2024 නව වසර උදාවිය.
පසුගිය වසරේ අග භාගය වනවිට රටේ නායකත්වය විසින් ප්‍රකාශයට පත් කළේ 2024 මැතිවරණ වර්ෂයක් කියාය.
මුලින්ම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයද මහා මැතිවරණයද යන්න තීරණය විය හැක්කේ අපේක්ෂකයින් නම් කර ගනිමින් රනිල් වික්‍රමසිංහ ගේ පුද්ගල ආරෝවෙන් තොර අපේක්ෂකයෙකු තෝරා ගත් විට යැයි හැඟිය හැකිය.
කෙසේ වුවත් ඒ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ නම් නොවන බවට මෙන්ම ඔහු මෙවර තරඟ නොකරන බවට බොහෝ පාර්ශ්වයන් සහතික කර කියා ඇත.
ජනාධිපති රනිල් අද සිට උතුරේ!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (4) සිට ලබන ඉරිදා (7) තෙක් උතුරු පලාතේ සංචාරයක නිරත වන බව වාර්තා වේ.
|මෙම සංචාරයේදී ජනාධිපතිවරයා යාපනයේ සිවිල් සංවිධාන නියෝජිතයන් ,සර්ව ආගමික නායකයන්,කෘෂිකාර්මික,ධීවර සහ දූපත්වාසී ජනතාව,තරුණ ප්‍රජාව,වෘත්තිකයන් සහ ගුරුභවතුන් හමුවන අතර මහජන හමුවකට ද සහභාගී වන බවට ආරංචිමාර්ග පවසයි.
යාපනයේ සහ වවුනියාවේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
පුනරීන් නගර සංවර්ධන සැලැස්ම එළිදැක්වීමේ උත්සවයට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 5 වැනිදා සහභාගී වීමට නියමිතව ඇති අතර අනතුරුව පුනරීන් හි කාන්තා ව්‍යවසායක කජු කර්මාන්ත ශාලාවක් නිරීක්ෂණය කිරීමට නියමිතය. මෙදින ජනාධිපතිවරයා පුනරින් ලන්දේසි බලකොටුව නිරීක්ෂණයටද සහභාගී වන බව සඳහන් කර ඇත.
අරමුණ මොකක්ද?
උතුරු සහ නැගෙනහිර දේශපාලන නායකයන් පසුගිය කාලය තුළ එක්ව සිටියේ සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස වටා වන අතර පසුගිය දිනවල විවිධ පාර්ශ්වයන්ගෙන් සමගි ජන සන්දානයට එක්වන පුද්ගලයන් සම්බන්ධයෙන් රවුෆ් හකීම්, මනෝ ගනේෂන් වැනි දේශපාලන නායකයින් සිටින්නේ බලවත් සිත් තැවුලෙන් බව විපක්ෂ ආරංචිමාර්ග අනාවරණය කර ඇත. විශේෂයෙන්ම නාලක ගොඩහේවා , ශාන් විජේලාල් වැනි ජාතිවාදී ආස්ථානයන්හි සිටින්නන් සමග සන්ධානගතවීම එයට හේතු වශයෙන් දැක්වේ.
ඉන්දියාට එරෙහි චීන ව්‍යාපෘතිය
සුළු ජාතික පක්ෂ නායකයින්ගේ මෙම තත්වයන් දඩමීමා කරගන්නා චීනය වැනි රටවල් මේ මොහොතේ ක්‍රියාත්මක වී ඇත්තේ ලංකාවේ සුළු ජාතික පක්ෂ පාලනය කිරීමේ ඉන්දියාවේ බලය අඩුකිරීම සඳහා කටයුතු කිරීමටය.
|ඒ අනුව ඉන්දියානු දේශපාලනයට ගැති තත්වය වෙනස් කිරීම සඳහා චීනයේ ඉන්දීය විරෝධී දේශපාලන ව්‍යාපෘතිය මගින් උතුරෙන් සිංහල නොවන දෙමළ ජනාධිපති අපේක්ෂකයෙක් ගෙන ඒමේ චීන වෑයමකුත් දෙමළ ඩයස්පෝරාව හරහා යෝජනා කෙරෙමින් පවතින බව ආරංචිමාර්ග සපයයි.
ඡන්දයට නොඑන රනිල් ගේ අරමුණ...
මෙවර ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ තම අපේක්ෂකයා බව එජාපය සහ එජාපයේ වජිරලා පුන පුනා කියූවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට තරඟ නොකරන බව අප විසින් මීට පෙරදීද සඳහන් කළෙමු.
එසේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උත්සාහය වන්නේ කුමක්දැයි යමෙකුට ප්‍රශ්නාර්ථයක් නැගෙනු ඇත.
|රනිල් ට අවශ්‍ය වන්නේ මේ මොහොතේ කෙසේ හෝ සජිත් ප්‍රේමදාස බලයට පත්වීම වැලැක්වීමත්, කොතරම් හිතවත් වුවත් අනුර කුමාර දිසානායකගේ දේශපාලන ව්‍යාපෘතිය බලයට පත්වීම වැලැක්වීමත් පමණකි.
රනිල් වික්‍රමසිංහ ජාතික ජන බලවේගයේ අනුර කුමාරට හිතවත්ව ක්‍රියා කරන්නේ යැයි පසුගිය කාලය තුළ මතයක් පැතිරුනු අතර ඊට හේතු වූයේ තම නිවස ගිනිබත් කිරීමට වගකිව යුත්තේ පෙරටුගාමීන් යැයි වික්‍රමසිංහ ජනාධිපතිවරයා තුළ තිබූ විරෝධය මත පදනම් වූවක් යැයි එම පාර්ශ්වයන්ගේ මතයයි.
රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය හුදෙක් පුද්ගලත්වය මත ක්‍රියාත්මක වන්නේ එවැනි අරමුණක් මත බව එජාප පාක්ෂිකයන් කෙසේ වෙතත් එජාප ක්‍රියාකාරී නායකයින් යම් තරමකට අවබෝධ කරගෙන ඇති බවද ස්ථීරයය.
පොහොට්ටු පාර්ශ්වයේ ප්‍රගතිය..
මේ වනවිට පොහොට්ටු පාර්ශ්වයෙන් 70%කට වඩා රනිල් සමග එක්ව සිටීම සත්‍යයක් වන අතර ඔවුන් තමා රාජපක්ෂලාගෙන් ඉවත්වය යන්න පෙන්නුම් කිරීමට විශාල වෙහෙසක් ගනු පෙනෙන්ට ඇත. මන්ද රාජපක්ෂලාට මැතිවරණයකින් බලයට පත්වීමට නොහැකි බව ඔවුන් සක්සුදක් සේ තේරුම් ගෙන ඇති අතර පොහොට්ටු ඡන්ද වලින් රනිල් වික්රමසිංහටද බලයට ඒමට නොහැකි බව ඔහුගේද තක්සේරුව වී ඇත.
|එසේ වන්නේ රාජපක්ෂලා ප්රමුඛ පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ඡන්ද පදනම සැකසී තිබුණේ අනුග්‍රාහක දේශපාලනය මත වීමය. එනම් ඉදිකිරීම් ආර්ථිකය මත පිහිටා ය. ඒ අනුව බැසිල් රාජපක්ෂගේ සංවිධානමය රහස වූයේ ගල් වැලි පස් ලී ආර්ථිකය මත එක්වූ ප්‍රාදේශීය සභාවන්හි නියෝජිතයින් වන අතර බිම් මට්ටමේ එම සාමාජිකත්වයන් හි සහයෝගය පවතින ආර්ථික අර්බූධය විසින් ඉදිකිරීම් ආර්ථිකය සුනු විසුනු කර දැමීමත් සමග බැසිල්ට පෙරළා ඇමෙරිකාවට හැරී යන්නට සිදුව ඇත. ඔවුන් සතුව මුදල් අමාත්‍ය ධූරය තිබුණේ නම් කවර ආර්ථික අර්බූධයක් තිබුනද ඉදිකිරීම් ආර්ථිකය ණය මුදලකින් හෝ නැවත ආරම්භ කරනු නොඅනුමානය.
එහෙත් ඔහුගේ හිතවතුන් මේ හරහා ගොඩනැගුනු ඡන්ද පදනම ආරක්ෂා වේයැයි සිතමින් රාජපක්ෂලාගෙන් තොර සහ පොහොට්ටුවෙන් පරිබාහිර සන්දානයක් සකස් කරගනිමින් ඇති අතර ඒ සන්දානය වටා සිටින්නේත් එහි සක්‍රීයව සිටින්නේත් රාජපක්ෂවාදී සිරිපාල අමරසිංහ, සුගීෂ්වර බණ්ඩාර වැන්නවුන් බවත් අද බොහෝ දෙනාට හෙළි වී හමාරය.
රාජපක්ෂ දේශපාලනය රැඳී ඇති දේශපාලන ආර්ථිකය බිඳ වැටී ඇත්තේ ඒ ආකාරයටය.
මේ අනුව ඉතිහාසයේ කවරදාකවත් පරදින මැතිවරණයකට නැවත පය තබන්නට තමා සූදානම් නැති බව වික්‍රමසිංහ ජනාධිපතිවරයා හොඳින්ම දනී.
|එනිසා තමාටද යහපත්, රාජපක්ෂලා නොවන වෙනත් නායකත්වයකට සහයෝගය දක්වන්නට රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වන්නේ සජිත්, අනුර ජයග්‍රහණය වලක්වා ලීමේ එකම කොන්දේසිය මත පමණක් වන අතර බොහෝ දුරට ඉදිරියේදී නැවත වරක් ශ්‍රිලනිපය සමග එකඟතාවකට යමින් පොහොට්ටුවෙන් ඉවත්ව ඇති නිමල් ලාන්සාලාගේ කණ්ඩායමද සමග එක්ව පොදු අපේක්ෂකයෙකු බිහිකිරීමේ වියහැකි සම්භාවිතාවක් පවතින බවටද ඉඟි පළ වෙමින් ඇත. එහෙත් ඒ පොදු අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ නොවන බව ද ඒ සමගම සහතික කර ඇත.
මේ නිසා පසුගිය කාලය තුළ පොහොට්ටුවෙන් ගැලවී සන්ධානගත වෙමින් සිටින නිමල් ලාන්සා, අනුර යාපා, ප්‍රසන්න රණතුංග, දිලුම් අමුණුගම, කංචන විජේසේකර, ඇතුළු පිරිස රනිල් වික්‍රමසිංහ තම අපේක්ෂකයා කරගනු ඇතැයි විවිධ මාධ්‍ය වාර්තා පළ වුනද ඔවුන් ඉදිරියේදී රටේ අර්බූධය විසඳිය හැකි යැයි විශ්වාසය තැබිය හැකි මෙන්ම තමාට එකඟවිය හැකි නායකත්වයක් වෙනුවෙන් තවමත් සාකච්ඡා පවත්වමින් සිටින බවට අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ.
|එම සාකච්ඡා කෙසේ වෙතත් පොහොට්ටුවේ ඡන්ද පදනම සුනු විසුනුව ඇති නිසා මෙම සන්දානය සමග එක්වන කිසිදු අපේක්ෂයෙකුට අමතර වාසියක් අත් නොවන අතර සිදුවන්නේ ජනතා අප්‍රසාධයට සහ කෝපයට ලක්ව ඇති රාජපක්ෂවරුන්ගේ සම්බන්ධයක් නිකරුනේ තමා මත හෙළාගැනීමක් පමණකි.
රාජපක්ෂලාගේ සහ නාමල්ගේ බලාපොරොත්තුව..
තම රාජපක්ෂ උරුමයට මෙදා පාර ඇපත් නැතිවල දන්නා නාමල් පාර්ශ්වයට අවශ්‍යව ඇත්තේ පරදින අපේක්ෂකයෙක් පොහොට්ටු අපේක්ෂකයා බවට පත්කර එළැඹෙන මැතිවරණයකදී විපක්ෂයේ අසුන් ගැනීමටය. අසුන් ගැනීම මෙන්ම විපක්ෂ නායකයා බවට පත්වීමටය. ඒ ඔහුගේ ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් පාර කපා ගැනීම සඳහා ය.
ඒ අනුව මෙවර ධම්මික පෙරේරා බිලී බෝයි වනු ඇති අතර ඔහුගේ පෞද්ගලික ධන මල්ලෙන් සෑහෙන ප්රමාණයකටද මේ හරහා වග කියනු ඇති බව පොදු පාර්ශ්වයන්ගේ හැඟීමය.
ශ්‍රිලනිපයේ වාසිය
|ශ්‍රිලනිපය යනු මේ වනවිට විශාල ජන පදනමක් රහිත පක්ෂයක් වුවද එය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රධායික පක්ෂයක් ලෙස ස්ථාවර සහ අපේක්ෂකයාගේ ස්වභාවය අනුව ඔිනෑම මොහොතක ජන පදනමක් සකස් කර ගත හැකි විභවයක් සහිත දේශපාලන පක්ෂයකි.
මේ වනවිට ශ්‍රිලනිපයේ සභාපතිත්වය දරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම පුද්ගලික අභිප්රායන් වෙනුවෙන් පක්ෂය අත්තනෝමතිකව යොදාගැනීම නිසා එම පක්ෂය තුළම විරෝධයක් හට ගෙන ඇති අතර සිරිසේන ජනාධිපතිවරයාද මෙම විරෝධතාව ගැන හිතන්නට පොළඹවා ඇති බවත් ඒ පිළිබඳ ඔහු තැති ගෙන ඇති බවත් පෙනෙන්නට ඇති කාරණයකි. ඒ නිසා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියව නැවත පක්ෂය තුළට ගැනීමටත් ඇයට බලතල ලබාදීමටත් එකඟවීම හැර මෛත්‍රීපාල ජනාධිපතිවරයාට වෙන කළ හැක්කක් නොමැති බව අවබෝධ වී හමාරය.
ඒ අනුව ඉදිරියේදී ශ්‍රිලනිපයේ ප්රතිසංවිධාන කටයුතු වෙනස් මුහුණුවරක් ගනු ඇති අතර පක්ෂයට පිළිගත හැකි ලංකාවේ අර්බූධයට මුහුණ දිය හැකි නායකයෙකු නම් කර ගැනීමක් ඒ තුළින් බලාපොරොත්තු විය හැකි බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතය වී ඇත.
චම්පික රණවකගේ ආගමනය
ලංකාවේ ජාතිකවාදී දේශපාලනයක නියැළුනු පාඨලී චම්පික තම අනන්‍යතාවන් මේ වනවිට වෙනස් කරගනිමින් නායකත්වයේ විවිද හැඩතලයන්ට අවතීර්ණ ව ඇති බව පෙනෙන්නට තිබෙන කාරණයකි. ඔහුගේ බොහෝ ජාතිවාදී තීන්දු තීරණවලට පදනම් වුනු අතුරලියේ රතන හිමි, උදය ගම්මන්පිල වැන්නන්ගෙන්ව ඉවත්ව යන ගමනකට කාලයක සිට අවතීර්ණව ඇති චම්පික රණවක සමග ඉහත බොහෝ පක්ෂ සංවිධාන සාකච්ඡා කරන බවද පෙනී යන කාරණයකි.
|කෙසේ වුවත් ලංකාවේ දේශපාලන දිශානතිය යළිත් වරක් සියළු ජනවර්ගයන්ට එක්ව සිටිය හැකි ජාතිකවාදී දේශපාලන රටාවක් නිර්මාණය කරමින් ඇති අතර නිදහසින් පසු වසර හැත්තෑහයක් ඉක්මවන මේ මොහොතේ රට පත්ව ඇත්තේ මිනිසුන්ගේ එදා වේල පවා අවිනිශ්චිත තත්වයකට පත් කරමිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ හීන් නූල් සූස්තරවලට එකඟව රටේ ජීවත්වීමේ අර්බූධය තව තවත් සංකීර්ණ කර ඇති අතර මේ සඳහා මුහුණ දිය හැකි නායකයෙකු පත්කර ගත යුතු බවත් එයට තනි දේශපාලන පක්ෂයක් ලෙස විය හැකි සම්භාවිතාව අවම බවත් දේශපාලන මහපොළොවේ යථාර්තයව ඇත.
|ඒ අතර ධම්මික පෙරේරා පරදින පොහොට්ටු අපේක්ෂකත්වයට පත්වන්නා වන අතර දිලිත් ජයවීරට ද තවත් කාලයක් යන තුරු අතීතයේදී රාජපක්ෂවරුන් බලයට ගෙන ඒමට දායක වෙමින් ලාංකිීය සමාජය ගොනාට ඇන්ඳවීමේ මාධ්‍ය භාවිතය මිනිසුන් තුළින් අමතක කර දැමිය නොහැකිව එකී චෝදනාවට වරදකරු වීමට සිදුවනු ඇත.
දැනටමත් දිනා ඇති ජාජබයේ අනුර කුමාර
විවිධ සමීක්ෂන හරහා මේ වනවිටත් බහුතර ජන පදනමක් ඇති බවට ජාතික ජන බලවේගය ගණන් බලා ඇති අතර ඔවුන් ක්‍රියාත්මක වන්නේ මැතිවරණය ජයග්‍රහණය කර ඇතැයි යන සිතුවිල්ලෙන් බව සමාජ මාධ්‍ය තුළ සංවාදයට ලක්ව ඇත.
|තවත් බහුතර අදහස වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ සෑම මැතිවරණයකදීම උපරිම රැල්ලක් සහිතව දේශපාලන ව්‍යාපාරය දියත් කරන බවත් ලාංකිකයා ඡන්දය පාවිච්චි කිරීමේදී තම අදහස වෙනස් කරගන්නා බවත් ය. එහෙත් වර්තමාන ලංකාවේ නිගමනයන් ඊට සාපේක්ෂව වෙනස් විය හැකි බවත් බොහෝ දෙනෙක් මේ වනවිට සම්ප්‍රධායික දේශපාලනඥයින් මෙන්ම එකී දේශපාලනයද ප්‍රතික්ෂේප කරනවා යැයි ජාතික ජන බලවේගයට පාක්ෂික හිතවතුන්ගේ මතය වේ.
එහෙත් දේශපාලනය යනු ප්‍රභූ තන්ත්රයක් මත ක්‍රියාත්මක තලයේ හැසිර වෙන්නක් බැවින් ඊට සාමූහික තීන්දුවක් එකී ප්‍රභූ පාර්ශ්වයෙන් නොගනීවී යැයි ද අවතක්සේරු කළ නොහැක්කකි.
ඒ අනුව ඉදිරි දින එකසිය අසූව තුළ කලාපීය භූ දේශපාලනයත්, ලෝක දේශපාලනයත් අතරින් උපායශීලී වෙමින් මේ මහපොළොවේ ප්‍රායෝගික ක්‍රියාවලියකට අවතීර්ණ විය හැකි නායකයෙකුගේ සම්ප්‍රාප්තිය කවරක් විය හැකිද?
@සිරිමලී ලියනගම