SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නව වසරට අප බොහෝ දෙනා මුහුණ දෙන්නේ බලාපොරොත්තු, සිතුම් පැතුම්, ප්‍රාර්ථනා, ඉලක්ක ගොන්නක්

රොද බැඳ ගෙනය. එම ප්‍රාර්ථනා ඉටුකර ගැනීමට තවත් පිරිසක් පන්සල්, පල්ලි, කෝවිල් ආදියට ගොස් දෙවියන්ගෙන් පවා ආශිර්වාද පතති. තවත් පිරිසක් කිරියෙන් පැනියෙන් ඉතිරෙන නව වසරක් වෙනුවෙන් කිරි උතුරවති.


නමුත් වසර අවසානයේ එම ප්‍රාර්ථනාවලින් කිසිවක් ඉටු නොවූව ද, එළඹෙන නව වසරට අප එලෙසින් නැවුම් පැතුම් ගොන්නක් සමගින් නැවතත් මුහුණ දෙන්නෙමු. තවත් පිරිසක් නව වසරත් තවත් සාමාන්‍ය දිනයක් ලෙසට සලකා කිසිවක් නොකර සිටිති. මෙය අපගේ ජීවන චක්‍රයයි.


මිනිසා යනු උපතින්ම දේශපාලනික සත්වයෙකි. කවුරුන් කෙසේ කීවත් දේශපාලනයෙන් තොර වූ හෝ දේශපාලනික බලයට නතු නොවූ මනුෂ්‍යයකු ශිෂ්ටාචාරගත රාජ්‍යයක් තුළ සිටිය නොහැකි ය. ඒ අනුව මෙම ජීවන චක්‍රයේ අපේ සිතුම් පැතුම් ඉටු වීමේ දී අපගේ දෛවය මෙන්ම දේශපාලනයද එයට බලපෑමක් කරන බව අවිවාදාත්මකව පිළිගැනීමට සිදු වේ.

 

පාර්ලිමේන්තුවේ 225 දෙනාම දූෂිතයන්

 

|වර්තමාන සමාජය ක්‍රම ක්‍රමයෙන් දේශපාලනයෙන් දේශපාලනික චින්තනයෙන් ඉවත් වෙමින් සිටිති. ඔප්පුකල නොහැකි චෝදනා සහ එකිනෙකාට පටු දේශපාලන වාසි තකා සිදු කරනු ලබන මඩ ගසා ගැනිම් නිසා ජනතාව සිතන්නේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම දූෂිතයන් ලෙසටය. මෙම මතය ජනතාවගේ මනසට ඇතුලත් කරන ලද්දේ එම දේශපාලකයින් විසින්ම වීම දෙෙවයේ සරදමකි.

 

2015 ජනාධිපතිවරණය වනතෙක් ශ්‍රී ලංකා දේශපාලනයේ ඡන්දය සලකුණු කිරීමේ දි එම දේශපාලන තීන්දුව ගනු ලැබුවේ පවුල් සංස්ථාව විසිනි. පවුලේ සියඵම සාමාජිකයින් එක්ව එක් පක්ෂයකට, තෝරාගත් අපේක්ෂකයාට මනාපය ලබාදීම ලංකා දේශපාලනයේ සිරිතක්ව පැවතිණි. ජනාධිපතිවරණයේදි සහ පාර්ලිමේන්තු මැතිවරණයේදි මෙය කදිමට ප්‍රදර්ශනය විය. බොහෝ අවස්ථාවල ගෘහ මූලිකයාගේ හෝ පවුලේ බලවතාගේ හෝ පවුල නඩත්තු කිරීමට විදේශයක සිට මුදල් එවන්නාගේ හෝ තීරණය අවසන් තීරණය විය.

 

සම්ප්‍රධායික පවුල් තීරණයෙන් පිට පාවෙන-තරුණ-ඡන්ද..


නමුත් 2019 ජනාධිපතිවරණයේදි මෙම සිරිත වෙනස් විය. නව ලියා පදිංචි සහ තරුණ ඡන්ද තම අභිමතය පරිදි භාවිත කිරීමට ඔවුන් පෙළඹවීමට තරම් සමාජ මාධ්‍ය ප්‍රබල විය. එය පාරම්පරික ඡන්දවලට යම්කිසි බලපෑමක් එල්ල කිරීමට තරම් ප්‍රබල වූ අතරම  ශ්‍රී ලාංකීය දේශපාලනයේ  ප්‍රබල සංස්කෘතික වෙනසක් ඇති කිරිමේ මූලාරම්භයක් ද විය. පවුල් සංස්ථාව තුල තිබූ දේශපාලන එකමුතුවද, කැපුවත් කොල, කැපුවත් නිල්, කැපුවත් රතු යන දේශපාලන පාඨ වලටද මෙය මරු පහරක් විය.


කරුණු කෙසේ වූවද, වර්තමාන ජන සමාජයේ සියළුම කරුණු කාරණා දේශපාලනය සහ බද්දව  පවති. ප්‍රජාතන්ත්‍රවාදයේ ජනතාවගේ මූලික අයිතිය තම ඡන්ද බලයයි. එනිසා අප කිසි ලෙසකින්වත් අපගේ අයිතීන් අත් හැරිය යුතු නැත.

 

පිල් මාරුව හා ඡන්ද කරණම්..



|ශ්‍රී ලංකා දේශපානය දෙස බැලීමේදි, වසර ආරම්භයේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපතිවරෙයක් වූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගයේ සාමාජිකත්වය සහ අම්බලන්ගොඩ ආසන සංවිධායකකම සමගින් නව වසරේ පළමු දේශපාලන කරණම නැතහොත් පිල් මාරුව ආරම්භ කලේය.

 

2024 වර්ෂය ලංකා දේශපාලනයේ වැඩිම පිරිසක් දේශපාලන කරණම් ගසන වර්ෂයක් වනවාට කිසිදු සැකයක් නැත. පොහොට්ටුවේ බොහෝ පිරිසක් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී නිමල් ලංසා විසින් නිර්මාණය කරන ලද නව සන්ධානය, එහි නායක හිටපු අමාත්‍යවරයෙකු වන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතාගේ නායකත්වයෙන් පිහිටුවීම සහ එහි නව මෙහෙයුම් කාර්යාලය රාජගිරියේදි විවෘත කිරිමත්, නව වසර උදාවත් සමගම ආරම්භ විය. 

 

මන්ත්‍රීවරුන් 80කට ආසන්න ප්‍රමාණයක් පොහොට්ටුවෙන් ඉවත්වීමට බලා සිටින අතර එයින් වැඩි පිරිසක් මෙම සන්ධානයට එකතුවනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

 

පොහොට්ටුවට ඇති ජනතා විරෝධය...

 

|පොහොට්ටුවේ තවත් පිරිසක් පොහොට්ටුව ආරක්ෂා කර ගනිමින් ජනාධිපතිවරණයේදි ප්‍රබල අපේක්ෂකුට තම සහයෝගය ලබා දී පාර්ලිමේන්තු මැතිවරණයක දි වෙන්ව තරගකොට, විපක්ෂයේ කාර්යභාරය අතට ගෙන විපක්ෂනායක ධූරය සදහා සුදානම් වනු ඇත.

 

අනුරාධපුරයේ පොහොට්ටුවේ බලකනු වශයෙන් සැලකෙන එස්. චන්ද්‍රසේන සහ එස්. රංජිත්ට කැකිරාව තම මැතිවරණ කොට්ඨාශ තුලදීම, ජනතා විරෝධයකට මුහුණ දීමට සිදු වූ සිද්ධිය, ජනතා විරෝධය පොහොට්ටුවට එරෙහිව තවමත් පහව ගොස් නොමැති බව පෙන්වීමට කදිම උදාහරණයකි.

තත්වය එසේ වූවද, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් විශාල පිරිසක් සිටින බවද, අවධාරණය කල යුතු සාධකයකි.

 

 

පිල් මාරුවෙන් වැඩි තුවාලය සජිත්ට...

 

|ඉදිරියේදි මැතිවරණ උණුසුම වැඩි වෙත්ම, පිල් මාරුවේ වැඩිම හානිය සිදුවීමට නියමිතව ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරණ සමගි ජන බලවේගයට බව දැනටමත් සිදුවෙමින් පවතින රහස් සාකච්ඡා, හමුවීම් සහ කුමන්ත්‍රණවලින් පෙනී යයි. දැනටමත් චම්පික රණවක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ රාජිත සේනාරත්න නිල නොවන ලෙසට පක්ෂයේ කටයුතුවලින් ඉවත් ව ඇත.


අවස්ථාවක් ලදහොත් ජනාධිපති තරගයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුව සිටින මෙම තිදෙනාට යම්කිසි බලෙව්ගයක් සමග මන්ත්‍රීවරුන් පිරිසක් සමගි ජන බලවේගයෙන් ඉවත් කිරිමට ඇති හැකියාව අවතක්සේරු නොකල යුතුය. ඔවුන් ජාතික දේශපාලනයේ විපක්ෂනායකවරයාට වඩා වැදගත් කාර්යභාරයක් ඉටු කරණු ලබන බව දැකගත හැකිය. ආසන්න වශයෙන් මංත්‍රිවරුන් 30කට අධික පිරිසක් එසේ සමගි ජන බලවේගය අතහැර යනු ඇත.

 

සජබය විනාස කිරීමේ රනිල්ගේ උප්පරවැට්ටි...

 

සමගි ජන බලවේගය තුල තිබෙන අභ්‍යන්තර මත ගැටුම්, කලකිරීම් සහ නායකත්වයේ දුර්වලතා නිසා පක්ෂය හැර යාමට පිඹුරුපත් සකස් කරමින් සිටින පිරිස අති විශාලය. ජලනි ප්‍රේමදාස සහ ලක්ෂමන් ෆොන්සේකා විසින් නිල නොවන ලෙසට පක්ෂයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම සහ ඒ සම්බන්ධව නායකත්වය දැනුවත් කලද, ඒ සම්බන්ධව කිසිදු ක්‍රියා මාර්ගයක් ගත නොහැකිව සජිත් ප්‍රේමදාස මහතා අසරණව සිටින ආකාරයක්ද දැකගත හැකිය.

පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සෘජුවම සම්බන්ධකම් පවත්වති. තවත් පිරිසක් තම හිතවතුන් මාර්ගයෙන් මෙම සම්බන්ධකම් ගොඩනගා ගෙන අවස්ථාව එළෙඹෙන තුරු බලා සිටින ආකාරයක් දැකගත හැකිය.



|කෙසේ වෙතත් පිල්මාරුවේ මරු පහර වදින්නේ සජිත් ප්‍රේමදාස මහතාට බව නම් ඉතාමත්ම පැහැදිලිය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාසව දේශපාලනමය වශයෙන් විනාශකර දැමීම හෝ තමා දෙපාමුල දනගැස්වීම අනිවාර්යෙන්ම සිදු කිරීමට සියළු යටි කුමන්ත්‍රණ සිදු කරනු ඇත. 

 

 

රනිල්, ජේ ආර්ට වඩා කපටියෙක්...

 

රනිල් වික්‍රමසිංහ යනු නයෙක් බව හිටපු ඇමතිවරයෙක් පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර තිබිණි. නයෙක් නම් දෂ්ඨ කිරීමට පෙර පෙනය පුප්පා සූදානම්වන විට ආරක්ෂාවීමට ක්‍රියා මාර්ග ගත හැක. නමුත් රනිල් යනු නයෙක් නොව පොළගෙකි. කුමන අවස්ථාවක කුමන ආකාරයකට දෂ්ඨ කරාවිදැයි සිතාගත නොහැකි ය.


|ශ්‍රී ලංකා දේශපාලනයේ මෙතෙක් පහල වූ කපටිම දේශපාලකයා වශයෙන් හදුන්වනු ලබන්නේ ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා ය. නමුත් ජේ. ආර්. ජයවර්ධනට සාපේක්ෂව බැලීමේදි රනිල් යනු ජේ.ආර්ට වඩා කපටි රජෙකි.

ඉදිරි ජනාධිපතිවරණය සදහා දැනටමත් ඉදිරිපත්වන බවට දිලිත් ජයවීර, ධම්මික පෙරේරා ඇතුළු කිහිප දෙනෙකුම ප්‍රකාශ කර ඇත. 

 

දෙවන මනාපයක ඡායාවක්...

 

අපේක්ෂකයින් ප්‍රමාණය වැඩි වෙත්ම 51% ඉලක්කය සපුරා ගැනීමට අපහසු වනු ඇත. 

 

|අප ජනාධිපතිවරණයකදි දෙවෙනි සහ තෙවෙනි මනාප ලකුණු කිරීම පුරුද්දක් ලෙසට සිදු නොකලද, දේශපාලන පක්ෂවලට ඉදිරි ජනාධිපතිවරණයේදි මනාප සලකුණු කිරීමට ජනතාව දැනුවත් කිරිමට සිදුවිය හැකි ය.
 

 

@ සුදත් චන්ද්‍රසේකර
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
ජනාධිපති වික්‍රමසිංහගේ හිටපු පෞද්ගලික ලේකම්

නවතම ලිපි