SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූධය සම්බන්ධයෙන් ලියැවී ඇති “නව යුගයක පිවිසුම් මග -  ආණ්ඩු ක්‍රම වෙනස” කෘතිය 

‘අර්ථ ගවේෂකයෝ’ වරලත් ගණකාධිකාරීන් වන පී.ඊ.මැතිව් සහ සමාගමේ සමාජ වගකීම් ප්‍රකාශනයක් ලෙස නිකුත් වූ  වරලත් ගණකාධිකාරී ආර්.ඒ.ජයවීර විසින් සම්පාදිත කෘතියකි.

ඉරිදා සිට අප වෙබ් අඩවියේ එම කෘතිය කොටස් වශයෙන් දිග හැරෙන අතර, වර්තමාන ආණ්ඩුකරණයේ නියැලී සිටින්නන් විශේෂයෙන්ම එය පරිශීලනය කළ යුතු බව අර්ථ ගවේෂකයෝ සංවිධානයේ අදහස වී ඇත.

 

නව යුගයක පිවිසුම් මග -  ආණ්ඩු ක්‍රම වෙනස

(කෘතිය පිළිබඳ කෙටි හැඳින්වීමක්)

 

ජනවරමක් ලබාගෙන බලයට පත්වන කවර දේශපාලන පක්‍ෂයකට වුවද තම ප්‍රතිපත්ති හා වැඩ පිළිවෙළ ක්‍රියාවට නැංවීමට සිදුවන්නේ රාජ්‍ය නිලතන්ත්‍රය (state machinery)  හරහාය.  රාජ්‍ය නිලතන්ත්‍රයේ සැකැස්ම මගින්ම ඇතිකර තිබෙන අකාර්යක්‍ෂම භාවය හා උදාසීනකමත්, වැඩක් කරන පිළිවෙළ නොව නොකළ හැකි පිළිවෙළ කෙරෙහි අවධානය යොමු කරන ආරක්‍ෂණනවාදී ගති ලක්ෂණයත්, ආරෝපිත “ස්වාධීනත්වයත්”, වේගවත් ඉදිරි ගමනකට බාධාවකි. ජනවරමක් මගින් ලබා ගන්නා දේශපාලන අධිකාරය, පරිපාලන නීතිරීති හා සම්ප්‍රදායන් මගින් මෙල්ල කිරීමකට හෝ යටකර දැමීමකට ඉඩ නොතැබිය යුතුය. ඒ සමගම,  හිතුවක්කාරී ලෙස  දේශපාලන බලාධිකාරය ක්‍රියාත්මක කිරීමෙන් පරිපාලන හා මූල්‍ය අවිනයක් ඇති වීමකට ද ඉඩ නොතැබිය යුතුය.  

 

මේ උභතෝකෝටිකය  (dilemma) ජය ගන්නේ කෙසේද?  

 

ඒ සඳහා රාජ්‍ය යාන්ත්‍රණයේ සම්පූර්ණ ව්‍යුහාත්මක පරිවර්තනයක්/ප්‍රතිව්‍යුහගත කිරීමක්  අවශ්‍යය. යටත් විජිත යුගයේ සිට පැවතෙන සිවිල් පාලන තන්ත්‍රයේ යම් යම් වෙනස්කම් කර තිබුණද, රට ඉහළ තලයකට ඔසවා තැබීමට උවමනා සක්‍රිය ජවබලය ඊට කාවැද්දිය හැකි පරිවර්තනීය වෙනස්කම් සිදුකර නැත. අප්‍රමාදව ක්‍රියාවට නැංවිය යුතු පරිවර්තනීය වැඩ පිළිවෙල   ‘නව යුගයක පිවිසුම් මග - ආණ්ඩු ක්‍රම වෙනස’ ( Stepping into a New Era – A System Change) කෘතිය ඉදිරිපත්  කරයි. 

 

මේ පරිවර්තනය දේශපාලන පක්‍ෂවලට හා ආණ්ඩුවලට පමණක් ඉටු කළ නොහැකිය. මහජන බලයක් හා නොනවතින තෙරපුමක් ඊට අවශ්‍යය. 

 

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය පමණට වඩා විශාලයැයි ද,  එහෙයින් රාජ්‍ය සේවාව හකුළුවන්නට අවශ්‍යයැයි ද, ශ්‍රී ලංකාවේ ලෙඩ පරීක්‍ෂා කරන “වෛද්‍යවරු” කියති.  සේවක සංඛ්‍යාව හා වැටුප් වියදමද, රාජ්‍ය ආදායම හා දළ ජාතික නිෂ්පාදිතයද පාදක කරගෙන රටවල් අතර  රාජ්‍ය සේවාවන් සැසඳීම අර්ථවත් නොවේ. මක් නිසාද? සංවර්ධනාභිමුඛ අපගේ වැනි රටක රාජ්‍ය සේවාවේ කාර්ය භාරය බෙහෙවින් වෙනස් බැවිනි.  අප සැලකිලිමත් විය යුත්තේ, වියදම ගැන නොව, වියදමට සරිලන ප්‍රතිලාභ ලබා ගැනීමට අසමත් වීම ගැනය.

 

පරිවර්තනය කරනු ලැබූ  රාජ්‍ය යාන්ත්‍රණයේ බල මහිමයෙන්  ජනතාවගේ ජීවන මට්ටම ඉහළට එසවීම, රාජ්‍ය වියදම් අඩු කර ගැනීම,  ජාතික ආදායමෙහි රාජ්‍ය භාගය වන බදු ආදායම මුළුමනින්ම එකතු කර ගැනීම හා බදු අනුපාත අඩු කිරීම, ණය උගුලක නොවැටී රට කරවීම, ආදායම් හා ධනය බෙදීයාමේ විෂමතා ජයගැනීම සහ වංචා හා දූෂණ අවම කර ගත් පිවිතුරු රටක් බවට පත්වීම යන ඉලක්ක සපුරා ගත හැකිය.

 

කෘතියේ ඉස්මතුවී පෙනෙන කරුණු කීපයක්  

 

01). මෙම කෘතියේ සඳහන් කරන, වැඩි දෙනෙකු දරන මතයට වෙනස් කරුණක් වන්නේ රාජ්‍ය අංශයට සැළකිය යුතු සුවිශාල වැඩ කොටසක් කළ හැකි බවය.  බොහෝ දෙනා කථා කරන්නේ රාජ්‍ය සේවය කෙට්ටු කළ යුතුය කියාය.  රාජ්‍ය අංශයට කළහැකි හා කළයුතු වැඩ කොටස මෙහි පළමුවන පරිච්ඡේදයේ 5 වන උප මාතෘකාව වන "රාජ්‍ය සේවාවේ බල මහිමයෙන් ආර්ථිකය නැංවීම" යටතේ දක්වා ඇත (14 පිටුව හා 22-26 පිටු). බල මහිමය පෑමට හැකිවනු පිණිස රාජ්‍ය යාන්ත්‍රණය සම්පුර්ණ පරිවර්තනයකට ලක් කළ යුතුය. 

 

02). රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළත කළ යුතු වෙනස්කම් 3 පරිච්ඡේදයේ දක්වා ඇත.

 

03). රාජ්‍ය සේවක සංඛ්‍යාවවත් හරියට දක්වන්නේ නැතිව, බොහෝ දෙනා රාජ්‍ය සේවාවේ බර රටට දැරිය නොහැකියයි ඝෝෂා නගති.  ඔවුන් කථා කරන්නේ රාජ්‍ය සේවාවේ සිටින ලක්‍ෂ 14 – 15 ක් ගැනය.  2023 මහබැංකු වාර්තා අනුව මේ ගණන ලක්‍ෂ 11.4 කි.  (මෙම කෘතියේ පළමු පරිච්ඡේදය 21 පිටුව) ලක්‍ෂ 14 – 15 ක් සෑදෙන්නේ ත්‍රිවිධ හමුදා සහ රාජ්‍ය ව්‍යවසායයන් හි සේවක සංඛ්‍යාවත් සමගයි.  ඔවුන්ගේ සේවය සම්පුර්ණයෙන් වෙනස් එකකි.  වෙනම සළකා බැලිය යුත්තකි. 

 

04). බොහෝ දෙනෙකු මහ හඩින් ඝෝෂා කරන තවත් කරුණක් වන්නේ වංචා-දූෂණ ඇල්ලීමයි.  මේ ඝෝෂාව අසා සිටීමට වැඩි දෙනෙක් කැමතිය.  එහෙත් සාධනීය ක්‍රමවේදයක් ඉදිරිපත් කරන කෙනෙක් නැත. කරන ලද  වංචා-දූෂණ කෙසේ වෙතත්, ඉදිරියේදී මහා පරිමාණ වංචා-දූෂණ වැළැක්වීමට හැකිවන ලෙසට රාජ්‍ය යාන්ත්‍රණයට එකතු කළයුතු ප්‍රධානම ආයතනික ව්‍යුහයක් වන්නේ ‘ජාතික සැලසුම් සභාව’යි.  2 පරිච්ඡේදයේ 3 උප මාතෘකාව 30–34 පිටු.

 

05). රාජ්‍ය ආදායම පැහැර ගැනීම ද වංචාවකි.  රාජ්‍ය අදායම් අධිකාරියක් පිහිටුවීම 2 පරිච්ඡේදයේ 4 උප මාතෘකාව යටතේ සාකච්ඡා කර තිබේ. (35-37 පිටු.  එකතු කර ගත යුතු මුළු ආදායමට අගතියක් නොවන ලෙස අපට බදු අනුපාත අඩු කළ හැකිය.

 

06). රාජ්‍ය සේවකයා වැඩෙහි නිරත කරවනු පිණිස ඔහු පසුපස හඹායන තෙරපුම විය යුත්තේ කාර්යසාධනය යි.  කාර්ය සාධනය මැන බලා අධීක්ෂණය කිරීමට කාර්යසාධන අධිකාරියක් ස්ථාපිත කළ යුතුය.  (2 පරිච්ඡේදය 6 වන උප මාතෘකාව 39 පිටුව).

 

07). බරපතල ජාතික ව්‍යසනයක් වන පොදු දේපල නොතකා හැර තිබීම 2 පරිච්ඡේදයේ 7 උප මාතෘකාවේ සාකච්ඡා කර තිබේ. පසුගිය දිනක අතහැර දමා ඇති ගොඩනැගිලි 1,500 ක් පමණ තිබේය යි පාර්ලිමේන්තු කමිටුවක් මගින් සඳහන් කර තිබුණි.

 

08). අමාත්‍යවරුන් හා අමාත්‍යංශ ගණන 20 ක උපරිමයකට සීමා කිරීමෙන් ලැබෙන්නේ මුදල් ඉතිරිවීමේ වාසිය පමණක් නොවේ.  වැඩ කටයුතු කාර්යක්ෂමවීම හා විනිවිද භාවය ප්‍රධානම වාසිය වේ.  (2 පරිච්ඡේදය - 1 උප මාතෘකාව)

 

09). අධිකරණය කාර්යක්ෂමවී ඉක්මණින් නඩුහබ විසඳන්නේ නම් ආර්ථික ක්‍රියාකාරීත්වය වේගවත් වේ.  උදාහරණයක් ලෙස ඉඩම් නඩු නොවිසඳී තිබෙන විට ඊට විෂය වූ ඉඩමේ කිසිදු ආර්ථික කටයුත්තක් නොකර තිබීම දැක්විය හැකිය.  (2 පරිච්ඡේදය 8 උප මාතෘකාව)

 

10). 3 පරිච්ඡේදයේ සඳහන් පුරවැසි ප්‍රඥප්තිය ප්‍රජාතන්ත්‍රවාදයේ නව විවර කිරීමකි.  රාජ්‍ය තන්ත්‍රයේ හිමිකරුවා හා පාරිභෝගිකයා වන්නේ පුරවැසියාය.

 

11). අභ්‍යන්තර සීරුමාරු යටතේ දක්වා ඇති විශේෂ සටහන (47 පිටුව) 1966 ට සම්බන්ධ සිද්ධියක් වුවද අදත් තත්ත්වය එසේමය.

 

12). 50 පිටුවේ දැක්වෙන විමධ්‍යගත කිරීම හා කුඩා ඒකක ඇති කිරීම සිංගප්පූරු අත්දැකීමක් ද වේ.  (20 පිටුව).

 

13). ඒකාබද්ධ සේවා වෙනුවට සංවෘත සේවා (පිටු 50 – 51) ආන්දෝලනයකට ලක්විය හැකිය.  නමුත් ප්‍රතිපල නෙලා ගැනීමට, හොඳ දේ කළ යුතුය.  රාජකාරි ආකෘතිය වෙනුවට ව්‍යාපෘති ආකෘතිය යටතේ දක්වා ඇති ගමනාගමන උදාහරණය 1996 දී සැබෑ ලෝකයේ අත්දුටුවකි. නිකවැරටියේ බෝගසකින් බුදුරැස් විහිදෙනවා කියා එය බලන්නට  ලංකාවේ දස දෙසින් නිකවැරටිය දක්වා බස් ධාවනය විය.

 

14). සම්පත් භාවිතය හා අත්පත් කර ගැනීම යටතේ දක්වා ඇති කරුණු (පිටු 53 – 57) වංචා - දූෂණ වැළක්වීමේ අරමුණ සාක්‍ෂාත් කර ගැනීමට ඉවහල් වන ඒවාය.  මේ යටතේ දක්වා ඇති ආණ්ඩුවේ වාහන අවභාවිතය විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.  (57 පිටුව)

 

15). 3 පරිච්ඡේදයේ , 6 වන උපමාතෘකාව (60 – 62 පිටු) වෙන් වන්නේ පුරවැසියා රාජ්‍ය පාලනයට සම්බන්ධ කර ගැනීමටය.  එය ප්‍රජාතන්ත්‍රවාදය මැතිවරණ වලින් ඔබ්බට ගෙනයාමේ සාධනීය පියවරකි.  මේ අංශයට බරවූ අත්හදා බැලීම් මීට පෙර කර තිබේ.  1970 දශකයේදී අත්හදා බැලූ උපදේශක කමිටු හා ජනතා කමිටු සීමාව ඉක්මවා ගිය බව කියනු ලැබේ.  නමුත් අඩිතාලම හරියාකාරව වැටුන විට ඒවා නිසි මගට ගත හැකිය.

 

16). 6 පරිච්ඡේදය වෙන්වී ඇත්තේ දේශපාලනඥයාගේ කාර්යභාරය ගැනය.  මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා දරන ඇතැම් අදහස් වලට පදනමක් නැත.  උදාහරණයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ අවම අධ්‍යාපන සුදුසුකම් හෝ උපරිම වයස නියම කරන්නට යාම දැක්විය හැකිය.  විභාග වලින් මනින්නට පුළුවන් කුමක්ද?

 

17). 6 පරිච්ඡේදයේ 9 උපමාතෘකාව වන “දේශපාලනඥයා බේරා ගනිමු” යන්නට ඉංග්‍රීසි පරිවර්තනයේදී දී ඇති නම Fish rots from the head කියාය.

 

18). ඉස්මතු කර දැක්විය හැකි කරුණු වලින් 18ක්  පොතේ පසුපස කවරයේ පෙළ ගස්සවා ඇත.

 

19).  “ස්වාධීන රාජ්‍ය සේවය” යන්න ද තවත් ප්‍රලාපයකි. (81 පිටුව). මහාචාර්ය විශ්වා වර්ණපාලගෙන් උපුටාගත් ඡේදය (18 පිටුව) බලන්න.

 

20). 4 වන හා 5 පරිච්ඡේද වලින් රාජ්‍ය ගිණුම්කරණයේ කළයුතු පරිවර්තනයත් රාජ්‍ය සේවක කුසලතාව නැංවීමත් සාකච්ඡා කර තිබේ.

 

21). උසස් තනතුරු වලට පත් කිරීම සඳහා සුපිරි රාජ්‍ය සේවාවක් පිහිටුවීම ගැන 76 පිටුවේ සාකච්ඡා කර ඇත.   ජ්‍යෙෂ්ඨත්වය අනුව පඩිපෙල නැගීමකට සීමා නොවී දක්ෂ තරුණ නිලධාරීන්ට ඉඩ දීමක් මෙහිදී කළ යුතුය.

 

22). මේ කෘතියේ දක්වා ඇති ඇතැම් යෝජනා ක්‍රියාත්මක කරන්නට යෑමේදී ප්‍රතිවිරෝධතා ඇතිවීම නොවැළක්විය හැකිය.  නමුත් ඔත්පලව, නිදි බරව සිටින යෝධයාගෙන් වැඩ ගැනීමටත්, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට එසවීමටත් එම පරිවර්තනය කළ යුතුය.  10 පිටුවේ අවසාන ඡේදය බලන්න.

 

@ ආර්.ඒ.ජයවීර

(මතු සම්බන්ධයි)

 

ප්‍රකාශනය -

අර්ථ ගවේෂකයෝ, අංක 94-1/8, යෝර්ක් වීදිය, කොළඹ 01.

දුරකථනය - 070 629 2375

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නවතම ලිපි