‍රස්තා පුළුල් කෙරෙන, සම්පූර්ණ අධ්‍යාපන  ප්‍රතිසංස්කරණයක් අපට අවශ්‍ය වී තිබේ. 

 

සෞඛ්‍ය සේවාව

රෝහල්වල භෞතික ඉඩ පහසුකම් හා උපකරණ සම්පාදනයත්, කාර්ය මණ්ඩල පුහුණුව, ආකල්ප හා පෞරුෂ ප්‍රවර්ධනයත්, සඳහා රාජ්‍ය ආයෝජනය වැඩි කිරීමෙන් රෝග වැළැක්වීමේ සිට ප්‍රතිකාර කිරීම දක්වා වූ සෞඛ්‍ය සේවාවේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක මට්ටම ඉහළට ඔසවා නිරෝගී හා කාර්යශුර  ජනතාවක් බිහිකිරීමෙන් ආර්ථික වර්ධනය වේගවත් වනු ඇත.

 

පොදු ප්‍රවාහනය

කාර්යක්‍ෂම පොදු ප්‍රවාහන සේවයක් මානව සම්පත් මහමග නාස්ති වීම වළක්වයි. එමගින් කාර්යාල හා කම්හල් සේවකයින් සුව පහසු ලෙසත් නියමිත වෙලාවටත් සේවා ස්ථාන වෙතට පැමිණවිමෙන් වැඩ කළහැකි පලදායි කාලය වැඩි කරයි.  නිමැයුම වැඩි කරයි.   භාණ්ඩ ප්‍රවාහනයට, විශේෂයෙන් එළවළු හා පලතුරු ප්‍රවාහනයට දුම්රිය යොදා ගැනීමෙන්, විශේෂයෙන් රාත්‍රී දුම්රිය යොදා ගැනීමෙන් සහ කාර්යක්‍ෂම ලෙස ඇසුරුම් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමෙන් ගුණාත්මකභාවය තහවුරුවේ. පිරිවැයද ප්‍රවාහනයේදී සිදුවන නාස්තියද අඩු වේ. ආහාර ද්‍රව්‍යවල මිල අඩු වේ. සීඝ්‍ර වෙළඳපොළ ප්‍රවේශය පලදායි සම්පත් භාවිතයට අවශ්‍යම අංගයකි.  ඉන්ධන පිරිමැස්ම නිසා විදේශ විනිමය ඉතිරි වේ.

රජයේ අවසරය

විවිධ කටයුතුවලට අදාළ රාජ්‍ය අංශයේ අනුමත කිරීමේ, අවසරදීමේ, බලපත්‍රදීමේ, ගැටළු නිරාකරණය කිරීමේ ක්‍රියාදාමයන් කඩිනම් කළවිට ගණුදෙනු සීඝ්‍රගාමී වීමෙන් ආර්ථික ක්‍රියාකාරකම් ඉක්මනින් සිදුවේ. ව්‍යාපාර කටයුතු කිරීමේ පහසුව පෙන්වන දර්ශකයේ ඉහළ මට්ටමක් ලැබේ.  ආයෝජක ආකර්ෂණය ඉහළ යයි.

 

සිවිල් පරිපාලනය

සිවිල් පරිපාලනය කාර්යක්‍ෂම වන්නේ නම් සහ නවීන තාක්ෂණික උපාය මාර්ග පලදායී ලෙස උපයෝගී කර ගන්නේ නම් යම් වැඩක් කරගැනීමට කන්තෝරුවල රස්තියාදු වීම අනවශ්‍යවී ඉතිරිවන කාලය වෙනත් ආර්ථික කටයුතුවලට යෙදවිය හැකි වේ.  ගමනාගමන තදබදය අඩු වේ.  කළමනාකරණය පහසු වේ.

 

රාජ්‍යතාන්ත්‍රික සේවාව

රාජ්‍යතාන්ත්‍රික සේවාවන්හි වාණිජ අංශය දිරිමත් කර ඉලක්ක කරා මෙහෙයවීමෙන් දේශීය භාණ්ඩ හා සේවාවන් සඳහා අපනයන වෙළඳපොළ වර්ධනය කරගත හැකිවේ. විදේශ ආයෝජනය දිරි ගැන්වීම, ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික සහයෝගිතා සහ හවුල් ව්‍යාපාර, සංචාරක ප්‍රවර්ධනය හා විදේශගත සේවකයින්ගේ පහසුකම් සැලසීම  රාජ්‍යතාන්ත්‍රික සේවාවේ කාර්යසාධන මිණුම්වලට ඇතුළත් කළ යුතුය. 

 

අධිකරණය

ආංශික අධිකරණ පිහිටුවා ගැනීමෙන් සහ අධිකරණ ක්‍රියාවලිය සරල එකක් බවට පත් කිරීමෙන්, අධිකරණ ක්‍රියාවලිය කාර්යක්‍ෂමව ක්‍රියාත්මක වන්නේ නම් නඩුහබ ඉක්මනින් විසදී (විශේෂයෙන් ඉඩකඩම් ඇතුළු සම්පත්වල) අයිතිවාසිකම් තහවුරුවී, වගකීම් නිරවුල් වී, ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය වේ.  ව්‍යාපාර කටයුතු කිරීමේ පහසුව පෙන්වන දර්ශකයට වාණිජ අධිකරණ ක්‍රියාවලියද බලපෑමක් කරයි.

 

ප්‍රමිති නියාමනය

භාණ්ඩ හා සේවා ප්‍රමිති නියාමනය කරන සෞඛ්‍ය හා පාරිභෝගික අධිකාරීන් නිසිලෙස රාජකාරි කරන්නේ නම්, ජනතාව බාල හා අහිතකර භාණ්ඩ හා සේවා පරිභෝජනයට ගොදුරු වීමෙන් සිදුවන හානි, නාස්තිය හා දුක් ගැහැට වැළකෙයි.

 

මූල්‍ය නියාමනය

මහ බැංකුව ඇතුළු මූල්‍ය ක්‍ෂේත්‍රයේ නියාමන අධිකාරීන් විචක්ෂණ ලෙස, කඩිසරව හා විනිවිද භාවයෙන් යුක්තව සිය කටයුතු කරන්නේ නම් ප්‍රෝඩාකාරී මූල්‍ය ආයතනවලට රැවටී ඉක්මණට හා ලාබෙට පොහොසත් වීමට ගොස් උගුල් වලට හසුවන්නන්ගේ ඉරණම වෙනස් වී,  විධිමත් මුදල් සංසරණය සක්‍රිය වේ.

 

රාජ්‍ය ආදායම

රාජ්‍ය ආදායම් එකතු කරන දෙපාර්තමේන්තු (දේශීය ආදායම්, රේගු, සුරාබදු, මෝටර් වාහන) ප්‍රතිසංවිධානය කිරීමෙන් හා  අපහරණය මැඩ පවත්වා පලදායකත්වය ඉහළ නැංවීමෙන් ජාතික ආදායමෙහි රාජ්‍ය භාගය වන බදු ආදායම, මුළුමනින්ම එකතු කරගත හැකි වේ. බදු අනුපාත අඩු කිරීමටත්, රජයේ ණය බර සැහැල්ලු කරගැනීමටත්, පලදායක රාජ්‍ය ආයෝජන වැඩි කිරීමටත් හැකි වේ.   

 

සමුපකාරය

සමුපකාරය රාජ්‍ය අත්අඩංගුවෙන් නිදහස් කර සමාජ සහයෝගිතා ආර්ථික ක්‍රියාකාරිත්වයේ (Social Solidarity Economy) ප්‍රධාන බලවේගයක් බවට පත් කළ යුතුය.  එමගින් ජාතික නිෂ්පාදිතය වැඩි කරගත හැකිය. ජන සහභාගිත්වය 100% කින් ම ලැබෙන ආර්ථික අංගයක්  ගොඩනැගිය හැකිය.  

 

ආයූර්වේදය

ආයූර්වේද පර්යේෂණ නවීන ක්‍රම අනුව කරගෙන යාමට ඉඩ සැලසීමෙන් හා තත්කාලීන ප්‍රමිතීන්ට ගැළපෙන ලෙස  ඖෂධ නිෂ්පාදනය කිරීම දිරි ගැන්වීමෙන් දේශීය නිෂ්පාදිතය වැඩි කරගැනීමටත්, විදේශ විනිමය ඉතිරි කරගැනීමටත් හැකි වේ. එසේම විදේශ වෙළඳපොළ අල්ලා ගැනීමටද හැකිවේ.

 

මතු සම්බන්ධයි

(මීලඟට,

02. රාජ්‍ය පාලනයේ නවමාදිලිය)

ප්‍රකාශනය -

අර්ථ ගවේෂකයෝ, අංක 94-1/8, යෝර්ක් වීදිය, කොළඹ 01.

දුරකථනය - 070 629 2375

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි