SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීමේදී සිදුවූවා යැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන්

එවකට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව මේ වනවිට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ තීරණාත්මක අදියරකට එළඹ තිබේ. 2026 මාර්තු 24 වැනිදා පැවැති නඩු විභාගය, සමස්ත නඩු ක්‍රියාවලියේම සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ බව නිරීක්ෂණය වේ.

 

 

විශේෂයෙන්ම, නඩුවේ මුල් කාල සීමාව තුළ විත්ති පාර්ශ්වයට එතරම් ඉඩක් නොලැබුණු පසුබිමක් තුළ, මේ වනවිට විත්තියේ නීතිඥවරුන් ගොඩනගන ප්‍රබල තර්ක හමුවේ පැමිණිල්ල යම් පසුබෑමකට ලක්ව ඇති බවක් පෙනෙන්නට ඇත.

 

 immunoglobulin injections

 

 

මෙහිදී වඩාත්ම කැපී පෙනෙන සිදුවීම වූයේ, පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම සහ විනිසුරු මඩුල්ල (විශේෂයෙන් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ) අතර ඇතිවූ උණුසුම් සංවාදයයි. විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ බිඳවැටුණු සාක්ෂි, නැවත ප්‍රශ්න ඇසීමේදී (Re-examination) යථා තත්ත්වයට පත් කරගැනීමට පැමිණිල්ල දැරූ උත්සාහය, විනිසුරු මඩුල්ලේ දැඩි දෝෂදර්ශනයට ලක්විය. මෙය, ඉදිරියේදී මෙම නඩුවේ තීන්දුව කෙරෙහි සෘජුවම බලපෑම් කළ හැකි නෛතික පසුබිමක් නිර්මාණය කර තිබේ.

 

 

 

සාක්ෂිකාරියගේ වගවීම සහ මතකයේ හිඩැස්

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (ඖෂධ අනුකමිටුවේ සභාපතිනිය) වෛද්‍ය ශිරාණි චන්ද්‍රිකා වික්‍රමසිංහ ගේ සාක්ෂිය, විත්තියේ ප්‍රබල හරස් ප්‍රශ්න කිරීම් හමුවේ බරපතල ප්‍රතිවිරෝධතා මතු කළේය.

 

අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපතිි නීතිඥ අනුජ ප්‍රේමරත්න මතු කළ ප්‍රධාන තර්කය වූයේ, 2022 වසරේ පැවැති දැඩි ඩොලර් හිඟය සහ ඖෂධ හිඟය හමුවේ, සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් කඩිනමින් ඖෂධ ගෙන්වීමට කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබූ බවයි.

 

 

Immunoglobulin

 

 

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න:

"ඖෂධ ගෙන්වීමේ සාමාන්‍ය ක්‍රියාවලියට ඔබ්බට ගොස් කඩිනමින් ඖෂධ මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණයක් අනුව කටයුතු කරමින් සිටි බව ඔබ දන්නවාද?"

 

සාක්ෂිකාරිය:

"මම ඒ ගැන දන්නේ නෑ. මම දන්නේ නැති දෙයක් නිසා ඒ ගැන පිළිතුරු දෙන්න අමාරුයි."

 

 

මෙහිදී සාක්ෂිකාරිය තමන් රැස්වීම්වලට සහභාගී වූ බව පිළිගත්තද, කැබිනට් පත්‍රිකා සකස් කිරීම හෝ තීරණ ගැනීම සම්බන්ධයෙන් කිසිදු වගකීමක් භාර නොගැනීම විත්තියේ වාසියට හේතු විය. සක්‍රීය තනතුරක් දරමින්, ආරාධනාවක් මත පෞද්ගලික අංශයද සහභාගී වූ තීරණාත්මක රැස්වීමකට සහභාගී වී "පැත්තකට වී බලා සිටියාද?" යනුවෙන් විත්තිය නැගූ තර්කය මගින් සාක්ෂියේ විශ්වසනීයත්වයට ප්‍රබල පහරක් එල්ල කෙරිණි.

 

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් කටඋත්තරයේ නෛතික සිදුරු

 

නඩුවේ වඩාත්ම තීරණාත්මක අනාවරණය සිදුවූයේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥ අසේල සේරසිංහ නැගූ හරස් ප්‍රශ්න හමුවේදීය.

 

සාක්ෂිකාරිය පිළිගත්තේ, CID ය වෙත ලබාදුන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමයට අදාළ ඖෂධ මිලදී ගැනීමේ 'ගැනීම් සටහන්' (Charts) ඇය විසින් සකස් කළේ ඇගේ පෞද්ගලික දැනුමෙන් නොව, ප්‍රධාන සම්බන්ධීකරණ කාර්යාලයට දුරකථනයෙන් කතා කර ලබාගත් තොරතුරු මත බවයි.

 

 

Supreme Court of Sri Lanka

 

 

සාක්ෂිකාරිය:

"...මම ප්‍රධාන සම්බන්ධීකරණ කාර්යාලයට දුරකථනයෙන් කතා කර ලබාගත් තොරතුරු මත සකස් කළ ගැනීම් සටහන් තමයි දුන්නේ. ඒ නිසා මට එම සටහන් ගැන පිළිතුරු දෙන්න පුළුවන් ටිකක් ගැන විතරයි."

 

 

අපරාධ නඩු විධාන සංග්‍රහය සහ සාක්ෂි ආඥා පනත අනුව, තමන්ට සෘජු දැනුමක් නොමැති, වෙනත් පාර්ශ්වයකින් අසා දැනගත් කරුණු මත (Hearsay) ලබාදෙන සාක්ෂිවල නෛතික බර ඉතා අල්පය. විත්තියේ නීතිඥ රහුල් ජයතිලක යෝජනා කළ පරිදි "කිසිදු අවබෝධයකින් තොරව සහ පෙර සකස් කරගෙන පැමිණි සටහන් අනුව" CID යට කටඋත්තර ලබා දී ඇති බවට වන තර්කය, සමස්ත පැමිණිල්ලේම පදනමට එල්ල කළ ප්‍රබල අභියෝගයකි.

 

 

පැමිණිල්ල සහ විනිසුරු මඩුල්ල අතර ඝට්ටනය: "සිට් ඩවුන්, සිට් ඩවුන්"

 

 

සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න හමුවේ පැටලීමත් සමග, ඇයගෙන් නැවත ප්‍රශ්න ඇසීම (Re-examination) නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් ආරම්භ කරන ලදී. නීතියට අනුව, නැවත ප්‍රශ්න ඇසීමේදී විමසිය හැක්කේ හරස් ප්‍රශ්න ඇසීමේදී මතු වූ අපැහැදිලිතා නිරාකරණය කිරීම පමණි. නව කරුණු ඉදිරිපත් කිරීම හෝ පෙර ලබාදුන් සාක්ෂිය බලහත්කාරයෙන් වෙනස් කිරීමට උත්සාහ කිරීම (Leading the witness) මෙහිදී සපුරා තහනම්ය.

 

දස වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මීට දැඩි විරෝධය පළ කළේය.

 

 

ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන:

"උතුමාණෙනි මෙම සාක්ෂිකාරියට පෙර සාක්ෂි ලබා දුන් සාක්ෂියකට අදාළවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම සාක්ෂිකාරියගෙන් නැවත හරස් ප්‍රශ්න නගනවා... නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඇගේ තනතුරටත් නොගැලපෙන ලෙස අධිකරණය හමුවේ හැසිරෙනවා."

 

 

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය හරස් කතා කරමින් විත්තියේ නීතිඥවරයාට බාධා කිරීමට උත්සාහ කළ අවස්ථාවේ, සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ දැඩි ස්වරයෙන් ඊට මැදිහත් විය.

 

 

සභාපති විනිසුරු:

"ඉඩ දෙන්න ඉඩ දෙන්න එතුමාට බාධා කරන්න එපා. මෙතන මාධ්‍යවේදීනුත් ඉන්නවා."

(නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අසුනින් නැගිට නැවතත් බාධා කරයි)

සභාපති විනිසුරු:

"සිට් ඩවුන් සිට් ඩවුන්" (Sit down, Sit down).

 

 

පැමිණිල්ල මෙම සාක්ෂිකාරියගෙන් "අසත්‍ය ප්‍රකාශ ලබාගන්න උත්සාහ කරනවා" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා කළ බරපතල චෝදනාව හමුවේ, විනිසුරු මඩුල්ල පැමිණිල්ලේ ක්‍රියාකලාපය පාලනය කිරීමට පියවර ගැනීම මෙම නඩුවේ සමතුලිතතාවය මනාව පිළිඹිබු කරන්නකි. අවසානයේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය යළිත් සාක්ෂිකාරියට පෙන්වා ප්‍රශ්න කිරීමට පැමිණිල්ල කළ ඉල්ලීමද විනිසුරු මඩුල්ල විසින් නිශ්චිතවම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

 

 

මාර්තු 24 වැනිදා නඩු විභාගය පැහැදිලිවම පෙන්වා දෙන්නේ, රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රකාශ සහ CID විමර්ශනවල පවතින දුර්වලතා විත්තිය විසින් ඉතා සූක්ෂ්ම ලෙස නිරාවරණය කරමින් සිටින බවයි. සාක්ෂිකාරිය සිය "මතකය නිසි පරිදි නොමැති බව" සහ "තොග හා ඇස්තමේන්තු යන වචන පටලවාගෙන සාක්ෂි දුන් බව" අධිකරණය හමුවේ පිළිගැනීම හරහා ඇගේ සාක්ෂියේ විශ්වසනීයත්වය (Credibility) දැඩි ලෙස ප්‍රශ්න කෙරී ඇත. පැමිණිල්ල අත තිබූ වාසිය ක්‍රමයෙන් ගිලිහී, විත්ති පාර්ශ්වය නඩුවේ පාලනය සියතට ගනිමින් සිටින ස්වභාවයක් මෙම තීරණාත්මක දිනය තුළ මනාව ප්‍රදර්ශනය විය.

 

[වියාචනය (Disclaimer):

මෙම ලිපිය 2026 මාර්තු 24 වැනි දින කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී වාර්තා වූ කරුණු සහ එදින නඩු වාර්තාව ඇසුරින් සකස් කරන ලද විශ්ලේෂණාත්මක මාධ්‍ය සටහනක් පමණි. මෙහි අන්තර්ගතය දැනට විභාග වෙමින් පවතින නෛතික ක්‍රියාවලියට, විනිසුරු මඩුල්ලේ නිගමනවලට හෝ අධිකරණයේ අවසන් තීන්දුවට කිසිදු ආකාරයකින් බලපෑම් කිරීමේ හෝ අගතියක් කිරීමේ අරමුණින් සකස් කර නොමැත. ශ්‍රී ලංකාවේ නීතියට අනුව, යම් පුද්ගලයෙකු අධිකරණයක් මගින් සාධාරණ සැකයකින් තොරව වරදකරුවෙකු බවට ඔප්පු කරනු ලබන තුරු ඔහු නිවැරදිකරුවෙකු ලෙස පූර්ව නිගමනය (Presumption of innocence) කෙරේ]. 

 

 court case keheliya

 

 

නඩු වාර්තාව

24/03/2026

 

රටේ එවකට පැවැති මූල්‍ය අර්බුදය නිසා ඇතිවී තිබූ ඖෂධ හිඟයට පිළියමක් ලෙස ඉන්දියානු නය ආධාර යෝජනා ක්‍රමය යටතේ  ලැබුණ මුදලින් ඖෂධ මිලදී ගැනීම කඩිනම් කිරීම සඳහා එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මෙන්ම පෞද්ගලික සැපයුම්කරුවන්ගේ සහභාගිත්වයෙන් 2022.09.22 වැනිදා පැවැති සාකච්ඡාවට ලැබුණ ආරාධනයක් මත තමා සහභාගි වුවත් එහිදී ගනු ලැබූ තීරණවලට තමා කිසිදු දායකත්වයක් නොදැක්වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ශිරාණි චන්ද්‍රිකා වික්‍රමසිංහ මහත්මිය ඊයේ (24) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී සාක්ෂි දෙමින් පැවසුවාය.

 

එම රැස්වීමේදී, ඉන්දියානු ණය ආධාර ක්‍රමය භාවිතා කරමින් ඖෂධ ආනයනය කිරීමේ ක්‍රියාවලියේ කාර්යය පටිපාටියේ යම් යම් අඩුපාඩු පවතින බවත් ඒවාට කඩිනම් විසඳුම් ලබා දී ඖෂධ ආනයනය විධිමත්ව හා කඩිනමින් සිදුකිරීමට පෞද්ගලික අංශයට හෝ වැඩි මුදල් ප්‍රමාණයක් වෙන්කර හෝ නියමිත කාලය ඉක්මයාමට පෙර ඖෂධ ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ඉදිරිපත් කර තිබූ කැබිනට් සංදේශය පිළිබඳව අවබෝධයක් ඇතිදැයි අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපතිි නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සාක්ෂිකාරියගෙන් විමසා සිටියේය.

 

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ; ඔබේ සාක්ෂි දීමට කැඳවීමට හේතුව වන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සිදුකළ ඖෂධ ප්‍රසම්පාදනයට අදාළ කරුණුයි.

 

සාක්ෂිකාරිය ; එහෙමයි

 

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ; ඇයි එහෙම ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට හේතුව? රටේ පැවැති ඩොලර් හිඟයට පිළියමක් ලෙස 2022 වසරේදී, එම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සිදුවූ බව මම ඔබට යෝජනා කරනවා.

 

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී

 

ජනාධිපති නීතිඥ ; ඖෂධ ගෙන්වීමේ සාමාන්‍ය ක්‍රියාවලියට ඔබ්බට ගොස් කඩිනමින් ඖෂධ මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණයක් අනුව කටයුතු කරමින් සිටි බව ඔබ දන්නවාද?

 

සාක්ෂිකාරිය ; මම ඒ ගැන දන්නේ නෑ. මම දන්නේ නැති දෙයක් නිසා ඒ ගැන පිළිතුරු දෙන්න අමාරුයි.

 

ජනාධිපති නීතිඥවරයා ; ඔබ සීඅයිඩී එකට ප්‍රකාශ දුන්නේ ඔබ දන්න දේවල් ගැන කියලනේ ඔබ කියලා තිබුණේ. ඔබ එම ප්‍රකාශ වලදී කියලා තියෙනවා නම්  ඖෂධ ප්‍රධානය කමිටුවක් හෝ අනුකමිටුවක් ඖෂධ ප්‍රසම්පාදනයට අදාළව කටයුතු කළේ නෑ  කියලා. ඒක හරිද?

 

සාක්ෂිකාරිය ; මට  ප්‍රශ්නය පැහැදිලි නෑ.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ; භාණ්ඩ මිලදී ගැනීම් ගැන යම් ප්‍රමාදයක් තිබූ බව ඔබ පිළිගන්නවාද?

සාක්ෂිකාරිය ; අපේ ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සෑහෙන දිගයි.

ජනාධිපති නීතිඥවරයා ; පැ 66 ලේඛනය මහා භාණ්ඩාගාර අතිරේක ලේකම්වරයා එවපු ලිපියක් බව ඔබ දන්නවාද?

සාක්ෂිකාරිය ; ඒක බලන්න ඕනා ස්වාමීනී. (සාක්ෂිකාරියට පැ 66 ලේඛනය පෙන්වයි. )

ජනාධිපති නීතිඥවරයා ; එම ලිපිය මගින් පැහැදිලිව දන්වා  තිබෙනවා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී ප්‍රමාදයක් තිබෙනවා එය වළක්වන්න කටයුතු කරන්න කියලා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට වෙන්කළ මුදල් ඖෂධ මිලදී ගැනීම සඳහා භාවිතා වීම අඩුවක් තිබෙන නිසා එය වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්න කියලත් එහි සඳහන් වෙනවා නේද?

සාක්ෂිකාරිය ; එහෙම නෙවෙයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට වෙන්කළ ඩොලර් මිලියන 34 ක මුදල සම්පූර්ණයෙන්ම පුද්ගලික අංශයට දෙන්න කියලයි එහි තිබෙන්නේ.

ජනාධිපති නීතිඥවරයා ; කැබිනට් මණ්ඩලය ගත්තු තීරණය ක්‍රියාත්මක කළ යුත්තේ  කව්ද කියලත් එහි සඳහන් වෙනවා නේද?

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී

ජනාධිපති නීතිඥවරයා ; ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හිඟ ඖෂධ මිලදී ගැනීමට එනම් ඒ සමග තිබෙන ලැයිස්තුවේ සඳහන් ඖෂධ මිලදී ගැනීමට නේද එම සාකච්ඡාව පවත්වා තිබෙන්නේ?

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; හිඟ බෙහෙත් ලැයිස්තුවක් ගැන එහි සඳහන් නෑ

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ; ඒ ඖෂධ ලැයිස්තුව ඕකට අමුණා තියෙන්නේ මාස තුනකට අවශ්‍ය බෙහෙත් ලබා ගැනීමට පියවර ගන්නා ලෙසත්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව බයි බැක් (buy back) ක්‍රමය යටතේ ඒවා මිලදී ගන්නා සහතිකයක් එයට ඇතුළත් නේද?

සාක්ෂිකාරිය ; මේ සටහන පළමු වතාවට මම දැක්කේ අදයි. මේ ගැන මට මතක නැහැ.

ජනාධිපති නීතිඥවරයා ; අමතක වෙන නිසා නේද සටහන් තබා ගන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා  තිබෙනවා ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව සකස් කරන ලෙසටත් ඖෂධ පුද්ගලික අංශයෙන් මිලදී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමටත් එමඟින් උපදෙස් දීලා තිබෙනවා නේද?

සාක්ෂිකාරිය ; මම තීරණ ගන්නේ නැහැ. කැබිනට් පේපර් හදන්න මගේ සම්බන්ධතාවයක් නෑ.

ජනාධිපති නීතිඥවරයා ; ඔබ එම රැස්වීමට ගියාට පැත්තකට වෙලා නිකන් බලාගෙන හිටියාද? ඔබ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ අනුකමිටුවේ සභාපතිවරිය ලෙස නේද එම රැස්වීමට සහභාගි වුණේ. ඔබ සක්‍රීය තනතුරට අදාළව නේද ඒකට සහභාගී වුණේ?

සාක්ෂිකාරිය ; මම අනුකමිටුවේ සභාපතිනිය ලෙස මගේ වගකීම ඉටුකළා. ආරාධනා කරපු නිසා  ගියා. එහිදී ගත්තු තීරණ තමයි ඔය ඇතුලත් කරලා  තිබෙන්නේ.

ජනාධිපති නීතිඥවරයා ; සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ විෂය පථය කුමක්ද? එතුමා එම රැස්වීමට සහභාගි වුණානේ?

සාක්ෂිකාරිය ; මම දන්න පරිදි අපේ අධීක්ෂණ නිලධාරියා ඔහු. එහිදී එතුමාගේ ලොකු දායකත්වයක් අවශ්‍ය වුණේ නැහැ.

ජනාධිපති නීතිඥවරයා ; එම සාකච්ඡාවෙන් පසු කැබිනට් පත්‍රිකාවක් ගොනුකළ බව ඔබ දන්නවාද?

සාක්ෂිකාරිය ; මම දන්නේ නෑ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12කට එරෙහිව ගොනුකර ඇති එම නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි.

හයවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සත්‍යජිත් මුණසිංහ මහතා එම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

නීතිඥ සත්‍යජිත් මුණසිංහ මහතා ; ඖෂධ සැපයුම්කරු හෝ ආනයනකරු විසින්ද ඊට අදාළ ලේඛන ඔබගේ අනුකමිටුවට ඉදිරිපත් කළ යුත්තේ?

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සිදු කරන සැපයීම්වලදී එම ආයතනය විසින් ඊට  අදාළ ලේඛන ඉදිරිපත් කළ යුතුයි.

හත්වන විත්තිකාර වෛද්‍ය සැපයුම් ඒකකයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ධර්මසිරි රත්න කුමාර හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනුෂ් රන්දෙනිය මහතා එම සාක්‍ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

නීතිඥ දිනුෂ් රන්දෙනිය මහතා ; ඔබතුමිය හත්වන විත්තිකරු රාජකාරී නිවාඩු ලබා සිටියදී වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයේ රාජකාරී ආවරණය කල නිසා ඒ පිළිබඳව අවබෝධයක් ඇතිනේ?

සාක්ෂිකාරිය ; අධ්‍යක්ෂවරයාට තරම් දැනුමක් නෑ නමුත් යම් අවබෝධයක් තිබෙනවා.

විත්තියේ නීතිඥවරයා ; ඉන්දියානු ණය යෝජනා ක්‍රමයට අදාල ඖෂධ අනුකමිටුවේ සභාපතිණිය ලෙස ඔබතුමිය කටයුතු කරන විට හත්වන විත්තිකරුගෙන් ඔබට ලිපියක් ලැබුනානේ?

සාක්ෂිකාරිය ; එවා තිබෙන්න පුළුවන් දැක්කොත් අඳුර ගන්න පුළුවන්. මෙම ලිපියට මම පිළිතුරු යවා තිබෙනවා.

සභාපති විනිසුරුවරයා ; එම ලිපිය සාක්ෂිකාරියට බලන්න දෙන්න. මුල් ලේඛනය තිබෙනවාද කියලා අහන්න (සාක්ෂිකාරියට එම ලිපිය ඉදිරිපත් කරයි)

සාක්ෂිකාරිය ; මේකේ මගේ අත්සන තිබෙනවා. විත්තියේ නීතිඥවරයා එම ලිපිය 7 වි 1 ලෙස ලකුණු කරයි.

විත්තියේ නීතිඥ ; ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකාවට ඖෂධ ආනයනය කිරීමට අදාල දින වෙනස්වීම මත 2023.01.31 වන දිනට පෙර ඖෂධ ගෙන්වා ගැනීම පිළිබඳවනේ ඉන් කරුණු ඉල්ලා තිබෙන්නේ ?

සාක්ෂිකාරිය ; ඔව් 2022 සැප්තැම්බර් මාසය වන විට කාලය ඉකුත් වීමට තිබුණේ. මාස හතරක පමණ කාලයක් නිසා 2023 ජනවාරි 31 වන දිනට පෙර ඖෂධ ආනයනය කිරීමට හැකිනම් පමණක් ඉන්වොයිස් පත්‍ර ඉදිරිපත් කරන්න කියලයි ඉන් පැහැදිලි කර තිබෙන්නේ. මාස හතරකින් ඖෂධ ආනයනය කිරීමට අපහසුයි. නමුත් සමහර අවස්ථාවලදී සති දෙකක් තුලත් හදිසි ඖෂධ ආනයනය කිරීම් සිදුවන අවස්ථා තිබෙනවා.

නීතිඥ දිනුෂ් රන්දෙනිය මහතා ; ජනවාරි 31 වැනිදාට පෙර ඖෂධ ආනයනය කරන්න බැරි නම් ඉන්වොයිස් බාරගන්න එපා කියලා  එම ලිපියේ සඳහන් කර තිබෙනවාද?

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මම ඒ ප්‍රශ්නයට විරුද්ධයි.

විත්තියේ නීතිඥ ; ඊට පසු ඔබ ඒ ලිපිය පිළිබඳව සොයා බැලුවාද? පසු විපරමක් කලාද?

සාක්ෂිකාරිය ; මට මතක නෑ

විත්තියේ නීතිඥ ; ඔබට වගකීමක් තිබෙනවා නේද ඔබ ඉදිරිපත් කළ ලිපියට ගත් පියවර පිළිබඳව සොයා බලන්න?

සාක්ෂිකාරිය ; මට මතක නෑ පසු විපරමක් කලාද කියලා.

විත්තියේ නීතිඥ ; මා ඔබට යෝජනා කරනවා  ඔබ ඔබගේ වගකීම ඉටුකර නැති බවට.

සාක්ෂිකාරිය ;මම මගේ වගකීම උපරිමයෙන් ඉටුකර තිබෙනවා.

විත්තියේ නීතිඥ ; පැ 190 ලිපිය මගින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා කියා තිබෙන්නේ ඉන්දියානු නය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ආනයනයට අදාළ ඉල්ලුම්පත්‍ර ඒ වන විටත් ලැබෙමින් පවතින නිසා එම සංස්ථාව වෙනුවෙන් වෙන් කළ මුදල් භාවිතා කළ හැකි ප්‍රමාණය නිශ්චිතව කියන්න අපහසුයි කියන කාරණය නේද?

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී

විත්තියේ නීතිඥ ; එලෙස ඇනවුම් කරන්නේ වසරක කාලයකට ප්‍රමාණවත් ඖෂධ කියා මා යෝජනා කළොත් ඔබබ පිළිගන්නවාද?

සාක්ෂිකාරිය ; වසරකටද දෙකකටද කියන කාරණය මට අදාල නෑ. නොදන්න නිසා මට ඒකට හරියටම පිළිතුරු දෙන්න බෑ.

විත්තියේ නීතිඥ ; ඒවා හදිසි මිලදී ගැනීම් කීවොත් ඔබ පිළිගන්නවාද?

සාක්ෂිකාරිය ; පිළිගන්නවා

මෙම අවස්ථාවේ දී එම සාක්ෂිකාරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට 2024.01.29 වැනිදා දෙවන වරට ලබා දුන් සාක්ෂිය පිළිබඳව සාක්ෂිකාරියගෙන් නැවත හරස් ප්‍රශ්න ඇසීමට විනිසුරු මඩුල්ල විත්තියට අවස්ථාව ලබා දුන්නේය.

විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා ; ඔබගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2024.01.29 වැනිදා ප්‍රකාශ සටහන් කර ගත්තෙත් ඉන්දියානු ණය යෝජනා ක්‍රමයට අදාළ ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට අදාළවනේ. ඔබ එදින ඊට අදාල ගැනීම් සටහන් සීඅයිඩී එකට දුන්නාද? 

සාක්ෂිකාරිය ; ඔව් මට ඒ ගැන පැහැදිලි කිරීමක් කිරීමට අවශ්‍යයි. සීඅයිඩීය මගෙන් ගැනීම් සටහන් ඉල්ලපු නිසා මම ප්‍රධාන සම්බන්ධීකරණ කාර්යාලයට දුරකථනයෙන් කතා කතා කර ලබාගත් තොරතුරු මත සකස් කළ ගැනීම් සටහන් තමයිි දුන්නේ. ඒ නිසා මට එම සටහන් ගැන පිළිතුරු දෙන්න පුළුවන් ටිකක් ගැන විතරයි. සම්බන්ධීකරණ කාර්යාලය තමයි වැඩිදුර තොරතුරු දන්නේ.

විත්තියේ නීතිඥ ; ඔබ ඒ ගැන සීඅයිඩී යට කීවාද ?

සාක්ෂිකාරිය ; මගෙන් ඒ ගැන ඇහැව්වේ නෑ. චාර්ට් එක විතරයි ඉල්ලුවේ.

විත්තියේ නීතිඥ ; ඔබ ඔය සාක්ෂි දෙන්නේ, ඖෂධ අනු කමිටුවේ සභාපතිනිය ලෙස නේද?

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මම ඒ ප්‍රශ්නයට විරුද්ධයි

සභාපති විනිසුරු ; දන්නවද නැතිද කියලනේ ඇහුවේ.

විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා ; ඒක මගේ විෂය පථය නෙමෙයි මට මතක නෑ කියලා කියන්නේ ඔබ එම තනතුරේ රාජකාරී කළ වසර දෙකට අදාල රාජකාරියේ සමහර දේවල් නිශ්චිතවම දැන් මතක නෑ කියන එකද?

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී

නම වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි, නීතිඥ රහුල් ජයතිලක මහතා ; 2024.01.29 වැනිදා, සීඅයිඩී යට ඔබ ලබා දුන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ආනයනයට අදාළවනේ ? ඔබගේ අනුකමිටුවෙන් ප්‍රසම්පාදන කටයුතු සිදු කරන්නේ නෑ. ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අදාල ලේඛන සැපයුම්කරු විසින් ඉදිරිපත් කළ යුතු බවට ඊට පෙර ඔබ ලබා දුන් ප්‍රකාශයේ තිබෙනවා. ඒක හරිද කියලා සීඅයිඩීය ඔබගෙන් අසා තිබෙනවා.  ඔබ පිළිගෙන තිබෙනවා ඒක නිවැරදි බවට.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මම එම ප්‍රශ්නයට විරුද්ධයි

විත්තියේ නීතිඥ ; ඔබ සීඅයිඩී යට කිසිදු අවබෝධයකින් තොරව සැපයුම්කරුවන් සම්බන්ධයෙන් ඔවුන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දී ඇති බව මා යෝජනා කරනවා.

සාක්ෂිකාරිය ; මම ඒක පිළිගන්නේ නෑ

විත්තියේ නීතිඥ ; පෙර සකස් කරගෙන පැමිණි සටහන් අනුව ඔබ සීඅයිඩී යට ප්‍රකාශ ලබාදී ඇති බව මා යෝජනා කරනවා.

සාක්ෂිකාරිය ; නෑ මම එය පිළිගන්නේ නෑ.

විනිසුරු විරාජ් වීරසූරිය මහතා ; ඔබ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රසම්පාදන කටයුතු වලට සම්බන්ධ වී තිබෙනවාද?

සාක්ෂිකාරිය ; දැනට මාස දෙකකට පමණ පෙර සිට මම එකී ප්‍රසම්පාදන කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කරනවා.

විනිසුරු විරාජ් වීරසූරිය මහතා ;  පැ 179 සිට පැ 208 දක්වා වූ 2022.03.24 සිට 2023.02.03 දක්වා වූ ඖෂධ අනුකමිටු සටහන් පිළිබඳව ඔබ සාක්ෂි දුන්නා. ඒවායේ මුල් ලේඛන තිබෙනවාද?

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී ඒවායේ මුල් පිටපත් ගොනුවල තිබෙනවා ඡායාස්ථ පිටපත් මගින් තමයි මම සාක්ෂි දුන්නේ.

මෙම අවස්ථාවේ දී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විත්තියේ නීතිඥවරුන් විසින් ඇය මාර්ගයෙන් අධිකරණය හමුවේ විත්තියේ සාක්ෂි ලෙස ඉදිරිපත් කරන ලද ලේඛන සම්බන්ධයෙන් හා ඔවුන් අසන ලද හරස් ප්‍රශ්න සම්බන්ධයෙන් සාක්ෂිකාරියගෙන් නැවත ප්‍රශ්න ඇසීම ආරම්භ කළාය.

තමන් විත්තියේ නීතිඥවරුන් විසින් අසන ලද සමහර හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙනු  ලැබුවේ සිය පෞද්ගලික දැනුම අනුව බවත් සමහර අවස්ථාවලදී හරස් ප්‍රශ්න නිසියාකාරව තේරුම් නොගෙන පිළිතුරු ලබාදුන් බවත් සාක්ෂිකාරිය එහිදී නියෝජ්‍ය සොලිසිට ජෙනරාල්වරියගේ නැවත ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසුවාය. එමෙන්ම සමහර අවස්ථාවලදී සිය මතකය අනුව තමා හරස් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් බවද සාක්‍ෂිකාරිය අධිකරණය හමුවේ සත්‍ය ප්‍රකාශ කරන බවට ප්‍රතිඥා දෙමින් හයවන දිනටත් සාක්ෂි දෙමින් පැවසුවාය

නීතිඥ අසේල සේරසිංහ මහතා ; මගේ උගත් මිතුරිය නැවත ප්‍රශ්න නැගීමේ දී මම හරස් ප්‍රශ්න නොඅසන ලද කරුණු සම්බන්ධයෙන්ද සාක්ෂිකාරියගෙන් නැවත ප්‍රශ්න නගමින් කීප වරක්ම විමසුවා. මම කැමති නෑ පැමිණිල්ලට බාධා කරන්න. පැමිණිල්ලට අවශ්‍ය ප්‍රශ්නයක් නැගීමේ අයිතිය තිබෙන එක ඇත්ත නමුත් එය නියමිත රාමුව තුළ සිට කළ යුතුයි.

වෛද්‍ය සැපයුම් අංශයේ පවත්වාගෙන යා යුතු අපේක්ෂිත ඖෂධ තොග පිළිබඳව සාක්ෂිකාරිය විත්තියෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙනු ලැබුයේ නිශ්චිත දැනුමක් මත දැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී සාක්ෂිකාරියගෙන් නැවත ප්‍රශ්නයක් ඇසුවාය.

සාක්ෂිකාරිය ; ස්වාමීනි, තොග හා ඇස්තමේන්තු යන වචන දෙක පටලවාගෙනයි. මම එම හරස් ප්‍රශ්නවලට පිළිතුරු දීලා තියෙන්නේ. ඒ අවස්ථාවේ තිබූ මගේ දැනුමේ හැටියටයි. එහෙම කීවේ.

සභාපති විනිසුරුවරයා ; තොග ප්‍රමාණය වැඩි කරලා කියන්න පදනම මොකක්ද ?

සාක්ෂිකාරිය ; මම අවබෝධ කරගත් ආකාරයටයි සාක්ෂි දුන්නේ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විත්තිය නැගූ හරස් ප්‍රශ්නයකට අදාළව ලබාදුන් සාක්ෂියක් ඉස්මතු කරමින් නැවත ප්‍රශ්නයක් නැගූ විට තමා ලබා දුන් එකී පිළිතුරු නිවැරදිද යන බව නිශ්චිතවම නොදන්නා බවත් තමා තේරුම් ගත් ආකාරයට පිළිතුරු දුන් බවත් සාක්ෂිකාරිය පැවසුවාය.

දස වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ; නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය නැවත ප්‍රශ්න නගන ආකාරය ඉතාමත් වැරදි.

මෙම අවස්ථාවේ දී සාක්ෂිකාරිය අධිකරණ ශාලාවෙන් පිටතට යැව් විනිසුරු මඩුල්ල ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වීමට ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතාට අවසර ලබා දුන්නේය.

ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ; උතුමාණෙනි මෙම සාක්ෂිකාරියට පෙර සාක්ෂි ලබා දුන් සාක්ෂියකට අදාළවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම සාක්ෂිකාරියගෙන් නැවත හරස් ප්‍රශ්න නගනවා. (නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ජනාධිපති නීතිඥවරයාගේ කරුණු දැක්වීමට බාධා කරමින් අදහස් ප්‍රකාශ කිරීම සිදුකරයි)

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; ඉඩ දෙන්න ඉඩ දෙන්න එතුමාට බාධා කරන්න එපා.  මෙතන මාධ්‍යවේදීනුත් ඉන්නවා.

ජනාධිපති නීතිඥවරයා ; නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඇගේ තනතුරටත් නොගැලපෙන ලෙස අධිකරණය හමුවේ හැසිරෙනවා.

(නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අසුනින් නැගිට නැවතත් බාධා කරමින් අදහස් දැක්වීම සිදුකරයි)

සභාපති විනිසුරු; සිට් ඩවුන් සිට් ඩවුන්

ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ; පැමිණිල්ල මෙම සාක්ෂිකාරියගෙන් අසත්‍ය ප්‍රකාශ ලබාගන්න උත්සාහහ කරනවා. නැවත ප්‍රශ්න අහන්න පටන් ගත් අවස්ථාවේදී සිටම අවස්ථා කීපයකදීම එහෙම අසත්‍ය ප්‍රකාශ ලබාගන්න ඇය උත්සාහ  කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේකට ඉඩදෙන්න එපා ස්වාමීනී.

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; එතුමා කරුණු දක්වන්නේ අධිකරණයටමයි අපි ඒක බලා ගන්නම්. ඔබතුමිය වාඩිවෙන්න වාඩිවෙන්න.

අධිකරණ ශාලාවෙන් පිටතට යැව් සාක්‍ෂිකාරිය නැවත විවෘත අධිකරණය හමුවට කැඳවා දිවුරුම් ලබාගෙන නැවත ප්‍රශ්න ඇසීමට විනිසුරු මඩුල්ල පැමිණිල්ලට අවසර දුන්නේය.

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; එතුමියගෙන් විත්තිය ඇසුවා ඔබ 2024.01.29 වැනිදා දෙවන වරට සීඅයිඩී යට ලබා දුන් ප්‍රකාශය ගැන. එහි සඳහන් වෙනවා එදින 12.45ට ප්‍රකාශ සටහන් කිරීම ආරම්භ කොට 12.30 අත්සන් තබා ඇති බව.

(මෙම අවස්ථාවේදී සාක්ෂිකාරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් එම ප්‍රකාශය පෙන්වා නැවත ප්‍රශ්න ඇසීමට නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය කළ ඉල්ලීම විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළේය)

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබට මතකද එම ප්‍රකාශයට අත්සන් තැබූ වෙලාව ගැන. ඔබ අත්සන් තැබුවේ ප්‍රකාශය අවසානයේදීද? අත්සන් තැබීම විතරද ඔබ කළේ?

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී මම අවධානය යොමු කළේ මට ලබා දුන් ප්‍රකාශයේ අන්තර්ගතය ගැන විතරයි. මම ඒක කියවා බැලුවා. ඊට පසු අත්සන තැබුවා. නමුත් අත්සන් තැබූ වෙලාව ගැන මතක නෑ. වෙලාව ගැන මම අවධානයක් යොමු කළේ නෑ.

වැඩිදුර සාක්ෂි විභාගය ලබන 26 වැනිදා පෙරවරු 10.00 දක්වා කල්තැබූ අතර වැඩිදුර නැවත ප්‍රශ්න ඇසීම සඳහා හත්වන දිනටත් එම සාක්ෂිකාරියට අධිකරණය හමුවේ. පෙනී සිටින ලෙසට විනිසුරු මඩුල්ල අවවාද කළේය.

 

නවතම ලිපි