රටක සිදුවූ අතිශය තීරණාත්මක අපරාධයක් සම්බන්ධ නඩුවක් විභාගයට ගැනීමේදී එය
හුදෙක් අධිකරණමය කටයුත්තක් පමණක් නොව සමාජ කතිකාවතක කේන්ද්‍රස්ථානයක් ද වේ. එහෙත්, මෑතකාලීනව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නඩුවක් වන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුව බුලර්ස් පාරේ පිහිටි හිටපු අමාත්‍ය නිල නිවසක, මාධ්‍ය සහ මහජනතාවගෙන් වසන් වූ වටපිටාවක, "කඩිනම්" යන ලේබලය යටතේ විභාග වෙමින් පවතී.
මෙවැනි පසුබිමක් තුළ පැන නගින ප්‍රධානතම ගැටලුව නම්, "සමහර ප්‍රධාන නඩු ජනතා කතිකාවකට හසු නොවී අඛණ්ඩව නිහඬවම විභාගයට ගැනෙන්නේ ඇයි?" යන්නයි.
කඩිනම් කිරීම සහ යුක්තියේ මූලධර්ම
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම කඩිනම් කළ යුතු බවට විවාදයක් නැත. එහෙත් එම කඩිනම් කිරීම තුළින් විත්තිකරුවන්ට හිමි 'සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය' (Right to a Fair Trial) උදුරා ගන්නේ නම්, එය යුක්තිය පසිඳලීමක් නොව යුක්තියේ විහිළුවක් බවට පත්වේ.
සතියේ දින 5 පුරාම, උදෑසන සිට සවස දක්වා එක දිගට නඩුව විභාග කිරීම හේතුවෙන් කේ. එස් රත්නවේල්, ගසාලී හුසේන් සහ රුෂ්ඩි හබීබ් වැනි ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ට ඉන් ඉවත් වීමට සිදුවී තිබේ. මෙහිදී මතු වන බරපතලම තත්ත්වය නම්, එම හිඩැස පිරවීම සඳහා කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය හරහා "අත්දැකීම් ලබා ගැනීමේ අරමුණින්" කණිෂ්ට නීතිඥයින් (Junior Lawyers) බඳවා ගැනීමට දරන උත්සාහයයි. පිටු 10,000කට අධික සාක්ෂි සටහන් සහ චෝදනා 23,000ක් සහිත නඩුවක්, ආධුනික නීතිඥයින්ට "ඉගෙනුම් තෝතැන්නක්" කර දීම කෙතරම් සාධාරණ ද?

නීතිඥ රත්නවේල් පෙන්වා දෙන පරිදි මෙය "විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිව කණිෂ්ට වෛද්‍යවරුන්ට බරපතල ශල්‍යකර්ම සිදු කිරීමට ඉඩ දීමක්" වැනි භයානක තත්ත්වයකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ විවෘත අධිකරණ සංකල්පය
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පුරවැසියාගේ අධිකරණමය අයිතිය ඉතා පැහැදිලිව තහවුරු කර ඇත. විශේෂයෙන්ම නඩු විභාගයක විවෘතභාවය සහ සාධාරණත්වය පිළිබඳව ව්‍යවස්ථාවේ දැක්වෙන ප්‍රතිපාදන මෙම සිදුවීමත් සමඟ සෘජුවම ගැටේ.
-
106 වැනි ව්‍යවස්ථාව (ප්‍රසිද්ධ නඩු විභාග): ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 (1) වගන්තියට අනුව, "සෑම අධිකරණයකම නඩු විභාග මහජනයාට ඉඩ ඇති තාක් දුරට ප්‍රසිද්ධියේ පැවැත්විය යුතුය." කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් හෙළි කරන පරිදි, මෙම නඩුව විභාග වන ස්ථානයට මාධ්‍යවේදීන්ට හෝ විත්තිකරුවන්ගේ ඥාතීන්ට ඇතුළු වීමට අවසර නොලැබේ. මෙය ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති 'විවෘත අධිකරණ' (Open Court) සංකල්පය උල්ලංඝනය කිරීමකි. යුක්තිය ඉටු වීම පමණක් ප්‍රමාණවත් නොවේ; යුක්තිය ඉටු වන බව පෙනී යා යුතුය (Justice must not only be done, but must also be seen to be done).
-
13 (3) වැනි ව්‍යවස්ථාව (සාධාරණ නඩු විභාගයක අයිතිය): "නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව... නිසි අධිකරණයක් විසින් පවත්වනු ලබන සාධාරණ නඩු විභාගයකට හිමිකම් ඇත්තේය." මෙහිදී 'සාධාරණත්වය' යන්නට තමන්ට කැමති නීතිඥ සහායක් ලබා ගැනීම ද ඇතුළත් වේ. නඩු විභාගය අසාමාන්‍ය ලෙස වේගවත් කිරීම හේතුවෙන් පළපුරුදු නීතිඥයින්ට ඉන් ඉවත් වීමට සිදුවේ නම් සහ ඒ වෙනුවට ආධුනිකයන් ආදේශ කරන්නේ නම්, එය ව්‍යවස්ථාපිත මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.

තොරතුරු දැනගැනීමේ අයිතිය සහ මාධ්‍ය නිදහස
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය මගින් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස තහවුරු කර ඇති අතර, එයට තොරතුරු දැනගැනීමේ අයිතිය ද වක්‍රව ඇතුළත් වේ. මෙවැනි අතිශය සංවේදී සහ මහජනතාවට වැදගත් නඩුවක් "රහස්‍ය ආකාරයෙන්" බාහිර සමාජයෙන් වසන් කර පවත්වාගෙන යාමෙන් ජනතාවට සත්‍ය දැනගැනීමට ඇති අයිතිය අහිමි කෙරේ. පාස්කු ප්‍රහාරයේ "මහමොළකරු" කවුරුන්ද යන්න වැනි තීරණාත්මක කරුණු මෙම නඩුව තුළින් හෙළිවනු ඇතැයි සමාජය බලාපොරොත්තු වන මොහොතක, මාධ්‍ය අවහිර කිරීම සැකකටයුතුය.
කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේ සභාපතිනිය පවසන පරිදි මෙය කණිෂ්ට නීතිඥයින්ට "අවස්ථාවක්" විය හැකි නමුත්, එය විත්තිකරුවන්ට "අවදානමකි". ශ්‍රීන් අබ්දුල් සරූර් පවසන පරිදි මෙය "මැරතන් තරඟයක්" ලෙස පවත්වාගෙන යාමෙන් සිදුවන්නේ ස්වභාවික යුක්තියේ මූලධර්ම කෙලෙසී යාමයි.
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම විය යුතු බව සැබෑවකි. එහෙත් එම කාර්යක්ෂමතාවය නීතියේ ආධිපත්‍යය, විවෘතභාවය සහ විත්තිකරුවෙකුට ලැබිය යුතු සාධාරණ නීතිමය නියෝජනය යන මූලික අයිතිවාසිකම් බිලිගනිමින් සිදු නොවිය යුතුය. පාස්කු නඩුව වැනි ජාතික වශයෙන් වැදගත් නඩුවක් බුලර්ස් පාරේ බංගලාවක තාප්ප වලට මැදිව, මාධ්‍ය ඇසින් වසන්ව, කඩිමුඩියේ නිම කිරීමට උත්සාහ කිරීම තුලින් අවසානයේදී අධිකරණ පද්ධතිය කෙරෙහි ඇති මහජන විශ්වාසය පළුදු වීමේ අවදානමක් පවතී.
@නයෝමී සුබ්‍රමනියම්

