ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉකුත් දා සිදුවූ එක්තරා ක්‍රීඩක ආදේශනයක් හේතුවෙන් කණ්ඩායම තුළ
නොතිබූ අර්බුදයක් පැනනැගී ඇති බවත්, එකී ක්‍රීඩක ආදේශනය, ක්‍රීඩාව අතින් කිසිදු ප්‍රායෝගික වැදගත්කමක් නොමැති පටු දේශපාලන අරමුණක් පෙරදැරිව සිදුවූවක් බවටත් ක්‍රිකට් ක්ෂේත්‍රයේ කතාබහක් මතුව තිබේ.
එසේම ක්‍රිකට් ජයග්‍රහණ වෙනුවට දේශපාලන ජයග්‍රහණ අරමුණු කරගත් එකී ක්‍රීඩක ආදේශනය හේතුවෙන් පෙරේදා (23වැනිදා) අවසන් වූ නැගීඑන ආසියානු කුසලානෙන් ශ්‍රී ලංකාවට වන්දි ගෙවීමට සිදුවූ බවටත් තවදුරටත් චෝදනා නැගේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අංක එකේ පා දඟපන්දු යවන්නා වන වනිදු හසරංගගේ අසනීප තත්ත්වයක් මත ආදේශනයක් වශයෙනැයි කියමින්, නැගීඑන ක්‍රීඩකයන්ගේ ආසියානු කුසලාන තරගාවලියේ තරගවදිමින් සිටි ශ්‍රී ලංකා 'ඒ' සංචිතයේ එකම පා දඟ පන්දු යවන්නා වන වියස්කාන්ත් ජාතික සංචිතය හා එක්කිරීමට ඉකුත්දා හදිසියේ කටයුතු යෙදුණි.
නමුත් පකිස්තානය සමගින් පැවැති එක්දින තරගාවලියේ අවසන් තරගයේදී තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම දක්ෂතා පෙන්නුම් කරමින් කඩුලු 3ක්ද දවාගත් ජෙෆ්රි වැන්ඩසේ, එම ආදේශනය සඳහා ඉහළින්ම සුදුසුකම් දක්වා සිටියදී සහ පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්ත ද ජාතික සංචිතයේ සිටියදී, නැගීඑන ක්‍රීඩකයන්ගේ ආසියානු කුසලාන තරගාවලියේ තරගවැදි ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ ශක්තිය හීන කරමින් වියස්කාන්ත් පකිස්තානයට කැඳවූයේ මන්ද යන්න උභතෝකෝටිකයක් වී ඇත.
එසේ වුවද වනිඳු හසරංග තුන්කොන් තරගාවලියේ පළමු තරගයේ සිටම යෝග්‍යතාව දක්වා සිටීම නිසා පළමු තරගයේදී වියස්කාන්ත් හට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොවීය. නමුත් එකී පළමු තරගයේ පරාජයෙන් පසු, ජයග්‍රහණය අතිශයින් වැදගත් වූ පකිස්තානය සමගින් යෙදුණු තරගාවලියේ සිය දෙවැනි තරගය වෙනුවෙන් දකුණතින් පා දඟ පන්දු යවන වනිදු සමග (මහේෂ් තීක්ෂණ වෙනුවට) සංචිතයේ සිටි තුන්ඉරියව් දුෂාන් හේමන්ත නොසලකා වියස්කාන්ත් යෙදාගැනීමට සාධරණීකරණය කිරීමට තරම් හේතුවක් නොමැති බවද කියැවේ.
නමුත් වියස්කාන්ත් ජාතික කණ්ඩායම හා එක්වීමට යැවෙන බවට ප්‍රකාශවීමටද පෙර එක්තරා ඇමතිවරයෙක් ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සුළු ජාතීන්ට ක්‍රිකට් නියෝජනයේ ඉහළම අවස්ථාවක් ලැබෙන බව පැවසීමත්, ඒ වන විට රටේ මතුව තිබූ ජාතීන් අතර සංහිඳියාව පිළිබඳ දේශපාලන උණුසුමත් ආදිය සැලකූ විට මෙකී ක්‍රීඩක ආදේශනය දේශපාලන සංදර්ශනයක් බවට සැක කිරීමට හේතුවන බව ක්‍රිකට් ක්ශේත්‍රයේ ප්‍රවීණයෝ පවසති.
මේ අතර වියස්කාන්ත්ගේ ආදේශනය හේතුවෙන් ජාතික කණ්ඩායමේ අවස්ථාව අහිමි වූ ක්‍රීඩකයකු මේ පිළිබඳව පුහුණුකාරීත්වයෙන් තදින් ප්‍රශ්න කිරීමට යෙදුණු බවත්, වියස්කාන්ත් අහිමිවීම නැගීඑන ආසියානු කුසලානේ අවසන් මහා තරග අවස්ථාව අහිමිවීමට ප්‍රධාන වශයෙන් බලපෑ හේතුවක් වශයෙන් එම කණ්ඩායමද අප්‍රසාදයෙන් පසුවන බවත් වැඩිදුරත් පැවසේ.
aruna news

