SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි ගෙන්වා රුපියල් කෝටි 14කට අධික මහජන මුදලක්

වංචා කිරීමේ චෝදනාව මත හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව, හුදු මූල්‍ය වංචාවක් පිළිබඳ නඩු විභාගයකට එහා ගිය සංකීර්ණ නෛතික සහ මානව හිමිකම් පිළිබඳ ගැටලුවක් බවට පරිවර්තනය වෙමින් පවතී.

 

 

ඊයේ (05) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ හෙළිදරව් වූ කරුණු සහ ගනු ලැබූ තීරණ හරහා නඩුවේ ගමන් මග නව දිශානතියකට යොමු වී ඇති බව නිරීක්ෂණය වේ.

 

 image ee59764713

 

 

අධිකරණ සංකීර්ණය මාරු කිරීම: යුක්තිය පසිඳලීමේ පහසුවක්ද? විත්තියට බාධාවක්ද?

නඩුවේ අවධානය දිනාගත් ප්‍රධානතම සිදුවීම වූයේ, මෙම නඩු විභාගය ලබන 09 වැනිදා සිට කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිට කොළඹ 06, විජේරාම මාවතේ අංක 21 දරන ස්ථානයට රැගෙන යාමට විනිසුරු මඩුල්ල ගත් තීරණයයි.

 

 

මෙහි ඇති දෛවෝපගත සහ අධිකරණමය භාවිතයන් පිළිබඳ බැරෑරුම් සහගත කරුණ වන්නේ, නව අධිකරණය ස්ථාපිත කර ඇති මෙම ස්ථානය, නඩුවේ 8 වන විත්තිකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය ධුරය දරද්දී භාවිතා කළ නිල නිවස වීමයි. විත්තිකරුවෙකු තමාට එරෙහි නඩුව විභාග කිරීම සඳහා තමා කලින් පදිංචිව සිටි නිවසටම පැමිණීමට සිදුවීම ලාංකීය අධිකරණ ඉතිහාසයේ විරල සිදුවීමකි.

 

 

කෙසේ වෙතත්, මෙම ස්ථාන මාරුව සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් දැඩි විරෝධයක් පළ කර තිබේ. ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සහ ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන පෙන්වා දෙන්නේ මෙය විත්තියේ අයිතිවාසිකම්වලට අගතිදායක (Prejudicial) වන බවයි.

විත්තියේ තර්කය:

  • ප්‍රායෝගික දුෂ්කරතා:

අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ සිට විජේරාම මාවතට යාමට අධික මාර්ග තදබදය මැද අවම වශයෙන් විනාඩි 45ක්වත් ගත වේ.

  • නියෝජනය අහිමි වීමේ අවදානම:

වෙනත් නඩු සඳහා අලුත්කඩේ රැඳී සිටිය යුතු ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ට මෙම ස්ථාන දෙක අතර ගමන් කිරීමේ අපහසුතාව නිසා මෙම නඩුවෙන් ඉවත් වීමට සිදුවිය හැක.

 

 Kekeliya

 

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) වගන්තිය යටතේ සෑම චෝදනා ලබන්නෙකුටම තමන් කැමති නීතිඥවරයෙකුගේ සහාය ලබා ගැනීමට හිමිකමක් ඇත. අධිකරණයේ පරිපාලනමය තීරණයක් මගින් එම අයිතියට බාධාවක් එල්ල වන්නේ නම්, එය සාධාරණ නඩු විභාගයක් (Fair Trial) පිළිබඳ සංකල්පයට අභියෝගයකි. දැනටමත් අඛණ්ඩ නඩු විභාගය (Trial-at-Bar proceedings) හේතුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් කිහිප දෙනෙකු නඩුවෙන් ඉවත් වී ඇති පසුබිමක, මෙම ස්ථාන මාරුව විත්තිය තවදුරටත් දුර්වල කිරීමේ පියවරක් ලෙස අර්ථකථනය කිරීමට ඉඩ ඇත.

 

 

ඉන්දීය ණය යෝජනා ක්‍රමය: 'බයිපාස්' න්‍යාය සහ නිලධාරීන්ගේ වගවීම

ඊයේ (05) සාක්ෂි විභාගයේදී, මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් මංජුල කුලතුංග හෙට්ටිආරච්චි ගේ සාක්ෂිය හරහා නඩුවේ තාක්ෂණික පැතිකඩ තවදුරටත් විවර විය.

 

විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ මතුවූ ප්‍රධාන කරුණක් නම්, 2022 වසරේ පැවති දැඩි මූල්‍ය අර්බුදය හමුවේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී පැවති 'කාල රාමුව පිළිබඳ පීඩනය' (Time Pressure) යි.

 

  • මුදල් ඉතිරි වීමේ අර්බුදය:

ඖෂධ සඳහා වෙන් කළ ඩොලර් මිලියන 115න් අගෝස්තු වන විට වැය වී තිබුණේ මිලියන 34ක් පමණි.

  • අවසාන නිවේදනය:

ඉතිරි මිලියන 81ක මුදල දෙසැම්බර් 31ට පෙර භාවිතා නොකළහොත්, එම මුදල් පුද්ගලික අංශයට ලබා දෙන බවට සම්බන්ධීකරණ කමිටුව විසින් ඖෂධ අනුකමිටුවට (Dr. Champika Wickramasinghe) දැඩිව අවවාද කර තිබුණි.

 

 

මෙම කරුණ විත්තියට ඉතා වැදගත් වේ. ඔවුන් උත්සාහ කරන්නේ, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ යම් දෝෂයක් සිදුවී නම්, එය හුදු වංචා සහගත චේතනාවකට වඩා, "නිශ්චිත කාලසීමාවක් තුළ මුදල් ප්‍රතිපාදන භාවිතා නොකළහොත් රටට අහිමි වේය" යන පීඩනය මත නිලධාරීන් විසින් ක්ෂණික තීරණ ගැනීමට යාමේ ප්‍රතිඵලයක් බව පෙන්වා දීමටයි. මෙමගින් දේශපාලන අධිකාරිය මත පටවා ඇති චෝදනාව ලිහිල් වන අතර රාජ්‍ය නිළධාරීන් හා යාන්ත්‍රණය තුළට එය ඇතුලත් කෙරේ.

 

 

නඩුව කඩිනම්ද? යුක්තිය කඩිනම්ද?

 

 Rhesus Rho D immunoglobulin ampoule

 

 

සිකුරාදා දිනවල මුස්ලිම් විත්තිකරුවන්ට ආගමික වතාවත් සඳහා අවස්ථාව ලබා දීම, කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සලකා අමතර විවේකයක් ලබා දීම වැනි මානුෂීය පියවරයන් අධිකරණය අනුගමනය කිරීම පැසසිය යුතුය. එහෙත්, අධිකරණ සංකීර්ණය වෙනස් කිරීම වැනි පරිපාලනමය තීරණයක් මගින් නඩුවේ ස්වාභාවික යුක්තියට (Natural Justice) බලපෑමක් එල්ල නොවීමට වගබලා ගැනීම අතිශය වැදගත්ය.

 

 

වෙබ් මාධ්‍ය සහ ජාතික පුවත්පත් යළි මෙම නඩුව කෙරෙහි අවධානය යොමු කරමින් සිටීම ධනාත්මක ප්‍රවණතාවකි. මන්දයත්, මෙය හුදෙක් එක් වංචා දූෂණ නඩුවක් ම නොව, රාජ්‍ය ණය කළමනාකරණය, නිලධාරීන්ගේ වගවීම සහ සැකකරුවන්ගේ නීතිමය අයිතිවාසිකම් පිළිබඳ කඩඉම් නඩුවක් (Landmark Case) වන බැවිනි.

 

ලබන 09 වැනිදා සිට "අට වැනි සැකකරු කෙහෙළියගේ නිල නිවසේ" සිට "ඉමියුනුබ්ලොබියුලින් නඩුව" අසන විට, එය ශ්‍රී ලංකාවේ නීති ඉතිහාසයේ තවත් අමතක නොවන පරිච්ඡේදයක් වනු ඇත.

 

සටහන: වැඩිදුර විභාගය විජේරාම මාවතේ නව අධිකරණ සංකීර්ණයේදී ලබන 09 වැනිදා සිදු කෙරේ.

 

 images 13

 

නඩු වාර්තාව

05/02/2026

 

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව විභාග කරන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ලබන 9 වැනිදා සිට කොළඹ 06 විජයරාම මාවතේ  අංක 21 දරන ස්ථානයේ ස්ථාපිත කිරීමට ගෙන ඇති තීරණය මගින් තමන්ට මෙන්ම සිය සේවාදායකයන්ටද දැඩි දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවන බැවින් එකී තීරණය සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස විත්තියේ නීතිඥවරුන් ඊයේ (05) එම විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියහ.

 

සියලුම අධිකරණ කොළඹ අළුත් කඩේ හා ඊට ආසන්නව පිහිටා තිබියදී එකී ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ එලෙස කොළඹ දුර බැහැර ප්‍රදේශයකට ගෙන යාමේ තීරණය ඉතාමත්ම අගතිදායී වන්නේ  යැයිද ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන යන මහත්වරුන් ඇතුළු විත්තියේ සියලු නීතිඥවරුන් ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්හ. අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ සිට විජේරාම ප්‍රදේශයට යාමට අවම වශයෙන් විනාඩි 45ක්වත් ගතවන බවත් පාසල් ආරම්භ කරන හා පාසල් ඇරෙන වෙලාවන්හි දී කොළඹ නගරයේ පවතින දැඩි මාර්ග තදබදය නිසා බොහෝවිට ඊට වැඩි කාලයක් එම අධිකරණය වෙත යාමට ගතවිය හැක්කේ ඇයිද විත්තියේ නීතිඥවරුන් විනිසුරු මඩුල්ලට වැඩිදුරටත් පෙන්වා දුන්හ.

 

එම නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ වීමට පෙර නීතිඥ මණ්ඩලය ඇමතූ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ලබන 9 වැනිදාා සිට තම අධිකරණය එම ස්ථානයේ ස්ථාපිත කර ඇති නව අධිකරණයට රැගෙන යාමට තීරණය කොට ඇති බව පෙන්වා දුන්නේය.

 

දිවා ආහාර විවේකය සඳහා නඩු කටයුත්ත තාවකාලිකව අත්හිට වූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් විනිසුරු නිල මැදිරියට ගොස් ඒ පිළිබඳව විනිසුරුවරුන් සමඟ සාකච්ඡා කොට තිබූ අතර වගකිවයුතු නිලධාරීන් සමග සාකච්ඡා කොට පස්වරුව වන විට අධිකරණ රෙජිස්ටර්වරිය මගින් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන බව විනිසුරු මඩුල්ල ඔවුනට දන්වා තිබිණි. එලෙස නව අධිකරණය ස්ථාපිත කර ඇත්තේ ද මෙම නඩුවේ 8 වන විත්තිකාර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා 2019 වසරේ සිට අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී භාවිත කළ නිල නිවසේ වන්නේ යැයි ද තතු දත් ආරංචි මාර්ග පවසයි.

 

එම නඩුව ඊයේ (05) සුපුරුදු පරිදි ආරම්භ කිරීමට විනාඩි කීපයකට පෙර භාෂණ පරිවර්තකයා විසින් ගොනුව රැගෙන විත්තිකරුවන් අසලට ගොස් ඔවුන්ගේ නම් අඬ ගැසීම සිදුකිරීමට උත්සාහ දැරූ අතර උසාවි කටයුතු භාර පොලිස් නිලධාරියාය විසින් එකී ක්‍රියාව වළක්වා අධිකරණ විනිශ්චය අසුන් අසලට ඔහු යොමු කිරීමට පියවර ගත්තේය.

 

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය;

මේ මොනවද කරන්නේ? මෙතන ඉඳලායි විත්තිකරුවන්ගේ නම් කතා කරන්නේ.

 

භාෂා පරිවර්තකයා ;

මම දන්නේ නෑ ඒ බව

 

දන්නේ නැතිනම් අපෙන් හරි අහන්න එපා යැයි ඔහුට අවවාද ස්වරූපයෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය පැවසුවාය.

 

පෙර දිනයේ දී සාක්ෂි ලබා දුන් මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් මංජුල කුලතුංග හෙට්ටිආරච්චි මහතා දිවුරුම් පිට සාක්‍ෂි ලබා දීම ආරම්භ කළේය.

 

අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

 

මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ. එවකට අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ සමයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාගෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අත්‍යවශ්‍ය ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා කාර්මික උපකරණ මිලදී ගැනීමට අදාල ව්‍යාපෘතිය පිළිබඳව විමසා ප්‍රකාශ සටහන් කළ බවත් එකී ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාල නිර්දේශ ලබා ගැනීමට අනුකමිටු තුනක් හා සම්බන්ධිකරන කමිටුවක් ස්ථාපිත කළ බවත් විත්තියේ නීතිඥවරයා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම සාක්ෂිකරු ප්‍රකාශ කළේය.

 

 එහිදී දස වන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ඇසූ හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් එවකට පැවති රජය බලධාරීන් මැති ඇමතිවරුන් මැදිහත් වී ආරම්භ කළ එකී නය යෝජනා ක්‍රමයට කැබිනට් අනුමැතිය ලබාගෙන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධ වී ඉදිරි කටයුතු සිදු කිරීම සම්බන්ධීකරණ කමිටුවක් හා අනුකමිටු තුනක් ආරම්භ කළ බව අධිකරණයට පැවසීය. මෙහෙයුම් මාර්ගෝපදේශ සංග්‍රහය සකස් කොට එකී මාර්ගෝපදේශ යටතේ ඉදිරි කටයුතු කළ බවත් 2022.03.21 වන දින ගිවිසුම් අත්සන් කොට සති දෙකක් තුළ බැංකු ඇතුළු අදාල ආයතන වෙත මාර්ගෝපදේශ සංග්‍රහය ලබා දුන් බවත් සාක්‍ෂිකරු පැවසීය.

 

එකී ගිවිසුම ක්‍රියාත්මක කොට මාස හතකට පසුව එවකට මුදල් අමාත්‍ය ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා විසින් එකී ණය යෝජනා ක්‍රමයේ ප්‍රගතිය දැක්වෙන අමාත්‍ය මණ්ඩල සටහන පැ(63) ඉදිරිපත් කළ බවත් විත්තියේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් පැවසූ විත්තිකරු එකී ගිවිසුම අනුව සියලු කටයුතු 2023.03.17 වැනිදා අවසන් කිරීමට නියමිතව තිබූ බවද පැවසීය.

 

ඖෂධ මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාවට වෙන්කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 115කට ආසන්න මුදලින් 2022.08.12 වන විට රාජ්‍ය ඖෂධ සංස්ථාව බැරකර සියලු කටයුතු අවසන් කර තිබුණේ  ඇමරිකානු ඩොලර් මිලියන 34 ක මුදලක් පමණක් බැවින් ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 81 කට අදාළ ආයතනය කටයුතු සියල්ල 2022.12.31 වන දිනට පෙර අවසන් කරන ලෙසට සිය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රියන්ත රත්නායක මහතා ඖෂධ අනු කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කළ වෛද්‍ය වික්‍රමසිංහ මහත්මිය වෙත දැඩි අවවාදාත්මකව දන්වා තිබූ බවත් එලෙස එකී කටයුතු සිදු නොවන්නේ නම් ඉතිරි මුදල පෞද්ගලික ඖෂධ ආනයනකරුවන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස එමගින් දන්වා තිබූ බවත් හෙතෙම විත්තියේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසීය. එලෙස දැඩි අවවාදාත්මකව ඖෂධ කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ වෛද්‍ය වික්‍රමසිංහ මහත්මිය දන්වා ඇත්තේ පෞද්ගලික අංශය වෙත වෙන්වෙන්කර තිබූ මුදලින් සියයට සියයක් එකී අදාළ කටයුත්ත සඳහා යොදවා තිබීම අනුව නොවන්නේ දැයි විත්තියේ නීතිඥවරයා නැගූ හරස් ප්‍රශ්නයට පිළිතුරු දුන් සාක්ෂිකරු ඒ බව පිළිගත්තේය.

 

සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ, නීතිඥ අමිත ආරියරත්න යන නීතිඥවරුන්ද එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදු කළ අතර පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය එම සාක්ෂිකරුගෙන් දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න ඇසීම සිදු කළාය. පැමිණිල්ලේ සාක්ෂිකරු ලෙස නම්කොට තිබූ වෛද්‍ය ආර්. එම්. පී.  රත්නායක මහතා ද සාක්ෂි ලබාදීම සඳහා  අධිකරණය හමුවේ පෙනී සිටි අතර අද (06) දින පැමිණිල්ල වෙනුවෙන්  සාක්‍ෂි ලබාදීම සඳහා පෙනී සිටින ලෙසට ඔහුට අධිකරණය අවවාද කළේය.

 

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ බවට චෝදනා එල්ල වී ඇති සීදුව අයිසොලෙස්  බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන් මහත්මිය, හිටපු ඝනකාධිකාරී නෙරාන් ධනංජය මහතා, තොග පාලක සුජිත් කුමාර මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මහතා, මුදියන්සේලාගේ ධර්මසිරි රත්න කුමාර හේරත් මහතා, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා (විදේශගත වී ඇත) සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂකවරයකු වන වෛද්‍ය අරඹයේ ගෙදර තුසිත සුදර්ශන මහතා සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර යන දොළොස් දෙනා එම කමිටුවේ විත්තිකරුවෝ වෙති.

 

වෛද්‍ය නිර්දේශ අනුව 8වන විත්තිකාර  කෙහෙළිය රඹුක්වැල්ල මහතාට දිවා ආහාර විවේකය සඳහා ලබාදෙන කාලයට අමතරව තවත් පැයක කාලයක් විවේක ගැනීමට අධිකරණය අවසර ලබා දී තිබීම නිසා ඔහුව පස්වරු 2.45ට පමණ අධිකරණ ශාලාවට රෝද පුටුවකින් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.

 

සටහන - අචලා

 

නවතම ලිපි