ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය දා ලබා දුන් අතුරු තහනම් නියෝගයට අනුව
පොලිස්පති දේශබන්දු හට තම දූරයේ කටයුතු කල නොහැකි අතර පවතින ආණ්ඩුවට අවශ්‍ය නම් නව පොලිස්පතිවරයෙකු පත් කිරීම හෝ නොකිරීම සිදු කල හැකිය. තීන්දුව සරලව එසේය.
යම්කසි හෙයකින් පොලිස්පති දූරයේ කටයුතු කරන ලද පුද්ගලයා මියගියේ නම් ආණ්ඩුව විසින් නව පොලිස්පතිවරයෙකු හෝ වැඩ බලන පොලිස්පතිවරයෙකු ලෙස අදාළ නිලයට සුදුස්සෙකු පත්නොකරන්නේ ද? එසේ නම් මේ මොහොතේ දේශබන්දු නමැති පුද්ගල සාධකය ආණ්ඩුවට මෙතරම් අවශ්‍ය සහ වැදගත් වී ඇත්තේ ඇයි?
එයම තවත් ආකාරයකින් විමසන්නේ නම්, ප්‍රජාතන්ත්‍රවාදය නමැති ව්‍යාජ ගොඩනැංවීමට අනුව (මේ පිළිබඳව අවබෝධය සඳහා අපගේ ප්‍රජාතන්ත්‍රවාදය ලිපි පෙළ කියවන්න; සබැඳිය: http://www.spartacus.lk/democracy/2022/), ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලව, අධිකරණය විසින් අතුරු තහනම පනවා ඇත්තේ රජයේ රැකියාවක නියුතු දේශබන්දු නමැති පුරවැසියා හට මිස පොලිස්පති නමැති දූරයට නොවේ. නමුත් ආණ්ඩුවට ද මේ මොහොතේ වැදගත් වී ඇත්තේ දේශබන්දු නමැති පුරවැසියා මිස පොලිස්පති නමැති දූරය නොවේ. එසේ නම් දේශබන්දු නමැති පුද්ගල සාධකය සඳහා ඉතා විශාල වැදගත් කමක් තිබිය යුතුය. එය එක්කෝ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මේ මොහොතේ නැතුවම බැරි පුද්ගල සාධකය දේශබන්දු ලෙස විද්‍යාත්මක හඳුනාගැනීමක් විය යුතුය. එම වැදගත්කම හෝ වටිනාකම යනු පාතාලයට එරෙහිව සිදු කරන මෙහෙයුම් බව උලුප්පා පෙන්වීමට මේ දිනවල ආණ්ඩුව උත්සාහ කරමින් සිටී. ඒ සඳහා සංඝ එකමුතුවක් ද ගොඩනගා මාධ්‍ය හමු පවත්වමින් තිබේ.
පසුගිය සමයේ දියත් වූ "යුක්තිය" මෙහෙයුම සඳහා මධ්‍යම පාන්තිකයින්ගේ විශාල කැමැත්තක් හිමිව තිබේ. මධ්‍යම පාන්තිකයින් යනු වැඩි තොරතුරු විමසීමක් නොකරන, විචාරවත් නොවන, තම පවුලේ අභිවුර්ධිය වෙනුවෙන් නිරතුරු වෙහෙසෙන, විශේෂයෙන්ම තම දරුවන් පිළිබඳව නිරන්තර බියෙන් පසුවන, තාප්ප වලින් වට වූ නිවෙස් වල වෙසෙන, CCTV කැමරා වල ආරක්ෂාව ලබන, දරුවන්ගේ අධ්‍යාපනය ජීවිතයේ එකම අරමුණ කරගත්, ඉතා අවිවේකි, දූවිලි වැදීමට අකමැති, සුවඳ ගසන මිනිසුන් කොට්ඨාශයකි.
ඔවුනගේ ජීවිත වලට, දේපල වලට, විශේෂයෙන්ම දරුවන් හට ඇති සුවිශාල යක්ෂයෙකු ලෙස පාතාලය සහ මත්ද්‍රව්‍ය මේ යුගයේ දී නැගී සිටී. පාතාලය සහ මත්ද්‍රව්‍ය වෙළඳාම තුලින් ඍජුව නියෝජනය වනුයේ දුක්ඛිත ජීවිත ගතකරන, රෞද්‍ර, කලහකාරී, ගඳ ගසන, නූගත්, අවලස්සන, මුඩුක්කු වාසීන් හෝ එවැනිම පහලම සමාජ කොටස්ය. මධ්‍යම පාන්තිකයාට අවශ්‍ය වන්නේ එවැනි පහල සමාජ පිරිස් වෙතින් තමන් හට කරදරයක් නොමැති ලෝකයකි. නමුත් තමන් මධ්‍යම පාන්තික වී ඇත්තෙම ඔවුන්ගේ පැවැත්ම විසින්ම බව ඔවුන් නොදන්නා දැනුමකි.
"යුක්තිය මෙහෙයුමේ" දී ඔවුනට පෙනෙන සහ ඇසෙන දෙය වන්නේ යක්ෂයින්, භූතයින් වැනි නාවර පෙරා ගත ගඳ ගසන පහල සමාජ පිරිස් අත්අඩංගුවට පත්වන බවය. සැබවින්ම පාතාලය මර්ධනය කරනවා ද, යන්න විමසා බැලීමට වඩා අවිචාරවත් මධ්‍යම පාන්තිකයා ගමන් කරනුයේ නීතියේ පිළිවෙලෙහි හෝ ගෙන නොගොස්, අත්අඩංගුවට පත්වන්නන් ක්ෂණිකව මරා දැමීම ඉතා යහපත්ය යන හැඟීම කරාය.
එහිදී මධ්‍යම පන්තිකයාට අනුව තමන් හෝ තම පවුල් වල කිසිවෙකුත් කිසි ලෙසකින් එවැනි අත්අඩංගුවට පත්වීම් වලට හෝ මරා දැමීම් වලට පත්විය නොහැකිය. ඒ ඔවුන් එවැනි අනීතික, අපරාධ ක්‍රියාවන් සිදු නොකරන උගත් සුසිල්වත්, සුපිරිසිදු, ආගමානුකූල, ගුණ යහපත් පුරවැසියන් බැවිනි. මෙහිදී ආර්ථිකමය වශයෙන් ඉහල, පහල හෝ මාධ්‍යන්හ වශයෙන් මධ්‍යම පාන්තික වීමට වඩා (ඒ සියල්ල ද ඇතුලත්ව) පුළුල් අර්ථයෙන් මධ්‍යම පන්තිය යනුවෙන් සලකනුයේ මධ්‍යම පාන්තික වශයෙන් තම ජීවිත ගෙන යන අය සහ මධ්‍යම පාන්තික වීමේ අශාවෙන් පසුවන අයයි.
පාතාලය යනු දේශපාලනය-නීතිය/පොලීසිය සහ අපරාධ ලෝකය අතර සහයෝගී සහ සුසංයෝගී අන්තර් සහසම්බන්ධයට පටබැඳ ඇති කෙටි නමයි. එම අර්ථයෙන් පාතාලය උපත ලබනුයේ ඉතාලියේය. එම ත්‍රිත්වයේ අන්තර් සම්බන්ධයක් නොමැතිව පාතාලයක් පැවතිය නොහැකිය. නමුත් බොහෝ මධ්‍යම පාන්තිකයින් හට එම අවබෝධය නොමැත. එසේ අවබෝධය තිබුනා වුව ද ඔවුනට එය අදාළ නොවේ.
යුක්තිය මෙහෙයුම තුලින් මධ්‍යම පාන්තිකයින් තුල ආණ්ඩුව කෙරෙහි සුපහන් හැඟීමක් ඇති වී තිබීම, ජනාධිපතිවරණය සඳහා තවදුරටත් අදාල කර ගැනීම සඳහා දේශබන්දු පොලිස්පති දූරයේ තබා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව මෙතරම් උත්සුක වී ඇතැයි සිතිය නොහැක. ඊටම සම්බන්ධ ඊට එහා ගිය දේශබන්දුටම පමණක්ම ක්‍රියාත්මක කල හැකි සැලසුමක් ජනාධිපතිවරණයට අදාලව තිබීම මිස වෙනත් කිසිවක් විසින් ආණ්ඩුව දේශබන්දු දූරයේ තබා ගැනීමේ වත්මන් උත්සාහයේ තත්වයට ඇද නොදමනු ඇත. එනම්, වෙනත් පොලිස්පතිවරයෙකු පත්කොට ගෙන අදාළ සැලසුම කෙසේවත් ක්‍රියාත්මක කල නොහැකි තත්වයක් පවතින බැවිනි. ඒ සඳහා ඔහුටම අදාළ, ඔහුටම මෙහෙයවිය හැකි සංවිධානමය හෝ පුද්ගල සබඳකම් තිබිය යුතු අතර, තත්වය එසේ නම් ඊට අදාලව පොලිස් දෙපාර්තුමේන්තුව මෙහෙයවීම සඳහා නිල ලිඛිත නියෝග දීමේ හැකියාව ඇත්තේ ඔහුටම පමණකි. මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, පොලිස්පති දූරයේ ක්‍රියා නොකොට එළියේ සිට මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම දේශබන්දුට කල හැකි වුව ද ඒවා නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා වෙනත් පොලිස්පති වරයෙකු ඉදිරිපත් නොවුනු ඇත.
2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ජය තහවුරු කිරීමට මෙන්ම 2010 ජනාධිපතිවරණයේදී ද ඔහුගේ ජය තහවුරු කිරීම සඳහා කේන්ද්‍රීය සාධකය වූයේ LTTE සංවිධානයයි. රාජපක්ෂ රෙජීමය විසින් දිගින් දිගටම LTTEය සම්බන්ධයෙන් මධ්‍යම පාන්තික බිය නඩත්තු කිරීමට උත්සාහ කල ද කාලයාගේ ඇවෑමෙන් එය නැවත භාවිතා කල නොහැකි පරිදි කල් ඉකුත් විය. ඉන් පසුව පැමිණියේ මුසොල්මානු විරෝධයයි. එහි උපරිමය පාස්කු දින ප්‍රහාරයෙන් සනිටුහන් විය. ඉන් පසුව එය ද බලය ලබා ගැනීමේ දේශපාලනය සඳහා යොදාගත නොහැකි ආකාරයෙන් යල්පැන ගොස් ඇත. එනම්, සිංහල-බෞද්ධයාගේ ප්‍රමෝදය සොරකම් කරනා දෙමළා හෝ මුසොල්මානුවා 2022 වසරෙන් පසුව අධ්‍යතන දේශපාලනයේ බලය පිළිබඳව සාධකයට අදාළ කර ගත නොහැකි තත්වයක් උදා වී ඇත. ඉන් පසුව ඒ වෙනුවට ප්‍රභල ලෙස ආදේශ වූයේ රාජ්‍ය මුදල් සහ දේපල සොරකම් කරන්නන්, වංචා කරන්නන් සහ දූෂිතයින්ය. එනම් සුසංවාදී ජාතික රාජ්‍යය සාක්ෂාත් කොට ගත නොහැකිව ඇත්තේ වංචා, දූෂණ සහ සොරකම් හේතුවෙනි. එම කතිකාව ප්‍රබල ලෙස සංස්ථාපනය කරන ලද්දේ මාලිමාව විසිනි. මාලිමාවේ ඡන්ද පදනම සකස් වී ඇත්තේ එම කතිකාව තුලය.
ඉහත විස්තර කරන ලද තත්වය තුල පාලක ප්‍රභූ දේශපාලන තන්ත්‍රය සඳහා ඉතිරිව ඇති එකම තුරුම්පුව වන්නේ පාතාලයට එරෙහි යුද්ධයක් ආරම්භ කිරීම සහ පාතාලයේ ප්‍රබලත්වය හුවා දැක්වීමයි.
ක්ලබ් වසන්ත ඝාතනය සිදු වූයේ මෙරට සිදු වූ අනෙකුත් පාතාල ඝාතන වලින් සපුරා වෙනස් ස්වභාවයක් තුලය. ක්ලබ් වසන්ත යනු කිසිඳු විශේෂ ආරක්ෂාවක් නොමැතිව නිදහසේ සිටි පුද්ගලයෙකි. ඔහුට පාතාල තර්ජන තිබූ බවක් පෙනෙන්නට නොතිබුණි. එසේ නිදහසේ සිටි පුද්ගලයෙකු මරා දැමීම සඳහා විශාල ලෙස වියදම් කොට, ඉතා සූක්ෂ්ම සැලසුමක් දියත් කොට තිබුණි. එනම්, ටැටූ කරුවෙකුට ටැටූ සැලොනයක් සඳහා වියදම් කිරීම, ඔහුට ලක්ෂ දහයක් දීම, ඝාතනයට යොදාගත් වාහන තුනක් සඳහා වියදම් කිරීම, ඉතා හොඳින් පුහුණුව ලත් වෙඩික්කරුවන් දෙදෙනෙකු යොදා ගැනීම සහ තවත් වෙඩික්කරුවෙකු සූදානමින් මෝටර් රථයේ සිටීම වැනි ලෙසය. එසේම ඝාතන ස්ථානයට කිලෝ මීටරයක් පමණ දුරින් පොලිස් ස්ථානය පිහිටා ඇති ස්ථානයක් ඝාතනය සඳහා යොදා ගෙන තිබුණි.
ක්ලබ් වසන්ත යනු පසු ගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා ඉතා ජනප්‍රිය වූ පුද්ගලයෙකි. ඔහුගේ ජනප්‍රියත්වය සමාජ ජාල භාවිතා කරන සෑම තරාතිරමකම පුරවැසියන් කරා කාන්දු වී තිබුණි. එසේම සැලොනය විවෘත කිරීම සඳහා ජනප්‍රිය ගායිකාවකට සහ අගේ සැමියා වන පැවිදි සමයේ ඉතා ජනප්‍රිය පුද්ගලයෙකු හට ද ආරාධනා කර තිබුණි. වෙඩි තබන අවස්තාව වන විට ටැටූ කරුවා සිටිනුයේ අල්මාරියකට හෝ බිත්තියකට මුවා වී වෙඩි නොවදින ආකාරයටය. වෙඩික්කරුවන් දෙදෙනා පැමිණෙන විට ඔහු එබී බලා ඊට හොඳින් මුවා වේ. ඉන් පෙනී යන්නේ සියල්ල ඔහු දන්නා බවය.
මීට පෙර ක්ලබ් වසන්ත තරම් ජනප්‍රිය පුද්ගලයෙකු පාතාලය විසින් ඝාතනය කොට නොතිබුණි. එසේම කේ සුජීවා වැනි ජනප්‍රිය ගායිකාවකට වෙඩි තබා හෝ පාතාලයට හෝ ජාවාරම් වලට කිසිඳු සම්බන්ධයක් නොමැති අගේ සැමියා වැනි අය ද ඝාතනය කොට නොමැත. මින් පෙර ඝාතනය කල යුතු පුද්ගලයාගේ බිරිඳට හෝ වෙනත් නෑදෑ හිතවතුන්ට පාතාලයෙන් මෙලෙස වෙඩි තබා නොමැත. ඒ අනුව බලන කල මෙය වෙනස්ම ආකාරයේ පාතාල ක්‍රියාකාරකමකි.
දිනපතා සිදුවන පාතාල ඝාතන සාමාන්‍ය ජනයා දැනගනුයේ අහම්බෙනි. අති බහුතර ශ්‍රීලංකා වාසීන් එසේ මිය යන අය පිළිබඳව හාන්කවෝසියක් නොදනී. නමුත් ක්ලබ් වසන්ත සිද්ධිය එසේ නොවේ. එය මුළු මහත් ලාංකීය සමාජය තුල කතා බහට ලක් වූ සිද්ධියක් බවට පත්විය. ඒ ඔවුනගේ ජනප්‍රියතාවය හේතුවෙනි.
ඝාතනය කල යුත්තේ වසන්ත නම් ඔවුනට වසන්ත ඝාතනය කොට පහසුවෙන් පලා යාමට හැකියාව තිබියදී ටී 56 තුවක්කු දෙකකින් වෙඩි වරුසාවක් එල්ල කරයි. පොලිස් ලොක්කන්ම පවසන ආකාරයට ඔවුන් ඉතා හොඳ පුහුණු වෙඩික්කරුවන්ය. එසේ එවැනි පුහුණු වෙඩික්කරුවන් හට ඉතා ළඟ සිට ඉලක්කයට වෙඩි තැබීමේ අපහසුවක් නොමැත. අවශ්‍ය නම් වසන්ත ළඟටම ගොස් ඔහුගේ හිසටම වෙඩි තැබීමේ හැකියාව තිබුණි. නමුත් එසේ නොකොට සිව් දෙනෙකුට වෙඩි වදින සේ වෙඩි වරුසාවක් තබා පලා යයි.
ආරක්ෂාවක් නොමැතිව නිදහසේ සැරි සැරූ පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා මෙතරම් සැලසුමක් අවශ්‍ය ද? එසේම පිස්තෝලයක් භාවිතයෙන් කල හැකිව තිබූ ඝාතනය සඳහා ටී 56 දෙකක් භාවිතා කලේ ඇයි? ජනප්‍රිය ගායිකාවකට ද විවෘත කිරීමේ අවස්ථාවට ආරාධනා කරන ලද්දේ ක්ලබ් වසන්තගේ ජනප්‍රියත්වය මදි බැවින් ද? සිව් දෙනෙකුටම වෙඩි තැබූයේ පාතාලයේ සාහසිකත්වය ප්‍රකට කිරීම සඳහා ද?
ඝාතනය සැලසුම සකස් කොට ඇත්තේම ක්ලබ් වසන්තට අමතරව ඔහුගේ බිරිඳ මෙන්ම කේ සුජීවා සහ අගේ සැමියා ද ගෙන්වා ගැනීමේ අරමුනෙනි. එනම් ටී 56 දෙකක් යොදා ගනුයේ සහ සිව් දෙනෙකුටම වෙඩි තබනුයේ ඝාතනයේ සාහසිකත්වය උපරිම කිරීම සඳහාය. ඉන් පසු ප්‍රධාන ප්‍රශ්නය වන්නේ මේ අකාරයේ අවශ්‍යතාවයක් පාතාලයට තිබිය හැකි ද යන්නයි.
ඝාතනයෙන් අනතුරුව පොලීසිය පැහැදිලිවම ක්‍රියා කරනුයේ කන්ජිපානි ඉම්රාන් විසින් මෙය සිදුකල බව පෙන්වීම අරමුණු කොට ගෙනය. ඝාතනයෙන් පැය ගනනක් ඇතුලත ඝාතකයින්ගේ සම්බන්ධය ඉතා හොඳින් තහවුරු කොටගෙන ඇති බව පෙන්නුම් කෙරුණි. ටැටූ කරුවාගේ පාපොච්චාරණය ජන මාධ්‍ය වල විකාශය වන්නේ එම අරමුණෙනි. එසේම ඉන් පසුව කොළඹ පුරා කිසියම් පාතාල මර්ධන සංවිධානයක් විසින් පෝස්ටර් අලවයි. ඊට අමතරව මාකදුරේ මදුෂ්ගේ සොහොනේ බැනරයක් එල්ලන ලදී. නමුත් ඒවා කරන ලද කිසිවෙකුත් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන හෝ ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත් වූ වගක් හෝ සඳහන් නොවේ. මධුෂ්ගේ සොහොන පිහිටා ඇත්තේ එම ස්ථානයේ පිහිටි කීල්ස් ආයතනයේ කැමරා වලට හසු වන සීමාවක බව කියවේ. එසේම කොළඹ පෝස්ටර් අලවා ඇති ස්ථාන වල ද කැමරා නොතිබෙනවා යයි සිතිය නොහැකිය. නමුත් කිසිඳු පරීක්ෂණයක් සිදු කල බවක් හෝ උත්සාහ දැරූ බවක් හෝ දැනගන්නට නොමැත.
රනිල් වික්‍රමසිංහ තව වසරක් හෝ ජනාධිපති දූරයේ රැඳී සිටීමට දිගින් දිගටම දැරූ සියලු උත්සාහයන් සහ උපක්‍රමයන් අසාර්ථක විය. ඔහුට උපදෙස් ලෙස ලැබී තිබුනේ දිරච්ච ලනුය. එසේම ස.ජ.බ. වෙතින් කොටසක් කඩා ගත හැකිවේය යන බලාපොරොත්තුව ද දැන් බොඳව යමින් තිබේ. ඒ සියල්ලෙන් පෙනී යන්නේ හරියාකාර උපදෙසක් හෝ දීමට හැකි කෙනෙකු රනිල් ආසන්නයේ නොමැති බවය.
ඉහත විස්තර කරන ලද තත්වය හොඳින් තේරුම් ගැනීම සඳහා පස් වතාවක් මෙක්සිකානු ආණ්ඩුව කුමක්ද යන්න තීරණය වූ අකාරය සහ මෙක්සිකානු දේශපාලනය ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීම සඳහා El Chapo නෙට්ෆ්ලික්ස් රූපවාහිනී කතා මාලාව නරඹන්න.