''මේ ගෙවෙන ජුලිය ඉතිහාසයේ ලියැවිලා තියෙන්නේ ලේ වලින් කලු පැල්ලම් වලින්.
නැවත එවැනි මෙහොතක් ඉතිහාසයට එක් නොකිරීම වෙනුවෙන් සැබෑ දේශප්‍රේමියෝ පෙළගැසෙනු ඇතැයි '' මාධ්‍යවේදිනී ජයනි අබේසේකර පවසයි.
''ඒ නිසා මේ රටේ දහස් ගණනක් උතුරේත් දකුණේත් නැගෙනහිරත් වින්දිත ප්‍රජාව විසින් ඉල්ලා සිටින යුක්තිය තහවුරු කර ගැනීම පිළිබඳ කාරණය වෙනුවෙන් සැබෑ දේශප්‍රේමියෝ හැටියට අපි කොන්දේසි විරහිතව පෙනී සිටිනවා.'' යයි ද ඇය කියා සිටියි.
සමාජ ක්‍රියාකාරිනියක වන ජයනි, එම කාරණය සඳහන් කර සිටියේ, කොළඹ ඩාලි පාරේ 'ෆ්‍රීඩම් හබ්' (Freedom Hub) හි ඊයේ (ජුලි 25) පැවති 'සැබෑ දේශප්‍රේමියෝ' මාධ්‍ය හමුව අමතමිනි.
යුද සමයෙත් යුද්ධයෙන් අනතුරුවත් සිදුව ඇති මානව හිමිකම් අපයෝජනයන් සහ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ සිදුවීම් අරඹයා වගවීම තහවුරු කිරීමට මේ රටේ බලයට පත්වූ කිසිදු ආණ්ඩුවක් සමත් වුයේ නැතැයි ද ඇය එහිදී කියා සිටියාය.
''2015 යහපාලන රජය යටතේ වගවීම් තහවුරු කිරීම වෙනුවෙන් විශාල ප්‍රයත්නයක් ගත්තද මංගල ද එහි ප්‍රධාන කොටස්කරුවෙකු වුවද එම ක්‍රියාදාමය තාර්කික අවසානයක් දක්වා ගෙන යන්න එම රජය ද අසමත් වුනා. ඒ නිසාම යුද්ධයෙන් දශකයකට වැඩි කාලයක් තිස්සේ උතුරේත් දකුණේත් නැගෙනහිරත් වින්දතයින්ට යුක්තිය පිළිබඳ ඉල්ලීම් රැගෙන වරින් වර මහමඟට පැමිණීමට සිදුව තිබෙනවා.'' යයි ඇය තව දුරටත් පැවසුවාය.
'' උතුරේ අතුරුදහන්වූවන්ගේ පවුල්වල ඥාතීන් අවුරුදු තුනක්, දින 1300කට වැඩි කාලයක් අඛණ්ඩව මහමඟ අරගල කරමින් තම අතුරුදහන්වූ ආදරණීයයන් පිළිබඳ සත්‍ය හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටිනවා.
රජයේ බාරයට පත් කරන ලද තම ආදරණීයන්ගේ ඉරණම කුමක්දැයි යන්න ඔවුන් විමසනවා. සිය ආදරණීයයන් සිහිපත් කිරීමේ නිදහස තමන්ට දෙන්න කියන ඉල්ලීම උතුරින් කෙරෙනවා.
තමන්ගේ පාරම්පරික ඉඩම් නැවත තමන් වෙත පවරන්න කියන ඉල්ලීම දශකයකට වැඩි කාලයක් උතුරු නැගෙනහිරින් ඇසෙමින් තිබෙනවා. විශේෂයෙන්ම උතුරේ මාධ්‍ය සමාජයට හා සිවිල් සමාජයට තිබෙන ඉඩ අහුරන්න එපා කියන ඉල්ලීම උතුරු නැගෙනහිරින් ඇසෙනවා.
නමුත් උතුරු නැගෙනහිර ජනතාවගේ මේ ඉල්ලීම් ජාත්‍යන්තර උවමනාවක් එන්ජීඕ උවමනාවක් කියන නැරේෂන් එක තමයි දකුණට එන්නේ. කාගේ හෝ උවමනාවක් වෙනුවෙන් පමණක්ම මේසා කාලයක් මේ අරගලයේ රඳා සිටින්න ඔවුන්ට පුලුවන්ද?
විශේෂයෙන්ම මේ පවුල් බොහොමයක ප්‍රධාන ආදායම් උපයන්නායි අතුරුදහන් කිරීම්වලට ලක්ව තිබෙන්නේ. මේ මව්වරු බොහෝ දෙනෙක් වැන්දඹුවන්. විශාල සමාජ, ආර්ථක ප්‍රශ්න ගණනාවක් මැද ඔවුන් කරන මේ අරගලය හුදු කාගේ හෝ උවමනාවක් විතරමද?
වින්දිත මව්වවරු දහස් ගණනක් යුක්තිය ඉල්ලා කරන අරගලය, විශේෂයෙන්ම උතුරු නැගෙනහිරින් නැගෙන හඬ සහ එහි තිව්‍රතාවය විසින් අද එය රාජ්‍යයේ පැවැත්ම පිළිබඳ ගැටලුවක් දක්වා දිග්ගැස්සිලා තියෙනවා.
මොකද වත්මන් ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා රට තුළ විශේෂයෙන්ම දකුණේ, දේශප්‍රේමයේ ජනප්‍රිය ගැලවුම්කාර භූමිකාවක් රගදක්වන ගමන් ජාත්‍යන්තරයේ හොඳ හිත පවත්වා ගන්න, ආර්ථීක සංවර්ධනය සඳහා යුරෝපා සංගමය IMF වගේ ජාත්‍යන්තර ආයතනයන්ගේ සහය ශක්තිමත් කර ගන්න.
දැන් ජාත්‍යන්තර ආයතන එක්ක ගනුදෙනු සිදුවීමේ පදනම වෙන කිසිවක් නෙවෙයි ඉතාම සරළ අර්ථයෙන් රට තුළ මානව හිමිකම් ප්‍රවර්ධනය කරනවා, වගවීම තහවුරු කරනවා කියන පොරොන්දුව දෙන්න ආණ්ඩුවට සිද්ධ වෙනවා. නමුත් මේ පොරොන්දුවල භාවිතාව කොච්චර අවංකද කියන එක අපිට සලකා බලන්න සිද්ධ වෙනවා.
එළැඹෙන සැප්තැම්බර් මාසේ ජිනීවා මානව හිමිකම් සැසිවාරය පැවැත්වෙන රජයේ නියෝජිතයන් නැවතත් එහිදි කියන්න ඉඩ තියෙනවා අපි අතුරුදහන් තැනැත්තන් පිළිබද කාර්යාලය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා, හානිපූරණ කාර්යාලය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා, පරණ කොමිෂන් සභා වාර්තාවල් පිරික්සා බලලා නිර්දේශ නිකුත් කරන්න කියල පත් කරල තියෙන කොමිසමේ නිර්දේශ අනුව අපි ඉදිරියේදි කටයුතු කරනවා කියල.
මේවා ඉතාම පැහැදිලිව තාක්ෂණික පිළිතුරු. ඒ තාක්ෂණික පිලිතුරු ජාත්‍යන්තරයට දීලා එන එක ගැටලුවක් නෑ. ඒත් ඒවා මේ රටේ දහස් ගණනක් වින්දතයන්ගේ ඉල්ලීම්වලට සැබෑ පිළිතුරක් නෙවෙයි.
ඒ නිසා සැබෑ දේශප්‍රේමියෝ හැටියට අපි අවධානය යොමු කළ යුතු මේ රටේ, විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාවගේ යුක්තිය ඉල්ලා සිටීම වෙනුවෙන් ආණ්ඩුව දෙන මානූෂික පිළිතුර කුමක්ද කියන එක කෙරෙහියි.
ජාතික ආරක්ෂාව කියන්නේ කුමක් ද?
වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන තේමාවක් ජාතික ආරක්ෂාව. බලහත්කාරී අතුරුදහන් කිරීම්වලට ලක් නොවී සිටීමේ අයිතිය මේ රටේ සෑම සියලු පුරවැසියෙකුටම තියෙනවා. ඒ වගේම නැවත එවැනි සිදුවීම් ඇති වීම වැළැක්වීම වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම රාජ්‍ය සතුව තිබෙනවා.
එහෙම නම් අතුරුදහන්වූවන්, ඝාතනයට ලක්වූවන් වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කිරීම හරහා නැවත එවැන්නකට ඉඩ නොතැබීම ජාතික ආරක්ෂාවට අයිති නැද්ද?
මේ රටේ කාන්තාවන්ගේ හා දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ජාතික ආරක්ෂාවට අයිති නැද්ද?
පරිසරය ආරක්ෂා කිරීම ජාතික ආරක්ෂාවට අයිති නැද්ද?
හුදු ත්‍රස්තවාදයකින් රට බේරා ගැනීම විතරක් ජාතික ආරක්ෂාව කියා සිතීම විහිලුවක්. මේ සියල්ල ජාතික ආරක්ෂාවට අයිතියි.''
උපුටාගැනීම - theleader.lk