ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ කොන්දේසි සහ ප්‍රසම්පාදන කමිටු පත්කිරීමේ වගකීම කාගේද?
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ විශ්වාසය අභියෝගයට ලක් කළ "ප්‍රශ්නගත ඉමියුනොග්ලොබියුලින් එන්නත්"
වංචාව සම්බන්ධ නඩුව ඊයේ (30) යළිත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, මෙරට ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ බරපතල "හිඩැස්" සහ "වගකීම් පැවරීමේ" දේශපාලන ක්‍රීඩාව මනාව අනාවරණය විය.

අද දින නඩු විභාගයේ වඩාත්ම අවධානයට ලක්විය යුතු කරුණ වූයේ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දේශපාලන අධිකාරියට එල්ල වන චෝදනා පසෙකින් තිබියදී, රාජ්‍ය නිලධාරීන් සහ තාක්ෂණික කමිටු (TEC) මෙම වංචාවට වගකිව යුත්තේ කෙසේද යන්න පිළිබඳව විත්තිය විසින් මතු කළ තර්කයි.
"කාර්යාල කාර්ය සහායකයෝ නෙවෙයි, විශේෂඥයෝ දැම්මේ" - වගකීම කාගේද?
නඩුවේ 213 වන සාක්ෂිකරු වන, එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රසම්පාදන) ලෙස කටයුතු කළ නවවි මහතාගෙන්, 10 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන කළ හරස් ප්‍රශ්න විමසීම, පරිපාලන තන්ත්‍රයේ "හෙළුව" වසා ගැනීමට දරන උත්සාහය පෙන්වා දුන්නේය.
විත්තිය විසින් සාක්ෂිකරු දැඩිව ප්‍රශ්න කළේ ප්‍රසම්පාදන කමිටු පත්කිරීමේ වගකීම සම්බන්ධයෙනි:
විත්තියේ නීතිඥ:
"ඖෂධ පිළිබඳ දැනුමක් නැති කාර්ය සහායකයෙකුව ඔබ පත් කරන්නේ නෑ... පත් කරන අය ගැන ඔබ සොයා බලන්න ඕනනේ ඔවුන් එයට සුදුසුද කියලා."
සාක්ෂිකරු:
"ඔව්, ඒ වගකීම මට පැවරෙනවා... හැම කමිටුවකටම වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් පත් කර... වඩා සුදුස්සන් එකී කමිටුවලට පත් කරනවා."
දේශපාලන විග්‍රහය:
මෙතැනදී මතුවන බරපතලම ප්‍රශ්නය මෙයයි: සාක්ෂිකරු කියන පරිදි එන්නත් මිලදී ගැනීමට පත්කළ කමිටුවල සිටියේ "විශේෂඥ වෛද්‍යවරුන්" නම්, ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වීමට අනුමැතිය ලැබුණේ කෙසේද? එක්කෝ එම විශේෂඥයන් තම වගකීම පැහැර හැර ඇත, නැතහොත් "විශේෂඥයන්" ලෙස පත්කර ඇත්තේ දේශපාලන හිතවතුන්ය. මෙම සාක්ෂිය හරහා විත්තිය උත්සාහ කරන්නේ වගකීම හුදෙක් ඇමතිවරයා මත පමණක් නොව, එය අනුමත කළ නිලධාරි තන්ත්‍රය මතද පැටවීමටය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය: "ඉන්දියාවෙන් විතරයි ගන්න පුළුවන්"
නඩු විභාගයේදී හෙළි වූ තවත් තීරණාත්මක කරුණක් වන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය (Indian Credit Line) යටතේ පවතින දැඩි කොන්දේසියයි.
සාක්ෂිකරු:
"ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සිදු කළ ඖෂධ මිලදී ගැනීම්වලදී ඉන්දියාවෙන් පමණක් ඖෂධ මිලදී ගැනීම සිදුවී ඇති... අනුගත ක්‍රමය යටතේ එලෙස සිදුවිය යුතුයි."
විශ්ලේෂණය:
මෙය හුදෙක් මූල්‍ය වංචාවක් පමණක් නොව භූ-දේශපාලනික ගනුදෙනුවක් බවට පත් වන්නේ මෙම ස්ථානයේදීය. ඉන්දියාවෙන් පමණක් බෙහෙත් ගත යුතු බවට ඇති කොන්දේසිය තුළ, තරඟකාරී මිල ගණන් සහ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකාවට ඇති ඉඩකඩ සීමිත වූවාද? වංචනික සමාගම් මෙම "ඉන්දියානු ඒකාධිකාරිය" අවභාවිතා කළාද යන්න සොයා බැලිය යුතුය.

සාක්ෂි කන්දරාව සහ විත්තියේ අඳෝනාව
පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 343 ක් සහ ලේඛන 293 ක් වැනි දැවැන්ත සාක්ෂි ප්‍රමාණයක් සහිත මෙම නඩුවේදී, සාක්ෂි සටහන් ලබා දීමේ ප්‍රමාදය ගැන විත්තිය මැසිවිලි නැගීය. "අපිට සාක්ෂි සටහන් නැතුව සේවාදායකයන් එක්ක කතා කරන්න බෑ" යනුවෙන් විත්තිය කළ ප්‍රකාශය, මෙම නඩුව කොතරම් සංකීර්ණ සහ දීර්ඝ කාලීන එකක් වනු ඇත්ද යන්නට කදිම නිදසුනකි.
මානුෂීය මුහුණුවර
සිකුරාදා දිනය වූ බැවින් මුස්ලිම් ජාතික සාක්ෂිකරුට ආගමික වතාවත් සඳහා යාමට දහවල් 12.00 ට නඩුව අවසන් කිරීමත්, විත්තිකරුවන්ට විභාග සහ වෛද්‍ය සායන සඳහා සහභාගී වීමට අවසර ලබා දීමත් හරහා අධිකරණය නීතියේ දැඩි බව තුළම මානුෂීය ගුණාංග ආරක්ෂා කරන බව පෙනී ගියේය.
සමාජයට දෙන පණිවිඩය
අද දින නඩු විභාගය ජනතාවට දෙන පණිවිඩය පැහැදිලිය: මෙම "මහා ඖෂධ වංචාව" තනි පුද්ගලයෙකුගේ වැඩක් නොව, අමාත්‍යාංශ ලේකම්ගේ සිට තාක්ෂණික කමිටු සාමාජිකයා දක්වා දිවෙන, ඉන්දියානු ණය ආධාර දක්වා විහිදෙන සංකීර්ණ ජාලයක ප්‍රතිඵලයකි. නඩුව ඉදිරියට යත්ම, "වෛද්‍යවරුන්" සහ "විශේෂඥයන්" ලෙස පෙනී සිටි බොහෝ දෙනෙකුගේ වෙස් මුහුණු ගැලවීමට නියමිතය.

30/01/2026
නඩු වාර්තාව
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සපයා රජයට රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යාහහරණය කිරීම ඇතුළු චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය සතියකට දින හතරක් පවත්වන ලෙස විත්තියේ නීතිඥවරුන් පිරිසක් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියහ.
පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 343 දෙනෙකු හා පැමිණිල්ලේ ලේඛන 293 ක් නම් කර ඇති එම නඩුවේ එක් සැකකරුවෙකුගේ සාක්ෂිය හා හරස් ප්‍රශ්න ඇසීම දින ගණනාවක් එක දිගට පැවැත්වීම මගින් එක් විත්තිකරුවෙකුගේ නීතිඥවරයෙකු සාක්‍ෂි සටහන් ලේඛන විශාල ප්‍රමාණයක් අධ්‍යයන කිරීමට සිදුවන බවත් එකී අධික කාර්යභාරය නිසා අධිකරණයට විත්තියෙන් ලබාදිය හැකි සහාය ලබාදීමට නොහැකි වන බවත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ඇතුළු නීතිඥවරුන් විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේය.
නඩු විභාගයට අදාළ සාක්ෂි සටහන් පසුගිය 8වැනි දා සිට මේ දක්වා විත්තියට ලැබී නැතැයිද එහිදී අධිකරණයට පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ සාක්‍ෂි සිය සේවා දායකයන් සමග සාකච්ඡා කර විත්තිය වෙනුවෙන් කරුණු දැක්වීමට එකී සාක්ෂි සටහන් ලේඛන ලැබීමේ ප්‍රමාදය බලවත් ගැටලුවක් වී ඇති බවත් විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේය.
එකී සාක්ෂි ලේඛන ලබාදීම හැකි උපරිමයෙන් කඩිනම් කරන ලෙස තම විනිසුරු මඩුල්ල අධිකරණ බලධාරීන්ට නියෝග කොට ඇති බව විත්තියේ නීතිඥවරුන් දැක්වූ එම කරුණුවලට පිළිතුරු දෙමින් විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා පැවසීය.
දහවන විත්තිකරුගේ නීතිඥවරයා කළ ඉල්ලීම අනුව තම අධිකරණය හමුවට කැඳවා තිබු ප්‍රශ්නගත හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගත් ඖෂධ වලට අදාළ ගොනු අතරින් දසවන විත්තිකරු වෙනුවෙන් විත්තියේ සාක්‍ෂිලෙස ලකුණු කරනු ලැබූ ගොනු පහ පැමිණිල්ලේ 213 වන සාක්ෂිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රසම්පාදන) ලෙස කටයුතු කළ සාක්ෂිකරුගේ සාක්ෂිය අවසන් වන තුරු අධිකරණය භාරයේ රඳවා තබා ගන්නා ලෙස විනිසුරු මඩුල්ල අධිකරණ ලේඛකාධිකාරිවරියට නියෝග කළේය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් කැඳවනු ලැබූ සෙසු ගොනු යළි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට යළි භාර දීමට පියවර ගන්නා ලෙසටද ප්‍රියන්ත ලියනගේ විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළේය.
දෙවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා ;
ස්වාමීනී මගේ සේවා දායකයාට ලබන දෙවැනිදා (සඳුදා) විභාගයක පෙනී සිටීමට නියමිත බැවින් එදින පැය කීපයක් ප්‍රමාද වී අධිකරණයට පැමිණීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඔහු වෙනුවෙන් මා එදින අධිකරණය හමුවේ පෙනී සිටිනවා.
පළමු වන විත්තිකාර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වූ බවට චෝදනා එල්ල වී ඇති සීදුව අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බාණගල මහතා ;
ස්වාමීනී මගේ සේවා දායකයාටත් සෞඛ්‍ය වෛද්‍ය විද්‍යා ආයතනයේ පැවැත්වෙන වෛද්‍ය සායනයකට සහභාගීී වීමට සිදුවී තිබෙනවා. එම නිසා ඔහුටත් එදින පැය කීපයක් ප්‍රමාද වී අධිකරණයට පැමිණීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.
විත්තියේ නීතිඥවරුන් දෙදෙනා කළ එම ඉල්ලීම්වලට විනිසුරු මඩුල්ල අවසර ලබා දුන්නේය.
එහිදී පැමිණිල්ලේ 213 වන සාක්ෂිකරු ලෙස අධිකරණය හමුවේ පෙනී සිටි එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රසම්පාදන) ලෙස රාජකාරි කළ වර්තමාන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් යුනුස් ලෙබ්බේ මොහුම්මදු නවවි මහතා දස වන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා හරස් ප්‍රශ්න අසනු ලැබීය.
විත්තියේ නීතිඥවරයා ;
නවවි මහත්මයා හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ලබා ගැනීමට ලන්සු තැබූ ඖෂධ 66 අතරින් කොපමණ ප්‍රමාණයක් ඒ සමයේ ලබා ගැනීමට හැකිවුණාද ?
සාක්ෂිකරු ;
හතළිස් තුනක් පමණ මිලදී ගැනීමට ලන්සු කැඳවනු ලැබුවා. හරියටම මිලදී ගත් අයිටම් ප්‍රමාණය ගැන මට අවබෝධයක් නැහැ. ඒ පිළිබඳ වගකීම තියෙන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. එස්.පී.සී එක තමයි ඒ ගැන හරියටම දන්නේ. තාක්ෂණ කමිටු තීරණ දුන්නාට සෑම ටෙන්ඩර්කරුවෙකුටම ඖෂධ සපයන්න ලැබෙන්නේ නැහැ. සමහර ඒවා විවිධ හේතූන් මත අවලංගු වෙනවා.
විත්තියේ නීතිඥ ;
මේ ඖෂධ වර්ග 66ම සැපයීමට අවශ්‍ය තාක්ෂණික කමිටු පත් කළේ ඔබ ?
සාක්ෂිකරු ;
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් පරිදි ඔහු නිර්දේශ කළ අයගෙන් මා එම කමිටු පත් කළා.
විත්තියේ නීතිඥවරයා ;
කවුරු නිර්දේශ කලත් සෞඛ්‍ය අමාත්‍යාංශ හදිසි මාර්ගෝපදේශ අනුව හදිසි ප්‍රසම්පාදන කමිටුවලට සාමාජිකයන් පත්කළ යුත්තේ ඔබනේ. ඖෂධ පිළිබඳ දැනුමක් නැති කාර්ය සහායකයෙකුව ඔබ පත් කරන්නේ නෑ. පත්වීම කරනු ලබන නිලධාරියා ලෙස ඔබ පත් කරන්නාගේ සුදුසුකම පිළිබඳ සෑහීමට පත්වුණාට පසුවනේ එම පත්වීම් කරන්නේ. පත් කරන අය ගැන ඔබ සොයා බලන්න ඕනනේ ඔවුන් එයට සුදුසුද කියලා.
සාක්ෂිකරු ;
ඔව් ඒ වගකීම මට පැවරෙනවා.
විත්තියේ නීතිඥ ;
මේ සමහර කමිටුවලට ඖෂධ පිළිබඳ හොඳ දැනුමක් ඇති වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් පත්කර නෑ නේද? මම කියන්නේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඖෂධ 66ක් මිලදී ගන්න ඔබ පත්කළ කමිටු හයටම ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති විශේෂඥ වෛද්‍යවරුන් වැනි සුදුස්සන් පත් කළාද කියලයි.
සාක්ෂිකරු ;
හැම කමිටුවකටම වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් පත් කර පෙර කිව්වා වගේ අමාත්‍යාංශ ලේකම්වරයා නිර්දේශ කළ අයගෙන් වඩා සුදුස්සන් එකී කමිටුවලට පත් කරනවා.
10 වි 18 ලෙස විත්තිය සලකුණු කළ එකී හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඖෂධ මිලදී ගැනීම සඳහා ලන්සු කැඳවමින් පලකල පුවත්පත් දැන්වීම් මෙන්ම ඒ සඳහා වෙබ් අඩවි මඟින් පළකල ලන්සු ආරාධනා කැඳවීම් ද සාක්‍ෂිකරු මගින් 10 වි 24 ලෙසින් ලකුණු කිරීමට විත්තියේ නීතිඥවරයා පියවර ගත්තේය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සිදු කළ ඖෂධ මිලදී ගැනීම්වලදී ඉන්දියාවෙන් පමණක් ඖෂධ මිලදී ගැනීම සිදුවී ඇති බවත් අනුගත ක්‍රමය යටතේ එලෙස සිදුවිය යුතු බවත් සාක්ෂිකරු අධිකරණය හමුවේදී පැවසීය.
සිකුරාදා දිනයට නියමිත ආගමික කටයුතු සඳහා සහභාගී වීමට එම සාක්ෂිකරුට ඉඩකඩ සලසමින් නඩු විභාගය දහවල් 12.00ට අවසන් කිරීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය. වැඩිදුර සාක්ෂි විභාගය ලබන දෙවැනි දා පෙරවරු 10.00 දක්වා කල් තැබිණි.
සටහන - අචලා
සබැඳි ලිපි
https://www.slleader.lk/news/13462-2026-01-27-18-06-07
https://www.slleader.lk/news/13468-spc-3
https://www.slleader.lk/news/13471-2026-01-29-19-45-25

