SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

වසරකට ආසන්න කාලයක් පුරා සතියේ දින පහේම විභාග වෙමින් පවතින හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ

රිටොක්සිමැප් ඖෂධ වංචාව පිළිබඳ නඩු විභාගය මේ වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයේ පවතින බිහිසුණු හිඩැස් මහජනතාව ඉදිරියේ නිරාවරණය කරමින් සිටී.

 

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග වන මෙම නඩුව, හුදෙක් පුද්ගලික වංචාවකට එහා ගිය, සමස්ත පද්ධතියම ගිලගෙන ඇති ව්‍යාකූලත්වයේ ඛේදවාචකයක් බවට පත්ව ඇත.

 

 

මැයි 13 වන දින පැවති නඩු විභාගයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) උපේක්ෂා ශම්මි කුමාරි දෙනාවත්ත විසින් ලබා දුන් සාක්ෂි සහ එහිදී ඇති වූ නීතිමය තර්ක විතර්ක හරහා මනාව පැහැදිලි වන්නේ, රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක වන නිලධාරිවාදී මුහුණුවර පිටුපස ඇත්තේ හිස් බවක් සහ අන්‍යයන් මත වගකීම පටවා අත් පිසදා ගැනීමේ න්‍යායක් බවයි.

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම විසින් සාක්ෂිකාරියගෙන් නගන ලද ප්‍රශ්න මාලාව, පැමිණිල්ලේ සාමාන්‍ය හරස් ප්‍රශ්න ඇසීමකට වඩා රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ හෘද ස්පන්දනය පරීක්ෂා කිරීමක් බඳු විය. දින දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඖෂධ 285කින් යුත් දැවැන්ත ලැයිස්තුවක් ඇගයීමට ලක් කළ බව කියන කමිටුවේ ක්‍රියාකලාපය පිළිබඳව එහිදී ප්‍රශ්න කෙරිණි.

 

 

ප්‍රමුඛතා ලැයිස්තුවේ අංක එක, දෙක, තුන යනු මොනවාදැයි හෝ සලකා බැලූ ඖෂධ ප්‍රමාණය පිළිබඳව හෝ තමන්ට පැහැදිලි මතකයක් නැති බව සාක්ෂිකාරිය අධිකරණය හමුවේ පාපොච්චාරණය කළාය. පරිපාලන ක්‍රියාවලියේ ඛේදවාචකය ආරම්භ වන්නේ එතැනිනි. ලේඛන පරීක්ෂා කිරීමේදී සම්පූර්ණ වගුව කමිටු සාමාජිකයන් සතුව නොතිබූ බවත්, තීරණ ගෙන ඇත්තේ අතින් ලියන ලද සටහන් සහ තාක්ෂණික නිලධාරීන්ගේ වාචික උපදෙස් මත පමණක් බවත් මෙහිදී තහවුරු විය. මෙය නූතන රාජ්‍ය පරිපාලනයේ අඳුරුතම පැතිකඩකි; ලිපිගොනු සහ අත්සන් කිරීමේ ක්‍රියාවලිය හුදෙක් සංකේතාත්මක පිළිවෙතක් පමණක් බවට පත්ව ඇති අතර, එහි සැබෑ අන්තර්ගතය හෝ වගකීම කිසිවෙකු විසින් දරන්නේ නැත.

 

 

නඩු විභාගය පුරාවටම නාට්‍යානුසාරී සහ තීරණාත්මක අවස්ථා කිහිපයක්ම නිර්මාණය විය. විශේෂයෙන්ම පිළිකා නාශක ඖෂධ සහ අත්‍යවශ්‍ය එන්නත් පිළිබඳව සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න කළ අවස්ථාව අධිකරණ ශාලාව තුළ දැඩි නිහඬතාවයක් ඇති කළේය.

 

"එම ඖෂධය පෙත්තක්ද, ද්‍රාවණයක්ද, කැප්සියුල් එකක්ද යන්න පිළිබඳව ඔබ දන්නවාද?"

යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය නැඟූ සෘජු ප්‍රශ්නයට සාක්ෂිකාරිය දුන් "නැත" යන පිළිතුර, සමස්ත ඇගයීම් ක්‍රියාවලියේම පදනම ප්‍රශ්න කරයි.

 

 

කෝටි ගණනක මහජන මුදල් වැය කරමින්, මිනිස් ජීවිත සමග සෘජුවම සම්බන්ධ වන ඖෂධ ඇගයීමේදී, අදාළ ඖෂධයේ මූලික ස්වභාවය, නිෂ්පාදිත රට (origin of the drug), හෝ එහි ගුණාත්මකභාවය තහවුරු කරන WOR සහතිකය යනු කුමක්දැයි පවා කමිටු සාමාජිකයන් නොදැන සිටීම විස්මයට කරුණකි.

 

 

ඔවුන් සියලු දෙනාම ක්‍රියාත්මක වී ඇත්තේ වෛද්‍ය ජයනාත්, වෛද්‍ය සුදර්ශන සහ අතිරේක ලේකම් සොලමන්ස් වැනි "තාක්ෂණික බලධාරීන්" පෙන්වූ මායාව මත පදනම්වය.

 

 

තීරණ ගැනීමේදී ස්වාධීනව කටයුතු කිරීමට හැකියාවක් නොතිබූ බවත්, තාක්ෂණ නිලධාරීන් නිවැරදි හා සද්භාවයෙන් කටයුතු කරනු ඇතැයි යන "විශ්වාසය" මත පමණක් අත්සන් තැබූ බවත් සාක්ෂිකාරිය කළ ප්‍රකාශය, පරිපාලන ව්‍යුහයේ පවතින ඛේදනීය පරායත්තභාවය මොනවට කියාපායි.

 

 

මෙම නඩු විභාගයේදී විත්තියේ නීතිඥයින් සහ පැමිණිල්ල අතර ඇති වූ වාග් සංග්‍රාමයන්ද නඩුවේ ගමන් මගට නව මානයක් එක් කළේය. සාක්ෂි මෙහෙයවීමේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් ප්‍රශ්න ඇසීමේදී අඛණ්ඩව "වත්" යන ප්‍රත්‍යය (උදාහරණයක් ලෙස: 'අවබෝධයක්වත් තිබුණේ නැද්ද?') භාවිතා කිරීම සම්බන්ධයෙන් එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමිත ආරියරත්න දැඩි විරෝධයක් මතු කළේය.

 

 

එමගින් සාක්ෂිකාරියට "ඔව්" හෝ "නෑ" යන පිළිතුරට කොටු වීමට සිදුවන බවත්, එය සාධාරණ සාක්ෂි විභාගයකට බාධාවක් බවත් ඔහු තර්ක කළේය. සභාපති විනිසුරුවරයා එම තර්කය පිළිගනිමින් අදාළ වචනය ඉවත් කර ප්‍රශ්න නගන ලෙස පැමිණිල්ලට උපදෙස් දීම, නීතිමය ක්‍රියාවලියේ ඇති සියුම් තුලනය විදහා දක්වන්නකි.

 

එසේම නවවන සහ දසවන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාහුල් ජයතිලක සහ ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවන මතු කළ විරෝධතා හමුවේ, ඇතැම් ප්‍රශ්න හරස් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල තීරණය කිරීම, නඩුවේ තාක්ෂණික සහ නීතිමය සංකීර්ණත්වය තවදුරටත් තීව්‍ර කළේය.

 

අවසාන වශයෙන් මෙම නඩු වාර්තාව සහ ඒ වටා ගෙතුණු සාක්ෂි පෙළගැස්ම අපට පෙන්වා දෙන්නේ හුදෙක් දූෂිත පුද්ගලයින් කිහිපදෙනෙකුගේ කතාවක් නොව, සම්පූර්ණයෙන්ම අක්‍රිය වූ, වගවීමක් නොමැති පරිපාලන සංස්කෘතියක කතාවකි. අමාත්‍ය මණ්ඩල සංදේශ, හදිසි ප්‍රසම්පාදන කමිටු සහ ඇගයීම් මණ්ඩල යනු හුදෙක් තමන්ගේ වගකීමෙන් පළා යාම සඳහා නිලධාරීන් භාවිතා කරන පලිහක් බවට පත්ව ඇත. පරිගණක තිරයකින් තොරතුරු බලා අතින් ලියූ කොළ කැබලිවලට අත්සන් තැබීම රාජ්‍ය ප්‍රතිපත්තිය වී ඇති පසුබිමක, මෙවැනි ව්‍යසනයන් ඇතිවීම අහම්බයක් නොවේ.

 

 

නීතියේ රැහැනට පුද්ගලයින් කොටු කිරීම කොතරම් වැදගත් වුවද, කිසිදු පදනමකින් තොරව, වෙනත් අයෙකුගේ උපදෙස් මත පමණක් තීන්දු තීරණ ගන්නා මෙම අන්ධ පරිපාලන යාන්ත්‍රණය මුලිනුපුටා දමා ප්‍රතිව්‍යුහගත නොකරන තාක් කල්, මෙවැනි වංචාවන් සඳහා පවතින ඉඩකඩ කිසිදා අඩුවන්නේ නැත. සැබෑ වරදකරු සිටින්නේ විත්ති කූඩුවේ පමණක් නොව, කිසිදු හෘද සාක්ෂියකින් තොරව අත්සන් තබන නිලධාරිවාදී මේසය මත බව මෙම නඩුව දිනෙන් දින ඔප්පු කරමින් සිටී.

 

____________________________________

අයිසොලෙස් බයෝ ටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.

නවතම ලිපි