SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවට කෙළවුනේ ආර්ථික විද්‍යාඥයෝ නිසායැයි එක් චෝදනාවකි.

මහා භාණ්ඩාගාරයේ, මහ බැංකුවේ, මුදල් අමාත්‍යාංශයේ මේ කොයි නමකින් හැඳින්වුව ස්ථානයේ වුවද වැඩිපුරම සිටින්නේ ආර්ථික විද්‍යාඥයින් වන අතර ඔවුන්ට විවිධ වර්ගයේ, විශේෂ වර්ගයේ ආර්ථික විද්‍යා උපාධි හිමිය.

 

|එහෙත් වසර 77ක් පුරා මේ රටේ ආර්ථිකය ඇදගෙන ඇවිත් අද නතරව ඇත්තේ බංකොලොත් ලේබලේය.

ලේබලය ගැලවූවත් බංකොලොත්ය.

මේ කාලය පුරාම ඔය ඉහත කියපු ආයතනවල ආර්ථික විද්‍යාඥයින් අප්‍රමාණ සේවය කර ඇත. දැනුත් සේවය කරන්නේය.

 

මේ ඇඩ්වොකාටා ආර්ථික පර්යේෂණ ආයතනයේ පුධාන මෙහෙයුම් නිළධාරී ධනනාත් ප්‍රනාන්දු සමග ලංකාදීපයේ ගුණසිංහ හේරත් කළ කතාබහක සටහනකි.

මේ වනවිට ධනනාත් ප්‍රනාන්දු යනු ලංකාවේ ආර්ථික විද්‍යාඥ ක්ෂේත්‍රයේ ඉහලින්ම ජනප්‍රිය කථිකයෙකි.

නිෂ්පාදන ආර්ථිකයක් අවශ්‍ය ඇයි? (ධනනාත් ප්‍රනාන්දු)

 

Dananath F

ලංකාවේ ජනතාවගෙන් අතිවිශාල බහුතරයක් දැන් ජීවත් වෙන්නේ තමන්ගේ එදිනෙදා වියදම් සඳහාවත් වියදම් කිරීමට මුදල් නොමැති තත්ත්වයකය. 2024 දී රටේ ආර්ථිකය මන්දගාමීවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඒ කාරණය යි. එනම් ජනතාවගේ අතේ මිටේ සල්ලි නැතිකම ය. වැට් බද්ද සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමෙන් සහ මෙතෙක් වැට් බද්දෙන් නිදහස්ව පැවැති භාණ්ඩ හා සේවා 250 කට ආසන්න ප්‍රමාණයකට සියයට 18 ක වැට් බද්දක් පැනවීමෙන් සිදුවන්නේ වියදම් කිරීමට ජනතාව අතේ තිබුණු මුදල් ප්‍රමාණය අඩුවීම ය. කෙනකුගේ ආදායමක් වන්නේ තවත් කෙනකුගේ වියදමකි. ජනතාව මුදල් වියදම් කරනවිට ආර්ථිකය ප්‍රසාරණය වන බව කියන්නේ එහෙයිනි.

 

ආර්ථිකය මන්දගාමීවීමට බලපාන තවත් හේතුවක් වන්නේ ලංකාව ගෝලීය සැපයුම් දාමයට සම්බන්ධ නොවීමය. ලංකාවේ වෙළෙඳපොළ ඉතා පුංචි ය. මෙරටට ජනගහනය ලක්ෂ 223 කි. ලංකාව ගෝලීය වෙළෙඳාමට සහ ගෝලීය සැපයුම් දාමයට සම්බන්ධ විය යුත්තේ එහෙයිනි. රට ඇතුළේ භාණ්ඩ නිෂ්පාදනය කර හැකි තරම් අපනයනය කළ යුතුය.

 

|එසේ නිෂ්පාදනය කළ යුත්තේ වෙනත් රටවල ජනතාව වැඩි වැඩියෙන් පරිභෝජනය කරන භාණ්ඩ ය. එමඟින් රැකියා වැඩි වැඩියෙන් බිහිවෙයි. ඒ රැකියා කරන අයගේ අතේ මිටේ මුදල් ගැවසෙයි. වියදම් කිරීමට හැකි වන්නේ එවිට ය. එසේම මෙරටෙහි නිෂ්පාදනය කරන භාණ්ඩ අපනයන කිරීමෙන් රටට ඩොලර් ලැබෙයි. එමගින් රටේ විදේශ විනිමය සංචිත ඉහළ නගියි. රට ඇතුළට එසේ ගලා එන මුදල් රට ඇතුළේ සංසරණයවීමෙන් රටේ ආර්ථිකය ප්‍රසාරණය වෙයි.

ආර්ථික වර්ධනයට බලපාන තෙවැනි කාරණය වන්නේ අඩු හෙවත් පහළ පොලී අනුපාතයයි. පොලිය කියන්නේ ‘සල්ලිවලට ගෙවන මිල‘ ටය. ඔබට හෝ මට කිරි පැකට්ටුවක් අවශ්‍ය නම් ඒ සඳහා මිලක් ගෙවිය යුතුය. එසේම සල්ලි අවශ්‍ය නම් ඒ සඳහා ද මිලක් ගෙවිය යුතුය. පොලිය ලෙස සලකන්නේ සල්ලි ගැනීමට ගෙවන ඒ මිල ය. පොලිය අඩු හෝ පහළ මට්ටමක පවතින්නේ නම් එමගින් කියැවෙන්නේ සල්ලිවල මිල අඩු බව ය. සල්ලිවල මිල අඩු වුණාම ජනයා වැඩියෙන් වියදම් කරති. එහෙත් සල්ලි ගැනීමට ගෙවන මුදල හෙවත් පොලිය හිතු මතේ අඩු කළ නොහැකි ය. එය වන්නේ ආර්ථිකය ප්‍රසාරණය වීමත් සමඟ ය. මේ වන විට පොලී අනුපාත සැලකිය යුතු කිසියම් මට්ටමකින් අඩු වී තිබෙන බව සත්‍යයකි. එහෙත් භාණ්ඩ මිල වැඩි වී උද්ධමනය යළි ඉහළ ගියොත් පොලී අනුපාත යළිත් ඉහළ යාමේ අවදානමක් පවතියි.

 

ලංකාවේ ආර්ථිකයක් වර්ධනය කළ හැකි ටූල්ස් ඒවා ය. එනම් වියදම් කිරීම සඳහා මුදල් සුලබ කිරීම, ගෝලීය සැපයුම් දාමයට සම්බන්ධ වීම සහ පොලී අනුපාත අඩු කිරීම ය.

 

නිෂ්පාදන වර්ධනයට බලපාන්නේ සාධක හතරකි. ඒ භූමිය, ප්‍රාග්ධනය, ශ්‍රමය සහ ව්‍යවසාය යි. ඒ සාධක හතරට වෙළෙඳ පොළේ හැසිරීමට ඉඩ දෙන තරමට නිෂ්පාදන වර්ධනය වෙයි, ඉහළ නඟියි. ගොවිතැන, කර්මාන්ත, හෝටල්, ගොඩනැගිලි, ගරාජ් යනාදි කොයිකටත් අදාළ වන්නේ ඒ සාධක හතරයි.

 

|ඉඩම් විකුණන්න, මිලදී ගන්න, පවරන්න තිබෙන හැකියාව වැඩි කළ යුතුය. ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ඉඩම සහ ඊට අවශ්‍ය ඔප්පුව හෝ බලපත්‍රය ලබා ගැනීමට අවුරුදු තුනක් හතරක් යනවා නම් ඉන් එහාට කතා කිරීමෙන් ඵලක් නොවෙයි. ඉඩම් ගැනීමට මුදල් ද අවශ්‍ය වෙයි. ඒ සල්ලි ගත හැක්කේ බැංකුවලිනි. පොලී අනුපාත ඉහළ නම් ණය ගැනීමට හෙවත් සල්ලි ඉල්ලාගෙන බැංකුවලට යන පිරිස ඉතා අඩු වෙයි. ප්‍රාග්ධනය හුවමාරු වන්නේ පොලී අනුපාත අඩු වුණොත් පමණකි. ඉහළ පොලී අනුපාත ප්‍රාග්ධනය හුවමාරුවට බාධාවකි.

 

නිෂ්පාදනයට අවශ්‍ය තෙවැනි සාධකය ශ්‍රමය යි. ඒ සඳහා අවශ්‍ය වන්නේ නුපුහුණු ශ්‍රමය නොවෙයි. පුහුණු ශ්‍රමය යි. නව නිපැයුම් හැකියාව තිබෙන නිර්මාණශීලී සහ ඵලදායිතාවෙන් ඉහළ ශ්‍රමය නැතිව නිෂ්පාදනයක් කළ නොහැකි ය. තිබෙන නිෂ්පාදනයක් වර්ධනය කරන්නටත් නව නිෂ්පාදනයක් කරන්නටත් අවශ්‍ය වන්නේ අලු‍ත් දෙයක්, අලු‍ත් නිර්මාණයක් කළ හැකි දැනුම, පුහුණුව සහ කුසලතාව සහිත මිනිසුන්ය. රටේ සිටින එවැන්නෝ දැන් දිගට හරහට රට හැර යති. ඒ නිසා දැන් රට ඇතුළේ තිබෙන නිෂ්පාදන කර්මාන්ත ටිකවත් රැක ගැනීමට නොහැකි වෙයි. ඒ නිසා වෙනත් රටවල අයට ලංකාවට පැමිණ රැකියා කිරීමට ඉඩ⁣ දෙන්නට වෙයි. අලු‍ත් අදහස් තිබෙන මිනිසුන් ආවොත් පමණක් නව නිර්මාණය බිහිවෙයි, තිබෙන නිර්මාණ වර්ධනය වෙයි.

 

නිෂ්පාදන ප්‍රවර්ධනයට අත්‍යවශ්‍ය හතරවැනි සාධකය ව්‍යවසායකත්වයයි. ව්‍යවසායකයන්ට හිරිහැර, කරදර කිරීමෙන් සහ හැකි තරම් බාධක පැමිණවීමෙන් වන්නේ ඔවුන් රට හැර යාමය.

 

|ව්‍යවසාය සහ ව්‍යාපාර සඳහා නිදහස්, සාමකාමී සහ තරගකාරී පරිසරයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ වගකීමකි. එහෙත් ලංකාවේ ආණ්ඩු තමන්ට හිතවත් හොරුන්ට ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබා දෙයි. උදාහරණයකට බිත්තර ආනයනය කිරීමට තීරණය කළහොත් ඒ සඳහා බලපත්‍ර දෙන්නේ තමන්ට කොමිස් මුදලක් ලබාගත හැකි හෙංචයියකුටය. විදුලි බලය නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ද එසේම ය. විවෘත සහ තරගකාරී ටෙන්ඩර් ක්‍රමය නීතියෙන් ස්ථාපිත කර තිබිය දී ඒ නීතිය බල්ලට දමා තමන්ට හිතවත්, ළෙන්ගතු, කාසි වාසි ලබාගත හැකි, මැතිවරණ ව්‍යාපාරයට සල්ලි පොම්ප කරන දූෂිතයන්ට, වංචනිකයන්ට,⁣ හොරුන්ට බලපත්‍ර පිරිනමයි. එමගින් ව්‍යවසායට අත්‍යවශ්‍ය නිදහස් තරගකාරී විවෘත පරිසරය විනාශ කරයි. ඒ නිසා නීතිගරුක, සදාචාර සම්පන්න ව්‍යවසායකයෝ සහ ව්‍යාපාරිකයෝ ව්‍යාපාර සඳහා ආයෝජනය නොකරති.

 

ආර්ථික වර්ධනයට අත්‍යවශ්‍ය නිෂ්පාදන වර්ධනයට තිබෙන ඇතැම් බාධක, හිරිහැර සහ කරදර පෑන් ඉරකින්, තිතකින් ඉවත් කළ හැකිය. උදාහරණයකට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම ඉහළ නංවා ගැනීමට අවශ්‍ය නම් වීසා රෙගුලාසි ලිහිල් කළ හැකි ය. ව්‍යාපාර ලියාපදිංචිය සහ අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට දැනට ගතවන කාලය ඉතා වැඩි ය. ඉතා අවම කාලයක් ඇතුළත ඒ අනුමැතීන් සහ බලපත්‍ර ලබා දිය හැක්කේ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීමෙනි. අනවශ්‍ය ලෙස කල් මරමින් ව්‍යවසායකත්වයට හිරිහැර කරදර සහ බාධක පමුණුවන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව කටයුතු කෙරෙන ක්‍රමයක් නීතිගත කළ යුතුය. එමඟින් රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය කාර්යක්ෂම සහ ඵලදායි කළ හැකි ය.

 

|කළ යුතු ඒ කිසිවක් නොකර බදු වැඩි කිරීමෙන් පමණක් රාජ්‍ය ආදායම වර්ධනය කරගත නොහැකි ය. බදු ඉහළ නැංවීම හේතුවෙන් ව්‍යාපාර අඩපණ වී අපේක්ෂිත බදු ආදායම රැස්කර ගැනීමට නොහැකිවීමේ ඉහළ අවදානමක් තිබෙන බව පුරෝකථනය කරගත යුතුය.

 

මා කියන්නේ බදු ආදායම ඉහළ නංවා ගැනීමේ වුවමනාවක් නැති බව නොවෙයි. දැනට හැම බද්දක්ම පවතින්නේ උපරිම මට්ටමේ ය. බදු වැඩි කිරීම මගින් ජනතාව මත මේ පටවන්නේ කලින් කළ වැරැදිවල බරය. උදාහරණයකට වාහනයක් මිල දී ගැනීමට ණයක් ගන්නා පුද්ගලයාට ඒ වාහනයෙන් ලැබෙන ආදායමෙන් ඒ ණය පොලිය සහ වාරිකය ගෙවීමේ හැකියාව තිබිය යුතුය. පොලිය සහ වාරිකය ගෙවීමට නොහැකි වූ විට ඔහු හිර වෙයි. එවිට ඒ ණය වාරික සහ පොලිය ගෙවීමට තවත් කොහෙන් හෝ ණයක් ගැනීමට සිදු වෙයි. එමගින් ණයත් වැඩි වී තවත් හිර වෙයි. අද ලංකාවට සහ රටේ ජනතාවට සිදු වී ඇත්තේ ද එයයි. ගත්ත ණයවලින් ආදායමක් උපයන්නේ නැති නිසා ඒ ණය වාරික සහ පොලිය ගෙවීමටත් ණය ගැනීමෙන් රට අන්ත අසරණව සිටියි. ආණ්ඩු කළ ඒ වැරැදිවලට දැන් වන්දි ගෙවන්නේ ජනතාව ය. ණය පොලිය ගෙවීමට පමණක් අවුරුද්දකට රුපියල් ට්‍රිලියන දෙකහමාරක් අවශ්‍ය ය. එහෙත් වැට් බද්දෙන් එකතු කරගත හැක්කේ ට්‍රිලියන එකයි දශම පහකි. වැට් බද්ද මඟින් උපයා ගන්නා ආදායම ණය පොලිය ගෙවීමටවත් ප්‍රමාණවත් නොවන බව ඉන් අනාවරණය වෙයි. එවැනි වාතාවරණයක් යටතේ රටේ ආණ්ඩු කිරීම ඉතා අපහසු ය. පොලී අනුපාත ඉහළ නංවා ඇත්තේ ද ඒ නිසා ය. පොලී අනුපාත ඉහළ නැංවීම මම අනුමත නොකරමි. එහෙත් රට වට්ටා තිබෙන තත්ත්වය අනුව එසේ නොකර බැරි බව මට අවබෝධ කරගත හැකි ය. දැන් මෙසේ නොකළොත් ණය පොලිය ගෙවාගැනීමට වත් නොහැකි වෙයි. ඒ නිසා දැන් මෙසේ නොකළොත් නැවතත් සල්ලි අච්චු ගැසීමට සිදු වෙයි. එමඟින් යළිත් උද්ධමනය ඉහළ නඟියි. ඒ ආකාරයෙන් මෙය විෂම චක්‍රයක් බව අවබෝධ කරගත යුතුය.

 

තිබෙන එකම පිළියම ආර්ථිකය වර්ධනය කර ගැනීම ය. එමගින් බදු ආදායම ද වර්ධනය කරගත හැකි ය. බදු ගෙවිය හැක්කේ ආදායම් ඉපයුවොත් ය. ව්‍යාපාර සහ කර්මාන්ත ශාලා වැසී ආර්ථිකය සංකෝචනය වූ කල බදු ආදායම අනිවාර්යයෙන්ම අඩු වෙයි.

 

එසේ වීම වළක්වා ගත හැක්කේ මා ඉහත කී ප්‍රතිසංස්කරණ කිරීමෙන් පමණකි. බදු ඉහළ නැංවීමෙන් උපයා ගන්නා ආදායමෙන් වැඩි ප්‍රමාණයක් පොම්ප කරන්නේ පාඩු ලබමින් රටට බරක් නොව කරුමයක්ව තිබෙන රාජ්‍ය ව්‍යාපාර නඩත්තු කිරීමට ය. වැට් බද්ද සියයට 18 ක් කළත් 2024 දී උපයා ගත හැක්කේ රුපියල් බිලියන 1,450 කි. එහෙත් 2022 මාස අටකදී තෙල් සංස්ථාව පමණක් ලබා තිබෙන පාඩුව රුපියල් බිලියන 622 කි. වැට් බද්දෙන් උපයා ගන්නා මුදලින් තුනෙන් එකක් පමණ එක රාජ්‍ය ව්‍යාපාරයක පාඩු පියවීමට පොම්ප කළාම ආර්ථිකය වර්ධනය කරන්නේ කොහොම ද ? රටේ ආණ්ඩු කරන්නේ කොහොම ද ? ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ, තෙල් සංස්ථාවේ සහ විදුලි බල මණ්ඩලයේ පාඩුව මාස අටකට රුපියල් ට්‍රිලියනයක් පමණ වෙයි. ඒ කියන්නේ රුපියල් බිලියන 1,000 කි. වැට් බද්ද සියයට 18 ක් දක්වා ඉහළ නැංවීමෙන් උපයා ගත හැක්කේ රුපියල් බිලියන 1,500 කට අඩු ආදායමකි. ඉන් බිලියන 1,000 ක් අකාර්යක්ෂම, දූෂිත සහ ඵලදායිතාවක් නැති රාජ්‍ය ව්‍යාපාර තුනක පාඩු පියවීමට පොම්ප කරයි.

 

|බදු වැඩි කිරීම අඩිය හිල් වෙච්ච කළගෙඩියකට වතුර වැක්කිරීමකට සමාන බව මා කියන්නේ එහෙයිනි. වතුර කාන්දු වෙන තැන් වහන්නේ නැතිව කළගෙඩියට වතුර පිරවීම සහගහන අපරාධයක් බව ජනතාව කියන්නේ එහෙයිනි. එක අවුරුද්දක් ලාබ ලැබුවාය කියමින් තෙපරබාමින් දූෂිත රාජ්‍ය ව්‍යාපාර ගොඩගත නොහැකිය. එක අවුරුද්දකදි බිලියනයක ලාබයක් ලබා ඊළඟ අවුරුද්දේද බිලියන 600 ක් පාඩු ලබයි. බිලියන එක සහ 600 අතර පරතරය අහසට පොළොවටත් වඩා විශාල ය.

 

ඒ නිසා පළමුව රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය කළ යුතුමය. කුමන දේශපාලන පක්ෂයක් බලයට පැමිණියත් එය කළ යුතුය. නොකළොත් වන්නේ ඒ පක්ෂයටත් අනෙක් පක්ෂවලට අත් වූ ඉරණම ම අත්වීමය. ජනතාවට දිගටම මේ කරුම ගෙවීමට සිදුවීම ය. එසේම ආණ්ඩුවේ නාස්තිකාර වියදම් අවම නොව නතර කළ යුතුය.

 

එලෙස කරමින් ගෝලීය සැපයුම් දාම සමඟ සම්බන්ධ වෙන නිෂ්පාදන ආර්ථිකයකට රට තල්ලු‍ කළ යුතුය. භූමිය, ප්‍රාග්ධනය, ශ්‍රමය සහ ව්‍යවසායකත්වයට නීතියෙන් සහ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයෙන් කෙරෙන බාධක, හිරිහැර, කරදර ඉවත් කළ යුතුය. රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයෙන් කෙරෙන බාධා හිරිහැර කරදර නැවැත්විය හැක්කේ එසේ කරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීත්‍යනුකූලව සහ විනයානුකූලව පියවර ගන්නා ක්‍රමයක් නීතියෙන්ම ස්ථාපිත කිරීමෙනි. ඒ සියල්ල එසේ කළහොත් ආර්ථිකය මන්දගාමීවීම, සංකෝචනයවීම සේම හැකිළීම මධ්‍යකාලීනව සහ දිගුකාලීනව අවම කරගත හැකි බව මගේ තක්සේරුවයි.

 

(සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)

Lankadeepa

නවතම ලිපි