SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 - ප්‍රශ්නගත එන්නත් නඩුවේ හෙළි නොවන අනෙක් පැත්ත -

 

නඩුවක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන තන්ත්‍රයේ "තෝරා බේරා දඬුවම් කිරීමේ"

(Selective Accountability) න්‍යාය පිළිබඳවද බරපතල ප්‍රශ්න මතු කරමින් සිටී. 2026 ජනවාරි 28 වැනිදා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පැමිණිල්ලේ 213 වන සාක්ෂිකරු වන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් (ප්‍රසම්පාදන) යුනූස් ලෙබ්බේ මොහොම්මදු  ලබාදුන් සාක්ෂිය සහ විත්තියේ නීතිඥවරුන් මතු කළ තර්ක හරහා මෙම නඩුවේ මෙතෙක් මාධ්‍යයට වසන් වී තිබූ පැතිකඩක් නිරාවරණය විය.

 

වසර 10ක් පුරා "සාමාන්‍යකරණය වූ" ප්‍රමිතිය බාල වීම්

පළමු විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර භාණගල ගේ හරස් ප්‍රශ්න හමුවේ සාක්ෂිකරු පිළිගත් කරුණු මගින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඳුරු යථාර්ථයක් හෙළි විය. වසර 10ක (2015-2024) සේවා කාලයක් සහිත අතිරේක ලේකම්වරයා පිළිගත් පරිදි:

 

  1. ඔහුගේ සේවා කාලය තුළ ඖෂධවල ප්‍රමිතිය බාල වීම් (Quality failures) හෝ රෝගී සංකූලතා වාර්තා වීම් "බොහෝ වාර ගණනක්" සිදුවී ඇත.
  1. එවැනි අවස්ථාවලදී සාමාන්‍ය ක්‍රමවේදය වී ඇත්තේ අමාත්‍යාංශ මට්ටමින් "අභ්‍යන්තර විමර්ශනයක්" (Internal Inquiry) සිදු කිරීම පමණි.
  1. වසර 10ක් පුරා මෙවැනි සිදුවීම් රැසක් සිදුවුවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත ගොස් කට උත්තර ලබා දීමට හෝ අධිකරණය හමුවේ සාක්ෂි දීමට ඔහුට සිදුවූ "පළමු සහ එකම" අවස්ථාව මෙයයි.

 

විශ්ලේෂණය:

මෙහිදී මතුවන බරපතලම ගැටලුව නම්, වසර 10ක් පුරා සිදුවූ "Quality Failures" හුදෙක් පරිපාලනමය දෝෂ ලෙස සලකා ගොඩින් බේරා ගත්තේද? එසේනම් මෙම විශේෂිත සිදුවීම පමණක් සාපරාධී වරදක් ලෙස (Criminal Liability) අධිකරණය හමුවට පැමිණෙන්නේ කෙසේද? මෙය නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වීමක්ද, නැතහොත් යම් පාර්ශ්වයන් ඉලක්ක කරගත් මෙහෙයුමක්ද යන්න විත්තියේ තර්කය වී තිබේ.

 

අතුරුදහන් වූ "අත්සන් දෙක" සහ HSEPC අභිරහස

දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ විසින් හදිසි ප්‍රසම්පාදන කමිටුව (HSEPC) සම්බන්ධයෙන් මතු කළ කරුණු නඩුවේ හැරවුම් ලක්ෂයක් විය හැකිය.

 

සාක්ෂිකරු තහවුරු කළ පරිදි:

  • සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුව (HSEPC) පත් කරනු ලබන්නේ මුදල් අමාත්‍යාංශය විසිනි (භාණ්ඩාගාර ලේකම්වරයාගේ අත්සනින්).
  • එම කමිටුවේ සාමාජිකයන් තිදෙනෙකි:
    1. සෞඛ්‍ය ලේකම්වරයා
    2. භාණ්ඩාගාර ලේකම්වරයාගේ නියෝජිතයා (Treasury Rep)
    3. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපතිවරයා
  • තීරණාත්මක සාධකය: යම් තීරණයක් ගැනීමේදී "මේ තිදෙනාම" ඊට එකඟ වී අත්සන් තැබීම අනිවාර්ය වේ. එක් අයෙකු හෝ අත්සන් නොකළහොත් තීරණයක් ගත නොහැක.

 

මෙහිදී නීතිඥවරයා විවෘත අධිකරණයේදී සාක්ෂිකරුගෙන් කළ විමසීම ඉතා ප්‍රබල දෘශ්‍යමය සාක්ෂියක් (Visual Evidence) සමාජය හමුවේ තබයි.

 

 

නීතිඥවරයා:

"ඔබතුමා බලන්න මේ උසාවියේ විත්ති කූඩුවේ ඒ අය (කමිටු සාමාජිකයන්) ඉන්නවද කියලා?"

සාක්ෂිකරු:

"හිටපු සෞඛ්‍ය ලේකම් ඉන්නවා. භාණ්ඩාගාර ලේකම්ගේ නියෝජිතයා - අතුල කුමාර මහත්තයා මෙතන නැහැ. SPC සභාපතිත් මෙතන නැහැ."

 

 

විශ්ලේෂණය:

එකම කැබිනට් පත්‍රිකාවක්, එකම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සහ "තිදෙනාම අත්සන් කළ යුතු" ලේඛනයක් මත පදනම් වූ ගනුදෙනුවකදී, වගකීම එක් නිලධාරියෙකුට (සෞඛ්‍ය ලේකම්) පමණක් සීමා වී, අනෙක් ප්‍රධාන පාර්ශ්ව දෙක (මුදල් අමාත්‍යාංශ නියෝජිතයා සහ SPC සභාපති) විත්ති කූඩුවෙන් අතුරුදහන් වූයේ කෙසේද? මෙය හුදෙක් අතපසු වීමක්ද? නැතහොත් භාණ්ඩාගාරය සහ SPC ආයතනය නීතියේ රැහැනින් රිංගා යැවීමට විමර්ශන අංශ කටයුතු කර තිබේද?

 

 

පැමිණිල්ලේ දෙබිඩි පිළිවෙත සහ කැබිනට් පත්‍රිකාව

නීතිපතිවරයා විසින්ම විත්තියට ලබා දුන් කැබිනට් පත්‍රිකාවක්, විත්තියේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීමට පැමිණිල්ල විරුද්ධ වීම ඊයේ (28) දිනයේ කැපී පෙනුණු තවත් සිදුවීමකි. කැබිනට් මණ්ඩලය විසින් සාමූහිකව අනුමත කළ තීරණයක් (Collective Responsibility) පෞද්ගලික වංචාවක් ලෙස අර්ථ දැක්වීමට පැමිණිල්ල දරන උත්සාහයට මෙම කැබිනට් පත්‍රිකාව බාධාවක් විය හැකි නිසා එය වැළැක්වීමට උත්සාහ කරන්නේද යන සැකය නීතිඥවරුන් විසින් මතු කරන ලදී.

 

 

යුක්තියද? බිල්ලට දීමක්ද?

 

28 වන දින නඩු විභාගයෙන් අනාවරණය වූ කරුණු අනුව පෙනී යන්නේ, මෙම වංචාව තනි පුද්ගලයෙකුගේ හෝ කුඩා කණ්ඩායමක ක්‍රියාවක් නොව, මුදල් අමාත්‍යාංශයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා විහිදුණු සංකීර්ණ ජාලයක ප්‍රතිඵලයක් බවයි.

 

නමුත් අධිකරණය හමුවේ සිටින්නේ එම ජාලයේ තෝරාගත් කොටසක් පමණක් නම්, සහ වසර 10ක් පුරා පැවති "වැරදි සාමාන්‍යකරණය වීම" හදිසියේම එක් සිදුවීමකට පමණක් ලඝු කරන්නේ නම්, එයින් පෙනී යන්නේ සැබෑ වරදකරුවන් සොයා යාමට වඩා "බිල්ලන් දඩයම් කිරීමේ" (Witch-hunt) ස්වභාවයක් ගෙන ඇති බව නොවේද?

 

විනිසුරු මඩුල්ල විසින් සාක්ෂිකරුගේ "සාමාන්‍ය දැනුම" පදනම් කරගත් පිළිතුරු විවේචනය කිරීම හරහා පෙනී යන්නේ, අධිකරණය මෙම පරස්පරතා පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවයි. ඉදිරි නඩු වාරවලදී "අතුරුදහන් වූ අත්සන්කරුවන්" පිළිබඳ අභිරහස විසඳා ගැනීම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ තීරණාත්මක සාධකය වනු ඇත.

 

 

(සටහන:

මෙම ලිපිය අධිකරණයේ විවෘතව වාර්තා වූ සාක්ෂි සහ හරස් ප්‍රශ්න විමසීම් පදනම් කරගත් විචාරාත්මක විශ්ලේෂණයක් මිස අධිකරණ තීන්දුවට හෝ ක්‍රියාවලියට අගතිගාමී බලපෑමක් සිදු කිරීමේ අරමුණින් සකස් කළ එකක් නොවේ.)

 

 

28/01/2026 නඩු වාර්තාව 

එවකට රටේ පැවති ඖෂධ හිඟයට පිළියමක් ලබාදීම සඳහා හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඖෂධ වර්ග 66ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට ලබාගැනීමට එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල  මහතා විසින් 2022.09.26 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව 2022.10.04 වැනිදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට තිබූ බවත් එය පැමිණිල්ලේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල (නීතිපතිවරයා) විරුද්ධ වනුයේ ඇයි දැයි විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා ඊයේ (28) කොළඹ ස්ථිර ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී ප්‍රශ්න කර සිටියේය.

 

(එකී ලේඛනය පැමිණිල්ල විසින්ම නඩුවට අදාළ ලේඛනයක් ලෙස විත්තියට ලබා දුන් ලේඛනයක් වන බවත් එසේ තිබියදීත් තමන්ට විත්තියේ සාක්ෂියක් ලෙස අධිකරණය හමුවේ ලකුණු කිරීමට ඉඩ නොදී සැඟවීමට පැමිණිල්ල උත්සහ දරනුයේ කුමන හේතුවක් නිසාදැයි එන්නත් නඩුවේ දෙවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස  කටයුතු කළ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි  අසේල සේරසිංහ මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේදී කියා සිටියේය. 

 

ප්‍රමිතියෙන් තොර එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් කෝටි 14කට අධික මුදලක් වංචා කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධි චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ඊයේ (28) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි.

 

පැමිණිල්ලේ 213 වන සාක්ෂිකරු ලෙස නම් කර තිබූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රසම්පාදන ලෙස එවකට කටයුතු කළ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වර්තමාන ලේකම් යුනූස් ලෙබ්බේ මොහොම්මදු නමමි මහතා හතරවන දිනටත් පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස ඊයේ (28) අධිකරණය හමුවේ පෙනී සිටියේය.

 

දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා එම සාක්ෂිකරුගෙන්, හරස් ප්‍රශ්න අසමින් සිටියදී නඩු විභාගයට අදාළව පැමිණිල්ල විසින්ම විත්තියට ලබාදෙන ලද ප්‍රශ්නගත ඖෂධ ප්‍රසම්පාදනයට අදාළ කැබිනට් පත්‍රිකාව සාක්ෂිකරුට ඉදිරිපත් කොට එය හඳුනාගත හැක්කේදැයි විමසා සිටියේය. එම ලේඛන අදාළ ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාවක් බව සාක්ෂිකරු පැවසීය.

 

එම අවස්ථාවේදී නැගී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය සාක්‍ෂිකරු මගින් එය විත්තිය වෙනුවෙන් ලකුණු කිරීමට විත්තිය දරණ උත්සාහය පිළිබඳව පැමිණිල්ලේ විරුද්ධත්වය දැක්වූවාය. එම ලේඛනය ලකුණු කිරීමට විත්තියට අවශ්‍ය නම් කළ යුත්තේ මෙකී සාක්‍ෂිකරු මගින් නොව නිසි සාක්ෂිකරුවකු මගින් බව පෙන්වා දෙමින් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය  දැක්වූ විරෝධය පිළිගත් විනිසුරු මඩුල්ල විත්තිය ඉල්ලූ අවසරය ලබාදීම ප්‍රතික්ෂේප කළේය.

 

එම කැබිනට් පත්‍රිකාව මෙම නඩුවේ අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට හදිසි ප්‍රසම්පාදන කටයුතු සඳහා අනුමැතිය ලබාගත් කැබිනට් සන්දේශය වන බැවින් එය විත්තියේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වය නොදක්වන බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතාද විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේය. එම නඩුවේ තුන්වන විත්තිකාරිය වන වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්තිනී සොලමන් මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා එම සාක්ෂිකරුගෙන් දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න අසමින් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වන යමෙකුට එම්.බී.බී.එස්. මූලික වෛද්‍ය උපාධිය ලබාගෙන වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමට සුදුසුකම් ලැබීමට කොපමණ කාලයක් ගතවන්නේද ? අනතුරුව විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සුදුසුකම් ලැබීමට කොතරම් කාලයක් ගතවන්නේ දැයි සාක්ෂිකරුගෙන් විමසා සිටියේය. වෛද්‍ය උපාධිය සමත්වීමට වසර පහක පමණ කාලයක් ගතවන බවත්   විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සුදුසුකම් ලබා ගැනීමට වසර දහයක පමණ කාලයක් ගතවන බවත් විත්තියේ නීතිඥවරයා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පැවසීය.

 

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ;

තමුන් ඒ බව හරියටම දන්නේ කොහොමද? තමුන් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ ඔක්කොම දේවල් හරියටම දන්නවා වගේනේ?

 

සාක්ෂිකරු ;

සමාවෙන්න ස්වාමීනී, මගේ සාමාන්‍ය දැනුම අනුවයි එහෙම කීවේ.

 

විත්තියේ නීතිඥ ඉසුරු ජයවර්ධන ;

එවැනි විශේෂඥ දැනුමක් ඖෂධවේදීන්ට නෑ කියලා මම කිව්වොත් ඔබ පිළිගන්නවාද ?

 

සාක්ෂිකරු ;

එහෙමයි ස්වාමීනී.

 

නම වන විත්තිකාර පෙර කී ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් ඇතුළු ඖෂධ මිලදී ගැනීම සිදුකළ හදිසි ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් රුවිහාර  ජයතිලක මහතා ද එම සාක්ෂිකරුගෙන් දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න අසනු ලැබීය. ( එම විත්තිකරු විදේශගතවී සිටීම නිසා ඔහු නොමැතිව අපරාධ නඩු විභාග සංග්‍රහයේ 241 වගන්තිය යටතේ නඩු විභාගය පැවැත්වේ. එම නඩුවේ දස වන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් වෛද්‍ය සමන් කුසුම්සිරි රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා එම සාක්ෂිකරු ලබා ඇති අධ්‍යාපනික සුදුසුකම්, ඔහු දැරූ තනතුරු, ඔහු වෙත පැවරී තිබූ කාර්යභාරය මෙන්ම විත්තිකාර සමන් රත්නායක මහතා එම සාක්ෂිකරු සමග රාජකාරි කළ කාලවකවානුව ඇතුළු කරුණු රැසක් ලේඛන ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

 

විත්තියේ නීතිඥවරයා නැගූ ප්‍රශ්නවලට එම සාක්ෂිකරු පිළිතුරු ලබාදුන් ආකාරය නිරීක්ෂණය කළ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ඉංග්‍රීසි භාෂාවෙන් සාක්ෂිකරු අමතමින් තම අධිකරණය යම් සාක්ෂිකරුවකුගෙන් ක්ෂණික පිළිතුරු අපේක්ෂා නොකරන බව අසනු ලබන ප්‍රශ්නවලට හොඳින් සවන් දී හොඳින් හිතා බලා පිළිතුරු ලබාදෙන ලෙසට අවවාද කළේය. තම අධිකරණය සාක්ෂිකරු පිළිතුරු ලබාදෙන ආකාරය නිරීක්ෂණය කළ ඔහු සම්බන්ධයෙන් යම් අහිතකර සටහනක් තැබුවහොත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ඔහුගේ ඉදිරි අනාගතයට එතරම් සුබවාදී නොවන බැවින් තම අධිකරණය එවැනි අවවාද කරන්නේ යයිද සභාපති විනිසුරුවරයා එකී අවවාදය කරමින් සාක්ෂිකරුට පෙන්වා දුන්නේය.

 

විත්තියේ වැඩිදුර හරස් ප්‍රශ්න ඇසීම (29) දිනට කල්තැබීම නිසා එම සාක්ෂිකරු පස්වන දිනටත්  29 වන දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

 

සටහන - අචලා

නවතම ලිපි