SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තත්ත්වයෙන් බාල ඉන්දීය ස්ටෙන්ට් හේතුවෙන් රෝගීන්ට අත්වූ ඛේදවාචකයට වගකියන්නේ

කවුද? අපරාධමය වරදක් සිදුව ඇත්නම් වහාම පැමිණිලි කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) සෞඛ්‍ය අමාත්‍යාංශයට රතු නිවේදනයක්.

 

 Kish_1200x675px_15_07_26.jpeg

 

පසුගිය වසර දෙකක කාලය තුළ මෙරට රෝහල් පද්ධතිය තුළ රෝගීන්ගේ ජීවිත සමග සිදුකළ මාරක සෙල්ලමක තොරතුරු මේ වනවිට කරළියට පැමිණෙමින් තිබේ. ඒ, තත්ත්වයෙන් බාල හෘද ස්ටෙන්ට් සහ ඇන්ජියෝග්‍රෑම් කැතීටර් භාවිතය හේතුවෙන් රෝගීන් මියයාම සහ බරපතළ සංකූලතාවලට ලක්වීමේ ඛේදවාචකයයි.

 

 

මෙම බරපතළ තත්ත්වය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැන් සෘජුවම මැදිහත් වී ඇත. ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත්තේ, අමාත්‍යාංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් සිදුකර, මෙහි අපරාධමය වරදක් සිදුව ඇත්නම් වහාම විධිමත් පැමිණිල්ලක් ගොනු කරන ලෙසයි.

 

 

යුක්තිය උදෙසා වූ වෛද්‍යවරුන්ගේ මැදිහත්වීම

CID යේ මෙම ක්‍රියාමාර්ගයට පදනම වී ඇත්තේ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව විසින් සිදුකරන ලද පැමිණිල්ලකි.

 

 

මෙම වංචනික හා නොසැලකිලිමත් ක්‍රියාවලියට වගකිවයුතු පුද්ගලයින්, සමාගම් හෝ ආයතන හඳුනාගෙන ඔවුන් නීතිය හමුවට ගෙන එන ලෙස ඔහු සිය පැමිණිල්ලෙන් තරයේ ඉල්ලා ඇත. අගතියට පත් රෝගීන්ට යුක්තිය ඉටු කිරීම සඳහා අවශ්‍ය ඕනෑම වෛද්‍ය සාක්ෂියක් සහ තොරතුරක් ලබාදීමට තම සංගමය සූදානමින් සිටින බවද ඔවුන් CID ය වෙත දන්වා තිබේ.

 

 

මාරාන්තික සංකූලතා සහ තහනමට ලක්වූ ස්ටෙන්ට්

මෙම මාරක ජාවාරමේ ප්‍රධාන චූදිතයා ලෙස මේ වනවිට ඇඟිල්ල දිගුවී ඇත්තේ ඉන්දියාවේ "Meril Life Sciences" සමාගම විසින් නිෂ්පාදිත ඖෂධ ආලේපිත හෘද කොරෝනරි ස්ටෙන්ට් (Drug Eluting Coronary Stents) කාණ්ඩ තුනක් මෙරටට ආනයනය කළ "කිෂ් ඉන්ටර්නැෂනල්" (Kish International (Pvt) Ltd) සමාගම වෙතය. වත්තල ප්‍රදේශයේ ලියාපදිංචි මෙම දේශීය නියෝජිතයා හරහා ගෙන්වූ අදාළ ස්ටෙන්ට් මේ වනවිට ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් වහාම භාවිතයෙන් ඉවත් කර තිබේ.

 

 

NMRA හි වෛද්‍ය උපකරණ ඇගැයීම් කමිටුව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇති කරුණු අතිශය කම්පන සහගතය. අදාළ බාල ස්ටෙන්ට් භාවිතය හේතුවෙන් රෝගීන්ට පහත සඳහන් මාරාන්තික සංකූලතා මතුවී ඇති බවට තහවුරු වී ඇත.

  • ස්ටෙන්ට් එක රෝගියාගේ හෘද රුධිර නාළ තුළ නිසි තැනට යොමු නොවීම.

  • සවි කළ පසු ස්ටෙන්ට් ගැලවී යාම.

  • හදිසි රුධිර කැටි ගැසීම් (Acute Stent Thrombosis) ඇතිවීම.

  • ස්ටෙන්ට් නිසි ලෙස විහිද නොයාම.

 

 

වෛද්‍ය සැපයුම් අංශය (MSD) විසින් නිකුත් කළ MSD/Q/S/2026/7 දරන චක්‍රලේඛයට අනුව තහනමට ලක්වූ නිෂ්පාදන කාණ්ඩ පහත පරිදි වේ.

 

ලියාපදිංචි අංකය (SR No.) අදාළ බැච් අංකය (Batch No.)
SR 13501504 BLG 16 / BLG 11
SR 13501409 BLG 16 / BLG 11
SR 13501506 BLG 16 / BLG 11

 

 

ජීවිතවලින් ගෙවූ වන්දිය සහ ඉදිරි පියවර

මෙම බාල උපකරණ හේතුවෙන් අහිමි වූයේ රෝගීන්ගේ ජීවිත පමණක් නොවේ. ඒවායේ ඇති දෝෂ හේතුවෙන් රෝගීන්ට අමතර උපකරණ භාවිත කිරීමට සිදුවීම, ශල්‍යකර්ම සඳහා ගතවන කාලය අපතේ යාම සහ සෞඛ්‍ය පද්ධතියට දැරීමට සිදුවූ අතිරේක මූල්‍යමය පාඩුව අතිමහත්ය. ලාභය පමණක් පදනම් කරගත් ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් මිනිස් ජීවිත බිලිදීමේ ඛේදනීය ප්‍රතිඵලය මෙයයි.

 

 

දැන් පන්දුව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතේය. මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකළ මෙම ව්‍යාපාරික ක්‍රියාදාමයට එරෙහිව අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය කටයුතු කරනු ඇත්ද, නැතහොත් සුපුරුදු පරිදි කාලයේ වැලිතලාවෙන් මෙම අපරාධයද යටපත් කර දමනු ඇත්ද යන්න පිළිබඳව මුළුමහත් සමාජයම දැඩි අවධානයෙන් පසුවෙයි. කිෂ් ඉන්ටර්නැෂනල් සමාගමට මෙන්ම ඊට අනුබල දුන් සියලු පාර්ශ්වයන්ට නීතියේ රැහැනින් ගැලවීමට ඉඩ නොදිය යුතු බව මෙම සිදුවීම මනාව පැහැදිලි කරයි.

 

 

# නිරෝමි සුබ්‍රමනියම්

නවතම ලිපි