ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුව: (නඩු වාර්තා විමර්ශන සටහන - 2026.03.24)
රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කරමින්, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි
(Human Immunoglobulin) 6195ක් රජයේ රෝහල් පද්ධතියට සැපයීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව, මේ වන විට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට එළඹ ඇත.
මාර්තු 23 දින විභාග වූ නඩු වාර්තාව ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන ප්‍රධානතම කරුණක් වන්නේ, මෙරට අපරාධ විමර්ශන යාන්ත්‍රණයේ පවතින බරපතල අක්‍රමවත්භාවය මෙන්ම, ඉහළ පෙළේ දේශපාලන සහ පරිපාලන තීරණ හමුවේ රාජ්‍ය නිලධාරීන් නීතිය ඉදිරියේ කෙතරම් අසරණ තත්ත්වයකට පත්වන්නේද යන්නයි.
මෙම නඩු වාර්තාව ඔස්සේ මතුවන ප්‍රධාන තාර්කික සහ නීතිමය කරුණු පහත පරිදි පෙළගැස්විය හැකිය.

සිහිනයක් වූ ඖෂධ සංචිතය සහ ප්‍රායෝගික යථාර්ථය
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය ශිරාණි චන්ද්‍රිකා වික්‍රමසිංහ සිය සාක්ෂිය ආරම්භ කරමින්ම මතු කරන කරුණක් වන්නේ, මාස තුනක අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පවත්වාගෙන යාම සෞඛ්‍ය බලධාරීන්ගේ "සිහිනයක්" පමණක් බවයි. ඊට ප්‍රධාන හේතුව ලෙස ඇය පෙන්වා දෙන්නේ සුරක්ෂිත ගබඩා පහසුකම් නොමැති වීමයි. මෙය සමස්ත නඩුවේම පසුබිම් කතාව නිර්මාණය කරයි. ඩොලර් හිඟය සහ ගබඩා හිඟය යන අර්බුද ද්විත්වය මධ්‍යයේ හදිසි මිලදී ගැනීම් සඳහා දොරටු විවර වූ ආකාරයත්, එම අවදානම් සහගත පරිසරය තුළ රාජ්‍ය නිලධාරීන්ට ක්‍රියාත්මක වීමට සිදුවූ ආකාරයත් මෙයින් මනාව පැහැදිලි වේ.
විත්තියේ ප්‍රබල තුරුම්පුව: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) බරපතල අතපසුවීම
නඩුවේ හරයටම බලපාන බරපතලම සිදුවීම වාර්තා වන්නේ 6 වන විත්තිකරු (හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත) වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතාගේ හරස් ප්‍රශ්න ඇසීම තුළිනි. පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකාරියකගෙන් රහස් පොලිසිය අවස්ථා දෙකකදී (2024.01.18 සහ 2024.01.29) ප්‍රකාශ ලබාගෙන තිබියදීත්, අධි චෝදනා පත්‍රය සමඟ විත්තියට ලබා දී ඇත්තේ ඉන් එක් ප්‍රකාශයක් පමණක් බව අධිකරණයේදී හෙළි විය.
- නීතිමය ප්‍රතිවිපාකය:
සාක්ෂි ආඥා පනතේ 52 වගන්තිය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව විත්තිකරුවෙකුට තමන්ට එරෙහිව ඇති සියලු ලේඛන අධ්‍යයනය කර විත්ති වාචකයක් ගොඩනගා ගැනීමට ඇති මූලික අයිතිය මෙහිදී උල්ලංඝනය වී ඇති බවට විත්තිය ප්‍රබල තර්කයක් ගොඩනගයි.
- පැමිණිල්ලේ අසරණභාවය:
මෙම ලේඛනය වසන් වී ඇති බව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පවා දැන ගන්නේ අධිකරණයේදීය. "ගරු අධිකරණය ප්‍රශ්න කරනතුරු පැමිණිල්ල දන්නේ නෑ මෙම සාක්ෂිකාරිය දෙවරක් ප්‍රකාශ ලබාදී ඇති බව," යැයි පවසන ඇයට අවසානයේ "මම ආස නෑ මේ වැඩේට" යැයි පවසමින් විමර්ශන ආයතනවල ක්‍රියාකලාපය පිළිබඳ සිය දැඩි අප්‍රසාදය විවෘතවම පළ කිරීමට සිදුවිය. මෙය පැමිණිල්ලේ නඩුව දුර්වල කරන ප්‍රබල සාධකයකි.
සාක්ෂි කූඩුවේ තනිවන රාජ්‍ය නිලධාරියාගේ මානසික පීඩනය
මෙම නඩු වාර්තාව රාජ්‍ය නිලධාරීන් මුහුණ දෙන මානසික පීඩනයේ කැඩපතකි. වෛද්‍ය ශිරාණි වික්‍රමසිංහ මහත්මිය අධිකරණයෙන් කරන ඉල්ලීම ඊට කදිම නිදසුනකි:
"මම පසුගිය සිකුරාදාත් උසාවිය හමුවේ සාක්ෂි දීල ගෙදර ගිහින් කල්පනා කළා. මම දෙන සාක්ෂි වැරදි ලෙස අර්ථකථනය වෙන්න පුළුවන් කියන එක. ඒ නිසයි ඒ ගැන පැහැදිලි කිරීමට ඔබතුමන්ලාගෙන් අවසර ඉල්ලා සිටින්නේ."
නීතිමය රැකවරණයක් හෝ උපදේශනයක් නිසි පරිදි නොමැතිව, දැවැන්ත චෝදනා පත්‍රයක් සහිත නඩුවක දින ගණනාවක් හරස් ප්‍රශ්න වලට මුහුණ දීමේදී තමන් අතින් කියවෙන වචනයක් හෝ වැරදියට අර්ථකථනය වේවිදෝ යන බිය නිලධාරීන් තුළ පවතින බව මින් තහවුරු වේ.
විමර්ශන සටහන්වල කාල පරස්පරතා සහ අත්සන් වෙනස්වීම්
විත්තියේ නීතිඥවරුන් ඉතා සූක්ෂම ලෙස සී.අයි.ඩී විමර්ශනවල ඇති තාක්ෂණික දෝෂ අධිකරණය හමුවේ දිගහරිමින් සිටී.
- වේලාවේ ගැටලුව:
දෙවන ප්‍රකාශය සටහන් කිරීම ආරම්භ කළ වේලාව ලෙස 12.45 සටහන් කර තිබියදී, සාක්ෂිකාරිය එය කියවා බලා අත්සන් කළ වේලාව ලෙස 12.30 සටහන් වී තිබීම.
- ලේඛනවල වෙනස්කම්:
මහේස්ත්‍රාත් අධිකරණයට යැවූ බව කියන 2023.01.16 දිනැති පිළිතුරු ලිපියේ පිටපතේ අත්සනේ වෙනසක් පවතින බව සාක්ෂිකාරිය විසින්ම පිළිගැනීම.
මෙවැනි තාක්ෂණික පරස්පරතා (Technical discrepancies) විත්තිය විසින් සාක්ෂිවල විශ්වසනීයත්වය (Credibility of Evidence) බිඳ දැමීම සඳහා ප්‍රබලව භාවිතා කරන බව පෙනෙන්නට තිබේ.
දේශපාලන තීරණ පිළිබඳව නිලධාරීන්ට ඇති සීමිත අවබෝධය
2022.02.28 දින එවකට වෙළඳ අමාත්‍යවරයා (බන්දුල ගුණවර්ධන මහතා යැයි සාක්ෂිකාරිය අනුමාන කරයි) සමග පැවති රැස්වීම් සහ 2022 නොවැම්බර් මාසයේ අමාත්‍ය මණ්ඩල සංදේශ පිළිබඳව විත්තිය ප්‍රශ්න කරන විට, නිලධාරිනියට ඒ පිළිබඳව නිශ්චිත මතකයක් හෝ දැනුමක් නොමැති බව පිළිගැනීමට සිදුවේ. "මම මේ කැබිනට් සංදේශය ගැන මුකුත්ම දන්නේ නෑ," යනුවෙන් ඇය ලබාදෙන පිළිතුරෙන් ගම්‍ය වන්නේ, ඉහළින් ගන්නා කැබිනට් තීරණ සහ අනුකමිටු තීරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින පහළ නිලධාරීන්ට එම තීරණවල සැබෑ අරමුණ හෝ නෛතික පසුබිම පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දී නොමැති බවයි.
ඉදිරි දිශානතිය:
නඩුව විභාගය අවසානයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් විත්තියේ නීතිඥවරයෙකු වෙත එල්ල කරන "අහගෙන ඉන්න අමාරුයි වගේම දරාගෙන ඉන්නත් අමාරුයි නේද?" යන උපහාසාත්මක ප්‍රකාශය, අධිකරණ ශාලාව තුළ දෙපාර්ශවය අතර ගොඩනැගෙමින් පවතින දැඩි උණුසුම්කාරී තත්ත්වය සංකේතවත් කරයි.
කෙසේ වෙතත්, පැමිණිල්ල කොතරම් ශක්තිමත් වුවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ප්‍රධානතම විමර්ශන ආයතනයක් සාක්ෂි ගොනු කිරීමේදී සහ නඩත්තු කිරීමේදී (Chain of Custody and Documentation) මෙතරම් දුර්වල ලෙස කටයුතු කරන්නේ නම්, එයින් සෘජු වාසිය අත්වන්නේ විත්තිකරුවන්ටය. ඉදිරි දිනවලදී විමර්ශන නිලධාරීන් සාක්ෂි කූඩුවට නැගුණු විට, මෙම හිඩැස් මත පදනම්ව විත්තිය දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනු ඇති බව නොඅනුමානය.

නඩු වාර්තාව
23/03/2026
ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ වර්ග මාස තුනක කාලයකට ප්‍රමාණවත් ආකාරයෙන් හෝ තොග පවත්වාගෙන යාම සෞඛ්‍ය බලධාරීන්ගේ එකම අභිලාෂය වුවත් එය යථාර්ථයක් බවට පත් කර ගත නොහැකි සිහිනයක් පමණක් වන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය ශිරාණි චන්ද්‍රිකා වික්‍රමසිංහ මහත්මිය ඊයේ (23) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසුවාය.
ඖෂධ රටට ආනයනය කරනුයේ සුරක්ෂිතව ඒවා ගබඩා කිරීමට ඇති ගබඩා පහසුකම් අනුව බවත් එහිදී ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීර සූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේදී එම මහත්මිය ප්‍රකාශ කළාය. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව ඊයේ (23) කැඳවිණි.
පැමිණිල්ලේ 203 වන සාක්ෂිකාරිය ලෙස කැඳවා තිබූ එම මහත්මිය ඊයේ (23) පස්වන දිනටත් විවෘත අධිකරණය හමුවේදී සාක්‍ෂි ලබාදීම ආරම්භ කළාය. එම නඩුවේ, දස වන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් වෛද්‍ය කුසුම්සිරි රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවි හංස විජේසිංහ මහතා සාක්ෂිකාරියගෙන් වැඩිදුරටත් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
නීතිඥ රවිහංස විජේසිංහ මහතා ; 10 වී 43 ලෙස නම් කර තිබෙන වෛද්‍ය සැපයුම් අංශ ලේඛනයේ 218 ලෙස නම්කර තිබෙන හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් කියන ඖෂධ ඇත්තේ මාසයකට අඩු කාලයකට එනම් 018 කාලයකට ප්‍රමාණවත් වන අයුරින් පමණයි කියලා සඳහන් වෙනවා නේද?
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී. මට ඒ ගැන යම් පැහැදිලි කිරීමක් කිරීමට අවසර දෙන්න. මම පසුගිය සිකුරාදාත් උසාවිය හමුවේ සාක්ෂි දීල ගෙදර ගිහින් කල්පනා කළා. මම දෙන සාක්ෂි වැරදි ලෙස අර්ථකථනය වෙන්න පුළුවන් කියන එක. ඒ නිසයි ඒ ගැන පැහැදිලි කිරීමට ඔබතුමන්ලාගෙන් අවසර ඉල්ලා සිටින්නේ. (සාක්ෂිකාරිය කළ ඉල්ලීමට විනිසුරු මඩුල්ල අවසර ලබාදීමෙන් පසුව ඇය පෙර සඳහන් කළ කරුණු දැක්වීම සිදු කළාය.
පෙර සදහන් කළ 10 වි 43 දරන ලේඛනය විත්තියේ සාක්ෂියක් ලෙස අධිකරණය හමුවේ සලකුණු කිරීමෙන් අනතුරුව නීතිඥ රවි හංස විජේසිංහ මහතා හරස් ප්‍රශ්න ඇසීම අවසන් කළ අතර අනතුරුව හයවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; වෛද්‍ය තුමියනි ඔබතුමිය මෙම නඩුවට පාදක වූ විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කීයක් දුන්නාද?
සාක්ෂිකාරිය ; ප්‍රකාශ කීයක් දුන්නාද කියලා නම් මතක නැහැ.
විත්තියේ නීතිඥවරයා ; ප්‍රකාශ ලබා ගැනීම සිදු කළේ ඔබතුමියගේ කාර්යාලයේදීද නැතිනම් සී.අයි.ඩී ය තුලදීද ? ඔබතුමිය ඒවා කියවා බලා අත්සන් කලානේ?
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනි. මම අත්සන් කළා. ප්‍රකාශ ලබා ගත්තේ මගේ කාර්යාලය තුළදී.
විත්තියේ නීතිඥවරයා ; ස්වාමීනි පැමිණිල්ල විසින් විත්තියට පිටපත් ලබා දී තිබෙන්නේ ඇයගෙන් 2024.11.18 වැනිදා ලබාගත් ප්‍රකාශයේ පිටපත් විතරයි. නමුත් ඊට පසුවත් මෙම සාක්ෂිකාරියගෙන් ප්‍රකාශ සටහන් කර තිබෙනවා. ඒකෙ පිටපත් විත්තියට දීලා නැහැ.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නිලධාරියා කැඳවන්න පැමිණිල්ලට ලැබිලා තිබෙන්නෙත් එක ප්‍රකාශයක පිටපත් විතරයි.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නිලධාරියා අධිකරණ ශාලාව තුළට කැඳවා ප්‍රශ්න කරයි) මෙම සාක්ෂිකාරිය ප්‍රකාශ කීයක් ලබාදීලා තිබෙනවාද?
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියා ; දෙකයි ස්වාමීනී 2024.01.18 වැනිදා හා 2024.01.29 වැනිදා ප්‍රකාශ ලබා දී තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මම ආස නෑ මේ වැඩේට.
සභාපති විනිසුරු ; ඒ ප්‍රකාශ දෙකෙන් එක ප්‍රකාශයක් විතරනේ විත්තියට ලබා දීලා තියෙන්නේ. එම දෙවන ප්‍රකාශයේ පිටපත් ද වහාම විත්තියට ලබාදිය යුතුයි. පැමිණිල්ල වගේම විත්තියටත් අධිකරණය සාධාරණය ඉටුකළ යුතුයි.
නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; ස්වාමීනි මෙම නඩුවේ 203 වන මෙම සාක්ෂිකාරිය 2026.03.13 සිට මේ දක්වා ඔබතුමන්ලාගේ අධිකරණය හමුවේ හමුවේ සාක්ෂි දීලාතිබෙනවා. පැමිණිල්ල විසින් අධි චෝදනා පත්‍රය සමඟ විත්තියට අවශ්‍ය ලේඛන සැපයීමේ අරමුණ සාක්ෂි ආඥා පනතේ 52 වගන්තියට ප්‍රකාරව අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව විත්තියට විත්ති වාචක ගොඩනැගීමට අවශ්‍ය පහසුකම ලබාදීමයි මෙම මූලධර්මයට අවනත නොවී පැමිණිල්ල ඉතාමත් පුදුම සහගත ලෙස මෙම සාක්ෂිකාරියට සිතාසි නිකුත් කර තිබෙනවා. සීඅයිඩීය සාක්ෂිකාරියට සිතාසි නිකුත් කර තිබෙනවා. එය පුදුම සහගතයි. සී අයිඩී දන්නවා මෙම සාක්ෂිකාරියගෙන් ප්‍රකාශ කීයක් ලබාගෙන තිබෙනවාද කියන එක. ලේඛන ලැබෙන ලැබෙන විදියට විත්ති වාචක ගොඩනැගීමට සිදුවීම මගින් විත්තියට දැඩි අපහසුතාවයකට මුහුණදීමට සිදුවෙනවා. මෙම සාක්‍ෂිකාරියගේ දෙවන සාක්ෂිය නඩුවේ හරයටම බලපාන්න පුළුවන් කරුණක් විය හැකියි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ගරු අධිකරණය ප්‍රශ්න කරනතුරු පැමිණිල්ල දන්නේ නෑ මෙම සාක්ෂිකාරිය දෙවරක් ප්‍රකාශ ලබාදී ඇති බව පැමිණිල්ලට කිසිම දැනුම් දීමක් නැතුව විත්තිය විසිනුත් අධිකරණයට විවිධ ලේඛන ඉදිරිපත් කරනවා. පැමිණිල්ල ඒවාට විරුද්ධ උනේ නෑ.
නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; ස්වාමීනී මට උගත් මිතුරියගේ කරුණු දැක්වීමට පිළිතුරු දීමට අවශ්‍යයි.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; නෑ නෑ ඒක
අවශ්‍ය නෑ රිප්ලයි දෙන්න ගියොත් ආයෙත් ඒකටත් රිප්ලයි එන්න පුළුවන්. එතකොට දිගටම රිප්ලයි තමයි.
මෙම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබෙන එකී පැමිණිල්ලේ සාක්ෂිකාරියගෙන් ලබා ලබා ගත් ප්‍රකාශ වලට අදාළ මුල් ගොනු නිල මැදිරියට කැඳවා ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමට තීරණය කළ විනිසුරු මඩුල්ල නඩු විභාගය පස්වරු 1.00 දක්වා එනම් පැය දෙකක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළේය.
සභාපති විනිසුරුවරයා ; සාක්ෂිකාරිය අමතමින් ඔබ සීඅයිඩී යට ප්‍රකාශ කීයක් දුන්නාද? ප්‍රකාශ ලබා දුන්න දින මතකද?
සාක්ෂිකාරිය ; මතක නෑ ස්වාමීනී
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; සීඅයිඩී ය සඳහන් කරන දින දෙකට අමතරව ඔබ තවත් ප්‍රකාශ ලබා දුන්නාද?
සාක්ෂිකාරිය ; මතක නෑ ස්වාමීනී
සභාපති විනිසුරු ; ඔබගෙන් ලබාගත් සියලු ප්‍රකාශ සීඅයිඩී සටහන් කළාද ?
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී
අටවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා. ; ස්වාමීනි, එම ප්‍රකාශයේ පිටපත්, අධ්‍යයනය කිරීමෙන් පසුව හරස් ප්‍රශ්න ඇසීම සඳහා වෙනත් දිනයක නඩුව කැඳවන ලෙස ඉල්ලා සිටිනවා.
පස්වරු 1.00 ට නැවත නඩුව කැඳවීමෙන් අනතුරුව ඒවන විට හරස් ප්‍රශ්න ඇසීම සිදු කරමින් සිටි හයවන විත්තිකරුගේ නීතිඥවරයා පෙරවරු 11.30 වන විට අදාළ දෙවන ප්‍රකාශයේ පිටපත් ලැබී තිබීම හේතුවෙන් ඔහුගේ හරස් ප්‍රශ්න ඇසීම ඉදිරියට පවත්වාගෙන යාමට අවසර ලබා දුන් විනිසුරු මඩුල්ල ඒ වන විට එම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න අසා නොතිබූ නීතිඥවරුන්ට අද (24) දිනයේ, හරස් ප්‍රශ්න ඇසීමටත් ඒ වන විට හරස් ප්‍රශ්න අසා තිබූ සෙසු විත්තිකරුවන්ට අවශ්‍ය නම් නැවතත් හරස් ප්‍රශ්න ඇසීමටත් අවසර ලබා දුන්නේය.
නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; අද දින විත්තියට ලබා දුන් ඔබගේ දෙවන ප්‍රකාශයේ සඳහන් වෙනවා 2024.01.29 වැනිදා සී අයිඩීය ඔබගෙන් 12.45 ට ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කළ බව. නමුත් ඔබ එම ප්‍රකාශය කියවා බලා සත්‍ය බවට අත්සන් කරන විට අත්සන් කළ වෙලාව ලෙස සටහන් කර ඇත්තේ 12.30 ලෙසටයි. ඔබ ඔබගේ අත්සන් පිළිගන්නවාද? මම එලෙස යෝජනා කරනවා.
සාක්ෂිකාරිය ; මට ප්‍රකාශය බලන්න ඕනා. (එම ලේඛනය පරීක්ෂා කළ සාක්ෂිකාරිය එහි ඇත්තේ තමාගේ අත්සන බවට හඳුනා ගනී)
ඒ සම්බන්ධයෙන් එකිනෙකා සමග විනාඩි කීපයක් සාකච්ඡා කළ විනිසුරු මඩුල්ල එම ප්‍රකාශය සටහන් කළ පොලිස් නිලධාරියා පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස නම්කර ඇතිදැයි පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරියගෙන් විමසා සිටි අතර ඔහු පැමිණිල්ලේ සාක්ෂිකරුවකු බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රකාශ කළාය.
නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; ස්වාමීනි, මෙම සාක්ෂිකාරියගෙන් ලබාගත් ලබා ගත් දෙවන ප්‍රකාශයට අදාළ සටහන් එනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අතින් ලියන ලද ප්‍රකාශයේ සටහන් ආරම්භ කළ වෙලාව ලෙස 12.45ත් අත්සන් කළ වෙලාව ලෙස 12.30 ත් ඇතුළත්. නමුත් එකී ප්‍රකාශය යතුරු ලියනය කර ලබාදීමේදී එහි අවසානයේ අත්සන් කළ වෙලාව සටහන් කර නෑ.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; එම ප්‍රකාශය සටහන් කළ නිලධාරියා පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස නම්කර තිබෙන බැවින් ඔහු සාක්ෂි දීමට පැමිණි දිනකදී ඒ පිළිබඳව විත්තියට හරස් ප්‍රශ්න ඇසිය හැකියි.
විත්තියේ නීතිඥ ; 2024.01.31 වැනිදා අනුකමිටු සටහන්වල තිබෙනවා ඔබගෙන් දෙවන වරට ලබාගත් ප්‍රකාශය පිළිබඳව වැඩිදුර කරුණු තහවුරු කිරීමට 2024.01.30 වැනිදාත් නැවත ප්‍රකාශ ලබා ගත් බව ඔබ එය පිළිගන්නවාද?
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී
විත්තියේ නීතිඥ ; ඔබතුමිය කීවා ඉන්දියානු නය ආධාර ක්‍රමය යටතේ ඖෂධ ලබා ගැනීම සඳහා වෙන්කළ මුදල් වෙනත් කටයුතු සඳහා වෙන් කිරීමට තීරණය කළ බව. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අත්සන් කළ ගිවිසුමේ එහෙම සඳහන් වෙනවාද?
සාක්ෂිකාරිය ; මම එම ගිවිසුම දැකලා නෑ.
විත්තියේ නීතිඥ ; ඔබතුමිය විසින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග මත එම අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රශ්නාවලිය පිළිබඳ වාර්තාව දැක්කොත් හඳුනාගන්න පුළුවන්ද?
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී
විත්තිය නීතිඥ ; 2022.02.28 වැනිදා වෙළඳ අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක් ගැන එහි සඳහන් වෙනවා. ඒ වන විට වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ කවුද?
විත්තියේ නීතිඥ ; ඔබතුමිය සඳහන් කළා 2022.02.28 වැනිදා වෙළඳ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වූවා කියලා. කවුද එවකට වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ?
සාක්ෂිකාරිය ; කවුද වෙළඳ අමාත්‍යවරයා කියලා මට හරියටම මතක නෑ. මම හිතන්නේ බන්දුල ගුණවර්ධන මහත්තයා කියලයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මම එම ප්‍රශ්නය නැගූ ආකාරයට විරුද්ධයි.
සභාපති විනිසුරුවරයා ; ප්‍රශ්නය නිසි ලෙස අහන්න.
විත්තියේ නීතිඥ ; 22.02.28 වැනිදා පැවැති රැස්වීමට වෙළඳ අමාත්‍යවරයා සහභාගි වුණාද?
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී
විත්තියේ නීතිඥ ; එම රැස්වීම පැවැත්වීමට හේතුපාදක වුනේ මොකක්ද?
සාක්ෂිකාරිය ; ඒවන විට රටේ පැවැති ඩොලර් හිඟය නිසා අප රටේ අත්‍යවශ්‍ය ඖෂධ, ආහාර හා කර්මාන්ත උපකරණ රාජ්‍ය අංශය හා පුද්ගලික අංශය මගින් ආනයනය කිරීම එහිදී සාකච්ඡා වුණා.
විත්තියේ නීතිඥ ; 2022.06.31 දිනැති 6 වී 8 ලෙස ලකුණු කර තිබෙන පැ 190 යටතේ ඇති මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් වෙත ඉදිරිපත් කළ සටහන් ඇතුළත් කිරීමට හේතුව මොකක්ද?
සාක්ෂිකාරිය ; බෙහෙත් සැපයීමේ අවශ්‍යතාවය සලකා බලා එම ලිපිය ඉදිරිපත් කළා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; විත්තියේ නීතිඥ මහතා නැගූ ප්‍රශ්නයට සාක්ෂිකාරිය ලබා දුන් පිළිතුර ගැන මම විරුද්ධයි. වැරදි ලේඛනයක් ගැනයි විත්තිය අහන්නේ.
විත්තියේ නීතිඥවරුන් දෙසට හැරුණ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය හිනාවෙන්න දෙයක් නෑ මේක නොමග යැවීමක්.
නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; මගේ උගත් මිතුරිය සාක්ෂිකාරිය පිළිතුරු දෙන්න පෙර පනිනවා. 2022.11.01 වැනිදා අමාත්‍ය මණ්ඩල සංදේශය ගැන සාකච්ඡා කර තිබෙනවාද? පැ 157 ලෙස නම්කර තිබෙන ලිපියේ අංක හතර අයිතමය අමාත්‍ය මණ්ඩල තීරණය ගැන දැනුමක් තිබෙනවාද?
සාක්ෂිකාරිය ; මම මේ කැබිනට් සංදේශය ගැන මුකුත්ම දන්නේ නෑ.
විත්තියේ නීතිඥ ; ඒ කැබිනට් මණ්ඩල සංදේශය ගැන අනුකමිටු රැස්වීමේදී කතා කරන්න පුළුවන්ද?
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මම එම ප්‍රශ්නයට විරුද්ධයි. ඒ ගැන සාක්ෂිකාරියට මතයක් කියන්න බෑ.
විත්තියේ නීතිඥවරයා ; මේක හරිම අසාධාරණ විරුද්ධවීමක් පැ 197 (1) ලෙස සලකුණු කර ඇති නිරීක්ෂණ අනුකමිටු වාර්තාවට ඇතුළත් කර තිබෙනවාද? 2022.11.11 වැනිදා අනුකමිටු රැස්වීමට ඔබතුමිය සහභාගි වූ බව පිළිගන්නවාද?
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී.
විත්තියේ නීතිඥ ; එම සාකච්ඡාවේදී, සාකච්ඡා වූ කරුණු වලට එකඟයි කියලා සියලු සාමාජිකයන් අත්සන් කර නෑ නේද?
සාක්ෂිකාරිය ; ඒකට දැන් උත්තර දෙන්න නම් මට දැනුමක් නෑ.
විත්තියේ නීතිඥ ; 2023.01.19 දිනැති ලිපියට පෙර 2023.01.16 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින් එවන ලද ලිපිය අනුකමිටුවේදී සලකා බැලුවාද?
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී.
විත්තියේ නීතිඥ ; එක් මහේස්ත්‍රාත් අධිකරණය විසින් කරන ලද නියෝගය ප්‍රකාරව යවන ලද උත්තර ප්‍රකාශයේ පිටපතක් නේද?
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී. නමුත් එහි අත්සනයේ වෙනසක් තිබෙනවා. මම දන්නේ නෑ ඒක කොහොම වුනාද කියලා.
නම වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක මහතා ; ස්වාමීනි, පැමිණිල්ලේ සාක්ෂිකරුවන් සාක්‍ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින විට ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සටහන් පොත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් කරන ලෙස ඉල්ලා සිටිනවා. 2026.01.20 වන දින අදාළ කාර්යය සටහන් විතරයි මේ දක්වා මට ලැබී තිබෙන්නේ. කාර්ය සටහන් ලැබීම ප්‍රමාද වන නිසා මුළු දවස පුරාම අධිකරණය තුළ රැඳී සිටීමට අපට සිදුවෙනවා. ඒක දුෂ්කර කාර්යයක්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; අහගෙන ඉන්න අමාරුයි වගේම දරාගෙන ඉන්නත් අමාරුයි නේද?
වැඩිදුර සාක්ෂි විමසීම හෙට (24) දක්වා කල් තැබිණි.

