SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

මහජන සෞඛ්‍ය පද්ධතියේ පැවැත්ම සහ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳ

දැඩි අවධානයක් යොමුව ඇති වකවානුවක, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මේ දිනවල විභාග වෙමින් පවතී.

 

 

රුපියල් කෝටි 14 කට අධික මහජන මුදලක් වංක ලෙස ව්‍යවහරණය කිරීම ඇතුළු අධි චෝදනා 13 ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති මෙම නඩුව, ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ගෞරවනීය මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (09) කැඳවනු ලැබීය.

 

මෙදින පැවති සාක්ෂි විභාගයේදී ප්‍රධාන වශයෙන් අවධානයට ලක්වූයේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) කාර්යභාරය සහ හදිසි තත්ත්වයන් යටතේ ඖෂධ ආනයනය කිරීමේදී අනුගමනය කරනු ලබන ලියාපදිංචිය මුදා හැරීමේ (Waiver of Registration - WOR) ක්‍රමවේදයේ නෛතික හා ප්‍රායෝගික පැතිකඩයි.

 

 09477d29 323c 45b6 87ed 95c1964553c9 FLSAR 011021 S VACCINE HOSPITALS 28

 

 

නියාමනයේ පරම වගකීම: සාක්ෂිකරුගේ විග්‍රහය

 

පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දුන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සහ තාක්ෂණ ඇගයීම් කමිටු (MEC) සාමාජිකයකු ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය උපුල් බණ්ඩාර දිසානායක මහතා, අධිකාරියේ වගකීම පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයක නිරත විය. ඔහුගේ සාක්ෂියට අනුව, යම් අත්‍යවශ්‍ය ඖෂධයක් කඩිනමින් ගෙන්වා ගත යුතු බවට නිලධාරීන් ඉල්ලීම් කළ පමණින්, එහි ගුණාත්මකභාවය සහ ආරක්ෂාව නොසලකා අනුමැතිය ලබා දීම අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම නොවේ.

 

හදිසි ප්‍රසම්පාදනයේදී අලෙවි කරනු ලබන ඖෂධවල මිල ගණන් අධික බැවින් සහ ඇතැම් සැපයුම්කරුවන් මෙම හදිසි ක්‍රමවේදය යටතේ දිගින් දිගටම ඖෂධ සැපයීමට යොමුවී ඇති බැවින්, නිෂ්පාදකයා සහ සැපයුම්කරු පිළිබඳව මනා පසුබිම් පරීක්ෂාවක් (Background Check) සිදු කිරීම අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම, පෙර අවස්ථාවල ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයූ සමාගම් වලට නැවත අවස්ථාවක් ලබා නොදී, ඛේදවාචකයන් වළක්වා ගැනීම සඳහා පූර්වාරක්ෂක පියවර ගැනීමේ වගකීම අධිකාරිය සතු බව සාක්ෂිකරු වැඩිදුරටත් අවධාරණය කළේය.

 

එහිදී රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තම කමිටුව දක්වන සංවේදීතාව සාක්ෂිකරු විසින් සෘජුවම අධිකරණයට ප්‍රකාශ කළේ පහත අයුරිනි;

 

"ස්වාමීනි අපි බෙහෙත් දෙන්නේ රෝගීන්ට. එකී ඖෂධ සපයන සැපයුම්කරු හා නිෂ්පාදකයා ගැන විශ්වාසයක් නැතිනම් හොඳ බෙහෙත් අරගෙන රෝගීන්ට දෙන්න බෑ."

 

 

WOR සහතිකය සහ කමිටු බලතල පිළිබඳ නෛතික ගැටුම

 

නඩු විභාගයේ වඩාත් තීරණාත්මක අවස්ථාවක් වූයේ විත්තියේ නීතිඥවරුන් විසින් සාක්ෂිකරුගේ හරස් ප්‍රශ්න ඇසීමයි. එහිදී ඖෂධ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ (WOR) සහතික නිකුත් කිරීම සහ ඊට අදාළ බලතල කේන්ද්‍ර කරගනිමින් තියුණු නීතිමය තර්ක විතර්ක ගොඩනැගිණි.

 

 

දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ, ඖෂධ නියාමන අධිකාරි පනතේ 109 වන වගන්තිය උපුටා දක්වමින්, WOR සහතික නිකුත් කිරීමේ සම්පූර්ණ බලය MEC කමිටුව සතුව පවතින්නේද යන්න සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේය. තමන් එය පිළිනොගන්නා බවත්, අධිකාරිය පවරා ඇති කාර්යභාරය පමණක් තම කමිටුව විසින් සිදු කළ බවත් සාක්ෂිකරු එහිදී ප්‍රකාශ කළේය.

 

 

විත්තියේ නීතිඥ අසේල සේරසිංහ:

"ඒ පනත අනුව ඩබ්ලිව් ඕ ආර් (WOR) නිකුත් කිරීමටත් අවලංගු කිරීමටත් මෙක් (MEC) කමිටුවට බලයක් නෑ නේද?"

සාක්ෂිකරු විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක:

"එහෙමනම් එවැනි WOR සහතික නිකුත් කළ අයට ඒවායේ හොඳ හෝ නරක ප්‍රතිඵල වලට වගකිව යුතුයි."

 

 

එමෙන්ම, 11 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න  නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු ප්‍රකාශ කළේ, තම කමිටුව සැපයුම්කරුවන් තෝරාගැනීමක් සිදු නොකරන බවත්, ඔවුන් ලබා දෙන්නේ හුදු නිර්දේශයක් පමණක් බවත්ය.

 

 

අධිකරණයේ විමසිලිමත් මැදිහත්වීම

 

මෙම සංකීර්ණ පරිපාලන ක්‍රියාවලිය පැහැදිලි කර ගැනීම සඳහා විනිසුරු මඩුල්ල ද සෘජුවම සාක්ෂිකරුගෙන් කරුණු විමසීය. ලියාපදිංචිය අලුත් කිරීමට ප්‍රමාද වූ සැපයුම්කරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ පියවර ගැන සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා නැගූ ප්‍රශ්නයකට සාක්ෂිකරු මෙසේ පිළිතුරු දුන්නේය;

 

 

"ප්‍රමාද දෝෂයක් නිසා එලෙස ලියාපදිංචිය අලුත් කරගත නොහැකි වූ අයට, ලියාපදිංචිය ලබාගෙනම නොමැති අයට වඩා ප්‍රමුඛතාවයක් දෙන්න අපි නිර්දේශ කරනවා ස්වාමීනි."

 

 

එසේම, සාමාජික විනිසුරු විරාජ් වීරසූරිය මහතා විසින්, පෙර ප්‍රසම්පාදනවලට අදාළව තොරතුරු සොයා බැලීමේ ක්‍රමවේදය පිළිබඳව විමසූ විට සාක්ෂිකරු පෙන්වා දුන්නේ, යම් ඖෂධයක් භාවිතයෙන් සංකූලතා හෝ මරණ සිදුවී ඇත්දැයි නියාමන අධිකාරියේ පවතින ලේඛන මගින් පරීක්ෂා කර බැලීම අනිවාර්යයෙන්ම සිදුකරන බවයි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් මෙහෙයවූ සාක්ෂි විභාගය අවසන් වීමෙන් පසු, වැඩිදුර නඩු විභාගය අද (10) දිනය දක්වා කල් තැබීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය. ඒ අනුව, පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා 2, 21, 22, 23, 24, 25 සහ 26 යන සාක්ෂිකරුවන් හත් දෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.

 

සෞඛ්‍ය පරිපාලනයේ නිලධාරිවාදය සහ නීතිමය වගවීම අතර පවතින සැබෑ සීමාවන් හඳුනාගැනීමට මෙම නඩු විභාගය ඉදිරියේදී තවදුරටත් තීරණාත්මක වනු ඇත.

 

 images 29

 

නඩු වාර්තාව

09/03/2026

 

ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම වනුයේ ගුණාත්මක භාවයෙන් යුත් ආරක්ෂාකාරී ඖෂධ ආනයනය කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාදීම මිස යම් අත්‍යවශ්‍ය ඖෂධයක් ඉතා ඉක්මනින් ආනයනය කළ යුතු බව නිලධාරීන් ඉල්ලීම් කළ පමණින් ඖෂධයේ ගුණාත්මක භාවය නොසලකා කුමන ඖෂධයක් හෝ ආනයනය කිරීමට අනුමැතිය ලබාදීම නොවන්නේ යැයි ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු හා තාක්ෂණ ඇගයීම් කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කළ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපුල් බණ්ඩාර දිසානායක මහතා ඊයේ (09) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී සාක්ෂි දෙමින් පැවසීය.

 

ඖෂධ භාවිත කරනුයේ රෝගීන් වන බැවින් එහි ගුණාත්මක භාවය හා ආරක්ෂාකාරී බව නොසලකා ඖෂධ ආනයනය කිරීමට ඉඩ නොදීමට වග බලා ගත යුතු වන්නේ යයිද පැවසූ සාක්ෂිකාර විශේෂඥ වෛද්‍යවරයා ඖෂධ නිෂ්පාදකයා මෙන්ම සැපයුම්කරු පිළිබඳවද සොයා  බලා කටයුතු කිරීම එකී කාර්ය සඳහා පිටුවහලක් වන්නේ යැයි ද පැවසීය.

 

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයූම් අංශයට සපයා රුපියල් කෝටි 14 කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය  කිරීම ඇතුළු අධි චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ එම නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල  මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි. ඖෂධ ආනයනකරුවන් ලියාපදිංචි කිරීමේදී නිෂ්පාදිත සමාගම ඔවුන්ගේ පෙර ක්‍රියා කලාපය ඇතුළු සියලු කරුණු මනාව පරීක්ෂා කරනු ලැබුවත් ලියාපදිංචිය මුදාහැර හදිසි ක්‍රමවේදය යටතේ ඖෂධ සැපයීමේදී එවන් සුපරික්ෂාකාරී බවක් දක්නට නොලැබෙන බවත් සිය සාක්ෂිය මගින් පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා සමහර ඖෂධ සැපයුම්කරුවන් ලියාපදිංචිය මුදා හැරීමේ ක්‍රමවේදය යටතේ දිගින් දිගටම ඖෂධ සැපයීම සිදුකර ඇති බවද පැවසීය.

 

සාක්ෂිකරු ; ස්වාමීනි අපි බෙහෙත් දෙන්නේ රෝගීන්ට. එකී ඖෂධ සපයන සැපයුම්කරු හා නිෂ්පාදකයා ගැන විශ්වාසයක් නැතිනම් හොඳ බෙහෙත් අරගෙන රෝගීන්ට දෙන්න බෑ.

 

(පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙම අවස්ථාවේ දී එම සාක්ෂිකරුට පැ 74 සිට 81 දක්වා ලකුණු කර ඩබ්ලිව් ඕ ආර්  කමිටු රැස්වීමේ රැස්වීම් වාර්තා සාක්ෂිකරුට  පෙන්වයි. සැපයුම්කරු නුසුදුසු ඒ කියන්නේ ඔහු පෙර ඖෂධ සැපයීම සිදුකළ අයෙක්ද ඔහු සැපයූ, ඖෂධ භාවිතයෙන් ඉවත් කර ඇති ද යන කරුණු සොයා බලනවා. එලෙස මින් පෙර ප්‍රමිතියෙන් තොර ඖෂධ  සැපයූ සැපයුම් කරුවෙක් බව අනාවරණය වුවහොත් ඔහුට අවසාන වතාවට ගේට්ටුව වහන්න පුළුවන්. භයානක දෙයක් වෙන්න පෙර ඔහුට ගේට්ටුව වැසීමේ වගකීම අපට තිබෙනවා. ඒ වගේම හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඖෂධ වල මිල ගණන් ඉතා මිල අධිකයි. එලෙස මිල අධික ඖෂධ ආනයනය කරන්න අපි සහතික නිකුත් කරන්නේ නෑ. රටේ තිබෙන ඖෂධ අලවි ශාලා වලින් ඒවා ගන්නයි අපි නිර්දේශ කරන්නේ. එවිට අපි එවැනි සැපයුම් කරුවන්ට ඖෂධ ආනයනයටඅවශ්‍ය බලපත්‍ර නිකුත් කරන්නේ නෑ.

 

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; ඔබ කමිටුවේ වගකීමක් බව කීවා ගුණාත්මක තත්ත්වයෙන් යුත් ඖෂධ සැපයීම. ලියාපදිංචිය අලුත් කිරීමට ප්‍රමාද වූ සැපයුම්කරුවන් ඖෂධ ආනයනය කිරීමට අදාලව  ඔබලා මොන වගේ පියවරක්ද ගත්තේ?

 

සාක්ෂිකරු ; ප්‍රමාද දෝෂයක් නිසා එලෙස ලියාපදිංචිය අලුත් කරගත නොහැකි වූ අයට ලියාපදිංචිය ලබාගෙනම නොමැති අයට වඩා ප්‍රමුඛතාවයක් දෙන්න අපි නිර්දේශ කරනවා ස්වාමීනි.

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 2022.09.16 දිනැති ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වාර්තාවක් සාක්ෂිකරුට පෙන්වයි.

 

ඒ වාර්තාව අනුව ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී නිකුත් කළ ඩබ්ලිව් ඕ ආර්  වාර්තාවක් බවට සඳහන් නේද ?

 

සාක්‍ෂිකරු ; එහෙමයි ස්වාමීනී. ප්‍රධාන විධායක නිලධාරියා ඉදිරිපත් කළ ලේඛනයේ තිබූ ඖෂධ සඳහා ඒ වන විටත් ඩබ්ලිව් ඕ ආර්  සහතික කර තිබූ බවත් ඒවා අපේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කොට තිබුනේ අධ්‍යක්ෂ මණ්ඩලයේ දැනගැනීම සඳහා බවත් කීවා. එම ඖෂධ අතරින් සමහර ඖෂධ සඳහා ඩබ්ලිව් ඕ ආර්  සහතික අපි ප්‍රතික්ෂේප කළා.

 

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; එවකට ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ අය අද මෙම අධිකරණයේ සිටිනවාද? ඔබ ඔහුව අඳුරනවාද ?

 

සාක්ෂිකරු ; එසේය ස්වාමීනි . එතුමාව මම අඳුරනවා. විජිත් ගුණසේකර මහතා වෛද්‍යවරයෙක් ( සාක්ෂිකරු දොළොස්වන විත්තිකරු හඳුනා ගනී)

 

දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා ; 2023.01.27 වැනිදා පැවැති විශේෂ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ ඖෂධ ලැයිස්තුවට ඖෂධ කීයක් අඩංගු වී තිබුණාද? ඒවාට ඒ වන විට ඩබ්ලිව් ඕ ආර්  සහතික නිකුත් කර තිබූ බවත් ඔබ දන්නවාද?

 

සාක්ෂිකරු ; ඖෂධ 322 ක ලැයිස්තුවක් තිබුණා.

 

විත්තියේ නීතිඥ ; ඔබ පිළිගන්නවාද ඩබ්ලිව් ඕ ආර්  සහතික නිකුත් කිරීමේ හෝ නොකිරීමේ සම්පූර්ණ බලය තියෙන්නේ මෙක්  (MEC) කමිටුවට කියලා.

සාක්ෂිකරු ; මම පිළිගන්නේ නෑ.

විත්තියේ නීතිඥ ; ඖෂධ නියාමන අධිකාරි පනතේ 109 වගන්තිය අනුව ඒ සඳහා සම්පූර්ණ බලය තිබෙන්නේ එම කමිටුවට කියලා මා යෝජනා කළොත්.

( සාක්ෂිකරු යමක් පැහැදිලි කිරීමට උත්සාහ කරයි)

විත්තියේ නීතිඥ ; ඉස්සර වෙලා, මම අහපු ප්‍රශ්නයට පිළිතුරු දීලා , ඔබට කියන්න තියෙන දේ පැහැදිලි කරන්න.

සාක්ෂිකරු ; පනත පෙන්නුවොත් බලලා කියන්න පුළුවන්

සාක්ෂිකරු වෙත ජාතික ඖෂධ නියාමන පනත ඉදිරිපත් කළ අතර එය විනාඩි කීපයක් පරීක්ෂා කළ සාක්ෂිකරු ; මම ඒක බලලා ඔබතුමාට උත්තර දෙන්නම්.

විත්තියේ නීතිඥ ; මට නෙමෙයි ගරු අධිකරණයට උත්තර දෙන්න. ඉස්සෙල්ලා පනත බලලා ඉන්නකෝ.

සාක්ෂිකරු ; මට තේරෙන විදිහට මෙතන කියලා තියෙන්නේ ......

සභාපති විනිසුරුවරයා ; විත්තියේ නීතිඥ මහත්තයා අහපු ප්‍රශ්නයට උත්තර දෙන්නකෝ. ඔබගේ රාජකාරි තුළ අත්දැකීම් ඇතිනේ?

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී. අධිකාරිය අපට පවරා තිබෙන කාර්යභාරය අපි කළා.

විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා ; ඒ පනත අනුව ඩබ්ලිව් ඕ ආර්  නිකුත් කිරීමටත් අවලංගු කිරීමටත් මෙක් කමිටුවට බලයක් නෑ නේද ?

සාක්ෂිකරු ; එහෙමනම් එවැනි ඩබ්ලිව් ඕ ආර්  සහතික නිකුත් කළ අයට ඒවායේ හොඳ හෝ නරක ප්‍රතිඵල වලට වගකිව යුතුයි.

විත්තියේ නීතිඥ ; ඒ ඩබ්ලිව් ඕ ආර්  සහතික මත කටයුතු කරන්න එපා කියලා සෞඛ්‍ය  අමාත්‍යාංශයෙන් සොයා බැලුවාද ?

සාක්ෂිකරු ;  මේක් (MEC)  කමිටුව අනෙක් ආයතන සමග කටයුතු කරන්නේ නෑ. ඒ ගැන දන්නේ නෑ. ඒකෙ වගකීමක් අපිට නෑ.

විත්තියේ නීතිඥ ; 2022 ජුනි මස හදිසි ප්‍රසම්පාදන කටයුතු සඳහා හදිසි ප්‍රසම්පාදන කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කළ බව ඔබ දන්නවාද ?

සාක්ෂිකරු ; මට මතකයක් නෑ ඒ ගැන

විත්තිය නීතිඥ ; වගකිවයුතු නිලධාරියෙක් ලෙස ඖෂධ: ප්‍රසම්පාදන කටයුතු ගැන සොයා බලන්න ඕනා නේද?

සාක්ෂිකරු ; අපේ කමිටුව කටයුතු කලේ ඉදිරිපත් වූ ලේඛන මතයි.

විත්තියේ නීතිඥ ;එම ඖෂධ 322  ට අදාල ඩබ්ලිව් ඕ ආර්  ලැයිස්තුව තහනම් කරන්න උසාවියකින් නියෝගයක් දීලා තිබෙනවාද ? එලෙස ප්‍රසම්පාදනය කරන ඖෂධ මිලදී ගැනීම තහනම් කරලා උසාවියකින් නියෝගයක් දීලා තිබෙනවාද කියලා ඔබට මතකයක් තිබෙනවාද?

සාක්ෂිකරු ; මට එහෙම මතකයක් නෑ.

සභාපති විනිසුරු ; ඩබ්ලිව් ඕ ආර්  කමිටුවට වඩා බලයක් මෙක් (MEC)කමිටුවට තිබෙනවාද?

සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී

නම වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක මහතා ; යම්කිසි ඖෂධයක් ආනයනය කිරීමේදී ඩබ්ලිව් ඕ ආර්  සහතික ලබා දීම ගැන කීවා. ඒවා ඩබ්ලිව් ඕ ආර්  මාර්ගෝපදේශද නැතිනම් අයදුම් පත්‍ර ඉල්ලුම් කිරීමේ මාර්ගෝපදේශද?

සාක්ෂිකරු ; ඩබ්ලිව් ඕ ආර්  නිර්ණායක තිබෙනවා.

විත්තියේ නීතිඥ ; ඩබ්ලිව් ඕ ආර්  අයදුම් කළ යුතු ආකාරය ගැන මාර්ගෝපදේශ තිබිය යුතුයි නේද ?

සාක්ෂිකරු ; මම කවදාවත් ඩබ්ලිව් ඕ ආර්  ඉල්ලා නැති නිසා මට ඒ ගැන අවබෝධයක් නෑ.

විත්තියේ නීතිඥ රහුල් ජයතිලක මහතා ; ඔබටත් වගකීමක්

නැතිද ඒ ඉල්ලුම් ඉල්ලුම්පත්‍ර හරියට ලැබිලා තියෙනවාද කියලා බලන්න.

සාක්ෂිකරු ; ප්‍රධාන විධායක මාර්ගයෙන් නිවැරදි ලෙස ආවොත් තමයි සලකා බැලීම සිදු කරන්නේ.

විත්තියේ නීතිඥ ; ඩබ්ලිව් ඕ ආර්  කමිටුවට තමයි නේද ඒ වගකීම තිබෙන්නේ ? ඩබ්ලිව් ඕ ආර්  ලබා දෙන්නේ හදිසි තත්ත්වයක් මත නේද ?

සාක්ෂිකරු ; ඒක අවස්ථාවක් විතරයි. තත්ත්වයෙන් තත්ත්වයට ඒක වෙනස් වෙනවා. ඖෂධ ආනයනයට යම් කාලයක් ගතවිය හැකි බව ඇත්ත. කාලය විතරක් නෙමෙයි. ඖෂධ වල ගුණාත්මකභාවයත් සලකා බලන්න ඕනා.

විත්තියේ නීතිඥ ; යම්කිසි ඖෂධ ප්‍රසම්පාදනයක් කරන විට ...(නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය මෙම අවස්ථාවේ දී යම් විරෝධයක් ඉදිරිපත් කරයි)

විත්තියේ නීතිඥ ; ප්‍රශ්නය අහලා ඉවර වෙනතුරු ඉන්නකෝ විරෝධතා ඉදිරිපත් කරන්න. අපිට අහපු ප්‍රශ්නයත් අමතක වෙනවා.

(විත්තිය නීතිඥවරයා මෙම අවස්ථාවේදී මහාධිකරණ ලඝු ලේඛිකාවගෙන්  තමන් ඇසූ ප්‍රශ්නය කෙලෙස සටහන් කර ඇතිදැයි විමසයි.

විත්තියේ නීතිඥ ; හරි මහත්මිය

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; මහත්මිය නෙමෙයි මහත්මයා.

විත්තියේ නීතිඥ ; ස්තුතියි මතක් කරලා දුන්නාට ඒකත් අමතක වුණා.

11 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි. ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා ; ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී ඔබගේ කමිටුව දැඩි ලෙස සියලු ලේඛන පරීක්ෂා කරනවා නේද ? සමහර අවස්ථාවලදී නිර්දේශ අවලංගු කර තිබෙනවා නේද?

සාක්ෂිකරු ; අපි කියන්නේ නෑ මෙයාට අරයට ටෙන්ඩර් දෙන්න කියලා. අපි දෙන්නේ නිර්දේශය විතරයි.

දොළොස්වන චූදිත වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා ; 2018 සිට මේ දක්වා ඔබතුමා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කමිටුවල හිටියා කීවනේ. ඒ සඳහා නිශ්චිත පත්වීම් ලිපි තිබෙනවාද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි.

සාමාජික විනිසුරු විරාජ වීරසූරිය මහතා ; ඔබ කීවා පෙර ප්‍රසම්පාදන වලට අදාලව ඩබ්ලිව් ඕ ආර්  සහතික නිකුත් කිරීම් ගැන සොයා බලනවා කියලා. මොන තොරතුරුද සොයා බලන්නේ ?

සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තිබෙනවා පෙර ප්‍රසම්පාදන වලට අදාළ ලේඛන අපි ඒවා ගැන විපරම් කරලා බලනවා එකී ආනයනකරු නැතිනම් නිෂ්පාදකයා විසින් ලබා දෙන ලද ඖෂධ භාවිතයෙන් යම් යම් සංකූලතා තිබුණාද යම් කෙනෙකු හෝ පිරිසක් ඒවා භාවිතයෙන් මියගොස් සිටිනවාද යන කරුණු? ඒ අනුව තමයි තීරණය කරන්නේ සැපයුම්කරුට එකී සැපයුම් දෙනවාද නැතිද කියන එක.

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය එම සාක්ෂිකරුගෙන් නැවත ප්‍රශ්න ඇසීමෙන් අනතුරුව ඔහුගේ සාක්ෂි විමසීම අවසන් කෙරිණි. පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා හෙට (10) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා 2,21,22,23,24,25 සහ  26 යන සාක්ෂිකරුවන් හත් දෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි  යැවීමටද නියම කෙරිණි.

 

වැඩිදුර විභාගය හෙට (10)  දක්වා කල් තැබිණි.

නවතම ලිපි