SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගියදා හදිසියේ අප අතරින් වෙන්වූ හරිත් ගුණවර්ධන මහතාගේ අවමංගල උත්සවයේදී ඔහුගේ විශ්වවිද්‍යාල මිතුරන් වෙනුවෙන් කතාවක් කරන්නට සිදුවුනේ මා හටය.

මා කළ එම කතාවේ පොදු වැදගත් කමක් ඇතැයි සළකමින් එහි සාරාශයක් මෙසේ පළකරමි.

 

අද අවසන් ගමන් යන අපගේ මිත්‍ර හරිත් ගුණවර්ධන මහතාගේ අභාවය පිළිබද ඔහුගේ බිරිද අපගේ මිතුරිය නිෂානි ඇතුලු පවුලේ සියලු දෙනාවෙත අපගේ බලවත් සංවේගය ප්‍රකාශ කරනවා.

 

|අභාවප්‍රාප්ත අපගේ මිත්‍ර හරිත් ගුණවර්ධන අපට මුණ ගැසුනේ 1990 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලයේදීයි. එම වසරේ සිට 1994 දක්වා පුරා අවුරුදු හතරක් අපි එකම අධ්‍යයන කණ්ඩායමක ඉගෙන ගත්තා. හත්සියයක් පමණ සිසු සිසුවියන් හිටපු අපේ කණ්ඩායමෙි හිටපු විද්‍යාර්ථීන් අතරින් හරිත් විශේෂයි. ඔහු අන් අයට වඩා වෙනස් විශේ හැකියාවන් තිබූ, ඒ වගේමවෙනස් ගතිගුණ තිබූ පුද්ගලයෙක්.

 

ඔහුගේ විශේෂ කුසලාතාව තිබුනේ ලේඛනය පැත්තෙනුයි. එම කුසලතාව ජන සන්නිවේදනය පැත්තට හරවාගෙන ඔහු ශිෂ්‍යකාලයේදීම ජනමාධ්‍යයට සම්බන්ධ වුනා. එම නිසා අද තරම් ජනමාධ්‍ය පළල්ව නොතිබූ ඒ කාලයේ විශ්ව විද්‍යාලයේ කෙරුණ හැම සමාජ දේශපාලන සංස්කෘතික ක්‍රියාකාරකමකදීම හරිත්ගේ නිරමාණාත්මක දායකත්වය වගේම මාධ්‍ය කරුවකු ලෙස සන්නිවේදන දායකකත්වයත් කවුරුත් බලාපොරොත්තු වුනා. හරිත් නොමසුරුව ඒ හැම අවස්ථාවකදීම එම සේවය සරසවි ප්‍රජාවට ලබා දුන්නා.

හරිත් හැමදාම සිනා මුසු මුහුණින් හිටපු කෙනෙක්. හැම වෙලාවකදීම මුන ගැසෙන කාට හෝ කුමක් හෝ පවසන්නට දෙයක් ඔහුට තිබුනා. අපි සාමාන්‍යයෙන් කෙනෙක් මුන ගැසුනාම අසන්නේ 'කොහොමද මොනවද තොරතුරු?' කියලයි. නමුත් හරිත් ඇසුවේ ' කොහොමද දන්නවද වැඩක් දන්නවද තොරතුරු ? කියලයි. එහෙම අහලා ඔහුට කියන්නට කතාවක්,ප්‍රවෘත්ති යක් යාන් හෑල්ලක්, විහිලුවක් හැම වෙලාවෙම තිබුනා..

 

විශ්වවිද්‍යාලයෙන් පසුව හරිත් ජනමාධ්‍ය ක්ෂෙත්‍රයේත්, දැන්වීම් හා ප්‍රචාරණ ක්ෂේත්‍රයේත් දැවැන්ත චරිතයක් වුනා.

හරිත්ට පුද්ගලයන්, සිද්ධි , මතවාද සම්බන්ධයෙන් තමන්ගේම වූ මතයක් තිබුනා. ඒවා දැඩි මත. අනම්‍ය මත. ඒවායේ ඔහු දැඩිව පිහිටා සිටියා.

හරිත්ගේ උපහාසාත්මක රචනා කියවන බහුතර පාඨක පිරිසක් හිටියා. හරිත්ගේ ශෛලියට, භාෂාවිලාසයට, සහ ඇතැම් මත වලට එකඟ නැති සුළුතර පිරිසකුත් හිටියා. මේ කතා කරන මම අයත් වන්නේත් එම සුලුතර පිරිසටයි. ඒත් අපගේ මිත්‍රත්වයට එය කවදාවත් බාධාවක් වුනේ නෑ. අප අතර තිබු නොඑකඟතා නිසාම අපට මුන ගැසුනාම කතා කරන්න ගොඩක් දේ තිබුනා ඒ නිසාම අපගේ මිත්‍රත්වය තවත් වැඩි වුනා.

ඔහු හදිසියේ මිය යන්නට සති තුනකට පෙරදිත් මාත් මගේ මිත්‍ර බන්දුල චන්ද්‍රාසේකරත් සමග හැන්දවරුවක්ම ආගිය තොරතුරු කතා කරමින් ගත කළා.

|පසුගිය කාලයේ මම හරිත්ව තේරුම් ගන්නට උත්සාහ ගත්තා. ඒ මෙහෙමයි. බොහෝ වෙලාවට කෙනෙක් කැමතියි තව කෙනෙකුට හිනාවෙන්න. ආදරයට, උපහාසයට, අපහාසයට. ඒවගේම තමයි හිනාවට ලක්වන දේවල් හැම දෙනාම ළඟමත් අඩු වැඩි වශයෙන් තිබෙනවා. තවත් ගැඹුරින් බැලුවොත් අපේ ජීවිත ඇතුලේ අප අපටම හිනාවිය යුතු ලක්ෂන අපේ ජීවිත වල තිබෙනවා. මේක මනුෂ්‍ය ජීවිතය පිළිබඳ උත්ප්‍රාසයක්. අපි හැම දෙනාගෙම ජීවිත වල එක්තරා ප්‍රහසනයක් අඩංගුයි. මහා නාටකීය අඩංගුවක් තිබෙනවා. හරිත් උත්සාහ කළේ ප්‍රහසනාත්මක මානයකින් පුද්ගල ජීවිතය සහ සමාජයේ අභ්‍යන්තරයේ තිාබන මේ නාටකීය බව අල්ලා ගැනීමටයි. ඇතැම් විට සීමා ඉක්මවා ගියත් ඔහුගේ නිර්මාණවල තිබූ උපහාසාත්මක, උත්ප්‍රාසාත්මක ලක්ෂණ මේ ප්‍රහසන මානයකින් ලෝකය දකින්නට යෑම නිසා ඇති වූ තත්ත්වයක්.

.

මේ සියල්ල මැද ඔහු අප කොයිකාටත් හොඳ මිතුරකු වුනා. ඔහුගේ සරසවි මිතුරු මිතුරියන් වැඩි දෙනෙක් ඔහුට අවසන් ගෞරව දක්වන්න මෙතනට පැමිණ තිබෙනවා. පැමිණීමට නොහැකි අය ශෝක පණිවඩ පළ කර තිබෙනවා.

අභාවප්‍රාප්ත අපගේ මිත්‍ර හරිත් ගුණවර්ධනට නිවන් සුව පතමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි !

 

@Karu Paranavithana

නවතම ලිපි