SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාඨලී චම්පික රණවක විසින් රචිත ස්වයං ලිඛිත චරිතාපදානය වූ

“පටිසෝතගාමී තිස් වසක්” කෘතියේ හතරවන කොටස.

 

 

ජාතික දැහැනට සමවැදුණෙමු...

 

මරදාන, කුප්පියාවත්ත කලබලකාරී නාගරික පරිසරයක් වුවද විහාරස්ථාන භූමිය ඉතා නිසල, කදිම පරිසරයක් විය. එහි සිට අපි අපේ පිළිගැනීමට අනුව භික්ෂූන් වහන්සේ සමාජ කාර්යභාරයකට පෙළ ගැස්වීමට ඉටා ගතිමු. රතන හිමියන්ට විශ්ව විද්‍යාල සමයේ සිට තිබූ භික්ෂු සබඳතාත්, අන් අය සියල්ලන්ගේ සබඳතාත් එහිදී ප්‍රයෝජනවත් විය. ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි, මාඳුළුවාවේ සෝභිත හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වැනි ස්වාමින් වහන්සේලා මුල්කරගත් ජාතික සංඝ සභාව (1995) බිහිවීම එනයින් සිදුවිය. එහි මූලස්ථානය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පිහිටුවිණි.

 

කලකට ඉහත මහාචාර්ය නලින් ද සිල්වා, ඩී.අයි.ජී. ධර්මසේකර (දැන් අනගාරික ධර්මසේකරතුමා), මාඳුළුවාවේ සෝභිත හිමි යන තිදෙනාගේ මූලිකත්වයෙන් පක්ෂයක් පිහිටුවිය යුතු බවට ද යෝජනාවක් විය. එය ක්‍රියාත්මක වූයේ නැත. ඒ නිසා අපි 1989 මහා මැතිවරණයේ දී මහජන එක්සත් පෙරමුණට ක්‍රියාකාරීව සහාය දුනිමු. පසුව ශ්‍රී.ල.නි.පය තුළ තිලක් කරුණාරත්න, එස්. එල්. ගුණසේකර ආදීන් ගොඩනගාගත් “හෙළ උරුමය” කණ්ඩායමට හා ගාමිණී ජයසූරියගේ සිංහල ආරක්ෂක සභාවට සහාය දීමට පෙළඹුන ද දිගටම පෙනී ගියේ විධිමත් සංවිධානයක් නැතුව මෙකී නායකයින් අතනින් මෙතැනට, මෙතැනින් අතනට පාවී යන බවය. වරක් බෞද්ධ මහා සම්මේලනයේ සිංහල සමුළුවක් පැවැත්වූ අතර, (1995) ප්‍රසිද්ධ නිවේදක පාලිත පෙරේරා මගෙන් ඇසූයේ එයට සහභාගී වී සිටින එකම තරුණයා මා නිසා එයට හේතුව කුමක් ද? යන්නය. ඒ දිනවල සිංහලකම වෙනුවෙන් රැස්වීමකට හෝ ආවේ වැඩිහිටි උගත් පිරිසකි. මගේ ක්ෂණික උත්තරය වූයේ සිංහලකමට තරුණයින් පෙළගැස්සවීම සඳහා එහි ආ බවය. ඊළඟ අවුරුදු දෙකේදී ජාතික සංඝ සභාව හා එය යටතේ පිහිටුවනු ලැබූ ජාතික දහම් ගුරු සභාව යටතේ අපි සිය ගණන් නොව දස දහස් ගණන් ජාතික මනසක් ඇති තරුණ තරුණයින් අතරට යන්නට පටන් ගත්තෙමු.

 

මේ අතර, අපට මහා ඉදිරි පිම්මක් පැනීමට හැකි අවස්ථාවක් උදාවිය. එය නම් චන්ද්‍රිකා ආණ්ඩුව ‘ෆෙඩරල් පැකේජය’ 1995 අගෝස්තුවේ ගෙන ඒමය.

 

1991 සිට එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රීලංකාව ෆෙඩරල් රටක් කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබිණි. කලින් ද සඳහන් කළ පරිදි එයට මූලිකත්වය ගත්තේ මෙහි සිටි එක්සත් ජනපද තානාපතිනිය වූ ටෙරිස්ටා ෂේපර් මහත්මියයි. මේ සඳහා පදනම කරගත්තේ නීලන් තිරුචෙල්වම් මහතාගේ ජනවාර්ගික අධ්‍යයන කේන්ද්‍රයයි. පේරාදෙණිය හා කොළඹ සරසවියේ ආචාර්ය මහාචාර්ය පිරිසක් ද, රාජ්‍ය නොවන සංවිධාන මාධ්‍යවේදී පිරිසක්ද ශ්‍රී.ල.නි.පයේ හා එජාපයේ නායකයින් පිරිසක් ද එයට ගැටගැසී සිටියහ. 1995 චන්ද්‍රිකා - ප්‍රභාකරන් සාම ගිවිසුම හරහා මේ යෝජනාවලිය පෙරට ගැනීම ඔවුනගේ පළමු උපාය විය. සාමාන්‍යයෙන් අතීතයේදී වූ ලෙස යෝජනාවලියකට (1956 බණ්ඩානායක - චෙල්වනායගම්, 1965 - ඩඩ්ලි - චෙල්වා 1987 ජේ.ආර්. - රජිව්) විපක්ෂයේ විරෝධතාවය එල්ලවීම වැළැක්වීම සඳහා වරෙක ගාමිණී දිසානායක ද, ඊළඟට රනිල් වික්‍රමසිංහ ද ෆෙඩරල්වාදීන් ලෙස බෞතිස්ම කරනා ලදි. ප්‍රථම වරට ප්‍රධාන පක්ෂ දෙකම 1971 දී සාමූහිකව යෝජනා කළ ඒකීය භාවය පිළිබඳ ප්‍රතිපත්තිය 1995 දී ඉවත් කරනා ලදී.

 

ප්‍රභාකරන් හදිසියේ යුද වැදීම නිසා (1995 අප්‍රේල් 19) කලින් සැලසුම් කළ පරිදි පියවරින් පියවර ෆෙඩරල් ව්‍යවස්ථාව හඳුන්වාදීමේ වික්ටර් අයිවන් සැලැස්ම අවුල් විය. කොටි ත්‍රස්තයින්ගේ අවසන් ඉල්ලීම ලෙස ඉල්ලා සිටි පුනරින් කඳවුර ඉවත් කිරීමේ යෝජනාව අනුරුද්ධ රත්වත්තේ ඉවතලීමෙන් පසු අයිවන් හා උයන්ගොඩගේ පහසුකම් සැපයීමේ භූමිකාව ද අවසන් විය. එයට අපේ හමුදා එක`ගවූවා නම් අලිමංකඩ වැටෙන්නේ 1995 දීය. පසුව මෙහෙයුම් ආරම්භ වූ විට (රිවිරැස) ‘රාවය’ පුවත්පත ‘පුනරින් අනතුරේ’නම් ශීර්ෂ පාඨයක් ගෙනගිය අතර, එහි අරමුණ වූයේ යාපනයේ දෙපසකින් (පලාලි - අලිමංකඩ, පුනරීන්) කොටු වී විනාශ වීමට ගිය ත්‍රස්තයිනට පුනරින් හරහා යුද අවි රැගෙන පළා යෑමට මගක් සැපයීමය. ලේඛකයින්, කතෘවරුන්, ලෙස ක්‍රියා කළ කොටි මිතුරන්ගේ තත්ත්වය තේරුම් ගන්නට අපේ හමුදා නායකයෝ අසමත් වූහ. ප්‍රතිඵලය වූයේ යාපනයේ අවි තොග වන්නියට ගෙන ගොස් පසු කාලයක දී මුලතිව් වටකර විනාශ කිරීමට කොටින්ට හැකිවීමය (1996).

 

ප්‍රභාකරන්ගේ යුද වැදීම නිසා සිංහල විරෝධීහු සිය සැලසුම් වෙනස්කර ගත්හ. ඊළ`ග සැලසුම වූයේ යාපනය මුළුමනින්ම අල්ලාගෙන එහි ශක්තිය ද සමග ෆෙඩරල් ක්‍රමය ජයග්‍රාහී යුද සෙන්පතීන් අතින්ම පිළිගැන්වීමය. (1995 දෙසැම්බර්) මෙය පලස්තීන වෙනම රාජ්‍යයක් පිළිගැනීමේ, ඊශ්‍රායල යෝජනාව, එහි යුද වීරයෙකු වූ ‘යිට්සැක් රබින්’ අතින් ඉදිරිපත් කිරීමට සමාන ක්‍රියාදාමයකි.

 

1995 අගෝස්තු මස දිනෙක මා හමු වූ ජී.ඇල්. පීරිස් ඇමැතිතුමාගේ කාර්යාලයේ සේවකයෙකු කීවේ නව ෆෙඩරල් ව්‍යවස්ථාවක් තනා නිමකර ඇති බවය. යාපනය ජය ලබා එය ජයග්‍රාහී සිංහල මනසට ගිල්ලවීමට යන බව මම දැන ගතිමි. ඉක්මණින්ම එය හෙළි දරව් කිරීම සිංහල විරෝධී බටහිර න්‍යාය පත්‍රය අඩපණ කිරීමේ මග ලෙස දැක ගතිමි. පළමුව පැකේජයේ පිටපත් මාඳුළුවාවේ සෝභිත හිමි හා ඛෙල්ලන්විල විමලරතන හිමිවරුනට ලබාදුන් අතර, ඒ පිළිබඳ විග්‍රහයක් මවිසින්ම ලියන ලදි. දිවයින පුවත්පත එය හෙළි දරව් කළේය. ආණ්ඩුවේ උපාය මහත් අවුලක වැටිණි. එය මීට වඩා විධිමත්ව සිදුකිරීමට තිබූ බව පසුව අපට අවබෝධ වුවත් අපේ ‘ගරිල්ලා ප්‍රහාරය’ ආණ්ඩුවේ සැලසුම අවුල් කළේය.

 

සියලූ සිංහල සංවිධාන වහාම අවදි විය. ආණ්ඩුවේ මංගල සමරවීර සමග සිටි අයෙක් ඒ දිනවල මා හට කීවේ වයසක සිංහල ඕල්ඩ් බෝයිස්ල ටික නැගිට්ට වේගයෙන්ම නිඳාගනු ඇති බව ආණ්ඩුව කරවන තවලම ඇත්තන්ගේ මතය බවය. මේ දිනවල ජවිපෙ සිටියේ මංගල හරහා ආණ්ඩුවේද අනුග්‍රහය ලබාගනිමින් පක්ෂය සීඝ්‍රයෙන් ගොඩනගමින්ය. ඔවුන් ෆෙඩරල් පැකේජය ගැන ක්‍රියාකරන්නට ආවේ නැත. නමුත් මේ වනවිට සිංහල ජාතික ව්‍යාපාරයට එය ඇදගෙන යා හැකි භික්ෂු ව්‍යාපාරයක්, තරුණ කාඩරයක් හා අරමුදල් සැපයිය හැකි ව්‍යාපාරික ජාලයක් (සිංහල වීර විදහන) බිහි වී තිබිණි.

 

සිංහල වීර විදහන බිහි කරනු ලැබූවේ දිඹුලාගල නාහිමියන් ත්‍රස්තවාදීන් විසින්, ඝාතනය කිරීමෙන් පසු ඒ ගැන කම්පා වූ ව්‍යාපාරිකයන් සත්දෙනෙකු විසිනි. බී.ඒ.මහීපාල, කරූ හීනටිගල, චූලා ජිනදාස, කුලතුංග රාජපක්ෂ, සුරේන් අබේගුණසේකර එහිලා මූලික වූ අතර, සූරිය ගුණසේකර හා සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්වරු එය සංවිධානය කිරීමේ කාර්යයට මුල් වී සිටියහ. සිංහල වීර විදහන විසින්, සිංහල ව්‍යාපාරිකයන් ජාතික මතයකට එක්කර සංවිධානය කළ අතර, එයින් සිංහල ජාතික ව්‍යාපාරයට නව ජාලයක් මෙන්ම අරමුදල් සම්පාදනය ද සිදුවිය.

 

චන්ද්‍රිකා - මංගල - එස්.බී. තවලම - සුදු නෙළුම් හවුල, බටහිර එන්.ජී.ඕ. ජාලය, යූ.එන්.පීය හෝ ජේ.වී.පීය මේ තත්ත්වය නිරවුල්ව විග්‍රහ කරගත්තේ නැත. පළමුවරට තරුණ ක්‍රියාධරයින්, සංවිධායකයින්, බෞද්ධ භික්ෂූන්, අරමුදල් හා ජාලයක් සහිත සිංහල ජාතික ව්‍යාපාරයක බිජුවට පහලව තිබේ. අපි අවස්ථාව අත්නොහැරියෙමු. පළමුවෙන්ම අපි දැවැන්ත භික්ෂූ කැඳවීමක් ජාතික සංඝ සභාවෙන් කළෙමු. එය අතිශයින් සාර්ථක විය. ඊළ`ගට සියලූ සංවිධාන එක්කර ජාතික ඒකාබද්ධ සංවිධානය බිහිවිය. කීර්තිමත් විනිසුරුවරයකු වූ ආර්.එස්. වනසුන්දර එහි සභාපතිත්වයට පත්විය. එයට ගාමිණී ජයසූරියගේ  සිංහල ආරක්ෂක සංවිධානයට අත්වූ ඉරණම අත්නොවීම සඳහා අපි ක්‍රියාකාරී වුනෙමු. අපට පළමු විරෝධය ආවේ අපේ පැරැණි අතීත සබඳතාවලිනි. අපේ සංවිධාන ජාලය වඩාත් ශක්තිමත් එකක් වූ නිසා එවැනි හුදකලා ප්‍රශ්න කිරීම් පහසුවෙන් ඉවත් කළෙමු. නමුත් වඩාත් බරපතල ක්‍රියාදාමයක් ද ඇරැඹී තිබිණි. එනම් යූඑන්පීයේ උපායයයි. රනිල්, ලියම් ෆොක්ස් සමග එකතු වී චන්ද්‍රිකා සමග මොන ගිවිසුම් ගැසුවත් පක්ෂයේ ප්‍රතිපත්තිය සියුම්ව වෙනස් කළත්, ආණ්ඩුව ගැන වෛරයෙන් පසුවන කොටස් විශේෂයෙන්ම කොල්ලූපිටියේ ප්‍රභූ පිරිස් පවා අනුක්‍රමයෙන් මේ නවීණ ජාතික ව්‍යාපාරයට ඇතුළු වෙමින් සිටියහ. මුලින් රනිල් එයට බාධා කළ ද පසුව සියුම් උපායක් ගනිමින් තිනියාවල පාලිත හිමි ප්‍රමුඛ පිරිසක් එයට ඇතුළු කළේය. අපි මුල සිටම මෙය දැක ගතිමු. ඉතා වේගයෙන් එකතුවන පිරිස් මතවාදී තලයකට ගැනීම අපේ ඉලක්කය විය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වූ තිස්ස විතාරණ - එස්. එල්. ගුණසේකර හා මා සහභාගී වූ (එයට සහභාගී වීමට අපේ ඇතැම් සිංහල විද්වතුන් බිය වූ අතර, මා සහභාගී වූයේ ඒ නිසාය) විවාදයෙන් පසු අපේ අරගලය කූඨ ප්‍රාප්ත විය. ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්, විද්වතුන් ඇතුළු බොහෝ තරුණ පිරිස් කීවේ සිංහලයින්ට නව නායකත්වයක් දැන් ලැබී ඇති බව ඔවුනට සහතික වී ඇති බවය. ඒ දිනවල අපට ඉඩකඩක් ලබාදුන් එකම නාළිකාව ටී.එන්.එල් වූ අතර, වැඩසටහන ජනහඩ විය. මම නිරතුරුවම මේ විවාදවලට ගියෙමි. පසුව අනෙක් නාළිකාවලට ද සම්බන්ධ වුනෙමි. විද්‍යූත් මාධ්‍ය විසින් විවෘත කර තිබූ නව වටපිටාව ද අපි අතික්‍රමණය කළෙමු. අනුක්‍රමයෙන් පූර්ණ ජාතික ව්‍යාපාරයක් බවට අපි සිංහල ජාතික ව්‍යාපාරය පත්කළෙමු. පුවත්පත් ලිපි, වාද විවාදවලින් ඔබ්බට ගිය මහ පොළොවේ පිහිටුවනු ලැබූ මහජන ජාලයක් බවට එය පත්විය.

 

නමුත් කොටි සංවිධානය අපට වඩා වේගයෙන් වැඩ කළේය. ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයුම ද අති ප්‍රබල විය. ඒකාබද්ධ කොමිසම විසින් ස්ථාපිත කළ සිංහල කොමිසම රටවටා යනවිට අනුක්‍රමයෙන් ආණ්ඩුවේ ප්‍රහාරයන් වේගවත් විය. මංගල සමරවීර විසින්, සිංහල කොමිසම ඉතිහාසයේ කුණු කූඩයට දැමිය යුතු යැයි ප්‍රකාශ කළ විට සිංහල විරෝධීන් උද්දාමයට පත්වූ මුත් ඉක්මණින්ම මංගලට එය පාරාවළල්ලක් කිරීමට අපි ක්‍රියා කළෙමු. ඉන්පසු ඔවුහු භික්ෂූන් වහන්සේ සංවිධානය කරන්නටත් අපට රැහැනිව භික්ෂු ව්‍යාපාර යොදා ගන්නටත් වූහ. මුළු ඒකාබද්ධ සංවිධානයටම කැප වී සිටි පූර්ණකාලීනයා වූයේ ආචාර්ය පියසේන දිසානායකයන් පමණි. මේ නිසා අනුක්‍රමයෙන් ඒකාබද්ධ සංවිධානය තවත් එක සංවිධානයක් වී අනෙක් සංවිධාන වෙන වෙනම ක්‍රියාකරන්නට විය.

 

මේ අතර, 1996 දී එල්ල කෙරුණු මහ බැංකු ප්‍රහාරය, 1996 දීම එල්ල වූ මුලතිව් ප්‍රහාරය ආදිය විසින්, ආණ්ඩුවේ යුද වෑයම පුස්සක් වීමේ ලකුණු පහළවිය. සුදු නෙළුම හා තවලම ගෙනගිය ‘යුද්දෙට සතයක් - සෙබළෙක් නොදෙනු’ ප්‍රචාරක ව්‍යාපාරය නිසා අපේ හමුදා වන්නියේ කොටු වෙමින් තිබිණි. මුදාගත් ප්‍රදේශවලට ඇතුළුවන ත්‍රස්තයින් හමුදාවේ පසුමූණට දරුණු ප්‍රහාර එල්ල කළේය. A - 09 මාර්ගය මිනීකඳුවලින් ගොඩ ගැසෙන්නට විය. 1997 - 98 දී සිදු වූ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ප්‍රහාරය, දළදා ප්‍රහාරය හා මරදාන - දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය ආදිය කියා පෑවේ කොටි ක්‍රමයෙන් පෙරමුණ දෙකේම එනම් කොළඹ දී බිය පැතිර වීමටත්, වන්නියේ දී හමුදා ඝාතනයත් සාර්ථක ලෙස කරගෙන යන බවය. දේශපාලන මොහොත වහාම අල්ලාගත යුතු බව අපගේ නිගමනය විය. 1998 ජනවාරී 25 එල්ල වූ දළඳා ප්‍රහාරය ඒ මොහොත විය. අපි එය තිරව අල්ලා ගතිමු. අපේ දැවැන්ත උද්ඝෝෂණය නිසා කොටි සංවිධානය තහනම් කිරීමට ආණ්ඩුවට සිදුවිය. ඉන්පසු මරදානේ බෝම්බයෙන් පාසල් දැරිවියන් මියගොස් සමාජය ප්‍රකම්පනය වූ විට (1998 මාර්තු 08) අපි ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය පිහිටු වූයෙමු. එහිලා අපේ අරමුණ වූයේ කොටි ත්‍රස්තයින්ගේ ප්‍රහාරයෙන් පීඩාවට පත්වන අසරණ ජනයා සංවිධානය කිරීමය. රටවැසි පෙරමුණ හා මව් පෙරමුණේ සංවිධාන රටාව මෙහිදී අපට ඉමහත් ප්‍රයෝජනයක් විය. ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය සෑම ත්‍රස්ත සිදුවීමක් සමගම වීදියට බැස්සේය.

 

තරුණ තරුණියන් ඇතුළු කොළඹ ප්‍රභූ සමාජයට අයත් පිරිසක් එයට ඇපකැප වන්නට විය. ශිවන්ති මාලා ද සිල්වා මැතිණිය එහි කේන්ද්‍රයේ වූවාය. පළමු සභාපති වූයේ ජෙනරාල් තිලක් පරණගමය. අනිල් ජයවර්ධන, කුමුදිකා පහත්කුඹුර, අනුරාධා යහම්පත්, අරුණ - ශිරන්තනී බටුවන්තුඩාව යුවල වැනි තරුණ ක්‍රියාධරයින් ද, ගිල්ඩා ගුණරත්න, භද්‍රා ගුණතිලක, දයා සමරතුංග, තිලක් - කමලා එදිරිවීර වෛද්‍ය යුවල ලින්කන් - සුජාතා බැස්ටියන්, වෛද්‍ය යුවල, නෙවිල් කරුණාතිලක, පුන්‍යකාන්ති සොයිසා, මල්ලිකා වනිගසුන්දර, බියටි්‍රස් ගුණසේකර ආදී වැඩිහිටි පිරිසක් ද අපට එක්විය. මහනුවරදී ද අපට තවත් පිරිස් එක්විය. වෛද්‍ය ඉංජිනේරු, කළමනාකරණ වැනි ක්ෂේත්‍රවල වෘත්තීයවේදීන්ගේ සහාය කැපී පෙනිණි.

 

මෙලෙස ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය තරුණ වෘත්තීයවේදීන් පිරිසක් සංවිධානය කළා පමණක් නොව විදේශගත සිංහලයින් සංවිධානය කරන්නට ද වූවෙමු. ඒ වකවානුවේ (1998) විද්‍යූත් තැපෑල, වෙබ් අඩවිය ආදිය පරිහරණය කළේ ඉතා සුළු පිරිසකි. සයිබර් අවකාශයේ මේ වනවිට කොටි සංවිධානය අති ප්‍රබලව සිටි අතර, සිංහලයින් එහි සිටියේම නැති තරම්ය. නමුත් දෙමළ විදේශගත ප්‍රජාවට සමාන ප්‍රමාණයක් සිංහලයින් ද විදේශගතව සිටිනා බව (මිලියනය බැගින්) අපි දැන සිටියෙමු. ඉතා කෙටි කලක් ඇතුළත අපි ඕස්ටේ්‍රලියාව, එංගලන්තය, කැනඩාව, එක්සත් ජනපදය, යුරෝපය හා ඩුබායි ආදී ප්‍රදේශ සමග සයිබර් අවකාශයේ සබඳතා පතුරුවා ගතිමු. ‘සයිබර් අවකාශයේ ජාතිය ගොඩනැගීම’ නම් නව ව්‍යාපෘතියක් මුදාහළෙමු. වසරක් ඇතුළත විසිදෙනෙකුගේ ජාලය 20,000 දක්වා නංවන්නට අපට හැකිවිය.

 

කිලිනොච්චිය කොටි විසින්, අල්ලාගැනීමෙන් පසු අපේ හිතවත් තරුණ හමුදා නිලධාරීන් කීවේ සටන දිග්ගැසීම වැඩිවීම අපේ පරාජයට හේතු වන බවය. මේ වනවිට ආරක්ෂක හමුදාවල ඉහළ තරුණ නිලධාරීන් රැසක් අප්‍රසිද්ධියේ අප සමග එක්වී සිටියහ. විශේෂයෙන් යුද්ධය පිළිබඳ තත්ත්ව වාර්තාවලට අමතරව පොලිස් ඔත්තු සේවාවලින් අපේ සංවිධානවලට රිංගවා සිදුකරනා කඩාකප්පල් ක්‍රියා අපට වාර්තා කිරීම ද ඔවූහු සිදු කළහ. එදා ගොඩනැගුණු ඇතැම් ශක්තිමත් සබඳතා අද දක්වාම පැවතීම අපේ සාර්ථකත්වයට එක් හේතුවක් විය.

 

මනස් දෙකක් සහිතව යුද්ධ කළ නොහැකි බව තීරණය කළ අපි ‘කොටි පරදන මග’ නමින් ත්‍රස්ත විරෝධී ජාතික සැලැස්මක් ඉදිරිපත් කළෙමු. එයින් යුද, ආර්ථීක, සමාජයීය හා දේශපාලන ක්ෂේත්‍රයේ ඉක්මණින් කළයුතු ප්‍රමුඛතා ක්‍රියා 29ක් හඳුනාගත් අතර, තුන් අවුරුද්දක් තුළ ත්‍රස්තවාදය සහමුලින් පැරැදවීම අරමුණ කරගත් මහා යුද - දේශපාලනික ප්‍රතිපත්ති උපාය මාර්ගයක් ඉදිරිපත් විය. මෙය මුලින් හමුදා හා දේශපාලන නායකත්වයට ඉදිරිපත් කළ ද එය ප්‍රතික්ෂේප වූ නිසා ජනතාව වෙතට මුදා හැරියෙමු. (1999 අප්‍රියෙල්) ළඟ එන අනතුර එළියේ සිටි අපි හඳුනාගත් නමුදු හමුදා හා දේශපාලන නායකත්වය එය හඳුනාගත්තේ නැත. 1999 වසරට ජනාධිපතිවරණය සැලසුම්කොට තිබූ අතර, පොදු පෙරමුණ, යූ.එන්.පීය හා ජ.වි.පෙ එයට ප්‍රමුඛතාවය දෙමින් සිටියහ. විශේෂයෙන් පොදු පෙරමුණට අවශ්‍ය වූයේ උතුරේ තත්ත්වය කෙසේ හෝ සාමකාමීව තබාගැනීමය. වේලූපිල්ලේගේ උපාය වූයේ දකුණ හා හමුදා ජනාධිපතිවරණයට හිස යොමුකරනා විට හිස අහිමි හමුදාවන්ට කොඳු කැඩෙන්නට ප්‍රහාරයක් දීමයි. මේ අතර, යූ.එන්.පීය සිංහල ජාතික ව්‍යාපාරයේ සිටි සිය ඒජන්තයින් යොදාගෙන හුදු චන්ද්‍රිකා විරෝධයක් මත සිංහල මතය රනිල්ට ගෙනයෑමට උත්සාහ කළහ. ඉත්තෑපානේ හිමි, මාඳුළුවාවේ හිමි පවා යූඑන්පීයට හිතවත් බවක් දැක්වූහ. අනෙක් පැත්තෙන් යුද්ධය පෙරට දමා සිංහල මතය තමන් දෙසට ගන්නට අනුරුද්ධ රත්වත්ත උත්සාහ කළේය. ඇතැම් ව්‍යාපාරිකයෝ ඒ දෙසට ද ඇදී ගියහ. නමුත් ඔවුන් දෙපිරිසම එතරම් සාර්ථක නොවූයේ බහුතර භික්ෂු ගිහි බලයක් මධ්‍යස්ථව රඳවාගන්නට අප සමත්වීම හේතුවෙනි.

 

ප්‍රභාකරන් සිය මෝසම් වර්ෂා ප්‍රහාරය 1999 නොවැම්බර් 01 දා ආරම්භ කළේය. දිනෙන් දින වන්නියෙන් වාර්තා වූයේ කඳවුරු පිට කඳවුරු ඇද වැටෙනා බවකි. තවත් බලා සිටියහොත් රටම කොටින්ට යටත්වනු ඇතැයි සිතූ අපි වවුනියාවට ගියෙමු.

 

ඒ දිනය 1999 නොවැම්බර් 05 දා විය. ඒ වනවිටත් වන්නි පෙරමුණෙන් පසුබසින දහස් ගණන් සෙබළුන්ගෙන් වවුනියාව හා අවට ප්‍රදේශ පිරී තිබිණි. ඉතා අමාරුවෙන් පවත්වගෙන ගිය පදවිය හා වැලිඔය ගම්මාන සියල්ල ඇකිලී ගිය බව ද වාර්තා වුණි.

 

තත්ත්වය දරාගත නොහැකිව මමත් හැඩිගල්ලේ විමලසාර හිමියනුත් ඉරට්ටපෙරියකුලම කඳවුරට ඇතුළු වුණෙමු. මහ වැස්සේ නිරාහාරව කොටින්ගේ කාලතුවක්කු ප්‍රහාරවලට ලක්ව තුවාල ලැබූ බොහෝ සෙබළුන් එහි සිටියේ කැරැල්ලකට සූදානම්වය. තරුණ කර්නල්වරු කීපදෙනෙක් අපට සහාය වීමට පැමිණියහ. පසුව එය බි්‍රගේඩියර්ලා, මේජර් ජෙනරාල්ලා දක්වා වර්ධනය විය. බොහෝ පමා වී දිවා ආහාරය ගත්කළ පෙනී ගියේ බත් තැම්බී නොමැති බවය. ලේ ගද ගහන, බොර වතුර පිරි කඳවුරු භූමියේ වෙවුලමින් සිටි සෙබළුන්ගේ ගැහෙනා මනස මට හොඳින් දැණිනි. විමලසාර හිමි ඔවුනට පන්සිල් දුන් අතර, හිමින් හිමින් මම ඔවුන් අමතන්නට වීමි. එය හමුදාවේ විනයට පටහැනි වුවත් සියල්ලෝ එය ඉවසා සිටියහ.

 

අපි මාන්කුලම මෙන් වවුනියාව ද අත්හළහොත් කොටි ජය ශ්‍රී මහබෝධිය ද, රුවන්වැලිසෑය ද විනාශ කර අපේ ජනයා දඹුල්ලටත් එතැනින් කුරුණෑගලටත් පළවා හරිනු ඇතැයි මම කීවෙමි. අපි ආපසු නොගොස් පෙරට ගොස් සටන් කළ යුතු බව මම කීවෙමි. අවසාන වශයෙන් ඔවුනට කීමට ඇත්තේ කුමක්දැයි ඇසූවිට පරාජයේ හේතුව ඔබ පසුපස සිටගෙන සිටිනා නිලධාරීන් බව අතක් එල්ලාගත් තරුණ සෙබළෙක් කීවේය. එවිට මහා ඝෝෂාවක් ඇතිවිය. අපි තත්ත්වය පාලනය කරගතිමු. විශේෂ බලකායේ නිර්භය නිලධාරීන් පිරිසක් වහාම පෙරට යෑමට තීරණය කළෝය. වවුනියාවට උඩින් ඕමන්තේ සීමාව ඇදුණේ ඔවුනගේ කැපවීම නිසාවෙනි.

 

අපි ඊළඟට වැලිඔයට ගියෙමු. කෙසේ හෝ ජනතාව පදවියේ නතර කරගත් අපි කොළඹට කතාකර ආධාර ඉල්ලූවෙමු. පැය 24ක් තුළ වෛද්‍ය හා අත්‍යවශ්‍ය ආහාර අපේ සගයෝ ගෙන ආහ. අපි අනාථ කඳවුරු විධිමත් කළෙමු. ඉන්පසු ආධාර විධිමත් කළෙමු.

 

දින ගණනකට පසු කොළඹ එන අතර මා කල්පනා කළේ කොළඹ පෙළපාළිවලින් ප්‍රභාකරන් පැරැදවිය නොහැකි බවය. දේශපාලන බලය අල්ලා ගැනීම තීරණාත්මක බවය. දේශපාලන වශයෙන් බලය අල්ලා ගැනීමට එක්කෝ අපි නව පක්ෂයක් බිහිකර තවත් කාලයක් උත්සාහ දැරිය යුතුය. ඒසා කාලයක් ප්‍රභාකරන් අවසන් ජයග්‍රහණය ලැබීම වැළැක්වීමට අපේ හමුදා සමත් වේවිද? ඔහු යුද ජයග්‍රහණයක් ලැබුවත් පසුව අපට සංවිධානය වී ඔහුව පළවාහැරිය හැකි නොවේද? බැරිවෙලාවත්, ඔහු සිය යුද ජයග්‍රහණය දේශපාලන ජයග්‍රහණයක් කරගෙන ජාතික හා අන්තර්ජාතික ලෙස නිල පිළිගැනීමක් ඇතිකර ගතහොත් අපට සිදුවන්නේ කුමක්ද? බලය අල්ලාගෙන එය කලක් දරාගත නොහැකිව පසුව පරාජය වී ඇතුගෑවී ගිය ව්‍යාපාර ලොවෙහි එමටය. නමුත් දේශපාලනික ලෙස ස්ථාපිත වීමෙන් පසු එකී නව රාජ්‍යය යටත්කර ගැනීමට යෑම එය කෙතරම් කුඩා වුවත් පහසුවන්නේ නැත. ලෝකය එය ආක්‍රමණයක් ලෙස දකිනා නිසාය. ඉරානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයන් සම්බන්ධයෙන් ද, ඉරාකය - කුවේටය සම්බන්ධයෙන් ද, ඉන්දුනීසියාව - නැගෙනහිර ටිමෝරය සම්බන්ධයෙන්ද, කලින් වෙන්වීමට ඉඩ දී පසුව යා කරන්නට ගොස් සිදුකරගත් රාජ්‍ය තාන්ත්‍රික විනාශය පිළිබඳව විවිධ ලේඛන කියවා අවබෝධයක් ලබාගතිමි. චෙච්නියාවේ ඛෙදුම්වාදය රුසියාව විසින්, එය ස්ථාවර වීමෙන් පසුත්, පැරැදවීම පමණක් එකම සුභවාදී උදාහරණය විය. නමුත්, රුසියාව න්‍යෂ්ඨික බලවතෙකු වූ අතර, ව්ලාදිමර් පුටින් යටතේ ආර්ථීක බලවතෙකු බවට ද පත්වෙමින් සිටියේය. භූමි ප්‍රමාණයෙන් හා සම්පත්වලින් ඒ රට ලෝකයේ ලොකුම රට විය. එය කෙසේවත් අපේ සන්දර්භය හා ගැලෙපෙන්නක් නොවීය.

 

1995-2005 දශකයේ ලොවේ ශූරතම, නායකයා කවුදැයි ඇසුවොත් මා කියන්නේ ඒ රුසියාවේ ව්ලාදිමර් පුටින් බවය. වරක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල ගොඩනැගිල්ලේ අමුත්තන්ගේ ශාලාවේ දී (2007) මට රුසියාවේ විදේශ ඇමැතිතුමා හමුවිය. එතුමා තමන් කලක් ශ්‍රීලංකාවේ දෙවැනි තානාපතිවරයා ලෙස සේවය කළ බව ප්‍රකාශ කළා මතකය. ඔහුගේ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක්ප්‍රතාපවත් පෙනුමකින් යුතු වූ බව ද මතකය. බොහෝ රටවල් සිය විදේශීය කාර්ය මණ්ඩල, ගුවන් සේවා වැනි වෙනත් රටවල් සමග සම්බන්ධ වන සේවාවන්ට ප්‍රතාපවත් කඩවසම් පෙනුමැති පුද්ගලයින් පත්කරති. එමගින් පළමු දැක්මේදීම තම රට ගැන පළමු පෙළේ ආකල්පයක් ගොඩනංවා ගනිති. සිංගප්පූරුව ගොඩනගද්දී ලී ක්වාන් යූගේ ඩේන් ජාතික උපදේශකයා වූ ඇල්බර්ටෝ දුන් ප්‍රධානතම උපදේශය වූයේ සිංගප්පූරුවේ අනාගතය විදේශීය ආයෝජකයින්, සංචාරකයින් ගුවන් හා මුහුදු නැවියන් ආදීන් මත යැපෙනා නිසා පළමු දැක්ම ඔවුන් මවිත කරවන පිළිවෙළ සුන්දරත්වය ආදියෙන් පැවතිය යුතු බවය. සිංගප්පූරු ගුවන්තොට, වරාය, නගරයට පිවිසෙන ප්‍රධාන මාවත පිළිගැනීමේ නිලධාරීන් ආදී සියලූ දෙනා ‘පළමු සිංගප්පූරු ප්‍රේමය’ සඳහා හොඳින් සූදානම් කර ඇත්තේය. අපි මෙවැනි දේ පිළිබඳව කිසිදු උනන්දුවක් නැති ජාතියකි. වරක් අරාබියේ රාජ්‍ය නායකයෙකු හමුවී මා ඉංජිනේරුවෙකු හා ගණිත කථීකාචාර්ය කෙනෙකු බවත්, ඔහුගේ රටේ දහස් ගණනක් අපගේ ඉංජිනේරුවන්, වාස්තු විද්‍යාඥයින් ආදීන් සේවය කරනා බවත් කී විට එතුමා හා ඔහුගේ කාර්ය මණ්ඩලයට සිනහා ගියහ. ඔවුන්ට අප රට පිළිබඳ ආකල්ප ගොඩනැගී තිබුණේ අර්ධ වහලූන් හා ලිංගික භාණ්ඩ ලෙස ඇසුරුම් කර තිබූ ශ්‍රීලාංකික ගෘහ සේවක - සේවිකාවන් වෙතිනි. අපි අපේ ප්‍රතිරූපය ගොඩනංවා ගැනීමට නම් අපේ ගුවන්තොටුපොළ, වරාය, නගරයට එන ප්‍රධාන ප්‍රවේශ මාර්ගය, නගර මධ්‍යය, රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල හා දූතයින් ආදී කාරණා ගැන ද සැලකිල්ලට ගතයුතුය.

 

රුසියානු විදේශ ඇමැතිතුමාගේ වශීයෙන් පසු එදිනම නිව්යෝර්ක් පොත්හලකට ගොස් පුටින් පිළිබඳ කෘතියක් මිල දී ගතිමි. එය කියැවීමෙන් පසු මා අතින් නැතිවිය. නමුත් ඔහු බිඳවැටෙනා රුසියාව යෙල්ට්සීන් අතින් භාරගත් හැටි, රුසියානු ඔත්තුසේවා හා පීටර්ස්බර්ග් නගරයේ පරිපාලනයේ දී ඔහු ලබාගත් අත්දැකීම් රාජ්‍ය පාලනයට යොදාගත් හැටි, රුසියාවේ නැ`ගීමේ හා වැටීමේ ප්‍රධාන රහස ධනවාදී හෝ කොමියුනිස්ට්වාදය නොව තෙල් හා ගෑස් මිල බව අවබෝධ කරගත් හැටි, ප්‍රබල ජර්මනිය ඇතුළු අන් යුරෝපීය රටවල් භීතිය මුසු ගරුත්වයකින් දිනාගත් හැටි මගේ සිත තදින් පැහැරගත්තේය. සෝවියට් දේශය බිඳවැටීමෙන් පසු තැනින් තැනින් රුසියාව කෙනිත්තීම සඳහා යොදාගෙන සිටි ඛෙදුම්වාදී බලවේග අධිෂ්ඨානශීලීව ඔහු විසින් විනාශ කිරීම මගේ සිත වඩාත් තදින් පැහැර ගත්තේය. අපටත් පුටින් කෙනෙක් අවශ්‍ය බව ඛෙදුම්වාදය ත්‍රස්තවාදය ලොව කොතැනකවත් පරාජය වී නැතැයි පාරම්බාමින් සිටි දෙමළ ජාතිවාදීන්ගේ මත බිඳලීම සඳහා නිතර යොදාගත්තෙමි.

 

එකින් එක කරුණු සැලකීමෙන් පසු අපි තීරණය කළේ ශක්තිමත් සිංහල ජාතිකවාදී පක්ෂයක් ගොඩනැගීම විසින් ජවිපෙ ශ්‍රී.ල.නි.පය හා යූ.එන්.පීය පාලනය කළහැකි වනු බවය. ඉන්දියාව ලංකාවේ ස්වාධීන නැගීම ඉවසන්නේ නැතිමුත්, ඒ ශ්‍රීලංකාව දුර්වල කිරීම සඳහා නිරතුරුවම දෙමළ ඛෙදුම්වාදී ත්‍රස්තවාදී තුරුම්පුව පාවිච්චි කරනාමුත්, ශ්‍රී ලංකාව තුළ සන්නද්ධ බලයෙන් වෙනම රාජ්‍යයක් සතුරෙකු ලෙස බිහිවණු දැකීම ඉවසන්නේ නැති බව අපේ තක්සේරුව විය. 1948 දී පෙරියාර්ගේ දෙමළ කසාගම් සන්නද්ධ ව්‍යාපාරය ඉන්දීය නායකයෝ තහනම් කළ අතර, අන්නදොරේගේ ප්‍රජාතන්ත්‍රවාදී ඛෙදුම්වාදයට තමිල්නාඩුවේ බලය ලබාගන්නට (1967) ඉඩහළහ. මේ නිසා තව කලක් යනතෙක් ඉන්දියාවේ කවර ආණ්ඩුවක් බලයේ සිටියත්, ප්‍රභාකරන් වෙනම රාජ්‍යයක නායකයා වී අනාගත ‘ද්‍රවිඩස්ථානයක’ මහරජු වීමේ සිහිනයට ඉඩනොදෙනු ඇති බව අපේ හැඟීම විය. ප්‍රභාකරන් එවැනි යුද ජයක් ලදහොත් ඉන්දියාවේ ඛෙදුම්වාද පමණක් නොව මාඕවාදී නැක්ස්ලයිට් ව්‍යාපාරයන්ද පිබිදවීමට කි්‍රයාකරනු ඇත. එයට ඉන්දියාව ඉඩක් දෙන්නේ නැති බවද අපගේ තක්සේරුව විය.

 

පක්ෂයක් පිහිටුවීම පිළිබඳ අදහස අප තුළ පමණක් නොව මේ වනවිට සිංහල ජාතික ව්‍යාපාරයේ කලක් ක්‍රියාකාරීව සිටි බොහෝ දෙනෙකුට එකවරම පාහේ වැටහී ගිය දෙයක් විය. පක්ෂයක් තරගකාරීව ඉදිරියට ගෙනයෑමට නම් අඩුම තරමින් රටපුරා විසිරී ගිය පූර්ණකාලීන කාඩරයන් දහසක් වත් අවශ්‍ය බව අප අතුරින් ආ එක් මතයක් වීය. තවත් මතයක් වූයේ එය ජවිපෙ දේශපාලන රාමුව මත බැසගත් නිගමනයක් බවත්, කැපී පෙනෙනා ජාතික මට්ටමේ දේශපාලන චරිත හත අටක් එක්වුවහොත් එයට වහාම ජනතාවගේ පිළිගැනීම ලැඛෙනා නිසා සිදුකළ යුත්තේ එය බවත්ය. එතැනදී උදාහරණය වූයේ ලලිත් - ගාමිණී, බණ්ඩානායක - රාජපක්ෂ වැනි පක්ෂ හැරගොස් නව ව්‍යාපාරයන් බිහිකිරීමේ උදාහරණයක්ය. එවැනි ශක්තිමත් පිරිසක් ජාතික මතවාදී දේශපාලනයකට කඩා ගැනීමට අපි සමත්ද? යන ප්‍රශ්නය ඊළගට විය. මේ අතර, තුන්වැනි මතයක් ද විය. එනම්, කාඩරය හෝ ජාතික චරිතවලට වඩා මාධ්‍ය කම්පනය කළ හැකි ජාතික තේමාවක් ඇත්නම් ඒ ඔස්සේ පක්ෂයක් සාර්ථක කළ හැකි බවය. මෙහි දී විදේශ රටවල ජාතික පක්ෂ විශේෂයෙන් ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය උදාහරණයට ගන්නා ලදි. භාරතීය ජනතා පක්ෂයේ උදාහරණයට මා කැමතිවූයේ නැත. මන්ද? රාෂ්ඨීය ස්වයං සේවක්, ජාන් සන්ග් ආදිය හරහා වජ්පායි, අද්වානි වැනි නායකයින් දශක ගණනාවක් ඉන්දියාවේ නගර සභා, ප්‍රාන්ත සභා, මධ්‍යම ආණ්ඩුව වැනි ආයතනවල විවිධ පදවි ද, රාජ්‍ය බලය ද, ඒ සියල්ලට වඩා දහස් ගණනක පූර්ණ කාලීන බලකායක් ද සහිත ව්‍යාපාරයක් මිස මාධ්‍ය පෙන බුබුලක් බවට (භාරතීය ජනතා පක්ෂය BJP) සැලකිය නොහැකි වූ නිසාය.

 

කෙසේ වෙතත්, මේ යුගයේ දේශපාලනයේ දී පූර්ණ කාලීන සංවිධානය හෝ පක්ෂ යාන්ත්‍රණයට වඩා මාධ්‍ය  - ගුවන් විදුලිය, රූපවාහිනිය, ජංගම දුරකථනය, පරිගණකය පදනම් කරගත් සන්නිවේදන ජාලය අතිශයින් වැදගත් බව අපේ පිළිගැනීම විය. ත්‍රස්ත විරෝධී ව්‍යාපාරයේ ඇතැම් ක්‍රියා (ලංකා කම්කරු කොංග්‍රස් කාර්යාලයේ සිදු වූ ගැටුම) මාධ්‍යවල ඉහළින්ම වාර්තා වූ අතර, එහෙයින් අපට ලැබුණු ප්‍රතිචාර පුදුමාකර විය. මා මාධ්‍ය පෙන බුබුලූවලට දැඩි අකමැත්තක් දැක්වූවත් යථාර්ථය එය බව මගේ ද හැගීම විය. රනිල් වික්‍රමසිංහ 2005 ජනාධිපතිවරණයේ දී නොසිතූ තරම් මහින්ද රාජපක්ෂට කිට්ටු කළේ සුළු ජාතික ඡන්දයෙන් පමණක් නොව විද්‍යූත් මාධ්‍යයෙන් ඔවුන් සිදුකළ දැවැන්ත ප්‍රචාරය නිසාය. රටේ ජනතාවගෙන් 5%ක පමණ ඡන්දයක් එහා මෙහා කිරීමට විද්‍යූත් මාධ්‍ය ප්‍රචාරය සමත් බව රනිල් ඔප්පු කළේය. මෙය අතේ මුදල් නැති, අයථා ක්‍රමවලින් මුදල් සෙවීමට යන්නේත් නැති බොහෝ දේශපාලකයින්ට රතු එළියකි. ඕනෑම අයථා ක්‍රමයකින් මුදල් සොයා විද්‍යූත් මාධ්‍ය අත්පත්කරගත හැකි ‘ප්‍රසාංගික මොඩල වලට’ ඉදිරියේ දේශපාලනය වැඩි වැඩියෙන් විවෘත වීමට නියමිතය.

 

මේ සියලූ කරුණු සිත තබාගෙන සිංහල ජාතිකවාදී පක්ෂයක් තැනීම ගැන අපි සිත් යොමු කළෙමු.

 

අපට සිත සිතා සිටින්නට කාලයක් නොතිබිණි. ප්‍රභාකරන් ජනාධිපතිවරණයට පෙර තමිල් ඊළම පිහිටුවීම සඳහා වේගයෙන් ක්‍රියා කරමින් තිබිණි. වන්නිය පිසලීමෙන් පසු ඔහු පරන්තන්, අලිමංකඩ වටලෑවේය. එය ඉතා සැලසුම්ගත වටලෑමක් විය. මේ අතර, ජනාධිපතිවරණය සඳහා චන්ද්‍රිකා, රනිල් හා ජ.වි.පෙන් නන්දන ඉදිරිපත් වූහ. චන්ද්‍රිකා සිටියේ එතරම් පහසු තත්ත්වයක නොවේ. බොහෝ බලාපොරොත්තු තබා සිටි සාම යුද්ධය පරාජය වෙමින් තිබිණි. එය රත්වත්තේ කී ලෙස උපක්‍රමික පසුබැසීමක් ලෙස ජනතාව තේරුම් ගත්තේ නැත. එමෙන්ම ඇය ෆෙඩරල් පැකේජය ගෙනඒමට තැත්කිරීමෙන් භික්ෂු මහා සංඝයා අතරත් සිංහල ජාතික මත දරන්නන් අතරත් පිරිහී සිටියාය. රනිල් තමන් විසින්, සිංහල ජාතික ව්‍යාපාරයට ඇතුළු කළ භික්ෂූන් හා ගිහියන් හරහා යම් පමණකට සිංහල බලවේග මත අණසක පතුරුවාලූයේය. අප නොසිටියානම් ඔහු සිංහල ජාතික බලවේග ගිලගන්නට බොහෝ දුරට ඉඩ තිබිණි. ජවිපෙ කෙලින්ම මාක්ස්වාදී අන්තයේ සිට යුද්ධය විවේචනය කළේය. ඔවුන් ඒ වනවිට පළාත් පාලන, පළාත් සභා ආදී ඡන්දවලින් ලක්ෂ හතරක පමණ ඡන්දයක්ද, ශක්තිමත් කාඩරයක් ද ගොඩනගාගෙන සිටි අතර, සිංහල ජාතික බලවේග කෙරේ වූයේ ද අවතක්සේරුවකි. මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණේ ඉස්ලාමීය මූලධර්මවාදීන් වූ මුජිබර් රහමන්ලා ද, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ඉතුරු බිතුරු ද, දෙමළ ජාතිවාදී වාමාංශිකයන් වූ වික්‍රමබාහු - වාසු ආදීහු ද 1999 ජනාධිපතිවරණයේ දී ජවිපෙට සහාය දැක්වූහ. රනිල් සාම සාකච්ඡා සඳහා ෆෙඩරල් විසඳුමක ඡායාවක් යෝජනා කළ අතර, චන්ද්‍රිකා සිය 1997 නව ෆෙඩරල් ව්‍යවස්ථාව දේශපාලන විසඳුම ලෙස ප්‍රකාශ කළාය. රනිල් අතිශය තීරණාත්මක ලෙස ප්‍රභාකරන්ට වසර 05ක අන්තර් පාලනයක් යෝජනා කළ අතර, චන්ද්‍රිකා සිය ටයිම් :ඔෂඵෑ- සාකච්ඡාවේදී අන්තර් පාලනය වසර 10කට දෙන බව ප්‍රකාශ කර සිටියාය. ජවිපෙ වර්ගවාදී යුද්ධය වහාම නතර කර සමානාත්මතාවය මත දෙමළ ජනයාට ස්වයං පාලන ප්‍රදේශ දෙන්නට පොරොන්දු වූවේය. පසුව සිංහල කොටි නමින් ප්‍රචලිත වූ රෝහිත භාෂණ විසින්, මෙහෙය වූ හිරු කණ්ඩායම ජ.වි.පෙ ප්‍රචාරක යාන්ත්‍රණය මෙහෙයවීය.

 

ප්‍රභාකරන් තීරකව ක්‍රියාකර තිබිණි. ඔහුගේ ඉලක්කය වී තිබුණේ දුර්වල කරන ලද ‘රනිල්’ කෙනෙක් බලයට ගෙනඑන්නටය. ජනාධිපතිවරණය අවසන් වනවිට අලිමංකඩ ඇතුළු යාපනයට යටත්වීමට සලස්වා ස්ථීර රාජ්‍යයක් සඳහා ජාත්‍යන්තර ගිවිසුමකට යෑමටය. කොටින්ම යුද ජය එකවිටම දේශපාලන ජයක් කරගැනීමටය. බාලසිංහම් ඒ සඳහා යුහුසුළුව ක්‍රියාකරමින් සිටියේය.

 

ඒ දිනය මට තාමත් මතකය. මම ජනාධිපතිවරණය සඳහා කඩවත තිබූ කුඩා ජනහමුවක් - (එය දේශප්‍රිය අලහකෝන් සංවිධානය කළ එකකි) - අමතා ආපසු එමින් සිටියෙමි. රනිල් - චන්ද්‍රිකා යන කිසිවෙකුටත් ඡන්දය නොදී ඡන්දය වර්ජනය කිරීම අපේ අභිලාෂය විය. එයට ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේගේ ද අනුග්‍රහය ලැබිණි. කඩවත හන්දිය අසල දී මේජර් ජෙනරාල් ලකී අල්ගම, අනුරුද්ධ රත්වත්තේ පතුරු ගසනා හඩ  ශබ්ද විකාශනයෙන් ඇසිණි. ඔහු රනිල්ගේ ආණ්ඩුවේ ආරක්ෂක ඇමැති බව සිංහල මත ඇත්තන්ට යූ.එන්.පී කාරයින් විසින් පැවසූයේ රනිල් රට පාවා දීමට යනවාය යන්නට පිළිතුරු ලෙසය. ලකී අල්ගම නැගෙනහිර මුදාගත් කතාව යුදමය ලෙස ඇත්තක් වුවත් (1993) එය තමන්ගේ දේශපාලන ජයග්‍රහණයක් ලෙස යූ.එන්.පීය ප්‍රකාශ කිරීම අමන විහිළුවක් විය. මන්ද නැගෙනහිර පාවා දුන්නේ ද (1990) ඔවුන් විසින් වීම නිසාය. එදින ඇස්වාට්ටුව හරහා මා පැමිණියේ පෙරමුණේ රැලියද නිකම් දැකබලා ගැනීමේ ආශාව සහිතවය. මා රෑ බෝවන්නට පෙර නවාතැනට පැමිණි අතර, පළමු ආරංචිය ඒ සමග ආවේය. ජා - ඇල යූ.එන්.පී රැලියට බෝම්බ ප්‍රහාරයක් දී ලක්ෂ්මන් අල්ගම මරාදමා ඇති පුවත එයින් වාර්තා විය. ප්‍රභාකරන් රනිල්ගේ ‘බොඩිගාඩ්’ කලින්ම ඉවත් කර තිබිණි. ජානක පෙරේරා යූ.එන්.පීයෙන් දේශපාලනයට පිවිසෙන බව මට ප්‍රකාශ කළ විට මා ඔහුට කීවේ ඔබට ද ලකී අල්ගමට වූ දේ සිදුවීමට ඉඩ ඇති නිසා එයින් වළකින ලෙසය. එය ඔහු ඇසූවේ නැත. සිදුවීම් දෙකම එකම ආකාරයට සිදුවිය. ඊළගට වාර්තා වූයේ චන්ද්‍රිකා ඝාතන වෑයම ගැනය. මා හඳුනන කොල්ලූපිටියේ ප්‍රභූ කාන්තාවක් කීවේ යූ.එන්.පීයේ පිරිස් දැනටම ජයපැන් බොන බවය. තවමත් උදෑසන වී නොතිබිණි. චන්ද්‍රිකා සිටියේ ජීවිතය හා මරණය අතර, සටනකය. අපේ දේශපාලනයේ අන්ධ මුග්දභාවය එයින් කැපී පෙනිණි. කොටි 1994 දී ගාමිණී දිසානායක ඝාතනය කර චන්ද්‍රිකාට පාර කැපූ අවස්ථාවේදී ශ්‍රී.ලනි.ප නායකයින් හැසිරුණේ ද මේ ආකාරයටමය.

 

පොට්ටුඅම්මාන්ගේ ඉලක්කය වැරදිණි. චන්ද්‍රිකා දිවි ගලවා ගත් අතර, ඇය වෙත අනුකම්පාවේ රැල්ල ගලා ආවේය. අපත් සමග ඡන්දය වර්ජනය කිරීමට ගිය අය පවා චන්ද්‍රිකාට ඡන්දය දුන්නේ ප්‍රභාකරන්ට පණිවුඩයක් දීමේ පරමාර්ථය ඇතුවය. ඡන්ද වර්ජනය, ඡන්දයක් ගැනීමට වඩා අමාරු බව අපි වටහා ගතිමු. අපේ ඡන්ද වර්ජන ව්‍යාපාරයට චන්ද්‍රිකා හා එස්.බීගේ මැර කල්ලි තදින් බාධා කළෝය. ඒ සියල්ල මැද අපි අධිෂ්ඨානශීලී ක්‍රියාදාමයක් ගෙනගිය නමුදු ජනතාව ඡන්ද අපතේ හැරීමට අකමැති බව නැවත අපට පෙන්නා දී තිබිණි.

 

ජනාධිපතිවරණයට පෙර සිංහල පක්ෂයක් පිහිටුවීම පිළිබඳ අපි නොයෙක් දෙනා සමග අදහස් හුවමාරු කර ගතිමු. නීතිඥඑස්.එල් ගුණසේකර වැනි වෘත්තිකයන් මෙන්ම සිංහල වීර විදහන ව්‍යාපාරිකයන් ද ඒ අතර විය. ඒ දෙපිරිසම පාහේ ප්‍රතිපත්තියක් ලෙස පක්ෂයක් පිහිටුවීමට එකඟවුවත් පරස්පරයන් ද විය. වීර විදහන නායකයින් යෝජනා කළ පක්ෂ ව්‍යවස්ථාවේ වූ නායකයාට සියලූ බලතල ලැබීම වෘත්තිකයෝ ප්‍රතික්ෂේප කළහ. ඔවුහූ වඩාත් ලිහිල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ඉල්ලා සිටියහ. දෙපිරිසම භික්ෂූන් වහන්සේ පාක්ෂික භූමිකාවක් ර`ගදැක්වීම ගැන කැමැත්තක් දැක්වූයේ නැත. එය අපේ නොසතුටට හේතු විය. අන්තිමේදී 'ජාතික සවිය' නමින් පක්ෂයක් එළි දැක්වීමට වීර විදහන තීරණය කළේය. ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වනවිට එයට අදාළ දැන්වීම් ද ප්‍රචාරය විය. නමුත් ජනාධිපතිවරණයෙන් පසු ඒ අදහස ඔවුන් අතරින් ගිලිහී ගියේය.

 

ජනාධිපතිවරණයට පෙර කෙසේ හෝ අලූත් පක්ෂය පිහිටුවා ලීමට අපට අවශ්‍ය වූයේ ජනාධිපතිවරණයෙන් පසු වහාම පාර්ලිමේන්තුව විසිරුවාලීමට චන්ද්‍රිකා ක්‍රියාකරනු ඇතැයි අපි සිතූ නිසාය. එය සාමාන්‍යයෙන් සිදුකළ යුත්තකි. මන්ද ජනාධිපතිවරණයේ උණුසුමත්, අරමුදල් ආදිය අවසන් වීමෙන් විපක්ෂය මන්ද උත්සාහීවීමත් නිසා පැහැදිලි බහුතරයක් එමගින් ලැබිය හැකි වීමය. නමුත් පුදුමයකට මෙන් චන්ද්‍රිකා එසේ කළේ නැත. ඇය සිතුවේ ඇය ගැන පමණකි. මහා මැතිවරණය නොපවත්වා යූ.එන්.පීයේ හොඳ හිත ද ඇතිව විධායක ජනාධිපති ධුරය අහෝසිවන ෆෙඩරල් ව්‍යවස්ථාවක් සිය දෙවැනි ධුර කාලය අවසන් වීමෙන් පසු ක්‍රියාත්මක කළ හැකියැයි ඇය සිතන්නට ඇත. පරාජයේ අළු දූවිලි වසාගන්නට යූ.එන්.පීයට ද කල් අවශ්‍ය වූ නිසා ඔවුන් ද නව ව්‍යවස්ථාව සැකසීම සඳහා බටහිර තානාපති කාර්යාලවල ආශිර්වාදයෙන් පිවිසෙන්නට විය.

 

මේ අතර ප්‍රභාකරන් සිය ප්‍රහාරයේ වේගය වැඩි කළේය. යුදබිමේ අපේ සගයින් වාර්තා කළේ අලිමංකඩ කෙටි කලකට වඩා අල්ලා සිටිය නොහැකි බවත්, යාපනයේ අපේ හමුදා කොටුවීම ස්ථීර බවත්ය. වීර විදහන සිංහල පක්ෂය පිළිබඳ අදහස අත්හැරිය අතර, අපේ උත්සාහය අපි අත්නොහැරියෙමු. ව්‍යාපාරිකයන් ලෙස ඝෘජුව දේශපාලනයට පිවිසීමේදී ඇතිවන ව්‍යාපාරික අනතුර ගැන අපි ද අවබෝධ කරගතිමු. නමුත් වෘත්තීය ක්ෂේත්‍රවලින් දිගටම පෙළඹවීම තිබිණි. මේ අතර, යූඑන්පී පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් කරුණාරත්න තමන්, පක්ෂයෙන් ඉවත්වීමට කැමති බව ප්‍රකාශ කළේය. අපි වහාම පක්ෂයක් පිහිටුවීමට කැමැත්තෙන් සිටින සුළු පිරිස අතරේ සාකච්ඡාවක් කැඳවූයෙමු. එදින හරියටම රාජගිරියේ දී අනුරුද්ධ රත්වත්ත ඉලක්ක කරගෙන කොටි ප්‍රහාරය එල්ල වූ දිනය විය. රාජගිරිය ප්‍රදේශයේ සැ`ගවී ගිය කොටි සාමාජිකයන් සොයා ආරක්ෂක හමුදා මෙහෙයුම් කරත්දී සිංහල දේශපාලනය සඳහා නව මෙහෙයුමක් අපි වැල්ලවත්තේ අනිල් ජයවර්ධන මහතාගේ හෝටලයේ දී ආරම්භ කළෙමු. පක්ෂයේ නම, ව්‍යුහය, ව්‍යවස්ථාව, ප්‍රතිපත්ති ආදිය ගැන මූලික එකඟතාවයකින් පසු සිංහල අලූත් අවුරුද්දෙන් පසු පක්ෂය නිල වශයෙන් පිහිටුවීමේ අරමුණින් විසිර ගියෙමු.

 

දින කීපයකට පසු යුද බිමෙන් ආරංචි වූයේ අලිමංකඩට උතුරින් පල්ලෙයි ප්‍රදේශය කොටි අල්ලාගෙන ඇති අතර, අපේ හමුදා කොටි ගිරයට හසු වී ඇති බවය. 2000 සිංහල අවුරුද්ද ගෙවුණේ ඉතා කාළකණ්ණි ලෙසය. 1954 දී ඩියන්බියන් පූ ප්‍රංශ බලකොටුව බිඳලූ ලෙස තම හමුදා අලිමංකඩට ඇතුළු වූ බව කොටි ප්‍රකාශ කළෝය. ස්වර්ණම් එහි ධජය එස වූ බව ටැමිල්නෙට් වර්තා කළේය. අලිමංකඩ හමුදා ප්‍රධානී බි්‍රගේඩියර් පර්සි ප්‍රනාන්දු මරා දැමුණු බවත්, අති දැවැන්ත අවි තොගයක් කොටින් සතු වූ බවත්, වාර්තා විය. මෙය 1996 සිට බලාපොරොත්තු වූවකි. මුලතිව්, කිලිනොච්චි, පරන්තන් හා අලිමංකඩ වැටුණේ එකම ලෙසටය. එකම රටාවකටය. එකම යුද උපායකටය. එය එසේ සිදුවූයේ ඇයි? අපේ උපායන් අලූත් නොවූයේ ඇයි? චන්ද්‍රිකා හා මංගලගේ සාම යුද්ධය ඛේදවාචකයකින් අවසන් වීමේ ලකුණු පහළව තිබිණි.

 

අලිමංකඩ සුන්බත් වීමත් සමග ආණ්ඩුව වැඩිමනත්ම බිය වූයේ කොටින්ට නොව අපටය. සිංහල ජනතාවටය. රැස්වීම්, පෙළපාලි තහනම් කරනා ලදි. යුද හමුදා කුමන්ත්‍රණයක් ගැන කසු කුසු පැතිර යන ලදී. අවි බිම තබා අන්තර් ජාතික යටත්වීමේ ගිවිසුමක් අත්සන් කර සෙබළුනට යාපනයෙන් ඉවත්වීමට ඉඩදෙන බව කොටි ප්‍රකාශ කළහ. ආණ්ඩුවේ නින්දිතකමට සීමාවක් නොවීය. චන්ද්‍රිකා සෙබළුන් කොළඹ ගෙනඒම ගැන සාකච්ඡා කරන්නට වූවාය. ඉන්දීය හමුදා නායකයින් මෙහි පැමිණි අතර, ඔවුන් සමග සාකච්ඡා වූයේ ද ඉන්දීය නැව්වලින් සෙබළු කොළඹ ගෙනඒම ගැනය.

 

මේ අතර, විශ්‍රාමික හමුදා නිලධාරීයෙකුගේ නිවසේදී ශ්‍රී ලංකා හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් හමුවුනෙමි. ඔවුන් සියලූදෙනාම කීවේ සැපයුම් ගෙනයා නොහැකි නිසා යාපනය අත්හැරීම හැර අන් විකල්පයක් නැති බවය. මම ඔවුනට කරුණු තුනක් පෙන්නා දුනිමි. 1999 නොවැම්බර් වන්නි අත්දැකීම ගැන පළමුව කීවෙමි. ප්‍රභාකරන්ට සිය යුද ජයග්‍රහණ රැකගැනීමට තරම් පිරිස් හෝ ගිනි බලයක් නැති අතර, අප ඔහුව අධිතක්සේරු කර ඇති බවත්, අපේ ප්‍රශ්නය පිරිස් හෝ ගිනි බලය නොව යුද මානසිකත්වය නැතිවීම බවත් කීවෙමි. අනෙක් අතට සැපයුම් නැතුව කොටුවීම යුදමය ලෙස හානියක් වුවත් පෙරළා සටන ‘සොහොනේ සටන’ (Death Ground Battle) නිසා අපේ සෙබළුන් තීරකව සටන් කරනු ඇතැයි ද කීවෙමි. මන්ද පළායන්නට අතක් නොමැති නිසාය. අනෙක් අතින් යුද්ධය පැරැදී කොළඹ ආවත් කොළඹ ඇතිවන කැරැලි මැඩලන්නට ගියහොත් හමුදාවේ අපකීර්තිය දෙගුණ තෙගුණ වී ඇතැම්විට රටම ප්‍රභාකරන්ට යටවනු ඇති බව ද කීවෙමි. ඒ නිසා කෙසේ හෝ කළ යුත්තේ මුළු වැරයොදා සටන් කිරීම බවත්, මුළු රටම යුද සූදානමක තැබීම බවත්, කීවෙමි. හමුදා නිලධාරීන් මදක් ඒත්තුගත් බව මට වැටහිණි. පසුව හමුදා මූලස්ථානයේ සාකච්ඡාවක් විය. මේජර් ජෙනරාල් ජානක පෙරේරා යාපනයට යැවිනි. අපි අපේ ක්‍රියාධරයන් හා හිමිවරු සමග යුද පෙරමුණට ගොස් සෙබළුන් දිරිගැන්වීමේ ප්‍රචාරක සටනකට එකතු වුනෙමු. සුදු නෙළුම් පරවී තවලම් ආපසු හැර වී තිබිණි. මේ අතර, ජානක පෙරේරා මහතා අපේ හිතවතෙකුගේ නිවසේදී හමුවුනෙමි. ඔහුට සටන ජයගැනීමට ආශීර්වාද කරනා ලෙස ඔහු ඉල්ලා සිටියේය. සටන ජයගැනීමට ඔහුට සහායවීමට ඕනෑම කැපවීමක් කරනා බව ඔහුට කීවෙමි. සටන තුළ චන්ද්‍රිකා බියගන්වන සුළු දේශපාලනය නම් නොකරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. නමුත් අපේ අවංක අරමුණුවලට එලෙසම ක්‍රියාකාරී වීමට නොහැකි විය. ජානක පෙරේරා යූඑන්පීය සමග කුමන්ත්‍රණ කරනා බවට රාවයක් පැතිර ගියේය. ඒ ඔහු විපක්ෂ නායක රනිල්ට යාපනයේ සිට දුරකතන ඇමතුමක් දීම නිසාය. අන්තිමේදී අනුරුද්ධ රත්වත්තේ ඇතුළු පිරිසක් යාපනයට ගියහ. එය සෑම අතින්ම හොඳට ගියේය. චන්ද්‍රිකා යාපනය අත්හැරීම ගැන සිතුවත් රත්වත්තේ සිතුවේ එය කෙසේ හෝ රැකගැනීමටයි. ඔහුගේ අතීත ඥාතියා වූ ලෙව්කේ මැතිඳු මෙන් ආත්මගරුත්වය සඳහා ඔහු තනිවී සිටියේය. නැවත වතාවක් කොටින්ගේ යුද ශක්තිය අතිශයෝක්තියට නැගීම විදහා දක්වමින් යාපනයේ තීරක සටන ඔවුන් පරාජය විය. යාපනය අල්ලා ගැනීමට කොටි කළ සටන විනාශයේ ජයග්‍රහණයක්, පයිරෙක් (Phyric Victory) ජයග්‍රහණයක් විය.

 

යාපනය රැකගැනීමේ සටන අපේ ජයග්‍රහණයෙන් කෙළවර වුවද එයින් ඉතා ගැඹුරු දේශපාලන පණවුඩයක් ලැබිණි. එනම් ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ දේශපාලන නායකයින්ගේ බියසුළු, කපටි, නින්දිත, ස්වරූපයයි. විශේෂයෙන් ඉන්දියාව ප්‍රභාකරන් වෙනම රාජ්‍යයක් ඇතිකිරීම අන්තිම මොහොතේ හෝ වළක්වයි යන අපේ උපකල්පනය වැරැදි බව පෙණි තිබිණි. ප්‍රභාකරන්ගේ යුද ජය පෙනීපෙනී තිබියදී ඉන්දියාව කිසිදු උපකාරයක් නොකළේය. අපට උපකාර කළේ පකිස්ථානය හා චීනයයි. එයින් පෙනීගිියේ බී.ජේ.පී. පාලනය එහි ආරක්ෂක ඇමැති වූ කිතුණුවෙකු, කොංන්ග්‍රස් විරෝධියෙකු හා ගාන්ධි පවුලේ වෛරක්කාරයෙකු වූ ජොර්ප් පර්නැන්ඩස් නිසා ඇතිතරමට කොටි හිතවාදී වී ඇතිබවය. බී.ෙජ්.පී.යේ න්‍යායාචාර්ය හා සංවිධායක වූ එල්.කේ.අද්වානිගේ ජීවිත කතාව (My Country My Life) කියවීමෙන් පසු මා තේරුම් ගත්තේ බී.ජේ.පී ය පවා ප්‍රචලිත දෙමළ ජාතිවාදී මතයෙන් එනම් ලංකාවේ දෙමළ ජනයා පීඩාවට පත්ව ඇත.කොටි එහි විමුක්තිදායකයාය යන මතයෙන් ගැලැවී ගත් එකක් නොවන බවයි.අනෙක් අතට බී.ජේ.පී ය සිය බ්‍රාහ්මණ වංශික කම පසුපසට දමා දකුණු ඉන්දියාවේ දේශපාලන පදනමක් දමා ගැනීම සඳහා දෙමළ හිතවාදී උපායක්ද ගෙන ගියේය. ඉන්දිරා සහ රජීව්, ජේ.ආර්ට පාඩමක් ඉගැන්වීමට හා තමිල්නාඩු දේශාපාලන නැලැවීමට (1983 - 89) ප්‍රභාකරන් නැලවූවාසේ බී.ජේ.පීයද එය සිය පදය කරගෙන තිබිණි. නොර්වේ රාජ්‍යය පවා සිය කොටි හිතවාදී කාර්යයන් සඳහා බී.ජේ.පීයේ ආශිර්වාදය ලබාගත් බව පසුව වාර්තා විය. කේ.පී. හෙළිදරව් කළේ උඩසිට පහළට ඉන්දීය දේශපාලනය සිය පැරැණි මුම්බායි පාතාලයේ කප්පම්වලින් දිනාගත් ආකාරයයි. ඉන්දියාව කවුටිල්ලයන් ලෙස නොව මෝඩයින් රැලක් ලෙස හැසිරෙන බව පෙනී ගියේය. ඉන්දියාවේ බී.ජේ.පී.පක්ෂයේ ප්‍රබලයෙක් මාහට 1997 වර්ෂයේදී හමුවිය. ලංකාව පිළිබඳ කොන්ග්‍රස් ආණ්ඩුව දැක්වූ සිංහලයින් සතුරු පිරිසක් යන ආකල්පය ඉවත්කර සිංහලයින් හා ලංකා වෙළඳපොල හොඳ  ආශීර්වාදයක් ලෙස සලකන ලෙස ඉල්ලා සිටියෙමි. ඔහු එය පිළිගත්තේය. නමුත් බී.ජේ.පිය කොන්ග්‍රසයටත් වඩා මෝඩ ලෙස ප්‍රභාකරන්ව විශ්වාස කරමින් සිටියේය.මේ 1948 දී දෙමළ ත්‍යාගම් සන්නද්ධ ව්‍යපාරය (පෙරියාර්ගේ) මර්දනය කළ ඉන්දියානු නායකයින්ගේ පරපුරුමද? එදා දෙමළ ඛෙදුම්වාදය සඳහා මුස්ලිම් අලිජීන්නා හා පීඩිත කළ නියෝජනය කළ අම්ඛෙඩ්කාර්ගේ සහාය පෙරියර් හා අන්නදොර්යි ඉල්ලා සිටි අතර බ්‍රාහ්මණ - හින්දු විරෝධය ඔවුනගේ පොදු පදනම විය. දැන් බ්‍රාහ්මණ - හින්දු - මූලධර්මවාදීන් ද්‍රවිඩස්ථානය රැකීමට ඉදිරිපත්වී ඇතිද? බී.ජේ.පිය හා එහි හින්දුත්ව දර්ශනය ගැන පැහැදීමකින් සිටි මාහට ඔවුන්ගේ මේ තමිල්නාඩු අවස්ථාවාදය ගැන ඇතිවුයේ පිළිකුලකි. 2009 මැයි මස වේලූපිල්ලේ හා කොටි ගලවා ගැනීම සඳහා තමිල්නාඩු මැතිවරණ වේදිකාව බී.ජේ.පිය විසින් භාවිතා කළ ආකාරයෙන් පෙනී ගියේ ඔවුනගේ මුග්ද උපාය මාර්ගය වෙනස් නොවී ඇති බවයි.

 

2000 අප්‍රියෙල් 19 වැනිදා අපි සුභමොහොතින් සිහළ උරුමයේ නව ව්‍යවස්ථාව හා නිලධාරී මණ්ඩලය අනුමත කරගනිමු. පක්ෂයේ සභාපති ලෙස එස්.එල්. ගුණසේකර මහතාත්, මහලේකම් ලෙස තිලක් කරුණාරත්න මහතාත්, ජාතික සංවිධායක ලෙස මාත්, භාණ්ඩාගාරික ලෙස නෙවිල් කරුණාතිලක මහතාත්, තේරී පත්වුහ.අප්‍රියෙල් 26 වැනිදා පදනම් ආයතනයේදී අපි පක්ෂය කළඑළි බැස්සවූවෙමු. රට පුරා හොඳ ප්‍රතිචාර අපට ලැබුණි. මහනුවර, කුරුණෑගල ආදී ප්‍රදේශවලද විශ්ව විද්‍යාල මහාචාර්යවරු, වෛද්‍ය, ඉංජීනේරු හා ව්‍යාපාරික වෘත්තිකයන් රැසක් අපට එක්විය. අපි නුගේගොඩදී පළමු ජනහමුව සුදානම් කළෙමු.

 

චන්ද්‍රිකා අපේ පළමු ජනහමුව තහනම් කළාය. එය ප්‍රජාතන්ත්‍රවාදීව පැවැත්වීමට ගිය අපට කඳුළු ගෑස් ප්‍රහාර එල්ලවිය. ඒ ජනහමුව සාර්ථක වන බවත් එය සිංහල ජාතික ව්‍යාපාරයේ මහා ඉදිරි පිම්මක් වන බවත් මංගල සමරවීර වටා සිටි විජාතික කල්ලි හා ජ.වි.පෙ කේවට්ටයින් අවබෝධ කරගෙන තිබිණි. ඒ දරුණු මර්දනය යටතේ වුව අපි තැන්තැන්වල අප්‍රසිද්ධියේ රැස්වීම් පැවැත්වුයෙමු. මහනුවර රැස්වීම පැවැත්වුයේ සුපිරි වෙළඳ සැලකය. ගාල්ලේ රැස්වීම හර්මන් ගුණරත්න මහතාගේ වතුයායේදීය! ජාතික සංවිධායක ලෙස උපරිම ශක්තියෙන් පක්ෂය සංවිධානය කළෙමි. යම් හෝ ස්වාධීන සංවිධාන ජාලයක් තිබුණේ කළුතර තිලක් කරුණාරත්න මහතාට පමණි. අන් කිසිවෙකුට සංවිධාන ජාලයක් නොතිබිණි. අරමුදල් සඳහා පුද්ගලික දායකත්වය හැරුණුවිට පොදු ක්‍රමවේදයක් නොවිණි. රතන හිමි මධ්‍යම කාරක සභාවට පැමිණීම වැළැක්වීම සඳහා භික්ෂුනට දේශපාලනය අකැපය යන සටන් පාඨයද නැගිණි. ඉංග්‍රිසි උගත්, නූගත් භේදයද සිහළ උරුමය තුළ මතුවිණි. මේවා සියුම් අයුරින් නොව කළමනාකරණය කෙරුණේ තරමක් රළු අයුරිනි. හිත්බිඳීම් ආදිය මේ නිසා මුලසිටම පැවැතිණි.

 

මහා මැතිවරණයට පෙර චන්ද්‍රිකා තවත් මෝඩ උත්සාහයක් දරමින් ෆෙඩරල් පැකේජය අනුමත කරගන්නට උත්සාහ කළාය. මේ අතර ජ.වි.පෙ ඉහළටම සම්බන්ධ මගේ හිතවතෙකු කීවේ සිහළ උරුමය නිසා ලයින් මාරු කිරීමට ජ.වි.පෙට ඉහළින් උපදෙස් ලැබී ඇති බවය. චන්ද්‍රිකාගේ ෆෙඩරල් පැකේජය අධිෂ්ඨානශීලී උපවාසයකින් පැරැදවීමට අපි ඉටා ගතිමු. හැඩිගල්ලේ විමලසාර හිමියන් එයට එක්වූ අතර, අපේ අරගලය දින කීපයක්ම ජාතික අරගලයක් විය. චන්ද්‍රිකා පැකේජය අතහැර පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය.

 

චන්ද්‍රිකාගේ පැකේජය පැරැදවීම සඳහා විමලසාර හිමියන් මාරාන්තික උපවාසයෙන් ලද ජවය මැතිවරණය සඳහා අපට හොඳ උත්තේජකයක් විය. ඡන්දය සඳහා අපට අත්දැකීමක් නොවූ අතර බොහෝදුරට පන්සල හා හිමිවරු උපරිම ශක්තිය අපට ලබා දුන්හ. මුදල් ප්‍රශ්න මුලසිටම විය. අපේ එංගලන්ත ශාඛාවේ වෛද්‍ය රණතුංග ප්‍රමුඛ පිරිස් හා ප්‍රංශයේ කරුණානායක මහතා අපට සෘජුව උපකාර කළෝය. මෙහි නම් සඳහන් කළ නොහැකි හමුදා නිලධාරීන් පිරිසක් අපට ආරක්ෂාව හා පිරිස ලබාදීමෙන් උදව් කළෝය.මෙහි නම් සඳහන් කළ නොහැකි ව්‍යාපාරික මහතෙක් අපේ ප්‍රචාරක ව්‍යාපාරයෙන් බහුතරයක බර දැරුවේය.

 

මැතිවරණ ප්‍රතිඵල අපේ බොහෝ දෙනා අධෛර්යට පත්කර තිබිණි. ඡන්ද දහසක් වැනි සුළු ප්‍රමාණයකින් අපට කොළඹ ආසනය අහිමි විය. මා සංවිධානය කළ කැස්බෑව ආසනය වැඩිම ඡන්දය ගත් අතර වැඩිම මනාපයත් (37,550) වැඩිම මනාප ප්‍රතිශතයත් (75%) ලැබුණේ මාහටය. මැතිවරණයට දින පහකට පෙර ප්‍රබල රාජ්‍ය නොවන සංවිධායකයෙකු වූ කුසල් පෙරේරා විද්‍යූත් තැපෑලට පණිවුඩයක් දමා කීවේ සිහළ උරුමයට කොළඹින් අසුනක් එන බවත් එය ලැඛෙන්නේ වැදගත් මහත්වරුන්ට නොව සිංහල ෆැසිස්ට් නායක චම්පික රණවකට බවත් කුමන ක්‍රමයකින් හෝ එය වැළැක්විය යුතු බවත්ය.

 

සිහළ උරුමය බිහිකිරීමේදීම අපට විචිකිච්ජාවක් විය. එනම් පක්ෂයක් බිහිකිරීමට තරම් අප සංවිධානාත්මක ද? දේශපාලන ඒකාග්‍රතව ද පරිණතද යන්නය. ඒ ගැන කිවයුත්තේ ඒ දෙකම අපට නිසි පමණට නොතිබූ බවය.

 

රටේ අවශ්‍යතවය අපට ප්‍රමුඛ විය.සන්නිවේදනය හරහා ගොඩනැගෙන ජාලය ගැන අපි විශ්වාස කළෙමු. අපේ බිඳවැටීමද ඒ හරහාම සිදුවිය.

 

මැතිවරණය අවසානයේ අපි මධ්‍යම කාරක සභාව රැස් කළෙමු! අපිට එකදු දිස්ත්‍රික්කයක හෝ ආසනයක් නැති බව ඒ වනවිට දැන සිටියෙමු. ඉදිරියේදී ද පරාජය නොතකා කටයුතු කරන්නට සියල්ලන් තීරණය කළද පක්ෂය මෙතැනින් අවසාන බව දේශපාලනය දත් සියල්ලෝම දැන සිටියහ. හදිසියේම ජාතික ලැයිස්තුවෙන් අපට ආසනයක් ලැබී ඇති බව වාර්තා විය. ඒ වනවිට බොහෝ දෙනෙක් සභාවෙන් පිටවී සිටියහ. ජාතික ලැයිස්තු ධුරයට පත්කරන්නේ කවුරුන්දැයි පසුව තීරණය කරමු යන්න අදහසක් ලෙස ඉදිරිපත් වුවද එයට එස්.එල්.ගුණසේකර මහතා පත්කළ යුතු බවට මහාචාර්ය ඉන්ද්‍රරත්න ඇතුළු ඇතැම් පිරිසක් තරයේ ප්‍රකාශ කර සිටියහ. ඔහු එයට නුසුදුස්සෙක් නොවීය. නමුත් අපේ තරුණ පිරිස් හදවතට මුල්තැනදී ක්‍රියාකළහ. සමහරු ඉන්ද්‍රරත්න මහතාගේ යාබද පිහිටි නිවසට ගොස් කලබල ඇතිකර ගත්හ.බොහෝ දෙනෙකුට අවශ්‍ය වූයේ විවේකපාඩුවේ මේ පිළිබඳ  සාකච්ඡාකර තීරණයක් ගැනීමයි. පක්ෂය වෙනුවෙන් ගුටිකමින් වෙහෙස මහන්සි වූ බොහෝ දෙනෙක් තමන් එකී වැදගත් තීරණවලින් ඉවත් කළේයැයි කෝපවී සිටියහ. ඔවුන් සිය කෝපය පළ කළේ ඒ සඳහා මාවම පත්කළ යුතු බව කියමිනි. අනෙක් පිරිස ගුණසේකර මහතාවම පත්කළ යුතුබව කීවෝය. අන්තිමේදී බොහෝ අමාරුවෙන් දෙපිරිසම එක්වී මධ්‍යම කාරක සභාවක් පැවැත්වූයෙමූ. ඒ වනවිට අපව ගොඩනැගූ  මාධ්‍ය අපව විනාශ කර තිබිණි. විජාතික බලවේග අපේ පිබිදීම තිඹිරිගෙයදීම නැසීමට සිතාගෙන සිටියෝය. ජ.වි.පෙ සිය පැරැණි ණය සියල්ල ගැනීමට සූදානමින් උපරිම ලෙස සිය ප්‍රචාරණය අපට එරෙහිව මුදාහැරියේය. ඒ වනවිට ජ.වි.පෙට ආසන 10 ක් ලැබී හොඳ මැතිවරණ ප්‍රතිඵලයක් ලැබී තිබිණි.

 

කලින් මධ්‍යම කාරක සභාවේ න්‍යාය පත්‍රයේ නොවූ නිසාත් එයට බහුතරය සහභාගී නොවූ නිසාත් ඉදිරි සයවසර සඳහා පක්ෂයට මේ එකම අසුන ඉතා වැදගත් නිසාත් මේ පිළිබඳ ගැඹුරු ලෙස සංවාද කර නිගමනයකට ආ යුතු බව ජනාධිපති නීතිඥචූලා ද සිල්වා ආරම්භයේදීම ප්‍රකාශ කළේය. පක්ෂයේ සමගිය තීරක හෙයින් අවශ්‍ය නම් මෙය පත්නොකර අපි අපේ කටයුතු කරමුයි පේරාදෙණියේ හිටපු උපකුලපති මද්දුම බණ්ඩාර මහාචාර්යතුමා කීවේය. අන්තිමේදී බහුතර තීරණය වූයේ මාත්, ගුණසේකර මහතාත් දෙදෙනාම නොව මහලේකම් තිලක් කරුණාරත්න මහතා පත්කිරීමටය.පක්ෂය දෙකඩ විය.චෝදනා ප්‍රතිචෝදනා ඇතිවිය. ක්‍රියාධරයින් අප සමග රැදුනත් ඡන්ද දායකයා අපෙන් වෙන්විය. තුවාලය සුවකර ගැනීමට බොහෝ කලක් යනු ඇතිබව අපේ හැඟීම විය. මාස කීපයකට පසු තිලක් කරුණාරත්න මහතා ධුරය මට පැවැරුවේය. ඉහළ මණ්ඩලයේ පූර්ණකාලීනයෙකු ලෙස දේශපාලනයේ යෙදුනේ මා පමණි. මේ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී  ධුරය පූර්ණකාලීන දේශපාලනයට මහත් රුකුලක් විය. පාර්ලිමේන්තුවට එන මාව රැග් කිරීම සඳහා පක්ෂයේ අයවලූන්ගෙන් තමනට යෝජනාවක් ආ බවත් නමුත් මගේ පළමු කතාව (එය පරිසරය ගැන විය) ඇසු පමණින් තම අදහස අත්හැරගත් බවත් පසුව ටී.මහේෂ්වරන් මහතා ප්‍රකාශ කර සිටියේය. මට පළමු දිනයේ බාධා කළේ අස්වර් හා මනෝ විෙජ්රත්න දෙපෙළය. ඒ රනිල්ගේ ඉගෙන්නුම් බහටය. පසුව ඔවුන් සියලූදෙනා මගේ මිතුරන් විය. 17 වන සංශෝධනය මගින් ස්වාධීන කොමිෂම් සභා සඳහා ජාතිවාදී පදනමින් ව්‍යාවස්ථා සභාව පිහිටුවීම විරුද්ධත්වය පළකළ එකම මන්ත්‍රී මම වීමි. පසුව 17 වැනි සංශෝධනය හා ස්වාධීන කොමිෂම් පසුව විකාරයක් බවට පත්විය. ඇත්තටම පොදු පෙරමුණ හා ජ.වි.පෙ සති දෙකක් පාලන බලය දිගුකර ගැනීම සඳහා කළ දේශපාලන විකාරයකි එය. දේශපාලනයෙන් තොර රාජ්‍ය සේවයක් ඉතා හොඳය. නමුත් අපි කරුණු දෙකක් තේරුම් ගත යුතු වෙමු. ලංකාවේ සිදුවූ ලොකුම වංචා (වැට් වංචාව,හේජීන් සූදුව, රක්ෂණය හා තෙල් පුද්ගලීකරණය) සිදුකළේ නිලධාරීන්ය. රාජ්‍ය සේවය දේශපාලන දූෂිතයන්ගෙන් ඉවත්කර නිලධාරී දූෂිතයන්ට ලබාදීමෙන් පලක් නැත. දෙවැන්න රාජ්‍ය සේවා කොමිෂම් (රාජ්‍ය සේවා, මැතිවරණය, පොලීස්, නීති) පත්කිරීම් මූලික ව්‍යවස්ථා සභාව පත්කරන්නේ දේශපාලකයින්ය. එයද ජාතිභේදය අනුවය එහි සිංහල නියෝජනයක් නැත. මෙසේ හෙයින් එකී 17වැනි සංශෝධනයට එරෙහිවූ එකම මන්ත්‍රී ලෙස අදටත් මට ආඩම්බරයක් දැනේ. මා පාර්ලිමේන්තුවේ සිටියදී සිදුවූ තවත් වැදගත් කරුණක් වූයේ සිංහරාජය ඇතුළු වනාන්තර එක්සත් ජනපදයට පැවැරීමට ගිය ගිවිසුම පරාජය කිරීමට හැකි වීමය. පාර්ලිමේන්තුව තුළ පක්ෂ නායකයාත්, එකම නියෝජීතයාත් මා වීම නිසා බොහෝ දේ ඉගෙන ගැනීමට මට හැකිවිය.

 

විශේෂයෙන්ම ආනන්ද සංගරි වැනි දෙමළ නායකයින් සමග පාර්ලිමේන්තු පක්ෂ නායක හමුවේදී අදහස් ගැටීමට ලැබීම ලොකු අත්දැකීමක් විය. කථානායක ලෙස අනුර බණ්ඩාරනායක මහතා ස්වාධීන මෙහෙයක් කළේය. විශේෂයෙන් අගවිනිසුරු සරත් සිල්වාට එරෙහිව ඔහු ලබාදුන් තීන්දුව ඉතා නිර්භිත එකක් විය.

 

නමුත් අපේ දෙපා යටින් වේගයෙන් විජාතික බලවේග ක්‍රියාත්මක වෙමින් තිබිණි. කොටි සංවිධානය කටුනායක ගුවන්තොටුපළට පහරදුන් අතර (2001) රටේ ආර්ථීකය ප්‍රථම වතාවට ඝෘන ආර්ථීක වර්ධනයක් පෙන්වූයේය. මාවනැල්ලේ ඇතිවූ මුස්ලිම් - සිංහල කෝලාහලය පදනම් කරගෙන එස්.බී. හකීම්ව විවේචනය කළේය. බොහෝ දෙනා ඒ ප්‍රශ්නයේදී සිංහල මුවහමට තඩිබාත්දී එහි ගොස් පාවාදී තිබු සිංහලයින්ගේ අභිමානය රැකදුන්නේ අපය. අන්තිමේදී හකීම් විපක්ෂයට ගියේය. පසුපසින් එස්.බී.ද ආවේය. බන්දුල ගුණවර්ධන හා එස්.බී. යන දෙදෙනා සමග ම ඔවුන්ගේ පිල්මාරුව ගැන මම කතා කළෙමි. ඔවුනට ගැලපෙන්නේ යූ.එන්.පීය නොව ශ්‍රී.ල.නි.ප දේශපාලනය බව මම අවංකව විශ්වාස කරනා බව කීවෙමි. එහෙත් ඔවුන් වෙනස් වූයේ නැත. ජී.එල්. ඇමැතිතුමා මට පෙන්වා දුන්නේ චන්ද්‍රිකාගේ ආකාර්යෂම පාලනයේ ස්වරූපයයි. ඇතැම් විට ඔවුන් සියලූදෙනා සිදුවීම් විසින් හෙම්බත්වී සිටියා විය හැකිය. නමුත් කොටියා කුරුමානම් අල්ලන්නේ වෙන දෙයකට බව මගේ අදහස විය.

 

කටුනායක ප්‍රභාරය සමග ජනබලමෙහෙයුම ආවේය. ඉක්මණින් ආණ්ඩුව පෙරළිය යුතුබවට විපක්ෂයේ මතයක් විය. නමුත් විපක්ෂ නායක රනිල් ගණන් බැලූවේ ආණ්ඩුව 2001 දී නොව පෙරළිය යුත්තේ 2005 දී ජනාධිපතිවරණයට පෙර බවය. ඔහු දේශපාලනික වශයෙන් නිවැරදි විය. නමුත් තදියම්කරුවෝ කොටි හා විජාතික සල්ලි මලූ විසින් කුලප්පු කරනු ලදුව ආණ්ඩුව පෙරළා ගත්තෝය. එය පෙරළාගත්තේ එය අනෙක් පැත්තට පෙරළා ගැනීම සඳහා ඉඩකඩක් පෙරමුණට හා ජ.වි.පෙට ලබා දෙමිනි. ඔවුන් ඒ දේ කළා පමණක් නොව ජනාධිපතිවරණයෙන් නැවතත් යූ.එන්.පීයට බලයට ඒමට තිබූ ඉඩකඩ අහුරා දැමිණි. ඒ අරුතින් 2005 රනිල් පරාජය වූයේ 2001 ජනබල මෙහෙයුම නිසාය.

 

2001 මැතිවරණයට අපි වඩාත්ම සංවිධානාත්මකව ඉදිරිපත් වුනෙමු. මිත්‍ර වෙත්තමුනි වැනි හොඳ නව මුහුණු එකතු කරගත්තෙමු. නමුත් මාධ්‍ය හරහා බිඳ  දමමින් තිබූ අපේ ප්‍රතිරූපය ගොඩනැගී තිබුණේ නැත. එමෙන්ම යූ.එන්.පීයේ ප්‍රචාරය එනම් ආර්ථීකය ගොඩගැනීම හා සාමය ගැන බොහෝ වෘත්තිකයන් ආකර්ෂණය විය. අපට තිබුණු අසුනද අහිමි වී ගියේය. අපට ලැඛෙන වෘත්තික පාවෙන ඡන්දය අවස්ථාව හා තේමාව මත ලැඛෙන්නක් බව නැවත ඔප්පු විය. තවත් දුෂ්කර ගමනක් යෑමට වනබව එයින් අවබෝධ කර ගතිමු.

 

@පාඨලී චම්පික රණවක

මතු සම්බන්ධයි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි