"මම අවුරුදු ගණනාවක් විදේශගතවෙලා ඉන්න කොට විටින් විට ලංකාවට ආවා. මට එහිදී මගේ රට ගැන, මගේ ජනතාව ගැන ඇති වුණේ විශාල කණගාටුවක්, වේදනාවක්.
මගේ රටේ මිනිසුන්ගේ කඩා වැටුණු ජීවිත දිහා දකින කොට තමයි මට ඒ වේදනාව දැනුණෙ. මේ රට මෙපමණ කල් මේ දේශපාලුවන්ට කාබාසිනියා කරන්න ඉඩදීලා රටේ ජනතාව බලන් හිටියෙ ඇයි කියල මට මා තුළම කම්පනයක් ඇති කළා. නමුත් මෙවර මම දැනට සතියකට පමණ පෙර ලංකාවට ආ විට මගේ හදවතට දැනුණේ පුදුම සුවයක්. තව සති කිහිපයකින් මේ රට නිදහස් රටක් වෙන්න යන බව, නව මාවතකට පිවිසෙන්න යන බව, දැනුන නිසා තමයි මට ඒ සතුට, සුවය දැනුණෙ.
මම අහල තියෙන කියමනක් තියෙනවා, කිසියම් තත්වයක් නරක තත්වයකට හැරෙනකොට එම නරක තත්වය උපරිමයටම, විනාශයේ මුවවිටටම ළඟාවෙනව කියලා. අන්න එතනින් තමයි ඒක වෙනස් කිරීමේ හැරවුම් ලක්ෂය පටන් ගන්නෙ කියලා. මම හිතන්නේ අපේ රටේ අපි දැන් සමාජයක් විදියට ඉන්නෙ එවැනි තැනක. අපිට රටක් විදියට මීට වඩා වැටෙන්න තැනක් නැහැ. ගිලෙන්න අන්ධකාරයක් නැහැ. ලෝකයා ඉදිරියේ මීට වඩා අවමානයක් අසරණ බවක් ලබන්න දෙයක් නැහැ. පසුගිය දශක හතරක වගේ කාලය දෙස බලන විට මගේ හිතට එන්නේ අහිමි වීම, විනාශය, කඩාවැටීම මිනිස්කම නැතිව යාම, සූරාකෑම, ලේ හැලීම් වැනි දේවල්.
අපේ රටේ අවුරුදු 30ක යුද්ධයක් දක්වා මේ රට අරගෙන යන්න කළු ජූලිය නිර්මාණය කරපු පාලකයො තමයි ඊට පෙරමුණ ගත්තේ. එදා එ.ජා.ප. ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් තමයි අපේ රටේ වත්මන් ජනාධිපති. යාපනයෙ පුස්තකාලය ගිනි තැබීමට වගකිව යුතු එක් පුද්ගලයෙකු වන්නේද ඔහුයි. 1988 - 1989 කාලයේ අපේ රටේ තරුණ ජීවිත දස දහස් ගණනක් අපිට අහිමි කළා. උතුරෙත් දකුණෙත් ලක්ෂ ගණනක තරුණ ජීවිත මේ පාලකයො රටට අහිමි කළා. යුද්ධයෙන් නැතිවුණේ දේපොළ හා ජීවිත පමණක් නොවෙයි. අපේ රටේ මිනිසුන්ගේ හෘදය සාක්ෂියත් නැතිව ගියා. ජාතින් අතර සහෝදරත්වය මනුෂ්‍යත්වය අපිට අහිමි කළා. කීපවතාවක් මේ රටේ ම්ලේච්ඡ පාලකයො තම දුෂ්ට අරමුණු වෙනුවෙන් ජාතිවාදය අවුස්සලා මිනිස් ජීවිත විනාශ කරල තිබෙනවද? අවසානයේ රට නිල වශයෙන්ම බංකොලොත්භාවයට පත්කළා.
සියල්ල විකුණාගෙන කන රටක් අපිට මේ පාලකයො උරුම කළා. මගේ ජීවිත කාලයට සමානව මේව තමයි අපි අත්දැකලා තිබෙන්නෙ. එක රටකට, එක මනුෂ්‍ය සමාජයකට දිගින් දිගටම මේ තරම් විනාශයන් සිදුවෙන එක ගැන ඔබට පුදුම හිතෙන්නෙ නැද්ද? මගේ මුළු ජීවිත කාලය පුරාම මේ රට පාලනය කරල තිබෙන්නෙ මේ රට විනාශ කළ පාලකයො. මෙතරම් විනාශයක් කළ මේ පාලකයො නැවත නැවතත් ඔබලාගේ ඡන්දය ඉල්ලන්න එනකොට, මට හිතෙනව මනුෂ්‍ය සමාජයක් විධියට අපේ සමාජය පරිණාමය වෙලා නැද්ද කියල. ඇයි මේ තරම්ම අපේ රටේ මිනිස්සු ඔවුන්ට ඉඩදීලා මෙච්චර කල් බලන් හිටියේ? දැන් මට හිතෙනවා, ළඟදීම අපිට ඒකට උත්තරයක් ලැබෙන්න යනව කියලා; දැන් අපේ රටේ මිනිස්සු මනුෂ්‍යත්වයෙන් පිරි සමාජයක් නිර්මාණය කරගන්න පුල පුලා බලා ඉන්නවා කියලා. ඒ නිසා තමයි ජාතික ජන බලවේගය වටා මෙතරම්ම ජනතාව රොද බැඳගන්නෙ".