රටක බලශක්ති සුරක්ෂිතතාව යනු එම රටේ ආර්ථිකයේ හදවතයි. එහෙත් පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ
බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ගල් අඟුරු සමාගම කටයුතු කළ ආකාරය නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ, රටේ බලශක්ති සැපයුම බරපතළ විහිලුවකට ලක්ව ඇති බවයි. "මැදපෙරදිග අර්බුදය" හේතුවෙන් සම්මත ප්‍රසම්පාදන නීති මාස තුනකට අත්හිටුවා හදිසි මිලදී ගැනීම් සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන, ඒ සඳහා ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට ආරාධනා කර පැය 24ක් යාමටත් මත්තෙන් එම ආරාධනය අවලංගු කිරීමට බලධාරීන්ට ඊයේ (මාර්තු 18) සිදුවිය. මේ හෙළිදරව්ව, ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කරමින්, මහජන මුදල් අවභාවිතයට පාර කපන එම අදෘශ්‍යමාන අර්බුදයේ සැබෑ කතාවයි.
අර්බුදයේ ආරම්භය: යුද්ධය නොව 'ටයිඩන්ට් චෙම්පාර්' හි බාල ගල් අඟුරු
මාස 3ක කාලයක් සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලින් පිටත ක්‍රියා කරමින් ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු මිලදී ගැනීමට පසුගිය මාර්තු 17 වැනිදා කැබිනට් අනුමැතිය ලබා ගත්තේ මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති භූ-දේශපාලනික නොසන්සුන්තාව හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළ දැඩි අස්ථාවරතාවකට පත්ව ඇති බව පවසමිනි.
නමුත් සැබෑ අර්බුදය හටගත්තේ යුද්ධයක් නිසා නොවේ. එය හටගත්තේ මීට පෙර ගල් අඟුරු සැපයීමේ කිසිදු අත්දැකීමක් නොමැති 'ටයිඩන්ට් චෙම්පාර්' (Trident Chemphar) නැමැති සමාගමට ගල් අඟුරු ටෙන්ඩරය ලබා දීමෙන් බව ක්ෂේත්‍රයේ ප්‍රවීනයින්ගේ මතයය. මාධ්‍ය සහ විචාරකයින් කොතරම් විරෝධතා දැක්වුවද, ටෙන්ඩරය ඔවුන්ටම හිමි වූ අතර, ඔවුන් විසින් මෙරටට ගෙන ආ පළමු ගල් අඟුරු තොගයම පරීක්ෂාවලදී "තත්ත්වයෙන් බාල" ඒවා බව තහවුරු විය. හදිසි ගල් අඟුරු මිලදී ගැනීම් කරා රජය තල්ලු වූයේ මෙම සැපයුම් ජාලය බිඳවැටීම නිසා මිස මැදපෙරදිග යුද්ධයක් නිසා නොවන බව ඒ අනුව පැහැදිලිය.
ප්‍රසම්පාදන නීතියේ ගෙල සිරකළ ජනවාරි 26 කැබිනට් තීරණය

ටයිඩන්ට් සමාගමේ අර්බුදය මතු වීමත් සමග, පසුගිය 2026 ජනවාරි 26 දින නොරොච්චෝලේ බලාගාරය සඳහා මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක ගල් අඟුරු හදිසි ප්‍රසම්පාදනයක් හරහා මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි විය.
මෙහිදී සිදුවී ඇති බරපතළම ප්‍රසම්පාදන වංචාව මතුවන්නේ කාලවකවානු පරීක්ෂා කිරීමේදීය. ටයිඩන්ට් චෙම්පාර් සමාගම තේරී පත්වූ මුල් ටෙන්ඩරයේ ලංසු කැඳවීම් (Bids) ජනවාරි 31 වැනිදා දක්වා වලංගුව පැවතුනි. එනම්, ටයිඩන්ට් සමාගම අසමත් වූවා නම්, ඊළඟට අඩුම මිල ගණන් ඉදිරිපත් කර ඇති, දැනටමත් ලංසු තබා ඇති අනෙකුත් සමාගම් වෙතින් අදාළ සැපයුම ලබා ගැනීමේ නීත්‍යානුකූල සහ පහසු අවස්ථාව බලධාරීන්ට තිබුණි.
එය සම්පූර්ණයෙන්ම මගහරිමින්, ජනවාරි 26 වැනිදා හදිසි මිලදී ගැනීම් සඳහා අනුමැතිය ගෙන, පසුව පෙර පැවති මිලට වඩා ඩොලර් 40ක් පමණ වැඩි මිලක් යටතේ හදිසි ටෙන්ඩරය පිරිනමන්නේ මාර්තු දෙවැනි සතියේදීය. ඒ, ඉන්දියාවේ Taranjot Resources (Pvt) Ltd වෙතය. (මෙහි දේශීය නියෝජිතයා වන්නේ ව්‍යාපාරික ධම්මික පෙරේරා ගේ හේලීස් සමාගමයි). විශේෂත්වය වන්නේ මෙම Taranjot සමාගම ද ගල් අඟුරු ක්ෂේත්‍රයේ ප්‍රමාණවත් අත්දැකීම් නොමැති ආයතනයක් වීමයි.
ජාත්‍යන්තරය ඉදිරියේ රට විහිලුවක් කළ පැය 24 'රිවර්ස්' තීරණය

අර්බුදය එතැනින් නිමා වන්නේ නැත. Taranjot සමාගමට හදිසි මිලදී ගැනීම් යටතේ ලංසුව ලබා දී තිබියදීම, මාර්තු 17 දිනැතිව ලංකා ගල් අඟුරු සමාගම විසින් සියලුම ලියාපදිංචි සැපයුම්කරුවන් වෙත නිල ඊමේල් පණිවුඩයක් යවමින් (Ref: LCC/PROP/26/1 - මාර්තු 17) මැයි 10 දක්වා අවශ්‍ය ගල් අඟුරු සැපයීම සඳහා යළිත් යෝජනා කැඳවයි.
පුදුමයට කරුණ නම්, මෙම ආරාධනාව යවා පැය 24ක් ගතවීමටත් මත්තෙන්, මාර්තු 18 දිනැතිව තවත් ලිපියක් මගින් බලශක්ති අමාත්‍යාංශයේ උපදෙස් පරිදි එම යෝජනා කැඳවීම "තාවකාලිකව අත්හිටුවන" (Temporarily on hold) බව දැනුම් දීමයි.

බලධාරීන් ජාතියට පිළිතුරු දිය යුතු ප්‍රධාන ප්‍රශ්න 04 ක්:
මෙම සිදුවීම් දාමය තුළින් මතුවන බරපතළ ගැටලු කිහිපයක් ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් විසින් ඉදිරිපත් කර ඇත.
- බාල ගල් අඟුරු ප්‍රශ්නයක් නැත්නම් හදිසි මිලදී ගැනීම් ඇයි? ටයිඩන්ට් චෙම්පාර් ගෙන ආ ගල් අඟුරුවල සුළු දෝෂයක් මිස රජයට පාඩුවක් නැතැයි සමහර රජයේ පාර්ශ්ව ප්‍රකාශ කරති. එසේ නම්, හදිසියේම ජනවාරි 26 වැනිදා හදිසි මිලදී ගැනීම් (Emergency Purchases) සඳහා කැබිනට් පත්‍රිකා ගෙන ආවේ ඇයි?
- වලංගු ලංසු නොසලකා හැරීම හරහා ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කිරීම: ජනවාරි 26 වන විටත් මුල් ටෙන්ඩරයේ සෙසු ලංසුකරුවන්ගේ මිල ගණන් ජනවාරි 31 දක්වා වලංගුව (Bid Validity) පැවතුණි. ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව, පළමු ලංසුකරු අසමත් වූ විට ඊළඟ ප්‍රතිචාරාත්මක ලංසුකරු වෙත යා යුතුය. එය නොකර, අමතර ඩොලර් 40ක පමණ ඉහළ මිලක් ගෙවමින් නව හදිසි මිලදී ගැනීමකට යොමු වීම සෘජුවම ප්‍රසම්පාදන මූලධර්ම උල්ලංඝනය කිරීමකි. මෙයින් රජයට වූ පාඩුව කීයද?
- ජාත්‍යන්තර සැපයුම්කරුවන් ඉදිරියේ ලංකාව විහිලුවක් කිරීම: මාර්තු 17 වැනිදා විවෘත මිලදී ගැනීම් සඳහා ලියාපදිංචි සමාගම්වලට ආරාධනා කර, මාර්තු 18 වැනිදා එය අත්හිටුවීම හරහා ලක් රජයේ ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය පිළිබඳ ජාත්‍යන්තරය තබන විශ්වාසය කුමක්ද? මෙවැනි අත්තනෝමතික ක්‍රියා නිසා අනාගතයේදී පිළිගත් සමාගම් ලංකාව සමග ගනුදෙනු කිරීමට මැලිවනු ඇත.
- ටයිඩන්ට් සමාගමෙන් වන්දි අයකර නොගන්නේ ඇයි? සමස්ත ගල් අඟුරු සැපයුමම අර්බුදයකට ලක්වී, අතිරේක මුදල් ගෙවා හදිසි මිලදී ගැනීම් වලට යාමට රජයට සිදුවූයේ ටයිඩන්ට් චෙම්පාර් සමාගමේ ක්‍රියාකලාපය නිසා නම්, එම අතිරේක පිරිවැය සහ පාඩුව (Damages) අදාළ සමාගමෙන් අයකර ගැනීමට රජය මෙතෙක් නීතිමය පියවර ගෙන නැත්තේ ඇයි?
බදු බර ජනතාවට - ලාභය තැරැව්කරුවන්ට ද?
එක් පසෙකින් ප්‍රසම්පාදන නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් බලශක්ති ක්ෂේත්‍රයේ මෙවැනි අක්‍රමිකතා සිදුවෙද්දී, එහි සම්පූර්ණ බර පැටවී ඇත්තේ සාමාන්‍ය ජනතාව මතය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය දා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළ පරිදි, වරායෙන් ගොඩබාන මිලටම තෙල් දෙන බවට පොරොන්දු වී බලයට පැමිණි පාලකයින්, අද පැරණි තොග සඳහා ද මිල වැඩි කර ඇත. වැට් (VAT), SSCL, නිෂ්පාදන බද්ද සහ ආනයන බද්ද ඇතුළු සියලු බදු ඉන්ධන වලින් ඉවත් කළ යුතු බවට ඔහු කළ යෝජනාව මෙවැනි පසුබිමක් තුළ අතිශය සාධාරණය.
අකාර්යක්ෂම සහ සැක කටයුතු ප්‍රසම්පාදන ක්‍රියාවලි හරහා තැරැව්කරුවන් පොහොසත් වන විට, එහි වන්දිය අධික බදු සහ ඉහළ බලශක්ති බිල්පත් ලෙස ගෙවීමට සිදුවී ඇත්තේ මෙරට අහිංසක බදු ගෙවන්නාට බව මෙම ගල් අඟුරු අර්බුදය මනාව සනාථ කරයි.
# සමාරා පරණවිතාන

