ශ්‍රී ලංකාව දැඩි ආර්ථික හා ඖෂධ අර්බුදයකට මුහුණ දුන් 2022 වසරේදී, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ප්‍රමිතියෙන් තොර
'හියුමන් ඉමියුනෝග්ලොබියුලින්' (Human Immunoglobulin) සහ 'රිටක්සිමැබ්' (Rituximab) එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුව මේ වන විට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ තිබේ.
ඊයේ (26) දින පැවති නඩු විභාගයේදී, රාජ්‍ය යාන්ත්‍රණයේ විනිවිදභාවය, ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ස්වාධීනත්වය සහ අමාත්‍ය මණ්ඩල තීරණ ක්‍රියාත්මක කිරීමේදී සිදුවූ බව කියන බරපතළ ක්‍රියාපටිපාටික දෝෂ ගණනාවක් අධිකරණය හමුවේ අනාවරණය විය.
මෙම ලිපිය ඊයේ දින නඩු විභාගයේදී මතු වූ ප්‍රධාන නෛතික හා තර්කානුකූල කරුණු ඔස්සේ ගොඩනැගූ විශ්ලේෂණයකි.

1. ඉන්දීය ණය යෝජනා ගිවිසුම "අතුරුදන්" ද? (තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ බලපෑම)
නඩුවේ පළමු වන විත්තිකරු (හේවගේ සුදත් ජානක ප්‍රනාන්දු) වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මතු කළ ප්‍රධාන තර්කයක් වූයේ මෙම ඖෂධ ආනයනයට පදනම් වූ ශ්‍රී ලංකා - ඉන්දීය ණය ආධාර ගිවිසුම සම්බන්ධයෙනි.
ඔහු අධිකරණයට පෙන්වා දුන්නේ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI Act) ප්‍රකාරව 2025.09.10 දින අදාළ ගිවිසුමේ පිටපතක් ඉල්ලා සිටියද, කොමිෂන් සභාවේ පරිපාලන නිලධාරිනි ලසන්ති විමලසුරේන්ද්‍ර මහත්මිය විසින් 2025.09.19 දිනැතිව ලිඛිතව දන්වා ඇත්තේ:
"එම ගිවිසුම ශ්‍රී ලංකාවේ කවර හෝ පොදු අධිකාරියක සන්තකයේ හෝ භාරයේ හෝ පාලනය යටතේ පවතීද යන්න කිව නොහැකි බවයි."
රාජ්‍යයන් දෙකක් අතර අත්සන් තැබූ අතිශය වැදගත් මූල්‍ය ගිවිසුමක් මෙරට ප්‍රධාන රාජ්‍ය ආයතනයක භාරයේ නොමැති වීම නඩු විභාගයේදී මතුකළ ප්‍රබල සැකයකි. කෙසේ වෙතත්, මෙය විත්තියේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, එය සපයා ගැනීම විත්තියේම වගකීමක් බව පෙන්වා දෙමින් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ විත්තියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. මෙය සාක්ෂි ආඥාපනතේ මූලික නෛතික සිද්ධාන්තයක් වන 'සාක්ෂි ඉදිරිපත් කිරීමේ භාරය' (Burden of Proof) මනාව පිළිබිඹු කරන අධිකරණමය තීරණයකි.

2. ජාතික ඖෂධ නියාමන පනතේ 109 වගන්තිය සහ "තරු පන්තියේ" අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්
ඖෂධ හිඟයට පිළියමක් ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් හදිසි මිලදී ගැනීම් සඳහා අනුමැතිය ලබා දීමේදී, ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ 109 වගන්තිය භාවිතා කර ඇත. අටවන විත්තිකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මේ සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න නැගීය.
මෙහිදී අධිකරණයේ විශේෂ අවධානයට ලක්වූයේ 2022.12.29 දින පැවති NMRA අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමයි. සාමාජික විනිසුරු විරාජ් වීරසූරිය නැගූ තියුණු ප්‍රශ්නයකින් අනාවරණය වූයේ:
- සාමාන්‍යයෙන් NMRA සභාපතිවරයාගේ නිල කාමරයේ පැවැත්වෙන රැස්වීම්, එදින කොළඹ ප්‍රධාන පෙළේ තරු පන්තියේ හෝටලයක පවත්වා ඇති බවයි.
- එම හෝටල් ගාස්තු ගෙව්වේ කවුරුන්ද යන්න සාක්ෂිකරු (අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික) නොදන්නා අතර, එය සාමාජිකයින්ගේ පෞද්ගලික මුදලින් දැරූ බවට "ආරංචි වූ" බව පමණක් ප්‍රකාශ විය.
රාජ්‍ය ආයතනයක, විශේෂයෙන්ම ඖෂධ වැනි අතිශය සංවේදී හා විශාල මූල්‍යමය වටිනාකමක් ඇති ටෙන්ඩර් තීරණය කරන ආයතනයක තීරණාත්මක රැස්වීමක් මෙලෙස හෝටලයක පැවැත්වීම, එහි පරිපාලනමය විනිවිදභාවය පිළිබඳ දැඩි ගැටලු මතු කරයි.

3. අසාධුගත (Blacklisted) සමාගම් සහ ව්‍යාජ ලේඛන
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම ගේ හරස් ප්‍රශ්න කිරීම් හරහා නඩුවේ වඩාත්ම සංවේදී අපරාධමය කාරණය ඉස්මතු විය.
- අසාධුගත කිරීම: හදිසි ප්‍රසම්පාදන ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීමට තීරණය කර ඇත්තේ NMRA විසින්ම අසාධුගත ලේඛනයට (Blacklist) ඇතුළත් කළ ඉන්දියානු සමාගමකින් බව ඇය යෝජනා කළාය.
- ව්‍යාජ සහතික (WOR): අදාළ ඖෂධ ආනයනය කිරීමට ඉදිරිපත් කළ සහතිකය ව්‍යාජ ලේඛනයක් බවට දින 14කට පමණ පසු එවකට ප්‍රධාන විධායක නිලධාරියා (12 වන විත්තිකරු) විසින් අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කළ යුතු බවට සාකච්ඡා වූ බව සාක්ෂිකරු පිළිගත්තේය.
4. විශේෂඥ වෛද්‍යවරුන්ගේ විරෝධය සහ මානුෂීය ඛේදවාචකය
දොලොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න අවධාරණය කළේ, අංක 138 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව හරහා රජය උත්සාහ කළේ ජනතාවට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීමේ වගකීම ඉටු කිරීමට බවයි. එය ඉතා සංවේදී කරුණක් බව ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඖෂධ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට, NMRA අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු ලිඛිතව විරෝධය පළ කර ඇති බව සාක්ෂිකරු අධිකරණය හමුවේ තහවුරු කළේය. ඖෂධ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ඔවුන්ගේ විරෝධය නොසලකා හරිමින් මෙම ගනුදෙනුව ඉදිරියට යාම, රෝගීන්ට අසාත්මිකතා (අත කැසීම්, බඩ දැවීම් ආදී සංකූලතා) ඇතිවීමට සෘජුවම බලපා ඇති බව විත්තියේ නීතිඥවරුන්ගේ හරස් ප්‍රශ්න මගින් ගම්‍ය විය.
ඉදිරි පියවර
දින හතරක් පුරා සාක්ෂි ලබා දුන් අදාළ සාක්ෂිකරුගේ සාක්ෂි මෙදිනින් අවසන් වූ අතර, නඩු විභාගයේ මීළඟ අදියර සඳහා පැමිණිල්ලේ 37 වන සහ 42 වන සාක්ෂිකරුවන් වන කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමිලා මනතුංග යන අයට අද (27) දින පෙනී සිටින ලෙස අධිකරණය සිතාසි නිකුත් කළේය.
මෙම නඩුව හුදෙක් මූල්‍ය වංචාවක් පමණක් නොව, රාජ්‍ය ප්‍රතිපත්ති, නෛතික රාමුන් සහ මානව ජීවිත අතර පවතින සංකීර්ණ ගැටුමක් මනාව නිරූපණය කරයි.

නඩු වාර්තාව
26/02/2026
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්ව තිබූ 2022 වසරේදී එකල දැඩි හිඟයක්ව පැවති ඖෂධ හා අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය හා ඉන්දියානු රජය අත්සන් කළ ඉන්දියානු නය ආධාර ගිවිසුමේ පිටපතක් ලබාදෙන ලෙසට තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත ප්‍රකාරව එම කොමිෂන් සභාවෙන් ලිඛිතව ඉල්ලීමක් කළත් එම ගිවිසුම ශ්‍රී ලංකාවේ කවර හෝ පොදු අධිකාරියක සන්තකයේ හෝ භාරයේ හෝ පාලනය යටතේ පවතීද යන්න කිව නොහැකි බවට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව විසින් ලිඛිතව දන්වා ඇතැයි පළමු වන විත්තිකාර හේවගේ සුදත් ජානක ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ඊයේ (26) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දැනුම් දුන්නේය.
සිය සේවාදායකයා විසින් 2025.09.10 වැනිදා කර තිබූ එම ඉල්ලීමට පිළිතුරු ලබා දෙමින් 2025.09.19 වැනිදා තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ පරිපාලන නිලධාරිනි ලසන්ති විමලසුරේන්ද්‍ර මහත්මිය විසින් ඒ බව දන්වා ඇතැයි ද නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා පෙන්වා දුන්නේය. එබැවින් එම ණය ආධාර ගිවිසුමේ පිටපතක් ලබාදෙන ලෙසට නියෝගයක් කරන්නැයි විත්තියේ නීතිඥවරයා විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය. විත්තියේ සාක්ෂියක් ලෙස එකී ගිවිසුම උපයෝගී කර ගැනීමට විත්තිය අපේක්‍ෂා කරන්නේ නම් එය ලබා ගැනීම විත්තියේ වගකීමක් බව පෙන්වා දුන් විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා විත්තිය ඉල්ලා සිටි නියෝගය ලබාදීම ප්‍රතික්ෂේප කළේය.
පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ;
2023 වසරේදී අවස්ථා කීපයකදී ආනයනය කළ ඖෂධ 63කින් ඖෂධ කීපයක් භාවිත කිරීමේදී විවිධ සංකූලතා ඇතිවූ බවට මාධ්‍ය මගින් වාර්තා වුණාද? ඒ පිළිබඳව ඔබ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අයෙක් මාධ්‍යයට ප්‍රකාශයක් කර තිබුණා. එවැනි ඉහල වගකිවයුතු නිලධාරියෙක් යම් ප්‍රකාශයක් කළාම ඒක නිල ප්‍රකාශයක් ලෙස සලකන්න පුළුවන් කියලා මා යෝජනා කළොත්.
සාක්ෂිකරු ;
ඒක අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කිරීමකින් තොරව කර ඇත්නම් එය පුද්ගලික මතයක්.
විත්තියේ නීතිඥ ;
ඔබලාගේ නිල වෙබ් අඩවියේ පළවන්නේ පෞද්ගලික දේවල්ද? රජයේ වගකිවයුතු ආයතනයක් කටයුතු කළ යුතු ආකාරය විශේෂයෙන් වගකිවයුතු නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය ගැන ඔබට දැනුමක් තිබෙනවා කියා මා යෝජනා කළොත්? ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අයෙක් විතරක් නෙමෙයි. එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කළ රවින්ද්‍ර මනෝජ් ගමගේ යන අයත් ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට යම් ප්‍රකාශයක් කර තිබුණා කියා මා යෝජනා කරනවා. සභාපතිවරයා යම් මාධ්‍ය ප්‍රකාශයක් කරන විට ඒ පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලයට යම් දැනුවත් කිරීමක් කළ යුතුයි කියා මා ඔබට යෝජනා කරනවා.
සාක්ෂිකරු ;
එහෙම නීතිමය ප්‍රතිපාදන නෑ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ;
මම එම ප්‍රශ්නයට විරුද්ධයි. විත්තියේ නීතිඥවරයා අහන්න දේවල් නැති නිසා මේ සාක්ෂිකරුගෙන් එහෙම ප්‍රශ්න අහලා වටේ යනවා
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ;
කෙලින්ම අහන්න ඕන ප්‍රශ්නය අහන්න නැතිනම් යෝජනාවක් විදිහට ඉදිරිපත් කරන්න.
විත්තියේ නීතිඥවරයා ;
මට අහන්න ඕන තරම් දේවල් තියෙනවා. ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්, ඖෂධ ආනයනය කිරීමකට අදාළ නිෂ්පාදනාගාර පරීක්ෂා කිරීමට යන විට ඒ සඳහා වැයවන වියදම අයදුම් කරන ඖෂධ සමාගම ගෙවිය යුතු බවට අධිකරණ නියෝගයක් තියෙන බව ඔබ දැනුවත්ද ? මාළිගා කන්ද මහෙස්ත්‍රාත් අධිකරණයෙන් එවැනි නියෝගයක් ලබා දී තිබූ බවත් ඔබතුමා දන්නවාද ?
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ;
මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් එවැනි නියෝගයක් ලබා දී තිබෙනවාද ?
විත්තියේ නීතිඥ ;
නෑ ස්වාමිනි! මම සාක්ෂිකරුගෙන් ප්‍රශ්නයක් ලෙස ඇසුවේ. එහෙම නියෝගයක් තියෙනවාද කියලයි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ;
ඔබතුමා දන්නේ නැතුව සාක්ෂිකරුගෙන් එහෙම ප්‍රශ්න අහන්න එපා. ඉස්සෙල්ලා ඔබතුමා දැනුවත් වෙලා ඉන්න.
විත්තියේ නීතිඥ ;
මෙම නඩුවට පාධක වූ හියුමන් ඉමියුනෝග්ලොබියුලීම් එන්නත් සම්බන්ධයෙන් සංකූලතා ඇතිවූ බවත් මාධ්‍යවල පුවත් පළ වූ බව ඔබතුමා දන්නවාද ?
සාක්ෂිකරු ;
ඔව් ඖෂධ නියාමන අධිකාරියේ එවකට ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ 12 වන විත්තිකරු අපිව දැනුවත් කළා එකී ඖෂධ ආනයනය කිරීමට ඉදිරිපත් කළ සහතිකය ව්‍යාජ ලේඛනයක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ යුතු බවට සාකච්ඡා වුණා.
විත්තියේ නීතිඥ ;
එකී එන්නත භාවිතයෙන් ඇති වූ සංකූලතා මොනවාද කියලා මතකද? අත කැසීම්, බඩ දැවීම් ඒවා වගේ සංකූලතා කියලා මා යෝජනාා කළොත්?
සාක්ෂිකරු ;
මට මතක නෑ
විත්තියේ නීතිඥ ;
ඉන්දියානු ණය යෝජනා ගිවිසුම පිළිබඳව ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කළේ කුමන මුදල් අමාත්‍යවරයා විසින්ද කියලා ඔබට මතකද?
සාක්ෂිකරු ;
ඒ සමයේ මුදල් අමාත්‍යවරු කීපදෙනෙක් හිටියා. මට හරියටම කියන්න බෑ ඒ ගැන.
අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතා ;
ඔබ මූලික සාක්ෂියේදී සඳහන් කළ පැ 158වන ලේඛනය ඒ කියන්නේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඖෂධ ආනයනය කිරීමට 8 වන විත්තිකරු ඉදිරිපත් කළා යැයි කියන යෝජනාවට අදාළ සාකච්ඡා 2023.12.29 වැනිදා සැබැවින්ම තිබූ බවට ඔබ දැනුවත්ද?
සාක්ෂිකරු ;
එවැනි රැස්වීමක් තිබූ බව හෝ ලියාපදිංචිය මගහැර ප්‍රමුඛතා ලැයිස්තුව මත ඖෂධ ආනයනය කිරීමට අදාළව එම දැනුවත් කිරීම කලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා. ඔහු ඉදිරිපත් කළ ලිපිය අනුව තමයි මම එහෙම කීවේ. ඖෂධ නියාමන පනතේ 109 වගන්තිය යටතේ අමාත්‍යවරයා එවැනි ඉල්ලීමක් කර තිබූ බව එමගින් දන්වා තිබුණා.
සාමාජික විනිසුරු විරාජ් වීරසූරිය මහතා ;
පෙර සඳහන් කළ දින 2022.12.29 වැනිදා එකී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම පැවැත්වුණේ කොළඹ ප්‍රධානය පෙලේ හෝටලයක කියලා. ඒ සඳහා වැය වන හෝටල් ගාස්තුව ගෙවන්න ඕනා මොන ආයතනයෙන්ද? ඊට පෙර එවැනි රැස්වීම් හෝටල්වල පවත්වා තිබෙනවාද?
සාක්ෂිකරු ;
වෙනදා නම් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් තියන්නේ ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාගේ නිල කාමරයේ. මගේ සේවා කාලය තුළ පළමු වරට තමා හෝටලයක එලෙස අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පැවැත් වූ පළමු දිනය එදා. ඒ සඳහා වියදම් කළේ කවුද කියලා දන්නේ නෑ. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඔවුන්ගේ පුද්ගලික මුදලින් එකී වියදම් දැරූ බවට තමයි ආරංචි වුනේ. මම එම රැස්වීමට සහභාගි වුණේ නෑ. එයට සහභාගි වූ සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ගැන දැනගත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරිපත් කළ අමාත්‍යවරයාගේ ලිපිය අනුවයි.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ;
ඔබගෙන් ගරු විනිසුරුතුමා ඇසුවා 2022.12.29 වැනිදා එම හෝටලයේ රැස්වීම පවත්වා තිබෙන්නේ ඉන්දියාවේ පෙවරිට් පාමා සුටිකල් පුද්ගලික සමාගම වග උත්තර කරුවකු කරමින් 2023 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පැවරුවාට පසුවද කියලා. ඔබ දන්නවාද පෙර කිව්ව හදිසි ප්‍රසම්පාදන ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීමට එම රැස්වීමේදී තීරණය කර තිබෙන්නේ ඖෂධ නියාමන අධිකාරිය විසින් අසාධුගත ලේඛනයට ඇතුළත් කළ ඉන්දියානු සමාගමකින් කියලා? එකී සමාගමේ නිෂ්පාදනය කළ ඖෂධ අසාධුගත ලේඛණයට ඇතුළත් කර ඇති බව ඔබ දන්නවාද? එම අසාධුගත ඉන්දියානු සමාගමෙන් ඖෂධ ලබාගැනීමට තමයි පෙර කිව්ව කැබිනට් අනුමැතිය ලබාදී තිබෙන්නේ කියලා ඔබ දන්නවාද?
සාක්ෂිකරු ;
ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී මහතා අපිව දැනුවත් කළේ ඩබ්ලිව් ඕ ආර් සහතික නිකුත් කර දින 14කට පමණ පසුව තමයි.
විනිසුරු මඩුල්ල පැමිණිල්ලේ 37 වන සාක්ෂිකරු ලෙස නම්කොට තිබූ කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මියට සහ පැමිණිල්ලේ 42වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමිලා මනතුංග මහත්මියට පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා අද (27) පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට නියෝග කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම මෙනෙවිය ;
විත්තියේ නීතිඥවරුන් ඔබ පෙර සඳහන් කල සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ඔබට පෙන්වා ඇසුවා ප්‍රශ්න ගත රිටක්සිමැබ් ( Rituximab) සහ හියුමන් ඉමියුනෝග්ලොබියුලීම් ( Human Immunoglobulim) එන්නත් සම්බන්ධයෙන් එහි සඳහන්ද කියලා. කැබිනට් මණ්ඩල සංදේශය සමඟ අමුණා ඇති ඇමනුම් වල එකී ඖෂධ දෙක ඇතුළත් බව ඖෂධ නියාමන අධිකාරියේ විධායක නිලධාරියා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ඔබලාට පැහැදිලි කළාද?
එකී ඖෂධ දෙක කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් ඖෂධ 38 අතර තිබෙනවාද?
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක, නීතිඥ අමිත ආරියරත්න මහතා ඇතුළු විත්තියේ නීතිඥවරුන්;
ස්වාමීනි මේ ප්‍රශ්න අහනවාට අපි විරුද්ධයි. අපි මේ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න නැගීමේදී 12වන චූදිත අධ්‍යක්ෂ මණ්ඩලයට එහෙම පැහැදිලි කිරීමක් කළාද කියලා කිසිම ප්‍රශ්නයක් ඇසුවේ නෑ. හරස් ප්‍රශ්න වලද අහපු නැති දෙයක් ගැන නැවත ප්‍රශ්න අහන්න පැමිණිල්ලට බෑ. මේක සියලුම විත්තිකරුවන්ට බලපාන ප්‍රශ්නයක් එම ප්‍රශ්නය ඇසීමට පැමිණිල්ලට ඉඩ දෙන්න එපා.
සභාපති විනිසුරුවරයා ;
සාක්ෂිකරුගෙන් කරුණු තහවුරු කරගන්නයි එම ලේඛනයේ තිබෙන ඖෂධය ඉදිරිපත් කරලා පැමිණිල්ල නැවත ප්‍රශ්න අහන්නේ? විත්තියෙන් අහපු නිසයි එහෙම අහන්නේ ඒක හරි විදිහට අහන්න.
කෙසේ නමුත් නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය එම සාක්ෂිකරුගෙන් එම ඖෂධ දෙක පෙරකී කැබිනට් සංදේශයේ අඩංගුව ඇතිදැයි මුලින් නැගූ ප්‍රශ්නයට විත්තියේ නීතිඥවරුන් දැක්වූ විරෝධතාවය නිසා නැවත ප්‍රශ්න කිරීමක් සිදු නොකෙරිණි.
දොලොස්වන හා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි. ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා.
පැ 138 ලෙස නම් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්. අමාත්‍ය මණ්ඩලය එම සංදේශය ඉදිරිපත් කර තිබෙන්නේ රටේ පවතින ඖෂධ හිඟයට පිළියමක් ලෙස මෙන්ම රටේ ජනතාවට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීමේ වගකීම ඉටු කරන්නයි. එම කරුණු විහිළුවට ගත යුතු දේවල් නෙමෙයි. ඉතා සංවේදී, ඉතා වැදගත් කරුණු නේද ? මම ඔබතුමාට යෝජනා කරනවා ඒ වගේම පෙර ඔබ කීවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඖෂධ සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු යෝජනාවකට ඔබ නියෝජනය කළ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු විරුද්ධතාවය ලිඛිතව ඉදිරිපත් කළා කියලා?
සාක්ෂිකරු ;
ඔව් එවකට පැවැති, ඖෂධ හිඟයට පිළියමක් ලෙස එය ඉදිරිපත් කරන්න ඇති. එකී චෝදනාවට අපි විරුද්ධත්වය දැක්වූයේ ඖෂධ පිළිබඳ විශේෂඥ දැනුමක් තිබූ විශේෂඥ වෛද්‍යවරුන් පැහැදිලියි කර දුන් කරුණු අනුවයි එකී මතයට ගරු කරලයි.
නීතිඥ අමිත ආරියරත්න මහතා ;
එම විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශේෂඥභාවය ගැන මම ඇහුවේ නෑ.
සාක්ෂිකරු ;
එහෙමයි ස්වාමීනී
නම වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක මහතා මෙන්ම දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතාද එහිදී එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදු කළ අතර පුරා දින හතරක් තිස්සේ සාක්ෂි ලබා දුන් එම සාක්ෂිකරුගේ සාක්ෂි ඉන් අවසන් කෙරිණි.
වැඩිදුර විභාගය අද (27) දක්වා කල් තැබිණි.

