SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත 'ප්‍රකම්පන'

යූටියුබ් නාලිකාව සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්විය. එහිදී ඔහු මේ දිනවල සිය නව නිවස සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මතුව ඇති දැඩි ආන්දෝලනයට සහ විවේචනවලට සෘජුවම පිළිතුරු ලබා දුන්නේය. ඊට අමතරව, ජාතික ජන බලවේගයේ දේශපාලන දෘෂ්ටිවාදයේ පරිණාමය, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අභියෝග සහ වර්තමාන විපක්ෂයේ ක්‍රියාකලාපය පිළිබඳව ද ඔහු මෙහිදී පුළුල්ව අදහස් දැක්වීය. මේ එම සාකච්ඡාවේ සංස්කරණය කරන ලද සටහනයි.

 

 

නිවේදක:

අමාත්‍යතුමනි, ආයුබෝවන්! අපි කෙළින්ම ප්‍රශ්නයට බහිමු. පසුගියදා ඔබේ නිවසේ තිබුණු දානමය පුණ්‍යකර්මයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලටත් ඇවිත් ලොකු ආන්දෝලනයක් ඇති කළා. "සල්ලි නෑ කියලා පාක්ෂිකයෝ නඩත්තු කරපු ලාල්කාන්තට කොහොමද මෙච්චර කෝටි ගාණක ගෙයක් ආවේ?" කියලා ජනතාව අහනවා. මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ?

 

අමාත්‍ය ලාල්කාන්ත:

ඔය ගේ පත්තු කළේ මමමයි. වෙන කවුරුත් හොයාගෙන ආවා නෙවෙයි. පහුගිය දවසක අපේ ගෙදර අපේ මියගිය මවුපියන් සහ ඥාතීන් වෙනුවෙන් දානමය පිංකමක් තිබ්බා. සමහරු හිතන් ඉන්නේ මම මේ අලුතෙන් ගෙදරකට පදිංචි වුණා කියලා. එහෙම නෙවෙයි, මම ඔය නිවසේ වැඩ ඉවර කරලා පදිංචි වුණේ 2024 අග භාගයේ. මේ දානෙට ජනාධිපතිතුමාටත්, අගමැතිනියටත් මම ආරාධනා කළා. ඒක අපේ මාධ්‍ය ඒකකයෙන් දාන්නද ඇහුවාම මම කිව්වා කමක් නෑ දාන්න කියලා. ඒක දැකලා තමයි මේ කතාබහක් ඇතිවෙලා තියෙන්නේ.

 

මම දේශපාලනයට පූර්ණකාලීනව සම්බන්ධ වෙන්නේ 1987 ඉඳලා. ඒ කියන්නේ දැන් අවුරුදු 40කට ආසන්නයි. ඒ කාලේ අපි ගෙවල් දොරවල් අතහැරලා ආවේ. පස්සේ අපි කතා වෙලා අනුරාධපුරේ, මාතලේ පැත්තේ තිබුණු අපේ පරණ ඉඩම්, දේපළ විකුණලා දැම්මා ඒවා ගරා වැටෙන නිසා. ඒ සල්ලිවලින් තමයි පර්චස් කෑලි ටිකක් එකතු කරලා මේ ගේ හදන්න පටන් ගත්තේ.

 

නිවේදක:

හැබැයි ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා මේක පක්ෂයේ අරමුදල් හෝ රජයේ මුදල් ද කියලා?

 

අමාත්‍ය ලාල්කාන්ත:

සාමාන්‍යයෙන් අනිවාර්ය පිළිවෙත් දෙකක් තියෙනවා. එකක් පක්ෂයේ සල්ලි. මම ජීවිත කාලෙම ඒවත් එක්ක සෙල්ලම් කරන්නේ නෑ. අනෙක රජයේ මුදල්. ඒවත් අවභාවිත වෙන්නේ නෑ. ඒ අතරමැද දේවල් තියෙනවනේ. ඉඩමක් විකුණනවා, ගනුදෙනු කරනවා. අනික, මම මේ වෙනකොට දේශපාලනයෙන් විශාල 'සමාජ ප්‍රාග්ධනයක්' (Social Capital) උපයාගෙන තියෙනවා. මම අද යම් කෙනෙකුට කතා කරලා ඉල්ලුවොත් කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී මට උදව් කරන්න පුළුවන් යාළු මිත්‍රයෝ විශාල පිරිසක් ඉන්නවා. ඒක මම එහෙම කළා කියලා නෙවෙයි කියන්නේ, නමුත් එහෙම හැකියාවක් තියෙනවා. අනික අර කලින් දවසක මගේ බිරිඳ පොතක් එළිදක්වන වෙලාවේ සන්නස්ගල මහත්මයා කිව්වා "අමාරුවෙන් ජීවත් වෙන්නේ, වයිෆ් විතරයි වැඩ කරන්නේ" කියලා. ඒකත් ඇත්ත. එදා ඒක ඇත්ත. අද තියෙන තත්ත්වයත් ඇත්ත. සමාජය සහ මිනිස්සු වෙනස් වෙනවා, වර්ධනය වෙනවා.

 

නිවේදක:

ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් හරිම 'අල්පේච්ඡයි' කියලා සමාජයට පෙනිලා තිබුණා. ඒත් දැන් සුඛෝපභෝගී ජීවිත ගත කරනවා කියලා විවේචනයක් එනවා නේද? අර ගෙදර පියානෝ එකක් තිබ්බා කියලත් කතා වුණා.

 

අමාත්‍ය ලාල්කාන්ත:

අපි දේශපාලනයට ආවේ හම්බ කරන්න නෙවෙයි. අපි අතිශය දුෂ්කර මර්දනයන්ට මුහුණ දුන්නා. ඒ කාලේ ඒවට හරියන්න අපි ජීවත් වුණා. මම ඉස්සර සුදු ෂර්ට් එකක්වත් ඇන්දද? නෑ. ටීෂර්ට් ඇන්දේ. හැබැයි මම අද අමාත්‍යවරයෙක්. මම මගේ තනතුරට හරියන්න අඳින්න ඕනේ. මම දැන් ටීෂර්ට් එකක් ගහගෙන කංජයියා වගේ හිටියොත් හරියන්නේ නෑ. යුගයක් තිබ්බා සන්නද්ධ අරගල කරපු, එදා හිටපු විදිහට අද ඉන්න ඕනේ නෑ. කවදාකවත් එහෙම ඉන්න බලාපොරොත්තුවකුත් නෑ. අපි වෙනස් වෙමින් ඉස්සරහට යන්න ඕනේ.

 

අර පියානෝ එක ගැන කිව්වොත්, ඒක අපේ දුව පොඩි කාලේ ඉඳන් සංගීතය ඉගෙනගන්න පාවිච්චි කරපු එකක්. අවුරුදු 15ක් විතර තිස්සේ අපි යන යන තැන ඒක අරන් ගියා. ඒක සෙල්ලම් බඩුවක් නෙවෙයි. පුටු සෙට් එකක් දැක්කත් සමහරුන්ට මැජික්. මේක ධනපතිකම නෙවෙයි. පාරිභෝගික භාණ්ඩයක් පාවිච්චි කළාට ධනපතියෙක් වෙන්නේ නෑ. ධනපතියා කියන්නේ ශ්‍රමය සූරාකාලා ප්‍රාග්ධනය හිමිකරගන්න කෙනාට. මේක අපේ සමාජයේ තියෙන කුහකකම සහ පටු ආකල්ප.

 

නිවේදක:

අපි ඔබේ අමාත්‍යාංශය පැත්තට හැරෙමු. ගොවීන් පොහොර ප්‍රශ්නයක් ගැන නිතරම කතා කරනවා නේද?

 

අමාත්‍ය ලාල්කාන්ත:

යල කන්නයේ වී වගාවට ඇතිවෙන්න අපි පොහොර දෙනවා. යූරියා සම්බන්ධයෙන් කිසි ප්‍රශ්නයක් නෑ. අපි වී වගාවට සහ ආහාර සුරක්ෂිතතාවයට ප්‍රමුඛත්වය දෙනවා. පෞද්ගලික අංශය ගෙනාපු පොහොරවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් රජය මැදිහත් වෙලා මිලදී ගෙන ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා වෙනදා වගේම ගොවීන්ට ලබා දෙන්න අපි පියවර අරන් තියෙනවා. කිසිම හිඟයක් ඇතිවෙන්න ඉඩ තියන්නේ නෑ.

 

නිවේදක:

වී අස්වැන්න නෙළුවට පස්සේ ගොවියාට තියෙන ලොකුම ප්‍රශ්නය මොකක්ද?

 

අමාත්‍ය ලාල්කාන්ත:

ලොකුම ප්‍රශ්නය තමයි කපපු ගමන් ගොවියාට ඒ වී ටික වේලලා කල් තියාගන්න ක්‍රමයක් දැන් නැති එක. ඉස්සර කමත, වී බිස්ස තිබ්බා. දැන් ඒවා නෑ. තෙත වී ටික එදාම විකුණගන්න ගොවියාට සිද්ධ වෙලා. එතනදී ගොවියා අසරණ වෙනවා. අපි මේකට පිළියමක් විදිහට ගොවීන්ට එකතු වෙලා පාවිච්චි කරන්න පුළුවන් ඩ්‍රයර්ස් (Dryers) සහ ගබඩා පහසුකම් පුළුල් කළ යුතුයි. වී අලෙවි මණ්ඩලය හරහා අපි යම් මිල පාලනයක් කරනවා, ඒ වගේම සහල් මිල පාලනය කරන්න පාරිභෝගිකයා වෙනුවෙන් අපි පිටින් හාල් ගෙනල්ලා හරි මැදිහත් වෙනවා.

 

නිවේදක:

වන අලි සහ රිලවුන්ගෙන් වගාවන්ට සිදුවන හානියට විසඳුමක් නැද්ද?

 

අමාත්‍ය ලාල්කාන්ත:

මේක ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. මේකට එකම ජාතික විසඳුමක් ගෙඩිය පිටින් දෙන්න බෑ. රිලව් රංචු 50ක් ඉන්න තැනට දෙන උත්තරය නෙවෙයි රංචු 500ක් ඉන්න තැනට දෙන්න ඕනේ. බලය විමධ්‍යගත කරලා, ප්‍රාදේශීය ලේකම්, වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශයේ ජනතාව එකතු වෙලා ඒ ඒ භූමියට ගැළපෙන විසඳුම් හොයාගන්න ඕනේ. ආගමික, සංස්කෘතික සහ පරිසරවේදීන්ගේ මතවාදත් එක්ක මේවා කළමනාකරණය කිරීම ලොකු අභියෝගයක්.

 

නිවේදක:

අවසාන වශයෙන්, සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ කරලා තියෙනවා. ඒ ගැන මොකද හිතන්නේ?

 

අමාත්‍ය ලාල්කාන්ත:

ජනතාව හොඳටම දන්නවා අද මේ රටේ තියෙන අර්බුදය අපේ ආණ්ඩුවක් හදපු එකක් නෙවෙයි, මීට කලින් හිටපු පාලකයෝ හදපු එකක් කියලා. ඒ නිසා මේ වෙලාවේ මහජනතාව අරගල කරන්න හෝ පාරට බහින්න සූදානම් නෑ. විපක්ෂය මේ උත්සාහ කරන්නේ කෘත්‍රිමව අරගලයක් හදන්න. 2022 වගේ මහජන නැගිටීමක් කෘත්‍රිමව හදන්න බෑ. විපක්ෂය ඉන්නේ ජනතාවට වඩා පස්සෙන්. අපි විපක්ෂයේ ඉන්නකොට 17 වෙනි සංශෝධනය වගේ දේවල් ගෙනැල්ලා ආණ්ඩුව ඉදිරියට තල්ලු කළා. ඒත් අද විපක්ෂය කරන්නේ යල්පැනගිය දේශපාලනයක්.

 

නිවේදක:

සාකච්ඡාවට එක්වීම ගැන ඔබට බොහොම ස්තූතියි!

 

අමාත්‍ය ලාල්කාන්ත:

බොහොම ස්තූතියි! ඔව්, ගේ ගැන හංගන්න දෙයක් නෑ. ලෝකෙට ඒක පෙන්නුවෙත් මමමයි. කෙනෙකුට ඒක අභියෝගයක් විදිහට භාරගන්න බැරිනම් ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි.

 

 

නවතම ලිපි